පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ වාර්තාවෙහි සඳහන් කරුණක් ගැන පාඨකයින් කිහිප දෙනෙකු විසින් අදහස් දක්වා තිබුණා. වෙනත් තැන් වලද මේ ගැන කතා වෙනු දැකිය හැකි වුනා. නමුත් ඒ බොහෝ දෙනෙකු විසින් එසේ අදහස් පළ කර තිබුණේ අඩු වශයෙන් අදාළ වාර්තාව හෝ නොකියවා බවයි නිරීක්ෂණය වුනේ.
ක්‍රම සහ විධි කාරක සභාව කියන්නේ කුමක්ද?
කාරක සභා ක්‍රමය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ සුවිශේෂී අංගයක්. පාර්ලිමේන්තුවක් වැනි නියෝජිතයින් සිය ගණනක් සිටින සභාවකට කිසියම් කරුණක් සාකච්ඡා කර තීරණයකට පැමිණීම සඳහා තිබෙන්නේ සීමිත කාලයක් පමණයි. මෙම කාලය තුළ අවශ්‍ය හැම දෙයක්ම ප්‍රමාණවත් තරමින් සාකච්ඡා කරන්න අමාරුයි. මෙයට විසඳුමක් ලෙස කාලය යොදවා අධ්‍යයනය කළ යුතු දේවල් එසේ අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීමේ කාර්යය කාරක සභාවකට පැවරෙනවා. කාරක සභාවක් තෝරාගත් නියෝජිතයින් සීමිත පිරිසකගෙන් සමන්විතයි.
ඇතැම් කාරක සභා ස්ථාවර කාරක සභා. මෙවැනි කාරක සභා වලට පැවරුණු නිශ්චිත කාර්යයන් තිබෙනවා. එම කාර්යයන් සාකච්ඡාවට ගෙන පාර්ලිමේන්තුවට කරුණු හා නිර්දේශ ඉදිරිපත් කිරීම අදාළ ස්ථාවර කාරක සභාවේ කාර්යයක්. සාමාජිකයින් වරින් වර වෙනස් වුනත් මෙවැනි කාරක සභා දිගටම තිබෙනවා. මීට අමතරව වරින් වර විශේෂ කාර්යයන් සඳහා කාරක සභා පත් කෙරෙනවා. ක්‍රම සහ විධි කාරක සභාව එවැනි විශේෂ කාර්යයන් සඳහා ස්ථාපනය කළ කාරක සභාවක්.
ක්‍රම සහ විධි කාරක සභාව පිහිටුවා තිබෙන්නේ රටේ මූල්‍ය කටයුතු අධීක්ෂණය කරන කාරක සභාවක් ලෙසයි. බදු අය කිරීම්, තීරුබදු සහ රජයේ අනෙකුත් ආදායම් වර්ධනය කිරීමේ ක්‍රියාමාර්ග වලට අදාළ සියලු කරුණු පරීක්ෂා කිරීමටත්, අවශ්‍ය අවස්ථා වල බදු සහ තීරුබදු සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්ති වල වෙනස්කම් යෝජනා කිරීමටත් මෙම කාරක සභාවට බලය තිබෙනවා. කෙටියෙන් කිවුවොත් මෙම කාරක සභාව පිහිටුවීමේ අරමුණ රජයේ බදු ආදායම් වැඩි කර ගත හැකි ආකාරය සොයා බලා පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කිරීමටයි.
සාමාන්‍යයෙන් මෙවැනි කාරක සභාවක කාර්යය නිර්දේශ ඉදිරිපත් කිරීමට සීමාවෙනවා. ඒවා නීති හෝ නියෝග නෙමෙයි. එම නිර්දේශ සලකා බලා කළ යුතු දෙයක් ඇත්නම් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යයක්.
ක්‍රම සහ විධි කාරක සභාවේ ඉන්නේ කවුද?
මෙහි සාමාජිකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පත් කර තිබෙනවා. ඔවුන් විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන අයයි. මේ අතරින් අයෙකු වන පාඨලී චම්පික රණවක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරනවා.
ඔය කියන කාරක සභා වාර්තාව කුමක්ද?
මේ කියන්නේ පසුගිය (2024) අප්‍රේල් 1 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ක්‍රම සහ විධි කාරක සභාවේ දෙවන වාර්තාවයි. මෙම වාර්තාවෙහි ආදායම් එකතු කර ගැනීම ගැනත්, වෙනත් කරුණු කිහිපයක් ගැනත් කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
වෙළෙන්දන් "අයුතු" ලාබ ලබන බවක් මේ වාර්තාවේ කියා තිබෙනවාද?
එහෙම කතාවක් මේ වාර්තාවේ නැහැ. "අයුතු" ලාබ ගැන කතා කළ හැක්කේ "යුතු ලාබ" වලට සාපේක්ෂවයි. කවුරු හෝ අයෙක් රටේ පවතින නීති රාමුව යටතේ, එම නීති උල්ලංඝනය නොකර, ලාබ උපයනවානම් ඒවා "යුතු ලාබ" මිසක් "අයුතු ලාබ" නෙමෙයි. "අයුතු ලාබ" කියන වචනය හෝ ඒ ආකාරයේ "අයුතු ලාබ" ගැන මෙම වාර්තාවේ කිසිවක් සඳහන්ව නැහැ. "අසාධාරණ ලාබ" වැනි වචනද මේ වාර්තාවේ නැහැ. එහෙත් වෙළෙන්දන් විසින් "විශාල ලාභයක්" උපයා ඇති බව මෙම වාර්තාවේ සඳහන්ව තිබෙනවා. මෙය "අසාධාරණ" හෝ "අයුතු" ලාභ ගැන කෙළින්ම නොකියා එවැන්නක් ගැන ඉඟි කිරීමක් ලෙස සැලකිය හැකියි. හරියටම කිවුවොත්, වාර්තාවේ සඳහන්ව ඇත්තේ පහත ඇති පාඨයයි.
"2022 හා 2023 වසර වලදී විශේෂයෙන්ම බී ලූණු, අර්තාපල්, වියලි හාල්මැස්සන්, උම්බලකඩ හා මුංඇට වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමේදී පාරිභෝගිකයාට අතිවිශාල වියදමක් දැරීමට සිදු වී ඇති අතර එමගින් වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත."
මෙවැන්නක් කියන පදනම කුමක්ද?
මෙම කමිටුවේ සාමාජිකයින් විසින් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය වල ආනයනික මිලට බදු එකතු කර වෙළෙන්දන්ගේ පිරිවැය ගණනය කරනවා. ඉන් පසුව, එම අගය අදාළ ආහාර ද්‍රව්‍ය වල සිල්ලර මිල සමඟ සංසන්දනය කර මෙම අගයයන් අතර වෙනස වෙළෙන්දන්ගේ ලාබය ලෙස පෙන්වනවා.
මේ විදිහට ලාබය ගණනය කරන එක නිවැරදිද?
කිසිසේත්ම නැහැ. ඒ බව මෙම වාර්තාවේම සඳහන් පහත පාඨයෙන් වුවද සනාථ වෙනවා.
"භාණ්ඩයක වෙළඳපොළ මිල තුළ ද්‍රව්‍යමය හානි, ප්‍රවාහන වියදම් හා වෙළෙන්දන් විසින් උපයන ලාබ ඇතුළත් වේ."
එහෙත්, මෙම කමිටුව විසින් ලාබ ගණන් හදද්දී ඔවුන් විසින්ම සඳහන් කරන ද්‍රව්‍යමය හානි හා ප්‍රවාහන වියදම් නොසලකා හරිනවා. ඊට අමතරව ගබඩා කර තබා ගැනීමේ වියදම්, මූල්‍ය පිරිවැය, සේවක පඩිනඩි ඇතුළු ශ්‍රමයේ මිල සහ අනෙකුත් අමතර වියදම් (ගොඩනැගිලි කුලී, විදුලි බිල්, ප්‍රචාරණ වියදම් ආදිය) නොසලකා හරිනවා. ලාබය ගණනය කළ හැක්කේ මේ සියලු පිරිවැය අඩු කිරීමෙන් පසුවයි. මෙම කමිටුව විසින් එවැනි නිවැරදි හා අංග සම්පූර්ණ අධ්‍යයනයක් සිදු කර නැහැ. මෙම වාර්තාවේ තිබෙන්නේ මතුපිටින් බලා සිදු කළ අසම්පූර්ණ සංසන්දනයක්. ඒ නිසාම, වාර්තාවේ සඳහන් "විශාල ලාභයක් උපයා ඇති බව" යන ප්‍රකාශයේ පදනම දුර්වල එකක්. එය එසේ විය හැකි වුවත්, මෙම වාර්තාවේ ඇති කරුණු වලින් එය පැහැදිලි ලෙස තහවුරු වන්නේ නැහැ.
ඒ වගේම, මෙම වාර්තාවෙහි ආනයනකරුගේ සිට තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා දක්වා සිදු වන අගය එකතු වීම සහ ඔවුන් අතර ලාබ බෙදී යාම අධ්‍යයනය කිරීමක් සිදුව නැහැ. ඒ වෙනුවට, මේ සියලු පාර්ශ්වයන්ගේ අමතර පිරිවැය හා ලාබ "වෙළෙන්දන් විසින් උපයන ලාබ" ලෙස එක ගොඩකට දමා තිබෙනවා. ඒ නිසා, යම් හෙයකින් මෙහි "විශාල ලාබ" තිබුණත් ඒ විශාල ලාබ එකතු වන්නේ කවර අදියරේදීද යන ප්‍රශ්නයට මෙම වාර්තාව පිළිතුරු සපයන්නේ නැහැ.
එහෙමනම්, මේ වාර්තාවේ ගතයුත්තක් නැද්ද?
ඉහත අඩුපාඩු තිබුණත් වාර්තාවේ ගත යුත්තක් නැති බවක් එයින් අදහස් වන්නේ නැහැ. එහි ඇස්තමේන්තු වලින් වෙළෙන්දන්ගේ ලාබ අදහස් නොවෙතත්, 2018 සිට 2023 දක්වා සිදු කරන සංසන්දනය වැදගත්. සමස්තයක් ලෙස ගත් විට, 2018-2021 කාලයට සාපේක්ෂව 2022 හා 2023 වසර වලදී ඇස්තමේන්තු කර තිබෙන ආන්තිකයෙහි කැපී පෙනෙන වැඩි වීමක් පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා, මෙය වෙළෙන්දන්ගේ ලාබ වැඩි වීමක්ද යන්න ප්‍රශ්න කිරීමට පසුබිමක් තිබෙනවා. ඊට අමතරව, මෙහි සඳහන් ආනයනික පාරිභෝගික භාණ්ඩ වල ආනයනික මිලට සාපේක්ෂව දේශීය නිෂ්පාදන වල තරඟකාරිත්වය පිළිබඳවද මෙහි සඳහන් තොරතුරු ඇසුරෙන් අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම, වාර්තාවේ මෙම කරුණට අමතරව වෙනත් කරුණු ගණනාවක් පිළිබඳව අධ්‍යයනය කර කරුණු හා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
පසුගිය දෙවසර තුළ මෙහි සඳහන් "ලාබ ඇස්තමේන්තු" ඉහළ ගොස් ඇත්තේ කෙසේද?
බී ලූණු
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 145
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 87
2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 58
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 289
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 98
2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 191
අර්තාපල්
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 155
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 100
2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 55
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 209
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 103
2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 106
වියලි හාල්මැස්සන්
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 789
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 401
2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 388
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1424
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 508
2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 916
උම්බලකඩ
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1916
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 926
2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 990
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 3065
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 872
2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 2193
මුං ඇට
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 545
2020-2021 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 215
2020-2021 දේශීය අගය එකතු වීම = රුපියල් 330
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල = රුපියල් 1113
2022-2023 කිලෝග්‍රෑමයක සාමාන්‍ය සෘජු පිරිවැය = රුපියල් 438
2022-2023 දේශීය අගය එකතු වීම = රුපියල් 675
ඉහත දත්ත දෙස බැලූ විට පෙනී යන්නේ කුමක්ද?
පළමු නිරීක්ෂණය වන්නේ ඩොලරයක මිල විශාල ලෙස ඉහළ ගියද පෙර දෙවසරට සාපේක්ෂව, පසුගිය දෙවසර තුළ, ඉහත පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමේ සෘජු පිරිවැය විශාල ලෙස ඉහළ ගොස් නොමැති බවයි. ඊට හේතුව ඩොලරයක මිල ඉහළ යද්දී මෙම භාණ්ඩ ආනයනය කෙරෙන රට වල එම භාණ්ඩ වල මිල ගණන් අඩු වී තිබීමයි. (මුං ඇට හා අදාළව මෙම තත්ත්වයේ කැපී පෙනෙන වෙනසක් දැකිය හැකියි.) එහෙත්, දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. දේශීය අගය එකතු වීම් කොටස දෙගුණයකින් හෝ ඊටත් වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබීමෙන් වෙළෙන්දන්ගේ ලාභ විශාල ලෙස ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වෙන්නේ නැහැ.
මෙහි වෙළෙන්දන් ලෙස පොදුවේ හඳුන්වා තිබෙන්නේ අතරමැදියන් ගණනාවක් සිටින දාමයක්. එහි අවසාන අදියරේ ඉන්නේ පාරිභෝගිකයාට සෘජුව සම්මුඛ වන සිල්ලර වෙළෙන්දා. සිල්ලර වෙළෙන්දන් බොහෝ විට විශාල ධනවතුන් නෙමෙයි. ඔවුන් සුළු ව්‍යාපාරිකයින්. මෙවැනි අය බොහෝ විට තමන් විසින්ම ව්‍යාපාරය වෙනුවෙන් ශ්‍රමය යොදවන අයයි. ඇතැම් විට පවුලේ වෙනත් සාමාජිකයින් විසින්ද මෙවැනි ව්‍යාපාර වෙනුවෙන් ශ්‍රමය යොදවනවා. මෙසේ යොදවන ශ්‍රමය වෙනුවෙන් මොවුන් වෙනම වැටුප් ගන්නේ නැහැ. එම වැටුප් කොටස තිබෙන්නේද ව්‍යාපාරයේ ලාබ කොටස තුළයි.
පසුගිය දෙවසර තුළ සමස්තයක් ලෙස රටේ බඩු මිල විශාල ලෙස ඉහළ ගියා. එසේ බඩු මිල වැඩි වෙද්දී තමන්ගේ ශ්‍රමයේ මිල වැඩි කර ගත හැකි අය බඩු මිල වැඩි වීමට අනුරූපව තමන්ගේ ශ්‍රමයේ මිලද වැඩි කර ගෙන තිබෙනවා. එසේ නොකර ඔවුන්ට තමන්ගේ පෙර පැවති ජීවන තත්ත්වය පවත්වා ගන්න බැහැ. ක්‍රම සහ විධි කාරක සභා කාරක සභාවේ ඇස්තමේන්තු තුළ මෙය පිළිබිඹු වන්නේ වෙළෙන්දන්ගේ ලාබ ඉහළ යාමක් ලෙසයි. ඊට අමතරව ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු ආදිය ඉහළ යාමේ බලපෑමද පිරිවැය කොටසට එකතු වන නිසා තොග වෙළෙන්දාගේ මිල සහ සිල්ලර වෙළෙන්දාගේ මිල අතර පරතරය පසුගිය දෙවසර තුළ අනිවාර්යයෙන්ම ඉහළ ගොස් තිබිය යුතුයි. එයින් ඔවුන්ගේ ලාබ ඉහළ ගොස් ඇති බවක් අනිවාර්යයෙන් අදහස් වන්නේ නැහැ.
මෙම දාමයේ සිල්ලර වෙළෙන්දාට පෙර සිටින්නේ තොග වෙළෙන්දා. ප්‍රවාහන ගාස්තු හා අනෙකුත් වියදම් ඉහළ යාම තොග වෙළෙන්දාටද බලපානවා. ඊට අමතරව තොග ගබඩා කරගෙන සිටීමේ පිරිවැය, විශේෂයෙන්ම මූල්‍ය පිරිවැය, පසුගිය කාලයේදී විශාල ලෙස ඉහළ ගියා. බඩු තොගයක වටිනාකම රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත්, එම මුදල 12%ක බැංකු ණයක් යොදවා කළ ආයෝජනයක්නම්, මාසයක් මේ බඩු වෙනුවෙන් සල්ලි යට කර තැබීමේ පිරිවැය රුපියල් දහසක්. පොලිය 24% වන විට එම පිරිවැය දෙගුණ වෙනවා.
සුපිරි වෙළඳසැලක් බොහෝ විට තොග වෙළෙන්දාගේ හා සිල්ලර වෙළෙන්දාගේ කාර්යයන් දෙකම කරනවා. ඒ නිසා, ශ්‍රමයේ මිල ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම, විදුලි ගාස්තු වැනි වියදම් ඉහළ යාම, බැංකු පොලී ඉහළ යාම ආදී හැම දෙයක්ම මිල වෙනස ඉහළ දමනවා. ලාබ වැඩි වී ඇත්ද යන්න නිගමනය කළ හැක්කේ මේ සියලු සෘජු හා වක්‍ර වියදම් ඉවත් කිරීමෙන් පසුවයි.
දාමයේ මුල සිටින ආනයනකරු සැලකුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනකරුගේ මූල්‍ය පිරිවැය පිළිබඳව සලකා නැහැ. එම මූල්‍ය පිරිවැය පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා.
ඒ කියන්නේ වාර්තාවේ සඳහන් "වෙළෙන්දන් විශාල ලාභයක් උපයා ඇත" කියන ප්‍රකාශය බොරුවක්ද?
මේ ප්‍රකාශය ඇත්තක්ද බොරුවක්ද කියා හරියටම කියන්න පුළුවන් වන්නේ සියලුම පිරිවැය නිවැරදිව සලකා බලා ඇස්තමේන්තුවක් කළහොත් පමණයි. මෙම වාර්තාවේ එවැනි නිවැරදි ගණනය කිරීමක් සිදු කර නැහැ. තමන් විසින් කවදාවත්ම ව්‍යාපාරයක් කර නැති අය වෙනත් අයගේ ලාබ ගණන් හදන්න යන විට ඔය වගේ අඩුපාඩු සිදු වෙන එක පුදුමයක් නෙමෙයි. ඒ නිසා, වාර්තාවේ සඳහන් ප්‍රකාශය නිවැරදි වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්.
කොහොම වුනත්, මෙම වාර්තාවෙහි ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. ඒ සඳහා එහි යෝජනා කර තිබෙන විසඳුම් මොනවාද?
ප්‍රධාන යෝජනා දෙකක් දැකිය හැකියි.
1. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පවත්වා ගෙන යාම. මෙහි අරමුණ බව පෙනී යන්නේ රජයේ බදු ආදායම් වැඩි කර ගැනීම මිස පාරිභෝගිකයා විසින් ගෙවිය යුතු මිල අඩු කිරීම නෙමෙයි. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පවත්වා නොගැනීම නිසා රජයේ බදු ආදායම අඛණ්ඩව අඩු වෙමින් පවතින බව කාරක සභාව විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
2. ආනයනික ආහාර ද්‍රව්‍ය වල ආනයනකරුවන්ට හා වෙළෙන්දන්ට ඒවායේ මිල ගණන් අත්තනෝමතික ලෙස ඉහළ දැමීමට තිබෙන ඉඩකඩ වලක්වමින් මෙම වාර්තාවේ සිදු කර ඇති පරිදි භාණ්ඩ වල බදු පැනවීමෙන් පසු පිරිවැය මාස්පතා ප්‍රසිද්ධියට පත් කිරීම සහ එම භාණ්ඩ වල වෙළඳපොළ මිල ගණන්ද එලෙසම ප්‍රසිද්ධ කිරීම.
මෙම වාර්තාවේ අදාළ භාණ්ඩ වල මිල පාලනය කළ යුතු බව හෝ වෙළඳපොළ නියාමනය කළ යුතු බව සඳහන්ව තිබේද?
එවැනි යෝජනා මෙම වාර්තාවේ නැහැ.
දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් අධික ලාභ ලබන බව මෙම වාර්තාවේ ඇති කරුණු වලින් තහවුරු නොවෙතත්, එවැන්නක් සිදු වීමේ ඉඩක් තිබේද?
අනිවාර්යයෙන්ම තිබෙනවා. මෙහි සඳහන් පාරිභෝගික භාණ්ඩ වර්ග පහම රට තුළ නිපදවන දේවල්. එම භාණ්ඩ ආනයනය කර ඉහළ මිලකට විකිණිය හැකි වීමෙන් පෙනෙන්නේ දේශීය නිෂ්පාදනය කොයි තරම් අකාර්යක්ෂමද යන්නයි. වෙළඳපොළක මිල තීරණය වන්නේ වඩාත්ම අකාර්යක්ෂම නිෂ්පාදකයාගේ පිරිවැය මතයි.
වියලි හාල්මැස්සන් උදාහරණයකට ගත්තොත්, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තුද සමඟ කිලෝග්‍රෑමයක් ලංකාවට එන විට මිල රුපියල් 396ක් පමණයි. විදේශ ධීවරයාගේ, හාල්මැස්සන් වියලා සකස් කරන්නාගේ, පැකට් කරන්නාගේ, සිල්ලර හා තොග වෙළෙන්දන්ගේ සිට අපනයනකරු දක්වා සියල්ලන්ගේම පිරිවැය හා ලාබ මෙන්ම අපනයන බදු ඇත්නම් ඒවාද තිබෙන්නේ මෙම රුපියල් 396 තුළයි. මෙසේ රුපියල් 396කට ලංකාවට එන වියලි හාල්මැස්සන් කිලෝව ලංකාවේ විකිණෙන්නේ රුපියල් 1308කටයි. පාරිභෝගිකයා විසින් ගෙවන එම මිලෙන් රුපියල් 812ක් රට තුළ ඉතිරි වෙනවා.
වෙළෙන්දන්ගේ ලාබ කෙසේ වුවත්, ක්‍රම සහ විධි කාරක සභා වාර්තාවෙහි ආනයනික භාණ්ඩ වල දේශීය අගය එකතු කිරීම නිවැරදිව ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1308කට විකිණෙන විට රුපියල් 812ක දේශීය ගය එකතු වීමක් සිදු වෙලා. එම මුදල කෙසේ බෙදී ගියත් එසේ බෙදෙන්නේ ශ්‍රී ලාංකිකයින් අතරයි. ඒ නිසා, ආනයනික හාල්මැස්සන් කිලෝවක් පාරිභෝගිකයෙක් විසින් මිල දී ගන්නා විට රටේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් 812කින් ඉහළ ගිහින්.
රටේ නිපදවන වියලි හාල්මැස්සන් කිලෝවක් විකිණෙන්නේත් ඔය මිලටයි. එවිට රටේ දළ දේශීය නිෂ්පාදිතයට කොපමණ මුදලක් එකතු වෙනවාද? මෙය තීරණය වන්නේ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා යන දේශීය පිරිවැය කොපමණද යන්න මතයි. යම් හෙයකින් එම පිරිවැය රුපියල් 396ට වඩා වැඩිනම්, එයින් අදහස් වන්නේ ආනයනය නොකර රට තුළ නිපදවන සෑම වියලි හාල්මැස්සන් කිලෝවක් ගණනේම රටේ දළ දේශීය නිෂ්පාදිතය පහළ යන බවයි!
බොහෝ විට ලංකාව තුළ වියලි හාල්මැස්සන් කිලෝවක් නිපදවීම සඳහා වැය වන පිරිවැය රුපියල් 396ට වඩා වැඩි විය හැකියි. එය එසේ නොවේනම්, ආනයනික වියලි හාල්මැස්සන් කිලෝවක් මෙවැනි වැඩි මිලකට විකුණන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ පාරිභෝගිකයාගේ පැත්ත ගැන හෝ රටේ නිෂ්පාදනය වැඩි කර ගැනීම ගැන හිතනවානම් පාර්ලිමේන්තුව විසින් විසඳුම් සෙවිය යුතු ප්‍රශ්නය මෙය බවයි. බී ලූණු, අර්තාපල්, උම්බලකඩ හා මුංඇට සම්බන්ධව වුවද මේ කතාවේ වෙනසක් නැහැ.
මෙවැනි තත්ත්වයක් තුළ ආනයනකරුවන්ට "අධික ලාභයක්" ලැබීමේ අවස්ථාවක් ඇත්තටම තිබෙනවා. තරඟය වැඩි වුනා කියා එම අධික ලාභය අඩු වෙන්නේ හෝ මිල පහළ යන්නේ නැහැ. එසේ විය හැක්කේ ආනයන විශාල ලෙස ඉහළ ගොස් දේශීය නිෂ්පාදිතය නැත්තටම නැති වී යන තත්ත්වයකදී පමණයි.
මෙම භාණ්ඩ වල මිල පාලනය කළහොත් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙයිද?
දැනට මෙම සැපයුමේ දාමය තුළ සිටින වෙළෙන්දන් විසින් අධික ලාභ ලබා ගන්නේනම් මිල පාලනය කළ විට එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙනවා. නමුත්, මෙයින් දේශීය නිෂ්පාදනය නැත්තටම නැති වී යාම හෝ විශාල ලෙස කඩා වැටීමද නොවැලැක්විය හැකියි. ප්‍රශ්නයේ මුල තිබෙන්නේ දේශීය නිෂ්පාදන වල අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නය වීම එයට හේතුවයි. ආනයනකරුවන් විසින් අධික ලාභ ලබයිනම් එය අතුරු ප්‍රතිඵලයක්. රජයට එක්කෝ පාරිභෝගිකයින්ගේ පැත්ත අමතක කර නිෂ්පාදනය ගැන අවධානය යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිෂ්පාදනය වැඩි කර ගැනීම අමතක කර මිල අඩු කර ගැනීම ගැන හිතන්න පුළුවන්. ඔය දෙකම කරන්න බැහැ.
මෙම කාරක සභා වාර්තාවෙහි යෝජනා කරන පරිදි මිල හා පිරිවැය ප්‍රසිද්ධ කිරීම ප්‍රයෝජනවත් නැද්ද?
මෙහි තිබෙන්නේ බඩුමිල ඉහළ යාමේ වැරැද්ද තෙවන පාර්ශ්වයක් පිට පැටවීමේ උත්සාහයක් මිසක් ප්‍රශ්නයට සැබෑ විසඳුම් සෙවීමක් නොවන බව මගේ පෞද්ගලික අදහසයි. එසේ වුවත්, මේ වැඩේ නරක වැඩක් නෙමෙයි. එයින් හොඳක් සිදු වීමේ යම් ඉඩක් ඇති අතර නරකක් වීමට හේතුවක් නැහැ. මෙම අතරමැදි කර්මාන්තයේ ලාබ ඇත්තටම ගොඩක් වැඩිනම් තවත් අය කර්මාන්තයට ආකර්ශනය වී තරඟය නිසා මිල අඩු වීමක් වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය නිෂ්පාදකයින්ට තරඟ කිරීම වඩා අසීරු වෙන්න පුළුවන්.
සමුපකාර ක්‍රමය මේ ප්‍රශ්නයට විසඳුමක්ද?
සමුපකාර කියන්නේ පොදු වචනයක්. විවිධ වර්ග වල සමුපකාර තියෙන්න පුලුවන්. මෙම කර්මාන්තයේ අධික ලාභ තිබේනම්, පාරිභෝගිකයින්ගේ සමුකාරයකට එහි වාසිය ලබා ගන්න පුළුවන්. නමුත්, මෙහිදීද අවසාන වශයෙන් දේශීය නිෂ්පාදකයාට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රතිඵලය තීරණය වන්නේ කර්මාන්තයේ අධික ලාභ තිබේනම් එම ලාබ තිබෙන්නේ කවර අදියර තුළද යන්න මතයි.
බදු වැඩි කිරීම ප්‍රශ්නයට විසඳුමක්ද?
ඇත්තටම කර්මාන්තයේ අධික ලාබ තිබේනම් බදු වැඩි කිරීම මගින් එම ලාබ වලින් කොටසක් රජයේ ආදායම් බවට හරවා ගන්න පුළුවන්. මෙහිදී පාරිභෝගිකයා විසින් ගෙවන මිල ඉහළ යන්නේ නැහැ. ඊට හේතුව, එම මිල තීරණය වන්නේ ආනයනික පිරිවැය මත නොව දේශීය නිෂ්පාදකයාගේ පිරිවැය මත නිසයි.
ඉතා හොද ලිපියක් ඉකෝන්..
ReplyDeleteචම්පිකගෙ කථාව ඇහුවම මට ඒකේ ලොකු ගැටළුවක් තිබ්බා...ඒක තමයි මේ මාකට් එක, ඒ කියන්නෙ බී ළූණු, අර්තාපල්, වියලි හාල්මැස්සන් ආනයනය කරන මාකට් එක නිදහස් වෙලදපොලක් නොවෙයිද කියන එක. ඒකට යම්කිසි ලයිසන් ක්රමයක් තියෙනවද කියන එක. එහෙම තියෙනව නම් මේ බිස්නස් එකට කාටාවත් එකපාරට එන්න බෑ..එතැන යම් කිසි ඒකාධිකාර්යක් හැදෙන්න ඉඩ තියෙනවා.එහෙම ඒකාධිකාරයක් හැදෙන තැන්වල චම්පික කියන ආසාධාරන මිල ගනන් හැදෙන්න පුලුවන්..ඉකෝන්ගෙ ලිපියේ වෙලද ඒකාධිකාරයක් ඇතිබවක් ඇගවෙන්නෙ නෑ...ඒ ගැන කෙලින් ම සදහන් කරලා නෑ...එහෙම නම් එතැන නිදහස් වෙලදපොලක් තියෙන්නෙ ඕනේ..එහෙම තියෙනව නම් මේ මිල ගනන් හැදෙන්නෙ යම්කිසි තරගකාරි මිලකට...මීට වඩා පොඩ්ඩක් අඩුවෙන් භාන්ඩ ආනයන කරලා රීටෙල් විකුනන්න පුලුවන් අය ඉන්න ඕනේ..නමුත් එහෙම නොවනවා කියන්නේ ඉල්ලුම සැපයුම් අනුව මේ මිල ගනන් තීරනය වෙනවා කියන එක.
ඉකෝන් කියලා තියෙනවා වගේම චම්පිකගේ යෝජනාවල තිබ්බ එක දෙයක් ගැන මමත් සම්පූර්ණයෙන් එකග වෙනවා..ඒ ආනයන මිල ගනන් හා විකුනන මිල ගනන් දැන ගන්න පුලුවන් විනිවිද පෙනෙන සුලු යාන්ත්රණයක් යෝජනා කරන එක. ඒක ඇත්තටම හොද දෙයක්..කියලා තියෙනවා වගේම මේවගේ දෙයක් කලොත් මේ වෙලදපොලට අලුත් අයෝජකයන් ඇවිත්, මේ වෙලදපොල වඩාත් තරගකාරීවෙලා මිල පහලට එන්න පුලුවන්.
මං තැනක දැක්ක චම්පික කියලා තිබ්බා මිල පාලනයක් ගැන..ඒකට නම් මට එකග වෙන්න බෑ.
මිල පාලනයක් නැතුව, මේ වෙලදපොල නිදහස් වෙලදපොලෙක් කරලා, මිල ගනන් බලන්න් පුලුවන් විනිවිදපෙනෙන , තරගකාරී යාන්ත්රණයක් හැදුවොත් එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබා දෙන්න පුලුවන්.
මේ ගැන වඩා ගැඹුරෙන් ඊසර්ච් කරලා, ටෙක්නිකල් පැහැදිලි කිරීමක් කිරීම ගැන ඉකෝන්ට නොවක් ස්තුතිය. මෙහි වෙලද ඒකාධිකාරයක් තියෙනවද කියන කාරනයත් පැහැදිලිව සදහන් කරන්න කියා යෝජනාඅ කරනවා,
//මෙහි වෙලද ඒකාධිකාරයක් තියෙනවද කියන කාරනයත් පැහැදිලිව සදහන් කරන්න කියා යෝජනාඅ කරනවා,//
Deleteඒක මමත් දැනගන්න කැමති වුනත් දැනගන්න ක්‍රමයක් නැහැ. එය මේ කාරක සභාව විසින් සොයා බැලිය යුතුව තිබුණු දෙයක්. මේ සඳහා යොදා ගත හැකි රේගු දත්ත මම දන්නා තරමින් ප්‍රසිද්ධ අවකාශයක නැහැ.
මම අන්තර්ජාලය හොයලා 2023 වසරේ සතොස මිල ගනන් හොයලා බැලුවා.
Delete2023 මාර්තු ලොකු ළුණු 119.00 ( වගුවේ 365.00)
2023 මාර්තු අර්තාපල් දේශිය 270.00 ( වගුවේ 203.00 ඉන්දියන් හෝ පාක්සතාන් )
2023 ජූනි මාසේ හාල්මැස්සො තායි කිලෝ එක 1140 ( වගුවේ 1308)
2023 ජූනි මාසේ මුං ඇට 1225 ( වගුවේ 1275.00)
අතිවිශාල ලාභය කියන එක සංසන්ධනය කරන්න පුලුවන් සතොස සාධාරණ ලාභ තියගෙන විකුණනව කියන උපකල්පනය මත ඉදලා..
එහෙම බැලුවොත් ලුකු ළූණු සහ හාල් මැස්සො තමයි ඉතිරි වෙන්නෙ..
සතොස පැරණි මිල ගණන් අන්තර්ජාලයේ තියෙනවද?
Deleteහොඳ විමර්ශනාත්මක ලිපියක් !
ReplyDelete