වෙබ් ලිපිනය:

Sunday, March 3, 2024

ඩොලර් බිලියනයේ තෑග්ග (තෙවන කොටස)


රූත් ගොටස්මන් විසින් නිවු යෝර්ක් ප්‍රාන්තයේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත සිදු කළ ඩොලර් බිලියනයක පරිත්‍යාගය ගැනත්, එයින් වෙළඳපොළ සමතුලිතතාවයට සිදු වන බලපෑම ගැනත් පෙර ලිපි දෙකෙන් කතා කළා. මෙම පරිත්‍යාගය නිසා දිගුකාලීනව වැඩිම වාසියක් ලබන්නේ ආයතනයක් ලෙස ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. පරිත්‍යාගයේ උදවුවෙන් වඩා හොඳ සිසුන් මෙන්ම වඩා හොඳ ආචාර්ය මණ්ඩල සාමාජිකයින්ද ආකර්ෂණය කර ගත හැකි බැවින් දිගුකාලීනව එම වෛද්‍ය විද්‍යාලයට සිය කීර්ති නාමය බොහෝ සේ ප්‍රවර්ධනය කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනයක්. ලාබ ලැබීම අරමුණු නොකරන ආයතන කියන්නේ ලාබ නොලබන හෝ පාඩු ලබන ආයතන නෙමෙයි. ලාබ ලැබීම ඕනෑම ලාබ ලැබීම අරමුණු නොකරන ආයතනකද ඉලක්කයක්. එහෙත්, එය ප්‍රධාන අරමුණ නෙමෙයි. මෙවැනි ආයතනයකට ලාබ ලැබීමේ ඉලක්කයට වඩා උඩින් තිබෙන වෙනත් අරමුණක් තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි ආයතනයක් ලබන ලාබ වැය කරන්නේද එම ප්‍රධාන අරමුණ වෙනුවෙන්.

"Our founding mandate has been to combine the pursuit of scientific excellence with the social mission to improve human health through engagement in our local, national, and global communities."

ඇල්බට් අයින්ස්ටයින්ගේ පෞද්ගලික එකඟත්වය මත ආයතනයක නමට ඔහුගේ නම එකතු කර ගෙන ඇති ලෝකයේ එකම ආයතනය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයයි. මෙම වෛද්‍ය විද්‍යාලයය බිහිවන්නේ ඇමරිකාවේ පිහිටි යුදෙවු විශ්ව විද්‍යාලයක් වන යෙෂිවා විශ්ව විද්‍යාලයේ කොටසක් ලෙසයි. ආයතනයේ අරමුණ විද්‍යාවේ ප්‍රගමනය හඹා යමින් මානව සෞඛ්‍යය දියුණු කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට ගෙන යාමයි. 

කවුද මේ  රූත් ගොටස්මන්?

ඇල්බට් අයින්ස්ටයින්ට මෙන්ම ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලය වෙත ඩොලර් බිලියනයක් පරිත්‍යාග කළ රූත් ගොටස්මන්ටද තිබෙන්නේ යුදෙවු සම්භවයක්. ඇය ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග දෙපාර්තමේන්තුවේ සේවය කළ සේවාර්ජිත මහාචාර්ය වරියක්. එමෙන්ම, එම වෛද්‍ය විද්‍යාලය පාලනය කරන භාරකාර මණ්ඩලයේ සභාපතිනිය වන්නේද ඇයයි. 

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයක ආචාර්ය මණ්ඩලයකට එකතු වන බොහෝ අය තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ මුදල් සෙවීම කරගත් අය නෙමෙයි. එවැන්නෙකු විසින් බොහෝ විට තමන්ගේ ජීවත් වීමේ අරමුණ ලෙස සලකන්නේ දැනුම ප්‍රවර්ධනය කිරීම හා දැනුම බෙදා හැරීම වැනි දෙයක්. මෙම කරුණ හා අදාළව, රූත් ගොටස්මන් කියන්නේද වෙනස් අයෙකු නොවෙයි. ඇය වෙනත් බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින්ද අරමුණු කරන ඉලක්ක තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණු බවට පත් කරගත් තැනැත්තියක්. 

විශ්ව විද්‍යාල ආචාර්යවරයෙකුට එම සුදුසුකම් හා පළපුරුද්ද තිබෙන වෙනත් රැකියා කරන අය තරමටම වැටුපක් ලැබෙන්නේ නැතත්, වෙළඳපොළ මත පදනම් වූ සැලකිය යුතු වැටුපක් ලැබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල වල. 

ඇමරිකාවේ ජීවත් වන, ජීවත් වීම සඳහා මුදල් සෙවීමේ ප්‍රධාන අරමුණෙන් රැකියාවක් කරන්නන් බොහෝ දෙනෙකු අවශ්‍ය තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කර ගැනීමෙන් පසු රැකියාවෙන් විශ්‍රාම ගන්නවා. එහෙත්, ඇමරිකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් බොහෝ දෙනෙකු තමන්ගේ රැකියාවට තිබෙන කැමැත්ත නිසාම ඉක්මණින් විශ්‍රාම ගන්නේ නැහැ. ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විශ්‍රාම ගැනීමෙන් පසුවද ස්වේච්ඡා පදනමෙන් පර්යේෂණ වල නිරත වීම හා ඉගැන්වීම දැකිය හැකියි. 

බොහෝ විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් සරල ජීවිත ගත කරන අයයි. මේ කරුණ හා අදාළවනම්, ඇමරිකාවෙන් මෙන්ම ලංකාවෙන්ද වැඩි අපහසුවක් නොමැතිව උදාහරණ සොයා ගත හැකියි. ඒ හේතුව නිසාම ඇමරිකාවේ මහාචාර්යවරයෙකුට, විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය වරයෙකුට, වෙළඳපොළ මත පදනම්ව වැටුප් ලෙස ලැබෙන ආදායම තමන් අපේක්ෂා කරන ජීවිතය ගත කිරීම සඳහා ඕනෑවටත් වඩා ප්‍රයෝජනවත්. 

ඇමරිකාවේ බොහෝ සේවාර්ජිත මහාචාර්යවරුන් විසින් ජීවිතයේ අවසාන කාලයේදී තමන් සතු වත්කම් වලින් කොටසක් තමන් සේවය කළ විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීම ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. එවැනි පරිත්‍යාග අදාළ මහාචාර්යවරයාගේ අභිලාෂය පරිදි සිසුන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා හෝ පර්යේෂණ ආධාර ලෙස වැය කෙරෙනවා. රූත් ගොටස්මන්ගේ පරිත්‍යාගය සේවාර්ජිත මහාචාර්යවරුන් බොහෝ දෙනෙකු විසින් සිදු කරන මෙවැනි පරිත්‍යාග වලින් වෙනස් වන එකම හේතුව පරිත්‍යාගයේ ප්‍රමාණය පමණයි.

සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු තමන්ගේ ජීවන අභිලාෂය කරගන්නේ පුළුවන් තරම් මුදල් හෙවීම නොවන නිසා, ඩොලර් බිලියනයක් වැනි විශාල මුදලක් පරිත්‍යාග කළ හැකි තරමේ වත්කමක් ඔවුන් වෙත ඉතිරි වන්නේ නැහැ. මෙම කාරණය හා අදාළව වුවද, රූත් ගොටස්මන් වෙනස් තැනැත්තියක් නොවෙයි. ඇයට මුදල් එකතු කිරීම තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ කර නොගත් තැනැත්තියක්. එසේනම්, ඇයට මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ඉඩ සැලසෙන්නේ කොහොමද?

ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ වත්මන් සිසුන්ට පමණක් නොව, රූත් ගොටස්මාන්ටද මෙම මුදල ලැබෙන්නේ අනපේක්ෂිත ලෙසයි. ආර්ථික විද්‍යා අර්ථයෙන් එහිදී වෙන්නේ ඇයට ලොතරැයියක් ඇදීමක්. එම ලොතරැයියනම් ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් විසින් ඇයගේ අභිලාෂය පරිදි වියදම් කිරීමට ඉඩ සලසමින් විශාල ධනස්කන්ධයක් ඈ වෙත උරුම කර මිය යාමයි.

සෘජුව හෝ වක්‍රව දැනුම නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ රූත් ගොටස්මාන් මෙන් නොව ඇගේ සැමියා වූ ඩේව්ඩ් ගොටස්මාන් ධනය නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වූ අයෙක්. එමෙන්ම තමන්ගේ අභිලාෂ සාක්ෂාත් කරගත් අයෙක්. වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථාපනය කරන ඔහු දශක ගණනාවක් තිස්සේ එම ආයතනය වැඩි දියුණු කර බිලියනපතියෙකු බවට පත් වෙනවා. රූත් ගොටස්මන්ට උරුම වන්නේ එම වත්කමයි.

වත්කම් කළමනාකරණ ආයතනයක් කියන්නේ සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් නොකරන,  අතරමැදි ව්‍යාපාරයක්. ඒ වගේම ඉතා අඩු ශ්‍රමයක් යෙදවුම් ලෙස භාවිතා කරමින් බොහෝ දුරට ප්‍රාග්ධනය මගින් ප්‍රාග්ධනය නිර්මාණය කරන ව්‍යාපාරයක්. සෘජුව පරිභෝජන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන අයෙකුට සාපේක්ෂව වත්කම් කළමනාකරණ ආයතනයක් ස්ථානගත කළ හැක්කේ කවර ආකාරයෙන්ද?

සැබෑ ධනය නිර්මාණය වීමක් සිදු වීමටනම්, අවසාන වශයෙන් පරිභෝජනය කළ හැකි ආකාරයේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු විය යුතුයි. එසේ නිපදවන භාණ්ඩ හෝ සේවාවන් වලට පාරිභෝගිකයෙකු විසින් කොපමණ මිලක් ගෙවන්නට සූදානම් වන්නේද යන්න මත සිදු වූ නිෂ්පාදනයේ වෙළඳපොළ වටිනාකම තීරණය වෙනවා.

භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් සිදු කරන නිෂ්පාදකයෙකුට ඒ සඳහා ප්‍රාග්ධනය අවශ්‍ය වෙනවා. අවශ්‍ය තරම් අඩු "කුලියකට" ප්‍රාග්ධනය සපයා ගත නොහැකි වුවහොත් එවැන්නෙකු විසින් සිදු කෙරෙන භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය සීමා වෙනවා. 

අනෙක් අතට, යමෙකු තමන් විසින් උපයන ආදායම් එසැණින්  පරිභෝජනය කර අවසන් කිරීම හෝ අනාගත පරිභෝජනය වෙනුවෙන් ඉතිරි කිරීම නිර්ණය වන්නේ ආදායම් ප්‍රාග්ධනය බවට පරිවර්තනය කිරීම මගින් ලබා ගත හැකි "කුලිය" කොපමණද යන්න මතයි. මෙම "කුලිය" ඉහළ යන තරමට රටක වැඩි ප්‍රාග්ධන සමුච්ඡනයක් සිදු වෙනවා. රටක ප්‍රාග්ධන සමුච්ඡනය වැඩි වෙද්දී, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා ප්‍රාග්ධනය යෙදවීමේ හැකියාව ඉහළ ගොස් රටේ නිෂ්පාදනය ඉහළ යනවා.

වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් කරන්නේ රටේ ප්‍රාග්ධන වෙළඳපොළ වඩා කාර්යක්ෂම කිරීම මගින් ඉතිරි කරන්නන්ට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන අතරම, නිෂ්පාදකයින්ට අඩු පිරිවැයකට ප්‍රාග්ධනය සපයා ගැනීමටද අවස්ථාවක් ලබා දීමයි. මේ හරහා එවැනි ආයතනයක් විසින් වක්‍ර ලෙස රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි කරනවා. එහිදී අලුතෙන් ධනය නිර්මාණය වීමක් සිදු වෙනවා.

නිෂ්පාදකයෙකු නිෂ්පාදනය කරන්නේ එමගින් තමන්ට ලැබෙන ලාබ නිසා. ඉතිරි කරන්නෙකු ඉතිරි කරන්නේද එයින් තමන්ට ලැබෙන ප්‍රතිලාභ නිසා. ඒ දෙදෙනා සම්බන්ධ කරන වත්කම් කළමනාකරණ ආයතනයක් විසින් එසේ කරන්නේද තමන්ට ලබාගත හැකි ලාබ නිසා. එහෙත්, මේ යාන්ත්‍රනය තුළ තවත් බොහෝ දෙනෙකුට යහපතක් සිදු වෙනවා.

යමෙකු ලෝකයට එකතු කරන්නේ ධනය වුවත්, දැනුම වුවත්, වෙනත් යම් දෙයක් වුවත් අවසානයේදී එසේ එකතු කරන දේ ඉතිරි කර මිය යන්නට සිදු වෙනවා. ඉතිරි කර යන දෙයක ප්‍රතිලාභ ජීවත් වන්නන්ට ලැබෙනවා. ඩේව්ඩ් ගොටස්මාන් විසින් මිය යන්නට පෙර ඔහු විසින් ඉපැයූ ධනය නාස්ති කර හෝ විනාශ කර නැහැ. කොපමණ විශාල ධනයක් උපයන අයෙකු වුවද සිය ජීවිත කාලය තුළ පරිභෝජනය කරන්නේ එයින් කොටසක් පමණයි. මෙසේ යමෙකු ඉතිරි කර යන දෙයකු උරුමකරුවෙකු වන අය ලොතරැයියක් දිනන වාසනාවන්තයෙක්.

කෙසේ වුවත්, වයස අවුරුදු 93 ඉක්මවා සිටින රූත් ගොටස්මාන්ට අහම්බෙන් ලැබුණු ඩොලර් බිලියන ගණනක විශාල ධනයකින් කළ හැකි විශේෂ දෙයක් නැහැ. එබැවින් එය එම මුදලෙන් සැලකිය යුතු කොටසක් තමන්ගේ ජීවන අභිලාෂ හා ගැලපෙන අරමුණක් වෙනුවෙන් වැය කර තිබෙනවා. මෙහිදී ඩේව්ඩ් ගොටස්මාන් මෙන්ම රූත් ගොටස්මාන් විසින්ද කර තිබෙන්නේ තමන්ට සතුටු විය හැකි පරිදි, තමන්ගේ ජීවන අභිලාෂ ශාක්ෂාත් කර ගැනීමයි. කෙනෙකුගේ ජීවන අභිලාෂය කුමක්ද යන්න පෞද්ගලික කාරණයක්. 

ඩේව්ඩ් ගොටස්මාන් විසින් ධනය නිර්මාණය කරන වෙනත් එවැනි අය මෙන්, තමන්ගේම වත්කම් කළමනාකරණ ආයතනයක් පිහිටුවා ඒ මගින් ධනය නිර්මාණය කිරීමට ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙනවා. ඒ කාර්යය සාර්ථක ලෙස නිමා කර ජීවිතයෙන් සමු ගෙන තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය තුළ විශාල ධනයක් එක්රැස් කර තබා මිය යන ඩේව්ඩ් ගොටස්මාන් වැනි අයෙකුගේ ප්‍රධාන අභිලාෂයක් වන්නේ තමන් මිය යාමෙන් පසු තමන්ගේ උරුමකරුවන්ගේ අභිලාෂ පරිදි එම ධනය භාවිතා කිරීමයි. මෙහිදී ඔහුගේ එම අභිලාශය ඉටු වී තිබෙනවා.

මීට අමතරව, ඩේව්ඩ් ගොටස්මාන් වැනි ඇතැම් අය ජීවත්ව සිටියදීම තමන්ගේ ධනය තමන් සතුටු වන විවිධ දේ වෙනුවෙන් පරිත්‍යාග කරනවා. මේවාත් අනෙකුත් වෙළඳපොළ ගනුදෙනු වැනිම ගනුදෙනු. එකම වෙනස ගනුදෙනුවේ අභිලාශය මූල්‍ය ලාභයක් නොවීම පමණයි. 

රූත් ගොටස්මාන් ඇයගේ ජීවිතයේ වැඩි කාලයක් යොදවා තිබෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ උන්නතිය ඇගේ ජීවිතයේ ප්‍රධාන අභිලාශයක් ලෙස සලකමිනුයි. ඇයට අනපේක්ෂිතව ලැබුණු විශාල ධනය ඈ ඇගේ මෙම දිගුකාලීන අභිලාශය සාක්ෂාත් කර ගැනීම පිණිස වැය කර තිබෙනවා. එයද සාර්ථක ගනුදෙනුවක්! 

8 comments:

  1. තමුසෙට මොලේ අමාරුවද ඕයි? මේ අපිට වැදගැම්මකට නැති පල්හෑලි ලියන්නේ ?

    ReplyDelete
    Replies
    1. අයිෂේ තමුසෙගෙ අකේ පුමාරුව උත්සන්න වෙලාද? "වැදගැම්මකට නැති පල්හෑලි" බලලා අහක්ක වෙලා තව කොමෙන්ටුත් ලියන්නේ. හනිකට ඔය ඉත්තෑවො දුවන එකට බෙහෙතක් ගනිං ඕක ඔඩුදුවන්න කලියෙන්

      Delete
    2. උඹට වැදගත් නොවුනට අපිට වැදගත්. මේවගේ වැදගත් ලිපි ලියනඅය සැඟවී අධෙෙර්ය කරන බියගුලු නුඹට සාප වේවා!

      Delete
    3. තමන්ට වැදගත් නැත්නම් නොබල හිටියාම ඉවරනේ… Econo තමන්ගේ කාලයේ මේවට වැය කරලා මේ වගේ වැදගත් තොරතුරු සපයන ගැන අපි ගොඩක් අගය කරනවා.
      දිගටම ලියන්න…

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඉදිරියටම යන්න ඉකොනෝ,
    ඔබ අපට සම්පතක්.

    ReplyDelete
  4. පලැ'ති රුකට ගල් වදිනව නොතකන්න.
    රූත්ලා වගේ අය ගැන දැනගන්න
    දැනුමට තවත් දේවල් එක්කොට ගන්න
    එනවා දිගට ඉකොනොගෙ ලිපි කියවන්න

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: