Monday, January 4, 2016

මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර හතකට අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය ලිහිල් මුදල් ප්‍රතිපත්තියෙන් ඉවත් වී දැඩි මුදල් ප්‍රතිපත්තියක් කරා මාරු වී තිබේ. මහ බැංකුව විසින් පසුගිය බදාදා නිකුත් කර ඇති ප්‍රවෘත්ති නිවේදනය අනුව, 2016 ජනවාරි මස 16 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 6% සිට 7.5% දක්වා 1.5%කින් ඉහළ දමා තිබේ. එහෙත්, ප්‍රතිපත්ති පොලී අනුපාතික වල වෙනසක් කර නැත.

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය වන්නේ අදාළ රටේ ජාතික මුදල් ඒකකයේ අගය සුරක්ෂිත කිරීමයි. මිල ස්ථායීතාව පවත්වාගැනීම කියන්නේද මෙයටය. ප්‍රායෝගිකව මෙයින් අදහස් වන්නේ යම් රටක උද්ධමනය 'අවශ්‍ය ප්‍රමාණයට' වඩා වැඩි වන්නට ඉඩ නොදී ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමනය මහ බැංකුව මඟින් නිදහස් කරන මුදල් ප්‍රමාණයට කෙලින්ම සම්බන්ධ නිසා මුදල් සැපයුමට තිරිංග යෙදීමෙන් උද්ධමනය පාලනය කිරීමට පුළුවන. දැඩි මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ මෙසේ ආර්ථිකයට මුදල් ගලා ඒම සීමා කරන ප්‍රතිපත්තියකි. ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් කියන්නේ එසේ මුදල් ගලා ඒම දිරිමත් කරන ප්‍රතිපත්තියකි.

රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය. උදාහරණයක් ලෙස, සවුදි අරාබි ආර්ථිකය ඉදිරියට යන්නේ සවුදියේ තෙල් ලිං වල තවමත් හොඳින් තෙල් උනන නිසාය. ඒත්, හැම රටකටම හැම කාලයකම මෙවැනි ස්වීප් ඇදෙන්නේ නැත. දිගුකාලීනව බොහොමයක් ආර්ථිකයන් වර්ධනය වෙන්නේ ඵලදායීතාව දිගින් දිගටම ඉහළ නංවා ගැනීම නිසාය. මෙතැනදී,  ඵලදායීතාව කියා කියන්නේ දැනට තිබෙන මූලික සම්පත් වලින්ම වැඩි අගයක් ඇති නිෂ්පාදන සිදුකිරීමයි. මෙය සිදු කළ හැකි වන්නේ තාක්ෂණ දියුණුවේ උපකාරයෙනි. ඒ හැරුණු විට, රාජ්‍යමූල හෝ මුදල් ප්‍රතිපත්ති මඟින් දිගුකාලීනව සෘජු ආර්ථික වර්ධනයක් ඇති කළ නොහැක.

දිගුකාලීනව ලොකු දෙයක් කළ නොහැකි වුවත්, මුදල් හා රාජ්‍යමූල ප්‍රතිපත්ති මඟින් රටක කෙටිකාලීන ආර්ථික වර්ධනයට බලපෑමක් කළ හැකිය. ආර්ථිකයට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් පොම්ප කර ආයෝජන හා පරිභෝජන වියදම් තාවකාලිකව දිරිමත් කිරීම මඟින් (කෘතිමව වියදම් වැඩි කරවීම මඟින්) ආර්ථික වර්ධනය තරමක් වැඩි කරගැනීමටත්, රැකියා වියුක්තිය අඩු කරගැනීමටත් පුළුවන. එහෙත්, මෙය කළ හැක්කේ එක්තරා සීමාවක් දක්වා පමණි. ආයෝජනය හෝ පරිභෝජනය වැඩිකිරීමට නිෂ්පාදනය වැඩිවීමක් සිදු විය යුතුය. නිෂ්පාදනය වැඩිවීමක් සිදු නොවන්නේනම් රටේ මුදල් වැඩි වුණත්, වැඩි වන ඉල්ලුමට ගැලපෙන තරමේ සැපයුමක්  සිදු නොවන නිසා අවසානයේදී සිදුවන්නේ මිල මට්ටම වැඩිවීම (උද්ධමනය) පමණි. ඒ නිසා, ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුත්තේ යම් රටක නිෂ්පාදන ධාරිතාව තිබියදී අවශ්‍ය තරම් ඉල්ලුමක් නොතිබීම නිසා ධාරිතාවේ මට්ටමට නිෂ්පාදනයක් සිදුනොවන විටය. පසුගිය කාලයේ ඇමරිකාවේ තිබුණේ එවැනි තත්ත්වයකි.

2008 වසරේ ඔක්තෝබර් මස සිටම මහ බැංකුව විසින් පවත්වාගෙන ගියේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියකි. මහ බැංකුව මෙසේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමෙන් පෙනී ගියේ අදාළ කාලය තුළ මහ බැංකුවේ ස්ථාවරය අනුව උද්ධමනය තර්ජනයක් නොවූ බවයි. එමෙන්ම, රටේ නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය පැවති මට්ටමට වඩා වැඩි බවයි.

කොළඹ පාරිහෝගික මිල දර්ශකයේ වැඩිවීම අනුව මේ කාලය තුළ උද්ධමනය මෙසේ විය.
2009- 5.0%
2010- 6.8%
2011- 4.9%
2012- 9.2%
2013- 4.7%
2014- 2.1%
2015- 2.8%

මේ දත්ත අනුව, සමස්තයක් ලෙස ගත් විට මේ කාලය තුළ උද්ධමනය අඩු මට්ටමක පැවතී ඇත. ඒ නිසා ඒ කාලය තුළද රුපියලේ වටිනාකම අඩුවුනත් එය සිදුවුනේ සෙමිනි. ලංකාවේ වෘත්තීය සමිති, මාධ්‍ය හා රජයට සම්බන්ධ නැති දේශපාලන පක්ෂ මෑත දශක කිහිපය තුළ උද්ධමනය ප්‍රශ්නයක් ලෙස දැක ඇත්තේ එය 15% මට්ටමටවත් වැඩි වූ විටය. තනි අංකයේ උද්ධමනයක් ලංකාවේදී නරක දෙයක් ලෙස සැලකෙන්නේ නැත. අනෙක් අතට මහ බැංකුවේ ප්‍රකාශිත දිගුකාලීන ඉලක්කය උද්ධමනය 4-6% සීමාවේ රඳවා ගැනීමයි. මේ අනුව, අදාල කාලයේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තේරුම් ගතහැකිය.

එමෙන්ම, 2014 මහ බැංකු වාර්තාව අනුව ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩි වී ඇත්තේ මෙසේය.
2009- 3.5%
2010- 8.0%
2011- 8.2%
2012- 6.3%
2013- 7.2%
2014- 7.4%

මේ සංඛ්‍යා නරක සංඛ්‍යා නොවේ. ඒ අනුවපෙනී යන්නේ පැවති ලිහිල් මුදල් ප්‍රතිපත්තිය ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට උදවු වී ඇති බවය.

දැන් මහ බැංකුව දැඩි මුදල් ප්‍රතිපත්තියක් වෙත මාරු වී ඇත. මෙමඟින් ආර්ථික වර්ධනයට බාධා කෙරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී මෙවැනි තීරණයක් ගන්නට වෙන්නේ එසේ නොකළහොත් සිදුවන හානිය ඊට වඩා වැඩි බව පෙනෙන විටය.

මෙසේ සිදුවිය හැකි ලොකු හානිය කුමක්ද? උද්ධමනය දැනටනම් ඇත්තේ පහළ මට්ටමකය. එහෙත්, ඉදිරියේදී උද්ධමනය වැඩිවීමේ ලකුණු මහ බැංකුව විසින් නිරීක්ෂණය කර තිබේ. මෙයට එක් හේතුවක් වන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ලිහිල් මුදල් ප්‍රතිපත්තිය නිසා මේ වන විට අවශ්‍ය මට්ටමත් ඉක්මවා මුදල් සැපයුම ප්‍රසාරණය වීමයි. අනෙක් අතට, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ආනයනික භාණ්ඩ වල මිල වැඩිවීමේ බලපෑමද උද්ධමනය වැඩි වීමට හේතු විය හැකිය. මෙයට අමතරව, මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීම මඟින් ප්‍රාග්ධනය රටෙන් පිටතට ගලායාම සීමා කිරීමටද අපේක්ෂා කරන බව පෙනේ.


(Image: www.livescience.com)

පළමු පළකිරීම: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_3.html

30 comments:

  1. එතකොට අපට (පහල මධ්‍යම පංතියේ මාස් පඩි කාරයන්ට) මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. මෙය සිදුකර ඇති ආකාරය අනුව ක්ෂණිකවම වැඩිම බලපෑමක් වනු ඇත්තේ වාණිජ බැංකු වලටයි. මේ ක්‍රියාමාර්ගය සහ අයවැයෙන් ගත් වෙනත් ක්‍රියාමාර්ග නිසා ඔවුන්ට ලාභ ලැබීම වඩා අසීරු වෙයි. මෙය පාරිභෝගිකයින්ට පාස් කිරීම නිසා පහළ මධ්‍යම පන්තිකයෙකුට ණයක් ගැනීම වඩා අමාරුවෙයි. ඒ වගේම, විණිමය අනුපාතිකයේ බලපෑම නිසා බඩුමිලත් ටිකක් වැඩිවෙයි. ඒ හැරුණු විට, ක්ෂණිකව ලොකු බලපෑමක් වෙන එකක් නැහැ.

      Delete
  2. ලංකාවෙන් එළියට මුදල් ගලා යෑමට වැට කඩොලු බොහෝමයි නේද?උදාහරණයක් විදිහට මං ජීවත් වන ඩුබායි රටේ මට ඕනෑම මුදල් ප්‍රමාණයක් බැංකුවකින් හෝ වෙනයම් හුවමාරු ක්‍රමයකින් ප්‍රේෂණය කරන්න කිසිම බාධාවක් නැහැ.නමුත් ලංකාවේදී අපිට එහෙම කරන්න බැහැනේ.මට මතකයි රට ඉන්න දරුවෙකුගේ වියදමට සල්ලි යැවුවත් නීති රෙගුලාසි දාහක් පන්නල තමයි ඒකට උනත් ඉඩ ලැබෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලංකාව නිදහසින් පසු සෑහෙන කලක් ප්‍රාග්ධන ගලායෑම් හිර කරගෙන සිටි රටක්. මෙය ටිකෙන් ටික ලිහිල් කළත් තවමත් සම්පූර්ණයෙන් නිදහස් නැහැ.

      Delete
    2. ප්‍රාග්ධන ගිණුම විවුර්ත කිරීම න්‍යායට අනුව නම් හොඳ දෙයක් උනත් ඒක ප්‍රයෝගිකව අපේ රටට කොහොමට බලපායිද? පාඩු වෙන බවට ඉඟියක් ලොඅබුන ගමන් විදේශීය ප්‍රාග්ධනය රටින් එලියට ගියොත් මොකද වෙන්නෙ. මේ ලඟදි අප පාවාද දා ගෙන පිළිගන්නා විදේශිකයා ආයෝජකයා එක වරම තම ඇත ඉවත් කර ගතත් නිසා මැලේශියයාවේ ආර්ථිකයට සිදුවූ අහිතකර බලපෑම අපිට නොවීමට ඇති ඉඩකඩක් තියෙනවාද?
      ප්‍රශ්න වැලක් තමයි. ඒත් හරි උත්තරේ දැනමුත්තෙකුගෙන්ම අහගන්න එපැයි.

      සමරසේකර

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ලොකුවට අධ්‍යයනයක් කර නැතත්, ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම දැනට සිටින තත්ත්වය අනුව ඉහළ ප්‍රමුඛතාවයක් දියයුතු දෙයක් කියා මම හිතන්නේ නැහැ. එය විවෘත කළ විට (න්‍යායාත්මකව) ඇති වාසියක් වන්නේ අවශ්‍ය වෙලාවක ආපසු ගෙනයාමට පුළුවන් නිසා වැඩිපුර ප්‍රාග්ධනය පැමිණීම. නමුත්, වෙනත් සමාජ දේශපාලනික හේතු නිසා ප්‍රාග්ධන ගිණුම විවෘත කළ පමණින් ලොකු වෙනසක් වේයැයි මම හිතන්නේ නැහැ. ස්ථාවර නොවන ලොකු ප්‍රාග්ධනයක් පැමිණීමත්, හදිසියේ එය එකවර ආපසු යාමත් අපේ පොඩි ආර්ථිකයට දරා ගැනීම අමාරු විය හැකියි.

      Delete
  3. මෙය රටේ දිගු කාලීන සංවර්ධනය සඳහා හොඳ ද?

    ReplyDelete
    Replies
    1. රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි. මෙයින් ආර්ථික වර්ධනයට තිරිංග වැටුණත් එකවර ආර්ථිකය කඩා වැටෙන්න තියෙන ඉඩකඩ අඩුවෙනවා. එකවර අඩුවෙනවට වඩා ටික ටික අඩුවූ විට හානිය අඩුයි. මුදල් ප්‍රතිපත්ති වල තියෙන්නේ කෙටිකාලීන බලපෑමක්. මිල මට්ටම් වෙනස්වීම හැර දිගුකාලීනව එහි බලපෑමක් නැහැ.

      Delete
    2. රටේ නිෂ්පාදන ධාරිතාවට වඩා වැඩිපුර ඉල්ලුමක් තිබේනම් කළ යුත්තේ මුදල් සැපයුම සීමා කර ඉල්ලුම අඩු කිරීමයි.
      මේ ප්‍රකාශය ටිකක් පැටලිලි සහිතයි. නිෂ්පාදිත ධාරිතාවට වඩා ඉල්ලුම වැඩි නම් ඇයි ඉල්ලුම අඩු කරන්න මුදල් සීමා කරන්නෙ. කල යුත්තේ නිෂ්පාදන ධාරිතාව වැඩි කිර්‍රිම නොවේද?
      එයින් කෙසේද ආර්ථික කඩා වැටීමක් සිදුවන්නෙ.

      Delete
    3. මෙය ඉතා හොඳ ප්‍රශ්නයක්, වරා මලී. මෙය පැහැදිලි කර දිගු පිළිතුරක් හෝ වෙනම පොස්ට් එකක් පසුව දමන්නම්.

      Delete
    4. පැහැදිලි කිරීමක් මෙහි ඇත: http://emgesathapaha.blogspot.com/2016/01/blog-post_5.html

      Delete
  4. 2012 දී උද්ධමනය ඉතා ඉහල අගයක් ගන්නත් දළ ජාතික නිෂ්පාදිතය එක වර කඩා වැටෙන්නත් හේතු උනේ මොකක්ද...

    2015 වාර්තා තවම එළියට ඇවිත් නැද්ද...

    ReplyDelete
    Replies
    1. ඔය සංඛ්‍යා වැඩිය සීරියස් ගන්න එපා. දළ ජාතික නිෂ්පාදිතය එකවර ඔයිට වඩා ගොඩක් කඩා වැටිලා තියෙන්නේ. ඒ ගැන ඉදිරියේදී පොස්ට් එකක් දාන්නම්.

      Delete
    2. මහ බැංකු වාර්තා එන්නේ අප්‍රේල් වල.

      Delete
  5. // රටක ආර්ථිකය දිගුකාලීනව ඉදිරියට යන්නේ නිෂ්පාදනය වැඩිවීමෙනි. නිෂ්පාදනය වැඩි කිරීමටනම් එක්කෝ වැඩි වැඩියෙන් මූලික සම්පත් ලැබිය යුතුය //


    සේවා සැපයීමෙන් වඩාත් ඉදිරියට යා හැකි නොවේද?

    ReplyDelete
    Replies
    1. නිෂ්පාදනය කියන්නේ භාණ්ඩ හා සේවා දෙකම ඇතුලත්ව, සා රස. මේ වන විට ලංකාව ඇතුළු බොහෝ රටවල ද.ජා. නි.ට වැඩිපුරම දායක වෙන්නේ සේවා අංශය. මූලික සම්පත් ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ ප්‍රාග්ධන සම්පත් (භුමිය හා ස්වභාවික සම්පත්ද ඇතුළත්ව), ශ්‍රම සම්පත් (මූලික ශ්‍රමය) සහ මානව සම්පත් (පුහුණු ශ්‍රමය). සේවා නිෂ්පාදනයටත් මේ මූලික සම්පත් අවශ්‍යයි.

      Delete
  6. ඉන්වෙස්ටර්ස්ලා එන එකට ලෙඩක් වෙයිද....?

    ReplyDelete
    Replies
    1. මුදල් ප්‍රතිපත්තියේ තියෙන්නේ කෙටිකාලීන බලපෑමක්. ආයෝජකයින් සාමාන්‍යයෙන් එන්නේ දිගුකාලීනව ඇතිවිය හැකි තත්ත්වයන් ගැන බලලා. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් කළ යුතු වෙලාවට ලිහිල් කිරීම වගේම දැඩි කළ යුතු වෙලාවට දැඩි කිරීමත් හොඳ දෙයක්. එහෙම නොකිරීම තමයි හරි විශ්ලේෂණයක් කරන කෙනෙක් නරක දෙයක් ලෙස දකින්නේ. ලංකාවට ආයෝජන (නො)ඒමට ආර්ථික කරුණු වලට වඩා සමාජ දේශපාලනික කරුණු බලපානවා.

      Delete
  7. ඔය මහා බැංකුවේ සංඛ්‍යාලේඛන වලින් හැම තිස්සෙම සැබෑ ආර්ථිකය නිරුපණය කරනවාද ?දළ ජාතික නිෂ්පාදිතය වැඩි වෙන්න පහුගිය ආණ්ඩුව විශාල වශයෙන් ගත්තු විදේශ ණය වලින් ලොකු බලපෑමක් වෙලා නැතිද ?

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලයේ දළ ජාතික නිෂ්පාදනය ගැන ලිපියක් සෑහෙන දුරකට ලියලා තියෙන්නේ. එය ඉදිරියේදී පලවෙයි. එවිට මෙය කතා කරමු. (ඉදිරි පැය ගාණක් ගුවන් තොටුපලවල සහ ගුවනේ ඉන්න තියෙන නිසා ලිපි කිහිපයක් සම්පූර්ණ කරන්න වෙලාව ලැබෙයි.)

      Delete
  8. මේ තත්වයේ යථා ස්වරූපය පැහදිළි වන්නට තව කොපමණ කලක් යයිද?

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නය ටිකක් පැහැදිලි මදි. ඔබ අහන්නේ ආර්ථිකයේ සැබෑ තත්ත්වය ගැනනම් එය පෙනෙන්න ලොකු කලක් ගතවන එකක් නැහැ.

      Delete
  9. මෙතනිනුත් අදහසක් ගන්න පුලුවන්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1719471

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.