වෙබ් ලිපිනය:

Friday, September 15, 2023

"පාඩුව" හරියටම මෙන්න!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු කෙරුණා. මෙම අලුත් බැඳුම්කර වර්ග 12 මෙන්ම ඒ වෙනුවෙන් හුවමාරු කෙරුණු බැඳුම්කර වර්ග 49හි හුවමාරු නොකළ කොටසද මේ වන විට ද්වීතියික වෙළඳපොළෙහි සක්‍රිය ලෙස අලෙවි වනවා.

කිසියම් භාණ්ඩයක "නියම" මිල සේ සැලකිය හැක්කේ එම භාණ්ඩය වෙළඳපොළ තුළ විකිණිය හැකි මිලයි. මෙම නියමය භාණ්ඩාගාර බැඳුම්කර වලටද වලංගුයි. එම පදනම මත, හුවමාරු කිරීමේදී රජයට ආපසු ලබාදුන් බැඳුම්කර වල නියම වටිනාකම මෙන්ම ඒ වෙනුවෙන් ආපසු ලැබුණු බැඳුම්කර වල නියම වටිනාකමද දැන් අපට පහසුවෙන්ම ගණනය කළ හැකියි. මෙම මිල ගණන් අතර වෙනස හුවමාරුව නිසා සිදු වූ ලාබය හෝ පාඩුවයි.

අලුත් බැඳුම්කර නිකුත් කරනු ලැබ වෙළඳපොළ තුළ ඒවා හුවමාරු වන තුරු මෙම හුවමාරුවේ ලාබ හෝ පාඩු පිළිබඳව කිසිවකුට නිවැරදිව කිව හැකි වූයේ නැහැ. වෙළඳපොළ මිල කියන්නේ නිරීක්ෂණය කළ යුතු දෙයක් මිස කලින් හරියටම පුරෝකථනය කළ හැකි දෙයක් නෙමෙයි. 

මෙම හුවමාරුව සිදු වීමට පෙර මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබුණේ එයින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට 4.8%ක අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. වෙනත් අය මෙය 47% දක්වා වන අපේක්ෂිත පාඩුවක් ලෙස ගණන් බලා තිබුණා. අපගේ පෞද්ගලික අදහස වූයේද මහ බැංකුවේ ඇස්තමේන්තුව ඉක්මවන  7%-15% පරාසයේ අපේක්ෂිත පාඩුවක් සිදු විය හැකි බවයි. 

කෙසේ වුවද, අලුත් බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ තුළ හුවමාරු වීමෙන් පසුව පෙනී යන පරිදි මෙම හුවමාරුවෙන් ඒ සඳහා අයැදුම් කළ පාර්ශ්ව වලට කිසිදු අලාබයක් සිදු වී නැහැ. සමස්තයක් ලෙස මෙම හුවමාරුව නිසා එයට සහභාගී වූ අයගේ වත්කම් සුළු වශයෙන් (රුපියල් බිලියන 4.9කින් හෙවත් 0.16%කින්) ඉහළ ගොස් තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල හා අදාළව වෙනම ගණන් බැලීමක් කිරීම සඳහා ප්‍රමාණවත් තොරතුරු නැතත්, එම අරමුදලේ ලාබ පාඩු පිළිබඳ තත්ත්වයද මීට වඩා ලොකුවට වෙනස් වීමේ ඉඩක් නැහැ. 

හුවමාරු කළ බැඳුම්කර එසේ හුවමාරු නොකළේනම්, ඒවා අතරින් වැඩි කූපන් පොලියක් සහිත බැඳුම්කර මේ වන විට රුපියල් 123.45 දක්වා වන මිලකට විකිණිය හැකිව තිබුණත්, අඩු කූපන් පොලී සහිත බැඳුම්කර රුපියල් 74.18 දක්වා වන අඩු පොලියකට විකුණන්නට සිදු වෙනවා. සමස්තයක් ලෙස මෙසේ හුවමාරු කළ බැඳුම්කර සියල්ලම "තොගයක් ලෙස" විකිණුවේනම් විකුණන්නට වෙන්නේ රුපියල් 93.69ක මිලකටයි. මේ වෙනුවෙන් ලැබුණු අලුත් බැඳුම්කර "තොගයක් ලෙස" රුපියල් 93.84කට විකිණිය හැකියි. වෙනත් විදිහකින් කියනවානම්, හුවමාරුවට සහභාගී වූ අයෙකුට අවශ්‍යනම් හුවමාරුවේදී අලුතින් ලැබුණු බැඳුම්කර වෙළඳපොළෙහි විකුණා කලින් තමන් සතු වූ බැඳුම්කර වර්ග වලින් එම ප්‍රමාණ මිල දී ගන්න පුළුවන්. 

මේ සමඟම, බැංකු කඩා වැටීමේ කතාව වගේම, මේ හා අදාළව ප්‍රචාරය වූ ප්‍රවාද, දුස්තොරතුරු මෙන්ම අපගේ පූර්ව ඇස්තමේන්තුද ඇතුළු ඇස්තමේන්තු සියල්ල තේරුමක් නැති දේවල් බවට පත් වෙනවා. කතාව සංකීර්ණ වැඩිනම්, සරලව, මෙම හුවමාරුව නිසා සේවක අර්ථසාධක අරමුදලේ වත්කම් වල කිසිම දැනෙන වෙනසක් සිදු වී නැහැ. ඒ කතාවත් මෙතැනින් සමාප්තයි!

10 comments:

  1. මේ කියන්නෙ මීට පස්සෙ මහබැන්කු බැඳුම්කරවල පොලී අනුපාත් ඉහල ගියත් පාඩුවක් වෙන්නෙ නෑ කියලද?

    ReplyDelete
    Replies
    1. දිගුකාලීනව එහෙම පොලී අනුපාතික ඉහළ යයි කියා හිතෙනවානම් ඊට කලින් මෙම බැඳුම්කර විකුණා පාඩු වීම වලක්වා ගන්න පුළුවන්. දැනට වෙළඳපොළ ඉල්ලුම තිබුනත් මහ බැංකුව මෙම බැඳුම්කර විකුණන්න උත්සාහ කරන බවක් පේන්නේ නැහැ. ඒ අනුව, පෙනෙන්නේ මහ බැංකුව විශ්වාස කරන පරිදි පොලී අනුපාතික තවත් අඩු වී මීටත් වඩා වැඩි මිලකට මෙම බැඳුම්කර විකිණීමේ අවස්ථාව දෙස ඔවුන් බලා සිටින බවයි. 2022 අවසාන වන විට EPF එක සතු වූ බැඳුම්කර වල වටිනාකම 40%කින් අඩු වෙලයි තිබුණේ. නමුත් මහ බැංකුව විකුනන්න හදිසි වුනේ නැහැ. දැන් නැවතත් 60 තිබුණු එක 93 ඉක්මවා වැඩි වෙලා. පොලී අනුපාතික තවත් අඩු වෙද්දී මෙය 100 ඉක්මවා වැඩි වෙන්න පුළුවන්. මහ බැංකුවේ උපකල්පන වැරදිනම් පාඩුවක් වෙනවා. එය ප්‍රතිව්‍යුහගත කළත්, නොකළත් දිගුකාලීන ආයෝජන වල තිබෙන අවදානමක්.

      Delete
  2. බෝතලයක් ගහලා ඉන්නේ.

    ReplyDelete
  3. අද නම් ඉකෝන් වැඩි පැහැදිලි කිරීම් නැතිවම ඉක්මනට ලිපිය ඉවර කරලා..ඒක නිසාම ප්‍රශ්ණ කීපයක් තියෙනවා විස්තර කර ගන්න.


    ඊපීඑෆ් එක ප්‍රතිවයුහගත ක්‍රියාවලියට සහභාගී නොවී සිටියා නම් වැඩි කූපන් පොලියක් සහිත බැදුම්කර ද්වීතීක වෙලදපොල තුල ලාභ විදිහට විකුණා , අඩු කූපන් පොලියක් සහිත එවා කල් පිරෙන තුරු ලග තබා ගැනීමේ නිදහස හිමිවෙනවා. එම නිදහස පාවිච්චි කලා නම් වැඩි ලාභයක් ගන්න පුලුවන් නේද -( අර බද්ධ ගහන එක අයින් කරලා කථා කරන්නෙ...මොකද ඒක ඉකෝන්ම කියපු විදිහට ඔලුවට පිස්තෝලයක් තිබ්බා වගේ වැඩක් නෙ)

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රශ්නය හරියටම තේරුම් ගත්තද මන්දා.

      ඔය වැඩි කූපන්, අඩු කූපන් කියන එකේ ඇත්තටම වෙනසක් නැහැ. කල් පිරෙන දවස සමානනම් වෙනස cashflow එකේ පමණයි. ඒ හැරුණු විට ලාබ පාඩු සමානයි. 2043 කල් පිරෙන 9% බැඳුම්කර 74ට යද්දී 13.5% බැඳුම්කර 107ට යනවා. දැන් 13.5% එකෙන් 100ක් විකිණුවොත් ඒ සල්ලි වලින් 9% එකෙන් ආසන්නව 150ක් ගන්න පුළුවන්. එතකොට දෙකටම ආසන්නව 13.50 බැගින් ලැබෙනවා.

      ඔබ ඇහුවේ වෙන දෙයක් වෙන්න පුළුවන්.

      Delete
    2. මේක ගනිතමය ආකාරයෙන් පැහැදිලි කලානම් වටිනව.
      අඩු පොලී x ප්‍රමානයකුයි වැඩි පොලී y ප්‍රමානයකුයි වගෙ අරගෙන

      Delete
    3. මේ බැදුම්කර වල වෙලදපොල වටිනාකම තීරනය කරලා තියෙන්නෙ මහබැන්කුව විසින්. ඒ නිසා මේවා වෙලදපොල සන්සරනය වෙනකන් මේ වෙලද අගයෙන් පාඩුවක් නෑ වගේ පේනවා. ඒත් මේවා වෙලදපොල සන්සරනය වෙද්දි අනිවාර්‍යයෙන් mtm loss හෝ realized loss විදගැනීමට ආයෝජකයන්ට සිදු වෙනවා. මොකද දැනටත් 3 සහ 5 අවුරුදු කල්පිරෙන බැන්දුම්කර අලවි වෙන්නේ 15.58 හා 14.64 යන පොලියට. පාඩුව ගනනය කරන්න පුලුවන් වෙනවා මහබැන්කුව ලබා දුන් බැදුම්කර වල පොලී අනුපාත, coupon rate මේ වගුවේම සදහන් කරලා තිබ්බනම්.

      Delete
    4. ඔය තියෙන්නේ වෙළඳපොළ තුළ සංසරණය වෙද්දී මිල දී ගැනීම සඳහා අර්පණය කර තිබෙන මිල ගණන්. මහ බැංකුව විසින් තීරණය කළ වටිනාකම නෙමෙයි.

      Delete
  4. මගේ ප්‍රශ්ණය මම ඉකෝන්ගේ උදාහරණයකින්ම පැහැදිලි කරන්නම්. දැන් මෙතැන ලොකු පොල් ගෙඩියි පොඩි පොල් ගෙඩියි කලවමේම තිබුණනේ. එතකොට මෙතැන උනේ මුලු පොල්ගෙඩි ගොඩම එකවර ගන්න මහබැංකුව පොල්ගෙඩි අයිතිකාරයට කැමතී කිව්ව එකනේ. එතකොට මගේ ප්‍රශ්ණය උනේ මේ පොල්ගෙඩි ගොඩම එකපාර මහබැංකුවට නොදී පොල් අයිතිකාරයා සිල්ලර වෙලදපොලේ විකුනුවනම් , එක්කො ලොකු පොල් ගෙඩි ටික තමන් ගාව තියාගෙන පොඩි පොල්ටික විතරක් වෙලදපොලේ විකුනවනම් ලැබෙන ලාභය මීට වඩා වැඩිද කියන එක.

    - දැන් මෙතැන පොල්ගෙඩි අයිතිකාරයට තුවක්කුවක් ඔලුවට තියලා තමයි මුලු ගොඩම මට දීපන් කියලා මහබැච්කුව කිව්වෙ. තුවක්කුව තමයි 30% බද්ධ. මේ තුවක්කුව ඔලුවට තිබ්බෙ නැත්තං පොල්ගෙඩි අයිතිකාරයට තමන්ට ඕනේ විදිහට වෙල්දපොල හැසීරීම බලලා තමගෙ පොල් ටික් විකුනගන්න තිබ්බා.නැත්තංස් පොල් ටික ලග තියන් ඉදලා කල් පිරුණම කොප්පර වලින් ලාභයක් ගන්න තුබුනා..

    - ඇත්තටම මේ ප්‍රතිව්යුහගත කිරීමට විරුද්ධව හඩ නගපු අයට කරන්න තිබ්බෙ මේ 30% බද්ධට විරුද්දව තමන්ගෙ දේශපාලනය මතවාදය දියත් කිරීම. ඒක ඔය තියෙන 14% ම තියා ගත්තා නම් , සේවක අර්ථසාතක භාරකාරය විදිහට මහ බැකිවට මෙච්චර ලේසීයෙන් ගැලවිලා යන්න නොදී හිර කරන්න තිබ්බා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: