වෙබ් ලිපිනය:

Monday, December 26, 2022

රුපියලේ පාලනය ඉන්දියාවට යයිද?


මේ වන විට අඩු වශයෙන් ශ්‍රී ලාංකික බැංකු පහක් විසින් ඉන්දියානු රුපියල් වලින් සෘජුව ගනුදෙනු කිරීමට පහසුකම් සලස්වමින් ඉන්දීය සංචිත බැංකුවේ අධීක්ෂණයට හා නියාමනයට යටත් වන ඉන්දියානු රුපියල් ගිණුම් (වොස්ට්‍රෝ ගිණුම්) විවෘත කර තිබෙනවා. ඉතා ඉක්මණින් තවත් බැංකු ගණනාවක් විසින්ද මෙම පියවර ගනු ඇතැයි අනුමාන කළ හැකියි. 

ඉන්දියානු රුපියල කලාපය තුළ ජනප්‍රිය කිරීමේ හා ඉන්දියානු අපනයන ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලංකාව ඇතුළු විදේශ රටවල වාණිජ බැංකු වලට ඉන්දියාව තුළ වොස්ට්‍රෝ ගිණුම් ආරම්භ කිරීමට ඉඩ දීමට පසුගිය ජූලි මාසයේදී ඉන්දීය සංචිත බැංකුව තීරණය කළා. ශ්‍රී ලාංකික වාණිජ බැංකු පහක ඉන්දියානු රුපියල් ගිණුම් ඉන්දීය සංචිත බැංකුව විසින් මේ වන විටද අනුමත කර තිබෙනවා.

මේ අනුව, මහජන බැංකුව විසින් ඉන්දීය රාජ්‍ය බැංකුවේ (State Bank of India) ඉන්දියානු රුපියල් ගිණුමක් විවෘත ඇති අතර සෙලාන් බැංකුව, NDB බැංකුව සහ තවත් බැංකුවක් ඉන්දියානු බැංකුවේ (Indian Bank) ගිණුම් විවෘත කර තිබෙනවා. ලංකා බැංකුව මේ කාර්යය සඳහා එහි චෙන්නායි ශාඛාව හරහා වොස්ට්‍රෝ ගිණුමක් විවෘත කර තිබෙනවා.

ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියානු රුපියල දකුණු ආසියානු කලාපය මෙන්ම මැදපෙරදිග පවා ජනප්‍රියව තිබුණු ප්‍රබල මුදල් ඒකකයක්. එය ලංකාව ඇතුළු රටවල් ගණනාවක සංචිත මුදල් ඒකකයක් ලෙසද භාවිතා වුනා. 

මුලින්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව මෙන් කොටස් හිමියන්ගේ බැංකුවක් වූ ඉන්දීය සංචිත බැංකුව 1949දී රජයට පවරා ගැනීමෙන් පසුව ඉන්දියානු රුපියලේ පරිහානි කාලය ඇරඹුනා. නිදහසින් පසුව ලංකාව මෙන්ම ජාතික සමාජවාදී ආර්ථික ප්‍රතිපත්ති වැළඳ ගනිමින්, සුබසාධන වියදම් නඩත්තු කිරීම සඳහා දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී ඉන්දියාවටද ලංකාවට මෙන් දිගින් දිගටම ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්නට වුනා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවුවෙන් මේ අර්බුද වලින් ගොඩ ගියත් ආර්ථිකයේ වූ ආකෘතිමය ප්‍රශ්න එලෙසම පැවති නිසා ඉන්දියාවටද නැවත නැවත අරමුදලේ උදවු සොයා යන්න සිදු වුනා. 

ඉන්දියාව දරුණුම ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දුන් 1991දී ඉන්දියාවට ණය ලබා ගත හැකි වූයේ රටේ තිබුණු රන් සංචිත ගුවන් මගින් ප්‍රවාහනය කර ඇපකරයක් ලෙස එංගලන්ත බැංකුවේ තැන්පත් කිරීමෙන් පසුවයි. ඒ වන විට ඉන්දියාවේ විදේශ ණය ප්‍රමාණය රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය මෙන් 15 ගුණයක් පමණ දක්වා ඉහළ ගොස් තිබුණා. වෙනත් විදිහකින් කිවුවොත්, රටේ නිල සංචිත ප්‍රමාණය රටේ විදේශ ණය ප්‍රමාණයෙන් 6%-7% මට්ටම දක්වා පහත වැටී තිබුණා.

කෙසේ වුවත්, මේ දරුණු ගෙවුම් ශේෂ අර්බුදයෙන් පසුව ඉන්දියාව පාඩමක් ඉගෙන ගත්තා. පෙර වැරදි නැවත නැවත කළේ නැහැ. රට ක්‍රමක්‍රමයෙන් විවෘත වුණා. ජාතික සමාජවාදී ප්‍රතිපත්ති වෙනුවට වෙළඳපොළ ප්‍රතිපත්ති ආදේශ වුනා. ඉන්දියානු රුපියල ටිකෙන් ටික ශක්තිමත් වුනා. ඉන්දීය සංචිත බැංකුව විසින් එංගලන්ත බැංකුවේ ණය ගෙවා තමන්ගේ රන් සංචිත බේරාගෙන නැවත රටට ගෙනාවා. ඉන්දියාවේ විදේශ සංචිත රටේ විදේශ ණය ප්‍රමාණය ඉක්මවා ගියා. දැන් ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක්.

ඉන්දියානු රුපියල නැවතත් ශක්තිමත් මුදල් ඒකකයක් වී තිබුණත් රටේ මහ බැංකුව රජය සතු කරන්නට පෙර මුදල් ඒකකය සතු වූ කීර්තිය නැවත හිමි කර ගැනීමට තවමත් ඉන්දියානු රුපියල සමත් වී නැහැ. දැන් ඉන්දියාවේ ඉලක්කය ඒ නැති වූ පිළිගැනීම නැවතත් තමන්ගේ මුදල් ඒකකයට ලබා දීමයි. 

ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා ලංකාව පොළඹවා ගැනීමේ උත්සාහය සාර්ථක ලෙස ක්‍රියාවට නැගෙන්නේ මේ පසුබිම තුළ වුවත් ඒ සඳහා ලංකාව යොමු වීමට තවත් ප්‍රබල සාධකයක්ද හේතු වී තිබෙනවා. ඒ, වසර 47ක් තිස්සේ ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනු සිදු වූ ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තුළින් ශ්‍රී ලංකාව මේ වන විට ඉවත් වී සිටීමයි.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය යනු 1975 සිට ඉන්දියාව හා ලංකාව ඇතුළු කලාපයේ රටවල් ගණනාවක මහ බැංකු අතර ඇති සම්මුතියක්. මෙම සම්මුතිය අනුව, සාමාජික රටවල් අතර ගනුදෙනු සිදු වෙද්දී ක්ෂණිකව රටවල් අතර මුදල් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය ක්‍රියාත්මක තිබියදී ශ්‍රී ලාංකිකයෙකු විසින් ඉන්දියාවට මුදලක් යැවීමේදී (උදාහරණයක් ලෙස කිසියම් ආනයනයක් වෙනුවෙන්) මුලින්ම තමන්ගේ බැංකුවට ගොස් රුපියල් ගෙවා ඩොලර් මිල දී ගත යුතුයි. ඉන්දියානුවාට ඔහුගේ බැංකුවෙන් එම ඩොලර් ප්‍රමාණයට සමාන ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් වහාම ලැබෙනවා. 

මේ ගනුදෙනු දෙකෙන් එකකදීවත් මුදල් නෝට්ටු භාවිතා කිරීමට අවශ්‍ය නැහැ. ලංකාවේ බැංකුවට තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුමෙන් අදාළ මුදල අඩු කර ගත හැකියි. මේ අයුරින්ම ඉන්දියානු බැංකුව විසින් කරන්නේත් තමන්ගේ පාරිභෝගිකයාගේ ගිණුම් ශේෂයට අදාළ මුදල එකතු කරන එකයි.

එහෙත්, ලංකාවේ වාණිජ බැංකුව විසින් ඉන්දියාවේ අදාළ වාණිජ බැංකුවට ඩොලර් යැවීමක් සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට ලංකාවේ වාණිජ බැංකුව විසින් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ ඩොලර් ප්‍රමාණයේ වටිනාකමට සමාන රුපියල් ප්‍රමාණයක් ලබා දීමයි. රුපියල් ලබා දෙනවා කිවුවත් මෙහිදී සිදු වන්නේ මහ බැංකුවේ තිබෙන අදාළ බැංකුවේ ගිණුම් ශේෂය අඩුවීමයි.

අනෙක් පැත්තෙන්, ඉන්දියාවේ මහ බැංකුව විසින් අදාළ ඉන්දියානු බැංකුවට මෙම ඉන්දියානු රුපියල් ප්‍රමාණය ලබා දෙනවා. එය කරන්නේත් එම බැංකුව සතු ගිණුමේ ශේෂය වැඩි කිරීම මගින්. 

ඉන්දියාවෙන් ලංකාවට සල්ලි එවද්දී වෙන්නේත් මෙයමයි. මෙහිදී රටවල් දෙක අතර මුදල් ගලා යාමක් සිදු වෙන්නේ නැහැ. ඉන්දියාවේ හා ලංකාවේ මහ බැංකු අන්‍යෝන්‍ය විශ්වාසය මත එකම ඒකකයක් ලෙස කටයුතු කරනවා. මේ යාන්ත්‍රනයට සම්බන්ධ වී සිටින කලාපීය රටවල් සියල්ලේම මහ බැංකු අතර මේ අන්‍යෝන්‍ය විශ්වාසය පවත්වා ගැනෙනවා. ඒ නිසා, ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුවත්, ඇත්තටම ඩොලර් හුවමාරුවක් සිදු වන්නේ නැහැ.

කෙසේ වුවත්, යම් අවස්ථාවක ඩොලර් හුවමාරුවක් සිදු විය යුතුයි. මෙය සිදු වන්නේ මාස දෙකකට වරක්. මාස දෙක කාලයක් තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙක් රටවල් වෙනුවෙන් ලංකාවේ වාණිජ බැංකු වලට ගෙවා ඇති මුදල සහ අනෙක් රටවල් වෙනුවෙන් එකතු කරගෙන ඇති මුදල ගණනය කිරීමෙන් පසු අමතර මුදලක් ගෙවිය යුතුනම් එම මුදල මාස දෙකකට වරක් පියවිය යුතුයි. ඒ සඳහා දින හතරක කාලයක් ලැබෙනවා. 

මෙහිදී ඇමරිකන් ඩොලර් මෙන්ම ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවද සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම අනෙකුත් රටවල මහ බැංකුද මේ සඳහා ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුවේ ගිණුම් පවත්වා ගෙන යනවා. ලංකාව ඉන්දියාවට මුදලක් ගෙවිය යුතුනම් ෆෙඩරල් සංචිත බැංකුවේ ඇති ලංකාවේ ගිණුමෙන් අදාළ මුදල අඩු වී ඉන්දියාවේ ගිණුමට එකතු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනය තිබීමේ වාසිය වන්නේ ගනුදෙනු සිදු වන්නේ ඩොලර් වලින් වුනත් ඒ සඳහා ඇත්තටම ඩොලර් අවශ්‍ය වන්නේ මාස දෙකකට වරක් සිදුවන මේ ගනුදෙනු පියවීමේදී පමණක් වීමයි. මෙවැනි යාන්ත්‍රණයක් නොතිබෙන්නට ලංකාව හා ඉන්දියාව අතර ගනුදෙනුවක් සිදුවන වාරයක් පාසා එයට ඇමරිකාවද සම්බන්ධ කර ගැනීමට සිදු වෙනවා. 

ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ පියවීම් සඳහා මුලින් යොදාගත්තේ ඇමරිකන් ඩොලර් පමණක් වුවත් පසුව මේ සඳහා යුරෝ මුදල් ඒකකයද, ඉතා මෑතකදී යෙන් මුදල් ඒකකයද අනුමත කෙරුණා. එහෙත්, එහිදී සිදු වන්නේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව වෙනුවට ජපාන බැංකුව වැනි තවත් බාහිර විකල්පයක් ලැබීම පමණයි.

පසුගිය වසර අවසානයේදී ලංකාවේ සංචිත හිඳී යාම නිසා ශ්‍රී ලංකා මහ බැංකුවට ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයේ එකඟතාව පරිදි ඉන්දියාවට මුදල් පියැවීමට නොහැකි වුනා. ඉන්දියාව කිහිප වරක්ම මේ සඳහා නැවත නැවත කල් දුන්නා. ජූනි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දියාවට ගෙවිය යුතු වූ හිඟ මුදල ඩොලර් බිලියන 1.9 දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව මෙම මුදලෙන් කොටසක් හෝ පියෙවුවාද නැත්නම් හිඟ මුදල තවත් ඉහළ ගොස් ඇත්ද යන්න පැහැදිලි නැහැ. කෙසේ වුවත්, ඔක්තෝබර් මැදදී ශ්‍රී ලංකාව ඒකපාර්ශ්විකව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වුනා.

ශ්‍රී ලංකා මහ බැංකුව ආසියානු නිශ්කාෂණ යාන්ත්‍රනයෙන් ඉවත් වීමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දශක ගණනක් තිස්සේ ගණුදෙනු පියැවුණු යාන්ත්‍රනය අක්‍රිය වී තිබෙනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලාංකික බැංකු වලට ඉන්දියාව සමඟ සෘජුව ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීමට ඉඩකඩ සලසා තියෙන්නේ මෙම පසුබිම තුළයි.

අලුත් යාන්ත්‍රනය තුළ ලංකාවෙන් ඉන්දියාවට සල්ලි යද්දී ලංකාවෙන් එකතු කර ගන්නා රුපියල් ප්‍රමාණයට අනුරූප ඉන්දියානු රුපියල් ප්‍රමාණයක් ඉන්දියාවේදී ලැබෙන්නේ එම මුදල අදාළ වොස්ට්‍රෝ ගිණුමේ ශේෂයෙන් අඩු කර ගැනීම මගින්. මේ සඳහා ශ්‍රී ලාංකික බැංකු වලට තමන්ගේ ඉන්දියාවේ වොස්ට්‍රෝ ගිණුම් තුළ ප්‍රමාණවත් ශේෂයක් (සංචිත) පවත්වා ගන්න වෙනවා. එම මුදල් ඉන්දියාවේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කළ හැකියි.

ඉතා පැහැදිලිවම ඉන්දියාව මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ ඉන්දියාවේ ජාතික අභිලාශ මත ඔවුන්ගේ පැත්තෙන් බලලා. නමුත්, මේ වැඩෙන් ලංකාවට හානියක් වන බවක් මෙයින් අදහස් වන්නේ නැහැ.

පළමුව, මේ වැඩෙන් ශ්‍රී ලංකා රුපියල් වෙනුවට ඉන්දියානු රුපියල් ආදේශ වෙන්නේ නැහැ. ඉන්දියානු රුපියල් ආදේශ වන්නේ ඩොලර්, යුරෝ හෝ යෙන් වැනි වෙනත් මුදල් ඒකක වෙනුවටයි. මෙය ඉන්දියාව හා ලංකාව අතර වෙළඳ ශේෂය කෙරෙහි බලපාන්නේ කොහොමද?

දැනටමත් ඉන්දියාව සහ ලංකාව අතර විශාල වෙළඳ හිඟයක් තිබෙනවා. ඒ නිසා, ලංකාවේ බැංකුවක් ඉන්දියාවේ පවත්වා ගෙන යන ඉන්දියානු රුපියල් ගිණුමකින් සල්ලි යන තරමට එම ගිණුම් වලට සල්ලි එන්නේ නැහැ. මේ අඩුව පුරවන්නට ලංකාවේ බැංකු වලට ඔවුන් කොහෙන් හෝ හොයා ගන්නා ඩොලර් ඉන්දියානු රුපියල් කර ඉන්දියාවේ තැන්පත් කරන්න සිදු වෙනවා. 

වාණිජ බැංකු වලට එන විදේශ විණිමය ඉන්දියාවේ ගිණුම් වල එකතු වෙනවානම් එය නරක දෙයක්ම නෙමෙයි. මොන විදිහකින් හෝ වෙන්නේ රටේ විදේශ සංචිත ඉහළ යන එකයි. ඒවා නිල සංචිත නොවෙන්න පුළුවන්. නමුත් මේ ඩොලර් රටට ඇවිත් මහ බැංකුවට විකිණීමෙන් පසුව ඉතිහාසය තුළ සිදු වී තිබෙන දෙය අපි දන්නවනේ. එහෙම බලද්දී ඉන්දියාවේ ඒ සල්ලි එකතු වෙන එක ලංකාවේ ජාතික අභිලාශ අනුව වුනත් වඩා සුරක්ෂිතයි. 

තවමත් අවසන් එකඟත්වයක් ඇති වී නැතත් ඉන්දියාව මේ වන විට ඉන්දියානු රුපියල් වලින් ගනුදෙනු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද සාකච්ඡා කරමින් සිටිනවා. එම සාකච්ඡා වල ප්‍රගතිය මත ඇතැම් විට මැද පෙරදිග සිට ලංකාවට එන ඩොලර් වලින් කොටසක් ඉන්දියන් රුපියල් වී ඉන්දියාවේ රැඳෙන්න පුළුවන්. එහෙම වුනොත්නම් මුලින් කියපු වාසිය නැතුව යනවා. 

මේ වැඩෙන් ලංකාවට එන විදේශ විණිමය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව හා ඉන්දියාව අතර යම් තරඟයක් ඇති වෙනවා. මම හිතන්නේ මේ තරඟය හොඳ එකක් කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවට රුපියලේ අගය තියා ගන්න අවශ්‍යනම් සංචිත එකතු කරගෙන රුපියල ශක්තිමත් කරන්නම වෙනවා. සංචිත එකතු කරගන්නනම් විදේශ විණිමය වෙනුවෙන් නියම මිල ගෙවන්නම වෙනවා. නැත්නම් ඒ සංචිත ඉන්දියාවට යන එක වලක්වන්න බැරි වෙනවා. සමස්තයක් ලෙස ශ්‍රී ලාංකිකයින්ට මෙයින් වෙන්නේ වාසියක්. ඇත්තටම කියනවානම් මේ වැඩෙන් දිගුකාලීනව වෙන්නේ ඉන්දියානු රුපියලේ ශක්තියත් අරගෙන ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වෙනවා වගේ දෙයක්. එහෙම නැතුව ශ්‍රී ලංකා රුපියල අතු ගෑවිලා යන්නේ නැහැ. (වෙන හේතු නිසා එහෙම වෙන්න පුළුවන්.)

ශ්‍රී ලංකා රුපියල කියන එක ඓතිහාසිකව හැදී තිබෙන්නේම ඉන්දියානු රුපියලේ ශක්තියෙන්. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටෙවුවට පස්සේ ඒ සම්බන්ධය කැඩිලා රුපියල අයාලේ ගියා. අනෙක් අතට ඉන්දියානු රුපියලේත් හුළං බැහැලා ශක්තියක් නැති මුදල් ඒකකයක් වුනා. නමුත් දැන් නැවතත් ඉන්දියානු රුපියල එහි පරණ ඓශ්චර්යය කරා හෙමින් හෙමින් ගමනක් අරඹා තිබෙනවා. ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලේ ගැට ගහන එක මේ වෙලාවේ හැටියට වගේම දිගුකාලීනව වුනත් නරක අදහසක් නෙමෙයි.

8 comments:

  1. ඉකොනෝ කියන දෙය පැහැදිලි මදි. මේ කියන්නේ අපිට ලංකා රුපියල් දීලා ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන් කියලද?

    ReplyDelete
    Replies
    1. ආනයන කරන අය කොහොමත් දැනටත් ගෙවන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්නේ. එහි වෙනසක් වෙන්නේ නැහැ. වෙනස වෙන්නේ එතැනින් ඔබ්බට බැංකු පද්ධතිය ඇතුළේ. දැන් වෙන්නේ ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වෙලා ඉන් පසු ඩොලර් ඉන්දියානු රුපියල් වෙන එක. මේ ක්‍රමයට ශ්‍රී ලංකා රුපියල් කෙළින්ම ඉන්දියානු රුපියල් වෙනවා.

      Delete
    2. 'මේ ක්‍රමයට ශ්‍රී ලංකා රුපියල් කෙළින්ම ඉන්දියානු රුපියල් වෙනවා. '

      කොපමණ කාලයකින්ද ?

      Delete
    3. ක්ෂණිකව කියා කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ බැංකු විසින් ඉන්දියාවේ බැංකුවක ඉන්දියානු රුපියල් ගිණුම් විවෘත කරන්නේ ඒ සඳහා පහසුකම් සලසන්න.

      Delete
  2. තෝරු මෝරු පොකිරිස්සෝ - අපෙ දුක සැප විමසනවා
    තොරතුරු ගැන කම්පාවී අපේ දැලට ලං වෙනවා?

    ReplyDelete
  3. බුදුන් උපන්නේ ලංකාවෙද ඉන්දියාවෙද හිතලා මොලේ කොලොප්පන් කරගන්න උවමනා නැත. උත්තරය ලැබිමට නියමිතය.

    ReplyDelete
  4. මෙවැනි topic එකක් ගැන ලිපියක් පලකිරීම ගැන බෙහෙවින්ම ඉස්ස්තුති

    ReplyDelete
  5. ඉන්දියාවේ කෝවිල්/දේවාලවල් රත්තරං කිලෝ මිලියන් ගාණක් ඇති.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: