වෙබ් ලිපිනය:

Tuesday, August 15, 2023

සංවර්ධන බැඳුම්කර හුවමාරුව අවසන්!


අද දිනයේදී (අගෝස්තු 15) දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර මුළුමනින්ම අවසන් කර තිබෙනවා. මේ අනුව, ආපසු ගෙවිය යුතුව තිබුණු සංවර්ධන බැඳුම්කර වෙනුවට වර්ග පහක භාණ්ඩාගාර බැඳුම්කර මිශ්‍රණයක් ලබා දීම අද දිනයේදී සිදු වී තිබෙනවා. මෙම එක් භාණ්ඩාගාර බැඳුම්කරයකින් රුපියල් මිලියන 50,444.3ක මුහුණත අගයක් ලෙස රුපියල් මිලියන 252,221.5ක භාණ්ඩාගාර බැඳුම්කර අළුතෙන් නිකුත් කර තිබෙනවා. 

සංවර්ධන බැඳුම්කර වෙනුවට භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරු කර ඇත්තේ කවර විණිමය අනුපාතය යටතේද යන්න ප්‍රකාශයට පත් කර නැහැ. අද අන්තර් බැංකු වෙළදපොළේ ඩොලරයක මැදි මිල රුපියල් 320.94ක්. එම විණිමය අනුපාතිකය අනුව ඉහත මුදල සමාන වන්නේ ඩොලර් 795,891,890ක මුදලකටයි. ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා භාර ගත් සංවර්ධන බැඳුම්කර ප්‍රමාණය ඩොලර් මිලියන 791,446,221ක්. මේ අනුව, ඩොලරයක මැදි මිලට වඩා තරමක් අඩු රුපියල් 318.68 වැනි අනුපාතයකට මෙම හුවමාරුව සිදු කර ඇති බවත්, සංවර්ධන බැඳුම්කර සියල්ලම මෙන් භාණ්ඩාගාර බැඳුම්කර සමඟ හුවමාරු කර ඇති බවත් පැහැදිලියි. 

සංවර්ධන බැඳුම්කරහිමියන්ට හුවමාරුව සිදු කිරීම සඳහා විකල්ප තුනක් ලැබුණා. අදාළ විකල්ප තුනෙන් පළමු විකල්ප දෙකෙන් එකක් තෝරා ගත්තේනම් හුවමාරුව සිදු වන්නේ ඩොලර් බැඳුම්කර සමඟයි. තෙවන විකල්පයේදී ඩොලර් බැඳුම්කර රුපියල් බැඳුම්කර හා හුවමාරු වෙනවා. බැඳුම්කරහිමියන් සියලු දෙනාම වාගේ තෝරාගෙන තිබෙන්නේ තෙවන විකල්පයයි. 

මේ තේරීම තේරුම් ගැනීම අපහසු නැහැ. පළමු තේරීම විකල්පය වීනම් ආපසු ලැබෙන්නේ මුල් මුදලින් 70%ක් පමණයි. දෙවන විකල්පය තෝරාගත්තේනම් වසර 9ක් යන තුරු කිසිදු මුදලක් ආපසු ලැබෙන්නේ නැහැ. මේ විකල්ප දෙකෙන් එකක් වඩා හොඳ තේරීම විය හැකිව තිබුණේ ඩොලර් හොයා ගැනීම විශාල ප්‍රශ්නයක් වී තිබුණු පසුබිමක පමණයි. පවතින තත්ත්වය තුළ, රුපියල් ආපසු ලැබේනම් ඒ රුපියල් ඩොලර් කිරීම ප්‍රශ්නයක් නොවන බව සංවර්ධන බැඳුම්කරහිමියන් විසින් නිගමනය කර තිබෙනවා. 

4 comments:

  1. තවම කසකාරයො විතරයි. පෙරහැර ලඟදිම එනවා. (වෛද්‍යවරු රට හැර යාමේ ඛේදවාචකය) මේ පෝස්ට් එක හැමෝම කියවල බලන්න, මේ සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුල මම කිහිප වතාවක්ම ලිව්ව. ඒ වගේම මේ ගැන මම ලියන අවසන් ලිපිය තමයි මේ ලියන්නෙ.

    මේ ප්‍රශ්නෙ බරපතළ කම ලංකාවේ ජනතාවට නම් කිසිම අදහසක් නැති ගානයි. මොකද ඒකෙ බරපතල ප්‍රතිවිපාක ඔවුන්ට දැනෙන්න තව අවුරුදු දෙක තුනක් ගතවෙන නිසා. මෙහි අවසන් ප්‍රතිඵලය රජය හොඳින්ම දන්නා නමුත් ඊට පිළිතුරු සොයන්න ඔවුන්ට අවශ්‍ය නැහැ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ සාමාජිකයෙක් මේ ලඟදි ප්‍රකාශයක් කලා දැනට රට යන විදිහ ගැන ඔවුන් සතුටු වෙනව කියල. ඒ වගේම ඉදිරියේදී ගන්න තියෙන තවත් වැදගත් පියවර කිහිපයක් ගනිද්දි බුද්ධි ගලනය තව තවත් වැඩි වෙන්න පුළුවන් බව ඔහු කිව්ව. කොහොමත් IMF එක මේ ප්‍රශ්නෙට සංවේදී නැහැ. මොකද රටේ සෞඛ්‍ය දර්ශක පහළට වැටීම නෙමෙයි ඔවුන්ට අදාළ වෙන්නෙ ආර්ථීක දර්ශක ඉහළ නැංවීම හරහා රනිල් වික්‍රමසිංහ යහපාලන රජය කාලේ ISB වලින් ඩොලර් බිලියන 12 ක පමණ ණය ලංකාවට ලබාදී තිබෙන සභ IMF එකේත් අතිවිශාල ලෙස මූල්‍ය ආයෝජන කර තිබෙන එක්සත් ජනපද සහ යුරෝපීය ණය හිමි සමාගම් වලට නැවත ණය ප්‍රතිව්‍යුහගත කර අයකර ගැනීමට පුළුවන්කම ලැබෙන එක තහවුරු කර ගැනීම පමණයි. (ඔවුන් ඇත්තටම හිත යටින් සතුටු වෙනව ඇති. මොකද ලංකාවේ බුද්ධි ගලනය සිදුවෙන්නෙ ඔවුන්ගෙ රටවල් වලටම නිසා).

    වෛද්‍යවරුන් රට හැර යන සීඝ්‍රතාවය ගැන ඇත්තම සංඛ්‍යාලේඛන කිසිවෙක් දන්නෙ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන තොරතුරු තමයි මූලාශ්‍ර විදියට ගන්නෙ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට තොරතුරු ලැබෙන්නෙ සියල්ල අවසන් වූ පසුවයි. උදාහරණයක් විදිහට ඉදිරි වසර ඇතුළත විදේශගත වීමට නියමිතව වෛද්‍යවරු සංඛ්‍යාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නිවැරදි තොරතුරු නැහැ. මම දන්න තරමින් ඔවුන් ඒ ගැන සංගණනයක් කරලත් නැහැ.

    ඒත් රෝහල් වල බිම් මට්ටමේ සේවය කරන වෛද්‍යවරු විදිහට අපි දකින දේ නම් ඇඟ කිළිපොලා යන සුළුයි. මම එක උදාහරණයක් කියන්නම්. එක්තරා ප්‍රධාන රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයක වැඩ කරන වෛද්‍යවරු 20 දෙනාගෙන් 15 දෙනෙක් දැනට AMC හෝ PLAB විභාග සමත් වෙලා ඉන්නෙ. (විදේශීය වෛද්‍යවරයෙක් ඕස්ට්‍රේලියාවෙ නැතිනම් එංගලන්තයේ වෛද්‍යවරයෙක් විදිහට සේවය කරන්න කලින් සමත් වෙන්න ඕන විභාග තමයි මේ. අනිවාර්යෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි මේ විභාග කරන්නෙ. මොකද ඒවට විශාල මුදලක් ගෙවන්න ඕන වගේම ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නත් ඕන). ඉතින් මේ පහළොස් දෙනාම තමන්ට විදේශ රැකියාව ලැබුණු ගමන්ම ඉදිරි මාස හය හත ඇතුලෙදි විදේශගත වෙනව). මම දන්න එක උදාහරණයක් විතරයි ඔය කිව්වෙ. රටේම තත්වය මීට වඩා වෙනස් වෙන්න විදිහක් නැහැ.

    සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් වෙලා වෛද්‍ය විද්‍යාලයෙන් පිට වෙන කෙනෙකුගෙ වයස අවුරුදු 28 ක් විතර වෙනව. දැන් අලුත් ප්‍රවණතාවය තමයි මේ වෛද්‍යවරු තමන්ගෙ සීමාවාසික පුහුණුව අවසන් කළ ගමන් විදේශ ගතවීම. අවුරුදු 35ට අඩු වෛද්‍යවරුන් තොගපිටින් රට හැර යනව. වයස අවුරුදු 35 ත් 45 ත් අතර ඉන්න සාමාන්‍ය ආර්ථික ස්ථාවරත්වයක් තියෙන වෛද්‍යවරු පවා පවුල් පිටින් විදේශගත වෙන්න පෙළඹිලා තියෙනව. ඒ වගේම වයස අවුරුදු 55 සම්පූර්ණවූ ගමන්ම විශ්‍රාම අරගෙන වෙනත් ආදායම් මාර්ග වලට යොමු වෙන්න තවත් පිරිසක් බලාගෙන ඉන්නව. මේ සම්බන්ධයෙන් නිවැරදි සංඛ්‍යාලේඛන දෙන්න කියල කව්රුහරි ඇහුවොත් මම ඒක හරියටම දන්නෙ නැහැ. නමුත් මහ පොළොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු හැටියට අපිට දැනෙන දේ තමයි මේ කියන්නෙ.

    තව සමහරු කියනව ඔය යන එවුන් ගියාවෙ ඉන්න එවුන් ටික කොහොම හරි මේ වැඩේ කරයි කියල. ඉන්න එවුන් කරයි තමයි. ඒත් මෙතනදි සෞඛ්‍ය ක්ශේත්‍රය කඩා වැටෙන්නෙ මොන විදියටද කියන එක මම ඔබට කියන්නම්.

    Cont'd

    ReplyDelete
  2. Cont'd

    සැබැවින්ම පෙනෙන විදිහට ලබන 2024 වසර ඇතුළත ලංකාවට දරාගන්න බැරි තරම් බරපතල බුද්ධි ගලනයක් සිදු වෙයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පමණක්ම වුණත් දැනට පෙනෙන පරිදි විශේෂඥ වෛද්‍යවරුන් වගේම ශ්‍රේණි වෛද්‍යවරු සැලකිය යුතු විශාල පිරිසක් රට හැර යයි. ඉතිරි වන වෛද්‍යවරුන්ට නිශ්චිත කාලයක් තුළ ප්‍රතිකාර කරන්න සිදුවුන රෝගීන් ප්‍රමාණය පාලනයකින් තොරව අධිකව ඉහළ යයි. රෝහල්වල ප්‍රතිකාර සම්බන්ධයෙන් සමාජයෙන් එල්ලවන බරපතල චෝදනා දිනෙන් දින ඉහළ යන බැවින් අසීමිත රෝගීන් සංඛ්‍යාවකට ප්‍රතිකාර කර යම් අතපසු වීමක් සිදුවුවහොත් එහි අවදානමක් ගන්න ඉතිරිවන වෛද්‍යවරුන් කැමති වෙන්නෙ නැහැ. ඒ නිසා සායන වලට බාහිර ප්‍රතිකාර අංශවලට වාට්ටුවලට බාරගන්නා රෝගීන් ප්‍රමාණයේ සීමා පැනවීම් සිදුවීම වළක්වන්න බැහැ.

    මීට අමතරව වෛද්‍ය හිඟය නිසා පර්යන්ත කුඩා රෝහල්වල සිටින වෛද්‍යවරුන්ව ප්‍රධාන රෝහල් කරා යොමු කරන්නට සිදුවෙයි. සෞඛ්‍ය සේවය සංකෝචනය කිරීමේ දී කුඩා බාහිර රෝහල් වැසී යන තත්ත්වයක් උද්ගත වෙයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය මීට දශක දෙකකට පමණ පෙර තිබූ තත්ත්වයට නැවතත් ඇද වැටීම වළක්වන්න බැරි වෙයි.

    බරපතලම කාරණය එය නොවේ. අත්දැකීම් බහුල ජේෂ්ඨ වෛද්‍යවරුන් සහ මහාචාර්යවරුන් රට හැර යාම නිසා වෛද්‍ය විද්‍යාල තුළ අධ්‍යයන කටයුතු මෙන්ම රෝහල් තුළ සිදුවුන පශ්චාත් උපාධි පුහුණු පාඨමාලා බරපතළ කඩා වැටීමකට ලක් වේවි. විෂම චක්‍රයක් වෙන මෙම කඩා වැටීම දශක ගණනාවකට ආපසු හරවන්න නොහැකි වේවි. මේ වන විටත් විශේෂඥ වෛද්‍ය පුහුණුවේ සිටින වෛද්‍යවරු පවා විදේශගත වීමේ ප්‍රවණතාවක් පවතී.

    රට හැර යන වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීමෙන් මෙම ඛේදවාචකය දශමයකින් හෝ වළක්වා ගත නොහැක. මෙතෙක් කල් රටට සේවය කරමින් සතුටින් මේ රටේ ගතකළ රටට ආදරය කළ බොහෝ මිනිසුන් මෙසේ රට හැර යන්නට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ හේතු තිබිය යුතුය. මා පෞද්ගලිකව දන්නා වෛද්‍යවරුන් බොහොමයක් රට හැර යන තීරණය ගත්තේ මහත් වේදනාවෙන් යුතුවය. මේ හේතු සොයා බලා ඒවාට නිසි පිළියම් යොදා මෙම බුද්ධි ගලනය නැවැත්වීම ශ්‍රී ලංකා රජයේ මූලික වගකීමක් වන්නේය. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන රට හැරයනවා යැයි කියා ඔවුන්ට නින්දා කිරීමෙන් මේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැත.

    ගෑස් ටික පෙට්රල් ටික වගේම නිවසේ විදුලි බලය නැතිවන විට පාරට බහින ජනතාව මේ අහිමි වීමට විරුද්ධව පාරට නොබසින්නේ බුද්ධිගලනයේ භයානක ප්‍රතිඵල ඔවුන්ට කෙටිකාලීනව නොදැනෙන නිසා විය යුතුය. නමුත් දිනෙක විඳවන්නට වන්නේ ඔබේත් මගේත් දරුවන්ටය. නැතිනම් ඔබේ මහලු දෙමාපියන්ටය. ඔබට මේ වෙනුවෙන් කතා කරන්නට නොහැකි නම් අඩුම තරමේ රටේ වෛද්‍යවරුන්ට නින්දා අපහාස ගර්හා කිරීමෙන් වැළකී සිටින්නේ නම් මැනවි. මක්නිසාදයත් ඒ අපහාස වලින් ඇතිවන කලකිරිමද ඔවුන් රට හැර යාමට හේතුවක් වන බැවිනි.

    හැකිතරම් වෘත්තිකයන් විදේශ ගත වන්නේ නම් රජයට ඔවුන්ගේ වියදම් අඩුවීමෙන් තාවකාලික සහනයක් සැලසේ. මාධ්‍ය භාවිතා කරමින් දිගින් දිගටම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට මඩ ගසමින් ඔවුන්ට රට එපා කරවීම එක්තරා කුමන්ත්‍රණයක් ද විය හැක. දැන හෝ නොදැන රටේ අසරණ හුදී ජනයාද එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් බවට පත් වීම කණගාටුදායකය.

    වෛද්‍ය දර්ශණ ප්‍රේමරත්න.

    *** Prageeth Eranda Athauda සොයුරාගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී. ***

    ReplyDelete
    Replies
    1. ලෝකයේ බොහෝ නොදියුණු රටවල මෙම ප්‍රශ්නය පවතින්නක්. ලතින් ඇමරිකානු කළාපය, අප්‍රිකානු මහදවීපයේ සහ ආසියානු මහද්වීසයේ රටවල් මෙම ගැටළුවට මුහුණ දෙනව. ඒ රටවල සදාතනික අදුරකින් වැහිල තියෙන්නෙම මේ නිසා. දියුණු රටවල් මේ ක්‍රමය පවතිනවට කැමතියි.
      1960 ඉදන් ලංකාවෙන් යුරෝපයට සංක්‍රමණයවුණ පිරිස එසේ නොකළානම් ලංකාව කුමණ තැනක තිබෙනු ඇතිද ? මෙරට දේශපාලකයන්ගෙ සහ රාජ්‍ය නිළධාරීනගෙ අසමත්කම නිසයි මේ දේ වුණේ. ලන්කාවෙන් ගියෙම වෘතිකයන් හා දක්ෂයන්. ඉතුරුවුනේ අසමත් නිළධාරින් පිරිසක්. SLAS එක්කෙනෙක්වත් යන්නෙ නෑ. හේතුව යන්න බෑ. ඒ ඔවුන් වෘතිකයන් නොවන නිසා. නමුත් රටේ පරිපාලනය මෙහෙයවනව. ඉතින් සාර්ථක වෙයිද?

      Delete
  3. කෙක්කෙන් හරි කොක්කෙන් හරි
    වෙයං හොඳක් අපේ රටට
    දුරු වේවා සියලු දෝස
    කරන්නවුන් එක්කලාම!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: