Sunday, May 10, 2020

රොබින්සන් කෲසෝගේ දූපත සොයායාම


මොන හේතුවකටද මන්දා ස්වයංපෝෂණය කියන එක මම ගොඩක් පොඩි කාලේ සිට යම් වයසක් යන තුරු ඇලුම් කරපු යුතෝපියානු සිහිනයක්. ස්වයංපෝෂණය කියා කිවුවහම ඕකේ විවිධ මට්ටම් තියෙනවනේ. අපට රටක් විදිහට, ගමක් විදිහට නැත්නම් තනි පුද්ගලයෙක් හෝ පවුලක් විදිහට ස්වයංපෝෂණය වෙන එක ගැන සිහින මවන්න පුළුවන්. ඇතැම් විට ඔය වගේ සිහිනයක් හඹා ගිහින් ඉලක්කය අත්පත් කර ගන්නත් පුළුවන්.

මම සිහින මැවුවේ අමුම අමු රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැනයි. වැඩේ පටන් ගත්තේ ගොඩක්ම පොඩි කාලෙනේ. මම හිතන්නේ සමහර විට අපි ගොඩක් දෙනෙක්ට ඔය මගේම පාළු විමානෙක නිසංසලේ රහසේ තනි වෙන සිහිනය ජාන වලින් ස්වභාවිකවම එනවා ඇති. අපේ ළමයි වුනත් පුටු හරස් කරලා ඕවට උඩින් ඇඳ ඇතිරිල්ලක් දමාගෙන ඕක අස්සට වෙලා ඉන්න ආස කළ කාලයක් තිබුණා. සුරංගනා කතා සහ වෙනත් කතා වලින් අදහස ආවා වෙන්නත් පුළුවන්. නර්චර් නැත්නම් නේචර්.

ඒ දවස් වල රටක් විදිහට හෝ ගමක් විදිහට හිතන්න තරම් අනන්‍යතා හැදිලා නැහැ. අපි ඔය අනන්‍යතා හදා ගන්නේ ටික ටික ලොකු වෙන කොටනේ. පොඩිම කාලේ මුලින්ම දැනෙන්නේ තමන් තමන්ගේ පවුලේ සාමාජිකයෙක් කියන එක පමණයි. කවදා හරි මේ පවුලෙන් අයින් වෙලා තමන්ගේම පවුලක් හදා ගන්න වෙනවා කියන අවබෝධයත් ඒ එක්කම ආවත් ඒ කා එක්කද කියන එක පැහැදිලි නැහැ. ඒ නිසා, සිහින මවන්න වෙන්නේ රොබින්සන් කෲසෝ කෙනෙක් වීම ගැනයි. සමහර අයගේ පොඩි කාලේ සිහින වලනම් තවත් කවුරු හෝ හිටිය බව මම අහල තියෙනවා. මගේ සිහිනයේනම් අඩු ගානේ ෆ්‍රයිඩේ කෙනෙක්වත් හිටියේ නැහැ.

ඔය සිහිනය තනිකරම මනෝරාජික අදහසක් නොවන බව තහවුරු කරගත හැකි හේතු මට තිබුණා. අපේ නෑදෑයින් හෝ හිතවතුන් අතර මේ තත්ත්වයට කිට්ටු අය ටික දෙනෙක් හෝ සිටීම එයට හේතුවයි. කුඹුරෙන් හාල්. කොරටුවෙන් එළවලු, වත්තෙන් පළතුරු. වත්ත පහළ කිතුල මැද්දහම පැණි හා හකුරු. එළදෙනගෙන් කිරි. කිකිළියන්ගෙන් බිත්තර. සමහර අය ඉඳහිට උගුලක් අටවලා හෝ වෙනත් ක්‍රමයකින් සතෙක් මරා ගන්න එකත් කරනවා. ගොඩක් වෙලාවට ආහාර කියලා පිටින් මිල දී ගන්නේ ලුණු කරවල වගේ දේවල් ටිකක් පමණයි. හකුරු වගේ දෙයක් විකුණලා ඒ සඳහා මුදල් හොයාගන්න පුළුවන්. තව අවුරුද්දකට සැරයක් වගේ ඇඳුමක් ගන්නත් කීයක් හරි සල්ලි ඕනෑ.

ඔය වගේ ආහාර වලින් බොහෝ දුරට ස්වයංපෝෂණය වූ අය ඕනෑ තරම් දැකලා තිබුණු නිසා ඒ වැඩේ මනෝරාජික අදහසක් කියලා මට හිතුනේ නැහැ. කටු මැටි ගහපු පොල් අතු හෙවිල්ලපු මූලික මට්ටමේ ගෙයක් හදාගන්න එකත් තනියම කරන්න පුළුවන්. පිටින් සැපයුම් අවශ්‍ය නැහැ. එතකොට පැදුරු වට්ටි වගේ ඒවත් වියා ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම මට කරලා අත්දැකීම් තිබුණු දේවල්. ප්‍රශ්නය තිබුණේ ආහාර නොවන වෙනත් අවශ්‍යතා ගැනයි.

ප්‍රධානම ප්‍රශ්නයක් වුනේ ඇඳුම්. ඒ ගැන මට හිතාගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බාහිර සමාජයේ වෙන කවුරුවත්ම එක්ක ගැටෙන්නේ නැත්නම් ඇඳුම් අවශ්‍යත් නැහැ. ඒත් ඒ ගැන සහතිකයක් නැහැනේ. පුටු හරස් කරලා ඇඳ ඇතිරිලි දමලා හදා ගන්න ගේකට වුනත් කවුරු හරි ලොකු කෙනෙක් ඔලුව දමන එක නවත්තන්න බැහැනේ. ඒ වගේ වෙලාවක හරියකට ඇඳුමක් නැත්නම් මාර ලැජ්ජාවක්නේ වෙන්නේ.

එතකොට ලෙඩක් වුනොත්? පොඩි ලෙඩ වලටනම් මොනවා හරි අත් බේතක් කරගන්න පුළුවන්. ඒ දවස් වල කොහොමටත් හැම දේටම ඉස්පිරිතාල වලට හෝ දොස්තරලා හොයාගෙන ගියේ නැහැ. ඒත් ලොකු ලෙඩක් හැදුණොත්?

ඔය ඔක්කොටමත් වැඩිය ලොකුම ප්‍රශ්නය අනිත් ඔක්කොම කළත් රටේ නීති පද්ධතියෙන් හා ආණ්ඩුවෙන් නිදහසක් නැති කමයි. තමන්ට අවශ්‍ය දේවල් මොන විදිහකින් හෝ හොයා ගෙන පිරිමහගත්තත් ආණ්ඩුවෙන් නිදහසක් නොලැබෙන බවත් ආණ්ඩුවට යම් යම් "යුතුකම්" කරන්නම වෙන බවත් මොන ආකාරයකින් හෝ ගොඩක් පොඩි කාලෙම මට තේරිලා තිබුණා.

ඇමරිකාවේ ඉන්න කෙනෙක්ටනම් තමන්ගේ ඇමරිකානු පුරවැසිකම අත ඇරලා රටක් නැති කෙනෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දවස්වල ඔහොම දේවල් ගැන දැනගෙන හිටියේ නැහැනේ. ඇඳ ඇතිරිල්ල උස්සලා සෙල්ලම් ගෙදරට ඔලුව දාන වැඩිහිටියා වගේ ආණ්ඩුව ඔලුව දමන එකත් වලක්වන්න බැරි දෙයක් බවයි පෙනෙන්න තිබුණේ. දැන් හිතල බැලුවහම ඒ දවස් වලත් ඒ ගැනනම් හරි අවබෝධයක් තිබිල තියෙනවා.

ඔය වගේ යුතෝපියානු සිහිනයක් දකින්න පුළුවන්කම තිබුණේ ඒ දවස් වල, මට අයිති වෙලා නොතිබුණත්, අම්මාගෙන් උරුම වූ ඉඩමක්ද පවුලේ වත්කම් අතර තිබීමයි. ඉඩමේ කුඹුරු කෑල්ලක් සහ ගොඩ ඉඩම් කොටසක් තිබුණා. පැත්තක පොඩි ඇළ පාරකුත් තිබුණා. තව වෙන මොනවද?

පේරාදෙණියේ ඉන්න කාලේ සරසවි සංවාද පර්ෂදය කියලා එකක් තිබුණා. මෙහි නිලධාරී මණ්ඩලයට මමත් පසුව සම්බන්ධ වුනත් මේ කියන අවස්ථාව වන විට මතක හැටියට, එවැනි විශේෂ සම්බන්ධයක් තිබුණේ නැහැ. ඕකෙන් විවිධ දේශපාලන අදහස් හා මතවාද දරන අයට ආරාධනා කරලා දේශන මාලාවක් පැවැත්වුණා. ඔය විදිහට ආරාධනා ලැබූ එක් පුද්ගලයෙක් වුනේ ප්‍රේමකුමාර එපිටවල. මාතෘකාව ස්වයංපෝෂණය හා අදාළ එකක්.

ප්‍රේමකුමාර එපිටවල ගොඩක් ප්‍රසිද්ධ වෙලා හිටියේ මුද්‍රා නාට්‍ය, බතික් වගේ දේවල් වලට. එහෙත් අපිට වැදගත් වුනේ වෙනත් දෙයක්. ඒ ඔහු විස්තර කළ ඔහුගේ ස්වයංපෝෂිත ජීවිතය. කුඹුරෙන් හාල්. වත්තෙන් එළවලු. ඒ විතරක් නෙමෙයි අර මට පොඩි කාලේ වදයක්ව තිබුණු අනෙක් මූලික ප්‍රශ්නත් ඔහු විසඳාගෙන. ඇඳුම් හදා ගන්න කපු කටින යන්ත්‍රයක්. වෙන එකක් තියා කඩදාසි හදලා ඒ කඩදාසි වල මුද්‍රණය කරන එකත් කරන්නේ ගෙදරමයි. ගෙදර කිවුවට සෘතුව අනුව ජීවත් වෙන්න රම්‍ය, සුරම්‍ය, සුභ කියලා ගෙවල් තුනක්ම තියෙනවා. කියන විදිහට අන්තිමට ඉතිරි වී තියෙන එකම ප්‍රශ්නය කාර් එකට පැට්‍රෝල් ගහන එකයි.

දේශනයනම් හරිම ආකර්ශනීයයි. අඩු වශයෙන් අපි කීප දෙනෙකුට. හැබැයි කිවුවටම විශ්වාස කරන්නේ කොහොමද? අපිට ගිහිල්ලම බලන්න අවශ්‍ය වුනා. අපි කිවුවේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ඇතැම් විට මේ ලිපිය කියවනවා විය හැකි මගේම කණ්ඩායමේ මිතුරෙක් හා දැන් කැනඩාවේ ජීවත්වන ඒ දවස්වල නිතරම මතවාදී සාකච්ඡා සඳහා එකතු වූ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක මිතුරෙක්. දෙවනු කී මිතුරා ප්‍රේමකුමාර එපිටවලව සම්බන්ධීකරණය කරගෙන දවසක් දාගත්තා.

අන්තිමට අපි තුන් දෙනා කියපු වෙලාවට ඔහුගේ ඊරියගම හරියේ තිබුණු නිවසේ ගේට්ටුව අසළට ගියා. මතක හැටියට ටික වෙලාවකින් ඔහු කොහේ හෝ සිට මෝටර් රථයෙන් ආවා. එහෙම නැත්නම් අපි එන්න ටික වෙලාවකට පෙර එහි පැමිණි බව කිවුවා.

මහත් බලාපොරොත්තු තියාගෙන ගියත් අපිට මුලින්ම පවා දකින්න ලැබුණේ කඩා වැටී තිබුණු ස්වයංපෝෂිත ආර්ථිකයක්. නිවස ඉදිරිපිට හදා තිබුණු රම්‍ය සුරම්‍ය කුටි, කාලයකින් පාවිච්චියට ගෙන නොතිබුණු කපු කටින යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය වගේ දේවල් පෙන්නුවා මතකයි. ක්‍රියාත්මක කර පෙන්නුවේනම් නැහැ. ක්‍රියාත්මක කළ නොහැකි වීමට හේතු පමණයි අපට ලැබුණේ.

අපේ ස්වයංපෝෂණ සිහිනය කඩා වැටුණේ කිහිප වරක් අසා කුඹුරු ගැන දැන ගැනීමෙන් පසුවයි. කුඹුරු පොළොන්නරුවේ. මිනිස්සු දම්මවලා වැඩ කරනවා. දේශනය වෙලාවේ අපි දැකපු ආශ්චර්යය නැහැ. තීම් පාක් එකකින් ලබන විනෝදය ලබන්නනම් හොඳයි.

මේ තමයි මම රොබින්සන් කෲසෝ පන්නයේ ස්වයංපෝෂණය වීමක් ගැන බරපතල ලෙස හිතපු අන්තිම අවස්ථාව. අපි කිහිප දෙනෙක්ට රොබින්සන් කෲසෝලා වෙන්න බැරිකමක් නැහැ. නමුත්, එය ඉතාම අකාර්යක්ෂම නිසා මේ වැඩේ කළ හැක්කේ වෙන මොන ක්‍රමයකින් හෝ සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් එකතු කරගෙන සිටින ධනවතෙකුට පමණයි. ලෝකයේ විශාල පිරිසකට රොබින්සන් කෲසෝලා වෙන්න අවශ්‍ය තරම් සම්පත් මිහිමත නැහැ. ස්වයංපෝෂණ ආකෘතියේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නය ඒකයි.

නිදහස් ගනුදෙනු කියන්නේ මේ සම්පත් හිඟයට දැනට තිබෙන හොඳම විසඳුමයි.


19 comments:

  1. ගිහිල්ලා බලල නං නෑ
    Man Living in a Sustainable & Innovative Earthship Home

    බොහොම කාලෙකට ඉස්සර කොත්තු සිංඩියේ රයිගම කියලා කෙනෙක් බ්ලොග් එකක් ලිව්වා. ඇමරිකාවේ කෝපරේට් ජීවිතේ ගැන කලකිරිලා ඔහොම ලංකාවෙ ස්වයං පෝෂණ හීනෙ හඹා ගිය කෙනෙක්. සරං කොටයක් ඇඳගෙන වත්ත කොටන පිංතූරයක් තමා ප්‍රොෆයිල් එකට දාලා තිබුණෙ.

    එයාගෙ බැංකුවෙ ඩොලර් තිබුණා. වත්තෙ පොඩි එකෝ ලොජ් එක්කුත් තිබුණා. තව ජීප් කට්ටකුත් තිබුණා, එකෙන් ඔය ක‍ටුආතා වගේ විශේෂ පලතුරු කොළඹ ගෙනත් විකුණුවා. ඔෆ් ද ග්‍රිඩ් ලිවිං කියල හරියටම කියන්න බැරි වුනත් ලියපු විදිහට එයා සතුටින් හිටියා.

    මිනිසුන්ට තමන් කැමති විදිහකට ජීවත්වෙන්න ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තියනවා. ඒත් මං නං ඔව්වා එක මාසෙන් එපාවෙනවා. හොඳ වෙලාවට කලකිරෙන්න මට ඇමරිකන් කෝපරේට් ජීවිතයක් නැත්තෙ.

    ඒත් Cast Away ‍ෆිල්ම් එකට නං මං පට්ට් ආසයි. ඇත්ත කතාවක් කියන්නෙ.

    ReplyDelete
  2. 1. මට නිකං මැවිලා වාගේ පෙනෙනවා/ඇහෙනවා ප්‍රේ.එ. ගෙ ගෙදර ගිහින් එනකො⁣ට ඔය කට්ටිය කතා වෙවී ආපුවා. ඇත්තම කියනවා නම් ඉකොනො, සුවයංපෝෂණය කියන්නේ සුවයංවින්දනය වාගේ බාල අදහසක්! මිනිසකුගේ අදහස් පවා තමන්ටම අයිති නැති මේ මිනිස් ශිෂ්ඨාචාරය තුල ස්වයංපෝෂනය ගැන මහා ඉහලින් කතා කරන්නේ කුහක කපටියෝ.අපි නිතරම සමාජය ගැන සැලකිලිමත් විය යුතුයි. ජාත්‍යන්තර දැනුම සහ අද්දැකීම තිබෙන පුද්ගලයා/කණ්ඩායම සමාජයේ පෙර ගමන්කරුවන් විය යුතුයි. ස්වයංපෝෂිත ආර්ථිකයක් කියන්නේ එක්තරා ආකාරයක ජාතිකවාදයක්. එය ජාතිවාදයක් කරා යන්න ගතවෙන්නේ සුළු කාලයක් විතරයි.

    මගේ උඩු අදහසත් ඔබ කියනවා වාගේ " තරගයට මුහුණ දෙන්න බැරිනම් අයින්වෙයං. තරගයට මුහුණ දෙන්න නම් පුහුණු වෙලා වරෙං. පුහුණු වෙන්න නම් කට්ට කන්න පුරුදු වෙයං..." වාගේ අදහසක්. නමුත් මගේ යටි සිත මීට වඩා වෙනස්. කෙටියෙන් කියනවා නම් ලංකාවේ බහුතර ගොවියන් පරම්පරා දැනුමෙන් සහ practice එකෙන් මිදෙන්න කැමති නැහැ.මේක මහා විශාල අවුලක්. මමත් අජිත් (කොළඹ ගමයා) සේ හිතාගෙන හිටියේ මගේ අක්කර 14 වගා කරගෙන, අනිත් එකාට සාධාරණ ඊර්ෂ්‍යාවක් ඇති වන ආකාරය⁣ට වැඩ පෙන්වලා (වැඩ කරලා විතරක් වැඩක් නැහැ වැඩ පෙන්වන්න බැරිනම්) වී වගාවට සත්ව/මිනිස් ශ්‍රමය වෙනුවට heavy equipment හඳුන්වා දී වී වගාව mechanise කරන්න. නමුත් ඔ⁣බේ ගනන් හැදීම පෙන්වනවා collective farm මඟින් රටක දුප්පත්කම නැති කරන්න බැහැ කියලා. මේ කාරණය සුලුවෙන් තකන්න බැහැ ඉකොනෝ....

    CP-C

    ReplyDelete
    Replies
    1. හැත්තෑව දශකය වගේ කාලයේ ඇතැම් විට මේ වගේ වැඩකින් සැලකිය යුතු ප්‍රයෝජනයක් අත් වෙන්න තිබුණා. දැන් ලෝකය තව අවුරුදු පණහකින් පමණ ඉදිරියට ගිහින්. ඇත්තටම ලංකාවේ වී ගොවිතැනත් සෑහෙන්න ඉදිරියට ගිහින් තිබෙනවා. දැන් ගොයම් කපන යන්ත්‍ර, ට්‍රැක්ටර් ආදිය යොදා ගන්නවා මිසක් ඒ දවස් වල වගේ මී හරක් යොදා ගන්නේ නැති තරම්. නමුත්, ඒ වෙනස වෙද්දී ඇමරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලුත් තව ඉදිරියට ගිහින් නිසා පරතරය එසේමයි. ගුවන් යානා වලින් වී ඉහින, තෙල් පෝර දමන මට්ටමේ කාර්යක්ෂමතාවයක් ගන්නනම් අක්කර පන්සීයක තරමටවත් ගොවිපොළවල් විශාල විය යුතුයි. හැබැයි දැන් ලංකාවේ නාගරික, උගත්, ඉහළ මධ්‍යම පන්තිය අතර වී ගොවිතැන පිළිබඳ ලොකු උනන්දුවක් තියෙනවනේ. බස්නාහිර පළාතේ ඔබට තිබෙන පුරන් ඉඩම ඒ අයගේ වී වගා ෆැන්ටසියට ගැලපෙන ආකාරයට කිසියම් ක්‍රමයකට බදු දෙන එක සමහර විට හොඳ ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. මම කියන්නේ "යූ-පික්" ඇපල් වතු ආකෘතිය වගේ එකක්. ඔය වගේ තැනකට ගිහින් ගහෙන් කඩාගෙන ඇපල් අරන් එනවාට වඩා ගොඩක් අඩු වියදමකින් හා කාලයකින් අපිට ළඟම තිබෙන සුපිරි වෙළඳසැලකින් ඇපල් මිල දී ගන්න පුළුවන් වුනත් මේ වැඩේ තිබෙන ආශ්වාදය නිසා අපි යනවනේ. බස්නාහිර පළාතේ තැනක් වැඩේට හොඳටම ගැලපෙනවා. කොළඹ අවට ජීවත් වන වෘත්තීය රැකියා කරන අයට ළමයි එක්ක පවුල් පිටින් සති අන්තයේ ගිහින් කුඹුරු වැඩ කරලා විනෝදයක් ගන්න අවස්ථාවක් ලබා දෙන එකයි කරන්න තියෙන්නේ. අක්කර කාලේ හෝ බාගයේ කෑලි වෙන් කරලා කන්නයකට වගේ බදු දුන්නනම් හරි. අවශ්‍ය යාන්ත්‍රික උපකරණ ටිකත් අරගෙන ඒවත් කුලියට දෙන එකයි කරන්න තියෙන්නේ. කලින් රිසවේෂන් දාන්න සිස්ටම් එකක් හැදුවානම් අදාළ සති අන්තයේ ඇවිත් ගාන ගෙවලා පවුල පිටින් කුඹුර හාන එක හරි ගොයම් කපන එක හරි කරලා යයි. තෙල් පෝර ඕනෑනම් එතැනම තියාගෙන වෙනම විකුනන්න පුළුවන්. ලාබ බලා නොගෙන කාබනික වී ගොවිතැන හෝ සම්ප්‍රදායික වී වගාව කරන්න කැමති අය ඉන්නවනම් ඒත් ගාණ අරගෙන ඉඩම දෙන එකයි තියෙන්නේ. කන්නයකට එකම පවුලකට දෙනවාට අමතරව සමහර විට සල්ලි ගෙවලා ටිකට් එකක් අරගෙන දවසකට කුඹුරු වැඩ කරලා යන්න කැමති දේශීය හා විදේශීය සංචාරකයෝ වුනත් හොයාගන්න පුළුවන් වෙයි. ඔය වගේ දෙයක් කළොත් අස්වැන්න අඩු වුනත් වැඩේ පාඩු වෙන්නේ නැහැ.

      Delete
    2. Econo, I thank you for your prompt reply.Your this idea is amazing.I am waiting what others are saying about this and their opinion.Besides, this idea of recultivation of my inherited-lands are not just a fantacy. It has a pure political meaning. මම මේවා වගා කරන බව වටේ ඉන්න ඇඹල දේශපාලුුු⁣වෝ ටික දැන ගත්තොත්, මට එන ලොකුම අභියෝගය එන්නේ උන්ගෙන්.
      CP-C

      Delete
    3. //It has a pure political meaning. //
      I realized this after reading your comments below. I replied before seeing those.

      Delete
  3. 2. හිඟන්නන් අතර ධනවතකු වෙන්න මම කැමති නැහැ වාගේම තමයි ධනවතුන් අතර හිඟන්නකු වන්නත් මම කැමති නැහැ. ඒ අයුරින් කල්පනා කලොත් සමාජ සාධාරණත්වය අගයන අය ධනපතියන්ට වඩා සමාජවාදීයි. නමුත් මේ මම ආරක්ෂා කරගෙන ඉන්න මගේ සැඟවුන සමාජවාදය නැවතත් අරගල කරන්නේ මට විරුද්ධවමයි.

    උදාහරණයක් ලෙස කියනවා නම් මම දැන් හම්බකරගෙන ඇති මුදලින් මට මගේ මවු පාර්ශ්වයේ බස්නාහිර කුඹුරු ටික වගා කල හැකියි. මම ලාබ ශ්‍රමය උතුරු මැද පලාතින් ගන්නවා. එහෙම නැත්නම් ලංකාවේ මගේ නිවසේ වහලය ගහන්න(කොන්ත්‍රාත්කරු) ඉන්දියානු ශ්‍රමිකයන් යොදා ගත්තා සේ කුඹුරු ටික අස්වද්දන්න ඉන්දීය වැටුප් ශ්‍රමිකයන් යොදා ගන්නවා. එමඟින් මම ලංකාවේ ශ්‍රම උගුලින් ගැලවෙනවා. නමුත් මේ සියල්ලටම වඩා වටින්නේ මට හැකියාව ලැබුනොත් John Deere කෘෂිකර්ම උපකරණ ටික ලංකාවට ගෙන්න ගන්න පුලුවන් වුනොත් තමයි. එතකොට මොකද වෙන්නේ? සියල්ල හරි සහ හොඳ විදියට වුනොත් 14,000 kg විතර වී අස්වැන්නක් මට ලබා ගත හැකියි දල වසයෙන්.මගේ තියෙන උනන්දුව, කැපවීම, අවදානම් බාර ගැනීම, දක්ෂතාවය සහ මිතුරු උදව් මඟින් ඔබ කියනවා සේ වටේ පිටේ තියෙන කුඹුරු ටික අඩු මිලට වැඩි කාලයකට බදු ගන්න විතරක් නොවෙයි, ගැමියාගේ හැටි මම දන්නා නිසා අඩුම, කොල්ලකාරී මිලකට රත්තරන් වටිනා ඉඩම් ටික වුනත් මට ගන්න පුලුවන් වෙයි. නමුත් එසේ කිරීම හරිද? ධනවාදය ,ප්‍රජාවන්ගේ අකාර්යක්ෂම බවට අනුකම්පා නොකරන බව ඇත්ත වුනත් ගොවි ධනපතියෙක් ඇවිත් අර ගැමියාගේ කුඹුරු ටික කොල්ලකාගෙන ගොවියන් ටිකව ගමෙනුත් පලවා හරින තැනට වැඩ සිද්ධ වුනොත් එතැන සිදුවන්නේ සමාජ අසාධාරණයක් නේද?...
    CP-C

    ReplyDelete
    Replies
    1. //ධනවාදය ,ප්‍රජාවන්ගේ අකාර්යක්ෂම බවට අනුකම්පා නොකරන බව ඇත්ත වුනත් ගොවි ධනපතියෙක් ඇවිත් අර ගැමියාගේ කුඹුරු ටික කොල්ලකාගෙන ගොවියන් ටිකව ගමෙනුත් පලවා හරින තැනට වැඩ සිද්ධ වුනොත් එතැන සිදුවන්නේ සමාජ අසාධාරණයක් නේද?//
      ඔය විදිහට හිතෙන්නේ කාලයක් තිස්සේ අපි සමාජවාදී අදහස් අහල අහලා ඇඟට පත්තියම් වෙලා නිසා. මම කියන්නේ මේ වගේ දෙයක් වෙන එකේ වැරැද්දක් නැහැ කියන එක නෙමෙයි. මේ කතාවම බොරු බියක්. දැන් ඇමරිකාවේ කෘෂිකාර්මික රැකියා වල යෙදෙන්නේ 1%කට අඩු පිරිසක්. අනෙක් මිනිස්සුන්ට අක්කර ගණන් ඉඩම් නැහැ තමයි. නමුත්, ඔවුන් සමාන ආදායමක් උපයනවා. අවශ්‍යනම් ඔවුන්ගෙන් කෙනෙක්ටත් ලොකු වගා ඉඩමක අයිතිකරුවෙක් වෙන එක අමාරු වැඩක් නෙමෙයි. ඒ වැඩේට කැමති අය හොයා ගන්න එකයි වඩා අමාරු. ආණ්ඩුව මුල්වී එක රැයින් ප්‍රතිසංස්කරණ කළොත්නම් ඔය ගොවීන් පාරට වැටෙයි. නමුත්, ධනවාදය කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. කවුරුත් තීරණ ගන්නේ තමන්ගේ යහපත ගැන සලකලා. ඒ නිසා, ඇත්තටම වෙන්නේ ඔය කුඹුරු වල හිර වී දුප්පත්කමෙන් මිදෙන්න බැරි අයව එයින් නිදහස් වීමක්. එය වෙන්නේ ක්‍රමාණුකූලව. ඒ අය ගිහින් පාරට වැටෙනවානම් එහි කාර්යක්ෂමතාවයක් නැහැ. එක් අයෙක් අතේ තිබුණු දෙයක් වෙනත් අයෙක් අතට යනවා පමණයි. ධනවාදයේ කාර්යක්ෂමතාවය එන්නෙම කුඹුරෙන් ඉවත් වන පුද්ගලයා ඊට වඩා ආදායම් ඉපැයිය හැකි වෙන දෙයක් කරන එකෙන්. මේ හැම දෙයක්ම එකින් එක විස්තර කරන්න තව ගොඩක් අතරමැද දේවල් ලියන්න වෙනවා.

      Delete
  4. 3. අවසාන වසයෙන්, අජිත් සහ මම යෝජනා කරන විදියට මේ බස්නාහිර පලාතේ කුඹුරු ටික සමාජවාදී වැඩ පිලිවෙලකට යටත්ව, ධනේශ්වර ක්‍රමය තුලින් උකහාගත හැකි productivity එකත් උපයෝගී කර ගනිමින්, මුදලාලිලා, බැංකුකරුවන්, රක්ෂණකරුවන්, අතරමැදියන් හෝ නූගත් දේශපාලන පරබල්ලන් බිහි නොකරන අනාගත ලංකාවක් වෙනුවෙන් ඔබට යමක් යෝජනා කල හැකිද?

    නිකං හිතන්න; ඔබ යෝජනා කරන ලෙසට පසුගාමී ලංකාවක ගොවි ධනපති⁣යන් බිහි වන්නට ගියොත් වෘත්තීය සමිති කාරයන්ට හැර ඉන් වැඩක් වෙන්නේ කාටද කියලා. ගොවියෝ ටික වහ ⁣නොබී හූල්ලපාම මැරෙයි මොකද උන් ගැමියෝ නිසා. කම්කරුවන්ටට නම් working class consciousness එකක් තියෙනවා, යන්තමට හරි. ගොවියාට මොකක්ද තියෙන්නේ?

    මම හෙන අමාරුවෙන් උපයා ගත් මුදල ලෝබ නැතුව ඒ වෙනුවෙන් වියදම් කර, අද මම මේ ජීවත් වන ඉහල මැද පාන්තික ජීවිතයෙන් කුඹුරට බහින්න වුනත් සූදානම්, කල යුතු දෙය හරියටම කවුරු හරි පෙන්වා දෙනවා නම්. හැබැයි මට වාගේම සමාජයටත් විපුල ප්‍රයෝජනයන් අත් විය යුතුයි.

    ස්තුතියි.
    CP-C

    ReplyDelete
    Replies
    1. //මුදලාලිලා, බැංකුකරුවන්, රක්ෂණකරුවන්, අතරමැදියන්//
      ගොවීන් වගේම මේ හැම දෙනෙක්මත් විශාල සේවයක් (සේවා නිෂ්පාදනයක්) කරනවා. මාක්ස්ගේ යල් පැන ගිය ප්‍රවාද එය තේරුම් ගත නොහැකි තරම් දුප්පත් වීමයි මාක්ස්වාදයේ ගැටලුව. තවත් ගැටළු තිබෙනවා. මාක්ස් පීල්ල පනින්නේ ප්‍රාග්ධනය පළමු පරිච්ඡේදයේදීමයි. ඒ වගේ වෙනත් රැකියාත් වැඩි වැඩියෙන් අලුතින් බිහි වන නිසයි ඉඩම් ටික සුළු පිරිසක් අතට එකතු වෙද්දී අනිත් මිනිස්සු පාරට නොවැටෙන්නේ. ගොවීන් ගොවිතැනින් ධනවතුන් වෙද්දී ගොවිතැනෙන් ඉවත් වන අය වෙන දෙයක් කරලා ධනවතුන් වන නිසා ඔබ කියන ආකාරයෙන් වහ බොන්න සිදුවන "හිටපු ගොවීන්" කියා පිරිසක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා සමාජ සාධාරණත්වය පිළිබඳ ගැටලුවක් පැන නැගෙන්නේ නැහැ.

      Delete
    2. CP-C,
      රුපියල් අස්සෙ අලුක්කාල් ගහන්න උනාට සමාවෙන්න, ඔබ හිතන විදිහට මං කැමති නිසයි කියන්නෙ.

      මේ සාවියෙ ඉන්න දිගම කොණ්ඩෙට වාර්තාව තිබ්බ කොණ්ඩ මුතු කියන හාදයා ඔහොම සමාජ සත්කාරයක් කරන්න, ලංකාවෙ අපද්‍රව්‍ය ප්‍රතිචක්කරනය කරන මධ්‍යස්තනයක් පි‍ටුවන්න ගිහිල්ලා හැරිල ආවා. මං මේ නිකං කිව්වෙ, ප්‍රශ්ණෙ පිටින් පේනවට වඩා සංකීර්ණ විය හැකියි. කැල්කියුලේටඩ් රිස්ක් එකක් නං ගත්තාට කමක් නෑ. ඒක එහෙමද කියලා බලන්න වෙන්නෙ ලංකාවට ගිහිල්ලා ඔබටම තමා.

      Delete
    3. බසු, risk analysis එකත් ඉතිං ඉකොනෝගෙන්ම තමයි අපට ඉගෙන ගන්න වෙන්නේ.ඔබේ ⁣කොණ්ඩය දිග මිතුරා ගැන මට තියෙන්නේ අවංක දුකක්. අඩුම තරමින් ඔහුගේ බිරිඳ හෝ ඔහුව තේරුම්ගත්තා නම් ඔහු පැරදී නැත.
      ඇත්තම කියකවා නම් මමත් සල්ලි ගෙවලා urban waste management පාඨමාලාවක් කලා මගේ බිරිඳ සමඟ නෝක්කාඩු වෙමින්. ගෑණිව ෂේප් කර ගත්තේ පුදුම අමාරුවකින්.

      Delete
  5. අගේ ඇති මාතෘකාව, ඔයි රොබින්සන් කෲසෝලට සයිට් හොයන්න මමත් දෙපාරක්ම සෑහෙන කට්ටක් කාලා තියනව, එයයිලගේ රෙක්වයර්මන්ට් අර එන එන හැම මනමාල අපේක්ෂකයාගේම හෝ ඇදක් කුදක් හොයන අය වගෙයි, එක්කෙනෙකුට කටකළු වදුරෝත් ඔනි වුනා. මට තේරෙන දේ නම් එයාලා කටමැත දෙඩෙව්වට ඉන්වෙස්ට් කරන්න බයයි කියන එකයි.

    ReplyDelete
  6. පැන්ෂන් අරමුදලෙන් ස්වයංපොෂිත ගොවිපල සිහිනය සැබැකරගන්න බහින එක නම් කොහෙත්තම නුවනැති දෙයක් වෙන්නේ නෑ, ලොකු ගොවිපලක පළවැනි අවශ්‍යතාව තමයි සියළු වැඩ අතහැරල ගේමට බහින්න පුළුවන් රාජපක්ෂවරුන්ගේ පවුල වගේ ලොකු පවුලක් සිටීම. මම හිතන්නේ ලොකු ගොවිපලවල් බිහිවෙන්නේ පිටතින් ඇවිත් සිහින සපුරගන්න ආයෝජනය කරන අයගෙන් නොවෙයි, දැනටම ගොවිතැනේ යෙදෙන පවුල් වලින්, තමුන්ටම කියල ලොකු ඉඩම් නැතිවට කන්නකට අක්කර 25-50 වගා කරන අය මට හමුවෙලා තියනවා, සහොදරයෝ සමඟ අක්කර 100ට වඩා වගා කරා කියූ කෙනෙකුත් කාලෙකට පෙර හමු වුනා, සහොදරයින් බස් රස්සාවට යොමුවුනු නිසා ඔහුත් ගොවිතැන ස්කේල් ඩවුන් කරල ටවුමේ ගොඩනැගිලි කීපයක් ගත්තා. ගොවිජනපද වල මට හමුවෙලා තියනවා මොන්ටෙරෝ එහෙම තියාන ඉන්න ගොවියෝ කීප දෙනෙකුත්, ඹුලින් බදු කුඹුරු ගොඩක් කරල පසුව ගම් කීපයක ගොවීන් සම්බන්ධකරගෙන බිත්තර වී නිශ්පාදනයට සහ වී ගබඩා කිරීමට යොමු වූ අය, ඔවුන් සියල්ලම වගේ දේශපාලනයටත් ගෑවිලා ගොවිතැනෙන් කොන්ත්‍රාත් වලට යොමුවෙන්න ඔන්න මෙන්න හිටි අය.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ඇණ, ලංකාවේ දිරාගෙන යන කොස් ගහක් විතරක් නොවේ; වැසිකිලි වලක් කපා ගන්න වුනත් ප්‍රාදේශීය දේශපාලුවාගේ සම්බන්ධකම ඉවහල් වන සමාජයක; විද්‍යාව , තාක්ෂණය සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ කරගෙන ලොකු වී අස්වැන්නක් නෙලාගෙන කමතෙන් ගෙට ගේනවා කියන්නේ යුද්ධයක් ජය අරගෙන එනවා වාගේ වැඩක්. කන්න දෙකක් වගා කලත් ලොකු දිනුමක්. එහෙත් ව්‍යාපාරවල ප්‍රාග්ධනය වෙනුවෙන් ව්‍යාවසායකයාගෙන් අල්ලස් ගන්න දේශපාලකයෝ හිටියත් ලංකාවේ, කෘෂිකර්මයෙන් අල්ලස් ගන්න එවුන් නැතුව ඇති මගේ හිතේ.

      කොහොම හරි ඉකොනෝ කියනවා වාගේ ආවස්ථික පිරිවැය යන සංකල්පය මහා ඉහලින් මේ තීරණය මත ක්‍රියාත්මක වනවා. අඩුම තරමින් මම ආයෝජනය කරන මුදලින් මට සමාජ ප්‍රතිලාභයක් හෝ ලැබේ නම් එය මට යම් සතුටකට කාරණයක් වුනත් එහි අවසානය ඔබ කියන ලෙසට දේශපාලකයෝ විසින් ඩැහැ ගනීවි.
      CP-C

      Delete
    2. //ලංකාවේ, කෘෂිකර්මයෙන් අල්ලස් ගන්න එවුන් නැතුව ඇති මගේ හිතේ//

      මට නං ඒකත් විස්වාස නෑ (මං නං ඉතිං උප්පත්තියෙන්ම නෙගටිව් තින්කින් බකමූණා)

      තව ඔය සමීකණයට GM බිත්තර වීත් දාගන්න. ගොයියට තියෙන කොරෝනා පස්න -අමිල ඒ ගැන ලියල තිබ්බා.

      Delete
    3. //අඩුම තරමින් මම ආයෝජනය කරන මුදලින් මට සමාජ ප්‍රතිලාභයක් හෝ ලැබේ නම් එය මට යම් සතුටකට කාරණයක් වුනත් එහි අවසානය ඔබ කියන ලෙසට දේශපාලකයෝ විසින් ඩැහැ ගනීවි.//

      ඔබ ඉතා ඉක්මණින් මේ අදහස උකහා ගැනීම පිළිබඳව සතුටුයි. ගොඩක් අය (ඇමරිකාවේ පවා) ආර්ථික විද්‍යාඥයින්ව හා ධනවාදය විවේචනය කරන්නේ හැම දේම සල්ලි හෙවීමට ඌණ කරනවා කියන පදනමින්. ධනවාදය හා ධනවාදී ආර්ථික විද්‍යාව කෙනෙකුට වැඩියෙන් මුදල් සොයා සතුටු වෙන්න තිබෙන නිදහසට බාධා කරන්නේ නැහැ. නමුත්, ධනවාදය හා ධනවාදී ආර්ථික විද්‍යාව විසින් ඇත්තටම අවසාන වශයෙන් කළමනාකරණය කරන්නේ හා අධ්‍යයනය කරන්නේ ඒ සතුට මිසක් මුදල් නෙමෙයි. ධනවාදය යටතේ වැඩියෙන් මුදල් හොයා සතුටු වෙන අයෙකුට එසේ සතුටු වෙන්න නිදහස තිබෙනවා. වෙන ක්‍රමයකින් සතුටු වෙන කෙනෙකුට ඒකටත් නිදහස තිබෙනවා. ඒ නිසා, යහපත් වෙනසක් සඳහා මිනිස්සු හිතන විදිහ මිසක් ධනවාදය වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ සතුටු වෙන්නේ ඔබේ සමාජ සත්කාරයේ අරමුණු ඉටු වීමෙන්නම් එහිත් කාර්යක්ෂමතායක් කියා දෙයක් තියෙනවා. අවශ්‍ය ඉලක්කය ඉටු වෙන්නේ නැත්නම් ඔබට සතුටු වෙන්න බැහැ. මේ සතුට (utility) මනින එක මුදල් ගනුදෙනු මනින තරම් පහසු නැහැ. හැම දේටම මුදල් සම්බන්ධ කරගන්නවා කියන්නේ සතුට වක්‍ර ලෙස මැනීම සඳහා නිර්ණායකයක් ලෙස මුදල් ගනුදෙනු යොදා ගන්නවා කියන එකයි. එසේ නැතිව අම්ම තාත්තා පවා විකුණනවා කියන එක නෙමෙයි. ඇත්තටම කියනවානම් ධනවාදය තිබුණත් නැතත් ඇතැම් මිනිස්සු අම්ම තාත්තා වුවත් විකුණන කිසියම් සීමාවක් තිබෙනවා. මේ සීමාව ඇසුරෙන් ඕනෑම දෙයක වටිනාකම පිලිබඳ නිර්ණායකයක් හදාගන්න පුළුවන්. කිසියම් ආයෝජනයක (මුදල් හෝ මුදල් නොවන) ප්‍රතිලාභය හෝ ගනුදෙනුවක ලාබය හොයා ගන්න පුළුවන් වන්නේ වටිනාකම් සංසන්දනය කළ හැකිනම් පමණයි.

      Delete
  7. පොඩි දූපතක තනිවෙලා ඉන්න එක ගැන හීන මවන එකනම් හරියට කලා, කරනව. තනියට බල්ලෙක් විතරයි. අප්සෙට් එකකට තිබුනෙ දත් කැක්කුමක් ආවොත් ( දැන් නම් අනිත් ලෙඩත් )

    ReplyDelete
  8. මේ කතාව මට කිව්වේ දැන් හමුදාවේ ඉහල තනතුරක ඉන්නා කෙනෙකුගේ අම්මයි, තාත්තයි දෙන්නා. එයාලා දුර පලාතක ඉඩම් අක්කර ගණනාවක් අරගෙන ලොකු ගොවිපලක් හැදුවා. ගමේ තරුණ අය සෑහෙන ගණනකට රස්සාවලුත් දුන්නා. ටික ටික වැඩේ නැගලා ගිහින්. ඒ අතරේ දෙහි පලදාව නෙලන කාලෙදී දෙස්පාලුවෙක්ගේ හෙන්චයියෙක් ඇවිත්. 'අපට මේ ඉඩම මේ ගණනට ඕනේ' කියලා නොවටිනා ලන්සුවකුත් දීලා.

    එයාලා එවලේම අකමැති බව කියලා. ඒ චන්ඩියා කිව්වලු 'එහෙනම් තමුසෙලා වවන ඒවා කොළඹම ගිහින් විකුණා ගන්නවා. මෙහෙ විකුනන්න බැහැ. වික්කොත් බලාගෙනයි' කියලා.

    මෙයාල එක ගණන් ගෙන නැහැ. ගොවිපලේ බඩු විකුනන්න ගිය වෙලාවක, නාඳුනන තුවක්කුකාරයො දෙන්නෙක් ඇවිත් විකුනන්න ගිය තරුණයෙකුට වෙඩි තියලා මරා දාලා, මහා දවාලේ. සාක්කි එකක්වත් නැහැ ..... පොලේදී වෙලාත්. ඊට පස්සේ අර මනුස්සයා ඇවිත්, ගණන තවත් අඩු කරලා ඉඩම ඉල්ලලා. ගොවිපොළ බාරව හිටි පුතාගේ පණ සේරටම වඩා වටනා නිසා එයාලා ඉඩම විකුනලා ඇවිත්.

    කාලෙකට පස්සේ අර චණ්ඩියාවත් මහා දවාලේම මරලා තිබුනලු, වෙඩි තියලා.

    ඉකොනො, පෝස්ට් එකේ මුල කියවන වෙලාවේ මතක් වුණේ 'රොබින්සන් කෲසෝ', 'රණරාළ', BLUE LAGOON, CAST AWAY වගේ කතා... FILMS.... කමෙන්ටු කියවනකොටයි මුලින්ම ලියු දේවල් මතක් වුනේ. කාට හරි වැඩක් වේවි කියලයි ලිව්වේ.

    ReplyDelete
  9. සුමාත්‍රා වල ඇවිදින්න යන්න කියලා හිතද්දි එහේ ගිය යාලුවෙක් හම්බුනා. මම ගියේ නැහැ. පොර කියන්නේ සුමාත්‍රා වල අර පාම් ගස් තියෙන ගම්මාන වල ඉන්න මිනිස්සු සැර කම්මැලි ඩෑල් ලු.. දවසට පැය හතර පහක් වැඩ කරලා දවසට හරියන්න ගානක් උපයනවාලු. ඉන්පස්සේ ඒ කෙන් ගංජා ගහගෙන ඔහේ ඉන්නවාලු තුන්වෙල කාලා.
    ඒ මිනිස්සුටත් සමහර විට ලස්සන හීන ඇති. ඒත් එයාල ඒ ජීවිතේට කොටු වෙලා. එයාලට මම හිතන්නේ පාම් වත්තෙන් එලියට යන්නත් පැයක් විතර යන්න වෙනවා.අපේ වගේ රටවල මිනිස්සු අභියෝග ගඅරගෙන සටන් කරනවාට වඩා මේම ඉන්න එකට ආසයි. අනියමින් අපෙත් බොහෝ දෙනා ජීවනතත්වය වෙනස් කරගන්න ආසයි. ඒත් ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න කැමති නැහැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.