Tuesday, January 5, 2016

විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ

කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝහි ඉපදුණු යොරම් බෝමන් ගණිතය පිළිබඳව ප්‍රථම උපාධියක් ලබා ගැනීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා සියටල්හි පිහිටි වොෂින්ටන් සරසවියට ඇතුළු විය. ඔහු එහිදී 2000 වසරේදී ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රපති උපාධියද, ඉන් අනතුරුව 2003 වසරේදී ආර්ථික විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියද සම්පුර්ණ කළේය.

වොෂින්ටන් සරසවිය වැනි තැනක ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් සම්පුර්ණ කරන කෙනෙකු බොහෝ විට වෙනත් සරසවියක අධ්‍යයන කාර්ය මණ්ඩලයට, රජයේ ඉහළ තනතුරකට හෝ පෞද්ගලික සමාගමක පර්යේෂණ අංශයක රැකියාවකට යොමු වේ. එහෙත්, යොරම් තෝරාගත්තේ වෙනත් මඟකි. ඒ සිය ප්‍රධාන ජීවනෝපාය ලෙස ජනතාවට විහිළු සැපයීමය.

ජනතාවට විහිළු සපයන ආර්ථික විද්‍යාඥයෝ ඕනෑ තරම් සිටිති. එහෙත්, මේ බොහෝ දෙනෙකු තමන් කරන්නේ ජනතාවට විහිළු සැපයීම බව නොදනිති. දැනගත්තත් එය ප්‍රසිද්ධියේ කීමට මැලි වෙති. යොරම්ගේ විශේෂත්වය ඔහු එසේ නොකිරීමයි.

යොරම්ගේ විහිළු නිකම් විහිළු නොවේ. ආර්ථික විද්‍යා විහිළු හෙවත් ඉකොනොමික් ජෝක්ය. මේ විහිළු විහිළු වන්නේ සැලකිය යුතු ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයටය. කොහොමටත් ආර්ථික විද්‍යා විහිළු වල හැටි එහෙමය. ආර්ථික විද්‍යා විහිළු සපයන වෙනත් ඇතැම් ආර්ථික විද්‍යාඥයින්ගේ විහිළු වලට ගොඩක් අයට හිනා යන්නේ නැත්තේත් මේ හේතුව නිසාය. මෙවැනි ඇතැම් විහිළු වලට හිනා නොගියත් සමහර වෙලාවට ඇඬේ.

යොරම්ගේ විහිළු සියල්ලන්ටම නොතේරෙන නිසා ඔහුට සංදර්ශන පවත්වන්නට වෙන්නේ ආර්ථික විද්‍යාඥයින් සිටින හෝ එක්රැස්වන තැන්වලය. අද (ජනවාරි 5 දින) අවසන් වූ ඇමරිකානු ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සමුළුවේදීද යොරම්ගේ සංදර්ශනයක් පැවැත්වුනේය. ලොව පුරා නන්දෙසින් පැමිණි ආර්ථික විද්‍යාඥයින් 12,859 දෙනෙකු සහභාගී වූ, පර්යේෂණ සැසි ගණන 520 ඉක්මවූ, මේ දැවැන්ත සමුළුවේ යොරම්ගේ සභාපතිත්වයෙන් පැවති ආර්ථික විද්‍යා විහිළු සැසිය විශාල සහභාගිත්වයක් පැවති සැසියකි. මේ සැසිය දැන් වසර ගණනාවක සිට පැවැත්වෙයි.

යොරම්ගේ සැසියේ ජනප්‍රියත්වයෙන් පෙනී යන්නේ විහිළු සපයන ආර්ථික විද්‍යාඥයින් කොයිතරම් සිටියත් ඒ කිසිවෙකුට විහිළු සැපයීමවත් හරියට කරන්නට නොහැකි බවයි.

(Image: http://standupeconomist.com/)

38 comments:

  1. Replies
    1. මමත් දැකලා තියෙනවා ඉකෝන් පන්ති වල විහිලු කරනවා..සමහරුන්ට තේරෙන්නෑ ඒත් හිනාවෙනවා.පස්සේ අහනවා මොකක්ද බන් කිව්වේ කියලා..

      Delete
    2. මේ ඔහුගේ වෙබ් සයිට් එක. http://standupeconomist.com/ ඔහුගේ ඇතැම් යූටියුබ් වීඩියෝ හිට්ස් මිලියනය ඉක්මවා තිබෙනවා.

      Delete
  2. ආර්තික විහිලු කීවට ඒව ගොඩක් ඇත්තටම ඇස් රතු වෙන විහිළු හිහි
    මොකද ජෝක් එකට වගේ කියන ඇතැම් කාරණා ගැන කල්පනා කරපුවාම තනි ඇහැට නෙවී ඇස් පහ හයක් තිබ්බ නං ඒවටත් ඇඩෙනව

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ඉකොනොමික් ජෝක්ස් වල හැටි!

      Delete
  3. දවසක් බණ්ඩාර දිසානායක සර් පංතියෙදි කතාවක් කියල, ඒත් එක්කම කිව්වා සමහරු ඉන්නවලු ටියුබ් ලයිට්. උන්දැල තුං පාරක් හිනාවෙනවලු. පළවෙනි පාර හැමෝම හිනා වෙන නිසා හිනාවෙනවලු. දෙවෙනි පාර - ගොඩක් වෙලාවට ගෙදර ගියාටත් පස්සෙ විහිළුව හරියට තේරිලා හිනා‍ ව‍ෙනවලු. තුංවෙනි පාර හිනාවෙනවලු, "මං පළවෙනි පාර හිනාවුනේ මේවගේ පොඩි දෙවක් වත් තේරෙන් නැතුවනෙ" කියලා.

    ReplyDelete
    Replies
    1. බණ්ඩාර දිසානායක කියන්නෙ රත්තරන් ගුරුවරයෙක් බං..

      Delete
    2. බණ්ඩාර සර් ඇත්තටම ආර්ථික විද්‍යාව ඉගැන්වීමට දක්ෂයි.

      Delete
    3. උඩ ලින්ක් එකෙන් ගිහිං විඩියෝ එකක් බැලුවා, හතර සැරයක් හිනාවෙන්න වෙයි වගේ.

      Delete
    4. ගුරුවරයා ගැනනම් දන්නේ නැහැ. හැබැයි ටියුබ් ලයිට් කතාවනම් හරි. ඔහොම අය එක්කෙනෙක් දෙන්නෙක් ඕනෑ තැනක ඉන්නවා.

      Delete
  4. බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දැමීම සම්බන්දව ය.

    ************************
    වානිජ බැන්කුවක සන්චිතය කජු ඇට හෝ කොස් ඇට නොවේ.... එය ගනන් ගැනෙන්නේ රුපියල් බිලියන වලිනි.

    එම සන්චිතයෙන් සීයට 7.5 මහ බැන්කුවට පැවරූ පසු එම මුදල රැඳෙන්නේ අදාල වානිජ බැන්කු බාන්ඩාගාරයේද නැත්නම් මහ බැන්කුවේද? මහ බැන්කුව එම මුදල රඳවා තබා ගන්නේ නම් එයට පොලියක් ලැබේද?

    එසේ නැත්නම් මහ බැන්කුව රඳවා ගන්නේ වානිජ බැන්කුවට අදාල මූල්ය කටයුතු වල යොදොවා ලාබ ඉපයිය හැකි (උදා: බන්කු නයක් දී පොලිය ඉපයීම ) විශාල මුදලක් නොවේද?

    පසුගිය දිනෙක සුපර් ගේන් ටැක්ස් එකත් තම හිස මත කඩා වැටුනු වානිජ බැන්කු වලට තමන් ගේ මුදල් වත් ලාබ ඉපයීමට යොදා ගැනීමට අවහිර කිරීම ආර්තික විද්යාව අනුව හරිද?

    කරුනා කර පහදා දෙනු මැනවි...

    ReplyDelete
    Replies
    1. //වානිජ බැන්කුවක සන්චිතය කජු ඇට හෝ කොස් ඇට නොවේ.... එය ගනන් ගැනෙන්නේ රුපියල් බිලියන වලිනි.// අගෝස්තු අවසානයේදී රුපියල් බිලියන 175කි. මේ වන විට රුපියල් බිලියන 180ක් පමණ විය යුතුය. මේ අනුව, බැංකු වලට රුපියල් බිලියන 45ක් පමණ වැඩිපුර මහබැංකුවේ තියන්නට සිදුවනු ඇත. බැංකු සතුව ප්‍රයෝජනයට නොගන්නා අරමුදල් එපමණ තිබේනම් ප්‍රශ්නයක් නැත. එය මා නොදනී. මෙය ඉතා විශාල මුදලකි.

      මේ මුදල් මහ බැංකුවේ තැන්පත් කළ යුතුය. පොලියක් නොලැබේ. මෙහි අරමුණ වන්නේම ණය දීම පාලනය කිරීමයි. මෙය බැංකු වල ලාභ වලට විශාල ලෙස බලපානු ඇත.

      මහ බැංකුවකට මුදල් සැපයුම පාලනය කිරීම සඳහා මෙසේ කිරීමට අයිතියක් තිබේ. කෙසේවුවද, මේ ප්‍රතිපත්ති උපකරණය පොලී අනුපාතික වෙනස් කරනවාක් මෙන් සුමට එකක් නොවේ. ඒ නිසා බොහෝවිට ලෝකයේ මහබැංකු උපයෝගී කරගන්නේ පොලී අනුපාතික වෙනස් කිරීමයි. පසුගිය කාලයේ ඇමරිකාව කෙළින්ම මුදල් පොම්ප කළේ පොලී අනුපාතික බින්දුවටම බැස්සවීමෙන් පසුවත් අවශ්‍ය ප්‍රතිඵලය ලබා ගත නොහැකි වූ බැවිනි. ලංකාවේ සංචිත අවශ්‍යතාවය මහ බැංකුව විසින් පසුගිය කාලයේ මේ අයුරින්ම අඩු කළේය. අවසන් වරට 2013දී මෙය 8% සිට 6% දක්වා අඩු කළේය. වැඩිපුර මුදල් එනවිට බැංකු වලට කරන්නට දේවල් ඕනෑ තරම් තිබුණත් ආපසු දෙන එක ඒ තරම් පහසු නැත.

      පොලී අනුපාතික වෙනස් කළ විට අවශ්‍ය ප්‍රතිපලය ලබා ගැනීමට කලක් බලා සිටිය යුතුය. එසේ බලා ඉන්නට බැරි තත්ත්වයක් ඇති බව පෙනේ. මහබැංකු ප්‍රවෘත්ති නිවේදනය අනුව වාණිජ බැංකු සතුව අරමුදල් ගොඩ ගැසී ඇත්නම් මෙය තැන්පත් කිරීම බැංකු වලට ප්‍රශ්නයක් නොවිය හැකිය. එහෙත්, ඔවුන්ගේ ලාභ වලටනම් සැලකිය යුතුලෙස බලපානු ඇත.

      Delete
  5. අයියෝ අපේ රවි කරුණානායක, සිරිසේන ලොක්කා වගේ අය ගියා නම් ඊට ආතල් එකක් ගන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. කොහෙවත් නොගියත් ඒ ගොල්ලන්ගේ ෂෝ වලට සෙනඟ ඉන්නවනේ.

      Delete
    2. 2500යෙ මාස්ටර්?

      Delete
  6. මාත් කියන්න ගියේ උඩ ඒකම තමා...... මේ වැඩේ නියමෙට කරන අපේ රටේ ඔ්වාට තැනක් නැහැ බං........ ළගදී සැපයුව විහිළු ටික කොහොමද,????????

    ReplyDelete
    Replies
    1. සමහර විට වැඩිම ඉල්ලුමක් තියෙන්නේ ලංකාවේ වෙන්නත් පුළුවන්!

      Delete
  7. ඔය වැඩේ කාලෙක ඉඳන් කරන කෙනෙක් ඉන්නවා මහරගම හෝමාගම පැත්තේ. මෑන් නම් උගුරේ ලේ රස එනකම් මේස් බැනියම දාඩියට පිටට ඇලෙනකම් ඕකමයි කලේ

    ReplyDelete
    Replies
    1. අන්තිම කාලේ ෂෝස් වලට බලෙන්ම තල්ලු කළාද මන්දා.

      Delete
  8. එක වීඩියෝ එකක් බැලුවා. ස්තූතියි පෝස්ට් එකට

    ReplyDelete
    Replies
    1. ඔහුගේ කාටුන් මඟින් ආර්ථික විද්‍යාව උගන්වන පොත් කිහිපයකුත් තියෙනවා.

      Delete
  9. අපිට ඉතින් අහන්න වේන්නෙ ඇඞෙන විහිලු විතරනේ

    ReplyDelete
    Replies
    1. සමහර විහිළු වලට මුලින් හිනා ගියත් පස්සේ අඬන්න වෙනවා.

      Delete
  10. බන්ධුල ගේ ඉකොනොමික් ජෝක්ස් කොහොමද ?

    ReplyDelete
    Replies
    1. දැන් නිකම්ම ජෝක්ස්ද මන්දා.

      Delete
  11. අපේ හෝමාගම එක්කෙනා ඔය සැසියකට දැම්මොත් හෙම යොරම් බෝමන් කැලේ.

    ReplyDelete
    Replies
    1. යොරම් බෝමන් ලංකාවේ ඡන්දෙ ඉල්ලුවොත් මොකක් වෙයිද?

      Delete
  12. දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක නොසිටින කෙනෙක් වුනත් කමක්නැහැ, ඔබ හිතන විදිහට, අපේ රටේ මුදල් ඇමති ධුරයට සුදුසු අය කවුද? එක්කෙනෙකුට වැඩි ගණනක් කියන්න.

    ReplyDelete
    Replies
    1. උපේක්සා ස්වර්ණ මාලිනි.....හැක් ..හැක් .. තව නම් කියන්නෙයි ...සෑහෙන්න වෙලා කල්පනා කරලයි ඕකත් හොයාගත්තේ යන්තම්..

      Delete
    2. රොනි ද මැල්, රනිල් වික්‍ර‍මසිංහ, පී.බී. ජයසුන්දර, රවී කරුනානායක,

      Delete
    3. ප්‍රායෝගිකව ඇමතිලා ගොඩක් කරන්නේ නිලධාරීන් විසින් හදාදෙන සටහනක් කොළේ බලාගෙන කියවන එක. ඒක කරන්නෙත් පාර්ලිමේන්තු සැසියට පෙර ඉන්ස්ටන්ට් කුප්පියක් දාගෙන හෝ ඇතැම් විට දින ගණනක් තිස්සේ ලියාදුන් පිළිතුර හදාරලා. ඇණයගේ ලිස්ට් එකෙන් පීබී කියන්නේනම් විශාල සහ පැතිරුණු ව්‍යවහාරික ආර්ථික විද්‍යා දැනුමක් ඇති කෙනෙක්. ඒ කියන්නේ න්‍යායාත්මක දැනුම අඩු බව නොවෙයි. ඔහුගේ මට්ටමට න්‍යායාත්මක දැනුම ඇති අය තවත් ටික දෙනෙක් හෝ සිටියත් ප්‍රායෝගිකව ආර්ථිකය මෙහෙයවීම අතින් ඔහු සිටියේ සෑහෙන්න ඉදිරියෙන්. එහිදී ඔහු අරමුණු කළේ කුමක්ද කියන එක වෙනම, දේශපාලනික කරුණක්.

      Delete
  13. ආර්ථික විද්‍යාවේ පලවෙනි විහිළුව මම දැක්කේ 1995 දී. මෙතිසිරි ද සිල්වා සර්ගේ ටියුෂන් පනතියේදී ආර්ථිකයේ වර්ධනය ධනාත්මකව අන්දලා පෙන්නන ප්‍රස්තාරේ ඉස්කෝලේ Econ ටීචර් අඳින්නේ සෘනාත්මකව. ඒකට හේතුව මෙත්සිරි ද සිල්වා චන්ද්‍රිකාගේ පාක්ෂිකයෙක් වීමත් ඉස්කෝලේ ටීචර් රනිල් පාක්ෂිකයෙක් වීමත්. එකම දත්ත වලින් දෙවිදිහකට ප්‍රස්තාර අඳින ආර්ථික විද්‍යාවට දේශපාලනික වාරුවක් නැතුව ස්වාදීනව නැගී හිටින්න බැහැ කියලයි මට ඒ කාලේ තේරුනේ.. හැක් ..

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගිකව ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය පවතින දේශපාලන ක්‍රමයෙන් වියුක්ත නැහැ.

      Delete
  14. kopamana aarthika pakeerla hitiyath (niladharin) rata goda yaamak naththe why??

    ReplyDelete
    Replies
    1. සරලම පිලිතුර: නිලධාරීන්ට වැඩකරන්න වෙලා තියෙන්නේ රටේ දේශපාලන අධිකාරියට යටත්ව. දේශපාලන අධිකාරියට අවශ්‍ය රටේ ජනතාවගෙන් වැඩි කොටසක් සතුටු වන ලෙස කටයුතු කරන්න. නැත්නම් ඊළඟ ඡන්දෙදි ගෙදර යන්න වෙනවා. රටේ ජනතාවගෙන් වැඩි පිරිසකට අවශ්‍ය පුළුවන් තරම් අඩුවෙන් වැඩ කරලා පුළුවන් තරම් වැඩියෙන් පරිභෝජනය කරන්න. ඒ නිසා නිදහසින් පසු රටේ ආර්ථික ක්‍රමය සකස්වෙලා තියෙන්නේ ඒ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට. මේ ක්‍රමය යටතේ මහන්සි වෙලා වැඩියෙන් වැඩ කරන කෙනෙක් පරාජිතයෙක්. ලැබී තියෙන දෙය මෙහි අනිවාර්ය ප්‍රතිඵලය. මෙය වෙනස් වෙන්නේ රටේ වැඩි පිරිසක් හිතන විදිහ වෙනස්වුනු දවසක පමණයි. හැබැයි හොඳ නායකයෙකුට පුළුවන් මිනිසුන් හිතන හැටි කෙටි කලකින් වෙනස් කරන්න.

      Delete
    2. මෙයම වෙනස් විදිහකට කියනවානම් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට ආර්ථික විද්‍යා දැනුමක් නොලැබීම මෙයට හේතුවක් කිව හැකියි. ආර්ථික විද්‍යාව ගැන මූලික දැනුමක් ලැබෙන්නේ ඇතැම් විෂය ධාරාවන් තෝරාගන්නා සිසුන්ගෙනුත් කොටසකට පමණයි. පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඒ අයගෙනුත් බහුතරය කරන්නේ විභාග වලට කටපාඩම් කිරීම මිස සංකල්ප උකහාගෙන ජීවිතයට ප්‍රයෝජනයක් ගැනීම නෙමෙයි (මා ලැබූ මූලික අධ්‍යාපනයත් මෙවැන්නක්). හැමෝම රජය දෙස හෝ අනුන් දෙස බලමින් නොසිට තමන්ගේ පෞද්ගලික ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් කළ හැකි දේ කරගන්නවානම් අවසාන වශයෙන් රටත් නිකන්ම ඉදිරියට යනවා. කෙසේවුවත්, ලංකාවේ ආරම්භක ව්‍යවසායකයෙකුට ඇති බාධා නිසා මෙය කියන තරම් පහසුත් නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.