වෙබ් ලිපිනය:

Sunday, February 8, 2026

ඩොලර් වැඩියෙන් එද්දී ඩොලරය ඉහළ යන්නේ ඇයි?

 



පෙර ලිපියෙහි පෙන්වා දුන් පරිදි, රටට ලැබෙන ඩොලර් ප්‍රවාහ ශක්තිමත් වෙමින් තිබෙනවා. නමුත්, ඒ අතරම ඩොලරයක මිලද ඉහළ යමින් තිබෙනවා. මෙහෙම වෙන්නේ ඇයි?

මේ ප්‍රශ්නය අහපු කිහිප දෙනෙකු විසින්ම හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශයක් වෙතද අපගේ අවධානය යොමු කරවා තිබුණා. "රටේ ආර්ථිකය හොඳ මට්ටමක නැහැ" කියන, හර්ෂ ද සිල්වා විසින් ඉස්මතු කරන්නට උත්සාහ කරන දේශපාලනික මතය පැත්තකින් තිබ්බොත්, ඔහු එහි කරන පැහැදිලි කිරීමේ වැරැද්දක් නැහැ. ඩොලරයක මිල ඉහළ යන්නේ ඩොලර් සැපයුමට වඩා ඩොලර් ඉල්ලුම වැඩි නිසා. ඔහු විස්තර කරන පරිදි, ඩොලර් ඉල්ලුම තරමට ඩොලර් සැපයුමක් නැති තත්ත්වයක් ලෙස එය විස්තර කරන්නත් පුළුවන්.

පසුගිය 2025 වසර තුළ ජංගම ගිණුම හරහා ඩොලර් මිලියන 29,344.5ක් රටට පැමිණ තිබෙනවා. ඊට පෙර (2024) වසර තුළ එසේ පැමිණ තිබුණු මුදල ඩොලර් මිලියන 26,876.7ක්. මේ අනුව, ඩොලර් මිලියන 2,448.1ක හෙවත් 9.1%ක වර්ධනයක් දකින්න පුළුවන්. විදේශ විණිමය ලැබීම් මේ විදිහට ඉහළ යද්දීත් ඩොලරයක මිල ඉහළ යාමෙන් පෙනෙන්නේ විදේශ විණිමය ඉල්ලුම ඊට වඩා වැඩි වේගයකින් ඉහළ ගිහින් කියන එකයි. 

විදේශ විණිමය ඉල්ලුම ඉහළ යාම සමස්තයක් ලෙස රටේ සාර්ව ආර්ථික ඉල්ලුම ඉහළ යාමේ ප්‍රතිඵලයක්. සාර්ව ආර්ථික ඉල්ලුම ඉහළ යාම පුළුල් මුදල් සැපයුම ඉහළ යාම අනුසාරයෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ පුළුල් මුදල් සැපයුමේ ප්‍රධාන සංරචක දෙකක් වන බැංකු පද්ධතියෙන් මධ්‍යම රජයට ලබා දුන් ණය ප්‍රමාණය සහ අනෙකුත් අංශ වලට ලබා දුන් ණය ප්‍රමාණය. එහි නැති තුන්වන සංරචකය බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්. අපට අවධානය යොමු කරන්න අවශ්‍ය වන්නේ මෙහි පෙන්වා තිබෙන සංරචක දෙකේ ප්‍රවණතා වලටයි. 

සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම වර්ධනය වෙන ඓන්ද්‍රීය වේගයක් තිබෙනවා. මේ ඉල්ලුම බොහෝ දුරට ආයෝජන සඳහා වන ඉල්ලුමක්. ඒ නිසාම, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් ඒ ඉල්ලුමට බාධා කරන්නේ නැහැ. ඒ වගේම, ආයෝජන හේතුවෙන් රටේ නිෂ්පාදනය අනුපාතිකව ඉහළ ගියොත්, එමගින් උද්ධමනකාරී බලපෑමක් ඇති වන්නේ නැහැ. 

ප්‍රායෝගිකව පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම තනිකරම ආයෝජන ඉල්ලුමක් නොවන නිසා ණය වැඩි වන තරමටම නිෂ්පාදනය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, යම් උද්ධමනයක් ඇති වුනත්, උද්ධමනය ප්‍රශ්නකාරී මට්ටමකට යන්නේ නැහැ. දළ අදහසක් අවශ්‍යනම් පෞද්ගලික අංශයේ ණය වලින් 75%ක් පමණ ආයෝජන ණය. පරිභෝජන ණය කොටස 25%ක් වගේ.

නමුත් රාජ්‍ය අංශයේ දකින්න පුළුවන් තත්ත්වය මෙහි අනෙක් පැත්ත. සාමාන්‍යයෙන් ණය වලින් 75%ක් පමණම වැය වන්නේ පරිභෝජනයට. ආයෝජන සිදු වන්නේ 25%ක් පමණ. ඒ නිසා උද්ධමනකාරී බලපෑම වැඩියි. මේ ගණන් අවශ්‍ය කරුණ පැහැදිලි කිරීම සඳහා උපයෝගී කර ගන්නා ගණන් මිසක් ඇත්තම ගණන් නෙමෙයි. 

ඉහත ප්‍රස්ථාරයේ 2015-2019 යුගය දිහා බැලුවොත් මේ ප්‍රවර්ග දෙකේ හැසිරීම් වල වෙනස පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. රාජ්‍ය අංශයේ ණය වගේම පෞද්ගලික අංශයේ ණයත් යම් නිශ්චිත වේගයකින් ඉහළ ගොස් ඇතත්, පුළුල් මුදල් සැපයුමේ වර්ධනයට වැඩිපුර දායක වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ ණය. 

පෞද්ගලික අංශයේ ණය වර්ධනය නිසා මුදල් සැපයුම වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇතත්, එයින් සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු වී තිබෙන නිසා උද්ධමනකාරී බලපෑම අඩුයි. අනික් අතට, රාජ්‍ය අංශයේ ණය වල උද්ධමනකාරී බලපෑම වැඩි වුනත්, වර්ධන වේගය අඩු නිසා උද්ධමනකාරී බලපෑම සීමා වෙලා තිබෙනවා. ඒ නිසා, ඔය ප්‍රවර්ග දෙකේම උද්ධමනකාරී බලපෑම් අතර තුලනයක් තිබෙනවා. අවසාන වශයෙන් උද්ධමනය මහ බැංකුවේ අපේක්ෂිත සීමාව ඇතුළේ රැඳුනේ ඒ නිසා. 

ඉන් පසුව, 2020-2022 යුගය. ඔය යුගයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් තවමත් පෙනී සිටින අය දැනටත් වරින් වර දකින්න පුළුවන්. මේ කාලයේ සිදු වූ බදු කප්පාදුව කවුරුත් දන්නා දෙයක්.

සාමාන්‍යයෙන් දක්ෂිණාංශික අදහස් දරන අය අඩු බදු වෙනුවෙන් පෙනී සිටිනවා. වැඩි බදු වෙනුවෙන් පෙනී සිටින්නේ වාමාංශික අදහස් දරන අය. රටේ ආර්ථික වර්ධනය ගැන සැලකිලිමත් වෙනවානම් බදු අඩු වන තරමට හොඳයි. ඒකේ කතා දෙකක් නැහැ. 

නමුත් රජයක් බදු අඩු කළ යුත්තේ පළමුව වියදම් සීමා කිරීමෙන් පසුවයි. වියදම් සීමා නොකර බදු අඩු කරද්දී ඒ අඩුව පුරවා ගන්න වෙන්නේ වැඩිපුර ණය ගැනීම මගිනුයි. 2020-2022 කාලය තුළ වුනේ ඕකයි.

වියදම් සීමා නොකර බදු අඩු කළ විට ඒ අඩුව පුරවා ගන්න වැඩියෙන් ණය ගන්න වෙනවා. වැඩියෙන් ණය ගන්නනම් වැඩියෙන් ඉතිරි කිරීම් අවශ්‍ය වෙනවා. ඉතිරි කිරීම් වැඩි කරන්න පොලී අනුපාතික ඉහළ දමන්න වෙනවා. නමුත් පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ හැරිය විට එය පෞද්ගලික අංශයේ ණය ගැනීම් වලටත් නිශේධනාත්මක ලෙස බලපානවා. ඒ නිසා, ආයෝජන අඩු වී ආර්ථික වර්ධනය අඩු වෙනවා. 

පොලී අනුපාතික වැඩි වෙන්නේ ඉඩ හරින්නේ නැත්නම්, රජයට ණය විදිහට ලබා ගන්න වෙන්නේ රටේ මිනිස්සු කොහොමටත් ඉතිරි කරන මුදල් වලින් කොටසක්. එවිට වෙන්නේත් පෞද්ගලික අංශයට ලබා ගත හැකි ණය ප්‍රමාණය අඩු වී, ආයෝජන අඩු වී, ආර්ථික වර්ධනය අඩු වෙන එක. 

ඔය දෙකෙන් එකක්වත් නොකර, පෞද්ගලික අංශයේ ණය අවශ්‍ය මට්ටමට වර්ධනය වෙන්න ඉඩ හරින අතරම, රාජ්‍ය අංශයේ ණය වැඩි කරනවා කියන්නේ පුළුල් මුදල් සැපයුමේ වර්ධන වේගය වැඩි වෙනවා කියන එක. ප්‍රස්ථාරයේ 2020-2022 කාලය දෙස බැලුවොත් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. මේ විදිහට පුළුල් මුදල් සැපයුමේ වර්ධන වේගය ඕනෑවට වඩා වැඩියෙන් ඉහළ යාමේ ප්‍රතිඵලය වන්නේ අවසාන වශයෙන් එම වැඩි වීම උද්ධමනය ලෙස නිරූපණය වීම. ඒ තත්ත්වය අපි ප්‍රායෝගිකවම දැක්කනේ. 

ඊට අමතරව ඔය කාලයේ තවත් දෙයක් වුනා. ඒ තමයි ඔය විදිහට මුදල් සැපයුම ඉහළ යද්දී ඇති වීමට නියමිතව තිබුණු උද්ධමනකාරී බලපෑම විණිමය අනුපාතයේ උදවුවෙන් පාලනය කරන්න උත්සාහ කිරීම. එහි ප්‍රතිඵලයක් විදිහට විදේශ සංචිත හිඳිලා, ණය ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇති වුනා. අන්තිමට ඩොලරයේ පාලනය ගිලිහිලා උද්ධමනයත් ආවා. නමුත් විණිමය අර්බුදයට පාදක හේතුව වුනේ මුදල් සැපයුමේ ඉහළ යාම. එයට හේතු වුනේ රාජ්‍ය ණය ඉහළ යාම. රාජ්‍ය ණය ඉහළ යාමට බදු කප්පාදුව හේතු වුනා.

ඊට පස්සේ 2022-2024 කාලය. මේ කාලය අර්බුදය විසඳන්න උත්සාහ ගත් කාලයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා, බදු වැඩි කරන්න වුනා. පොලී අනුපාතිකත් වැඩි කරන්න වුනා. ඒ මගින්, මධ්‍යම රජය විසින් බැංකු අංශයෙන් ණය ගැනීම නවතා ගන්න හැකි වුනා. මේ තත්ත්වය තවමත් ඒ විදිහටම තිබෙනවා.

ඒ වෙද්දී පැවති තත්ත්වය අනුව රාජ්‍ය අංශයේ ණය වර්ධනය පාලනය කිරීම මගින් පමණක් මුදල් සැපයුම ප්‍රමාණවත් තරම් සීමා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. උද්ධමනය පෙර නොවූ විරූ මට්ටමකට ඉහළ ගිහිල්ලයි තිබුණේ. කොහොම වුනත්, ඉහළ දැමූ බදු සහ ඉහළ පොලී අනුපාතික නිසා පෞද්ගලික අංශයේ ණය වර්ධනය නැවතුනා පමණක් නෙමෙයි යම් තරමකින් අඩු වුනා. අවසාන වශයෙන් අවධමනයක් ඇති වන මට්ටමටම මුදල් සැපයුම සීමා වුනා.  

උද්ධමනය සාර්ථකව පාලනය කිරීමෙන් පසුව මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරන්න පටන් ගත්තා. එසේ කරද්දී රාජ්‍ය අංශයේ කාලයක් තිස්සේ පැවති ප්‍රශ්නය විසඳිලා තිබුණු නිසා, රාජ්‍ය අංශයට බැංකු පද්ධතියෙන් තව තවත් ණය අවශ්‍ය වුනේ නැහැ. ඒ නිසා, මුදල් සැපයුමේ වැඩි වීමට තනිකරම වගේ දායක වුනේ පෞද්ගලික අංශය. මෙය 2024දීම ආරම්භ වූ දෙයක් වුවත්, ලොකුවටම සිදු වුනේ 2025 වර්ෂය තුළයි.

පසුගිය 2025 වසර තුළ, වාණිජ බැංකු වල දේශීය ශාඛා වලින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,560.2 සිට රුපියල් බිලියන 9,630.4 දක්වා 27.4%කින් වර්ධනය වී තිබෙනවා. රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවන ඉතාම විශාල මුදල් ප්‍රමාණයක්. ඩොලර් වලට හැරෙවුවොත් ඩොලර් බිලියන 7.5ක් පමණ. නමුත් ඩොලර් සැපයුම වැඩි වෙලා තියෙන්නේ බිලියන 2.5ක් වගේ ගණනකින්. 

රටේ මුදල් සැපයුම වැඩි වූ පමණින් ඒ තරමට විදේශ විණිමය ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. ආර්ථික වර්ධනය නිසා දේශීය නිෂ්පාදනයත් ඉහළ යනවා. ඩොලර් බිලියන 100ක ආර්ථිකයක් 5%කින් වර්ධනය වුනොත්, එතැන ඩොලර් බිලියන 5ක පමණ අතිරික්ත නිෂ්පාදිතයක් තිබෙනවා. නමුත් එයින් කොටසක් අපනයන ලෙස රටෙන් එළියට යන නිසා, ආනයන ඉල්ලුමේ ඉහළ යාමක් වෙනවා. ඒ එක්ක ඩොලර් ඉල්ලුමත් ඉහළ යනවා. 

මේ විදිහට මුදල් සැපයුම ඉහළ යාම නිසා විදේශ විණිමය ඉල්ලුම ඉහළ ගියත්, මහ බැංකුව මැදිහත් වී විදේශ විණිමය සැපයුම පාලනය කරන නිසා, ආනයන ඕනෑවට වඩා වැඩි වෙලා නැහැ. නමුත් ආනයන ඉල්ලුම තිබෙන නිසා ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙනවා. මෙය පාලනය කරන්නනම් එක්කෝ ඩොලරයක මිල වැඩි වෙන්න ඉඩ අරින්න වෙනවා. එවිට මිල වැඩි නිසා ආනයන ඉල්ලුම සීමා වෙනවා. එහෙම නැත්නම් මුදල් සැපයුම පාලනය කරන්න වෙනවා. දැනට මහ බැංකුව විසින් කරන්නේ පළමුවැන්න.

ආර්ථික අර්බුදයට පෙර කාලය තුළනම් මුදල් සැපයුම පාලනය කිරීම සඳහා කළ යුතුව තිබුනේ රාජ්‍ය අංශයේ ණය වර්ධනය පාලනය කරන එක. නමුත් දැන් ඒ ප්‍රශ්නය නැහැ, මුදල් සැපයුම වර්ධනය වෙන්න තනිකරම මෙන් හේතු වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය. ඒ නිසා, මුදල් සැපයුමේ වර්ධනය සීමා කිරීම සඳහා මහ බැංකුව විසින් කළ යුත්තේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය පාලනය කරන එකයි.

මහ බැංකුව විසින් තවමත් මේ වැඩේ නොකරන්නේ ඇයි?

මෙයට සරල හේතුව මහ බැංකුවට රජය විසින් ලබා දී තිබෙන 5% උද්ධමන ඉලක්කය. උද්ධමනය තවමත් තිබෙන්නේ ඊට වඩා බෙහෙවින්ම අඩු මට්ටමක නිසා, මහ බැංකුව විසින් මුදල් සැපයුම වැඩි වෙන්න ඉඩ හරිමින් උද්ධමනය "හදමින්" සිටිනවා. මහ බැංකුවට තව කොපමණ කාලයක් මේ වැඩේ කරන්න පුළුවන් වෙයිද?

මුදල් සැපයුම වැඩි වුනත් ඊට අනුරූපව නිෂ්පාදනය වැඩි වන තුරු උද්ධමනය ප්‍රශ්නයක් වන්නේ නැහැ. ලංකාවේ ආර්ථිකයේ ප්‍රමාණය තවමත් තිබෙන්නේ 2018 පැවති මට්ටමට වඩා පහළින්. ආර්ථිකය වර්ධනය වෙනවා කියා කිවුවත් ඇත්තටම වෙන්නේ කලින් හිටපු මට්ටම දක්වා පැමිණෙමින් සිටීම. එය ආර්ථිකයේ විභවය වර්ධනය වීමක් නෙමෙයි.

ආර්ථිකයේ නිෂ්පාදන ධාරීතාව තියෙද්දී ඉල්ලුම අඩු වීම නිසා නිෂ්පාදනය සීමා වී ඇති තත්ත්වයක් යටතේ මුදල් සැපයුම වැඩි කිරීම මගින් ඉල්ලුම උත්තේජනය කර සැපයුම වැඩි කරන්න පුළුවන්. දැනට ඒ වැඩේ වෙනවා. නමුත් මේ වැඩේ දිගටම කරන්න බැහැ. ආර්ථිකය 2018 මට්ටමට ආවට පස්සේ, මුදල් සැපයුම වැඩි වූ පමණින් ආර්ථිකය තව දුරටත් ප්‍රසාරණය වෙන්නේ නැහැ. ඒ නිසා, මුදල් සැපයුමේ වැඩි වීම උද්ධමනය බවට පත් වෙනවා. ඒ එක්කම විණිමය අනුපාතය මත පීඩනයද ඉහළ යන්න පටන් ගන්නවා. 

මගේ අදහස මේ වෙද්දී මුදල් සැපයුම සහ දේශීය ඉල්ලුම ඒ මට්ටම කිට්ටුවට ඇවිත් කියන එකයි. ප්‍රස්ථාරයේ පෞද්ගලික ණය වර්ධනය ආර්ථික අර්බුදයට පෙර වර්ධනය වූ වේගයෙන් දිගටම වර්ධනය වුනානම් වර්ධනය විය යුතු මට්ටම දක්වාම මේ වෙද්දී වර්ධනය වෙලා ඉවරයි. ඒ කියන්නේ පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමා කරන එක ගැන මහ බැංකුව දැන් සිටම හිතුවේ නැත්නම් පසුව එය ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබෙනවා. 

පසුගිය අවුරුද්ද ඇතුළත පුළුල් මුදල් සැපයුම 11.5%කින් වර්ධනය වී තිබෙනවා. ආර්ථික වර්ධනය 5% ලෙස සැලකුවොත්, 5%ක උද්ධමනයක් තියාගන්න 10%ක වර්ධනයක් ප්‍රමාණවත්. 11.5% ඊට වඩා වැඩි වර්ධනයක්. ඒ වගේම, පෞද්ගලික අංශයේ ණය 27.4%කින් වර්ධනය වෙද්දී පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 11.5%කට සීමා වී තිබීමත් රජය සහ මහ බැංකුව විසින් අවධානය යොමු කළ යුතු කරුණක්. රාජ්‍යමූල්‍ය කළමනාකරණය තුළ දිගටම දැනට පවතින තත්ත්වය තියාගන්න පුලුවන්නම්, පෞද්ගලික අංශයේ ණය ප්‍රමාණවත් තරමින් වර්ධනය වීම සඳහා 5%ක උද්ධමන ඉලක්කයක් අවශ්‍යවන්නේ නැහැ. එම ඉලක්කය 4% දක්වාවත් අඩු කළ යුතුයි කියලා මම යෝජනා කරන්නේ ඒ නිසා. එහෙම අඩු කළා කියලා ආර්ථික වර්ධනයට හානියක් වෙන්නේ නැහැ.

ඊළඟ ප්‍රශ්නය පුළුල් මුදල් සැපයුම 11.5%කින් වර්ධනය වෙද්දී උද්ධමනය 2.1% මට්ටමේ තිබුණේ කොහොමද කියන එක. මෙහිදී මතක තබාගත යුතු කරුණ වන්නේ 2.1% කියන්නේ පාරිභෝගික භාණ්ඩ හා අදාළ උද්ධමනය කියන එක. මුදල් සැපයුම වැඩි වෙද්දී පාරිභෝගික භාණ්ඩ සඳහා වන ඉල්ලුම වගේම ආයෝජන ඉල්ලුමද ඉහළ යනවා. කොළඹ කොටස් මිල දර්ශකය දිහා බැලුවොත් පසුගිය වසර තුළ 41.9%ක පමණ වැඩි වීමක් පේන්න තිබෙනවා. මේ විදිහට පේන්න තියෙන්නේ වැඩි වුනු මුදල් සැපයුමේ බලපෑම.

අවසාන ආණ්ඩු මාරුවෙන් පසුවද බදු අඩු කිරීමක් සිදු වුනා. එයින් රාජ්‍ය අයවැයට සිදු වූ බලපෑම ඒ තරම් විශාල නැතත්, අදාළ ආදායම් කාණ්ඩයට පෞද්ගලිකව එහි සැලකිය යුතු ඉතිරියක් තිබෙනවා. ආනයන ඉල්ලුම එන්නේත් බොහෝ දුරට මේ පිරිසගෙන්. ඒ වගේම, එම කාණ්ඩය තුළ ඉන්නේ ආර්ථික අර්බුද සමය තුළ වුවද, මූලික අවශ්‍යතා සීමා කරන්න සිදු වූ පිරිසක් නෙමෙයි.

මුදල් සැපයුම ඉහළ යාම, පොලී අනුපාතික අඩු වීම සහ බදු අඩු වීම හේතුවෙන් රටේ මධ්‍යම පාන්තිකයින්, විශේෂයෙන්ම ඉහළ මධ්‍යම පාන්තිකයින් අතේ මුදල් සංසරණය ඉහළ ගොස් තිබෙනවා. නමුත් ඊට සාපේක්ෂව පහළ මධ්‍යම පාන්තිකයින් සහ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් වල ලොකු වැඩි වීමක් පසුගිය වසර තුළ සිදු වී නැහැ. 

ඉහත පළමු කාණ්ඩය කොහොමටත් මූලික අවශ්‍යතා සීමා කළ පිරිසක් නොවන නිසා ඔවුන්ගේ අතට වැඩිපුර මුදල් ආවා කියලා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම ඉහළ යන්නේ නැහැ. අනෙක් අතට පහළ ස්ථර වල ආදායම් ලොකුවට වැඩි වෙලා නැහැ. ඒ නිසා පාරිභෝගික මිල දර්ශක මගින් මනින උද්ධමනය සීමා වෙලා තිබෙනවා. ආර්ථිකයට එකතු කළ අමතර මුදල් කොටස් වෙළඳපොළ වැනි තැන් වලට යනවා. 

මේ තත්ත්වය බටහිර රටවල දක්ෂිණාංශික ආණ්ඩු බලයේ ඉන්න විට තත්ත්වයට තරමක් සමානයි. බටහිර රටවල දක්ෂිණාංශික ආණ්ඩු සාමාන්‍යයෙන් කරන්නේ සුබසාධන වියදම් සීමා කරලා, ආදායම් බදු සීමා කරලා, සමාගම් වලට වැඩියෙන් මුදල් ගලා යන්න ඉඩ සලස්වන එක. එහිදී පාරිභෝගික භාණ්ඩ ඉල්ලුම ඉහළ නොයන නිසා උද්ධමනයක් පෙනෙන්නේ නැහැ. ඒ වෙනුවට කොටස් මිල ගණන් ඉහළ යනවා. 2008 ආර්ථික අර්බුදයෙන් පසුව ඇමරිකාව විශාල වශයෙන් මුදල් සැපයුම වැඩි කළත් උද්ධමනය ප්‍රශ්නයක් නොවුනේ ඒ නිසා.

කෝවිට් වලින් පසුව ඇමරිකාවේ වුනේ මෙහි අනෙක් පැත්ත. ඒ අවස්ථාවේදී බයිඩන් ආණ්ඩුව විසින් සෘජුව අඩු ආදායම්ලාභීන්ට හා පහළ මධ්‍යම පාන්තිකයින්ට මුදල් දුන්නා. ඒ අය ඒ මුදල් වියදම් කළා. පාරිභෝගික භාණ්ඩ වල ඉල්ලුම ඉහළ ගිහින් මිල වැඩි වෙලා උද්ධමනය ඉහළ ගියා. ලංකාවේ වත්මන් ආණ්ඩුව දැනට කටයුතු කරන විදිහ අනුව දිත්වා ආධාර නිසා වුනත් ඒ වගේ බලපෑමක් ඇති වෙයි කියා හිතන්න අමාරුයි. පහළ ස්ථර වලට ලොකුවට දිත්වා ආධාර ගලායාමක් පෙනෙන්න නැහැ.

මේ දක්වා ප්‍රවණතා දෙස බැලුවොත් කොටස් වෙළඳපොළට අරමුදල් ගලා එන එක හොඳයි. නමුත් කොටස් වෙළඳපොල අයෝජන කියන්නේ මූල්‍ය ආයෝජන මිසක් මූර්ත ආයෝජන නොවන නිසා ඒ ආයෝජන වලින් අනිවාර්යයෙන්ම ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ IPO හරහා කෙළින්ම සමාගම් වලට යන සල්ලි වලින් පමණයි. ඒ නිසා, මේ කොටස් වෙළඳපොළ වර්ධනය ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. මිල වැඩි වෙන්නේ සමපේක්ෂණ ඉල්ලුම නිසා. සමපේක්ෂණ ඉල්ලුම දිගටම පවතින්නේ නැහැ.

ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයකට පසුව ගොඩ යමින් සිටින නිසා සමාගම් වල අපේක්ෂිත අනාගත ලාභ ඉහළ යාමක් තිබෙනවා වගේම කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ යාම තුළින් එය නිරූපණය වීමක් සිදු වෙනවා. ඒ සීමාව දක්වා මේ වර්ධනය හොඳයි. නමුත් එතැනින් එහාට ගියොත් වෙන්නේ බුබුලක් හැදෙන එක. බුබුළු කඩා වැටෙනවා. තවම එවැනි තත්ත්වයක් ඇති වී නැතත් මුදල් සැපයුම පාලනය කළේ නැත්නම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.

මුදල් සැපයුම වර්ධනය වෙන්න ඉඩ හැරීම මගින් ඉදිරි වසර පහක කාලය ඇතුළත රටේ ආර්ථිකය තිරසාර ලෙස තවත් අමතර 10%කින් පමණවත් ප්‍රසාරණය කර ගැනීම සඳහා තිබුණු අවස්ථාවක් මේ ආණ්ඩුව විසින් නැති කරගත්තා. කරපු පළමු හා ප්‍රධානම වැරැද්ද ඉඩම් වෙළඳපොළ නිදහස් කිරීම හා අදාළ ප්‍රතිසංස්කරණ ආපසු හැරවීම. ඒ ගැනනම් කණගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ තඹුත්තේගම මානසිකත්වය කියලා. දෙවන හානිය මෑතකදී සම්මත කරගත් ගෙවල් කුලී පණත. ඒ පනතේ සමහර කොටස්නම් සාධනීයයි. නමුත් ආයෝජකයින්ගේ පැත්තෙන් බලද්දී හානිය වඩා වැඩියි.

මේ වෙද්දී කොටස් වෙළඳපොලට අවශෝෂණය කර ගත හැකි මුදල් ප්‍රමාණය සංතෘප්ත මට්ටම දක්වා පැමිණෙමින් තිබෙනවා. ඉඩම් හා නිවාස වෙළඳපොළ මීට වඩා නිදහස්ව තිබුණානම් තවත් ලොකු පිම්මක් පනින්න තිබුණත්, එය අවහිර වී තිබෙන නිසා ඉතා ඉක්මණින්ම මුදල් ප්‍රතිපත්ති වලින් පමණක් ආර්ථිකය ප්‍රසාරණය කළ හැකි උපරිම සීමාව වෙත ආර්ථිකය ලඟා වෙනවා.

මේ සංතෘප්ත තත්ත්වය ඇති වන තුරු, බොහෝ විට 2026 අවුරුද්ද තුළද, මුදල් ප්‍රතිපත්ති වල උදවුවෙන් ආර්ථික වර්ධනය හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන් වෙයි. නමුත් මෙය කළ හැක්කේ ආර්ථිකය නැවත 2018 මට්ටම දක්වා පැමිණෙන තුරු පමණයි. ඒ සීමාවේදී මුදල් සැපයුම තව දුරටත් වර්ධනය වීම වලක්වා ගැනීම සඳහා මහ බැංකුවට ආර්ථික වර්ධනය අමතක කර නැවතත් මුදල් ප්‍රතිපත්ති දැඩි කරන්න සිදු වෙයි. එවැන්නක් නොකර ඩොලරයක මිල ඉහළ යාම පාලනය කළ හැකි වන්නේ නැහැ.

1 comment:

  1. ඉකොනොමැට්ටා මේකේ දීර්ඝ වශයෙන් බොහෝ වැරදි කතා ගණනාවක් පටලවා විකාරයක් ලියලා තියෙන බවත් ඉතාමත් කණගාටුවෙන් වුවත් ඉකොනොමැට්ටා ආර්ථික විද්‍යාව විශේෂයෙන් ප්‍රායෝගික තත්ත්වය ගැන මෙලෝ හසරක් දන්නේ නැති කෙනෙක් බව ඉතාමත්ම පැහැදිලිව පේනවා කියලා කියන්න වෙනවා

    කෙටියෙන් කියනවනම් ඉකොනොමැට්ටා මේකේ කියනවා "පෞද්ගලික අංශයේ ණය... සැලකිය යුතු කොටසක් නිෂ්පාදනය වැඩි කිරීමට උදවු වී තිබෙන නිසා උද්ධමනකාරී බලපෑම අඩුයි" කියලා. මේක සම්පූර්ණයෙන්ම වැරදියි, ඇත්ත කතාව බැලූ බැල්මට ඒක න්‍යායාත්මකව තරමක් හරි වගේ පෙනුනත්, 2015-2019 කාලයේ ලංකාවේ වුනේ ඕක නෙවෙයි. ඒ කාලයේ පෞද්ගලික අංශය ගත්ත ණයවලින් සියයට අනූවකටත් වඩා වැඩි කොටසක් වැය කළේ "නිෂ්පාදනයට" නෙවෙයි "පරිභෝජනයට".උදාහරණයක් විදිහට, ඒ කාලයේ "වාහන ලීසිං" සහ "පාරිභෝගික ණය" (Consumption Loans) විශාල ලෙස ඉහළ ගියා. මිනිස්සු කෝටි ගණන් ණය අරන් වාහන ගෙන්වද්දී, රටේ ඩොලර් අධික ලෙස එළියට ගියා. ඒකෙන් රුපියල තව තවත් බාල්දු වුනා. රුපියල බාල්දු වෙනවා කියන්නේ බඩු මිල වැඩි වෙනවා කියන එකයි (Cost-push inflation).
    ඒ නිසා "පෞද්ගලික අංශය ණය ගත්තම උද්ධමනය හැදෙන්නේ නෑ" කියන එක අඩුම තරමේ ලංකාවට අදාළවවත් සම්පූර්ණයෙන්ම  වැරදියි. පෞද්ගලික අංශය ආනයන දිරිගන්වන දේවල් වලට ණය ගැනීම ආර්ථිකයට බරපතලම විදිහට අහිතකරයි.

    අනෙක මේකේ කියනවා "දක්ෂිණාංශික අය අඩු බදු වෙනුවෙන් පෙනී සිටිනවා... වාමාංශික අය වැඩි බදු වෙනුවෙන් පෙනී සිටිනවා" කියලා. ඇත්තටම මේක පාසල් ළමයින්ට උගන්වන සරල නිර්වචනයක් වුනාට, නවීන ආර්ථික විද්‍යාවේදී මේක ඔය තරම් සරල නෑ.ලෝකයේ දියුණුම ආර්ථිකයන් තියෙන ස්කැන්ඩිනේවියානු රටවල් (නෝර්වේ, ස්වීඩනය වගේ) බොහොමයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී (වාමාංශික නැඹුරු) රටවල් වුනාට, ඔවුන්ගේ ආර්ථික වර්ධනය ඉතා ඉහළයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය වගේ ධපවාදී රටවල් පවා වෙලාවකට අධික ලෙස බදු වැඩි කරනවා.
    වැදගත් වෙන්නේ "බදු අඩුද වැඩිද" කියන එක නෙවෙයි, "එකතු කරන බදු මුදල් වලින් රජය කරන්නේ මොකක්ද?" කියන එකයි. රජය ඒ මුදල් රටේ යටිතල පහසුකම් වර්ධනය කර ගැනීම, වරාය හා මහාමාර්ග ගුවන් තොටුපල අධිවේගී මාර්ග වගේම මානව සම්පත් සංවර්ධනය සඳහා ආර්ථික වර්ධනය අරමුණු කරගෙන ඒ වෙනුවෙන් සැලසුම් සහගතව රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සහ ඒ හා සම්බන්ධ යටිතල පහසුකම් වලට යොදවනවා නම් ඉහළ බදු තිබුණත් ආර්ථිකය දියුණු වෙනවා. මේ කතාවේ ඒ පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා තියෙනවා.

    රාජ්‍ය ණය සහ පෞද්ගලික ණය අතර සම්බන්ධය (Crowding Out Effect) ගැනත් මේ සටහනේ තියෙන තව තර්කයක් තමයි "රජය ණය ගත්තම පෞද්ගලික අංශයට ගන්න ණය ඉතුරු වෙන්නේ නෑ (Crowding Out)" කියන එක. ඒත් ඇත්ත කතාව මේක සාමාන්‍ය තත්ත්වයන් යටතේ ඇත්තවන. නමුත් ගෝලීය වසංගත තත්ත්වය සමගින් 2020-2022 වගේ බරපතල ආර්ථික අර්බුද කාලයකදී පෞද්ගලික අංශය කොහොමත් ආයෝජනය කරන්න බයයි (Business Confidence is low).ඒ වගේ වෙලාවට පෞද්ගලික අංශය ණය ගන්නේ නැති නිසා, රජය මැදිහත් වෙලා ආර්ථිකය දුවවන්න ඕන කියලා ආර්ථික මතවාදයක් (Keynesian Economics) තියෙනවා. මේකේ කියන විදිහට රජය වියදම් කපලා හිර කළා නම්, ඒ වෙලාවේ මිනිස්සුන්ට කන්න නැති වෙලා මීට වඩා ලොකු සමාජ පිපිරීමක් වෙන්න තිබුණා. ප්‍රශ්නය වුනේ ණය ගත්තු එක නෙවෙයි, ඒ ණය වලට හරියන ආදායමක් (බදු හරහා) රජය සොයා නොගැනීමයි.
    මේකේ තියෙන ලොකුම වැරැද්ද තමයි,"පෞද්ගලික අංශයේ ණය හැමවෙලේම හොඳයි, රජයේ ණය හැමවෙලේම නරකයි" කියලා හිතන එක. ලංකාව වගේ රටක පෞද්ගලික අංශයත් හුඟක් වෙලාවට කරන්නේ ආනයනය කරලා විකුණන එක (Trading). ඒකෙනුත් රටේ ඩොලර් නැති වෙනවා. ඒ නිසා පෞද්ගලික අංශය "සුදු" (Whitewash) කරලා තියෙන එක තමයි මෙතන තියෙන ලොකුම දුර්වලතාවය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: