වෙබ් ලිපිනය:

Saturday, March 30, 2024

අලුත්ම "ලෝකයේ ලොකුම පෝසතා"


ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි. 

වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 76ක්. එනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න මුදලක්. මේ වන විට එම පවුලේ වත්කම් එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය සිදු වන්නේ වසංගත කාලයේදී සහ ඉන් පසුවයි.

වසංගත කාලයේදී ලුවී විටෝන්, සෙපෝරා වැනි සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තවත් ඉහළ ගියා මිස පහත වැටුණේ නැහැ. එයට එක් හේතුවක් සේ සැලකෙන්නේ වසංගත කාලයේදී බොහෝ දෙනෙකු විසින් තමන්ගේ මානසික මට්ටම පහත වැටීම වලක්වා ගැනීම සඳහා වැඩි වැඩියෙන් සුඛෝපභෝගී භාණ්ඩ මිල දී ගැනීමයි. වසංගතයට ප්‍රතිචාර දක්වමින් ලෝකයේ බොහෝ රටවල් විසින් මුදල් සැපයුම වැඩි කිරීම මීට තවත් හේතුවක්. 

ලෝකයේ සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳාමෙන් හතරෙන් එකක් පමණ උතුරු ඇමරිකාව (ඇමරිකාව හා කැනඩාව) තුළත්, තවත් හතරෙන් එකක් පමණ යුරෝපය තුළත් සිදු වන අතර චීනය තුළද ආසන්න වශයෙන් හතරෙන් එකක සුඛෝපභෝගී භාණ්ඩ අලෙවියක් සිදු වනවා. මෙම වෙළඳපොළවල් අතරින් වේගයෙන්ම වර්ධනය වන වෙළඳපොළ චීනයයි. 2030 වසර වන විට ලෝක සුඛෝපභෝගී භාණ්ඩ වෙළඳපොළ තුළ චීනයේ පංගුව 40% දක්වා වර්ධනය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා.

ලෝක ජනගහණයෙන් පහෙන් එකක් පමණ ජීවත් වන චීනයේ මධ්‍යම පන්තිය වේගයෙන් ප්‍රසාරණය වෙද්දී සුඛෝපභෝගී භාණ්ඩ සඳහා ඉල්ලුමද වේගයෙන් ඉහළ යාම මීට හේතුවයි. මේ වන විටද මෙම වෙළඳපොළ යුවාන් බිලියන 600ක පමණ, එනම් ඩොලර් බිලියන 85ක පමණ වෙළඳපොළක්. එයින් 10%ක පමණ ලොකුම පංගුව තිබෙන්නේ ලුවී විටෝන් හා සෙපෝරා ඇතුළු ආර්නෝ පවුලේ පාලනය යටතේ තිබෙන සන්නාම වලටයි.

වසංගත කාලයේ මන්දගාමී වී තිබුණු චීනයේ ආර්ථිකය මේ වන විට නැවතත් වේගයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ සමඟම චීනය තුළ සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුමද වේගයෙන් ඉහළ යනවා. මීට සමාන්තරව ආර්නෝ පවුලේ වත්කම්ද ඉහළ යනු දැකිය හැකියි. 

කෙසේ වුවත් මේ අයුරින් සුඛෝපභෝගී භාණ්ඩ සඳහා වන ඉල්ලුම ඉහළ යද්දී එහි වාසිය ලැබෙන්නේ බනාඩ් ආර්නෝ වැනි ධනවතුන්ට පමණක් නෙමෙයි. මෙම භාණ්ඩ වල සැපයුම් දාමයන්ට සම්බන්ධව ලොව පුරා විසිරී සිටින විශාල පිරිසකගේ ආදායම් ඉහළ යාමට මෙය හේතු වෙනවා. 

(Image: https://www.consultancy.asia/news/5338/china-leapfrogs-rivals-to-become-worlds-largest-luxury-goods-market)

2 comments:

  1. කොටස් බිලියනයක් අයිති කෙනෙක්ගෙ එක කොටසක් ඩොලර් එකකට විකිනෙනව නම් අපි කියනවා එයා බිලියනර් කෙනෙක් කියල. නමුත් වෙළඳ පොලේ ආන්තික ස්වභාවය නිසා ඒ කොටස් බිලියනයම විකුන ගන්න පුලුවන් ද ඩොලර් එක ගානෙ? එහෙම බැරි නම් ඇත්තටම එයා බිලියනර් කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් වටිනාකම මනින ක්‍රමය ඕක. GDP, උද්ධමනය, සමාගම් වල වත්කම් වගේ ගොඩක් දේවල් වලට ඕක අදාළයි. බිලියනයර් කියන එකේ වැරැද්දක් නැහැ. නමුත් එයින් අදහස් වන්නේ කුමක්ද කියන එක තේරුම් අරගෙන වැරදි අර්ථකතන නොකළ යුතුයි. උදාහරණයක් විදිහට සමහර අය ඔය සල්ලි දුප්පතුන්ට බෙදා දීම ගැන කතා කරනවා. මෙය සාපේක්ෂ මිනුමක් පමණයි. දැන් මේ සාපේක්ෂ මිනුම අනුව බනාඩ් ආර්නෝ උඩින්ම ඉන්නවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: