වෙබ් ලිපිනය:

Thursday, March 7, 2024

ලංවිම බිලියන 58 ක් ලාබ ලාබයි!


පසුගිය (2023) වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් බිලියන 58.1ක ලාබයක් වාර්තා කර තිබෙනවා. මීට පෙර ලංවිම විසින් අවසන් වරට ලාබ ලැබුවේ 2015 වර්ෂයේදීයි. ඉන් පසුව, දිගින් දිගටම වසරින් වසර පාඩු වාර්තා වුනා. 2022 වසරේ අලාභය පමණක් රුපියල් බිලියන 309.2ක් වූ අතර, ඒ සමඟ ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් බිලියන 598.0 දක්වා ඉහළ ගියා. මෙය 2023 මාර්තු අවසානය වන විට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වූ රුපියල් බිලියන 612.4ට ඉතා ආසන්න අගයක්. (ඩොලර් වලින්නම් බිලියන දෙකක් පමණ)

වසර ගණනක් තිස්සේ එකතු වී ඇති ඉහත සඳහන් විශාල සමුච්ඡිත අලාභය නිසා මෙම වසරේ ලැබූ ලාභයෙන්  පසුවද ලංවිම සමුච්ඡිත අලාභය රුපියල් මිලියන 541.3ක්. මෙම සමුච්ඡිත අලාභය අනාගතයේදී විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වන මුදලක්. එසේ ගෙවන දිනය කල් දැමිය හැකි වුවත් කවදා හෝ මෙම මුදල විදුලි ගාස්තු ගෙවන්නන්ට හෝ බදු ගෙවන්නන්ට පොලියත් සමඟ ගෙවන්නට සිදු වෙනවා. ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමුච්ඡිත අලාභය වගේම තමයි. 

පසුගිය වසරේදී ලංවිම ලාබ ලැබුවේ කොහොමද?

මම හිතන්නේ ඉහත ප්‍රශ්නයට පිළිතුර කිසිවකුට රහසක් නොවෙයි. කාලයකට පසුව පසුගිය වසරේදී ලංවිම නැවත ලාබ ලැබුවේ විදුලි ගාස්තු එකවර විශාල ලෙස වැඩි කිරීම මගින්. මේ තර්කයේම දිගුවක් ලෙස, පෙර වසර වල ලංවිම පාඩු ලැබුවේ පිරිවැයට වඩා අඩුවෙන් විදුලිය අලෙවි කළ නිසා කියාත් කෙනෙකුට කියන්න පුළුවන්. එවැනි ප්‍රකාශයක වරදක් නැහැ. 

පසුගිය වසරේදී ලංවිම ආදායම රුපියල් බිලියන 606.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට පෙර වසරේදී (2022) එම ආදායම රුපියල් බිලියන 308.5ක් පමණයි. මෙය වසරක් තුළ ලංවිම ආදායම් 97%කින් ඉහළ යාමක්. ලංවිම ආදායම් එසේ විශාල ලෙස ඉහළ ගියේ ලංවිම කාර්යක්ෂමතාවය විශාල ලෙස ඉහළ ගියා නිසා හෝ නිෂ්පාදන පිරිවැයද විශාල ලෙස ඉහළ ගිය නිසා නොවන බවද අමුතුවෙන් මතක් කළ යුතු නැහැ. මෙය සිදු වූ විදිහ ගැන කියවන සියල්ලන්ම මෙන් හොඳින් දන්නවා.

කියවන බොහෝ දෙනෙකු විසින් නොදන්නා දේවල් කිහිපයක් පමණක් සටහන් කරන්නම්.

පසුගිය (2023) වසරේදී ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රජය විසින් ලංවිම කොටස් ආයෝජන ලෙස රුපියල් 126.3ක මුදලක් ලබා දී තිබෙනවා. මෙය එම වසරේ ලංවිම ලාබය වූ රුපියල් බිලියන 58.1 මෙන් දෙගුණයකට වඩා වැඩි මුදලක්. මේවා බදු මුදල්.

මේ අයුරින්ම ඊට පෙර (2022) වසරේදී, ලංවිම විසින් තෙල් සංස්ථාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 80ක් සහ තවත් රුපියල් බිලියන 251.6ක ණය කපා හැරීමක් ලෙස රුපියල් බිලියන 331.6ක කොටස් ආයෝජන සිදු කර තිබෙනවා. ඊට අමතරව, පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 120.5ක මුදලක් වැය කර තිබෙනවා. මේ සියල්ල බදු ගෙවන්නන් විසින් ගෙවා ඇති හෝ ඔවුන්ට අනාගතයේදී ගෙවන්නට සිදු වන මුදල්. 

රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කළ යුතුද?

ඉහත ප්‍රශ්නය රටේ මහජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. එවැන්නක් කිරීම සාධාරණීකරණය කළ හැකි විවිධ හේතු තිබෙන්නට පුළුවන්. කෙසේ වුවත්, රජය මැදිහත් වී විදුලි බිල සුබසාධනය කරනවා කියන්නේ එම පිරිවැය වෙනත් කවරෙකුගෙන් හෝ අය කරගන්නට සිදු වෙනවා යන්නයි.

රාජ්‍ය මැදිහත්වීමක් නොමැතිව ව්‍යාපාරික කටයුතු කරන ලංවිම වැනි රාජ්‍ය ආයතනයක් හෝ ලාබ ලැබීම ඉලක්ක නොකරන වෙනත් පෞද්ගලික ආයතනයක් ගැන සිතමු. එවැනි ආයතනයකට වුවද, සිය වියදම් පියවා ගැනීමට හා අනාගත ආයෝජන වෙනුවෙන් අරමුදල් සපයා ගන්නට වෙන්නේ ලාබ ලැබීම මගිනුයි. එවැනි ආයතනයකට එහි "ආර්ථික පිරිවැයට" වඩා අඩුවෙන් විදුලිය සැපයිය හැක්කේ බදු මුදල් යොදවා එවැනි ආයතනයක් සුබසාධනය කරන්නේනම් පමණයි. කෙටිකාලීනව ණය විය හැකි වුවත්, යම් දිනක එම ණය බදු ගෙවන්නන් මත පැටවෙනවා. 

උදාහරණයක් විදිහට, රජය මැදිහත් වී සහන මිලකට විදුලි බලය සැපයීම මගින් අපනයන නිෂ්පාදන වල පිරිවැය අඩු කර විදේශ වෙළඳපොළෙහි එම අපනයන වල තරඟකාරිත්වය වැඩි කරන්න පුළුවන්. එහෙත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් කවර අයෙකු මත හෝ බදු පනවා අය කර ගන්නට සිදු වෙනවා. එහි ප්‍රතිඵලය එම පිරිවැයෙහි බදු බර දරන ආයතන වල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමයි. මෙහිදී වෙන්නේ රජය මැදිහත් වී එක් අයෙකුගේ වියදමින් තවත් අයෙකු සුබසාධනය කිරීමක්. මෙවැන්නක් කිරීමෙන් ලැබිය හැකි කිසියම් ශුද්ධ වාසියක් ඇත්නම් එය නිර්ණය කළ හැක්කේ පුළුල් හා සංකීර්ණ අධ්‍යනයකින් පසුව පමණයි.

6 comments:

  1. හරියට රාජකාරිය නොකරන අයට
    හිතා-මතා ජඩ වැඩ කරනා අයට
    කොමිස් පගා ගෙන වැජඹෙන උදවියට
    වැඩ වරදින දිනක් එළඹෙනවාද හෙට?

    ReplyDelete
  2. මටනම් හිතෙන්නෙ ලංවිම, සිපෙට්කො, ලදුදේ වගේ ආයතන ඔක්කොම ලාබ ලබන තත්ත්වයට ගේන්න පුළුවන් මිල වැඩි නොකරම සේවක කාර්‍යක්ෂමතාවය වැඩිකරලා අතිරෙක්ත සේවක බර අඩු කළොත්. මේවා දේශපාලන පත්වීම් දෙන්න තියන ඇමතිලගෙ පෞගලික බූදලය කියන ආකල්පයෙන් මිදිලා ලාබ ලැබීම ප්‍රමාර්තකරගෙන පවතවාගෙන යන ව්‍යපාර වුනානම් මීට වැඩිය බොහොම ප්‍රතිලාබ ඒ ආයතන වලටත්, රටටත් ජනතාවටත් අත්වෙයි.. කුහක නැතුව බැලුවොත්, ලංවිම ලාබ ලාබ ලැබීමේ ගෞරවයෙන් කොටසක කාන්චනට යන එක වල්ක්වන්න බෑ. හිටපු ගොබ්බ , නිදිමත ඇමතිලා එක්ක බලද්දි එයා හොඳ role model එකක්..ඉස්සරහට එන්න ඉන්න ඇමතිලට..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම සේවක අකාර්යක්ෂමතා ප්‍රශ්නය තියෙනවා. නමුත් පාඩු වලට ප්‍රධාන හේතුව සේවක පිරිවැය නෙමෙයි. සේවක පිරිවැය පාඩුවට සාපේක්ෂව ගොඩක්ම විශාල නැහැ.

      Delete
  3. ඉකොන් සදහන් කර ඇති රජය විසින් ලංවිමට දුන් සල්ලි වලට අමතරව, ලංවිම රජයේ සහතිකය මත ලංකා බැංකුවෙනුයි , මහජන බැංකුවෙනුයි අති විශාල ණය මුදලක් අරං තියෙනවා. මේවාත් තැන්පත් කරුවන්ගේ සල්ලි...මේ ණය ගෙවන්න නැත්තං මේ රජයේ බැංකු කඩන් වැටේවී. මේක මහ අවුල් ජාලාවක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ නිසා එම ණය වලින් කොටසක් ගෙවන්න තමයි බදු මුදල් යොදවා තියෙන්නේ.

      Delete
  4. ඔය ලංකාවේ ලංවිම විදුලි ගාස්තු සංශෝධනය කලේ අපිත් ලංකාවේ හිටපු 2012/13 කාලේ අන්තිම වතාවට ඊට පසුව 2015 ආපු රනිල් වික්‍රමසිංහ අගමැතිකම දරපු යහපාලන ආණ්ඩුව හුදෙක්ම 2015 මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට ඇමති චම්පික රණවක යටතේ පැවති ඛණිජ තෙල් සංස්ථාව හරහා තෙල් මිල අනවශ්‍ය ලෙස අධික ලෙස අඩු කිරීම, ගෑස් මිල විශාල ලෙස පහත හෙලීම සහ විදුලි ගාස්තුව අවශ්‍ය පරිදි සංශෝධනය නොකර ඉතාම පහළින් තබා ගැනීමට කටයුතු කළ අතර ඒ කාලයේදීම ශ්‍රී ලංකන් ගුවන් සේවය ද තවදුරටත් දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් ලෙස නඩත්තු කතා.

    යහපාලන ආණ්ඩුව මගින් කලින් සැලසුම් කර තිබූ ඉතාම ලාභදායක ගල් අඟුරු බලාගාරයක් වන සාම්පූර් බලාගාරය ඉදිකිරීම නතර කිරීමත් වෙනත් අනුමත කර තිබූ පුනර්ජනනීය බලාගාර පවා ඉදිනොකිරීම නිසාත් ගාස්තු සංශෝධනය නොකිරීම නිසාත් තත්ත්වය ඉතාම බරපතල ලෙස ආර්ථිකයට විශාල ලෙස හානිකර වුණා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස ජනතාවට මාසයකින් දෙකකින් එපාවී කුජීත ලෙස කිචවීම සමග ඉදිරි මැතිවරණ දිනාගැනීම පිණිස ගාස්තු සංශෝධනය නොකර අධික පොලියට විදේශ ISB ණය අරගෙන පාඩු ලබන රජයේ ආයතන වල ගාස්‌තු තවදුරටත් ඉතා පහළින් තබාගෙන සිටියා.

    ඊළඟට 2019/20 කාලයේ බලයට පත්වන නන්දසේන ජනපතිවරයාද දේශපාලන අත්දැකීම් නැති හුදෙක්ම ජනප්‍රිය භාවිතය ගැන උනන්දු වූ අයෙක් නිසා අවශ්‍ය පරිදි ගාස්තු සංශෝධනය නොකිරීමත් බලාගාර ඉදිනොකිරීම නිසාත් නැවතත් ලංවිම දිගටම පාඩු ලැබුවා.

    ඒ වගේම ඔය දියුණුයි කියන සෝ කෝල්ඩ් සංවර්ධිත රටවල් කෙළවරක් නැතිව උසස් අධ්‍යාපනය නැමති ටොපිය පෙන්වලා ඒ රටවලට ආසියාතික සහ වෙනත් රටවලින් අධික ලෙස සිසුන් විදියට තරුණ ළමයි ගෙන්වා ගන්නවා. අන්තිමේ ඒ ළමයින්ට කෙළවරක් නැති ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. දෙමව්පියන් හුඟක් පොහොසත් ළමයින්ට ඒ ප්‍රශ්නය ලොකුවට නැති වුනත්, පාට් ටයිම් ජොබ් කර කර ඉගෙනීමේ වැඩ කටයුතු කරන අයට ඒ රටවල ජීවිතය කිසිසේත්ම ලේසි වෙන්නෙ නෑ. ඔය රටවල් වල විශ්ව විද්‍යාල වල ඉන්න භාගෙට භාගයක් ළමයින්ට depression. හරිහමන් ගෙවීමක් නොකර මේ ළමයි ලවා ඒ රටවල සියළු ප**** වැඩ ටික කරගන්නවා. උතුරු එංගලන්තයෙ එක්තරා විශ්ව විද්‍යාලයක පහුගිය අවුරුදු 2-3 ඇතුලත ළමයි 4ක් suicide commit කරගත්තා. MSc, PhD කරන ළමයින්ගෙන් ඉතා අඩු වැටුපකට විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරුන්ගේ වැඩ කරගත්තා. උපාධිය ඇපේට තියාගෙන ඒ ළමයින්ව ශාරීරිකව හා මානසිකව හෙම්බත් කලා. ඒ ළමයින්ගෙ grievances අහන්න වත් කෙනෙක් නෑ. ඒ විදියට අසරණ වෙන ළමයි severe stress and depression වලින් පීඩා වින්දා. ඉගෙන ගත්තා නම් උපාධිය අරන් උඹලගෙ රටවලට පලයල්ලා මෙහෙ ජොබ් නෑ කියන තැනට පත් කලා. ඒ වගේ දෙයක් ලංකාවටත් වෙලා තියෙන්නේ දැන්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: