වෙබ් ලිපිනය:

Wednesday, July 16, 2025

ලංකාවේ කළ හැකි මූල්‍ය ආයෝජන


කලින් සටහන ඇමරිකානු සන්දර්භයේ මතු කළ කරුණකට පිළිතුරක්. එහි සඳහන් සංඛ්‍යාලේඛණ ලංකාවට සෘජුව අදාළ කරගන්න බැහැ. මෙය ලංකාවට අදාළ වන ආකාරය ගැන කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණා.

මිනිසුන්ට වත්කම් එකතු කරගැනීමේ අභිප්‍රායයක් ඇති වීමේ සහ මිනිසුන් අතර ගනුදෙනු සිදු කිරීමේ සංස්කෘතියක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් වත්කම් වර්ග මුදල් බවට පත් වෙනවා. මුදල් වලින් තබා ගන්නා වත්කම් මූල්‍ය වත්කම්. යම් පිරිසක් මූල්‍ය වත්කම් එකතු කරගනිද්දී ඊට අනුරූපව මූල්‍ය බැරකම් එකතු කරගන්නා පිරිසක්ද අවශ්‍ය වෙනවා. මේ දෙකම යන්නේ එකට. 

වෙනත් විදිහකින් කිවුවොත්, ගනුදෙනු සංස්කෘතියක ඇතැම් ගනුදෙනු සිදු වෙන්නේ ණයට. ණය සේ ලබා දෙන අරමුදල් ණය දෙන්නාගේ මූල්‍ය වත්කමක් වෙනවා. මේ අරමුදල් ගනුදෙනු සඳහා යොදා ගැනෙද්දී මුදල් මැවීමක්ද සිදු වෙනවා. ඒ සඳහා මහ බැංකුවක් තිබිය යුතු නැහැ. 

කවර හෝ මුදල් මැවීමේ ක්‍රියාවලියක් නිසා මුදල් සැපයුම මුදල් ඉල්ලුමට වඩා වැඩි වුවහොත් අදාළ මුදල් වර්ගයේ වටිනාකම අඩු වෙනවා. එම මුදල් වර්ගය හා අදාළව උද්ධමනයක් ඇති වෙනවා. මුදල් සැපයුම ප්‍රමාණවත් නොවුනොත් මුදලේ වටිනාකම ඉහළ ගොස් අවධමනයක් ඇති වෙනවා. 

මුදලේ වටිනාකම නියාමනය කිරීමටද ඉතිහාසයක් තිබෙනවා. කාලයක් මේ නියාමනය හරහා සිදු වුනේ කිසියම් නිශ්චිත ලෝහ වර්ගයක වටිනාකමට සාපේක්ෂව මුදලේ වටිනාකම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම.

එක්තරා යුගයක බොහොමයක් රටවල් විසින් අනුගමනය කළේ මේ ක්‍රමය. දැන් ප්‍රචලිත ක්‍රමය වන්නේ පොදුවේ සියළුම පරිභෝජන භාණ්ඩ වලට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීම නියතව තබා ගැනීමට උත්සාහ කිරීම. ඒ කියන්නේ උද්ධමනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම.

ඇතැම් අවස්ථා වල ඇතැම් මහ බැංකු මේ වැඩේ හරියට කරන්න සමත් වන්නේ නැහැ. නමුත් එය පැරණි ක්‍රමය තුළද පැවති තත්ත්වයක්. මුදල් ක්‍රමයක් නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොකිරීම මුදල් ක්‍රමයක ප්‍රශ්නයක් නෙමෙයි.

වටිනාකම නියතව තබා ගන්නා ක්‍රමයකට සාපේක්ෂව වටිනාකම වෙනස් වීම නියතව තබා ගන්නා ක්‍රමයකදී මුදලක වටිනාකම කාලයත් සමඟ පහළ යනවා. නමුත් එය සිදු වෙන්නේ කලින් සිතා ගත හැකි ආකාරයකටනම් අනාගතය හා අදාළ තීරණ ගැනීමට මෙය බාධාවක් වන්නේ නැහැ. 

මේ විදිහට මුදලේ වටිනාකම් ක්‍රමිකව පහත වැටෙනවා කියන්නේ කවුරුවත් දුප්පත් වෙනවා කියන එක නෙමෙයි. මුදලක වටිනාකම අඩු වීම ප්‍රශ්නයක් වෙන්නේ මුදල් මුදල් ලෙසම තියා ගත්තොත් පමණයි. 1989-2024 කාලය සැලකුවොත්, මෙම වසර 35ක කාලය තුළ රුපියලක වටිනාකමෙන් 96%කටත් වඩා ක්ෂය වී ගොස් තිබෙනවා. ඒ කියන්නේ 2024 රුපියලක වටිනාකම 1989 රුපියලක වටිනාකමෙන් 4%කටත් වඩා අඩුයි. 1989 රුපියලක 2024 වටිනාකම රුපියල් 25.14ක්. 

කවුරු හෝ කෙනෙක් රුපියල් නෝට්ටු පෝර උරයක දමා හෝ මෙට්ටයක් අස්සේ දමා මේ අවුරුදු 35 තිස්සේ තියාගත්තේනම්, ඒ පුද්ගලයාගේ මුදල් වල වටිනාකමෙන් 96%ක්ම මේ වෙද්දී නැති වෙලා. නමුත් සාමාන්‍යයෙන් එහෙම සල්ලි තියා ගන්නේ කලාතුරකින් අයෙක්. මුදල් ආයෝජනය කිරීම මගින් මුදල් වල වටිනාකම ක්ෂය වීම ඉක්මවන වාසියක් ලබා ගන්න පුළුවන්. මෙසේ මුදල් ආයෝජනය කළ හැකි විකල්ප මොනවාද?

යමෙක් 1989දී මාස-12 භාණ්ඩාගාර බිල්පත් වල රුපියල් 100ක් ආයෝජනය කර ඒ ආයෝජනය වසරින් වසර අලුත් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම කීයද? මෙම මුදල රුපියල් 7,084ක්.

1989 රුපියල් 100ක 2024 වටිනාකම රුපියල් 2,514ක්. ඊට හේතුව උද්ධමනය නිසා රුපියල් වල වටිනාකම වෙනස් වී තිබීමයි. නමුත් භාණ්ඩාගාර බිල්පත් වල එම මුදල ආයෝජනය කිරීම මගින් මේ හානිය ඉක්මවන ලාබයක් ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඒ නිසා, උද්ධමනයක් තිබූ පමණින් කවුරුවත් දුප්පත් වෙන්නේ නැහැ.

මෙම ගණනයේදී 1989 සිට ගණන් හැදුවේ දත්ත තිබෙන්නේ එම වසරේ සිට නිසා. ඒ වෙද්දී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර තිබුණේ නැහැ. මුලින්ම බැඳුම්කර නිකුත් කළේ 1997දී. සාමාන්‍යයෙන් බැඳුම්කර පොලිය බිල්පත් පොලියට වඩා වැඩියි. ඒ නිසා, බැඳුම්කර වල ආයෝජනය කිරීමෙන් මීටත් වඩා ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. 

අනෙක් විකල්පය කොටස් වෙළඳපොළෙහි ආයෝජනය කරන එක. සමස්ත කොටස් මිල දර්ශකයේ වර්ධනය අනුව, 1989දී රුපියල් 100ක් ආයෝජනය කළේනම්, එම මුදල 2024දී රුපියල් 9,018ක් වෙලා. මීට අමතරව වාර්ෂිකව ලාභාංශ ආදායම් ලැබෙන බැවින් සම්පූර්ණ ප්‍රතිලාභය මීට වඩා වැඩියි.

පසුගිය අර්බුද සමයේ ඇතැම් අය රුපියල් ඩොලර් වලට මාරු කළා. ඩොලර් කියන්නෙත් රුපියල් වගේම වටිනාකම අඩු වෙන මුදලක්. නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරයක වටිනාකම දිගින් දිගටම ඉහළ යනවා. 1989දී කවුරු හෝ කෙනෙක් රුපියල් 100ක් ඩොලර් කළේනම්, 2024දී එම ආයෝජනයේ වටිනාකම රුපියල් 731ක් වෙලා. එහෙත් එයින් උද්ධමනය නිසා සිදු වූ හානිය ආවරණය වන්නේ නැහැ.

අපි හිතමු මේ විදිහට ඩොලර් කිරීමෙන් පසුව එම ඩොලර් වලින් රන් මිල දී ගත්තා කියලා. මම දන්නා තරමින් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට මෙහෙම කරන්න පුළුවන්කමක් නැහැ. නමුත් අපි එහෙම හිතමු. ඉන් පසුව 2024දී නැවත රන් ඩොලර් කරලා ඩොලර් රුපියල් කරනවා. එසේ කළේනම්, 1989 රුපියල් 100ක මුදල 2024දී 3,696ක් වෙලා. එයින් උද්ධමනයේ හානිය ආවරණය වෙනවා. නමුත් කොටස් වෙළඳපොළ හෝ රාජ්‍ය සුරැකුම්පත් බැඳුම්කර ආයෝජන තරමට වාසියක් නැහැ. 

රන් වෙළඳපොළ ජාත්‍යන්තර වෙළඳපොළක්. ලංකාවේ රන් නිපදවන්නේ නැහැ. ඒ නිසා, ලංකාවේ රන් මිල නිර්ණය වෙන්නේ ජාත්‍යන්තර මිල සහ ඩොලරයක මිල මත කියා හිතන්න පුළුවන්. ඒ නිසා, ලංකාවේ රන් මිල වැඩි වීමද ඉහත අනුපාතයට සිදු වී ඇතැයි උපකල්පනය කරන්න පුළුවන්. 

නමුත් ලංකාවේ ගොඩක් අය රන් කියලා මිල දී ගන්නේ රන් ආභරණ. ඒවා විකුණන්නේ රන් මිලට වැඩ කුලිය එකතු කරලා. රන් ආභරණයක් උගස් තියද්දී හෝ විකුණද්දී එහි වැඩ කුලිය කොටස ආපසු ලැබෙන්නේ නැහැ. ආපසු ලැබෙන්නේ රන් වටිනාකම පමණයි. ඒ නිසා, පාඩුව මීට වඩා වැඩියි. වැඩ කුලිය ගියාට පස්සේ උද්ධමනයේ පාඩුව වුනත් පියවෙන්නේ නැති විය හැකියි.

ඉහත ආයෝජන වල වාර්ෂික සාමාන්‍ය ප්‍රතිලාභය (ජ්‍යාමිතික සාමාන්‍ය අගය) මෙලෙස සාරාංශගත කළ හැකියි.
1989-2024 සාමාන්‍ය උද්ධමනය - 9.65%
භාණ්ඩාගාර බිල්පත් පොලිය - 12.95%
කොටස් වෙළඳපොළ - 13.73% + ලාභාංශ 
ඩොලර් නෝට්ටු - 7.00%
රත්තරන් - 10.85%

උද්ධමනය සාමාන්‍ය මට්ටමක තියෙද්දී පොලී අනුපාතික තියෙන්නේ ඊට වඩා ඉහළින්. ඉහත සාමාන්‍ය අගයයන් දෙස බැලුවත් බිල්පත් පොලිය සහ උද්ධමනය අතර 3.3%ක පරතරයක් දකින්නට ලැබෙනවා. බැඳුම්කර පොලිය මීටත් වඩා වැඩියි. නමුත් උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විට ඊට අනුරූපව පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ඇත්තටම හානියක් වෙන්නේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගිය විටයි. උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක ඇති විට එවැනි හානියක් වෙන්නේ නැහැ. මහ බැංකුවක වගකීම වන්නේ උද්ධමනය පහළ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමයි.
 
මේ සටහනේ වගේම පෙර සටහනේත් ඇති විශ්ලේෂණ හා එම විශ්ලේෂණ මත පදනම් වූ නිගමන පාදක වෙන්නේ අදාළ ආයෝජන වල අතීත හැසිරීම් මතයි. අතීතයේ සිදු වූ දේ අනාගතයේදීද ඒ අයුරින්ම සිදු වීම අනිවාර්යතාවයක් නෙමෙයි. ඒ නිසාම, මෙම සටහන් කිසිසේත්ම ආයෝජන උපදේශන නෙමෙයි. තමන්ට ගැලපෙන හොඳම ආයෝජන තෝරා ගැනීම තමන් විසින් සිතා බලා කළ යුතු දෙයක්.

1 comment:

  1. ඉකොනොමැට්ටා,

    ලංකාවේ විදුලි වාහන නිෂ්පාදනය කරන කර්මාන්ත ආරම්භ කරන්න එක්සත් ජනපද ආයෝජන ලබාගන්න පුළුවන්ද? අර BYD යුරෝපීය එකලස් කම්හල් තරමට නැතත් ඔය පොඩි වාණිජ වාහන අඩුම තරමේ විදුලි ත්‍රීවීල් හරි හදන්න බැරිද?

    දැන් ලංකාවේ පාරවල් දිහා බැලුවම, හැමතැනම දකින්න ලැබෙන්නේ ලංකාවේ අංක එකේ වාහන සන්නාමය වෙන BYD විදුලි වාහන (EV) සහ හයිබ්‍රිඩ්

    මේක හුදෙක් වාහනයක් විකිණීමක් විතරක් නෙවෙයි, ලංකාවේ මෝටර් රථ වෙළඳපොළේ ඇතිවෙමින් පවතින විශාල පරිවර්තනයක සලකුණක්.
    BYD හි නැගීමට හේතු මොනවාද?

    මට හිතෙන විදියට අහඹු වාසිය සහ වටිනා වාහන අඩු මිල ගණන් වලට දීම, මෑතකදී ජපන් පෙට්රල් වාහනවල මිල ගණන් (ප්‍රිමියෝ, ඇලියොන් වැනි) අසාමාන්‍ය ලෙස ඉහළ යද්දී, JKH (John Keells Holdings) වැනි දැවැන්ත ආයතනයක් ලංකාවට ගෙනා BYD වාහන, අඩු මිලකට සහ නවීන තාක්ෂණයෙන් යුතුව වෙළඳපොළට පිවිසීම පාරිභෝගිකයන්ට විශාල සහනයක් වුණා. "වැල්ලේ බබරේ කැරකුනා වගේ" හැමතැනම BYD පෙනෙන්න පටන් ගත්තේ ඒ නිසයි!

    බීවයිඩී ගෝලීය නායකත්වය 2024 වන විටත් ලෝකයේ වැඩිපුරම අලෙවි වන විදුලි රථ සන්නාමය BYD වීම, ලාංකිකයන් අතර ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය තවත් වැඩි කළා. චීන සන්නාමයක් ගැන තිබූ පරණ මිත්‍යා මත බිඳ දමන්නට මෙය පිටිවහලක් වුණා.

    ලංකාවේ JKH හි විශ්වසනීයත්වය: ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ ව්‍යාපාරයක් වන John Keells හි අනුග්‍රහය, BYD වැනි චීන සන්නාමයකට මෙරට ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට විශාල ශක්තියක් වුණා.

    ජනතා මානසිකත්ව වෙනස: දශකයක් තිස්සේ Nissan Leaf වැනි EV ගැන කතා කළත්, ලංකාවේ "ICE (ඉන්ධන වාහන) මානසිකත්වය" වෙනස් කරන්නට BYD ට හැකි වුණා. ඔවුන්ගේ දිගු පරාසය, Blade බැටරි තාක්ෂණය, ආකර්ශනීය මෝස්තරය සහ දැරිය හැකි මිල නිසා EV යනු අනාගතය පමණක් නොව, වර්තමානය බවට පත්වුණා.

    ලංකා සමාජීය බලපෑම: සෙලිබ්‍රිටිලා සහ සමාජ බලපෑම් කරන්නන් පවා BYD වාහන සමඟ ඡායාරූප පළ කිරීමත් සමඟ, මෙය නවීන ජීවන රටාවේ සංකේතයක් බවට පත් වුණා.

    අතහැරුණු අවස්ථා සහ අනාගත අභියෝග ගැන කියද්දී...විහිළුවක් වගේ වුණත්, මුලින්ම BYD නියෝජිත අයිතිය තිබුණ Laughs සහ DIMO වැනි සමාගම්, "රත්තරන් බිත්තර දාන කිකිළිව අතහැර දැමූ" බවට අද කණගාටු වෙනවා ඇති. විශේෂයෙන් DIMO, Tata සහ BYD අතර තෝරා ගැනීමකදී Tata තෝරා ගැනීමත් සමඟ

    BYD වාහන ලංකාවේ ප්‍රවාහන බලශක්ති ක්ෂේත්‍රයේ විශාල වෙනසක නියෝජිතයා බවට පත් වී තිබෙනවා. 2025 අවසන් වන විට, BYD ලංකාවේ වැඩිපුරම දුවන EV එක බවට පත් වී, Leaf වාහනය පරදවා කිරුළ දිනා ගැනීම ඉතාම පැහැදිලියි. JKH හටත් මේ වසරේ වැඩිම ලාභය ගෙන දෙන ව්‍යාපාර ඒකකය BYD වේවි.

    හැබැයි, මේ ජයග්‍රහණය දිගටම පවත්වා ගන්න නම්, JKH මේ වන විටත් අලෙවියෙන් පසු සේවාවන් (After-Sales Services) ශක්තිමත් කිරීමට සූදානම් විය යුතුයි. බැටරි කළමනාකරණය, අමතර කොටස් සහ පළපුරුදු කාර්මික ශිල්පීන් සිටීම, BYD හි දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි.

    ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ඇති වූ මේ ආකර්ෂණීය වෙනස ගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: