ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (තෙල් සංස්ථාව) විසින් මෙම (2025) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත රුපියල් මිලියන 17,018ක ලාබයක් ලබා ඇති බව මුදල් අමාත්‍යංශය විසින් වාර්තා කර තිබෙනවා. පසු ගිය (2024) වසරේ පළමු මාස හයක කාලය ඇතුළත තෙල් සංස්ථාව විසින් ලැබූ ලාබය රුපියල් මිලියන 20,706ක්. ඒ අනුව, පෙර වසරට සාපේක්ෂව ලාබය 17.8%කින් පහත වැටී තිබෙනවා වගේම එම කරුණ කෙරෙහි විශාල මාධ්‍ය අවධානයක්ද යොමු වී තිබෙනවා. මේ සටහන මේ හා අදාළව අප වෙත යොමු කෙරුණු ප්‍රශ්නයකට පිළිතුරක්.
1. මේ ලාබ සැබෑ ලාබ නොවේ!
පළමුවෙන්ම පැහැදිලි කළ යුතු කරුණ වන්නේ මෙම අඩු වූ ලාබය මෙන්ම පසු ගිය වසරේ ලාබයද හුදෙක් ගිණුම්කරණ ලාබ පමණක් වන අතර ආර්ථික ලාබ නොවන බවයි. මේ අයුරින් තෙල් සංස්ථාවට යාන්තමින් හෝ ගිණුම්කරණ ලාබ පෙන්වීමට හැකි වී තිබෙන්නේ 2022දී තෙල් සංස්ථාව වෙත රජය විසින් මහජන අරමුදල් විශාල ප්‍රමාණයක් පොම්ප කිරීම නිසායි.
මේ වන විට (2024 වසර අවසානය) තෙල් සංස්ථාවෙහි ආයෝජනය කර තිබෙන මහජන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 912,580.51ක් වන අතර එයින් රුපියල් මිලියන 884,093.39ක්ම ආයෝජනය කළේ 2022දීයි. ඒ, වන විට තෙල් සංස්ථාව විසින් විවිධ පාර්ශ්වයන්ට ගෙවිය යුතුව තිබුණු ණය එපමණ ප්‍රමාණයක් රජය විසින් පවරා ගැනීම මගිනුයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස තෙල් සංස්ථාව වෙනුවෙන් යොදවා තිබුණු රජයේ කොටස් ප්‍රාග්ධනය රුපියල් මිලියන 28,487.13 සිට රුපියල් මිලියන 884,093.39 දක්වා ඉහළ ගියා.
කොටස් ආයෝජන සැලකෙන්නේ දිගුකාලීන ආයෝජන ලෙසයි. අදාළ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජයේ දිගුකාලීන ආයෝජනයක ප්‍රාග්ධන පිරිවැය (cost of capital) අවම වශයෙන් 22.42%ක්. මෙය ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව විසින් නිකුත් කර තිබුණු දිගුකාලීනම භාණ්ඩාගාර බැඳුම්කරයේ ඵලදා අනුපාතිකයයි. ඊට වඩා අඩු කල් පිරීමක් තිබුණු භාණ්ඩාගාර බැඳුම්කර වල ඵලදා අනුපාතික සියල්ලම තිබුණේ මීට වඩා වැඩි මට්ටමකයි.
ඉහත සදහන් කර ඇති, 2022ට පෙර තෙල් සංස්ථාවෙහි ආයෝජනය කර තිබුණු රුපියල් මිලියන 28,487.13ක මුදලෙහි 2022 දක්වා ආවස්ථික පිරිවැය නොසලකා හැර, ඉන් පසු කාලය සඳහා රජයේ අරමුදල් වල ප්‍රාග්ධන පිරිවැය වන 22.42% සලකා ගණනය කළහොත් තෙල් සංස්ථාව තුළ ආයෝජනය කර ඇති පොදු අරමුදල් වල වටිනාකම මෙසේයි.
2022 අවසානයේදී - රුපියල් මිලියන 912,580.51
2023 අවසානයේදී - රුපියල් මිලියන 1,117,181.06
2024 අවසානයේදී - රුපියල් මිලියන 1,367,653.05
2025 අවසානයේදී - රුපියල් මිලියන 1,674,280.87
මේ අනුව, 2025 වසර තුළදී තෙල් සංස්ථාව විසින් යාන්තමින් පාඩු පියවාගෙන ඇතැයි සැලකිය හැක්කේ අවම වශයෙන් රුපියල් මිලියන 306,627.81ක ලාබයක් ලබා ඇත්නම් පමණයි. පළමු මාස හයේ රුපියල් මිලියන 17,018ක ලාබය ඊට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ. ඒ නිසා මේ ලාබය කිසිසේත්ම සැබෑ ලාබයක් නෙමෙයි. 2022 වසරේදී තෙල් සංස්ථාව වෙනුවෙන් වැය කළ පොදු අරමුදල් රජයේ ණය අඩු කර ගැනීම පිණිස යෙදවූයේනම් වසරකට රුපියල් බිලියන 300ක පමණ මුදලක් ඉතිරි වෙනවා.
ඉහත ගණනයේදී යොදාගත් 22.42% යනු ප්‍රාග්ධන පිරිවැය (cost of capital) සඳහා ඕනෑවට වඩා විශාල ඇස්තමේන්තුවක් බව කෙනෙකුට කියන්න පුළුවන්. එම අවස්ථාව පොලී අනුපාතික සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වී තිබුණු අවස්ථාවක්. ඒ නිසා, අපි භාණ්ඩාගාර බැඳුම්කර ඵලදා අනුපාතික වෙනුවට එක් වසර භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික යොදා ගතහොත් ඉහත ඇස්තමේන්තු මීට වඩා අඩු වෙනවා. කෙසේ වුවද, භාණ්ඩාගාර බිල්පත් යනු කෙටිකාලීන ආයෝජනයක් බැවින්, මෙම ගණනයේදී දිගුකාලීන කොටස් ආයෝජනයක අවදානම් අධිභාරය නොසලකා හැරීමක් සිදු වෙනවා. ඒ නිසා, වඩා නිවැරදි වන්නේ මුල් ගණනය වුවත්, අපි මේ ගණනයද කරමු.
2022 අවසානයේදී - රුපියල් මිලියන 912,580.51
2023 අවසානයේදී - රුපියල් මිලියන 1,178,506.47
2024 අවසානයේදී - රුපියල් මිලියන 1,330,887.36
2025 අවසානයේදී - රුපියල් මිලියන 1,450,401.04
මෙම ඇස්තමේන්තුව අනුව වුවද, ආර්ථික ලාබයක් ලැබීම සඳහා රුපියල් මිලියන 119,513.68ක අවම ගිණුම්කරණ ලාබයක් ලැබිය යුතු වෙනවා. මෙය ආයෝජනයේ අවදානම මුළුමනින්ම මෙන් නොසලකා හැර කරන ගණනය කිරීමක් නිසා අවම වශයෙන් මේ මට්ටමේ ලාබයක්වත් නොමැතිව තෙල් සංස්ථාවට දිගුකාලීනව පැවතිය නොහැකියි. ඊට හේතුව අවම වශයෙන් මේ මට්ටමේ ලාබයක්වත් නැත්නම්, මූර්ත පදනමින්, තෙල් සංස්ථාවේ ප්‍රාග්ධනය ක්ෂය වී යාමයි. මෙම ලාබය ලබා ගන්නේනම් යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් 8.98%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එය 2024 වසර අවසානයේදී එක් වසර භාණ්ඩාගාර බැඳුම්කරයකඵලදා අනුපාතිකයයි.
2. ලාබ වැඩි කර ගැනීම සඳහා තෙල් මිල වැඩි කළ යුතුද?
තෙල් සංස්ථාවට තවමත් ලංකාවේ තෙල් වෙළඳපොළ තුළ ඒකාධිකාරයක් ඇති නිසා (ඔව්, ඒකාධිකාරයක්!) තෙල් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම අවශ්‍ය ලාබය ලබාගන්න පුළුවන්. එසේ කළ යුතුද නැද්ද යන්න තරමක් දුරට දේශපාලනික ප්‍රශ්නයක්. කෙසේ වුවත්, තෙල් සංස්ථාවට තෙල් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම අවශ්‍ය ලාබය ලබාගන්න පුළුවන් නිසාම, තෙල් සංස්ථාවේ ලාබය එම ආයතනයේ කාර්ය සාධනය පිළිබඳ හොඳ නිර්ණායකයක් සේ සලකන්න බැහැ.
තෙල් සංස්ථාව විසින් අවම වශයෙන් ශුන්‍ය ආර්ථික ලාබයක් (එනම් අවම වශයෙන් ප්‍රාග්ධන පිරිවැය ඉක්මවන ගිණුම්කරණ ලාබයක්) ලබා නොගන්නවා කියන්නේ රටේ සාමාන්‍ය ජනතාවට වෙනත් බදු ලෙස එම මිල ගෙවන්නට සිදු වෙනවා කියන එකයි. ඒ කියන්නේ තෙල් මිල අඩු මට්ටමක තියා ගැනීම මගින් ජනතාවට සහනයක් ලැබෙනවා කියන එක බොරු කතාවක්.
කාලයක් පිටකොටුවේ පදික වේදිකාවේ කලිසම් බඳ පටි විකිණීමේ ජාවාරමක් තිබුණා. මෙහිදී කළේ රුපියල් සීයක් වැනි සාමාන්‍ය මිලට වඩා බෙහෙවින්ම අඩු මිලකට බඳ පටියක් විකුණන එක. 1988 පමණ කාලයේදී රුපියල් 100ක් කියන්නේ කලිසම් බඳ පටියකට සෑහෙන්න අඩු මිලක්. සාමාන්‍ය වෙළඳසැලක මිල රුපියල් 150ක් පමණ. රුපියල් සීයයි කියා කෑ ගහද්දී පාරිභෝගිකයෝ මෙවැනි වෙළෙන්දෙක් ළඟට ආකර්ෂණය වෙනවා. පාරිභෝගිකයෙකු විසින් බඳ පටියක් තෝරා ගත් ගමන්ම වෙළෙන්දා විසින් කරන්නේ එය පාරිභෝගිකයාගේ ඉනට තබා මිනුම ගෙන ඔහු අතේ තිබෙන යන්ත්‍රයකින් එහි හිල් විදින එක. ඊට පස්සේ රුපියල් දෙසීයක් ඉල්ලනවා.
"රුපියල් දෙසීයක් වෙන්නෙ කොහොමද? රුපියල් සීයයි කියලනේ කලින් කිවුවේ?"
"රුපියල් සීය පටියට. හිලකට විස්සයි. හිල් පහත් එක්ක දෙසීයයි"
"කලින් එහෙම කතාවක් කිවුවේ නැහැනේ. දෙසීයටනම් එපා!"
"එහෙම කොහොමද? දැන් ඉනේ සයිස් එකට හිල් විදලනේ තියෙන්නේ. වෙන කාටවත් විකුණන්නත් බැහැ!"
කතාව දිගට ඇදුනොත් තව කට්ටිය වට වෙනවා.
"මහත්තය ඕක සල්ලි දීල ගන්න!"
ඔය පාරිභෝගිකයින්ට තෙල් අඩුවට දෙන කතාවේදී වෙන්නෙත් හරියටම ඔන්න ඔය වැඩේ. පටිය ලාබයි. හැබැයි හිල් වලට වෙනම ගෙවන්න වෙනවා!
පාරිභෝගිකයින්ට කොහොමටත් තෙල් වල නියම මිල ගෙවන්නම වෙනවා. නමුත් එයින් කොටසක් ගෙවන්න වෙන්නේ වෙනත් කුමක් හෝ බද්දක් විදිහටයි. එකම වෙනස මේ වැඩෙන් වැඩිපුර තෙල් පරිභෝජනය කරන අයට වාසියක් වෙන එක. ඒ අයගේ මිලෙන් කොටසක් ගෙවන්නේ අඩුවෙන් තෙල් පරිභෝජනය කරන අය. ඒ නිසා, බදු ගෙවන්නන් මත මිලෙන් කොටසක් පටවන වත්මන් ක්‍රමයට සාපේක්ෂවනම් තෙල් මිල වැඩි කරන එක හොඳ ක්‍රමයක්.
තෙල් සංස්ථාව මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ කාලයක් තිස්සේ පාඩුවට දුවපු නිසා. රුපියල් මිලියන 912,580.51ක් තරම් විශාල මුදලක් පොදු අරමුදල් වලින් තෙල් සංස්ථාවට පොම්ප කරලා තිබුණත් ඒ සල්ලි දැන් තෙල් සංස්ථාවේ නැහැ. ඒ නිසාම, ඒ නැති සල්ලි වලින් ප්‍රතිලාභ උපයන්නත් බැහැ. ඒ වගේම, පරණ පවු සියල්ලම එක පාරම වත්මන් පාරිභෝගිකයින් පිටින් යවන එක සාධාරණත් නැහැ. ඔය සියල්ලම ඇත්ත වුනත්, තෙල් මිල වැඩි නොකර වෙනත් බදු විදිහට ඒ මුදල අය කර ගනිද්දී වුනත් ඔය අසාධාරණය ඔය විදිහටම වෙනවා. එහෙම බලද්දී, ඔය තත්ත්වයන් යටතේ වුනත්, තෙල් මිල වැඩි කරන එක නරක විකල්පයක් නෙමෙයි.
හැබැයි තෙල් මිල වැඩි කරන එක හොඳම විසඳුම නෙමෙයි.
මෙම (2025) වසරේ පළමු මාස හය තුල තෙල් සංස්ථාවේ ලාබය රුපියල් මිලියන 17,018ක් බව කලින්ම කිවුවනේ. ඔය මාස හයක කාලය ඇතුළතම ඉන්දියන් තෙල් සමාගම විසින් රුපියල් මිලියන 5,632.50ක ලාබයක් උපයාගෙන තිබෙනවා. ඉන්දියන් තෙල් සමාගම වෙනුවෙන් කොටස්හිමියන් විසින් යොදවා තිබෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 7,576.57ක් පමණයි.
වෙනස පේනවනේ. ඉන්දියන් තෙල් සමාගමේ කොටස්හිමියන් විසින් යොදවා තිබෙන ප්‍රාග්ධනය මෙන් 120 ගුණයක මුදලක් පොදු අරමුදල් වලින් තෙල් සංස්ථාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් තෙල් සංස්ථාවේ ලාබය ඉන්දියන් තෙල් සමාගමේ ලාබය වගේ 2.25 ගුණයක් පමණයි.
තෙල් සංස්ථාවට ආර්ථික ලාබ ලැබෙන මට්ටමට තෙල් මිල වැඩි කළොත් ඉන්දියන් තෙල් සමාගමේ ලාබ විශාල ලෙස ඉහළ යයි. එය ඒ හේතුව නිසාම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ ලාබයෙන් කොටසක් රජයට බදු විදිහට ගන්නත් පුළුවන්. නමුත් සැබෑ ප්‍රශ්නය ඉන්දියන් තෙල් සමාගමට ගන්න පුළුවන් ලාබය ලංකාවේ තෙල් සංස්ථාවට ගන්න බැරි ඇයි කියන එකයි. ඉන්දියන් තෙල් සමාගම ඔය තරම් විශාල ලාබයක් ලබන්නේ වැඩි මිලට තෙල් විකුණලා නෙමෙයි. (මේක මේ ආණ්ඩුවේ ප්‍රධානීන් විසින්ම කලකට පෙර ගෙන ආ තර්කයක්!)
සමහර අයට අනුව තෙල් සංස්ථාව පාඩු ලබන්නේ හොරකම් හා අකාර්යක්ෂම කළමනාකරණය නිසා. මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි තර්කයක්. හැබැයි හේතු ඕවානම්, ඔය තත්ත්වයන් තවමත් එක දශමයකින් හෝ වෙනස් වෙලා කියලා පෙනෙන්නේ නැහැ.
3. තෙල් ඉල්ලුම අනම්‍ය ඉල්ලුමක්ද? තෙල් සංස්ථාව නැත්නම් තෙල් මිල විශාල ලෙස ඉහළ යයිද?
මිල කීයක් වුනත් ඉල්ලුම එක ලීටරයකින් හෝ අඩු වෙන්නේ නැත්නම් එය පූර්ණ අනම්‍ය ඉල්ලුමක්. තෙල් ඉල්ලුම එවැන්නක් නෙමෙයි. මිල ඉහළ යද්දී ඉල්ලුමත් අඩු වෙනවා. නමුත් සාමාන්‍යයෙන් මිල 1%කින් වැඩි වෙද්දී ඉල්ලුම 1%කින් අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඉල්ලුම් නම්‍යතාවය අඩුයි. ඉල්ලුම් නම්‍යතාවය අඩුයි කියන්නේ ඉල්ලුම් නම්‍යතාවයක් නැහැ කියන එක නෙමෙයි.
දැන් තියෙන ප්‍රශ්නය වෙළඳපොළ තරඟයක් නැති වීම. සමාගම් කිහිපයකට පිරවුම්හල් යම් ප්‍රමාණයක් දුන්නා කියලා වෙළඳපොළ තරඟයක් ඇති වෙන්නේ නැහැ. තවමත් මේ සියලුම සමාගම් වලට කටයුතු කරන්න සිදු වී තිබෙන්නේ රජයේ මධ්‍යගත සැලසුමක් ඇතුළේ. පරිභෝගිකයෙක්ට අඩු මිලට තෙල් තිබෙන පිරවුම්හලක් හොයාගෙන කිලෝමීටර් දෙක තුනක් යන්න පුළුවන්. නමුත් කිලෝමීටර දහයක් පහළොවක් ගිහින් පොඩ්ඩක් අඩුවට ඉන්ධන මිල දී ගත්තා කියලා ලාබයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසාම, ඉන්දියන් තෙල් සමාගම පොඩ්ඩක් අඩුවෙන් තෙල් විකිණුවා කියලා ඔවුන්ගේ ඉල්ලුම ලොකුවට වැඩි වෙන්නේ නැහැ. ඒ නිසාම, ඔවුන් මිල තරඟයකට යන්නේ නැහැ.
මේ තත්ත්වය වෙනස් වෙන්නනම් ලෝකයේ ඕනෑම සමාගමකට කිසිදු බාධාවකින් තොරව රටේ ඕනෑම තැනක ඕනෑම තරමක් පිරවුම්හල් අරින්න අවස්ථාව ලබා දිය යුතුයි. සුරක්ෂිතතාව, පාරිසරික ප්‍රශ්න වගේ දේවල් හා අදාළව නියාමනයක් විය යුතු වුවත්, මිල හෝ සැපයුම නියාමනයට ලක් නොවිය යුතුයි. ඔන්න ඔය වැඩේ වුනොත් පාරිභෝගිකයින්ට තෙල් සංස්ථාවේ මිලටත් වඩා අඩුවෙන් තෙල් ලැබෙයි. එතෙක් ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක වෙළඳපොළක් නැතිකමේ ප්‍රශ්නයක් මිසක් වෙළඳපොළේ ප්‍රශ්නයක් නෙමෙයි. තෙල් සංස්ථාව මගින් විසඳන්න හදන ප්‍රශ්නය එම ආයතනය පවත්වා ගෙන යාම වෙනුවෙන්ම හදාගෙන තිබෙන කෘතීම ප්‍රශ්නයක් පමණයි.
මම පෞද්ගලිකව රජය විසින් වෙළඳපොළට කිසිදු මැදිහත්වීමක් නොකළ යුතුයි කියා හිතන්නේ නැහැ. නමුත් යම් මැදිහත්වීමක් කරන්නේනම් ඒ සඳහා පැහැදිලි හේතුවක් තිබිය යුතුයි. තෙල් නිපදවන සහ එම තෙල් සම්පත් රජය සතු රටවල තෙල් කර්මාන්තය රජය විසින් මෙහෙයවීමේ යම් හෝ තර්කානුකූල බවක් තිබෙනවා. නමුත් ලංකාව තෙල් නිපදවන රටක් නෙමෙයි. රජය විසින් ඉන්ධන ගෙන්වූවත්, පෞද්ගලික සමාගම් හරහා ඒ වැඩේ වුනත්, ඉන්ධන සඳහා රටෙන් එළියට යන විදේශ විණිමය ප්‍රමාණය රටෙන් යනවා.
රට තුළ තෙල් පිරිපහදු කරන එකේ යම් වාසියක් තිබෙන්න හෝ නොතිබෙන්න පුළුවන්. මම දන්නා තරමින් තෙල් පිරිපහදු කර්මාන්තය ශ්‍රමමූලික කර්මාන්තයක් නොවන නිසා, යම් වාසියක් තිබුණත්, එය ලොකු වාසියක් වෙන්න විදිහක් නැහැ. එවැනි ලොකු වාසියක් තිබෙනවානම්, කළමනාකරණයත් දැන් කාර්යක්ෂම වෙලානම්, ඉන්දියන් තෙල් සමාගම විසින් දැනටත් ගන්න මට්ටමේ ලාබ තෙල් සමාගමටත් ගන්න පුළුවන් වෙන්න ඕනෑ.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.