වෙබ් ලිපිනය:

Monday, July 7, 2025

නිල විදේශ සංචිත - 2025 ජූනි


ජූනි මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,080 දක්වා පහත වැටී තිබෙනවා. මේ මෙසේ එක දිගට නිල සංචිත පහත වැටෙන තෙවන මාසයයි. කෙසේ වුවද, මෙම සෑම මාසයකදීම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගෙන ඇති ආකාරයද නිරීක්ෂණය කළ හැකියි. 

පසුගිය ජූනි මාසය තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 112.2ක විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන ඇති අතර ඊට පෙර මැයි මාසයේදීද ඩොලර් මිලියන 256.8ක විදේශ විණිමය ප්‍රමාණයක් මිල දී ගෙන තිබෙනවා. ඒ අනුව, පසුගිය මාස දෙක ඇතුළත මහ බැංකුව විසින් මිල දී ගෙන තිබෙන විදේශ විණිමය ප්‍රමාණය ඩොලර් මිලියන 269ක්. එහෙත් එම මාස දෙක ඇතුළත නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 247කින් පහත වැටී තිබෙනවා. පසුගිය ජූනි මාසයේ පහත වැටීම ඩොලර් මිලියන 206ක්.

මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටියදීද සංචිත පහත වැටෙමින් තිබීමෙන් පෙනෙන්නේ මිල දී ගන්නා මුදලට වඩා වැඩි මුදලක් ණය ආපසු ගෙවීම් වෙනුවෙන් වැය කෙරෙන බවයි. මෙම රටාව වසරේ ඉදිරි මාස හය තුළද නොවෙනස්ව පැවතිය හැකියි.

නිල විදේශ වත්කම් ඇමරිකන් ඩොලර් වලින් ප්‍රකාශයට පත් කළද මෙසේ ඉදිරිපත් කරන්නේ විවිධ වර්ග වල විදේශ වත්කම් වල ඩොලර් වටිනාකමයි. ජූනි මාසය අවසානයේදී ඩොලර් මිලියන 6,080ක් වූ විදේශ වත්කම් වලින් වැඩි කොටසක්, එනම් ඩොලර් මිලියන 6,023ක්, ඩොලර් ඇතුළු විවිධ විදේශ ව්‍යවහාර මුදල් වන අතර ඩොලර් මිලියන 50ක ප්‍රමාණයක් රත්තරන්. ඩොලර් මිලියන 6ක් මූල්‍ය අරමුදලේ ඉතිරිව ඇති සංචිත සහ SDR වත්කම්. 

කෙසේ වුවද, මෙම සංචිත වලට ඇතුළත්ව නැතත්, මේ වන විට මූල්‍ය අරමුදලේ පස් වන වාරිකය ලැබී තිබෙනවා. එම මුදල SDR මිලියන 254ක් වන අතර මේ වන විට පවතින විණිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 350ක පමණ මුදලක්. මෙම අරමුදල් වල උදවුවෙන් ජූලි මාසය තුළ සංචිත නැවත ඉහළ යාමට ඉඩ තිබෙනවා. දැනට පවතින ප්‍රවණතා අනුව මෙම මුදල් ඩොලර් නොකර SDR වශයෙන්ම තබා ගැනීම වඩා වාසිදායක වන්නට පුළුවන්. 

මෙම වසර අවසාන වන විට ඩොලර් මිලියන 7,255ක සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුව ඇති අතර චීනයෙන් ලබා ගත් යුවාන් බිලියන 10ක ණය මුදලද ආපසු ගෙවිය යුතුයි. ඒ අනුව, මූල්‍ය අරමුදලේ වාරිකය ලැබීමෙන් පසුවද, මාස හයක කාලයක් ඇතුළත තවත් ඩොලර් බිලියන 2.3ක පමණ විදේශ විණිමය ප්‍රමාණයක් එකතු කර ගැනීමට සිදු වෙනවා. මෙය තරමක් අභියෝගාත්මක කාර්යයක් වන බැවින් වසරේ දෙවන අර්ධය තුළ විණිමය අනුපාතය මත යම් පීඩනයක් ඇති වීමට ඉඩ තිබෙනවා. 

ඩොලර් මිලියන 7,255ක් යනු මහ බැංකුව විසින් පවත්වා ගත යුතු අවම සංචිත ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක් පමණයි. මෙම ප්‍රමාණය 100% මට්ටමට ගැනීම ඉලක්ක කර තිබෙන්නේ 2027 වසර අවසානයේදීයි. ඒ සඳහා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 12,974 දක්වා ඉහළ යා යුතුයි. 

4 comments:

  1. 'කෙසේ වුවද, මම සංචිත වලට ඇතුළත්ව නැතත්,'

    ඉකොනෝ කොහෙද නිල සංචිත වලට ඇතුළත් වෙන්නේ.

    සත පනහක් වත් වටින මිනිහෙක් ඇයි. මේ බ්ලොග් එකේ කියන ඔක්කොම බොරුනේ

    ReplyDelete
  2. ඉකොනෝමැට්ටා ඇත්තටම ඔයා ඔබේ අත්දැකීම සහ ඒ හරහා ඔබ පෙන්වා දෙන කරුණු ඉතාමත්ම වැදගත්, ප්‍රායෝගික සහ වේදනාකාරී යථාර්ථයක්.

    මම මූල්‍ය හෝ මහබැංකුව ගැන ලොකුවට දන්නේ නෑ හැබැයි මම කටයාතු කරන තොරතුරු තාක්ෂණ (IT) සේවා ක්ෂේත්‍රයට VAT පැනවීම නිසා ශ්‍රී ලංකාවට ඩොලර් උපයා දෙන ව්‍යාපාරවලට සිදුවන සෘජු හා අහිතකර බලපෑම නම් සෑහෙන බරපතලයි. මෙය සමාජ මාධ්‍ය වල ප්‍රබල විවේචනයක් ලෙස ඉදිරිපත් වෙලා තියෙන්නේ.
    "ඩොලර් නැති රටේ ඩොලර් හොයන උන්ට රුපියල් වලින් බදු ගහන විගඩම!" හෙවත් IT සේවාවලට VAT ගැසීමේ මහා විනාශය කියලා

    ලංකාව මේ තරම් ඩොලර් නැතිව ලෝකේ වටේටම හිඟනවා. ආණ්ඩුව හැම තැනින්ම ණය කඩා පාගෙන, බදු බරින් ජනතාව හෙම්බත් කරලා, රටේ ආර්ථිකය ගොඩගන්න හදනවා කියලා බයිලා කියනවා. ඒත් ඇත්තටම වෙන්නේ ඩොලර් හොයන අතළොස්සක් දෙනාගේ බඩටත් මේ ආණ්ඩුව පයින් ගහන එකයි

    මගේ මේ අත්දැකීම කිව්වොත් මේ ආණ්ඩුවේ "ආර්ථික දැක්මේ" තියෙන බරපතල අඩුපාඩුව පැහැදිලිවේවි
    මගේ අත්දැකීම ඩොලර් 2300ක ප්‍රොජෙක්ට් එකක් මගහැරෙන හැටි

    අපිට ඊශ්‍රායලෙන් ආපු ඩොලර් 2300ක වටිනාකමකින් යුත් IT සේවා ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. UI එකේ ඉඳන් හැමදේම ලංකාවේ හැදෙන්නේ. අපි මේකේ Quotation එක යැව්වේ ගිය මාසේ 6 වෙනිදා. අපි Client එක්ක මේක Discuss කර කර ඉන්න මේ දවස් ටිකේ තමයි මේ අලුත් VAT එක ගැහුවේ!

    දැන් බලන්න මේකෙන් වෙන විනාශය:
    VAT පෙර මිල: $2300

    VAT පැනවීමෙන් පසු මිල (උදාහරණ ලෙස, ඔබ දුන් ගණන් අනුව):
    * $1100ක සේවාවකට 18% VAT: $1298
    * $8.88ක සේවාවකට 18% VAT: $10.47
    * $25ක සේවාවකට 18% VAT: $29.5
    සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකේ මිල VAT පෙර: $2300
    VAT පැනවීමෙන් පසු මිල (දළ වශයෙන්): $2714

    වැඩිවීම රුපියල් වලින්: රුපියල් 124,369ක් පමණ!

    මේක AWS වලට, Cloud Services, DB Backup, Zendesk වගේ SaaS (Software as a Service) වලට යන වියදම් නැතුව! ඒවටත් මාසිකව VAT වදිනවා.

    මහපොළොවේ යථාර්ථය: Project එක නැතිවෙන හැටි

    දැන් මම මේ වැඩි වුණු ගාණ ගැන Client ට කියන්න ඕනේ. Client අහනවා "ඇයි ඒ වැඩි කරේ?" කියලා. මට "ආණ්ඩුව බදු ගැහුවා" කියලා ගාණ වැඩි කරන්න පුළුවන්ද? බැහැ

    Client ගේ ප්‍රතිචාරය: "Tax ගහනවා නම් මගේ ගාණ වැඩි කරන්න බෑනේ" කියලා ඕක කෙලින්ම ඉන්දියාවේ එකෙක්ට දෙනවා. ඉන්දියාවේ, පිලිපීනයේ, බංග්ලාදේශයේ ඩොලර් වලින් වැඩ කරන IT සේවකයන්ට මෙහෙම අසාධාරණ බදු නෑ.

    අනාගත ගැටලුව: VAT වදින්න තව මාසයක් තියෙන නිසා මට දැන්ම Service ටික Buy කරලා මේක හදන්න පුළුවන්. හැබැයි VAT වැදුනට පස්සේ මේවායින් ගොඩක් ඒව Monthly ගෙවන්න ඕනේ. එතකොට ගිය මාසේ ගාණට වඩා වැඩි වුණාම ඔන්න Client එනවා යකා ආවේශ වෙලා.

    අනික SaaS: අපි Customer Help Desk, Project Management Tools වගේ සේවාවලට (Zendesk, Jira වගේ) ගෙවන්න ඕනේ. මේ ආණ්ඩුව ඒවටත් Tax ගහනවා! මේවාටත් VAT වැදිලා මිල වැඩි වුණාම කොහොමද තරගකාරී මිලට සේවා දෙන්නේ?
    Project නැතිවෙනවා

    බොහෝ දුරට වෙන්නේ මේ ප්‍රොජෙක්ට් අපිට නැති වෙන එක. මේ මාසේ දාපු ගානට වඩා ලබන මාසේ ඉඳලා 18% ක් දාලා Quotation එක යවන්න එපෑ. මට Client ට ඕක කියන්නත් වෙනවා. එතකොට අලුතෙන් වැඩ ගන්න බෑ.
    ආණ්ඩුවේ මෝඩ ප්‍රතිපත්ති සහ රටට සිදුවන විනාශය
    මොළයක් තියෙනවා නම් හිතන්න එපෑ ඩොලර් නැති රටේ, ඩොලර් හොයන උන්ට රුපියල් වලින් බදු ගැහුවම වෙන්නේ මොකක්ද?

    ඩොලර් ගලා ඒම අඩාල වීම, රටට ඩොලර් ගෙන එන ප්‍රධාන මාර්ගයක් තමයි මේ IT Services. මේ වගේ බදු නිසා Clients ලංකාවෙන් ඈත් වෙනවා. එතකොට රටට එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා.

    තරගකාරීත්වය නැතිවීම, ලංකාවට වඩා අඩු වියදමකින්, බදු බරක් නැතිව මේ සේවා සපයන්න ඉන්දියාව, පිලිපීනය, බංග්ලාදේශය වගේ ඕනතරම් රටවල් ඉන්නවා. අපිට ඒගොල්ලෝ එක්ක තරග කරන්නම බැරි වෙනවා.

    රැකියා අහිමිවීම: මේ ව්‍යාපෘති නැති වුණාම, මේ කර්මාන්තයේ ඉන්න අයට රැකියා අහිමි වෙනවා.

    ආණ්ඩුවේ අසාර්ථකත්වය: රටට තියෙන්නේ රුපියල් නැති අර්බුදයක් නෙවෙයිනේ. ඩොලර් හොයන උන්ගෙන් මිරිකලා රුපියල් ගත්තා කියමුකෝ. ඒත් ඒ ඩොලර් හොයන ප්‍රොජෙක්ට් ටික නැවතුණාම, ඊට පස්සේ ආණ්ඩුව ඩොලර් ගන්නේ කාගෙන්ද? අනුරගේ ඇට දෙක විකුණලද?

    මේක සරල තර්කයක්. රටට අවශ්‍ය ඩොලර් නම්, ඩොලර් හොයන කර්මාන්ත දිරිමත් කළ යුතුයි. ඔවුන්ට පහසුකම් සැලසිය යුතුයි, බදු බර අඩු කළ යුතුයි. ඒ වෙනුවට, ඩොලර් හොයන අයටත් රුපියල් වලින් බදු ගහලා, තියෙන එකත් නැති කරගන්න හදන මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති, රට තව තවත් අගාධයටම තල්ලු කරනවා.

    මේ ගැන ඔබේ අදහස කුමක්ද? මේ විනාශය නතර කරන්න ඕන නේද?

    ReplyDelete
  3. "ඩොලර් මිලියන 7,255ක් යනු මහ බැංකුව විසින් පවත්වා ගත යුතු අවම සංචිත ප්‍රමාණයෙන් 60%ක ප්‍රමාණයක් පමණයි. මෙම ප්‍රමාණය 100% මට්ටමට ගැනීම ඉලක්ක කර තිබෙන්නේ 2027 වසර අවසානයේදීයි. ඒ සඳහා විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 12,974 දක්වා ඉහළ යා යුතුයි."

    Can you elaborate this please?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: