වෙබ් ලිපිනය:

Thursday, August 10, 2023

අන්තරේ බයිට් වීම

 


මුදල් අය කරන පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (අගෝස්තු 10) දින පැවැත්වීමට නියමිත බව සඳහන් උද්ඝෝෂණයක් හා අදාළ ප්‍රචාරක දැන්වීමක් සමාජ ජාලා තුළ බයිට් වෙමින් තිබෙනවා. මේක ටිකක් අලුත් ප්‍රවණතාවක්. ඇතැම් විට දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් වලට සෘජුව සම්බන්ධ සමාජ ජාලා ක්‍රියාකාරිකයින් විසින් සංවිධානාත්මක ලෙස මේ වගේ දේවල් කරන නමුත් මේ අවස්ථාවේදී පේන්න තිබෙන්නේ එවැනි දෙයක් නෙමෙයි. 

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙවත් අන්තරේ මුල් වී කරන මෙවැනි විරෝධතා වලට දශක ගණනාවක ඉතිහාසයක් තිබෙනවා. අන්තරේ කියන්නේ රටේ සමස්ත ජනගහණයට සාපේක්ෂව කුඩා කණ්ඩායමක් වුවත්, එම කණ්ඩායමේ ප්‍රමාණයට සාපේක්ෂව රටේ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන කණ්ඩායමක්. විශේෂයෙන්ම අධ්‍යාපනය හා අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි එම බලපෑම සිදුව ඇති ආකාරය පැහැදිලිව හැකියි.

දේශපාලනිකව පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තරේ අතර සම්බන්ධය රහසක් නෙමෙයි. පෙසපෙ ජවිපෙන් කැඩෙන්න කලින් ජවිපෙ හා අන්තරේ අතරද මේ ආකාරයේ සම්බන්ධයක් තිබුණා. අන්තරේ වගේම පෙසපෙ හා ජවිපෙ යන පක්ෂ සිටින්නේද අධ්‍යාපනය මිල දී ගැනීම, කළමනාකරණය කිරීම හා බෙදා හැරීම රාජ්‍ය ඒකාධිකාරයක් විය යුතුයි කියන මතයේ. මේ මතයේ සිටින තවත් පක්ෂ හා කණ්ඩායම් ඇති. 

මේ හා අදාළ ජවිපෙ මතය පෙසපෙ හා අන්තරේ මත වලින් වෙනස් වෙන්නේ අවශ්‍ය ඉලක්කයට යාමට අදහස් කරන ආකාරය අනුව පමණයි. එම පක්ෂය සෘජු වාරණය කිරීම් වෙනුවට මෘදු රාජ්‍ය මැදිහත්වීම් හරහා ඉලක්කයට යන්න උත්සාහ කරන බවයි පෙනෙන්නේ. අඩු වශයෙන් එම පක්ෂයට සම්බන්ධ අපේ මිතුරන් කියන්නේ ඒ වගේ කතාවක්. හරියටම කිවුවොත්, රජය මුල් වී සියල්ලන්ටම ගුණාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබා දීම මගින් අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා වන අවස්ථා නැති වෙන්න අරිනවා කියන එක. මේ ක්‍රමයට අවසන් ඉලක්කයට යාමේ ප්‍රායෝගික හැකියාව කෙසේ වෙතත්, මෙය සෘජුව වෙළඳපොළට එරෙහිව නොයන ප්‍රවේශයක්.

අධ්‍යාපනය මුදලට විකිණීම හා මිල දී ගැනීම හැම මට්ටමකදීම මෙන් ප්‍රචලිතව ඇති දෙයක් වුවත් අන්තරේ විරෝධය බොහෝ විට එල්ල වී තිබෙන්නේ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වලට එරෙහිවයි. අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පැවති විරෝධයන්හිදීනම් එම විරෝධය එල්ල වුනේ උසස් අධ්‍යාපනයද ඇතුළු සමස්ත අධ්‍යාපන පද්ධතියම ආවරණය කළ පුළුල් ප්‍රතිසංස්කරණ යෝජනාවලියකට එරෙහිවයි. පසුව ටිකෙන් ටික ක්‍රියාත්මක කරනු ලැබ ඇතත්, විරෝධය හමුවේ එම යෝජනා හකුළා ගනු ලැබුවා.

ඉන් පසුව, 1988/89 භීෂණය දක්වාම දිග් ගැසුණේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ආරම්භ වූ විරෝධයයි. එම විරෝධය අවසන් වුනේ අදාළ විශ්ව විද්‍යාලය රජයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය පීඨයක් වීමෙන් අනතුරුවයි. ඉන් පසුව, සාපේක්ෂව මෑත කාලයකදී මතු වූ සයිටම් විරෝධයද ඊට සමාන ආකාරයකින් අවසන් වුනා. මේ නිදර්ශන වලින් පැහැදිලිව පෙනී යන පරිදි, ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වී තිබෙන්නේ බහුතර ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවට අවශ්‍ය පරිදිම නෙමෙයි. විශේෂයෙන්ම අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව මේ තත්ත්වය කැපී පෙනෙනවා.

රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා අදාළව අන්තරේ වැනි කුඩා කණ්ඩායම් වලට ලොකු බලපෑම් සිදු කළ හැකි වූයේ අදාළ ඉල්ලීම් වලට යම් මහජන සහයෝගයක්ද තිබුණු නිසයි. අඩුම වශයෙන් ඔවුන්ගේ ඉල්ලීම් වලට මහජන විරෝධයක් නොපැවති නිසයි. එයට එක් ප්‍රධාන හේතුවක් වූයේ මුදල් නොගෙවා උගත් අයෙකු පසුව අධ්‍යාපනය මුදලට විකිණීම වෙනුවෙන් පෙනී සිටීම සදාචාරත්මක ප්‍රශ්නයක් සේ උලුප්පනු ලැබීමයි. 

පෞද්ගලික පාසැල් හා සරසවි වල ඉගෙන ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාමත් සමඟ මේ තත්ත්වය සෑහෙන තරමකින් වෙනස් වී තිබෙනවා. එවැන්නන්ට ඉහත කී සදාචාරාත්මක ප්‍රශ්නය නැහැ. අරගලයට පෙර කාලයේදී වුවද අන්තරේ විරෝධතාවන් කෙරෙහි යම් මහජන විරෝධයක් මෝදු වෙමින් තිබුණා. අද සිදුව ඇති පරිදි කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර ඔවුන්ගේ විරෝධතා විසුරුවා හරිද්දී "එනවා! නානවා!! යනවා!!!" ලෙස ඔවුන්ව සමච්චලයට ලක් කළ පිරිසක්ද සිටියා. 

කෙසේ වුවත්, අරගලය අවස්ථාවේදී අන්තරේට ඔවුන්ගේ කවයෙන් පිටත යම් පිළිගැනීමක් ලැබුණා. ඒ එක්කම, පෞද්ගලික සරසවි වල ඉගෙන ගනිමින් සිටි හා ඉගෙන ගෙන සිටි බොහෝ දෙනෙකුද අරගලයට සම්බන්ධ වුනා. සීමිත සන්දර්භයක වුවද ඔවුන් එක්ව කටයුතු කළා. 

මේ වන විට අන්තරය පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සෘජුව අවි අමෝරාගෙන සිටින අතර ප්‍රසිද්ධ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන තුනක් උපාධි කඩ ලෙස කෙළින්ම නම් කර තිබෙනවා. අන්තරේ සහ පෙසපෙ සතු එක් යහගුණයක් වන්නේ තමන් විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් සෘජුව පෙනී සිටීමයි. කෙසේ හෝ මැතිවරණ ජයගැනීම ඉලක්ක කරන දේශපාලන පක්ෂ වලට මෙය කළ නොහැකියි. 

මගේ විශ්වාසය අනුවනම් තමන්ට අවශ්‍ය දෙයක් අවශ්‍ය අයෙකුගෙන් ඉගෙන ගැනීම මිනිසෙකුගේ මූලික අයිතියක්. අන්තරේ පෙනී සිටින්නේ එම මූලික මිනිස් අයිතියට එරෙහිවයි. ඉගෙන ගැනීම වෙනුවෙන් මුදල් ගෙවීම හෝ නොගෙවීම පෞද්ගලික තීරණයක් මෙන්ම ද්වීතියක කාරණයක්. එම නිදහසට ඉඩ අහුරන රටවල් ලෝකයේ ඇත්නම් ඒ ඉතාම සීමිත රටවල් ගණනක් විය යුතුයි. 

මුදල් නැති කම නිසා ඉගෙන ගැනීමේ අවස්ථාව අහිමි වන අයට ඉගෙන ගැනීමට අවස්ථා සැලසීම වෙනම කාරණයක්. ලෝකයේ හැම රටකම මෙන්ම අධ්‍යාපනය යම් ආකාරයකින් සුබසාධනය කෙරෙනවා. එහෙත්, කැමති අයෙකුට මුදල් ගෙවා ඉගෙනීමට තිබෙන නිදහසට බාධා කරන්නේ නැහැ. 

ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල මූලික උපාධි පාඨමාලා වෙනුවෙන් ගාස්තු අය නොකිරීම යන්නේ අදහස් වන්නේ අධ්‍යපනය වෙනුවෙන් සිසුන් විසින් කිසිම මිලක් නොගෙවිය යුතු බව නෙමෙයි. සෑම සරසවි සිසුවෙකු විසින්ම අධ්‍යාපනය වෙනුවෙන් ගෙවන යම් මිලක් තිබෙනවා. පාඨමාලා ගාස්තු අය නොකිරීමේදී සිදු වන්නේ එම මිල සුබසාධනය වීමක් පමණයි. 

ඉහත මිලට ඇතුළත් වෙන්නේ නවාතැන් ගාස්තු, පොත්පත් සඳහා යන වියදම් ඇතුළු පහසුවෙන් මුදලින් මැනිය හැකි අතින් යන වියදම් පමණක් නෙමෙයි. වසර හතරක පමණ කාලයක් උපාධි පාඨමාලාවක් වෙනුවෙන් වෙන් කිරීමේ ආවස්ථික පිරිවැය යනු විශාල මුදලක්. ලංකාවේ සරසවි වල ඇතැම් පාඨමාලා සඳහා අවශ්‍ය පමණ සිසුන් බඳවා ගත නොහැක්කේත්, එවැනි ඇතැම් සිසුන් රට තුළ සිට හෝ විදේශගතව මුදල් ගෙවා වෙනත් පාඨමාලා හදාරන්නේත් මෙම ආවස්ථික පිරිවැය සැලකූ විට මුදල් අය නොකර උගන්වන පසුබිමක වුවද එවැනි පාඨමාලාවක් හැදෑරීම මිල අධික නිසා. 

උදාහරණයක් ලෙස මෙම ලේඛකයා ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා රජයේ සරසවියකට ඇතුළු වන විට රජයේ ඉංග්‍රීසි උපගුරුවරයෙක්. ඊටත් පෙර මාසික වැටුපකට පෞද්ගලික අංශයේ රැකියාවක් කළ අයෙක්. ඉහත රැකියා කර වසර පහකට ආසන්න කාලයක් තිස්සේ උපයාගත හැකිව තිබුණු මුදල උපාධිය හැදෑරීම සඳහා කාලය වෙන් කිරීමේ ආවස්ථික පිරිවැයෙහි කොටසක්. එම මුදල අත හැරීම යනු අධ්‍යාපනය වෙනුවෙන් සිදු කළ මුදල් ගෙවීමකට සමාන ආයෝජනයක්. 

මේ ලේඛකයානම් අධ්‍යාපනය විකුණන්න පටන් ගත්තේ වයස අවුරුදු එකොළහක කාලයේ සිටයි. ඒ විදිහට අධ්‍යාපනය විකුණා හොයා ගත් මුදල් බොහෝ විට නැවත වැය කළේත් අධ්‍යාපනය මිල දී ගන්නයි. දැනුම නිෂ්පාදනය කරන එක අමාරු වැඩක් වුනත් අධ්‍යාපනය නිෂ්පාදනය කළ හැකි බොහෝ අය ඉන්නවා. 

පසුව රජයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලේඛකයා විසින් කළේද අධ්‍යාපනය විකිණීමක්. දැන් රජයේ සේවයේ සිටින ගුරුවරු මෙන්ම සරසවි ඇදුරන් විසින් කරන්නේද තමන්ගේ ජීවිකාව සඳහා අධ්‍යාපනය විකිණීමයි. ගුරු වර්ජන හා සරසවි ඇදුරු වර්ජන වලදී සිදු වන්නේ ඔවුන් විසින් අධ්‍යාපනය විකිණීම සඳහා රජයෙන් අය කරන මිල වැඩි කර ගැනීම සඳහා හෙට්ටු කිරීමක්. මෙම ගනුදෙනුව සහ මෙවැන්නකු විසින්ම මුදල් අය කර ටියුෂන් කිරීම අතර එකම වෙනස මුල් අවස්ථාවේදී රජය අතරමැදියෙකු සේ මැදිහත්වීම පමණයි. 

රජය විසින් අධ්‍යාපනය මුදල් අය නොකර ලබා දීමේදී සිදු වන්නේ රජය විසින් රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට ලබා ගෙන තමන්ගේ අභිමතය පරිදි බෙදා හැරීමයි. රජයේ වැටුප් වියදම් බරින් තුනෙන් එකක් පමණම වැය වන්නේ මේ වෙනුවෙන්. මෙහිදී රජය විසින් අවසාන වශයෙන් එම අධ්‍යාපනය ලබා ගන්නා සිසුන්ගෙන් මුදල් අය කරන්නේ නැහැ. එහෙත්, එම මුදල කාගෙන් හෝ අය කර ගන්නවා.

මීට සාපේක්ෂව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් විසින් කරන්නේද රට පුරා සිටින ගුරුවරුන්ගෙන් හා සරසවි ඇදුරන්ගෙන් අධ්‍යාපනය තොග මිලට හෝ සිල්ලර මිලට ලබාගෙන නැවත අලෙවි කිරීමයි. මෙහිදී ඒ වෙනුවෙන් සිසුන්ගෙන් හෝ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් සෘජුව මුදල් අය කෙරෙනවා. ඒ වගේම, අවස්ථා දෙකේදීම, සිසුවෙකු විසින් සෘජුව වැය කරන හෝ නොකරන මුදලට අමතරව, ඔවුන්ට ආවස්ථික පිරිවැයක්ද දරන්නට සිදු වෙනවා.

අධ්‍යාපනයේ අරමුණ කුමක්ද? අධ්‍යාපනයේ පිරිවැය දැරිය යුත්තේ කවුද? මේ දේවල් පසුව සාකච්ඡා කරමු.

4 comments:

  1. මේකට ලියල ලිල දැන්නම් එපා වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. අන්තරේ උන් කරන්න පුලවන් බලු වැඩ සේරම කරනවා ඒ අතර මිනිස්සු මරණ, ට්‍යුශාන් දෙන ඒවත් තියනවා. දයා පතිරණ මරලා බිෂණය පටන් ගත්තේ අන්තරේ උන්.

    ReplyDelete
  3. අලව ගත්තම පාට කණ්නඩි - පෙනෙයිදෝ වෙන පාට දේවල්
    හුඟක් ඈයො ජාත්‍යන්ධයො - නොමදකිති වැදගත්ම දේවල්
    හිතා මැදිහත් සිතින් දැකලා වෙනස් වෙන්නට පැමිණි විට කල්
    වෙනස් විය යුතු 'එහෙම බැරි විට' ඉකුත් වෙයි කල්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: