ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ඉදිරි සති දෙක ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සාගල රත්නායකව උපුටා දක්වමින් ජපානයේ නිකේ පුවත් සේවය විසින් වාර්තා කර තිබුණා. ජපානය මේ සම්බන්ධ බහුපාර්ශ්වීය සාකච්ඡා වල සභාපතිත්වය දරන රටක් වන අතර ලංකාවේ ද්විපාර්ශ්වීය ණය වලින් චීන ණය හැරුණු විට වැඩිම කොටස ලබා ගෙන තිබෙන්නේද ජපානයෙනුයි.
මෙම පුවත අනුව, අවසාන වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන්නේ වසර 6කට ආසන්න ණය පමා කාලයක් වන අතර ඉන් පසුව වසර 15ක් තුළ, එනම් 2028 සිට 2042 දක්වා, ණය ආපසු ගෙවිය යුතුයි. ඒ අතර, 2%ක වාර්ෂික පොලියක්ද ගෙවිය යුතුයි.
මුලින්ම ශ්‍රී ලංකාව විසින් 1%ක පොලියක් සහ වසර 10ක ණය පමාවක් ඉල්ලා සිටි අතර මේ සඳහා පැරිස් සංසදයේ සහයෝගය ලැබෙන බවක් පෙනෙන්නට තිබුණා. එහෙත්, චීනය මේ තරමේ සහනයක් වෙනුවෙන් කැමැත්ත පළ කර තිබුණේ නැහැ. සියල්ලන්ටම එකම හැන්දෙන් බෙදිය යුතු බව පැරිස් සංසදයේ මූලධර්මයක් වන නිසා මෙහිදී ශ්‍රී ලංකාවට ලැබෙන ණය සහනය කොපමණද යන්න තීරණය වී තිබෙන්නේ චීනයේ තීරණය මත බව පැහැදිලියි.
කෙසේ වුවත් පෙර යෝජනාව අනුවද ණය ගෙවා අවසන් කිරීමට නියමිතව තිබුණේ 2042දීයි.
පසුගිය (2023) වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 10,810ක් වූ අතර, ඒ වෙනුවෙන් 2%ක වාර්ෂික පොලියක් ගෙවීම සඳහා වසරකට ඩොලර් 216ක මුදලක් අවශ්‍ය වෙනවා. 2028 වසරේ සිට, වසරකට ඩොලර් මිලියන 721 පමණ බැගින් මෙම ණය ආපසු ගෙවන්නට සිදු වන අතර එසේ ගෙවද්දී පොලී වියදමද ක්‍රමයෙන් අඩු වෙනවා. ඇතැම් විට 2028 සිට ගෙවිය යුතු ණය වාරික හා පොලිය සම-වාරික ලෙස ගෙවනවා විය හැකියි.
මීට අමතරව ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 14,741ක වාණිජ ණයද ප්‍රතිව්‍යුහගත කළ යුතුව තිබෙන අතර එයින් ඩොලර් මිලියන 2,191ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණයයි. ඉතිරි ඩොලර් මිලියන 12,550 ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කර ලබාගත් ණයයි.
චීන සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් මිලියන 535.2ක තවත් ණය ප්‍රමාණයක් ශ්‍රී ලංකාව විසින් ද්විපාර්ශ්වීය ණය ලෙස වර්ග කර තිබුණත් ඒ සඳහා චීනය එකඟ වී ඇත්ද යන්න තවමත් අවිනිශ්චිතයි. ද්විපාර්ශ්වීය ණය වලින් ඩොලර් මිලියන 4,013ක් ලබා ගෙන තිබෙන්නේ චීන එක්සිම් බැංකුවෙන්. මෙම දෙවන කොටසට පමණක් හෝ කොටස් දෙකටම වාර්තා වී ඇති වසර 6කට ආසන්න ණය සහනය හා 2% පොලිය අදාළ වන බවයි දැනට පෙනෙන්නට තියෙන්නේ.
චීනයෙන් ලබාගත් චීනය විසින් වාණිජ ණය සේ සලකන ණය සහ ස්වෛරිත්ව බැඳුම්කර ණය පමා කාලයකින් තොරව වහාම ආපසු ගෙවන්නට සිදු විය හැකි අතර ණය පමාවක් වෙනුවට ණය කප්පාදුවක් ලැබෙන්නට ඉඩ තිබෙනවා. මුලින් වාර්තා වී තිබුණේ 30%ක ණය කප්පාදුවක් සහ 4%ක පොලියක් ඉලක්ක කෙරෙන බවයි. මේ හා අදාළ සාකච්ඡා තවමත් අවසන්ව නොමැති බැවින් අවසන් ප්‍රතිඵලය ගැන දැන ගැනීමේ හැකියාවක් නැහැ.
ණය සහනය ලබා ගන්නා ආකාරය කුමක් වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වනු ඇත්තේ ස්වේච්ඡා ණය හුවමාරුවක් ලෙසයි. මෙය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වූ ආකාරයට සමාන කළ හැකියි.
ස්වේච්ඡා ණය හුවමාරුවක් සාර්ථක වීමටනම් බැඳුම්කරහිමියන්ගෙන් විශාල ප්‍රතිශතයක් මෙම හුවමාරුව සඳහා ස්වේච්ඡාවෙන් අයදුම් කළ යුතුයි. ඒ සඳහා ඔවුන්ව පොළඹවා ගැනීම අභියෝගාත්මක කටයුත්තක්. මෙය කළ හැකි ආකාර යෝජනා කරමින් ණය කළමණාකරුවන් සේ කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වන මෙන් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ඒ සඳහා උනන්දුවක් දක්වන පාර්ශ්ව වලට දැනුම් දී ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.
මෙම අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන යෝජනා වල ශක්‍යතා, ඔවුන්ගේ පෙර පළපුරුද්ද සහ ඉල්ලා සිටින ගාස්තු සලකා බලමින් ණය කළමනාකරුවන් බඳවා ගැනීමද ඉදිරි සති කිහිපය තුළ සිදු විය හැකියි. ඒ අතරවාරයේ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් සැලකිය යුතු ප්‍රමාණයක් ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා කැමති කර ගැනීම රජයේ ඉලක්කය හා අපේක්ෂාව බව පෙනෙන්නට තිබෙනවා.
කෙසේ වුවත්, සියලුම ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් ස්වේච්ඡා ණය හුවමාරුවකට කැමති වීම සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් දැනටමත් ඔවුන්ගේ බැඳුම්කර වල මුහුණත අගය ලෙස ඩොලර් 242,990,000ක් සහ කූපන් පොලිය ලෙස ඩොලර් 7,137,831.25ක් (ඩොලර් මිලියන 250ක් පමණ) එකඟ වූ පරිදි නොගෙවීමට එරෙහිව ඇමරිකාවේ අධිකරණයක නඩුවක් පවරා තිබෙනවා.
ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නට නියමිත බවත්, 2022 ජූලි මාසයේදී ආපසු ගෙවන්නට නියමිතව තිබුණු ඩොලර් බිලියනයක ස්වෛරිත්ව බැඳුම්කරය එදින ආපසු ගෙවන්නට ඉඩක් නැති බවත් පැහැදිලිව පෙනෙන්නට තිබියදී හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් 2021 අගෝස්තු මාසයේ සිට එම බැඳුම්කරයේ කොටස් වලින් හතරෙන් එකක් පමණ කුණු කොල්ලයට මිල දී ගන්නේම නඩු කියා හෝ මුළු මුදලම ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව පැහැදිලියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වලට සම්බන්ධ නොවන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම නඩුව විභාගයට ගැනීමට පෙර ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා අදාළ අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළා. එහෙත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කිරීම සඳහා බාධාවක් වන බැවින් නඩුවේ තීන්දුව ලබා දීම ප්‍රමාද කරන මෙන් පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව විසින් කළ ඉල්ලීම එම අධිකරණය විසින් පිළිගත්තා. මෙම තීන්දුව ශ්‍රී ලංකාවේ වාසියට ලැබුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමරිකාවේ රජය විසින් (නීතිපති) මෙන්ම එක්සත් රාජධානිය හා ප්‍රංශයද අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නිසයි.
මේ අනුව ගෙවුණු පෙබරවාරි මාසය තෙක් මාස හතරක පමණ කාලයකට නඩු තීන්දුවක් ලබා දීම ප්‍රමාද කළ නමුත් ඒ වන තුරුද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වුනේ නැහැ. පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් මෙම වාරණ නියෝගයේ කාලය තවත් මාස පහකින් දීර්ඝ කරන මෙන් ඉල්ලුවා. හැමිල්ටන් රිසර්ව් බැංකුව එම ඉල්ලීමට එකඟ නොවෙමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා රජය විසින් මේ වන විට එයට ප්‍රති-ප්‍රතිචාර ලෙස කරුණු දක්වා තිබෙනවා.
බොහෝ විට ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම වාරණ නියෝගයේ කාලය මාස කිහිපයකින් දිගු විය හැකියි (මේ වන විට එම තීන්දුව ලබා දී නැත්නම්). ඒ අතරවාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කරන්නට ඉඩ තිබුණත්, හැමිල්ටන් රිසර්ව් බැංකුව වැනි පාර්ශ්ව විසින් එම යෝජනා වලට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ඉඩක් නැහැ. ඒ නිසාම, තවත් බැඳුම්කරහිමියන් යම් පිරිසක් ඒ පාරේම ගමන් කරන්නට ඉඩ තිබෙනවා.
කෙටියෙන් කිවුවොත් ණය ප්‍රතිව්‍යුහගත කරන එක මාසයකින් දෙකකින් හෝ ලේසියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. කාලයක් යන, අමාරු වැඩක්.
ණය කාරයො අකමැතිඋනත් ගෙවන්නෙ නෑ කිව්වම උන්ට කරන්න පුලුවන් දෙයක් නෑ නේද?
ReplyDelete