වෙබ් ලිපිනය:

Thursday, July 25, 2024

ඩොලර් බිලියන සීයක් ණය වුනේ කවුද?


පසුගිය මාර්තු මාසය අවසන් වන විට ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණයේ ඩොලර් වටිනාකම බිලියන 100 ඉක්මවා තිබුණු බව ගොඩක් අය දන්න, ගොඩක් කතාබහට ලක් වුනු දෙයක්නේ. මෙම ණය ප්‍රමාණය වසරේ මුල් මාස තුන ඇතුළත ඩොලර් බිලියන හතරකින් පමණ වැඩි වී තිබුණත් එයට හේතුව ඩොලරයක මිල පහත වැටීම මිසක් අලුතෙන් ණය ගැනීම නොවන බව පෙර ලිපියක පැහැදිලි කළා. 

ඉහත පැහැදිලි කිරීම ගොඩක් අය තේරුම් අරගෙන තිබුණා. මෙය සාමාන්‍ය බුද්ධි මට්ටමක් සහ සරල ගණිත දැනුමක් තිබෙන කෙනෙකුට තේරුම් ගන්න අපහසු දෙයක් නෙමෙයි. අවශ්‍ය වන්නේ උනන්දුව පමණයි. අපේ සටහන් කියවන අය අතර එසේ නොවන අය ඉන්නේ ඉතා අඩු ප්‍රමාණයක්. මේ ලිපිය ලියන්නෙත් එසේ යමක් තේරුම් ගන්න පුළුවන් සහ ඒ සඳහා උනන්දුවක් තිබෙන බහුතර පාඨකයින්ට. වරින් වර විවිධ අය රාජ්‍ය ණය ගැන එක එක විදිහේ කතන්දර ගොතලා ඒවා ජනගත කරන නිසා නැවත නැවත කළ යුතු පැහැදිලි කිරීමකුයි මේ ලිපියේ තියෙන්නේ. 

මේ ඩොලර් බිලියන 100 රාජ්‍ය අංශයේ ණය. එයට රජයේ ණය සහ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ඇතැම් රාජ්‍ය සංස්ථා වල ණයත් ඇතුළත්. කතා කරන්න යන කරුණ හා අදාළව, අපි මේ මහා භාණ්ඩාගාරය ඇප වී ලබා ගෙන තිබෙන ණය කොටස අත හැර රජයේ ණය කොටස ගනිමු. ඒ වගේම, සංසන්දනය කිරීමේ පහසුවට, මාර්තු අවසානයට නොගොස් 2023 වසර අවසානයේ නවතිමු. 

පසුගිය 2023 වසර අවසන් වන විට රජයේ මුළු ණය ප්‍රමාණය රුපියල් වලින් මිලියන 28,695,949ක් හෙවත් ට්‍රිලියන 28.7ක්. වසර අවසානයේදී ඩොලරයක මිල රුපියල් 323.92 ලෙස සැලකූ විට, මෙම ණය ප්‍රමාණය ඩොලර් වලින් මිලියන 88,589.6ක්. මේ තරම් ප්‍රමාණයක් රාජ්‍ය ණය එකතු වුනේ කොහොමද?

රජය ආදායම ඉක්මවා වියදම් කරද්දී අඩුව පුරවන්න ණය ගන්න වෙනවා. මෙය සරල හා පැහැදිලි කරුණක්. 1950 වසර අවසානය දක්වා මේ විදිහට අරගෙන තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක්. එම ණය ප්‍රමාණයට ඉන් පසු වසරෙන් වසර ප්‍රාථමික අයවැය හිඟය එකතු වෙලා තමයි 2023 වසර අවසාන වෙද්දී මේ ණය ප්‍රමාණය රුපියල් මිලියන 28,695,949ක් වෙලා තියෙන්නේ. 

හැබැයි 1950 වසර අවසානයේදී තිබුණු ණය ප්‍රමාණය රුපියල් මිලියන 654ක් පමණයි කියන එකෙන් අදහස් වෙන්නේ ඉතිරි මුළු ණය ප්‍රමාණයම ඉන් පසුව රජය විසින් ණයට අරගෙන වියදම් කළා කියන එක නෙමෙයි. ගත්ත ණයක් ආපසු ගෙවන තාක් කල් ඒ ණය වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට 1950 වසර අවසානය වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් මිලියන 499,779ක ණයක් වී තිබෙනවා. මෙය 764 ගුණයකින් වැඩි වීමක්.

මෙයින් අදහස් වෙන්නේ 1950 වන විට ගෙවන්න තිබුණු ණය තවම ගෙවලා නැහැ කියන එක නෙමෙයි. තාක්ෂණිකව බැලුවොත් ඒ ණය ගෙවලා සෑහෙන කාලයක් වෙනවා ඇති. නමුත් ඒ විදිහට ණය ගෙවලා තියෙන්නේ රජය විසින් ආදායමෙන් කොටසක් ඉතිරි කරලා නෙමෙයි. වෙනත් ණයක් අරගෙන. එතකොට සෛද්ධාන්තිකව බැලුවොත් වෙලා තියෙන්නේ අර පරණ ණයේ ස්වරූපය මාරුවීමක් පමණයි.

අලුතෙන් ණයක් අරගෙන පරණ ණයක් ගෙවද්දී ණයට ගත්ත මුදලට අමතරව පොලියත් ගෙවන්න වෙනවා. ඒ නිසා, පරණ ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් අලුතෙන් ණයට ගන්න වෙනවා. ණය ගෙවන්න තියෙන්නේ ඩොලර් වලින්නම්, ඩොලරයක මිල ඉහළ යද්දී අලුතෙන් ඩොලර් මිල දී ගන්න වැඩි රුපියල් ප්‍රමාණයක් අවශ්‍ය වන නිසා, ඒ හේතුවෙනුත් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය ඉහළ යනවා. මේ ආදී හේතු නිසා ලංකාවේ සංඛ්‍යාලේඛණ වලට අනුව, ණය අලුත් කරද්දී සාමාන්‍ය වශයෙන් වසරකට 10%කින් පමණ ණය ප්‍රමාණය ඉහළ යනවා. 1950වන විට අරගෙන තිබුණු රුපියල් මිලියන 654ක ණය ප්‍රමාණය 2023 වසර අවසානය වන විට රුපියල් 499,779ක ණයක් වී තිබෙන්නේ ඔය ක්‍රමයටයි. 

තිබෙන ණය ප්‍රමාණය ඔය වදිහට වර්ධනය වනවාට අමතරව, ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා හැම අවුරුද්දකදීම ඔය ණය මල්ලට තවත් යම් මුදලක් එකතු වෙනවා. ඉන් පසු, ඒ කොටසක් දිගින් දිගටම අර 10%ක පමණ වූ සාමාන්‍ය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ලංකාවේ ප්‍රාථමික අයවැය හිඟයක් තිබී නැත්තේ 1950 වසරින් පසුව වසර හයකදී පමණයි. 

කිසියම් වසරකදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්න පුලුවන්ම්, ඒ ප්‍රමාණය කොයි තරම් කුඩා වුනත්, සුළු ණය ප්‍රමාණයක් හෝ ආපසු ගෙවන්න පුළුවන්. එහෙම කළා කියලා බොහෝ විට ඒ අවුරුද්ද තුළ මුළු ණය ප්‍රමාණයේ අඩු වීමක් වෙන්නේ නැහැ. මොකද පරණ ණය වර්ධනය වීම නිසා ණය ප්‍රමාණයේ සිදුවන ඉහළ යාම ඊට වඩා ගොඩක් වැඩියි. 

හැබැයි මේ විදිහට සුළු හෝ ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමේ වාසිය දිගුකාලීන එකක්. මොකද ඒ ණය ප්‍රමාණය ආපසු නොගෙවුවානම් වසරක් ගානේ 10%ක පමණ වේගයකින් වර්ධනය වෙලා විශාල ණයක් බවට පත් වෙනවා. සුළුවෙන් හෝ ආපසු ගෙවන එකෙන් එය නවතිනවා. ප්‍රමාණවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත්තොත් අවුරුදු හතර පහකින් කොහොම වෙතත්, යම් කාලයකට පසුව ණය අඩුවෙන්නට පටන් අරගෙන තවත් කාලයකට පස්සේ ණය ගෙවී අවසන් වෙනවා. 

මේ අනුව, 2023 වසර අවසානයේදී මුළු රාජ්‍ය ණය ප්‍රමාණය කියා කියන්නේ ඊට පෙර වසර වල රජයේ ප්‍රාථමික අයවැය ශේෂ වල ඒ වන විට වටිනාකම් වල එකතුව. ප්‍රාථමික අයවැය හිඟ වලින් ප්‍රාථමික අයවැය අතිරික්ත ටික අඩුවෙලා තමයි ඔය ණය ප්‍රමාණය හැදිලා තියෙන්නේ. 

පහත තිබෙන්නේ ණය ලබාගත් කාල වකවානු අනුව, 2023 අවසර අවසානයේදී ඩොලර් වලින් මිලියන 88,589.6ක් වූ ණය ප්‍රමාණය එකතු වූ ආකාරය. මතක තියාගන්න ඩොලර් වලින් ගණන් පෙන්නුවත් මේ සියල්ල ඩොලර් ණය හෝ විදේශ ණය නෙමෙයි. වැඩි ප්‍රමාණය රුපියල් ණය. අවශ්‍යනම් ඩොලරය රුපියල් 323.92 බැගින් රුපියල් ගණන ගණනය කරගන්න පුළුවන්.

1950 දක්වා - ඩොලර් මිලියන 1,542,9

1951-1955 - ඩොලර් මිලියන 549.4

1956-1960 - ඩොලර් මිලියන 1,938.5

1961-1964 - ඩොලර් මිලියන 2,175.1

1965-1969 - ඩොලර් මිලියන 2,928.8

1970-1976 - ඩොලර් මිලියන 4,819.0

1977-1988 - ඩොලර් මිලියන 27,239.6

1988-1993 - ඩොලර් මිලියන 3,960.2

1994-2001 - ඩොලර් මිලියන 10,860.0

2002-2004 - ඩොලර් මිලියන 1,838.2

2005-2014 - ඩොලර් මිලියන 14,100.9

2015-2019 - ඩොලර් මිලියන 5,833.6

2020-2022 - ඩොලර් මිලියන 11,538.5

2023 - ඩොලර් මිලියන (-535.1)

එකතුව - ඩොලර් මිලියන 88,589.6

එක් වර්ෂය තුළ ප්‍රාථමික අයවැය ශේෂය ණය ප්‍රමාණයට දායක වූ ආකාරය ප්‍රස්ථාරයේ දැකිය හැකියි. ආදායමට වඩා අඩුවෙන් වියදම් කර සුළුවෙන් හෝ ණය ගෙවා තියෙන්නේ 1954, 1955, 1992, 2017, 2018 හා 2023 වසර වලදී පමණයි. 

මේ විදිහට ආදායම ඉක්මවා වියදම් කරමින් ණය ගොඩ ගැසුවේ රටේ ආණ්ඩු මිසක් සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. හැබැයි ඒ ආණ්ඩු බලයට පත් කර ගත්තේ සාමාන්‍ය මිනිස්සු. ඒ විදිහට තමන් විසින් බලයට පත් කර ගත් ආණ්ඩු විසින් ටිකක් හෝ ණය ගෙවද්දී මිනිස්සු ප්‍රතිචාර දැක්වූයේ කොහොමද?

- 1954 හා 1955 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනිද්දී බලයේ හිටියේ ඩඩ්ලි සේනානායකගේ එජාප ආණ්ඩුව. 1956 මැතිවරණයේදී රටේ මිනිස්සු එජාපය ආසන අටට බැස්සුවා. බලයට පත් වූ ආණ්ඩුව වගේම ඉන් පසුව දිගින් දිගටම බලයට පත් වූ ආණ්ඩු ගණනාවක්ම කවදාවත් ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා කළේ නැහැ. හැම වසරකදීම කළේ ආදායම ඉක්මවා වියදම් කරන එක.

- ඊට පස්සේ සුළු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ 1992 වසරේදී. ඒ වෙද්දී බලයේ සිටියේත් එජාප ආණ්ඩුවක්. අවුරුදු 17ක් එක දිගට බලයේ සිටි එජාපය 1993දී පරාද වුනා. 1994 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂිකාව වැඩි ඡන්ද ලබාගත්තේ ලංකාවෙන් එකම එක මැතිවරණ ආසනයක පමණයි. මහියංගණය හැර අනෙක් හැම තැනකදීම එජාපය පරාද වුනා. ඊට පස්සේ තවත් අවුරුදු ගණනාවක් යන තුරු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනේ නැහැ.

- ඊටත් පස්සේ, මෑතකාලීනව, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වුනා. මේක කියවන හැමෝගෙම වගේ මතකයේ තිබෙන අතීතයක්. ඒ වෙද්දී බලයේ සිටි එජාපයට ඊට පස්සේ 2020දී පැවති මැතිවරණයේදී ලැබුණේ ජාතික මට්ටමෙන් ලැබුණු මන්ත්‍රී ධුරයක් පමණයි. 

ආණ්ඩු ණය වීම ගැන විවේචනාත්මක කතා කරන "සාමාන්‍ය මිනිස්සු" ආණ්ඩුවක් ණය බරින් ටිකක් හෝ නිදහස් වෙන්න උත්සාහ කරද්දී ප්‍රතිචාර දැක්වූයේ ඔය විදිහටයි.

හැබැයි ලොකුම ප්‍රාථමික අයවැය හිඟයන් පවත්වා ගනිමින් ලොකුවටම ණය ගොඩ ගැසූ 1977-1988 කාලයේදී මෙන්ම 2005-2014 කාලයේදීත් ඒ ආණ්ඩු අනෙක් බොහෝ ආණ්ඩු වලට වඩා ජනප්‍රියව පැවතුණා. අනෙක් ආණ්ඩු වල වගේම ඒ ආණ්ඩු වලත් ජනප්‍රියත්වය අවසානයේදී පිරිහී ගිය එක වෙනම කතාවක්. 2020දී පත් කරගත්ත ආණ්ඩුවේ වුනත් ජනප්‍රියතාවය ගිලිහුණේ ඇදගන්න බැරි තරමටම ආර්ථිකය කඩා වැටුනට පස්සෙයි. නැත්නම් කවුරුවත් ණය ගැන වද වෙන්නේ නැහැ. එහෙමනම්, ඔය ණය ගැනිල්ලට වග කිව යුත්තේ ආණ්ඩු විතරයිද? ඩොලර් බිලියන සීයක් ණය වුනේ ආණ්ඩු කරපු අයමද?

වැඩියෙන් ණය වී වැඩියෙන් වියදම් කරන ආණ්ඩු අදාළ කාල වකවානු වලදී ජනප්‍රිය වෙන්න හේතුවක් තිබෙනවා. ඊට හේතුව ආර්ථික වර්ධනය ඉහළ යාම හා පරිභෝජනය ඉහළ යාම. 1977-1988 හා 2005-2014 වකවානු වලදී මේ තත්ත්වය දැකිය හැකි වුනා. රටක් ආර්ථික වර්ධනය ඉලක්ක කරන එක කිසිසේත්ම නරක නැති, කළ යුතු දෙයක්. නමුත් ප්‍රශ්නය ආර්ථික ස්ථාවරත්වය පරදුවට තබමින් ලබා ගන්නා වර්ධනය තිරසාර එකක් නොවීමයි. 

මේ විදිහේ රාජ්‍යමූලික වර්ධනයකදී රජය විසින් කරන වියදම් වලට අනුරූපව රටේ ජනතාවගේ ආදායම් ඉහළ යන නමුත් ඒ ආදායම් බදු හරහා රජයේ ආදායම් බවට පත් වුනේ නැත්නම් රාජ්‍ය අංශය අර්බුදයකට යනවා. ලංකාව වගේ රටක ගොඩක් වෙලාවට ඒ අර්බුදය විදේශ අංශයේ අර්බුදයක් විදිහට එළියට එනවා. 

දැන් නැවතත් 2023 වසරේදී ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. ඒ වගේම, 2024 පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව, එම මාස හතර තුළද සැලකිය යුතු ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය යහපත් තත්ත්වයක් වුනත් ඔය විදිහට අවුරුද්දක් දෙකක් පමණක් ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගත් පමණින් රට ගොඩ යන්නේ නැහැ. මේ තත්ත්වය දිගටම පැවතිය යුතුයි.

පසුගිය වසරේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් වාර්තා වී තිබුණත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%ක් පමණයි. රටේ ආර්ථිකය නැවතත් අර්බුදයකට තල්ලු නොකර තිරසාරව පවත්වා ගන්නනම් මේ අගය අවම වශයෙන් 2.3% මට්ටමට අරගෙන ඒ මට්ටමේ හෝ ඉහළින් තියා ගත යුතුයි. එහෙම කළොත් රට නැවත ආර්ථික අර්බුදයකට යන එක වගේම ලංකාවට නැවත වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන එකත් වලක්වා ගන්න පුළුවන්. හැබැයි ඔය ඉලක්කය අත ඇරුණොත්නම් මොනවා වෙයිද කියා කියන්න අමාරුයි.

මේක නිශ්චිත අපේක්ෂයෙක්ට සහයෝගය දෙන්න කියලා කරන ඉල්ලීමක් නෙමෙයි. ඒවා පෞද්ගලික තීරණනේ. ඔබ කැමති අපේක්ෂකයා කවුරු වුනත්, දේශපාලන පක්ෂය කුමක් වුවත්, දැන් තියෙන ඔය සමතුලිතතාවය නැති කර ගත්තොත්, ආපහු වැටෙන්නේ හිටපු තැනටත් වඩා නරක තැනකටයි. එහෙම වෙන එක වලක්වා ගන්න අවශ්‍යනම් තමන්ගේ අපේක්ෂකයාව, තමන් සහයෝගය දෙන පක්ෂය, අවශ්‍ය තැනට තල්ලු කර ගන්නම වෙනවා. ඒ වැඩේ නොකර, මෙතෙක් කළා වගේ ආණ්ඩු වලට වරදින කොට විවේචනය කරන්න පමණක් බලා හිටියොත් වටයක් කැරකිලා නැවත හිටපු තැනමයි.

(වත්පොතෙන් කියවන වැඩි උනන්දුවක් දක්වන අයට 1950 වර්ෂයේ සිට එක් එක් වර්ෂයේ ප්‍රාථමික අයවැය ශේෂය, 2023 වන විට එය ගුණනය වී ඇති ගුණන සාධකය හා ඒ අනුව රුපියල් වලින් හා ඩොලර් වලින් වත්මන් අගය අඩංගු වගුවක් වියුණුව වෙත ගොස් බලා ගත හැකියි. මෙම අගයන්හි එකතුව රජයේ මුළු ණය ප්‍රමාණයට සමානයි.)

4 comments:

  1. තමුන් ජනා පිනාට ආවඩන්න මේ පඳුරු තැලුවට වට කැති දැම්මට තව දවස් 58 කින් ජනා පිනා කුල්ල කුජීත වෙලා හොම්බෙන් ගිහිං ගෙදර. දැන් දුකද? 😂😂😂

    ReplyDelete
  2. ඔන්න ජනාධිපතිවරණයට ගැසට් එක නිකුත් කරලා රනිලාත් ඇප තියලා නේද? ඔය කිව්වට තියනකම් ෂුවර් නෑ ලෝක හොරෙක් නේ රනිලා කියන්නේ...! ඔය ඉලක්කම් අංක හරඹ වලින් සත පහක වැඩක් නෑ ලංකාවේ මිනිස්සුන්ට, බහුතර ජනතාව හිතාගෙන ඉන්නේ රනිල් වික්‍රමසිංහ රජය රට විකුණන බදු ගහන රාජ්‍ය දේපල කෝටි ප්‍රකෝටි ගණන්වලින් හොරා කන ගජමිතුරු ධනපති පන්තියට බදු සහන ලබාදී ඇති අපත පාලනයක් බවයි. මේකට උත්තර ලෙස ජනතාව හිතන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා හරි සජිත් ප්‍රේමදාස මහතාට හරි බලය ලබාදීමයි.

    අනුර සහෝදරයා රටේ ජාතික ධනය ඇතුලු රටපුරා හොරකම් සියල්ල නවතා හොරකමට සම්බන්ධ ඔවුන් සියලුම දෙනාට දැඩි දඬුවම් ලබා දී හොරාකෑ ජාතික ධනය සියල්ල ඉතාම ඉක්මනින්ම නැවතත් ලංකා රජයට අත්පත් කරගෙන ඒ මුදලින් බදු සියල්ල කපා හැර රට පුරාම නිෂ්පාදන කර්මාන්ත ශාලා ආරම්භ කර තරුණ තරුණියන්ට සහ සියලුම රැකියා විරහිත අයට ලිපිකරු ඇතූලු රැකියා රාශියක්ම ලබාදීම, රට ඉතාම ඉක්මනින්ම දියුණු සංවර්ධිත රටක් බවට පත් කිරීමට නියමිතයි.

    සජිත් ප්‍රේමදාස මහතාගේ සැලැස්ම අනුව හොරකම නවත්වා බදු අඩුකර රටටම සහන ලබාදීම, විදේශීය දානපතියන්ට ව්‍යක්ත ඉංග්‍රීසි බසින් කතාකර ඔවුන්ගේ ආධාර මත රටේ සෑම පවුලකට රු. 50,000ක් වටිනා බඩු මල්ලක් සෑම මසකට වරක් ලබාදීම, පාසල් සිසුන්ට අභ්‍යාස පොත් පෑන් පැන්සල් නිලඇඳුම් සපත්තු ඇතුලු සියලුම දේ නොමිලේ ලබා දීම, කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ඇතුලු අත්‍යවශ්‍ය සියලු දේ ලබාදීම හරහා රටම ඉතාම ඉක්මනින්ම සුඛිත මුදිත කිරීම නිසැකව සිදු කරන බව පැහැදිලිවම ප්‍රකාශ කරන නිසාත් මම මගේ පළමු මනාපය අනුර කුමාර දිසානායක සහෝදරයාට සහ දෙවන මනාපය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව ඉතාම සතුටින් දැනුම් දෙමි.

    ReplyDelete
  3. මේක නම් වටෙන් කඩේ යාමක්

    ReplyDelete
  4. අවුල සහෝ ඔය තත්වය කොහොමහරි උදාකරගන්න එකද
    නැත්නම් ඒක නිවැරැදි ක්‍රමයට ලගා කර ගන්න එකද.රනිල් කරන්නේ සාමාන්‍ය මිනිසූන්ගේ රීරී මාංශය හූරන් කන එකනේ.බදු අය කර ගන්න අර ඉංදියාවේ වගේ UPI ක්‍රමය ක්‍රියාත්මක කලා නම් හරිම සාදාරන වීයට හැමෝගෙන්ම බදු අයවෙලා බදු දෙතුන් ගුණයකින් ඉහල යනවා බදු ආදායම.ඒවා කරන්න කැමති නෑ.

    අර සුරාබදු හොරුන්ගෙන් බදු අය කර ගන්න කියලා කීවා.බැංකු පොලු කාරයින්ගෙන් බදු අය කර ගන්නේ නෑ.මේ හොද සල්ලි කාරයෝ

    අර ඩොලර් බිලියන 2.7 ක විතර වීසා වංචාව සිද්ද වෙලා තියෙන්නේ ජනාදිපතිවරයාගේ මැදිහත්වීම මත.පොඩි සල්ලියක්ද.

    තව ඕනතරම් ඔයාට කියන්නම්.එතුමා මේක පොඩ්ඩක් අල්ලන් ඉන්නවා.අද තෙල් පෝලිම් ගෑස් පෝලිම් නෑ.නමුත් පොදු අහිංසක මහ ජනතාව පිලිබද කිසිම සහකම්ප්නයක් නෑ සහ හොරු පිරිසක් ආරක්ශා කරනවා සහ ඔවුන්ට අසාදාරන වරප්‍රසාද

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: