වෙබ් ලිපිනය:

Friday, April 5, 2024

රටේ විදේශ සංචිත


මහ බැංකුවේ නිල විදේශ සංචිත ගැන අපි වරින් වර කතා කර තිබෙනවා. නමුත් නිල විදේශ සංචිත කියා කියන්නේ රටේ තිබෙන විදේශ සංචිත වලින් කොටසක් පමණයි. රටේ කවුරු හෝ පුද්ගලයෙක් හෝ ආයතනයක් සතුව විදේශ වත්කම් ඇත්නම් ඒවා රටේ විදේශ සංචිත වල කොටසක්. එකම වෙනස මහ බැංකුවෙන් පිටත තිබෙන විදේශ සංචිත සම්බන්ධව ප්‍රතිපත්ති සම්පාදකයින්ට සෘජු බලපෑමක් කළ නොහැකි වීමයි.

රටට පැමිණෙන විදේශ විණිමය හා රටෙන් එළියට යන විදේශ විණිමය අතර වෙනස රටේ විදේශ සංචිත වලට එකතු වෙනවා. නමුත්, අනිවාර්යයෙන්ම මහ බැංකුවේ නිල සංචිත වලට එකතු වෙන්නේ නැහැ. එසේ වන්නේ මහ බැංකුවට කෙළින්ම විදේශ විණිමය ලැබුනොත් හෝ මහ බැංකුව විසින් මැදිහත් වී එම විදේශ විණිමය මිල දී ගත්තොත් පමණයි.

පසුගිය වසර තුළ රටේ නිල විදේශ සංචිත, එනම් මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය, ඩොලර් මිලියන 1,898 සිට ඩොලර් මිලියන 4,392 දක්වා ඩොලර් මිලියන 2,495කින් ඉහළ ගියා. ඊට අමතරව වාණිජ බැංකු සතු විදේශ වත්කම් ප්‍රමාණයද ඩොලර් මිලියන 3,976 සිට ඩොලර් මිලියන 4,981 දක්වා ඩොලර් මිලියන 1,005කින් ඉහළ ගොස් තිබෙනවා. බැංකු පද්ධතියෙන් පිට පුද්ගලයින් හා ආයතන සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,956 සිට ඩොලර් මිලියන 3,173 දක්වා ඩොලර් මිලියන 17කින් ඉහළ ගොස් තිබෙනවා. 

මේ අනුව, 2022 වසර අවසානයේදී රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය වූ ඩොලර් මිලියන 8,830 වසර අවසාන වන විට ඩොලර් මිලියන 12,546 දක්වා ඩොලර් මිලියන 3,716කින් ඉහළ ගොස් තිබෙනවා. 

රටේ විදේශ වත්කම්- 2019 ජූනි 30:

මහ බැංකුව - ඩොලර් මිලියන 8,865

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 2,637

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,549

එකතුව - ඩොලර් මිලියන 14,051


රටේ විදේශ වත්කම්- 2022 මාර්තු 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 1,917

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 3,441

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 2,715

එකතුව - ඩොලර් මිලියන 8,073


රටේ විදේශ වත්කම්- 2023 දෙසැම්බර් 31:

මහ බැංකුව - ඩොලර් මිලියන 4,392

අනෙකුත් බැංකු - ඩොලර් මිලියන 4,981

බැංකු නොවන අංශ - ඩොලර් මිලියන 3,173

එකතුව - ඩොලර් මිලියන 12,546


මහ බැංකුවේ මෙන්ම සමස්තයක් ලෙස රටේද විදේශ වත්කම් ඉහළ ගොස් තිබීම හොඳ තත්ත්වයක්. එහෙත් රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙම විදේශ වත්කම් ප්‍රමාණයට වඩා කිහිප ගුණයකින් වැඩියි. මෙම තත්ත්වය මෑතකදී ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ වගේම කෙටි කාලයකින් විසඳාගත හැකි ප්‍රශ්නයකුත් නෙමෙයි. නමුත් විසඳාගත යුතු ප්‍රශ්නයක්. 2023 දෙසැම්බර් 31 වන විට ලංකාවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 63,986ක්. මෙයින් ඩොලර් මිලියන 54,832ක් විදේශ ණයයි. ඉතිරි කොටස විදේශිකයින් සතු කොටස් ආයෝජන.

මේ අනුව, 2023 වසර අවසානයේදී රටේ ශුද්ධ විදේශ බැරකම් හිඟය ඩොලර් මිලියන 51,440ක්. මෙම ගණනයේදී ස්වෛරිත්ව බැඳුම්කර හා අදාළ බැරකම් ගණනය කර තිබෙන්නේ දැනට එම බැඳුම්කර අලෙවි වන මිල ගණන් මත පදනම්ව බැවින් සැබෑ බැරකම් ප්‍රමාණය මීටත් වඩා වැඩි විය යුතුයි. 

ලංකාව නිදහස ලබන විට, රටේ විදේශ බැරකම් ප්‍රමාණය මෙන් දහ ගුණයක පමණ විදේශ වත්කම් ප්‍රමාණයක් එකතු වී තිබුණා. එහෙත්, රජය විසින් දිගින් දිගටම ආදායම ඉක්මවා වියදම් කරද්දී විදේශ සංචිත ටිකෙන් ටික අඩු වී විදේශ ණය ටිකෙන් ටික ඉහළ ගියා. 1963 වන විටද ලංකාවේ විදේශ වත්කම් ප්‍රමාණය විදේශ ණය ප්‍රමාණයට වඩා වැඩි වුවත්, 1964 වන විට මේ තත්ත්වය කණපිට හැරී ලංකාව ශුද්ධ ණයකරුවෙකු බවට පත් වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උදවු ලබා ගන්නට සිදු වුනා.

ලංකාව විසින් 1965 ජූනි 15 දින පළමු වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගත්තා. එම ණය මුදලේ උදවුවෙන් රටේ ආර්ථිකය ස්ථාවර කරගත් නමුත් එසේ රටේ ආර්ථිකය අස්ථාවර වීමට හේතු වූ පාදක කරුණු ගැන සැලකිලිමත් වී ප්‍රශ්නයේ මුල් ගලවා දැමීමට උනන්දු වුනේ නැහැ. ඒ නිසා, ලංකාවට 1964 ගෙවුම් ශේෂ අර්බුදය වැනි අර්බුද වලට දිගින් දිගටම මුහුණ දෙන්නට සිදු වුනා. මෙය අවසන් වුනේ විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින්නට සිදු වන තරමේ අර්බුදයකින්.

දිගින් දිගටම මෙවැනි තත්ත්වයන්ට මුහුණ නොදීමටනම් රටේ විදේශ බැරකම් වලට සාපේක්ෂව විදේශ වත්කම් ඉහළ දමා ගත යුතු වෙනවා. ඒ සඳහා, අඩු වශයෙන් යම් කාලයක් යන තුරු, උපයන විදේශ විණිමය ප්‍රමාණයට වඩා අඩු විදේශ විණිමය ප්‍රමාණයක් වැය කරන්නට සිදු වෙනවා. රාජ්‍ය අයවැය තුලනය පවත්වා නොගෙන මෙය කළ නොහැකියි. 

7 comments:

  1. ඉකොනෝ

    වර්තමාන රනිල් වික්‍රමසිංහ පොහොට්ටු හවුල් රජයේ සමාජවාදී සංකල්ප නිසා ලංකාවේ ආර්ථිකය ඔය කියන ආකාරයට සංවර්ධනය කිරීම ගැන මට නම් විශාල ලෙස සැකයක් පවතිනවා. ඔබ ජනාධිපතිවරයාගේ මේ කථාව ඇහුවා ද?

    ///ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පැවසුවේ මෙම 2024 සිංහල අලුත් අවුරුද්දේ වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස විශාල ගණනකින් වැඩිකිරීමට කටයුතු කළ බවත් ඒ වගේම අස්වැසුම ප්‍රතිලාභය ඉහළ දැමීම නිසා ජනතාවට සහන ලැබී තිබෙන බවත් රජය මගින් 2024 අප්‍රේල් මාසයේ සහ ලබන මැයි මාසයේ සහ ජූනි මාසවලදීත් තවත් සහල් කිලෝ 20ක් බැගින් මිලියන ගණනක අඩු අදායම්ලාභී ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් එසේම විමධ්‍යගත අයවැය යටතේ රජයෙන් මුදල් ලබාදීම ආරම්භ කර තිබෙන නිසා ගමේ ආර්ථිකයට නැවත මුදල් ලැබී තිබෙන බවත් පැවසීය.

    ගෝලීය කොවිඩ් වසංගතය සහ ගෝලීය සහ දේශීය ආර්ථික කඩාවැටීම හමුවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාතයත් පසුගිය 2020-2022 කාලසීමාව තුළ ඉතා දැඩි අසීරුතාවකට මුහුණ දුන් අතර මැණික් කර්මාන්තය දැඩි පසුබෑමකට ලක්ව තිබූ නමුත් කෙසේ හෝ ගෝලීය වසංගතය පහව යාම සමග 2023 වසරේ මෙම කර්මාන්තයේ යම් දියුණුවක් ඇති වුණ අතර එය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.

    රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ යටතේ ලංකා ආර්ථිකය 2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමගම රජයේ වියදම් ඉහල නැංවීම
    සමග ජනතාවට ද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් ජනපතිවරයා වසර දෙකක් ඉතා අසීරුවෙන් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවත් එහිදී බදු වැඩි කිරීම ඇතුළු ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වුණ නමුත් අද එහි ප්‍රතිඵල දෙස බැලීමේදී අධික ලෙස බදු වැඩි කිරීම සමඟ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ මතුව ඇති බරපතල ගැටළු පිළිබඳ පසුගියදා එම ක්ෂේත්‍රයේ නියුතු විශාල පිරිසක් පැමිණ ජනපති රනිල් සමඟ පවතින අධික බදුබර නිසාම කර්මාන්තය දැඩි ලෙස කඩා වැටී ඇති නිසා බදු සහන අනිවාර්යයෙන්ම අවශ්‍ය බව අවධාරණය කර සාකච්ඡා කළ බවත් ඒ අනුව ඒ සඳහා ලබාදිය හැකි සහන පිළිබඳ සාකච්ඡා කර මෙම අප්‍රේල් මාසය අවසන් වන විට වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරින්ට උපදෙස් දී තිබෙන බවත් ඉදිරියේදී මෙම ක්ෂේත්‍රයෙන් අවම වශයෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක වත් ආදායමක් උපයා ගැනීම ඉලක්ක කර ගනිමින් අප වැඩ කළයුතු බවත් මෙම ක්ෂේත්‍රය දියුණු කරන විට මැණික් පතල්කරුවන්ටත් මෙහි වාසිය හිමිවිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසුවා.

    තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා

    "එදා 2022 ජූලිවල විදේශ විනිමය අනුපාතය ඩොලරයකට රුපියල් 361.8යි. අද රුපියල් 296.4 යි. අප උත්සාහ කරන්නේ එය රුපියල් 280 දක්වා පහතට ගෙන ඒමටයි. එවිට රුපියල තවත් ශක්තිමත් වෙනවා.

    2022 හා සංසන්දනය කරන විට 2023 වසරේදී රජයේ ආදායම 50%කට වඩා වැඩි වී තිබෙනවා. ඒ වගේම සමාජ සේවා වෙනුවෙන් කරනු ලබන වියදම තුන් ගුණයකින් ඉහළ දමා තිබෙනවා.

    ඒ වගේම අපි දැන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුතු අවසන් කරගෙන යනවා. දේශීය ණය ගැන අපි සාකච්ඡා කර අවසන්. දැන් අප අපට ණය ලබා දුන් රටවල් සමඟ එකඟත්වයකට පැමිණීමට නියමිතව තිබෙනවා. අපි මෙම වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට නම් අදාළ ඉලක්ක අනුව කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන එම එකඟතාවන් අනුව අප ඉදිරියට යා යුතුයි."

    "සංචාරක ව්‍යාපාරයෙන් අද ඉහළ ආදායමක් ලැබෙනවා. එය මේ වසරේ ඩොලර්ඒ බිලියන පහ හමාරකට වැඩි වේවි. ඒ වගේම ශ්‍රමිකයන් ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණය අතිවිශාල ලෙස ඉහල යාම සමග විදේශ විනිමය අපේ රටට නැවත ලැබීමට පටන් ගෙන තිබෙනවා. මේ අයුරින් අද රටේ ජනතාවගේ ආදායම් තත්ත්වය නැවත ගොඩනැගෙමින් තිබෙනවා.

    එදා ත්‍රිවිල් රථයකට කුලී ගමනක් යාමට කෝවිඩ් නිසා රට වසා තිබීම නිසාත් පසුව ඩොලර් නැතිවීම නිසා ඉන්ධන තිබුණේත් නැති නිසාත් ඒ අය අනාථ වී සිටියා.

    ඒ කාලයේ විදුලිබලය තිබුනේ නැහැ. අද ඕනතරම් ඉන්ධන තිබෙනවා. දෙස් විදෙස් සංචාරකයන් නිසා ත්‍රිවිල් රථ රියදුරන්ගේ ආදයම විශාල ලෙස වැඩි වී තිබෙනවා.

    අද හයර් දුවන ත්‍රිවිල් රථවල පවා අපි නම් අහවලුන්ට කියා පෝස්ටර් ගහගෙන ඉතාම මෝඩ ලෙස පක්ෂ දේශපාලනය කරනවා. නමුත් අප පසුගිය වසර දෙක තුළ මෙම පියවර ගත්තේ නැත්නම් ඔවුන්ට මේ සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.අපි මේ ආර්ථිකය ආරක්ෂා කරගෙන ඉදිරියට යා යුතුයි. මින් ඉවත් වුවහොත් අපි නැවත වැටෙනවා. තවමත් අප සිටින්නේ ඒදණ්ඩ මතයි. ඒ නිසා එයින් වැටෙනවද, නැද්ද කියා අප තීරණය කළ යුතුයි."

    මෙසේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කථාව අවසන් කළා.///

    රනිල් වික්‍රමසිංහත් බොහෝ දුරට සමාජවාදී පුද්ගලයෙක් බවයි මට හිතෙන්නේ මේක බලපුවාම... ඔබේ අදහස මොකක්ද මේක ගැන?

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යෙන්. රනිල් කියන්නෙ බොරුවට නව ලිබරල් නමින් පෙනී ඉන්න ඒත් සමාජවාදියෙක්.
      බදු වැඩි කරන්නෙ, ළමයින්ට බත් කවන්නෙ, රටෙන් බාගෙකට පින් පඩි දෙන්නෙ සමාජවාදියෙක් නෙමේ නම් වෙන කවුද?
      සමාජවාදි නොවන දේකට කරන්නෙ පුද්ගලීකරණයයි ඉඩම් අයිතිය ලබා දීමයි විතරයි.

      ලෝකෙ දේපළ බදු හදුන්වා දුන්නෙ සමාජවාදී වෝක් ලිබරල් පාලකයො.
      රනිලුත් දේපළ බදු ගහන්න යන එවැනිම පාලකයෙක්.

      Delete
  2. ඉකොනොමැට්ටට හිතෙන් නැද්ද කෙල වෙන්න පටන් ගත්තෙ IMF ගියාට පස්සෙ කියලා.
    මේ ප්‍රස්තාරෙ බැලුවම නම් පේන්නෙ එහෙම. (සිරිමාගෙ සමාජවාදයත් හේතුවක් තමා)

    ඒ කාලෙ නම් IMF එකේ ප්‍රතිපත්ති කොහොමද දන්නෙ නෑ.
    ඒත් දැන් තියෙන IMF එක රාජ්‍ය වියදම් කපන්න උනන්දු කරවන්නෙ නෑ.
    ආන්ඩුව කොච්චර වියදම් කලත් කමක් නෑ බදුවලින් ඒවා අය කරගන්නවා නම් වගේ එකක් කියන්නෙ.
    පුද්ගලීකරණයටත් මහ ලොකු පුෂ් එකක් නෑ.

    බදු වැඩි කලාම ව්‍යාපාරවලට කෙල වෙනවා කියලා ඕන කෙනෙක් දන්න දෙයක්.
    සුබසාධන රාජ්‍යක් හැදුවම ආර්ථිකේ දියුණු වෙන්නෙ නෑ කියලත් ඕන කෙනෙක් දන්න දෙයක්.
    යුරෝපෙ ස්කැන්ඩිනේවියාව උදාහරණ. අවුරුදු 15ක් තිස්සෙ ඒ රටවල ආර්ථිකය දියුණු වෙලා නෑ.

    එහෙම තියෙද්දී ඇයි මේ IMF එක
    1. බදු වැඩි කරන්න කියන්නෙ,
    2. සුබසාධනේ දෙන්න කියන්නෙ.
    3. පුද්ගලීකරණයටත් පුෂ් එකක් නැත්තෙ.
    4. රාජ්‍ය වියදම් කපන්න පුෂ් එකක් නැත්තෙ.

    ආපහු ආපහු එයාල ගාවට ම එනවට එයාල කැමති ද මන්දා.
    ප්‍රස්තාරෙ බැලුවම නම් පේන්නෙ එහෙම එකක්.

    ReplyDelete
    Replies
    1. IMF එක කියන ආයතනය හදාගෙන තියන්නේ ගෙවුම් ශේෂ අර්බුද පැමිණි විට ඒවා විසඳා ගන්න උදවු වෙන්න. ඒ නිසා තමයි "ආන්ඩුව කොච්චර වියදම් කලත් කමක් නෑ බදුවලින් ඒවා අය කරගන්නවා නම් වගේ එකක්" කියන්නේ. ආණ්ඩුව කොච්චර වියදම් කරනවාද කියන එක රටේ ජනතාව විසින් තීරණය කළ යුතු දේශපාලනික කරුණක්. ඒකට IMF එකට මැදිහත් වෙන්න බැහැ.

      1. බදු වැඩි කරන්න කියන්නේ ලංකාව ලෝකයේ බදු ආදායම් අඩුම රටක් නිසා.
      2. සුබසාධන වියදම් වැඩි කරන්න කියන්නේ වක්‍ර ලෙස කරන සුබසාධන කැපීමේ බලපෑම නිශේධනය කරන්න සහ එම වක්‍ර සුබසාධන යන්නේ සුබසාධන අවශ්‍ය අයට නොවන නිසා.
      3. පුද්ගලීකරණය කිරීම හෝ නොකිරීම ආර්ථික ස්ථායීකරණයෙන් එහාට යන දේශපාලනික කරුණක් නිසා. නමුත් රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කළ යුතු බව කියනවා. එය පුද්ගලීකරණය කිරීමක් විය යුතුම නැහැ.
      4. ලංකාවේ රාජ්‍ය වියදම් වෙනත් රටවලට සාපේක්ෂව ගොඩක් වැඩි නැති නිසා සහ යම් මට්ටමක රාජ්‍ය වියදම් අවශ්‍ය නිසා.

      "එයාල" කියලා කොටසක් නැහැ. IMF කියන්නේ සමුපකාරයක් වගේ එකක්. ලංකාවත් එහි කොටස්කරුවෙක්.

      Delete
    2. දේපළ බදු ගහන්න කියලා කියන්න පුලුවන්, ඒත් වියදම් අඩු කරන්න කියන්න බෑ කියන එක පිළිගන්න අමාරුයි නේද.

      1. ලංකාව ලෝකයේ බදු ආදායම් අඩුම රටක් උනාට ලංකාව ලෝකයේ බදු අනුපාත වැඩිම රටක්. සිංගප්පූරුවෙ, අයර්ලන්තෙ අඩුයි අපට වඩා.

      2. සුබසාධන වැඩි කරන්න කිව්වත් රටෙන් බාගෙකට අස්වැසුම දෙන්න එපා කියන්නෙ නැති එකත් ප්‍රශ්නයක්. දැන් පවුල් ලක්ෂ 24කට අස්වැසුම දෙන්න යනවා. ඒ රටේ පවුල් වලින් ආසන්නව බාගයක්. ඔහොම සුබසාදානේ කරන රටක් ලෝකෙ තවත් තියෙනවද? ෆින්ලන්තෙවත් ‍රටෙන් බාගෙකට සල්ලි දෙන්නෙ නෑනෙ.

      3. පුද්ගලීකරණය නම් ඔවුන් නොකිව්වත් රනිල් කරන්න ට්‍රයි කරනවනෙ. ඒ හින්දා ඒක අවුලක් නෑ.

      4. අනිත් හැම රටකම වගේ රාජ්‍ය වියදම් අධිකයි. ඇමෙරිකාවෙත් ණය ට්‍රිලියන 34ක් වෙලා තියෙන්නෙ ඒකයි. අනික අපේ ආන්ඩුවෙ වියදම් වැඩි නිසානෙ බංකොලොත් උනේ. ඉතින් ඒ රටවල මට්ටමට අපිටත් වියදම් කරන්න කියන එක හරිද?

      "එයාල" කියලා කොටසක් නැහැ. ඒක ඇත්ත. ඒත් එක්සත් ජාතීන්ගේ සංවිධනය ගාසා ප්‍රශ්නයේදී ඒක පාර්ශවිකව කටයුතු කරන හැටි හැමෝම දන්නවා. කොරෝනා වෙලාවෙ WHO එක කරපු විකාර අපි දන්නවා. WEF එක කාලගුණ විපර්‍යාස කියල ගේන්න හදන නීතීවලට මිනිස්සුන්ගෙ තියෙන විරෝධය යුරෝපෙ උද්ඝොෂණවලින් පේනවා.
      මිනිස්සුන්ට වගාවක්වත් කරන්න දෙන්නෙ නෑ මේ ගෝලීය ආයතන.

      IMF එකත් ඒ වගේම තමා මම නම් හිතන්නෙ. ඔවුන් කවදාවත් රටේ මිනිසුන් ගැන හිතන්නෙ නෑ. පාලකයන්ගෙ යහපැවැත්ම සහ ආපසු ණය අයකරගැනීම පමණයි ඔවුන්ට උවමනා. මොකද ඇමෙරිකන් ආන්ඩුවටත් වඩා ආර්ථික අතින් ප්‍රබල සමාගම් (Blackrock, Vanguard) අපට ණය දීල තියෙන්නෙ.

      IMF අවශ්‍ය නෑ කියල නෙමෙයි කියන්නෙ. ඔවුන් සර්ව බලදාරී දෙවියන් වගේ පිළිගන්නෙ නැතිව ඔවුන්ගෙ කොන්දේසි සාකච්චා කරලා අපිට ගැලපෙන විදියට හදාගත යුතුයි.
      දේපල බදු වගේ දෙයක් අපිට හරි යන්නෙ නෑ.
      මිනිහෙක්ට නිදහසේ මැරෙන්න ඉඩ නොදෙන බද්දක්.
      වයසට ගිහින් ආදායමක් නැතත් ගෙවන්න ඕන.
      ඇයි මේ වගේ දරුණු බදු දාන්න IMF එකට ඉඩ දෙන්නෙ.

      බටහිර රටවල් දේපල බදු ගහගෙන අනාගත්තට ඒවා අපිත් කරන්න ඕන ද?
      තමන්ගෙ ඉඩම තමන්ගෙ. ඇයි තමන්ගෙ ඉඩමෙ ඉන්න බදු ගෙවන්නෙ.
      ධනවාදයේ එන දේපළ අයිතිය, පුද්ගල නිදහස තනිකර උල්ලංඝනය කිරීමක්.

      ඔබතුමත් එක්ක වාද කරනවා නෙමේ.
      ඒත් මේකෙ අවුලක් පේන්නෙ නැද්ද.

      Delete
    3. 1, වැඩි කරගන්න කියල තියෙන්නේ බදු ආදායම. රටක බදු ආදායම ප්‍රමාණවත්නම් බදු අනුපාතික වැඩි කරන්න අවශ්‍ය නැහැ.

      2. ආර්ථික අර්බුදය නිසාත්, එයින් ගොඩ යන්න ගත් ක්‍රියාමාර්ග නිසාත් රටේ විශාල ප්‍රතිශතයක් දරිද්‍රතා සීමාවෙන් පහළට වැටී තිබෙනවා. ඔය දෙකම තාවකාලික තත්ත්වයයන්. ආර්ථිකය වර්ධනය වෙද්දී ඔය අවශ්‍යතාවය නැති වෙනවා. 100%කටම සහනාධාර දීමට සාපේක්ෂව 50%කට දෙන එක හොඳයි. ඉන්ධන, විදුලි ගාස්තු සහනාධාර 100%කටම ලැබුණා. සහනාධාර යෝජනා කර තිබෙන්නේ අන්තර්කාලීන ක්‍රියාමාර්ගයක් ලෙසයි. එහි අරමුණ සහනාධාර ඒවා අවශ්‍ය අයට පමණක් සීමා කිරීම.

      4. IMF එක වියදම් වැඩි කරන්න කියලා නැහැ. වැඩ පිළිවෙළ තුළ වියදම් සීමා වෙනවා.

      මම හිතන්නේ නැහැ කවුරුවත් පොඩි හරි අවබෝධයක් තියෙන කෙනෙක් IMF එක සර්ව බලධාරී දෙවියන් කියා හිතන බවක්. රජය වැඩපිළිවෙලක් හදා IMF එකට යෝජනා කළ පසු සහ ඉන් පසුව IMF විමර්ශන වලදී රජය, මහ බැංකුව, විරුද්ධ පක්ෂය, ව්‍යාපාරිකයින්, සිවිල් සංවිධාන ආදී බොහෝ කණ්ඩායම් සමඟ ඒ ගැන කතා කරනවා. එහෙම කතා කරලා තමයි ගැලපෙන විදිහට වැඩපිළිවෙලක් හදා ගන්නේ. විශේෂයෙන්ම ඔය සහනාධාර රටේ ප්‍රධාන දේශපාලන කඳවුරු තුනකින්ම යෝජනා කළ දෙයක්. "ඔවුන්ගෙ කොන්දේසි සාකච්චා කරලා අපිට ගැලපෙන විදියට හදාගත යුතුයි." කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. එහෙම තමයි කොහොමටත් වෙන්නේ. නමුත් රටේ හැම කෙනෙකුටම අවශ්‍ය දේවල් රටක කරන්න බැහැ වගේම ඇතැම් අයගේ මනෝරාජික අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැහැ. හොඳ යෝජනා ඇත්නම් සාමාන්‍යයෙන් ඒවා සැලකිල්ලට ගැනෙනවා. ඇතැම් අයගේ මනෝරාජික අදහස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තමයි රට මේ වගේ තැනකට වැටිලා තියෙන්නේ.

      ඔබේ සටහනේ ඉතිරි කොටස දේශපාලනය. ඒවා රට ඇතුළේ දේශපාලනය හරහා විසඳා ගත යුතු දේවල් මිසක් IMF එකේ ප්‍රශ්න නෙමෙයි. විශේෂයෙන්ම බදු ප්‍රතිපත්තිය.

      Delete
  3. Economy Next වාර්තා කරන විදිහට 2024 අප්‍රේල් වෙන කොට ලංකාවේ මහ බැංකුව ඩොලර් බිලියන 3.2 ක් swap මාර්ගයෙන් ණයට අරන් ති⁣යනවා.... මෙක මොකක්ද කියන්නේhttps://economynext.com/sri-lanka-central-bank-swaps-top-3-2bn-by-december-152776/?fbclid=IwAR1SF6q49q7x3f_tG_8v8ezDkIlZjFOW-1rgv50_P8C6pAB968ERNB29EXU

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: