Sunday, January 17, 2016

සියවස් එකහමාරක් තුළ බඩු මිල ඉහළ ගිය හැටි

ලංකාවේ පළමු ලියාපදිංචි පුවත්පත වූ ලක්මිණිපහණ පළමු කලාපය එළිදැක්වී ඇත්තේ 1862 සැප්තැම්බර් මස 11 වන දිනය. මා මේ පුවත්පත කියවා නැත. කෙසේවුවද, මෑතකදී පළවූ දිනමිණ විශේෂාංගයක මේ පළමු ලක්මිණිපහණ කලාපයේ අන්තර්ගතය පිලිබඳ විස්තරයක් අඩංගුය. අදාල ලිපියේ ඇති තොරතුරු අතරින් මගේ විශේෂ අවධානයට ලක්වූයේ ඒ වන විට පැවති ඇතැම් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් පිලිබඳ විස්තරයයි.

කඩල පළමුවෙනි තරමේ ඒවා සිලින් 8, දෙවෙනි තරමේ ඒවා බුසල සිලින් 7 පැන්ස 6.

කඩල බුසලක් රාත්තල් 60ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 27.25 පමණය. ඒ අනුව, කඩල කිලෝවක මිල සත 14 1/4-14 3/4 අතර වී ඇත.

සුදුහාල් පළමුවෙනි ත‍රමේ ඒවා සිලින් 6 පනම් 4, දෙවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

කාරහාල් පළමුවෙනි තරමේ ඒවා සිලින් 6 පනම් 3, දෙවෙනි තරමේ ඒවා සිලින් 6, පැන්ස 2 1/2, තුන්වෙනි තරමේ ඒවා සිලින් 5 පැන්ස 6.

මෙහි ඇත්තේ හාල් බුසලක මිල විය යුතුය. ඒ අනුව සුදු හාල් කිලෝවක් සත 10 1/2 - 12 අතරත් කාර හාල් කිලෝවක් සත 11 3/4 - 12 අතරත් පැවතී ඇත.

තිරිඟු පිටි රාත්තල තුට්ටු 10 හෙවත් සත 15කි. පාන් ගෙඩිය තුට්ටු 6 හෙවත් සත 9කි.

පොල් පළමුවෙනි තරමේ ඒවා 100 සිලින් 8 හා දෙවෙනි තරමේ ඒවා සිලින් 7 වේ.ඒ අනුව, පොල් ගෙඩියක මිල සත 3 1/2 - 4 අතරය.

පොල්තෙල් සේරුව පැන්ස 10 1/2කි. පොල්තෙල් සේරුවක මිලිලීටර 1024ක් පමණ ඇත. පැන්ස 10 1/2 යනු පනම් 7ක් හෙවත් සත 43 3/4කි. ඒ අනුව, පොල්තෙල් මිලිලීටර 750ක් සත 32කි.

ලුණු බුසල සිලින් 4කි. ලුණු බුසලක් රාත්තල් 50ක් පමණ වේ. එනම් කිලෝග්‍රෑම් 22.7 පමණය. ඒ අනුව, ලුණු කිලෝවක මිල සත 8 3/4ක් පමණ වී ඇත.

මේ අයුරින් වියලි මිරිස්, සුදුළූනු, රටළූනු, මෙරටළූනු, කහ, කොත්තමල්ලි සහ අර්තාපල් වැනි තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයකම ඒ කාලයේ මිල මේ පුවත්පතේ සටහන් වී තිබේ.

මේ ආහාර ද්‍රව්‍ය සමහරක පසුගිය දෙසැම්බර් අවසානයේ සාමාන්‍ය වෙළඳපොළ මිල ගණන් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් ලබා ගත හැක. පහත වගුවේ ඇත්තේ 1862 සැප්තැම්බර සහ 2015 දෙසැම්බර් අතර කාලය තුළ මේ ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස් වී ඇති ආකාරයයි. 




මේ ආහාර ද්‍රව්‍ය වල මිලගණන් අදාළ කාලය තුළ සාමාන්‍ය වශයෙන් 1066 ගුණයකින් වැඩි වී තිබේ. එහෙත්, මෙය එක් අයුරින්ම සිදුවී නැත. සමස්තයක් වශයෙන් ගත් කළ ආනයනික ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩිවී ඇත්තේ රට තුල නිපදවන ආහාර ද්‍රව්‍ය වල මිලගණන් වැඩි වී ඇති අනුපාතයට වඩා අඩුවෙනි.

සියවස් එකහමාරකට පෙර අර්තාපල් හා රටළූණු මුළුමනින්ම පාහේ ආනයනය කරන්නට ඇතැයි විශ්වාස කළ හැක. ඒ නිසා වත්මන් මිල ගණන් සසඳා ඇත්තේ එම ද්‍රව්‍ය වල ආනයනික ප්‍රහේද වල මිලගණන් සමඟය. සංඛ්‍යාලේඛණ අනුව දේශීය අර්තාපල් හා රටළූණු වල මිල ආනයනික මිලට වඩා සැලකිය යුතු ලෙස වැඩිය.

සමස්තයක් වශයෙන් දහස් ගුණයකින් පමණ මිල ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ රුපියලේ අගය ආහාර ද්‍රවය වලට සාපේක්ෂව පිරිහී ඇති ආකාරයයි. ඒ අතර ඇති වෙනස්කම් මඟින් පෙන්වන්නේ සැපයුම් සාධක ඇතුළු වෙනත් සාධක වල බලපෑමයි.

දේශීය නිෂ්පාදන වල මිලගණන් වලට සාපේක්ෂව ආනයනික ද්‍රව්‍ය වල මිල අඩුවෙන් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල ආහාර නිෂ්පාදන තාක්ෂණයේ සිදුවූ දියුණුව රටින් පිටත සිදුවී ඇති දියුණුවට වඩා අඩු බවයි. ඒ නිසා දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වඩා විශාලය. එමෙන්ම, තෙල් මිල විශාල ලෙස වැඩිවීම මධ්‍යයේ වුවද ප්‍රවාහන හා ඇසිරුම් තාක්ෂණයේ දියුණුව නිසා රටින් පිට නිපදවන භාණ්ඩ ආනයනය කිරීම සාපේක්ෂව අඩු පිරිවැය කාර්යයක් වීමද මෙයට යම් තරමකින් ඉවහල් වූවා විය හැකිය.

ආදේශක ලෙස සැලකිය හැකි රතුළූණු සහ රටළූණු වල මිල වෙනස්වීම් කැපී පෙනේ. 1862දී ආනයනික රටළූණු විකිණී ඇත්තේ දේශීය රතුළූණු මෙන් හත් ගුණයක මිලකටය. එහෙත්, මේ වන විට රතුළූණු මිල රටළූණු මිලට වඩා වැඩිය.

එමෙන්ම, තිරිඟු පිටි වල මිල වැඩි වී ඇත්තේ අඩුවෙන් වුවත්, හාල් මිල සහ පාන් මිල වැඩි වී ඇත්තේ ආසන්න වශයෙන් එකම අනුපාතයකිනි. මෙයින් පෙන්වන්නේද දේශීය නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව වැඩි බවයි.

කාලයත් සමඟ රට තුළ ආනයනික ආහාර ද්‍රව්‍ය වඩා ආකර්ෂනීය වීමත්, අපේ කෘෂිකාර්මික අපනයන විදේශිකයින්ට අඩුවෙන් ආකර්ෂණීය වීමත් මේ මිලගණන් වෙනස් වී ඇති ආකාරය මඟින් පැහැදිලි කෙරේ. පුළුල් වන සෘණ වෙළඳ ශේෂය සඳහා මේ වෙනසද දායක වන්නට ඇත.

(Image: www.elakiri.com)

මුල් පලකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_11.html

19 comments:

  1. // ඒ නිසා දේශීය නිෂ්පාදකයාගේ නිෂ්පාදන පිරිවැය වඩා විශාලය. //
    ශ්‍රී ලන්කාවේ ආර්තික බෝග සහ වෙනත් කෘශි ද්‍රව්‍ය නිශ්පාදනයේ ඇති විශාලම කඩුල්ල සොරකමයි! ගම් වල අයියලා සහ අක්කලා අනුන්ගේ ඉඩම් වලට පැන සුද්දය දෙති...

    එම සොරකම් නිසා කම්පාවට සහ කලකිරීමට පත් වූ බොහෝ ඉඩම් හිමියෝ සහ එම ව්‍යාපෘති වලට සහ නව කෘශි තාක්ශනයට මුදල් ආයෝජනය කල හැකි අය එසේ ආයෝජනය නොකර සිටී.

    මා කියන්නේ බොරු නම් වගා ක්ශේශ්ත්‍රයේ ඉන්නා අය ගෙන් විමසන්න...

    ReplyDelete
    Replies
    1. //මා කියන්නේ බොරු නම් වගා ක්ශේශ්ත්‍රයේ ඉන්නා අය ගෙන් විමසන්න...//
      මට ඔබ විශ්වාසයි. සා රස තුමා කවදද බොරු කිවුවේ? :)

      විශාලම ප්‍රශ්නයද කියන එකනම් මම දන්නේ නැහැ. හැබැයි දේපොළ අයිතිය නිසි ලෙස තහවුරු නොවීම විශාල ප්‍රශ්නයක්නම් තමයි. සිල් පවාරණ වෙලා එන උපාසකම්මලත් මඟ වත්තක පොල් ගෙඩියක් වැටිලා තියෙනවා දැක්කහම සිල්රෙද්ද අස්සෙම හංගගෙන යන්නේ. හොරකම කොයිතරම් සමාජගත වෙලා සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවද කියන එක තේරෙන්නේ එහෙම නැති වටපිටාවක ටිකකලක් ඉන්න කොටයි.

      Delete
  2. පුංචි ඉල්ලීමක් කරනවා. මා වැනි වයසක මිනිසුන්ගේ කියවීමේ පහසුව සඳහා ලිපියේ අකුරු ලොකු කරන මෙන් කාරුණිකව ඉල්ලනවා.

    ReplyDelete
    Replies
    1. ලොකුවට තිබුණා නම් හොඳයි තමයි. ලේඛකයා එසේ කරන තුරු පාඨකයාට බ්‍රව්සරයෙන් ද අකුරු ප්‍රමාණය ලොකු කර ගත හැක!

      Delete
    2. ඔව් ඔව්, එහෙම ලොකු කරලා තමයි කියෙව්වේ රසික. ඒ වැඩෙත් ටිකක් වදයක් නේ.

      බොහොම ස්තුතියි ඉකොන්, අකුරු ලොකු කළාට. අර වගුව පිට පැනීම වැලැක්වීමට පිටුවේ පළල වැඩි කළහැකියි.

      මේ විස්තරය සමගම අපිට බලන්න පුළුවන් නම්, මෙම වසර 150ක කාලසීමාව තුළ වාර්ෂික ඒක පුද්ගල ආදායම වැඩිවීමේ ප්‍රතිශතය සහ, මිළදීගැනීමේ හැකියාව කෙබඳුද යන්න, එමගින් පුළුල් අදහසක් ලැබෙනවා ඇති.

      Delete
    3. අකුරු මටත් පොඩි වැඩියි තමයි. එය වෙනස් කරමින් සිටින විට එළියට යන්න වුණා.

      //අර වගුව පිට පැනීම වැලැක්වීමට පිටුවේ පළල වැඩි කළහැකියි.// මෙය කරන හැටිනම් හොයාගන්න බැරිවුනා.

      //මේ විස්තරය සමගම අපිට බලන්න පුළුවන් නම්, මෙම වසර 150ක කාලසීමාව තුළ වාර්ෂික ඒක පුද්ගල ආදායම වැඩිවීමේ ප්‍රතිශතය සහ, මිළදීගැනීමේ හැකියාව කෙබඳුද යන්න, එමගින් පුළුල් අදහසක් ලැබෙනවා ඇති.//
      මේවා නැතුව කතාව සම්පුර්ණ නැහැ තමයි. මේ දේවල් ගැන පසුව ලියන්නම්. මේ ටික මුලින්ම ලිවුවේ විණිමය අනුපාතිකය ගැන කතා කිරීමට ආරම්භයක් ලෙස.

      Delete
  3. රුපියල් වලට උඩින් තව මුදල් වර්ගයක් හඳුන්වා දුන්නොත් හොඳ නැත්ද? උදාහරණයකට රුපියල් සීයක වටනාකමින් යුත් ශ්‍රී ලංකා ඩොලරයක්. බොහෝ ගණුදෙණු පහසුවෙයි නේද? එහෙම දෙයක් වෙන රටක කරල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම කලොත්,

      1. ඒ මුදල් ඒකකය කෙලින්ම විදේශයකදී ගනුදෙනු කිරීමට පිළිගනියිද?

      2. අපේ රට තුළ (විශේෂයෙන් ග්‍රාමීය සමාජය තුළ) කෙබඳු පිළිගැනීමක් ලැබෙයිද?

      3. මුදල් ඒකක දෙකක් තිබීමෙන් වෙනත් අවුල් සහගත තත්වයකන් ඇති නොවේද?

      Delete
    2. ඇත්තටම මෙයින් වෙන්නේ අළුත් මුදල් ඒකකයක් හඳුන්වාදීමක්. දැන් අපි කිවුවොත් මසුරන් 1= රුපියල් 100 කියලා එයින් අදහස් වෙන්නේ රුපියල් 1= මසුරන් 1/100 කියන එකනේ. එතකොට සත වගේ.

      සිම්බාබ්වේ වල අධි-උද්ධමනයට පිළියමක් ලෙස මෙවැන්නක් තෙවරක්ම කළා.

      2006 අගෝස්තු: දෙවන ඩොලර් 1 = පළමු ඩොලර් 1000
      2008 ජූලි: තෙවන ඩොලර් 1 = දෙවන ඩොලර් 10000000000
      2009 පෙබරවාරි: සිවුවන ඩොලර් 1 = තෙවන ඩොලර් 1000000000000

      අන්තිමට පළමු ඩොලරයේ අගයෙන් බින්දු 25ක් කපලා.

      ශ්‍රී ලංකා රුපියල මෙවැනි තැනකට වැටී නැහැ.

      විණිමය අනුපාතිකය 1ද 100ද 1000ද කියන එකේ න්‍යායාත්මක වෙනසක් නැහැ. මානසික (psychological) ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. මුදල් ඒකකයක් එක දිගට කාලයක් තිබීම, එහි අගය යම් තරමකින් පිරිහුනත්, එහි reputation එක වැඩි කරනවා. අනිත් එක අපේ රුපියල තවමත් ලොකු outlier කෙනෙක් නෙමෙයි.

      Delete
    3. මම නම් හිතන්නේ ඕන වෙන එකක් නෑ.. කෙලින්ම ඇමරිකන් ඩොලර් වලින්ම ගේම ගෙනියන්න පුළුවන් වෙයි.. ඒ කියන්නේ වැඩි කල් නොගිහින් පාන් ගෙඩියක්, සිකැරට් එකක් ඩොලර් එකක් වෙනවා.. එතකොට ඩොලර් එකක් ගෙනිහින් පාන් ගෙඩියක් ගේනවා.. කොච්චර ආඩම්බරයක්ද...? කෙහෙල්මල් සුපියල් වගේද...?

      Delete
    4. මං හිතන්නෙ දැනටමත් ගල් බෝතලේට එහෙම ඩොලර් වලින් ගෙවන්න පුලුවං වෙයි.

      Delete
    5. රසික ඔබගේ පෝස්ට් එක බැලුවා. ඔබ එම දේම ඒ විදිහටම කියල තියෙනවා. අද ඉඩම් මිල, අය වැයේ මුදල් වෙන්කරන ගණන්, ව්‍යාපෘති වල වටිනාකම ආදිය බලන්කොට ගණන් තැබීමේ පහසුවක් වෙනවා. අද සත 99 ක වටිනාකමක් නැහැ. එම නිසා සත සම්පූර්ණයෙන්ම නවතා රුපියල් සහ ශ්‍රී ලංකා ඩොලර් යනුවෙන් දෙකක් දෙක භාවිතා කිරීම පහසුවෙන්න පුළුවන්.

      Delete
    6. //කෙලින්ම ඇමරිකන් ඩොලර් වලින්ම ගේම ගෙනියන්න පුළුවන් වෙයි.//
      අන්තිමට සිම්බාබ්වේ වලට කරන්න වුනේ එයයි. මුලින්ම බින්දු තුනක් කැපුවත් ඉතා ඉක්මණින් විණිමය අනුපාතිකය නැවත මුල් ගණනටත් වඩා වැඩි වූ නිසා දෙවන වර බිංදු දහයකුත්,තෙවන වර 12කුත් කපන්න වුණා. ලංකාවේ ඔය වගේ යෝජනාවක් කළොත් දිගින් දිගටම අලුතින් එන ආණ්ඩු ඔය වැඩෙත් පුරුද්දක් ලෙස කරයි. අයවැය හිඟය අඩුකර මුදල් සැපයුම පාලනය කළ හැකිනම් විණිමය අනුපාතිකය අපහසුවක් නැතිවම පහළට එනවා. කොහොම වුනත් සත වලනම් දැන් ප්‍රායෝගික වටිනාකමක් නැහැ. ගිණුම් තැබීමේදී සත වලට යන්න වෙන්නේ නීතිමය අවශ්‍යතාවයක් නිසා හෝ ගිණුම්කරණ සම්මතයක් නිසා (හරියටම දන්නේ නැහැ).

      Delete
    7. //ඒ කියන්නේ වැඩි කල් නොගිහින් පාන් ගෙඩියක්, සිකැරට් එකක් ඩොලර් එකක් වෙනවා//
      මෙය සිදුවීම හෝ නොවීම තීරණය වන්නේ ඇමරිකාවේ අයවැය හිඟය, ඇමරිකාවේ මුදල් සැපයුම හා ඇමරිකාවේ උද්ධමනය අනුවය. ලංකාවේ උද්ධමනය නිසා එය සිදුනොවේ. උදාහරණයක් ලෙස පාන්ගෙඩියක හෝ සිගරැට් එකක වත්මන් මිල රුපියල් 73ක් නම් එය ඩොලරයක රුපියල් මිලෙන් (146) බාගයකි. උද්ධමනය නිසා පාන් හා සිගරැට් මිල 146 දක්වා වැඩිවන විට ඇමරිකාවේ එවැනි මිල වැඩි වීමක් නොවුවහොත් ඩොලරයද 292ක් වනු ඇත. එවිට පාන් හා සිගරැට් මිල තවදුරටත් ඩොලර් බාගයකි.

      Delete
  4. //දේශීය නිෂ්පාදන වල මිලගණන් වලට සාපේක්ෂව ආනයනික ද්‍රව්‍ය වල මිල අඩුවෙන් වැඩිවීමෙන් පෙන්නුම් කරන්නේ රට තුල ආහාර නිෂ්පාදන තාක්ෂණයේ සිදුවූ දියුණුව රටින් පිටත සිදුවී ඇති දියුණුවට වඩා අඩු බවයි.//
    අතරමැදියන්ගේ සිදුවන ගසාකෑමත් ඕකට බලපානව නේද?

    ReplyDelete
    Replies
    1. අතරමැදි වෙළඳපොළේ තරඟකාරිත්වයට බාධා කෙරෙන දේශපාලන වටාපිටාවක් තිබීම කියා මම එය ටිකක් වෙනස් වචන වලින් කියන්න කැමතියි.

      Delete
  5. ලෝකයේ කෘෂිකර්මාන්තය තාක්ෂණය සමගින් මුහු වෙමින් දියුණු වන විට අපේ කෘෂිකර්මන්තය තවමත් සම්ප්‍රදායික ක්‍රමවලින් ඔබ්බට නොගොස් තිබීමේ ප්‍රතිපලයක් විය හැකියි.ආනයනික කෘෂි නිෂ්පාදන මිල අඩු වෙන්නත් රට තුල නිෂ්පාදනය වෙන දේවල් වල මිල ඉහල යන්නත්.පළමුවෙනි ත‍රමේ, දෙවෙනි තරමේ කියලා ඇත්තේ භාණ්ඩ වල කොලිටිය වෙන්න ඇතිනේ.

    ReplyDelete
  6. Econn,
    athithaye patan Lankawe mudhal wagèma, minum upakaranath kaalayen kaalayata naamikawa wenas wuna hatith danaganna hakinam godaak watinawa.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.