Wednesday, July 5, 2017

වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය


කොළඹ සරසවියෙන් වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධියත්, ස්කොට්ලන්තයේ දන්ඩී විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමාවක් හා පශ්චාත් උපාධියකුත් (MMedEd) ලබා දැනට කොළඹ සරසවියේ මහාචාර්ය තනතුරක් දරන ඉන්දික කරුණාතිලක විසින් "ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?" යනුවෙන් විමසමින් ලියූ ලිපියක් සමාජ ජාලා වල හුවමාරු වනු දකින්නට ලැබේ. අදාළ ලිපියේ අරමුණ ලෙස දක්වා ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හා සබැඳි, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පිළිබඳ පවතින පොදු දුර්මත කිහිපයක සත්‍ය, අසත්‍යතාවය එකින් එක සාකච්ඡාවට බඳුන් කිරීමයි. අදාළ "දුර්මත" පහත දැක්වේ.

-ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට ඇති අවස්ථාවන් අසාධාරණ ලෙස සීමාවීම දැකිය හැක.
-අ.පො.ස. උසස් පෙළ විභාගය යනු උසස් අධ්‍යාපනය සඳහා සුදුස්සන් තේරීමට දුර්වල ක්‍රමවේදයකි.
-ශ්‍රී ලංකාව තුළ වෛද්‍යවරුන්ගේ දැඩි හිඟයක් පවතී.
-වැඩිපුර වෛද්‍යවරුන් සිටීම වාසිදායක වේ.
-අනෙකුත් ක්ෂේත්‍ර ද පෞද්ගලිකකරණය වී තිබෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය ද එසේ විය යුතුය.
-පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටක ආර්ථිකයට වාසිදායක වේ.

ඉතා කණගාටුදායක කරුණක් වන්නේ ඉන්දික කරුණාතිලක විසින් ඉහත ලිපිය සම්පාදනය කිරීමේදී ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගෙන් අපේක්ෂා කෙරෙන අපක්ෂපාතීත්වය හෝ ඉදිරිපත් කරන කරුණු වල නිරවද්‍යතාවය ගැන සැලකිලිමත් වී නොතිබීමයි. අදාළ ලිපිය පෞද්ගලික සටහනක් වූවානම් මෙය විශාල ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ලිපිය සමඟ ලේඛකයාගේ තනතුරු නාමය, උපාධි හා ඩිප්ලෝමා සහතික හා වෘත්තීය සංවිධාන වල සාමාජිකත්ව ආදිය පිළිබඳ තොරතුරුද පළකර තිබීමත් ලිපියේ අන්තර්ගතය ඔහුගේ විෂය ක්ෂේත්‍රයට අදාළ වූවක් වීමත් තුළ ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකු සතු විය යුතු මූලික ගුණාංග ලිපියෙන් පිළිබිබු නොවීම ප්‍රශ්නයකි.

ඉහත ලිපියේ මා දකින අඩුපාඩු කිහිපයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා දැඩි ලෙස සීමා වීමක් සිදුව ඇත්ද?

ඉන්දික කරුණාතිලකගේ තර්කය වනුයේ එවැනි සීමා වීමක් ඇත්තේ කලා අංශයේ මිස ජීව විද්‍යා අංශයේ නොවන බවයි.

"කලා අංශයෙන් උසස් පෙළ සමත්වන්නන් අතරින් විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරගන්නේ ආසන්න වශයෙන් 10% ක් පමණි. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගය සමත්වන සිසුන්ගෙන් ආසන්න වශයෙන් 33% ක් විශ්ව විද්‍යාලයට ඇතුළු වේ. ... ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමතුන්ගෙන් 6.3% කට පමණ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමට හැකියාව ලැබේ."

මෙහි ඉන්දික කරුණාරත්න විසින් ඉදිරිපත් කර ඇති දත්ත වල විශාල වරදක් නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සංඛ්‍යාලේඛණ අනුව, 2014/15 අධ්‍යයන වර්ෂය තුළ ජීව විද්‍යා අංශයෙන් සරසවියකට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් සපිරූ සිසුන්ගෙන් 26.97%කට කිසියම් අභ්‍යන්තර සරසවි පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව ලැබී ඇති නමුත් කලා අංශය තුළ ඒ අවස්ථාව හිමිව ඇත්තේ මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 12.57%කට පමණි. මේ අනුව, ඔහු පෙන්වන අනුපාතයට වඩා සැලකිය යුතු තරම් අඩුවෙන් වුවත් පැහැදිලි විෂමතාවයක් බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. වාණිජ අංශයේ මේ අනුපාතය 13.05%ක්ද, භෞතික විද්‍යා අංශයේ 33.82%ක්ද වේ. 2014/15 අධ්‍යයන වසරේ ජීව විද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් ලද සිසුන්ගෙන් 6.01% කට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අවස්ථාව හිමි වී තිබේ.

දත්ත වල මූලික වරදක් නැතත්, ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණය නිවැරදි නැත. මේ සංඛ්‍යාලේඛණ වලින් අදහස් වන්නේ භෞතික විද්‍යා හෝ ජීව විද්‍යා අංශයකින් සරසවිකට ඇතුළු වීම කලා හෝ වාණිජ අංශයකින් ඇතුළු වනවාට වඩා කිහිප ගුණයක් පහසු බව නොවේ.

මේ එක් එක් කුලකය තුළ සිටින්නේ අහඹු සිසු නියැදි නොවේ. තමන් උසස් පෙළ විභාගයට පෙනී සිටින විෂය ධාරාව කිසියම් සිසුවෙකුගේ පූර්ව තේරීමකි. කලා අංශයෙන් උසස්පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් සැලකිය යුතු පිරිසක්ද තමන්ට වෛද්‍ය පීඨයකට ඇතුළු වන්නට නොලැබෙන බව මුලින්ම තේරුම්ගෙන "තරඟයෙන් ඉවත් වූ" අයයි. එසේ නැතිව වෛද්‍ය වරයෙකු වන්නට කැමැත්තක් නැති නිසා කලා විෂය ධාරාව තෝරාගත් අයම නොවේ. ඒ නිසා, ඉන්දික කරුණාතිලක විසින් කරන සංසන්දනය නිවැරදි නැත. එමෙන්ම, ඉතා කලාතුරකින් අයෙකු හැර ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ කරන සිසුන් සියල්ලන්ගේම වාගේ සිහිනය වෛද්‍ය පීඨයකට ඇතුළු වීම මිස අඩු වශයෙන් දන්ත වෛද්‍ය පීඨයකට ඇතුළු වීම හෝ නොවේ. ඒ අවස්ථාව ලැබෙන්නේ මූලික සුදුසුකම් සපුරන අයගෙන් 6%කට පමණි. (මෙහිදී, ඉන්දික කරුණාතිලකගේ තර්කය නිවැරදි නොවන බව පෙන්වා දෙනවා මිස උසස්පෙළ ජීවවිද්‍යා අංශයෙන් මූලික සුදුසුකම් සපුරන සියලු දෙනාටම වෛද්‍ය අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අනිවාර්යයෙන්ම හිමි විය යුතු බව මා අදහස් කරන්නේ නැත.)

ඉන්දික කරුණාතිලකගේ තර්කයේ ඇති මූලික වැරැද්ද ඉහතින් පෙන්වූ කරුණක් නොවේ. ඔහු විසින් හිතාමතාම නොකියන දෙය සරසවි වරම් නොලබන කලා උපාධිධාරියෙකුට බාහිර උපාධි අපේක්ෂකයෙකු ලෙස රජයේ සරසවියක ලියාපදිංචි වී උපාධිය සම්පූර්ණ කිරීමට කිසිදු බාධාවක් නැති බවයි. රජයේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වන අයෙකුටද එවැනි විකල්ප අවස්ථාවන් තිබිය යුතුය.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලක විසින් පාඨකයින් නොමඟ යැවීම සඳහා හිතාමතාම කරන තවත් වැරදි විශ්ලේෂණයකි.

"ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

 
පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත."




මේ කොටසින් ඉන්දික කරුණාතිලක විසින් පාඨකයාට පෙන්වන්නට හදන්නේ ඉන්දියාව හා නේපාලය වැනි රටවල ශ්‍රේණිගත කිරීම් පහළට වැටී ඇත්තේ එම රටවල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගනන වැඩි වීම හේතුවෙන් බවයි.

ඉන්දික කරුණාතිලක විසින් මෙහි පෙන්වන ශ්‍රේණිගත කිරීම් පදනම් වන්නේ වසර 17කට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ පත්‍රිකාවක් මත හෝ එය මූලාශ්‍රය කරගෙන පසුව ලියැවුණු පත්‍රිකාවකින් බව පෙනේ. එම පත්‍රිකාව අනුව අදාළ ශ්‍රේණිගත කිරීම් දත්ත නිවැරදිය.

එහෙත්, ඔහු විසින් හිතාමතා සැලකිල්ලෙන් තෝරා ගෙන ඇති රටවල් කිහිපයේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳ ඔහුගේ දත්ත හරියටම නිවැරදි නැත. නෙදර්ලන්තයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැතැයි ඔහු කීවත් එරට  අඩු වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙකක් තිබේ. ඕස්ට්‍රේලියාවේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන තුනකි. කෙසේ වුවද ප්‍රශ්නය එය නොවේ.

මෙහි උඩ ලැයිස්තුවේ ඇත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිපුර නැති, ශ්‍රේණිගත කිරීම් අනුව උඩින් සිටින හිතා මතා තෝරා ගත් රටවල් කිහිපයකි. ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේම උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විශාල ගණනක් ඇති අදාළ පත්‍රිකාවේ ක්‍රමවේදය අනුව 37 වන ස්ථානයේ සිටින ඇමරිකා එක්සත් ජනපදය හෝ 144 වෙනි ඉතා පහළ තැනක ඇති චීනය වැනි රටවල් ඔහු විසින් බැහැර කරයි. අහඹු ලෙස රටවල් තෝරා නොගෙන තමන්ගේ මතය තහවුරු කිරීම සඳහා රටවල් තෝරා ගැනීම ශාස්ත්‍රාලීය වංචාවකි.

ඔහුගේ ක්‍රමවේදයේ ඇති වැරැද්ද පැහැදිලි කිරීමට මට ඉහතින් උපුටා දක්වා ඇති කොටස පහත සඳහන් පරිදි වෙනස් කර පෙන්විය හැකිය.

ලෝකයේ මානව සංවර්ධන දර්ශකය (Human development index) ඉහළ අගයක් ගන්නා ජර්මනිය, නෝර්වේ, ස්වීඩනය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය වැනි රටවල පවතින එක් ගුණාංගයක් වන්නේ නිදහස් බටහිර වෛද්‍ය අධ්‍යාපනයයි. පහත සඳහන් රටවල් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය අනුව ලෝකයේ අයත්කරගෙන සිටින ස්ථානයන් සහ එහි පවතින පෞද්ගලික  බටහිර වෛද්‍ය විද්‍යාල සංඛ්‍යාවන් මදක් සසඳා බලන්න.


ඉහත රටවල් වල පවතින අතලොස්සක් වන රාජ්‍ය නොවන වෛද්‍ය විද්‍යාල සියල්ල පෞද්ගලික ඒවා නොවන අතර, භාරකාර මණ්ඩලයක් මගින් පාලනය වන, ලාභ නොලබන පුණ්‍ය ආයතන ලෙස ක්‍රියාත්මක වේ.

පහත සඳහන් දකුණු ආසියානු රටවල් හතර තුළ පෞද්ගලික බටහිර වෛද්‍ය විද්‍යාල විශාල ප්‍රමාණයක් පවතින අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රේණිගත කිරීම අනුව ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන් ලෝකයේ අයත් කරගෙන සිටින ස්ථාන මදක් සසඳා බලන්න. වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමෙන් බටහිර වෛද්‍ය විද්‍යාව උගන්වන පීඨ වැඩිපුර තිබීම නිසා ඔවුන්ගේ සෞඛ්‍ය සේවාවන්ට අයත්ව ඇති ඉරණම ඔබට මනාව වැටහෙනු ඇත.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා ගොස් මා මෙහි ඇති දත්ත ලබාගත්තේ ලෝක වෛද්‍ය විද්‍යාල නාමාවලියෙනි.

මා මේ අභ්‍යාසය කළේ කිසියම් රටක බටහිර වෛද්‍ය පීඨ ගණන වැඩි වන විට සෞඛ්‍ය සේවයේ ගුණාත්මක භාවය අඩුවන බව පෙන්වීම සඳහා නොවේ. ඉන්දික කරුණාතිලකගේ විග්‍රහය කොතරම් ප්‍රාථමික මට්ටමේ එකක්දැයි පෙන්වීමටය.

තව දුරටත් අවශ්‍යනම්, මට යටින් ඇති මුළු වෛද්‍ය විද්‍යාල ගණනින් උඩින් ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අඩු කර තවත් වගු දෙකක් ඉදිරිපත් කළ හැකිය. එවිට, ඉතිරි වන්නේ එක් එක් රටවල ඇති රාජ්‍ය විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ ගණනයි. ඉතා පැහැදිලිවම, මෙහි තෝරාගෙන ඇති රටවල් කාණ්ඩ දෙකෙන් වැඩිම රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන ඇත්තේද ඉන්දියාව ඇතුළු දෙවන කාණ්ඩයේ රටවලය. ඉන්දික කරුණාතිලකගේ තර්කය අනුව යන්නේනම්, මේ රටවල් සෞඛ්‍ය සේවාවන් ශ්‍රේණිගත කිරීම් අනුව පහතට වැටී තිබෙන්නේ රාජ්‍ය වෛද්‍ය පීඨ ගණන වැඩි වීම නිසා බව කියන්නට පුළුවන.

එහෙත්, මා එසේ කියන්නේ නැත. වෛද්‍ය පීඨයක අයිතිය රජය සතුද නැද්ද යන්න එහි ගුණාත්මක භාවය කෙරෙහි බලපාන ආකාරය මේ තරම් සරලව නිගමනය කළ නොහැකිය.

වෛද්‍ය පීඨයක ගුණාත්මක භාවයත්, ඒ වෙනුවෙන් යොදවන සම්පත් ප්‍රමාණයත් අතර සම්බන්ධතාවයක් තිබේ. අනෙකුත් සාධක නියතව ඇත්නම්, සම්පත් වැඩියෙන් යොදවන තරමට ගුණාත්මක භාවය වැඩි වේ. වෛද්‍ය පීඨයක් ලාභ පිණිස පවත්වාගෙන යන විට, ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා සම්පත් වැඩියෙන් යෙදවීම හා ලාභ වැඩි කරගැනීම යන අරමුණු අතර ගැටුමක් ඇති වේ. එහෙත්, ගුණාත්මක භාවය අඩුවන විටද ඉල්ලුම අඩු වී ලාභ අඩු වේ. ඒ නිසා, ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය හා ලාභ ප්‍රසස්ථ සමතුලිතතාවයකට පැමිණේ.

ලාභ සඳහා නොවන, එහෙත් මුදල් අයකරන පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක් මෙයින් වෙනස් වන්නේ කෙසේද? මෙවැනි ආයතනයක අරමුණ ලාභ ලැබීම නොවූවත්, පාඩු ලබමින් ආයතන පවත්වා ගත නොහැකිය. ඒ නිසා, මෙවැනි ආයතනයක ලාභ දිගුකාලීනව ශුන්‍ය මට්ටමේ පවත්වා ගැනේ. ආදායම් හා වියදම් අතින් මෙවැනි ආයතනයක් ලාභ ලබන ආයතනයකින් වෙනස් වන්නේ එම හේතුව නිසා පමණි. ලාභ සඳහා වූ වෛද්‍ය විද්‍යාලයකට සාපේක්ෂව මෙවැනි වෛද්‍ය විද්‍යාලයකට ගුණාත්මක භාවය ඉහළ දැමීම වෙනුවෙන් වැඩිපුර ආයෝජනයක් සිදු කළ හැකිය. මේ නිසා ගුණාත්මක භාවය "සමතුලිත මට්ටමට" වඩා ඉහලින් පවත්වා ගන්නට හැකි වන්නට ඉඩ තිබේ.

තරඟකාරී වෙළඳපොලක ආයතන දෙකක් විසින් එකම මිල අය කරන්නේනම් ගුණාත්මක භාවය වැඩි තැනට මිස අඩු තැනට යන්නට කිසිවෙකු කැමති නැත. එසේනම්, මෙවැනි ආයතන වර්ග දෙකක් පැවතිය හැකිද?

මෙය සිදු විය හැකි ආකාර කිහිපයක් තිබේ.

1. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීම අපහසු විය හැකිය. සියලු දෙනාගේම පළමු තේරීම එය නිසා එම වෛද්‍ය විද්‍යාලය විසින් හොඳම සිසුන් තෝරා ගන්නා අතර ඉතිරි වන දෙවන පෙළ සිසුන් ලාභ ලබන වෛද්‍ය විද්‍යාලයට යන්නට පුළුවන.

2. ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයේ මිල තරමක් වැඩි විය හැකිය. එවිට සිසුන්ට ඇති වැඩි මිලක් ගෙවා වැඩි ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ හා අඩු මිලකට අඩු ගුණාත්මක භාවයක් ඇති තැනට යාමේ තේරීම් තුළ වෙළදපොල සමතුලිත වේ.

3. ලාභ අරමුණක් නැති නිසා ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලය වඩා අකාර්යක්ෂම විය හැකිය. ලාභ සඳහා කටයුතු කරන වෛද්‍ය විද්‍යාලය අකාර්යක්ෂම වුවහොත් ඔවුන්ට වෙළඳපොළෙන් ඉවත් වන්නට සිදු වේ. එහෙත්, ලාභ සඳහා නොවන වෛද්‍ය විද්‍යාලයට පාඩු නොලබන තාක් කල් වෙළඳපොළේ රැඳී සිටිය හැකිය. ගුණාත්මක භාවය ලාභ ලබන ආයතනයක මට්ටමේ පවත්වාගැනීම ප්‍රමාණවත් වන අතර මිලද ඒ මට්ටමේ පවත්වා ගැනීම ප්‍රමාණවත්ය. මෙහිදී ලාභ නොලැබීම නිසා කිසිවකුට වාසියක් නොසැලසේ.

මේ දෙආකාරයේ වෛද්‍ය විද්‍යාල අතර සමතුලිතාවක් ඇති තැන් වල මේ කරුණු තුනම යම් ප්‍රමාණයකට සිදු වන බව පෙනේ.

ලංකාවේ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල වල ආකෘතිය වෙනත් බොහෝ රටවල ඇති ආකෘතිය නොවේ. මේ වෛද්‍ය විද්‍යාල වලට වැය කරන මුදලට සරිලන දෙයක් ලබා නොදෙන තරමට අකාර්යක්ෂම වුවද තවදුරටත් රැඳී සිටිය හැකිය. මා මෙයින් අදහස් කරන්නේ එය එසේ සිදුවන බව නොවේ.

මේ ආකෘතියේ වෛද්‍ය විද්‍යාලයක ගුණාත්මක භාවය රඳා පවතින්නේ යොදවන සම්පත් ප්‍රමාණය මතය. සම්පත් වැඩියෙන් යොදවන තරමට (වෙනත් කරුණු නොවෙනස්ව ඇත්නම්) ගුණාත්මක භාවය ඉහළ යයි. එහෙත්, අකාර්යක්ෂමතාවයන් නිසා යොදවන අරමුදල් සියල්ලම ගුණාත්මක භාවය වැඩි කිරීමට හේතු නොවේ,

කාර්යක්ෂම ලෙස කළමනාකරණය කෙරෙන රාජ්‍ය විශ්ව විද්‍යාලයකට වෙළඳපොළ ප්‍රසස්ථ මට්ටම ඉක්මවන තරමට සම්පත් යෙදවීමෙන් එහි ගුණාත්මක භාවය නිදහස් වෙළඳපොළක ඇති සමතුලිත මට්ටමට වඩා වැඩි කළ හැකිය. ඇතැම් සමාජවාදී රටවල් විසින් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විසින්ද එසේ කර තිබේ. එහෙත්, මෙහිදී ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා යෙදවෙන්නේ වෙනත් බොහෝ දේ වෙනුවෙන් යෙදවිය හැකි සීමිත සම්පත්ය. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය "ඕනෑවට වඩා" වැඩි කිරීමෙන් යහපතක් සැලසෙන නමුත්, ඒ සඳහා යෙදවුණු මුදල් යෙදවිය හැකිව තිබුණු වෙනත් ව්‍යාපෘතියක් සිදු නොවීම නිසා සිදුවන අයහපත බොහෝ විට ඊට වඩා වැඩිය.

අපේ දකුණු ආසියානු අසල්වැසියන් වෙත නැවත පැමිණියහොත්, එම රටවල සෞඛ්‍ය සේවාවන් වල ශ්‍රේණිගත කිරීම් හා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන අතර පෙනෙන්නට තිබෙන සම්බන්ධයට හේතුව දෙවැන්න නිසා පළමුවැන්න සිදු වීම නොවේ. එම රටවල සෞඛ්‍ය සේවා සැපයුම් ඉහළ මට්ටමක නොතිබීම නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට අවකාශයක් ඇති වීමයි. මේ අනුව, එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබුනානම් එම රටවල ශ්‍රේණිගත කිරීම් තවත් පහළට වැටෙන්නට ඉඩ තිබුණා වන්නටද පුළුවන.

මේ අයුරින්ම, ඉන්දික කරුණාතිලක ආඩම්බර වන ලංකාවේ 76 වන ස්ථානය ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නොතිබීමේ හොඳ ප්‍රතිඵලයක් ලෙස ඔහු පෙන්වා දෙන නමුත්, ලංකාවේත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක් තිබුණානම් මේ ස්ථානය මීට වඩා අඩු එකක් (50 හෝ 60 වැනි) විය හැකිව තිබුණු බව මට යෝජනා කරන්නට පුළුවන. එසේනම්, ඇත්තටම 76 ස්ථානය යනු නරක ප්‍රතිඵලයකි. මගේ යෝජනාව තහවුරු කිරීමට මා විසින් වැඩිදුර කරුණු ඉදිරිපත් කර නැති නිසා එය බරපතල ලෙස ගත යුතු නැති වුවත් ඉන්දික කරුණාතිලකගේ තර්කයේද ඊට වඩා කිසිදු බරපතලකමක් නැත.

පහතින් ඇත්තේ ඉන්දික කරුණාතිලකගේ ලිපියෙන් උපුටාගත් තවත් කොටසකි.

"ඉන්දියාව යනු ලෝකයේ වැඩිම පෞද්ගලික සහ රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පවතින රටයි. නමුත්, ලෝකයේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැඩිම සිසුන් සංඛ්‍යාවක් විදේශගත වන රට වන්නේ ද ඉන්දියාවයි. එය ලෝකයේ හොඳම වෛද්‍ය විද්‍යාල වල සිටින ඉන්දියානු ශිෂ්‍යයන්ගේ ප්‍රතිශතය සලකා බැලීමෙන් වටහාගත හැක."


මේ සංඛ්‍යාලේඛණ නිවැරදි විය නොහැකිය. එසේනම්, මූලාශ්‍ර ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට සිසුන් බඳවා ගන්නා ක්‍රමවේදය අනුව, කැනේඩියානුවන්ට හැර වෙනත් රටවල සිසුන්ට ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීම ඉතාම අසීරු කටයුත්තකි. ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත් කර ගන්නේ වසර හතරක මූලික උපාධි පාඨමාලාවක් සම්පූර්ණ කර ඇති අයයි. මේ උපාධි පාඨමාලාවට වෛද්‍ය විද්‍යාව හැදෑරීමේදී වැදගත්වන මූලික විෂයයන් ඇතුලත්ව තිබිය යුතුය. තවත් බොහෝ දේ සලකා බැලීමෙන් පසු අවසන් තේරීම කරන්නේ සම්මුඛ පරීක්ෂණයකින් පසුවය.

ඇමරිකානු වෛද්‍ය විද්‍යාල සංගමයේ (AAMC) දත්ත අනුව, 2016/17 දී ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුළත් කරගැනුණු සිසුන් 21,030ක් අතරින් නීත්‍යානුකූල පදිංචිය ඇමරිකාවේ නොවූ අය සිටියේ 112ක් පමණි. ඇමරිකානු පුරවැසියන් හෝ ස්ථිර නේවාසිකත්වය (Green card) නොලැබූ අය සිටියේද 269 දෙනෙකු පමණි. මේ බොහෝ දෙනෙකුද ඇමරිකාව සිය රට ලෙස තෝරාගෙන ඇති නමුත් තවමත් ස්ථිර නේවාසිකත්වය නොලැබුණු, බොහෝ විට ස්ථිර නේවාසිකත්වය අයදුම්කර බලාපොරොත්තුවෙන් සිටින අයයි.

වෛද්‍ය විද්‍යාල මට්ටමේ දත්ත ඉහත වෙබ් අඩවියෙන් ලබාගත හැක්කේ එහි සාමාජිකත්වය ඇති අයට පමණකි. ඒ දත්ත ඇසුරෙන් වෙනත් අයෙකු පලකළ වගුවක් මෙහි තිබේ.

ඇමරිකාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වීමේ අවස්ථාව හිමි කර ගන්නා විදේශ සිසුන් ප්‍රතිශතය 1% පමණ වන බව මේ දත්ත අනුව පෙනී යනු ඇති අතර එයින්ද වැඩි පිරිසක් පැමිණෙන්නේ කැනඩාවෙනි.

මා හිතන පරිදි ඉන්දික කරුණාතිලක කතා කරන්නේ ඇමරිකානු ඉන්දියානුවන් ගැන විය යුතුය. ඇමරිකානු වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වන සිසුන් අතර ඉන්දියානු හා චීන සම්භවයක් ඇති සිසුහු විශාල පිරිසක් සිටිති. එහෙත්, මේ අය ඇමරිකානුවෝ මිස ඉන්දියානුවෝ නොවෙති. ඇමරිකාවේ උපත ලබා ඇති මේ සිසුන් බොහෝ දෙනෙකු ඇතැම් විට ඉන්දියාවට කෙදිනක හෝ ගොස් නැත.

එමෙන්ම, යම් හෙයකින් ඉන්දියානු සිසුන් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විශාල වශයෙන් ඇමරිකාවට ගියේයැයි සිතුවද, එයට විවිධ හේතු තිබිය හැකිය. ඔහුගේ තර්කය අනුව, ලංකාවේ සිසුන් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා විශාල වශයෙන් ඉන්දියාවට, බංග්ලා දේශයට හා නේපාලයට යන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසාද?

ඉන්දික කරුණාතිලක විසින් ලියා ඇති සියලු දේ බොරු නොවේ. ඔහුගේ ලිපියේ ඇති බොහෝ දේ සමඟ මට එකඟ විය හැකිය. ඔහු සඳහන් කරන ඉහත "දුර්මත" පැහැදිලි සත්‍යයන්ද නොවේ. එහෙත්, ඔහුගේ විග්‍රහය ඉතා පැහැදිලිවම පක්ෂග්‍රාහීව හා වගකීමකින් තොරව ලියා ඇති ලිපියකි.

ඕනෑම පුද්ගලයකුට තමන්ගේ මතය වෙනුවෙන් පක්ෂග්‍රාහී ලෙස ලියන්නට අයිතියක් තිබේ. බොහෝ දෙනා එසේ ලියති. සමාජ ජාලා ව්‍යාප්තිය සමඟ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ අදහස් විශාල පිරිසක් වෙත ගෙනයාමේ ඉඩකඩ විවරව ඇති අතර මේ තත්ත්වය තුළ ඉන්දික කරුණාරත්න වැනි ශාස්ත්‍රාලීය තනතුරු දරන්නට, විෂය ප්‍රවීණයන්ට හා විශේෂඥයින්ට තිබුණු වටිනාකම අඩු වෙමින් පවතී. පුද්ගලයින්ට තිබුණු තැන අදහස් වලට ලැබී ඇත.

මේ තත්ත්වය දියුණුවක් වන්නා සේම එහි නිශේධනාත්මක පැත්තක්ද තිබේ. ඒ, සාමාන්‍ය පුද්ගලයෙකුට නිවැරදි තොරතුරු තෝරා බේරා ගැනීම අපහසු වීමයි. මේ අලුත් තත්ත්වයට විෂය ප්‍රවීණයන් හා විශේෂඥයින් ප්‍රතිචාර දැක්විය යුත්තේ තමන් ඉදිරියේ ඇති අභියෝගය හඳුනාගෙන තමන්ගේ විශේෂත්වය පෙන්වීමෙනි. එය කළ යුත්තේ ලිපියක අන්තර්ගතය තුළ වෙනස පිළිබිඹු වන්නට හැරීමෙන් මිස, පක්ෂග්‍රාහී හා සැලකිල්ලෙන් නොලියු ලිපියකට තමන්ගේ සුදුසුකම් ඈඳීම හරහා නොවේ.

කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙකු ලෙස ඉන්දික කරුණාතිලක විසින් ලියන ලිපියක් මඟින් ඔහු සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේම පිළිබිඹුවක් බව ඔහු විසින් අමතක නොකළ යුතුය.

(Image: http://blogs.jpmsonline.com/2012/08/13/towards-improving-medical-education-whats-new-in-medicine/)

41 comments:

  1. මෙම බ්ලොග් අඩවිය ඉතාම හොද පැහැදිලි කිරීම් සහිත බ්ලොග් එකක්. ඒත් මේකේ යන ලිපි ගොඩක් මිස් වෙනවා. කරුණාකර මෙම බ්ලොග් ඒක මාතලන්ගේ සින්ඩියට ඇඩ් කරන්න. එම සින්ඩිය තමයි මං භාවිතා කරන්නේ බ්ලොග් කියවන්න. ලාංකීය සිතුවිලි වගේ සින්ඩි වල තියෙන්නේ වැදගම්මකට නැති හෑලි යන බ්ලොග්. ඒ නිසා ඒක භාවිතා කරන්නේ නෑ. මාතලන්ගේ සින්ඩිය තමයි කදිම. එම නිසා මහත්මයා ඔබගේ බ්ලොග් එකත් එයට ඇතුලත් කරන්න.

    ReplyDelete
    Replies
    1. ඇනෝ, බ්ලොග් එකක් කිසියම් සින්ඩියකට හෝ බ්ලොග්රෝලකට ඇතුළු කිරීම හෝ ඇතුළු කර ඇති එකක් ඉවත් කිරීම එහි පරිපාලකයින් විසින් තමන්ගේ අභිමතය පරිදි කරන දෙයක්. බ්ලොග්කරුවෙකුට එය කළ නොහැකියි. මට පාලනය කළ හැක්කේ වම් පැත්තේ ඇති මගේ බ්ලොග්රෝල පමණයි. එහි ඇත්තේ සාමාන්‍යයෙන් මම කියවන, එසේ නැත්නම් මෙය කියවන පාඨකයින්ට වැදගත් කියා මම හිතන මා විසින් තෝරාගත් බ්ලොග් ලැයිස්තුවක්. සින්ඩි පවත්වාගෙන යන අය කරන්නෙත් එවැනි දෙයක්. ඇතැම් සින්ඩි වල හා බ්ලොග් රෝල් වල ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකක් හෝ දෙකම තිබෙන බව මා දන්නා නමුත් එසේ එකතු කරගෙන තිබෙන තැන් සියල්ල ගැන අඩු වශයෙන් දන්නේ හෝ නැහැ. ඔබට මෙහි පෝස්ට් මිස් වෙනවා කියා හිතෙනවානම් දකුණු පැත්තේ ඇති ෆේස්බුක් ලින්ක් එක ලයික් කිරීම, ෆේස්බුක් මිතුරු ඉල්ලීමක් කිරීම, ගූගල් ෆලෝවර් කෙනෙක් වීම, ඊමේල් එක එකතු කිරීම වැනි ඕනෑම දෙයක් එයට විසඳුමක්.

      Delete
    2. කරුණාකර මෙම බ්ලොග් ඒක මාතලන්ගේ සින්ඩියට ඇඩ් කරන්න. එම සින්ඩිය තමයි මං භාවිතා කරන්නේ බ්ලොග් කියවන්න.// ඇනෝ වරද ඔබේනෙ. ඔබ පුරුදුවෙලා තියන සින්ඩිය මාරුකරන්න. හොද බ්ලොග් තියන සින්ඩියකට පුරුදු වුනා නම් ඉවරනෙ. සපත්තුවට අනුව කකුල කපන්න යෝජනා කරන්න එපා කකුලට අනුවයි සපත්තුව තියෙන්න ඕන. අජිත් කුමාර බ්ලොග් දර්ශකය , කොත්තු ,අඹගහ ,ලාංකීය සිතිවිලි ,කුරුටු සින්ඩිය ,සිංහ්ල වියුණු වගෙ සින්ඩියකට හුරු වෙන්න. සින්ඩි තියෙන්නෙ බ්ලොග් නිසා මිස බ්ලොග් තියෙන්නෙ සින්ඩි නිසා නෙමෙයි. අනෙක් අතට බ්ලොගර්ස්ල ට සින්ඩිකරුවන් ඉදිරියෙ වැදවැටෙන්න බෑ. ඒ වගේම සියලුම බ්ලොග්කරුවෝ සමානයි එතන ලොකු අයියල සහ ඔහුගෙ පිට කසන පොඩියන්ස්ල ඉන්න බෑ. තේරෙනවනෙ කියන දේ.

      Delete
    3. හැම සින්ඩියකම තියෙන්නෙ එකම විදියෙ බ්ලොග්. නමුත් කොත්තු සහ ලාංකීය සිතිවිලි සින්ඩිවල බොහෝ සින්ඩිවල දැකිය නොහැකි බ්ලොග් සමහරකුත් මම දැක තිබෙනවා. ලාංකීය සිතිවිලි යනු කලෙක ඉතා ජනප්‍රිය සින්ඩියක්. අජිත් කුමාර සින්ඩියෙ නැති බ්ලොග් එකක් නෑ. ඒ වගේම කොත්තු සහ අජිත් කුමාර සින්ඩි පවත්වාගෙන යන්නන් අගතිගාමී නොවී බ්ලොග්කරුවන්ට සමානව සලකමින් හැමටම ප්‍රචාරයක් ලබාදෙනව. මට පේන්නෙ ඇනෝ බාල පබ්ලිසිටියක් සින්ඩියකට දෙන්න හදනව වගෙ. ඇයි ඉකොනො නැතිව පාළුද. දුහ් පරය කියල ඉකොනො ව එලවල ආයෙ ජුහ් ජුහ් කියපුවම ඉකොනොට එතනට යන්න පුලුවන්ද.එහෙම පුලුවන් අරක්කු බැලයෙකුට වැදගතෙකුට එහෙම පහලට වැටෙන්න බෑ. ඉකොනො ඔය සින්ඩියෙන් ඉවත් කෑලි ඔහුගෙ ස්වාධීන මතයකට උරන වෙලා. ඇයි එහෙම තමන්ට වෙනස් මත දරන්න බැරිද . හැමෝම ඔහුගෙ පොඩියන්ස්ල වෙන්න ඕනද. මේක මේ සුද්ද නිකම් දෙන අවකාශයක්. ඒකෙ අයිතිකාරයො ඉන්න බෑ.

      පොඩියන්ස්ලට විතරක් පබ්ලිසිටි දෙන සින්ඩියි අජිත් කුමාර සින්ඩියෙයි වෙනස බලන්න. බාල දේශපාලන සත පහකට වැඩක් නැති විකාර විකාර බ්ලොග් ද ඇනෝ හොදයි කියන්නෙ. අනෙක් ඒව පල් හෑලිද. ඇනෝ රසිකත්වය හදාගන්න.

      Delete
    4. හැමෝම ඔහුගෙ පොඩියන්ස්ල වෙන්න ඕනද. මේක මේ සුද්ද නිකම් දෙන අවකාශයක්. ඒකෙ අයිතිකාරයො ඉන්න බෑ//
      හැමෝම ඔහුගෙ ( සින්ඩි අයිතිකාරයගෙ )පොඩියන්ස්ල වෙන්න ඕනද. මේක මේ සුද්ද නිකම් දෙන අවකාශයක්. ඒකෙ අයිතිකාරයො ඉන්න බෑ

      Delete
    5. මධස්ථ මතධාරියා අනුන්ගේ කොමෙන්ට් අස්සේ මලපහ කරන්නේ නැතුව යනවද? තමුසෙගෙ පල් හෑලි කියවන්නේ නෑ කවුරුත්. වෙන කවුරුහරි කොමෙන්ට් එකක් දැම්මම, ඒවා අස්සේ පැන පැන ඇවිත් දෙනන් එපා. ඔහෙගෙන් නෙමෙයි උපදෙස් අහලා තියෙන්නේ. නිකන් කාලේ වැය කරගෙන අනුන්ගේ කොමෙන්ට් අස්සේ කක්කි නොදා යනවා හලෝ ප්ලීස්.

      Delete
    6. නම මධ්‍යස්ත කියලදාගෙන අන්තවාදී කතා තමයි කියන්නේ!

      Delete
  2. /ඔහු සමාජයට ප්‍රදර්ශනය කරන්නේ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයේම පිළිබිඹුවක් බව ඔහු විසින් අමතක නොකළ යුතුය./++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන්ම සාපේක්ෂව උගත් හා විචක්ෂණශීලී පුද්ගලයින් ලෙස සැලකිය හැකි ලංකාවේ වෛද්‍ය පීඨයකින් ප්‍රථම උපාධිය ලබා ඇති අය හිතන්නේ වෛද්‍ය පීඨ වල මහාචාර්යවරුන් තමන්ගේ ප්‍රධාන විෂය හා අදාළව කියන දේ හා ඉදිරිපත් කරන දත්ත 100%ක් නිවැරදි බවයි. එය එසේ නොවූ විට ඔවුන්ට මැදහත් විශ්ලේෂනයක් පෙනෙන්නේ පක්ෂග්‍රාහී එකක් ලෙසයි. තමන් සිටින්නේ අන්තවාදී මතයක් සමඟ බව ඔවුන්ට තේරෙන්නේ නැහැ.

      Delete
  3. මේ සයිටම් අර්බුධයත් එක්ක ඇති වුනු හොඳ ප්‍රවණතාවක් තමයි නිදහස් අධ්‍යාපනය,සෞඛ්‍ය ගැන සංවාදයක් රට තුල ගොඩ නැගීම.

    ReplyDelete
    Replies
    1. ඔවු, එය හොඳ ප්‍රවණතාවක්.

      Delete
  4. දීර්ග වුවත් අවධානය රඳවාගෙන කියැවිය හැකි හා කියැයිය යුතු වටිනා ලිපියකි.
    සයිටම් ගැන බොහෝදෙනාගේ ලිපි ඉහත මහාචාර්‍ය වරයාගේ ලිපිය මෙන්ම වුවමනාවෙන් කරුනු ගලපා ලියන පක්ශග්‍රාහි ලියැය්විලිම පමණි.

    මෙය මේ තරම් ගැටළුවක් වී ඇත්තේත් ඒ නිසාමයි.

    මේඅ ආකාර මැදිහත් විමර්ශන ඉතා අඩුය.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම. එක අතකින් මෙය ලංකාවේ මූලික අධ්‍යාපනය තුළ ලැබෙන පුහුණුවේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ තමන්ගේ මතයට වාසිදායක කරුණු ඉදිරිපත් කිරීමට පමණයි. දේශපාලනය තුල දැකිය හැක්කේත් මේ තත්ත්වයයි. පක්ෂ මාරු කරන විට වීරයින් හොරු වී හොරු වීරයින් වෙන්නේ ඒකයි.

      Delete
  5. දැන් එතකොට ඉකොනොමට්ටා මහතා කියන විදියට නිතිඥ්යොත් නඩු කතා කරනොකොට දෙපැත්තට සමබරව කරුණු ඉදිරිපත් කරන්න ඕනෙද? ඉන්දික කරුණාතිලක පැහැදිලිවම සයිටම් විරෝධී ස්ථාවරයක ඉන්නේ. ඔහු ඔහුට වාසිදායක විදිහට කරුණු ඉදිරිපත් කරයි. එවිට ඔබහෝ සයිටම් පක්ෂපාති අයෙක් කලයුත්තේ ඔහුට අවලාද නැගීම නොව ඔහුගේ තර්ක වල වලංගු භාවය ප්‍රශ්න කිරීමයි!

    ReplyDelete
    Replies
    1. ඇනෝ, නීතිඥයෙකු තමන්ගේ සේවාදායකයෙකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නේ පක්ෂග්‍රාහී ලෙස බව කවුරුත් දන්නා දෙයකි. එය ඔහුගේ රැකියාවයි. එසේ නැතිව, සමබර ලෙස කරුණු දක්වන්නෙකු හොඳ නීතිඥයෙකු නොවේ. එහෙත්, ශාස්ත්‍රාලීය පර්යේෂකයෙකුගේ රැකියාව අපක්ෂපාතී ලෙස කරුණු ඉදිරිපත් කිරීමයි. බදු මුදල් වලින් යැපෙන රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන විට සාමාන්‍ය වෛද්‍ය වෘත්තිකයින් සිතන්නේ එය අපක්ෂපාතී විග්‍රහයක් බවයි. ඉන් පසු ඒ පදනමින් ඔවුන් කියන්නේ (සමහර විට ඇත්තටම හිතන්නේ) තමන් පෞද්ගලික වාසි නොතකා "හරි දෙය" වෙනුවෙන් පෙනී සිටින බවයි. දෙවනුව, මෙය දිගුකාලීනව ශාස්ත්‍රාලීය පර්යේෂකයින් කියන දේවල්ද වැදගම්මකට නැති, නීතිඥයෙකු උසාවියක කියන දේවල් මෙන් තමන්ගේ මුදල් වාසි වෙනුවෙන් කියන දේවල් ලෙස හිතන්නට සාමාන්‍ය මහජනතාව පොළඹවයි. එවැන්නෙකුගේ විෂය වෛද්‍ය වෘත්තීය වූ විට හානිය තවත් වැඩි විය හැකිය. එයින් තහවුරු කරන්නේ වෛද්‍ය වෘත්තිකයින් විසින් කියන දේවල් තමන්ගේ වාසි වෙනුවෙන් කියන දේ විය හැකි නිසා ඒ දේවල් ගැන පරීක්ෂාකාරී විය යුතුය යන මතයයි. වෛද්‍ය විද්‍යාව පාරිභෝගිකයින් හා නිෂ්පාදකයින් (රෝගීන් හා වෛද්‍යවරුන්) අතර විශාල තොරතුරු අසමමිතියක් ඇති ක්ෂේත්‍රයකි. ඒ නිසා, සමාජයක් වෛද්‍යවරයෙකු යනු නීතිඥයෙක් මෙන් තමන්ට වාසි දෙය ගැනම කතා කරන අයෙක් ලෙස හිතන්නට පෙලැඹීමද අනර්ථකාරීය. මෙය සයිටම් වලින් ඔබ්බට ඇති ප්‍රශ්නයක් වන්නේ ඒ නිසාය. තර්ක කිහිපයකම වලංගු භාවය ගැන මෙහි කතා කර තිබේ.

      Delete
    2. නීතිඥයෙක් වුවත් අනෙක් පාර්ශවෙයෙන් ඉදිරිපත්වන හරස් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ලෑස්තිවෙලා ඕන පක්‍ෂග්‍රාහීවෙන්න නැත්නම් නඩුව පරදිනවා !

      Delete
    3. නීතිඥයෙක් වුවත් අනෙක් පාර්ශවෙයෙන් ඉදිරිපත්වන හරස් ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ලෑස්තිවෙලා ඕන පක්‍ෂග්‍රාහීවෙන්න නැත්නම් නඩුව පරදිනවා !

      Delete
    4. "...තර්ක කිහිපයකම වලංගු භාවය ගැන මෙහි කතා කර තිබේ..." මුලින්ම මෙය පිලිගන්නවා. මට අනුව විය යුත්තේත් එයයි. ඒවගේම මට මෙහිදී තිබෙන ගැටලුව ඔබ ඉන්දික කරුණාතිලකගෙන් අනවශ්‍ය මදහත්බවක් බලාපොරොත්තු වීමයි.

      ඔබම මිට කලින් පෙන්වා ඇතිපරිදි බොහෝ උගත් හා පළපුරුදු වෘතිකයෝ තමන්ට මතයට පක්ෂ කරුණු පමණක් ඉස්මතුකරනවා. ප්‍රතිශක්තිකරණ ගැනත්, ගෝලීය උණුසුම්වීම හා කාලගුණ විපර්යාස පිලිබනදව කතිකාවතේදී බොහෝ උගතුන් තම මතයට වලංගු දේවල් පමණක් ඉස්මතු කරමින් විරුද්ධ මතයන්ට පක්ෂවන දත්ත හා නිරීක්ෂණ යටපත් කරනවා. මා මෙය ඔබගේ ලිපිවලත් දැක තිබෙනවා. මටනම් මෙය සාමාන්‍ය දෙයක්! මෙය අප හුදක් පෘතක්ජන මිනිසුන් බව නැවත නැවත මත්ක්කරනවා.

      @serendipity July 5, 2017 at 10:57 PM,
      අනෙක් පාර්ශවයේ හරස් ප්‍රශ්න හෝ විකල්ප පැහැදිලිකිරීම් වලට උත්තර දුන්නත් නීතිඥයෝ එම කරුණු තමන් මතුකරණේ නැහැනේ!

      Delete
    5. //ඒවගේම මට මෙහිදී තිබෙන ගැටලුව ඔබ ඉන්දික කරුණාතිලකගෙන් අනවශ්‍ය මදහත්බවක් බලාපොරොත්තු වීමයි. //
      මේ ලිපියේ ඉලක්කය වුනේ ඔබ වැනි ඔහුගේ ලිපිය මධ්‍යස්ත එකක් බව නොවන බව අවබෝධ කරගෙන එය කියවන අය නෙමෙයි. වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙක් කියා ඇති දෙයක් නිසා එහි වැරැද්දක් තිබිය නොහැකි බව සිතන අයයි.

      සාමාන්‍ය ජීවිතයේදී අපට හැම දෙයක් ගැනම සැක කරන්න බැහැ. ඇතැම් දේවල් ගැන විශ්වාසය තියන්න වෙනවා. ගඟක ගැඹුර ගැන විවිධ අය විවිධ මත පළ කරන විට අපට එයින් එක් මතයක් තෝරා ගන්න වෙනවා. මෙහිදී ගඟට කිසිදා නොබැසපු කෙනෙකු කියන දෙයට වඩා ගඟට වාර ගණනක් බැස ඇති කෙනෙක් කියන දෙය වඩා විශ්වාසනීය ලෙස සලකන්න වෙනවා. විශේෂයෙන්ම "මම මේ ගඟට වාර ගණනක් බැහැපු කෙනෙක්. අනිත් අය වගේ ගොඩ ඉඳන් කියන කෙනෙක් නෙමෙයි!" කියා ඔහු කියනවනම්. දැන් මේ ගඟට බැහැපු කෙනා දැන දැන හිතාමතා බොරු කියන එකේ හානිය වැඩියි.

      Delete
    6. // මා මෙය ඔබගේ ලිපිවලත් දැක තිබෙනවා.//
      හැමෝම කතා කරන දෙයක වෙනත් පැත්තක් පෙන්වා දෙන්න අවශ්‍ය වූ විටක මම එසේ කරනවා. එසේ නැත්නම් සාමාන්‍යයෙන් එසේ කරන්නේ නැහැ. ගොඩක් දේවල් ගැන මම විමර්ෂණය කරන්න පටන් ගන්නේ පූර්ව විනිශ්චයක් නැතුව. කරුණු හොයා බැලීමෙන් පසුව මුලින් ලියන්න හිටි දෙයට විරුද්ධ පැත්ත ලියූ අවස්ථා ඕනෑ තරම් තියෙනවා. මම මෙතෙක් ලියූ හැම දෙයක්ම වගේ ඩිෆෙන්ඩ් කරන්නට මට හැකි වී තිබීමේ රහස එයයි. වෙනත් අයෙක් මා දැන නොසිටි හෝ කලින් නොසිතූ කරුණු ඉදිරිපත් කරනවානම් මගේ අදහස් වෙනස් කරගන්න මම පැකිලෙන්නේ නැහැ.

      Delete
    7. "...// මා මෙය ඔබගේ ලිපිවලත් දැක තිබෙනවා.//
      හැමෝම කතා කරන දෙයක වෙනත් පැත්තක් පෙන්වා දෙන්න අවශ්‍ය වූ විටක මම එසේ කරනවා..."

      සම්පුර්ණයෙන් එකග වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට බ්ලොග් සම්මාන උළෙලට රජයෙන් අනුග්‍රහයක් වශයෙන් ගොඩනැගිල්ලක් ලබා දීමේ වියදම ලෙස ඔබ දැක්වුයේ

      "...එදින වෙනත් කටයුත්තක් නොතිබුණානම්, ශාලාව ලබාදීමේ ආවස්ථික පිරිවැයක් රජයට නැත. පොදු මුදල් වලින් බ්ලොග් සම්මාන උළෙලට කෙටි ආහාර සැපයීමද කිසියම් අයෙකු විසින් අභිමතය පරිදි කරන දෙයක් ලෙස සැලකිය හැකි වුවත්, .."

      මෙහිදී ආලෝකකරණය, වායු සමීකරණය, විදුත් ශ්‍රව්‍ය-දෘශ්‍ය කටයුතු හා සේවක අතිකාල සදහා වෙන් වියදම් නොසලකුයේ ඇයි? ඉකොනොමට්ටා ලෙස ඔබව හදුන්වාගන්නා ඔබ මෙවැනි ඉතා ප්‍රථමික කරුණු නොසලකුයේ ඇයි? මෙහිදී ඔබ සමාජයට ප්‍රදර්ශනය කරන්නේ කුමක්ද?

      Delete
    8. //එදින වෙනත් කටයුත්තක් නොතිබුණානම්, ශාලාව ලබාදීමේ ආවස්ථික පිරිවැයක් රජයට නැත.//
      මේ නිශ්චිත කරුණ සම්බන්ධව ඔබ සමඟ එකඟයි. හදිසියේ කමෙන්ට් එකකට පිළිතුරක් දමන විට මඟ හැරෙන දේවල් තිබෙනවා. මෙය එවැනි දෙයක් මිස මගේ මතයක් තහවුරු කරන්න පක්ෂග්‍රාහීව ලියූ දෙයක් නෙමෙයි. මේ උත්සව සංවිධායකයින් සමඟ මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. ප්‍රසිද්ධ තොරතුරු හැර ඒ ගැන කිසිදු අමතර දෙයක් දන්නෙත් නැහැ. ඔබ පෙන්වා දෙන කරුණු මත මෙහි කිසියම් අමතර ආවස්ථික පිරිවැයක් තිබෙන්න පුළුවන්. ඒ ගැන කිසියම් අයෙක් (ඇතැම් විට ඔබ) එහි කමෙන්ට් කර තිබුණා. එය දුටු පසුවත් ඒ ගැන වැඩිපුර දේවල් නොලිවුවේ මෙය විශාල කාලයක් මිඩංගු කිරීමට තරම් වැදගත් මාතෘකාවක් නොවන නිසයි.

      //මෙහිදී ආලෝකකරණය, වායු සමීකරණය, විදුත් ශ්‍රව්‍ය-දෘශ්‍ය කටයුතු හා සේවක අතිකාල සදහා වෙන් වියදම් නොසලකුයේ ඇයි?//
      මේ කියන උත්සවයට මම සහභාගී නොවුන නිසා සහ මගේ කිසිදු සම්බන්ධයක් නොතිබුණු නිසා මෙවැනි වියදම් වෙනුවෙන් කොපමණ මුදලක් වැය වුනාද යන්න හෝ ඒ මුදල් වෙනුවෙන් සංවිධායකයින් විසින් මුදලක් ගෙවුවද කියන එක මම දන්නේ නැහැ. උදාහරණයක් ලෙස ආලෝකකරණය හා විද්‍යුත් ශ්‍රව්‍ය දෘශ්‍ය කටයුතු සඳහා පහසුකම් ශාලාවේම තිබුණද පිටින් කුලියට ගත්තද කියලත් මම දන්නේ නැහැ. අඩු වශයෙන් වායු සමීකරණ පහසුකම් තිබුණු තැනක්ද කියලත් හරියටම දන්නේ නැහැ. කරුණු නොදැන මට කිසිවකුට චෝදනා කළ නොහැකියි. කෙටි ආහාර සඳහා වැය කළ මුදලට අමතරව තවත් එවැනි අමතර පිරිවැයක් එහි තිබෙන්නට ඇතැයි මා හිතන නමුත් මේ මුළු පිරිවැය එකතුව රුපියල් විසි තිස් දහසකට වඩා වැඩි විය නොහැකියි. එවැනි දෙයක් ගැන කතා කරන්න කාලය නාස්ති කිරීම තේරුමක් ඇති දෙයක් කියා මම හිතන්නේ නැහැ.

      මට මතක හැටියට මේ හා අදාළව මම දමපු ප්‍රතිචාරයේ අදහස වුනේ මෙහිදී පොදු අරමුදල් වැය වීමක් සිදුවී ඇති බව පෙනෙන නමුත් ඒ මුදල රටේ ආර්ථිකයට හා ජනජීවිතයට බලපෑමක් කරන විශාල මුදලක් නොවන බවයි. ඔබ පෙන්වා දෙන වියදම් නොසලකා හැරීමේ තාක්ෂණික වැරැද්දක් තිබුණත්, කෙටි ආහාර පිරිවැයට මේ අමතර වියදම් එකතු කිරීම නිසා මගේ පිළිතුරේ ඇති මූලික අදහස වෙනස් වෙන්නේ නැහැ. ඒ ගැන කාලය නාස්ති කිරීම තේරුමක් නැති බව තීරණය කළේ ඒ පදනමිනුයි.

      Delete
  6. ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණය නිවැරදි නැත./////// agree

    ReplyDelete
  7. මේ ලිපිය ගුණාත්මක භාවයෙන් අඩු නැඹුරුතාවයකින් යුතුව කැමති දත්ත පෙන්නමින් අකමැති දත්ත සඟවමින් ලියු එකක්. පළමු වාක්‍යයේ සිටම මේ ලිපියේ අඩු ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කරනවා.

    1.
    මාතෘකාව: ශ්‍රී ලංකාවට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවශ්‍යයිද?
    පළමු වාක්‍යය: ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල යන සංකල්පය ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට පත්ව ඇත.

    මෙය හිත මතා පැටලවීමක්. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සහ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කියන දෙක එකට මුලින්ම පටලවනවා. මොහු එතැනින්ම කරන්නේ වංචාවක් බව පේනවා.

    පුද්ගලික වෛද්‍ය විද්‍යාල තිබුනත් එකයි නැතත් එකයි. නොමිලේ වෛද්‍ය අධ්‍යාපනය තිබෙන අතරේම උපාධි පාඨමාලාවේ ගාස්තුව පුද්ගලිකව තමන් විසින් දරමින් වෛද්‍ය අධ්‍යාපනය ලබන්න අවස්ථාව තිබීමයි අවශ්‍යද කියන එකයි මෙතන කතා කල යුත්තේ. හැබැයි එක කතා කරන්න ගියොත් පහල වගු වල තිබෙන කතාව පුස්සක් වෙනවා. මොකද ඔය වගුවල තිබෙන බොහොමයක් රටවල රාජ්‍ය විශ්විද්‍යාලවල පවා වෛද්‍ය අධ්‍යාපනය සඳහා පාඨමාලාවේ සතුව ශිෂ්‍යයා දරන්න ඕනේ.

    සයිටම් හි ගැටලුව පුද්ගලික අංශයට අයිති වීම නම් සයිටම් ඔහොම තියෙද්දීම අර්ධරාජ්‍ය බවට පත්කලාම ඉවරයිනේ. දැනටත් තනි පුද්ගලික අයිතය කොටස් වෙළඳ පොලට මුදාහැරීමට ඔවුන් එකඟ වෙලා තිබෙනවා නේ.

    2. සෞඛ්‍ය ක්ෂේස්තරයේ ගුණාත්මක භාවය ගැන වගු දෙකෙහි දත්ත තෝරාගැනීම වංචනික මවාපෑමක් සඳහා කල එකක්. පහල වගුවේ තිබෙන්නේ දියුණු වෙමින් පවතින රටවල්. 11-76 දක්වා එක වගුවකටත් 112-150 දක්වා තවත් වගුවකටත් බෙදීම විහිළුවක්. ඉහල වගුවේ තිබෙන රටවල සෞක්‍ය සේවයට පමණක් නොවෙයි, ඇටෙන්ඩන්ට්ගේ සිට කන්සල්ටන්ට්/ප්‍රොෆෙසර් දක්වා ආකල්ප වලට අලගු තියන්නවත් ලංකාවට බැහැ.

    ඉන්දිකගේ ලිපිය අවශ්‍ය තැන්වලින් අවශ්‍ය කොටස් තෝරාගනිමින් ගොතාගතිපු "විමල් වීරවංශ" පන්නයේ ලාභ දේශපාලන කතාවක් මිසක් මහාචාර්යවරයෙකුට තරම්වෙන ලිපියක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. 1. පැහැදිලිවම. මෙහි තිබෙන ප්‍රශ්නය "විකිණීමේ" අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. "මිල දී ගැනීමේ" අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ දෙක දෙකක්.

      2. මෙය සයිටම් වෙනුවෙන් රජය සමඟ සිදුවන සාකච්ඡාවකදී සිදු කළ කරුණු දැක්වීමක් වැන්නක්නම් ඒකපාර්ශ්වික වුනාට කමක් නැහැ. ඔහුගේ නමින් තනතුර හා සුදුසුකම් රහිතව ලිපිය බෙදා හැරියානම් ඒත් විශාල ප්‍රශ්නයක් නැහැ. නමුත්, මෙය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ මහාචාර්ය වරයෙකු ලෙස තමන්ගේ තනතුර හා සුදුසුකම් පහළින් දමමින් ලියූ ලිපියක්. වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ලැබූ අය ලංකාවේ තවත් සිටිනවානම් ඒ අතේ ඇඟිලි ගාණට අඩු ප්‍රමාණයක් විය යුතුයි. ඇතැම් විට ලංකාවේ සිටින එවැනි එකම පුද්ගලයා ඉන්දික කරුණාතිලක විය හැකියි. එවැනි අය ලියන දේ හොයා බලන්නේ නැතුව පිළිගන්න සැලකිය යුතු පිරිසක් ඉන්නවා. ඔහු ලියා ඇති දේ අකුරක් නෑර විශ්වාස කළ අය අතර පශ්චාත් උපාධිධාරී වෛද්‍යවරුන් වන මගේ මිතුරන් සිටින නිසා මෙය ස්ථිරවම කිව හැකියි. තමන්ගේ විෂයට අදාළ, ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් හොයාගත හැකි දේ ඔහු නොදන්නවානම් එය ප්‍රශ්නයක්. දැනගෙන වසං කරනවානම් එයත් ප්‍රශ්නයක්.

      Delete
    2. "..එවැනි අය ලියන දේ හොයා බලන්නේ නැතුව පිළිගන්න සැලකිය යුතු පිරිසක් ඉන්නවා.." Two words! Kaalaama Sutra!!

      Delete
  8. /* ඕස්ට්‍රේලියාවේ ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණන තුනකි. */

    මා හිතන්නේ අප මුළින් ම කළ යුතු දෙයක් තමයි මේ පුද්ගලික කියන ලේබලය නිර්වචනය කර ගැනීම.

    මා දන්නා පරිදි පිරිවැය සම්මාදමක් (Higher Education Contribution Scheme) නොව පිරිවැය පියවා ගැනීම සඳහා සිසුන්ගෙන් ගාස්තු අය කරන වෛද්‍ය පීඨ ඇත්තේ ඕස්ටේ‍රලියානු විශ්වවිද්‍යාල දෙකක පමණයි.

    1. මූලික උපාධිය සඳහා (MBBS) අධ්‍යාපනය ලබා දෙන Bond විශ්වවිද්‍යාලය. මෙය ලාභ නොලබන ආයතනයකි.

    2. පශ්චාත් උපාධියක් සඳහා (MD) අධ්‍යාපනය ලබා දෙන Notre Dame විශ්වවිද්‍යාලය. මෙය කතෝලික පල්ලියට අයිති ආයතනයකි.

    තුන්වැන්නක් ගැන මා මෙතෙක් අසා නැත. බොහෝ විට මගේ විෂය පඨයෙන් පරිබාහිර කරුණක් නිසා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය හරහා ගොස් ලබා ගත හැකි වෛද්‍ය විද්‍යාල නාමාවලිය අනුව Fremantle හා සිඩ්නි (Darlinghurst) නගර වල Notre Dame සරසවියට අනුබද්ධ වෛද්‍ය පීඨ දෙකක් තිබේ.
      1. Australia Bond University Faculty of Health Sciences & Medicine, Gold Coast
      2. Australia University of Notre Dame Australia School of Medicine, Fremantle Fremantle
      3. Australia University of Notre Dame Australia School of Medicine, Sydney Darlinghurst

      Delete
  9. අන්න ජෝස්තර සෙට් එකට මේ ලිපිය කියෝලා හොඳටම පිස්සු තදවෙලා බූමිතෙල් ගාවගත්තු ගැරඬි වගේ දඟලනවා. හැබැයි එකෙක්වත් මෙතනට එන්නෙත් නැහැ. නලින් ද සිල්වා එක්ක හැප්පෙන්න යන්නෙත් නැහැ.(නලින්ගේ ජාතික චින්තනේ පැත්තකින් තිබ්බොත්). ජෝක්කු හිතන්නේ උන් ගොබ්බයො උනාට රටේ හැම මිනිහම ගොබ්බයෝ කියලද?

    ReplyDelete
  10. Just discovered your site and enjoyed reading your analysis. Can you please add a link for RSS feeds on your home page ? Similar to what can be found in Ajith Perakum's home page e.g. http://w3lanka.blogspot.com/feeds/posts/default.

    Thank you.

    ReplyDelete
    Replies
    1. I added something (top right) but not sure whether that's the right thing. I hope so.

      Delete
    2. Yes, it does work. Thank you very much for your quick action !

      Delete
  11. පටපණුවා ඌ විසින් ඌ වටා හදාගතිපු කෝෂය ඇතුලට වෙලා ඉන්නවා වගේ ලංකාවේ දොස්තරලා ජීවත්වෙන්නේ ඔවුන් විවින් රෝහල් ඇතුලේ ඔවුන් වටා මවාගතිපු කුඩා මනෝරාජික ලෝකයක. ඒ ලෝකය ඇතුලේ නිරපේක්ෂ සත්‍ය වෙන්නේ දොස්තරලා කියන ඒවා පමණයි. හැබැයි ඒවා ඉන් පිටත ලෝකයේ දී ඒ කතා නිකම්ම පල් හෑලි පමණයි.

    ඒ නිසා මේ ලිපිය ඔහේ ගොතා ලියනවා හැරෙන්නට එය කරගන්නට මේ දොස්තරට හැකියාවක් නෑ. ගොඩක් දොස්තරලා ඔහේ ලියල දානවා මිසක් ලියපුවා අභියෝගයට ලක්කරනකොට ඇඹරෙනවා ඇරෙන්නට පිළිතුරු දෙන්නේ නෑ. රුවන් හැරෙන්නට වෙන දොස්තරලා හැමෝම වගේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. "...රුවන් හැරෙන්නට වෙන දොස්තරලා හැමෝම වගේ එහෙමයි..."

      සභාවේ තදින් සිනා!!!!!

      Delete
    2. සභාවේ කියන්නේ ඔය ආණ්ඩුවේ ඉස්පිරිතාල පොල්කට්ට ඇතුලේ ඉන්න (අං ආපු) වියත් සභාවේ නේද ? ඔයාලට කොහෙද අනේ ඊට වැඩිය පුළුල් සභා. ඒ ඉස්පිරිතාල පොල්කටු සභාවෙන් එලියට ගියාම අනිත් මිනිස්සු ඔයාලට තදින් නෙවෙයි පසුපසින් හිනා වෙන්නේ.

      Delete
  12. (1) ඇමරිකාවේ 'For Profit' තෘතීයක අධ්‍යපනය ආයතන කොපමණ තිබනවාද?

    (2) ඒ මොනවාද?

    ReplyDelete
    Replies
    1. https://en.wikipedia.org/wiki/List_of_for-profit_universities_and_colleges

      Delete
  13. මට පොඩි දෙයක් දැන ගන්න උවමනාවක් තියනවා. පහුගිය දවස් වල Full blood count පරීක්ශණයක මිල රුපියල් දෙසිය පණහක් කලා කිවුවා. ඒත් ඊයෙ මගෙන් 460.00ක් ගත්තා. ඇහුවම කිවුවෙ ඒක ප්ලේට්ලට් බලන්න විතරයි ඒ 250.00 කියලා.කොහෙටද මම මේක කම්ප්ලේන් කරන්න ඕන. ඒ එක්කම මට දැන ගන්න ඕන ප්‍රයිවට් චැනල් සර්විස් වලදි වෙන අසාධාරණ කාටද කියන්න ඕන.

    මාතෘකාවට අදාළ නොවන දෙයක් ඇහුවට සමාවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේනම් විවිධ ක්ෂේත්‍ර හා අදාළ මෙවැනි ආයතන ගණනාවක් තිබෙනවා වගේම පැමිණිලි සම්බන්ධව ක්ෂණිකව ක්‍රියාත්මක වන බව මම අත්දැකීමෙන්ම දන්නවා. ලංකාව ගැන මගේ දැනීම යාවත්කාලීන වී නැහැ. ඒ නිසා, වඩා නිවැරදි තොරතුරක් දන්නා කවුරු හෝ අයෙක් ඉන්නවනම් මෙහි ප්‍රතිචාරයක් දමන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මම දන්නා තරමින් ඔබට පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කළ හැකියි. එහි අදාළ පිටුවට ලින්ක් එකක් පහත තිබෙනවා.

      http://www.caa.gov.lk/web/index.php?option=com_contactmap&view=contactmaps&id=2&Itemid=697

      Delete
    2. දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහොම ස්තුතියි.

      Delete
  14. හැබැයි කොහොම උනත් මේ ඔරිජිනල් ආටිකල් එක ලිව්ව වෛද්‍ය මහාචාර්ය තුමා ලංකාවේ වයිද්‍ය අද්යාපනේ තරම බොහොම හොඳට පෙන්නලා තිබෙනවා.
    එතුමාට නොබෙල් තෑග්ග දෙන්ට වටිනවා අතනින් මෙතනිං දත්ත අරගෙන තමන්ගේ මතය ඔප්පුකරන්ට යාම පිළිබඳව.
    බලාගෙන යනකොට අට පාස් විමල් තුමාගෙයි MBBS, MMedEd පාස්කරපු වෛද්‍ය මහාචාර්ය තුමාගෙයි ලොකු වෙනසක් නං පෙනෙන්ට නැහැ වගේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.