ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහකරණය සිදුවන්නේ ස්වේච්ඡා හුවමාරුවක් ලෙසයි. මෙහිදී දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග සමඟ හුවමාරු කෙරෙනවා. එය සිදු වන්නේ බැඳුම්කරහිමියන්ගේ කැමැත්ත මතයි. ඔවුන් මෙවැනි හුවමාරුවක් කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලමින් ඒ සඳහා අයැදුම් කළ යුතුයි. මෙය දේශීය ණය (සංවර්ධන බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර) ප්‍රතිව්‍යුහගත කිරීමේදී සිදු වූ දෙයට සමාන දෙයක්.
මෙවැනි කාර්යයකදී රජය විසින් මුහුණ දෙන ප්‍රධානම අවදානම "බැහැරවීමේ අවදානම (Holdout risk)" ලෙස හැඳින්වෙනවා. එයින් අදහස් වන්නේ බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් බැඳුම්කර හුවමාරු කිරීමට කැමති නොවීමයි. "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" අනුව බැඳුම්කරහිමියන්ගෙන් යම් අවම ප්‍රමාණයකගේ කැමැත්ත ලබා ගත හැකිනම් රජයට මෙම බැහැර වීමේ අවදානම වලක්වා ගත හැකියි.
ඉහත සඳහන් පරිදි, බැහැර වීමේ අවදානමෙන් බැහැර වීමටනම්, පළමුව අදාළ බැඳුම්කර නිකුත් කරන විට අදාළ ගිවිසුමට "සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති" ඇතුළත්ව තිබිය යුතුයි. දෙවනුව, එම වගන්ති වල සඳහන් අවම ප්‍රතිශතය ඉක්මවන ණයහිමියන් පිරිසක් ස්වේච්ඡාවෙන් බැඳුම්කර හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කළ යුතුයි.
ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම සාමූහික කැමැත්ත පිළිබඳ වගන්ති ඇතුළත්ව ඇත්ද යන්න පැහැදිලි නැහැ. එය එසේ නොවිය හැකියි. එය එසේ නොවුවද, දැන් ඒ සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. කෙසේ වුවත්, ස්වෛරිත්ව බැඳුම්කර සියල්ලටම නොවේනම් ඒවායින් කොටසකට හෝ මෙවැනි වගන්ති ඇතුළත්ව තිබෙනවා. ඒ අනුව, බැහැර වීමේ අවදානමෙන් බැහැර වීම සඳහා ණයහිමියන්ගෙන් කිසියම් නිශ්චිත අවම ප්‍රතිශතයක් (උදාහරණයක් ලෙස 75%ක් හෝ 66.6%ක්) ස්වේච්ඡා ණය හුවමාරුවක් සඳහා අයදුම් කළ යුතුයි.
මෙසේ ණයහිමියන් සැලකිය යුතු පිරිසක් ස්වේච්ඡා ණය හුවමාරුවකට පොළඹවා ගැනීම අසීරු වැඩක්. ගාස්තුවක් ගෙවීමේ පොරොන්දුව මත ගනුදෙනු කළමනාකරුවන් බඳවා ගන්නේ මේ කටයුත්ත කිරීමටයි. ඔවුන් ඒ සඳහා අයදුම් කිරීමේදී මේ සඳහා වන තමන්ගේ යෝජනා ඉදිරිපත් කළ යුතුයි.
ගනුදෙනු කළමනාකරුවෙකු ලෙස අයදුම්කරන අයෙකුට එය කරන විදිහ පිළිබඳ තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර පිළිබඳ තොරතුරු අවශ්‍ය වෙනවා. දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර වලට සාපේක්ෂව එම බැඳුම්කර වල කල් පිරෙන කාලය කොයි තරම් දිගද? කූපන් පොලී හා මුහුණත අගය කොයි තරම් අඩුද?
ඇතැම් පාර්ශ්ව විසින් තමන්ගේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා රජයෙන් මේ පිළිබඳව විමසා තිබෙනවා. එහෙත්, ශ්‍රී ලංකා රජයේ පිළිතුර වී තිබෙන්නේ තවමත් මේ දේවල් සම්බන්ධව අවසන් තීරණයකට පැමිණ නැති බවයි. එවැනි තීරණයකට පැමිණි වහාම වැඩි විස්තර දැනුම් දෙන බවද සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද, මෙම තොරතුරු ඉතා ඉක්මණින් දැනගන්නට ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා.
දැනට වාර්තා වී ඇති පරිදි, අවසන් තීරණය නොවිය හැකි වුවත්, ද්විපාර්ශ්වීය ණය ආපසු ගෙවීමේ කාලය 2028-2042 දක්වා දිගු කිරීමටද, වාර්ෂික පොලී අනුපාතිකය 2%කට සීමා කිරීමටද තීරණය කර තිබෙනවා. මෙය, මගේ අදහස අනුව, මුදලේ කාල වටිනාකම සැලකූ විට 20%ක පමණ ණය කප්පාදුවකට සමාන විය හැකියි. ඒ නිසා, ස්වෛරිත්ව බැඳුම්කරහිමියන් වෙතද බොහෝ විට ඊට කිට්ටුවෙන් යන යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඉඩ තිබෙනවා.
ඔවුන්ට විකල්ප තේරීම් කිහිපයක් ලැබෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මුහුණත අගය අඩු කර ඉක්මණින් ණය ආපසු ගෙවීමක් සහ මුහුණත අගය අඩු නොකර පරිණත කාලය දිගු කිරීමක් විකල්ප අතර තියෙන්න පුළුවන්.
ශ්‍රී ලංකාව විසින් 2019 ජූනි 28 දින නිකුත් කළ, 2030 මාර්තු 30 දින කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය ද්වීතියික වෙළඳපොළෙහි විකිණිය හැකි ඵලදා අනුපාතිකය මේ වන විට 9.281% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. මාස 17කට පෙර (2022 නොවැම්බර් මාසයේදී) මෙම ඵලදා අනුපාතිකය පැවතුණේ 48.569% තරම් ඉහළ මට්ටමකයි. එම කාලය තුළ, ඩොලර් 100ක මුහුණත අගයක විකිණිය හැකි මිල ඩොලර් 21.211 සිට ඩොලර් 58.273 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙයින් පෙනෙන්නේ දැනටමත් ස්වෛරිත්ව බැඳුම්කර වෙළඳපොළ සක්‍රිය වී බැඳුම්කර සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති වී ඇති බව සහ ලොකු ණය කප්පාදුවක් වෙළඳපොල විසින් අපේක්ෂා නොකරන බවයි.
මේ වන විට ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අවධානය ලංකාවේ රුපියල් බැඳුම්කර වෙත යොමු වී ඇති බව බ්ලූම්බර්ග් වාර්තා කරනවා. මෙයට හේතුව විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කෙරෙද්දී කෙටිකාලීනව රුපියල අධිප්‍රමාණය වීම හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතිකයද ඉක්මවන ප්රතිලාභ අනුපාතිකයක් ඔවුන්ට ලබා ගත හැකි වීමයි.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.