Friday, May 22, 2020

ජීවිතයක වටිනාකම හරියටම කීයද?


ජීවිතයක වටිනාකම මිල කළ නොහැකියි වගේ කතා නිතර කියැවෙනවා. මේ කතාව ඇත්තද? ඕනෑම දෙයකට නියම මිලක් තියෙනවානම් ජීවිතයක වටිනාකමට මිලක් තියෙන්න විදිහක් නැද්ද?

වෙනත් හැම දේකටම වගේම ජීවිතයකටත් මිලක් තිබෙනවා. ටිකක් අමාරු වුනත් ඒ මිල ඇස්තමේන්තු කළ හැකි ක්‍රමවේදත් තිබෙනවා. ඒ ක්‍රමවේද අනුසාරයෙන් සිදු කළ ඇස්තමේන්තුත් තිබෙනවා. මහජන සෞඛ්‍යය, වෛද්‍ය ප්‍රතිකාර, නියාමන ක්‍රියාමාර්ග ආදිය සම්බන්ධ තීරණ ගන්නා අවස්ථා වලදී මෙවැනි ඇස්තමේන්තු ප්‍රයෝජනයට ගැනෙනවා.

කෝවිඩ්-19 හා අදාළව අනුගමනය කරන විවිධ ක්‍රියාමාර්ග වලදීද ජීවිතයක වටිනාකම සැලකිල්ලට ගන්න වෙනවා. රටක් ලොක් ඩවුන් කර තබා ගැනීමෙන් කෝවිඩ්-19 මරණ ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. එහෙත්, ඒ වෙනුවෙන් වෙනත් පාඩු රැසක් සිදු කර ගන්න වෙනවා. ඒ වෙනත් පාඩු මුදලින් මැනිය හැකියි කියා අපි හිතමු. එසේනම්, ඒ පාඩුව අඩුවන මරණ වල වාසිය සමඟ සැසඳිය හැක්කේ කෙසේද? මෙය කරන්නනම් රට ලොක්ඩවුන් කිරීම නිසා ඉතිරිවන ජීවිත වල වටිනාකම පිළිබඳ කිසියම් හෝ අදහසක් තිබිය යුතුයි.

ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකි ප්‍රධාන ක්‍රම දෙයක් තිබෙනවා. පළමුවැන්න පුද්ගලයෙකුගෙන් කෙළින්ම අසා දැන ගන්නා සෘජු ක්‍රමයයි. දෙවැනි ක්‍රමය පුද්ගලයෙකුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කර විශ්ලේෂණය කරන වක්‍ර ක්‍රමයයි.

මේ ක්‍රම දෙකේදීම පළමුව කරන්නේ කිසියම් පුද්ගලයෙකු තමන් මරණයට පත් වීමේ සම්භාවිතාව කිසියම් ප්‍රමාණයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්නට සූදානම්ව සිටින උපරිම මිල සොයා සොයා ගැනීමයි. ඉන් පසුව ඒ අනුසාරයෙන් ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කළ හැකියි.

උදාහරණයක් විදිහට ඔබට කෝවිඩ්-19 හැදුනොත් මිය යන්න 1%ක ඉඩක් තිබෙනවා කියා හිතමු. ඒ ඉඩකඩ නැති කර ගැනීම වෙනුවෙන් ඔබ උපරිම වශයෙන් කොපමණ මුදලක් ගෙවන්න ලෑස්තිද? මේ මිල රුපියල් මිලියනයක්නම් එයින් අදහස් වන්නේ ජීවත් වීමේ ඉඩකඩ 1%කින් වැඩි කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියනයක් බවයි. ඒ අනුව, මිය යාමේ ඉඩකඩ 100%කින් අඩු කර ගැනීමේ වටිනාකම රුපියල් මිලියන 100ක් කියා කිව හැකියි. මේ විදිහට ඇස්තමේන්තු කරන අගය සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම (value of a statistical life) ලෙස හැඳින්වෙනවා.

සෘජු ක්‍රමයේදී කරන්නේ නියැදි සමීක්ෂණයක් මගින් එක් එක් පුද්ගලයා තමන්ගේ ජීවිත අවදානම යම් ප්‍රතිශතයකින් අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන්න සූදානම් මුදල සෘජුවම අසා දැන ගැනීමයි.

වක්‍ර ක්‍රමය ඊට වඩා තරමක් සංකීර්ණයි. මෙහිදී කරන්නේ පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමයි. උදාහණයක් විදිහට කවුරු හෝ කෙනෙක් සල්ලි බෙදනවා. මේ සල්ලි ගන්න ගොස් පෑගී මැරෙන්න යම් සම්භාවිතාවක් තිබෙනවා. අපි හිතමු මේ සම්භාවිතාව 1/1000ක් කියා. රුපියල් 5000ක් වෙනුවෙන් මේ අවදානම ගන්නා කෙනෙක් තමන්ගේ ජීවිතයේ වටිනාකම ලෙස දකින්නේ රුපියල් 1000x5000 = රුපියල් මිලියන 5ක මුදලක්.

ඔය වගේ පෝලිමකට එකතු නොවන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ අවදානම් ගන්නා වෙනත්  අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මෝටර් රථයක් පදවාගෙන ගමනක් යන කෙනෙක් අනතුරකට ලක් වී මිය යන්න යම් ඉඩක් තිබෙනවා. එහෙත්, බොහෝ දෙනෙක් ඒ අවදානම ගන්නවා. මසුන් මරන්න මුහුදු යන අය අනතුරකට ලක් වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, ලැබෙන ආදායම වෙනුවෙන් බොහෝ දෙනෙක් එම අවදානම ගන්නවා.

සාමාන්‍යයෙන් මුහුදු රස්සාව කරන කෙනෙක් මුහුද ගොඩක් රළු දවසක මුහුදු නොයා ගෙදර ඉන්නවා. ඒ වගේ කෙනෙක් මුහුදු යන හා නොයන දවස් නිරීක්ෂණය කිරීමෙන් ලැබෙන මාළු වෙනුවෙන් ගන්නා ජීවිත අවදානම ඇස්තමේන්තු කරන්න පුළුවන්. ඉන් පසු ඒ අනුසාරයෙන් සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කරන්න පුළුවන්.

ඇමරිකාව වැනි බටහිර රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබඳව පර්යේෂකයින් බොහෝ දෙනෙකු විසින් ඇස්තමේන්තු හදා තිබෙනවා. ඒ නිසා, ඇමරිකානුවෙකුගේ ජීවිතයක වටිනාකම පිළිබඳව බොහෝ දෙනෙකු එකඟ වන අගය පරාසයක් තිබෙනවා. මේ අගය ආසන්න වශයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 9ක් පමණ වෙනවා.

ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම පිළිබද පර්යේෂණ අධ්‍යයන සිදුව තිබෙන්නේ ඉතා අඩුවෙන්. එක් මෑතකාලීන ඇස්තමේන්තුවකට අනුව ලංකාවේ සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇමරිකන් ඩොලර් 654,000ක් හෙවත් රුපියල් මිලියන 125ක් පමණ වෙනවා.

මේ ආකාරයට ඇස්තමේන්තු කරන සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම සාමාන්‍ය අගයක්. මෙවැනි ඇස්තමේන්තුවක් බොහෝ විට යොදා ගැනෙන්නේ රටටම බලපාන පොදු තීරණයක වාසි අවාසි සැසඳීම සඳහා බැවින් ජීවිතයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, කාලයත් සමඟ බොහෝ දේ වෙනස් වී මේ ඇස්තමේන්තුවත් වෙනස් වෙන නිසා වරින් වර එය යාවත්කාලීන විය යුතුයි.

Reference 
Viscusi, W. K., & Masterman, C. J. (2017). Income elasticities and global values of a statistical life. Journal of Benefit-Cost Analysis, 8(2), 226-250.


13 comments:

  1. ජීවිතේ........
    වටිනවද මෙතරම්
    කිමද
    පිනි බිඳුවක් උනේ
    තණ අග
    වැනෙන තරම්!

    ReplyDelete
  2. ඇමරිකාවේදී ජිවිතයක වටිනාකම මෙච්චරයි කියලා හිතලා ඒ ගැන කියලා කටයුතු කරාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකේ මොන දේශපාලකයෙක් වත්, පාලකයෙක් වත් එහෙම කෙලින් කතා කරන්නේ නැහැ. ට්‍රම්ප් කිව්වා කොවිඩ් 19 නිසා ඇමරිකානුවන් ලක්ෂ ගණනක් මිය යා හැකි බව. ලංකාවේ එහෙම කියයිද කවදාවත්?

    රටටම බලපාන දෙයකදී ජීවිතයකට වටිනාකම කියන එකත් මෙච්චරයි කියා කිව්වට ලංකාවේ නං සාමාන්‍ය මිනිස්සු කෝටි දෙකේම ජිවිත වලට වටිනාකමට වඩා දේශපාලකටන්, ඒ අයගේ පවුල් වල අය, හිතමිතුරන්ගේ ජිවිත වටිනවා. වැඩ වෙන්නෙත් එහෙම තමයි. කොවිඩ් 19 එද්දිම VIP රෝහල් වෙන් වන්නේ ඒ නිසයි මෙහෙ.

    ReplyDelete
    Replies
    1. බොරිස් ජොන්සන්ට කෝවිඩ් හැදීමෙන් සංකේතවත් වෙන්නේ කුමක්ද කියා පොඩ්ඩක් ගැඹුරෙන් හිතා බලන්න.

      Delete
  3. පරිප්පු කෑවම ඇට දිරනව
    අල කෑවම මහත්වෙනව
    රතු ළූණු කෑවම මී උණ හැදෙනව
    සුදු ළූණු කෑවම කහ උණ හැදෙනව
    මිරිස් කෑවම අර්ශස් හැදෙනව
    සැමන් කෑවම බඩෙ අමාරුව හැදෙනව
    සීනි කෑවම දියවැඩියාව හැදෙනව
    යෝගට් කෑවම ගෑස් හැදෙනව.
    ඒ නිසා මේව වැඩිකරපු එක හොඳයි
    රෙස්පෙක්ට් ස'

    ReplyDelete
  4. https://www.aljazeera.com/news/2020/05/pakistan-free-elephant-kaavan-campaign-singer-cher-200522082957974.html

    ReplyDelete
  5. ඉකොානෝ, ඔබේ පෝස්ටුවේ මුලු අන්තර්ගතයම කියවලා ඉවර වුනායින් පසුව මට හිතුනා එහි title එක ' ජීවිතයක මිල හරියටම කීයද?' කියා වෙනස් වුනා නම් හොඳයි කියලා.

    මන්දයත්, අපට ඕනෑම දෙයක මිල කොපමණදැයි තීරණය කල හැකි වුවත් ඒවායේ වටිනාකම තීරණය කරන්න ඉතාම අපහසුයි නේද? හැරත් දෙයක වටිනාකම අභිබවා එහි මිල තීරණය කිරීම කෙතරම් සදාචාරාත්මක ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. මේ ප්‍රශ්නය කවුරු හෝ අහයි කියලා මම බලාපොරොත්තුවෙන් හිටියා. ලිපිය ලියන්න පටන් ගනිද්දී මම මුලින්ම මාතෘකාව දැම්මේ ඔබ යෝජනා කර ඇති පරිදියි. මිල කියන වචනයට වඩා වටිනාකම කියන වචනය වඩා යෝග්‍ය නිසා පසුව මේ ආකාරයට වෙනස් කළා.

      නිදහස් වෙළඳපොළක මිල හා වටිනාකම අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. ධනවාදී සමාජයක කිසිදු පුද්ගලයෙකුට ඔබ කියන පරිදි ඕනෑම දෙයක මිල කොපමණදැයි තනිව තීරණය කරන්න බැහැ. එය විවිධ පුද්ගලයින් විසින් ලබා දෙන වටිනාකම් අනුව ස්වායත්ත ලෙස තීරණය වන දෙයක්.

      කිසියම් පුද්ගලයෙක් හෝ ආණ්ඩුවක් විසින් භාණ්ඩයක මිල නියම කිරීම වෙළඳපොළට එරෙහි සමාජවාදී අදහසක්. ගොඩක් විකෘති වලට හේතුව එසේ මිල තීරණය කරන්න යාමයි. සමාජවාදී අදහස පදනම් වන්නේ කිසියම් භාණ්ඩයකට ඒ වෙනුවෙන් වැය කෙරුණු ශ්‍රම ඒකක ගණන මත පදනම් වූ, පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවන නිශ්චිත වාස්තවික වටිනාකමක් තිබෙනවා කියන මාක්ස්ගේ මනඃකල්පිත අදහසයි. අතිරික්තය, සූරාකෑම වගේ සංකල්ප ගොඩ නඟා තිබෙන්නේ ඔය උපකල්පනය මත පදනම්ව ඉදිරියට යමිනුයි.

      දැන් ලංකාවේ සහල් වලට ආණ්ඩුවෙන් පාලන මිලක් නියම කර තිබෙනවා. බොහෝ පාරිභෝගිකයින්ට වගේම සැපයුම්කරුවන්ට හාල් කිලෝවක වටිනාකම ඒ පාලන මිලට වඩා වැඩියි. ඒ නිසා වෙළඳපොළට එන සහල් ඉතා ඉක්මණින් විකිණී අවසන් වෙනවා. සැපයුම්කරුවෝ සහල් තොග එළියට දමන්නේ නැහැ. සහල් හිඟයක් ඇති වෙනවා. හේතුව මිල හා වටිනාකම් නොගැලපීම.

      ධනවාදය අනුව නියම මිල ලෙස සැලකෙන්නේ වැඩි දෙනෙකුට එකඟ විය හැකි වටිනාකම. එය කිසිවෙකුට තනිව තීරණය කළ හැකි දෙයක් නෙමෙයි. නිදහස් වෙළඳපොළකට ඉඩ දෙන්නේ එසේ කළ විට පුද්ගලයින් විසින් දෙන වටිනාකම් සමඟ ගැලපෙන පරිදි සීරුමාරු වී ස්වභාවිකවම මිල සකස් වන නිසයි. වෙළඳපොළ අදෘශ්‍යමාන හස්තය විසින් කිසිදු තනි පුද්ගලයෙකුට සැලසුම් කළ නොහැකි සංකීර්ණ කටයුත්ත සිදු කරනවා.

      වෙළඳපොළක නොවිකිණෙන ආශ්වාස වාතය වගේ දෙයක එවැනි වෙළඳපොළ මිලක් නිරීක්ෂණය කළ නොහැකි නිසා නියම වටිනාකම දැනගන්න අමාරුයි. එවැනි දෙයක වටිනාකම කිසියම් වක්‍ර ක්‍රමයකින් ඇස්තමේන්තු කළ යුතුයි. සංඛ්‍යානමය ජීවිතයක වටිනාකම ඇස්තමේන්තු කිරීමේදී කරන්නේත් එයයි. මිනිස් ජීවිත වෙළඳපොලක විකිනෙන්නේ නැති නිසා මේ අගයට මිලක් කියා කියන්න බැහැ. එය කිසියම් රටක ජීවත්වන පුද්ගලයින් විසින් තමන්ගේ ජීවිතයට දෙන වටිනාකම් වල සාමාන්‍ය අගයක්. මම ලිපියේ මිල කියන වචනය යොදන්නේ "නියම වටිනාකම" කියන අදහසින්.

      Delete
  6. ඔබ විස්තර කරලා තියෙන්නෙ අවදානමක් ගැනීම වෙනුවෙන් ගෙවන මිල වගේ දෙයක් නේද?
    පුද්ගල වාර්ශික ආදායම x (රටෙහි ආයු අපේක්ෂාව - වයස )
    මේ විදිහටත් ඇස්තමේන්තු කරන්න පුලුවන් නේද?

    ReplyDelete
    Replies
    1. මෙයින් අදහස් වන්නේ ජීවිතයක වටිනාකම පුද්ගලයෙකුට ඉපැයිය හැකි ආදායමට සමාන බවයි. එසේ උපකල්පනය කළොත් විශ්‍රාමිකයෙකුගේ හෝ රැකියාවක් නොකර සිටින කෙනෙකුගේ ජීවිතයක කිසිදු වටිනාකමක් නැහැ. එහෙත් එවැනි අයත් තමන්ගේ ජීවිත වල වටිනාකමක් ඇතැයි සිතනවා. ජීවිත අවදානම අඩු කරගන්න ඉඩකඩම් උගස් කර හෝ ණය වී මුදල් වියදම් කරනවා. බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයේ වටිනාකම උපයන ආදායමට වඩා වැඩියෙන් මිල කරන නිසා මේ ආකාරයට ගණනය කළොත් පිළිතුර සේ ලැබෙන්නේ ගොඩක් අඩු ඇස්තමේන්තුවක්. මෙහි අදහස ඊට වඩා වෙනස් එකක්. විශාල වත්කමක් තිබෙන අයෙකු වුවත් කිසියම් අවස්ථාවක තමන්ගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඒ මුදල් නාස්ති නොකර තමන්ගෙන් පැවත එන කෙනෙකුට වත්කම් ඉතිරි කර මිය යාම හොඳම දෙය කියා හිතන්න පුළුවන්. පුද්ගලයෙකුගේ ආදායම් හා වත්කම් මත ඔහු හෝ ඇය තමන්ගේ ජීවිතයට දෙන මුදල් වටිනාකම වෙනස් වන නමුත් එය මෙවැනි සරල සම්බන්ධයක් නෙමෙයි.

      Delete
  7. හුඟක් උදවියට නම් ජීවත් වෙනවා කියන්නේ කාලා- බීලා- පැවතිලා- පරම්පරාව බෝ කරලා ඉන්න එක විතරනෙ. එහෙම ජීවිතවලට හැබෑ වටිනාකමක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. නිදි, උතුරු ඇමරිකාව තුල, විශේෂයෙන්ම කැනඩාව සහ ඇඑජ තුල විසිරී සිටින එහි මුල් ස්වදේශිකයන්ගේ තත්ත්වය ඉතාම ශෝචනීය යි. බහුතරය බීමත්කමට සහ ආර්ථිකමය ලෙස ඵලදායි ජීවිත ගත නොකරන අයයි. කාලා කෙසේ වෙතත් බීලා වැටිලා ඉන්න එක සහ හිර ගෙවල් පුරවව එක තමයි ඔවුන් වැඩිපුරම කරන්නේ.

      ඒත් එහෙම වුනයි කියලා, ඔවුන් රටෙි අාර්ථිකයට ශුද්ධ ඉපයීමක් කරලා ඊට මිලක් දෙන්නේ නැහැ කියලා, ඔවුන්ගේ ජීවිතවල වටිනාකමක් ඇත්තේම නැද්ද?

      CP-C

      Delete
    2. //එහෙම ජීවිතවලට හැබෑ වටිනාකමක් දෙන්න පුලුවන්ද?//

      ඔබට හෝ මට ඒ අයගේ ජීවිත වල වටිනාකමක් නැති වෙන්න පුළුවන්. නමුත්, ඔවුන්ට තමන්ගේ ජීවිත වල කිසියම් හෝ වටිනාකමක් තිබෙනවා. තමන්ගේ ජීවිතය තමන්ටම වටින්නේ නැති අය සිටින නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි.

      Delete
  8. ලංකාවේ සාමාන්‍ය පුදගලයෙකුගේ (ගෑනු, පිරිමි, ළමා,වැඩිහිටි) ජීවිතයක උපරිම වටිනාකම රුපියල් 50 000/= . ඒ ගණනය කිරීම අනුව තමයි ලංකාවේ රථ වාහන අනතුරු වල වන්දි තීරණය කරන්නේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.