Saturday, July 8, 2017

බැටරි කේජ් කුකුළන් හා සයිටම්


මේ හදන්නේ පොල් මැල්ලුම් ශානරයේ කතාවක් ලියන්නට නොවේ. එහෙත්, බැලූ බැල්මටම සමානත්වයක් නොපෙනෙන ඇතැම් දේවල් අතර සැලකිය යුතු සමානකම් තිබේ.

සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ධජය යටතේ වෛද්‍යවරුන් පෙළ ගැසී සිටින අතර සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ධජය යටතේ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ බැටරි කේජ් ක්‍රමයට එරෙහිව වීදි බැස සිටිති.

සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයකි. මහා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් විසින් බැටරි කේජ් ක්‍රමය පටන් ගත් විට ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් වඩා අඩු මිලකට, තත්ත්වයෙන් ඉහළ බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ. එසේ වූ විට සම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරන සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන්ගේ ලාබ අඩු වී ඔවුන්ට කර්මාන්තය පවත්වා ගැනීම අසීරු වන්නට ඉඩ තිබේ. ඒ නිසා, ඔවුන්ගේ බිය හා ඒ හා බැඳුනු විරෝධය පදනම් විරහිත එකක් නොවේ.

කෙසේ වුවද, බැටරි කේජ් ක්‍රමය හරහා තත්ත්වයෙන් ඉහළ බිත්තර අඩු මිලකට මිල දී ගන්නට ලැබීම පාරිභෝගිකයින්ට ලැබෙන වාසියකි.

ලංකාවේ බිත්තර නිෂ්පාදන කර්මාන්තය විශාල නිෂ්පාදකයින් පිරිසක් හා අති විශාල පාරිභෝගිකයින් පිරිසක් සිටින කර්මාන්තයකි. රටේ ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම මොහොතක බිත්තර පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට බාධාවක් නැත. (සෞඛ්‍යමය හේතු නිසා ඔබේ සහකරු හෝ සහකාරිය විසින් ඔබේ පිඟානට එන බිත්තර ගණන සීමා කිරීම වැනි දේ අපි අමතක කරමු.) බිත්තරයක ගුණාත්මක භාවය හඳුනාගැනීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට කරන්නට අසීරු කටයුත්තක්ද නොවේ. සෑම කිකිළි බිත්තරයක්ම සමාන නොවූවත් බිත්තර අතර වෙනස්කම් එතරම් විශාලද නැත.

අළුත් නිෂ්පාදකයෙකු ලෙස කුකුළු ගොවිපොළ කර්මාන්තයට එකතු වීම එතරම්ම අපහසු කරුණක් නොවේ. ඒ සඳහා අවශ්‍ය වන මූලික ප්‍රාග්ධනය මෙන්ම නිෂ්පාදනය ආරම්භ කිරීමට ගතවන කාලයද එතරම් විශාල නැත. දන්නා තරමින් මේ කර්මාන්තය රජයේ නියාමනයට යටත් නොවේ. සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය කාටලයක් ලෙස ක්‍රියා කරමින් අළුත් නිෂ්පාදකයින් කර්මාන්තයට එකතු වීම වලක්වන්නට උත්සාහ කරන්නේද නැත. එමෙන්ම, කර්මාන්තයේ නිරත වන අයෙකුට එයින් ඉවත් වීමද ඉතා පහසු කටයුත්තකි.

ඉහත ලක්ෂණ නිසා ලංකාවේ කුකුළු ගොවිපොළ කර්මාන්තය තරඟකාරී කර්මාන්තයකි. එහි සුපිරි ලාබ නැත. ඇත්තේ තමන්ගේ ශ්‍රමයට හා ගන්නා අවදානමට ලැබෙන සාමාන්‍ය ලාබ පමණි. ඒ නිසා, කර්මාන්තය තුළ දිගටම රැඳී සිටිය හැක්කේ වඩා කාර්යක්ෂම පුද්ගලයන්ට පමණි. කිසියම් නිෂ්පාදකයෙකුට තමන්ගේ ලාබ වැඩි කරගත හැකි එකම ක්‍රමය අනෙක් ගොවියන්ට වඩා කාර්යක්ෂම වීමයි. බැටරි කේජ් ක්‍රමයට මාරු වීමට ඇතැම් ගොවීන් උත්සාහ දැරීම තුළ පෙනෙන්නේද මෙසේ සිය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩි කරගැනීමට ඇතැම් කුකුළු ගොවීන් විසින් දරන උත්සාහයයි.

තරඟකාරී කර්මාන්තයක යෙදී සිටින නිෂ්පාදකයින්ට සිය ලාබ වැඩි කරගැනීමට ඇති එකම මාර්ගය කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමයි. ඒ නිසා එවැනි කර්මාන්තයක් හැම විටම කාර්යක්ෂමතාවය සොයා යයි. මෙය ස්වභාවිකවම සිදුවන්නකි. එය සැලසුම්කරන්නට දේශපාලනඥයින් හෝ නිලධාරීන් අවශ්‍ය නැත. කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩිවීම වැඩි වශයෙන්ම පාරිභෝගිකයින්ටත්, එසේ කාර්යක්ෂමතාවය වැඩිකරගත් නිෂ්පාදකයින්ටත්, පොදුවේ රටටත් වාසිදායක වුවත්, කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයින්ට අවාසිදායකය.

රටේ එක් කණ්ඩායමකට (පාරිභෝගිකයන්ට) වාසියක් වෙද්දී තවත් කණ්ඩායමකට (කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට අසමත් වුනු නිෂ්පාදකයන්ට) අවාසියක් සිදුවීම විමසිය යුතු, ආර්ථික විද්‍යාඥයෙකුගේ විෂය පථයට අයත් කාර්යයකි. මෙවැනි තත්වයක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විග්‍රහ කරන සාමාන්‍ය ක්‍රමය වන්නේ සමානාත්මතාවය මත පදනම්ව, පාරිභෝගිකයින් මෙන්ම නිෂ්පාදකයින්ද සුවිශේෂී පුද්ගලයින් නොවන සාමාන්‍ය පුද්ගලයින් ලෙස සලකමින් කරුණු විමසීමයි. තරඟකාරී වෙළදපොලක් ඇති විට ඕනෑම පුද්ගලයෙකුට නිෂ්පාදකයෙක් හෝ පාරිභෝගිකයෙක් වීමට හෝ නොවීමට කිසිදු බාධාවක් නැති නිසා මේ කණ්ඩායම් දෙකේ ඉන්නා පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස් පුද්ගලයෝ නොවෙති.

බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන පාරිභෝගිකයෙකුට හැම විටම ලාබයක් හිමි වේ. මෙය ඔහුගේ හෝ ඇයගේ පාරිභෝගික අතිරික්තයයි. මේ පාරිභෝගික අතිරික්තය යනු අදාළ පාරිභෝගිකයාට සාපේක්ෂව කිසියම් භාණ්ඩයක වටිනාකම හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. තමන්ට සාපේක්ෂ වටිනාකම වෙළඳපොල මිලට වඩා අඩුනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් පාරිභෝගික අතිරික්තය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

මේ අයුරින්ම බලපෑමකින් තොරව නිදහස් ගනුදෙනුවක යෙදෙන නිෂ්පාදකයෙකුටද හැම විටම ලාබයක් හිමි වේ. මෙය  අදාළ නිෂ්පාදකයාගේ පිරිවැය හා එහි වෙළදපොල මිල අතර වෙනසයි. නිෂ්පාදකයෙකුගේ පිරිවැය වෙළඳපොල මිලට වඩා වැඩිනම් නිදහස් වෙළඳපොලක ගනුදෙනුවක් සිදුවන්නේ නැත. වෙළඳපොළ මිල සියල්ලන්ටම පොදු වුවත් නිෂ්පාදකයින් සියල්ලන්ගේම පිරිවැය සමාන නැත. වඩා කාර්යක්ෂම නිෂ්පාදකයෙකුට පිරිවැය අඩු කරගැනීම මඟින් වැඩි ලාබයක් ලබන්නට පුළුවන. ඒ නිසා නිෂ්පාදකයෙකු ලබන ලාබය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

නිදහස් වෙළදපොලක් හැම විටම වඩා කාර්යක්ෂම නිෂ්පාදකයින්ට වැඩි වාසි සලසන අතරම භාණ්ඩයක් හෝ සේවාවක් වැඩියෙන්ම අගය කරන අයට ඒවා හිමි කර දෙයි. ඒ හැරුණු විට නිදහස් වෙළදපොලක් (සාමාන්‍යයෙන්) පාරිභෝගිකයෙකුගේ හෝ නිෂ්පාදකයෙකුගේ ජාතිය, ආගම, වයස, ලිංගිකත්වය හෝ දේශපාලන නැඹුරුව නොතකයි.

බැටරි කේජ් භාවිතයට පැමිණීමෙන් ඒවා භාවිතා නොකරන සුළු පරිමාණ නිෂ්පාදකයින්ට වෙළඳපොලෙන් ඉවත් වන්නට සිදුවිය හැකිය. මෙවැනි කරුණක් ආර්ථික විද්‍යාඥයෙකු විසින් විමසන්නේ ඒ හේතුවෙන් සමාජ අතිරික්තය වෙනස් වන ආකාරය දෙස බලමිනි. සමාජ අතිරික්තය යනු රටක (කිසියම් කර්මාන්තයක් තුළ) සියලුම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයන්ගේත්, සියලුම නිෂ්පාදකයින් විසින් ලබන ලාභයන්ගේත් එකතුවයි. මෙය වැඩි කරන ඕනෑම ක්‍රියාමාර්ගයක් හොඳ සමාජ සැකැස්මක් ලෙස සැලකෙන අතර වාසි හිමිවන්නේ කවර පුද්ගලයින්ටද යන්න සාමාන්‍යයෙන් සැලකිල්ලට නොගැනේ.

ස්වභාවික හෝ කෘතීම බාධා නැති නිදහස් වෙළඳපොලක සමාජ අතිරික්තය කිසියම් වෙළඳපොලකින් ලබාගත හැකි උපරිම සමාජ අතිරික්තයයි. වෙළඳපොල වෙත මැදිහත් වන සෑම විටකම මේ සමාජ අතිරික්තය කිසියම් ප්‍රමානයකින් පහළ යයි. බදු, සහනාධාර, මිල පාලන, නිෂ්පාදන සීමා ආදී සියල්ලෙන්ම සිදුවන්නේ සමාජ අතිරික්තය පහළ යාමයි. එසේනම්, රජයයන් එවැනි මැදිහත්වීම් කරා යොමුවන්නේ ඇයි?

කිසියම් අවස්ථාවක රටක නිෂ්පාදකයින් හා පාරිභෝගිකයන් සියලු දෙනාම සමාන නොවන බව ඒ රටේ ජනතාව විසින් තීරණය කරන්නට ඉඩ තිබේ. ඒ අනුව, සෝමපාලට රුපියල් සීයක පාඩුවක් වූවත් සිරියලතාට අඩු වශයෙන් රුපියල් පණහක වාසියක් සිදු වේනම් එය සමාජයට සමස්තයක් ලෙස සිදුවන යහපතක් බව වැඩි දෙනෙකු විසින් සිතන අවස්ථා තිබෙන්නට පුළුවන. මේ ආකාරයේ සම්පත් බෙදීමකට නිදහස් වෙළඳපොලක ඉඩ නැති නිසා කිසියම් මැදිහත් වීමක් අවශ්‍ය වේ. සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ රුපියල් පණහක වාසිය වෙනුවෙන් වෙනත් අයගේ රුපියල් සීයක වාසි නැති වීම ප්‍රශ්නයක් නොවේයැයි සමස්ත සමාජයම සිතනවානම්, එය රජයට නිදහස් වෙළඳපොල යාන්ත්‍රණය වෙත මැදිහත් වීමට හේතුවක් සපයයි.

සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ගේ ඉල්ලීම තමන්ට රුපියල් පණහක වාසියක් ලබා ගැනීම සඳහා වෙනත් අයට රුපියල් සීයක පාඩුවක් කරමින් මැදිහත්වීමක් කරන මෙන් රජයෙන් කරන ඉල්ලීමකි. එවැනි මැදිහත්වීමක් ඉතා පැහැදිලිවම අකාර්යක්ෂම ඉල්ලීමකි. එහෙත්, ඇතැම් විට ඒ ඉල්ලීම සාධාරණ ඉල්ලීමක් විය හැකිය. සාධාරණත්වය යනු කාර්යක්ෂමතාවය මෙන් නිශ්චිත අදහසක් නොව සාපේක්ෂ දේශපාලනික අදහසකි.

පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ බිත්තර සැපයීමේ වෙළඳපොළට හැම අතින්ම සමාන නැත. මේ වෙළඳපොළවල් දෙක අතර මූලික වෙනස්කම් ගණනාවක්ම තිබේ. එහෙත්, ඇතැම් මූලික කරුණු වලින් මේ වෙළඳපොළවල් දෙක සමාන වන තැන්ද තිබේ.

බිත්තර වෙළඳපොළේ මෙන්ම වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේද විශාල පාරිභෝගික පිරිසක් සිටිති. ඒ නිසා, එක් තනි පාරිභෝගිකයෙකුට වෙළඳපොළට බලපෑමක් කළ නොහැකිය. තමන්ට බිත්තර අවශ්‍ය වන මොහොත හා අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගැන අදහසක් පාරිභෝගිකයෙකුට තිබේ. එහෙත්, තමන්ට වෛද්‍ය සේවා අවශ්‍ය වන මොහොත හා ප්‍රමාණය ගැන පාරිභෝගිකයෙකුට විශාල අවිනිශ්චිතාවක් තිබේ. ඒ නිසා, වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට බිත්තර මිල දී ගන්නා පාරිභෝගිකයින්ට තරම්වත් හෙට්ටු කිරීමේ හැකියාවක් නැත.

බිත්තරයක ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම අපහසු දෙයක් නොවේ. එහෙත්, වෛද්‍ය සේවාවක ගුණාත්මක භාවය පිරීක්සීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. මෙය තරඟකාරී තත්ත්වයන් යටතේ වුවත්, වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළේ නිෂ්පාදකයින් හා පාරිභෝගිකයින් අතර සැලකිය යුතු පරතරයක් ඇති කරයි.

වෛද්‍ය සේවා සපයන නිෂ්පාදකයෙකු වීම බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා, අඩු වශයෙන් අවුරුදු හයක් පමණවත් ගත වේ. සෛද්ධාන්තිකව "ඕනෑම අයෙකුට" වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු හෙවත් වෛද්‍ය වරයෙකු වන්නට පුළුවන. නමුත්, ප්‍රායෝගිකව මෙය සියල්ලන්ටම කළ නොහැකි දෙයකි.

සාපේක්ෂව අදක්ෂ හෝ කැපවීම අඩු වෛද්‍ය සිසුවෙකුට සිය උපාධිය ලබා වෛද්‍ය උපාධිය ලබා ගැනීමට වසර හයකට වඩා වැඩි කාලයක්, ඇතැම් විට වසර හත අටක්, ගත වන්නට ඉඩ තිබේ. එවැනි කාලයක් ගත කිරීමෙන් පසුවද සිය ඉලක්කය වෙත යාගන්නට නොහැකි වන අය සිටිති. වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය නොවෙනස්ව තිබියදී, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇති අවස්ථා පුළුල් වන තරමට වෛද්‍ය උපාධියක් වසර හයකින් සම්පූර්ණ කිරීමට අසමත් සිසුන් මෙන්ම එය කිසිදා අවසන් කළ නොහැකි අයද වෛද්‍ය අධ්‍යාපනය වෙත පිවිසීමට ඇති ඉඩකඩ ඉහළ යයි.

අවශ්‍ය පුහුණුව ලබා වෛද්‍යවරයෙකු වීම අසීරු කටයුත්තකි. වෙනස්කම් තිබුණත්, මෙය සෑම රටකටම පොදු තත්ත්වයකි. බිත්තර නිෂ්පාදකයෙකු වන තරම් පහසුවෙන් වෛද්‍යවරයෙකු වීමට ඉඩ සලසන ලාභ සඳහා වන හෝ නොවන, රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ කොහේවත් නැත. මේ නිසා, බොහෝ විට වෛද්‍යවරයෙකු වීම සඳහා යොමු වන්නේ වෛද්‍ය උපාධියක් සම්පූර්ණ කිරීමේ හැකියාවක් ඇති අයයි. මේ අය සමාජයේ සිටින අහඹු පිරිසක් නොවේ.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා යොමුවන බොහෝ දෙනෙකු වෙනත් දක්ෂතාද ඇති අයයි. මෙවැන්නෙකුට ඒ අවස්ථාව අහිමි වුවහොත් බිත්තර නිෂ්පාදකයෙකු වෙන්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩකි. යම් හෙයකින් බිත්තර නිෂ්පාදකයෙකු වුවද එවැන්නකු බොහෝ විට ඒ කාර්යය දක්ෂ ලෙස කරමින් සැලකිය යුතු මුදලක් උපයන්නට ඉඩ තිබේ. වෛද්‍ය සිසුවකු වෛද්‍ය අධ්‍යාපනය කරා යොමු වන්නේ මෙසේ වෙනත් කටයුත්තක නිරත වී මුදල් උපයන්නට ඇති අවස්ථාව ඉවත හෙළමිනි.

රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන සිසුවෙකු "නොමිලේ" අධ්‍යාපනය ලබන්නේ නැත. එවැන්නෙකු විසින් වෛද්‍ය පීඨයට ටියුෂන් ගාස්තු ගෙවිය යුතු නොවූවත්, පොත්පත්, ඇඳුම් පැළඳුම්, නේවාසික ගාස්තු හා ප්‍රවාහන ගාස්තු ආදිය වෙනුවෙන් තවත් සැලකිය යුතු මුදලක් වැය කළ යුතුය. ඊට අමතරව වෙනත් රැකියාවක් කරමින් ඉපැයිය හැකි මුදලද ඔවුහු අමතක කර දමති. මේ සියල්ල එකතු කළ විට රජයේ වෛද්‍ය පීඨයක ඉගෙනුම ලබන්නෙකුද අවසානයේදී වෛද්‍යවරයෙකු වන්නේ විශාල වියදමක් දරමිනි.

කිසියම් අයෙකු වෛද්‍යවරයෙකු වීම සඳහා විශාල පිරිවැයක් දරන්නේ අවසාන වශයෙන් ලැබෙන ප්‍රතිලාභ වලින් ඒ පිරිවැය පහසුවෙන් ආවරණය වන නිසාය.

වෛද්‍යවරයෙකු වීම සඳහා දැරිය යුතු ආවස්ථික පිරිවැය සැලකූ විට රජයේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස ලැබෙන ප්‍රතිලාභ එතරම්ම විශාල නැත. එවැනි, ප්‍රතිලාභ ලැබිය හැකි විකල්ප වෘත්තීන් ගණනාවක් තිබේ. වෛද්‍යවරයෙකු වීම ආකර්ශනීය වන්නේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල නිසාය.

ලංකාවේ පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල සැලකිය යුතු තරම් තරඟකාරී එකකි. එහි නිරතවන සියලුම වෛද්‍යවරුන්ට එකම මට්ටමින් ලාබ ලැබෙන්නේ නැත. වඩා කාර්යක්ෂම ලෙස සේවා සපයන වෛද්‍යවරුන්ට වැඩි ඉල්ලුමක් හා ඒ හේතුවෙන් වැඩි ලාබ හිමිවේ. මේ වෙළඳපොළේදී වෛද්‍යවරයෙකුගේ කාර්යක්ෂමතාවය තීරණය වන්නේ ඔහු හෝ ඇයගේ උසස්පෙළ ප්‍රතිඵල හෝ වෛද්‍ය උපාධියේ පන්ති සාමාර්ථය අනුව නොවේ. එය පාරිභෝගිකයින් හෙවත් රෝගීන් විසින් තීරණය කරන්නකි. කාර්යක්ෂම ලෙස රෝග විනිශ්චය කළ හැකි හා ප්‍රතිකාර කළ හැකි වෛද්‍යවරුන් හඳුනාගැනීමේ හැකියාවක් පාරිභෝගිකයන්ට තිබේ. මේ හැකියාව සර්ව සම්පූර්ණ එකක් නොවීම වෙනම කරුණකි.

පෞද්ගලික වෛද්‍යසේවා සැපයීමේ වෙළඳපොල තුළ තමන්ට අනාගතයේ හිමි වන ස්ථානය වෛද්‍ය සිසුවෙකුට පෙර නිගමනය කළ නොහැකි දෙයකි. කෙසේ වුවද, අකාර්යක්ෂම වෛද්‍යවරයෙකු වුවත්, අකාර්යක්ෂම බිත්තර නිෂ්පාදකයෙකු මෙන් ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොලෙන් එළියට විසිවන්නේ නැත. එවැන්නන්ටද යම් පාරිභෝගික ඉල්ලුමක් තිබේ. එයට හේතුව ලංකාවේ වෛද්‍ය සේවා නිෂ්පාදකයින් ප්‍රමාණය කෘතීම ලෙස සීමා කර තිබීමයි. ලංකාවේ වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නොවේ. ඒ නිසා, කාර්යක්ෂම වෛද්‍යවරුන් වැඩි ලාභ ලබද්දී අකාර්යක්ෂම වෛද්‍යවරයෙකුට වුවද එහි කිසියම් ලාබයක් ලබන්නට ඉඩක් තිබේ.

සයිටම් ආයතනයෙන් උපාධිය අපේක්ෂා කරන වෛද්‍ය ශිෂ්‍යයෙකු රජයේ වෛද්‍ය විද්‍යාලයක සිසුන් වැය කරන සමස්ත පිරිවැය එලෙසම දැරිය යුතු අතර එයට අමතරව ටියුෂන් ගාස්තුද ගෙවිය යුතුය. මේ අමතර මුදල රුපියල් ලක්ෂ 90ක් ලෙස සඳහන්ව තිබේ. (රුපියල් ලක්ෂ 120 වැනි වෙනත් ගණන්ද සඳහන්ව ඇති අතර ගණන වෙනස් වීම කියන කරුණට බාධාවක් නොවේ.)

රුපියල් ලක්ෂ 90ක් (හෝ රුපියල් ලක්ෂ 120ක්) යනු විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ආයෝජනය කර මුදල් ඉපැයිය හැකි විකල්ප අවස්ථා රැසක්ම තිබේ. එසේ තිබියදී, කිසියම් අයෙකු සයිටම් වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වී අවදානමක් ගන්නේ පළමුව තමන්ට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ තුළ සාර්ථක විය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. තෙවනුව, එසේ ලැබේයයි සිතන අනාගත වාසි මේ ආයෝජනයට වඩා විශාලයැයි සිතන බැවිනි.

සයිටම් වැනි අලුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ලබාගන්නා අයෙකු රැකියා වෙළඳපොළේ මුහුණ දෙන අභියෝගය රජයේ වෛද්‍ය පීඨයකින් මුහුණ දෙන අයෙකු මුහුණ දෙන අභියෝගයට වඩා වැඩිය. එවැනි අයෙකුට රුපියල් ලක්ෂ 90ක හෝ 120ක ආයෝජනයක් යාන්තමින් පියවා ගත හැකිනම්, එයින් අදහස් වන්නේ රජයේ වෛද්‍ය විද්‍යාලයකින් පිටවන වෛද්‍යවරයෙකුට *අඩුම වශයෙන්* එපමණක සුපිරි ලාභ ඇති බවයි. සුපිරි ලාභ කියන්නේ යමෙකු සිදුකරන ආයෝජනයට, ගන්නා අවදානමට හා වැය කරන ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභ වලට අමතරව, වෙළඳපොළ විකෘතියක් නිසා ලැබෙන දෙයකි. සයිටම් සිසුන්ටද කිසියම් සුපිරි ලාබයක් ලැබෙන්නට ඉඩ ඇති නිසා මේ මුදල මීට වඩා වැඩි විය යුතුය.

ඇතැම් අය කියනවාක් මෙන් සයිටම් වැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාටද" සුපිරි ලාභ තිබෙනවා වන්නට පුළුවන. එසේනම්, ඒ සඳහා ඉඩ සලසා ඇත්තේද පවතින වෙළඳපොළ විකෘතිය විසිනි.

සයිටම් හා තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වෙනවානම් වෛද්‍ය සැපයුම ඉහළ ගොස් වෛද්‍ය සේවා වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇත. රාජ්‍ය සරසවි වල වෛද්‍ය පීඨ වලට ඇතුළු කර ගන්නා ප්‍රමාණය අවශ්‍ය තරමට වැඩි වුවද එවැන්නක් සිදුවිය හැකිය. එවිට වෛද්‍යවරුන්ගේ සුපිරි ලාභ නැතිව යන අතර ආන්තික වෛද්‍යවරයෙකුට හිමි වන්නේ ඔවුන් සිදුකරන ආයෝජනය හා ගන්නා අවදානම වෙනුවෙන් ලැබිය යුතු නිසි ලාබය පමණි. මේ ආන්තික වෛද්‍යවරයා වන්නේ සයිටම් වලින් බිහිවෙන වෛද්‍යවරයෙකි. එසේ නැත්නම් ඊට වඩා මිලක් ගෙවා වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් බිහිවන වෛද්‍ය වරයෙකි. අඩු පිරිවැයක් දරා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන අයෙකු ආන්තික වෛද්‍ය සේවා නිෂ්පාදකයෙකු වන්නේ නැත.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ මුදල් අයකරන රජයේ වෛද්‍ය විද්‍යාල තිබීම හේතුවෙන් දිගුකාලීනව ලෝකයේ කිසිදු රටක වෛද්‍යවරුන් ඕනෑවට වඩා වැඩි වී නැත. යම් හෙයකින් එසේ වුවහොත්, මුලින්ම සිදුවන්නේ සයිටම් වැනි පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ඇති ඉල්ලුම අඩු වීමයි. රුපියල් ලක්ෂ 90 (හෝ 120) පහසුවෙන් පියවාගත හැකි වාතාවරණයක් නැත්නම් කිසිවකු සයිටම් යන්නට උනන්දු වන්නේ නැත. එවැනි විටෙක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වාගෙන යන "මුදලාලිලාට" තමන්ගේ ආයෝජනය හා අවදානම යාන්තමින් ආවරණය වන මට්ටමට ටියුෂන් ගාස්තු පහළ හෙළන්නට සිදුවේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් කෙතරම් වෛද්‍යවරුන් බිහිවුණත්, රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවෙන වෛද්‍යවරයෙකුට තමන්ගේ ආයෝජනය හා අවදානම වෙනුවෙන් ලැබෙන මුදලට අමතරව තවත් ලක්ෂ 90ක (හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් අයකරන අවම ගාස්තුවට සමාන) සුපිරි ලාභද ඉතිරි වේ.

රටේ වෛද්‍යවරුන් සංඛ්‍යාව අවශ්‍ය ප්‍රමාණයට වැඩි වූ විට එහි වාසිය ලබන ප්‍රධානම පාර්ශ්වකරුවන් වන්නේ පාරිභෝගිකයින් වන රෝගීන්ය. ඔවුන්ට අඩු මිලකට ගුණාත්මක භාවයෙන් වැඩි සේවාවක් හිමිවේ.

සයිටම් වෛද්‍යවරුන් නිසා රජයේ වෛද්‍ය පීඨයක වෛද්‍යවරයෙකුට රස්සාව නැති වෙන්නට ඉඩක් ඇති එකම ආකාරය රජයේ වෛද්‍ය පීඨ වලින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සයිටම් වලට වඩා විශාල ලෙස පහත වැටීම පමණි. එසේ වූ විට වඩා හොඳ හා වැඩි මිල වෛද්‍ය අධ්‍යාපනය සයිටම් වලින් හා අඩු ගුණාත්මක භාවයක් ඇති, අඩු මිල වෛද්‍ය අධ්‍යාපනය රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ලෙස සමතුලිතතාවයක් ඇති විය හැකිය. රජයේ වෛද්‍ය විද්‍යාල වල ගුණාත්මකභාවය විශාල ලෙස අඩුනම් පමණක් තරඟය වැඩි වීම රජයේ වෛද්‍ය පීඨයකින් පිටවන වෛද්‍යවරයෙකුට ප්‍රශ්නයක් විය හැකිය.

මෙහි විලෝමය සිදු වන්නට කිසිදු ඉඩක් නැත. සයිටම්හි ගුණාත්මක භාවය රජයේ වෛද්‍ය පීඨ වලට වඩා අඩුනම්, සමානනම් පමණක් නොව යාන්තමින් වැඩි වුවද තරඟකාරිත්වය වැඩි වන විට මුලින් වෙළඳපොලෙන් ඉවත් වන්නේ සයිටම් වෛද්‍යවරුන් මිස රජයේ වෛද්‍යවරුන් නොවේ.

ඉතා පැහැදිලි ලෙසම සයිටම් නිසා සමාජ අතිරික්තය ඉහළ යයි. සයිටම් වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවය තරමක් අඩු වුවද, මෙහි වෙනසක් නැත. පිරිසුදු බිත්තර කුකුළු බෙටි ගෑවුණු බිත්තර වලට වඩා හොඳ වුවත්, බඩේ අමාරු හැදෙන තරමට නරක නැත්නම් බිත්තර කොහෙත්ම නැතුවාට වඩා කුකුළු බෙටි ගෑවුණු බිත්තර හෝ තිබීම හොඳය. නියාමනය අවශ්‍ය වන්නේ බඩේ අමාරු හැදෙන තරමටම නරක බිත්තර වෙළඳපොළට පැමිණීම වැළැක්වීමට පමණි.

සයිටම් ආයතනය රජයට පවරා ගන්නා ලෙස වෛද්‍ය සංගමය කරන ඉල්ලීමද තමන්ගේ රුපියල් පණහේ වාසිය වෙනුවෙන් වෙනත් අයෙකුට රුපියල් සීයක අවාසියක් සිදු කරන මෙන් කරන ඉල්ලීමකි. මෙය අකාර්යක්ෂමතාවයට හේතු වනවා පමණක් නොව අඩු වශයෙන් මට පෙනෙන පරිදි අසාධාරණ ඉල්ලීමක්ද වෙයි. ඒ, වෛද්‍යවරුන්ට සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට නැති සුපිරි ලාභ ඇති බැවිනි.

කිසියම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක වාසිය සුළු පිරිසකට පමණක් වූ විට එවැනි ඉල්ලීමක් පොදු සමාජයට අලෙවි කිරීම පහසු නැත. එවිට, එවැනි සීමිත පිරිසකගේ ප්‍රශ්නයක් කිසියම් අයුරකින් වැඩි පිරිසකගේ ප්‍රශ්නයක් සමඟ ගැට ගසන්නට සිදු වේ. සුළු පරිමාණ කුකුළු ගොවියන් විසින් තමන්ගේ ප්‍රශ්නය "කුකුළන්ගේ මානව හිමිකම්" සමඟ ගැට ගසන්නේ ඒ නිසාය. වෛද්‍යවරුද මේ අයුරින්ම ඔවුන්ගේ ප්‍රශ්නය "වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය" හා "නිදහස් අධ්‍යාපනය නැති වීම" වැනි පොදු සමාජය සංවේදී වන වෙනත් මාතෘකා සමඟ ගැට ගැසීමට උත්සාහ කරති.

කෙසේ වුවද, මේ අර්බුද දෙක හරහාම කරළියට එන තවත් මූලික ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රාග්ධනය පිළිබඳ ප්‍රශ්නයයි.

සුළු පරිමාණ කුකුළු ගොවීන්ට බැටරි කේජ් මිලදී ගෙන සිය කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය වුවත් ප්‍රාග්ධනය නොමැති වීම නිසා ඔවුන්ට එය කළ නොහැක. ඒ නිසා, බැටරි කේජ් ගන්නට ප්‍රාග්ධනය ඇති අයද එසේ කිරීම වලක්වන්නට ඔවුහු උත්සාහ කරති.

රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන, එහෙත් වෛද්‍ය විද්‍යා උපාධියක් හැදෑරීමට ශක්‍යතාවයක් හා ආශාවක් ඇති බොහෝ දෙනෙකුට සයිටම් හරහා සිය ඉලක්කය කරා ළඟා වීමට හැකියාවක් නැත. ඒ, ඒ සඳහා අවශ්‍ය වන රුපියල් ලක්ෂ 90 ක හෝ 120ක මුදල ලංකාවේ විශාල පිරිසකට සිහිනයක් බැවිනි. ඔවුන්ගේ විරෝධය නිතැතින්ම සයිටම් වෙත යොමු වේ.

රටක සියලු දෙනා අතර ප්‍රාග්ධනය එක සේ බෙදී යාම ස්වභාවික දෙයක් නොවන අතර එසේ නොවීම අසාධාරණ දෙයක්ද නොවේ. එහෙත්, රටක සියලු දෙනාටම ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වන්නට අවස්ථා නොතිබීමේ අසාධාරණත්වයක් තිබේ.

ලංකාවේ බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට සාධාරණ තබා ඇතැම් විට කිසිදු අවස්ථාවක් නැත. මේ ලිපියේ වැඩිදුර විස්තර කරන්නට නොයන නමුත් ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇති විශාල ඉල්ලුමටද මෙය එක් හේතුවකි. තරුණයින් බොහෝ දෙනෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට හැකි ප්‍රධාන ආකාරය සිය දෙමවුපියන්ගේ සංචිතයි. මේ ලොතරැයිය ඇදෙන්නේ කලාතුරකින් අයෙකුට පමණි. අති මහත් බහුතරයට එවැනි ප්‍රවේශ මාර්ග නැත.

ඉහත තත්ත්වයට හේතුවද නිදහස් වෙළදපොල විකෘතියකි.

සාමාන්‍යයෙන් රටක මුදල් ඉතිරි කරන්නෝ හා ණය සොයන්නෝ හරි හරියට බෙදී සිටිති. අඩු පොලියකට ණයක් ගැනීම ණය සොයන්නෙකුගේ ඉලක්කය වන්නා සේම, වැඩි පොලියක් ලබා ගැනීම ඉතිරි කරන්නෙකුගේ ඉලක්කයකි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ සමතුලිත පොලී අනුපාතික වැඩි මිලක් නොගන්නා අතර ලංකාවේ දැන් සිදුවන්නාක් මෙන් ණය ගන්නන්ට පමණක් නොව, ණය දෙන්නන්ටද ණය ගන්නට කැමති අය සොයමින් පස්සෙන් පන්නන්නට සිදුවීම සාමාන්‍ය තත්ත්වයයි.

වෛද්‍ය උපාධියක් හදාරන අයෙකුගේ අනාගත ආදායම් ස්ථිර නිසා එවැන්නෙකුට ණය මුදලක් ලබාදීමේ විශාල අවදානමක් නැත. ඒ නිසා, සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඕනෑම දක්ෂ සිසුවෙකුට සයිටම් වැනි තැනකින් වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා අඩු පොලියකට ණයක් ගන්නට ලැබීම සරල දෙයක් විය යුතු වුවත් ඇත්ත තත්ත්වය එවැන්නක් නොවේ.

ලංකාවේ වෙනත් බොහෝ ප්‍රශ්න වලට මෙන්ම මෙයටද හේතුව අති විශාල රාජ්‍ය අයවැය හිඟයයි. දේශීය ඉතිරි කිරීම් සියල්ලම වාගේ ඉතා ඉහළ පොලියක් ගෙවමින් රජය විසින් අවශෝෂණය කරගන්නා නිසා බාහිර මූල්‍ය වෙළඳපොළේ ණය ඉල්ලුම හා සැපයුම අතර විශාල අසමතුලිතතාවයක් ඇති වී තිබේ. ඊට අමතරව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිසුන්ට මූල්‍ය සාක්ෂරතාවය ලබා දෙන්නේ නැත. මෙහි වාසිය ගන්නා අතළොස්සක් විසින් ලංකාවේ මූල්‍ය වෙළඳපොළ පාලනය කර අතර එහි ඇති අකාර්යක්ෂමතාවයන් හා ඒකාධිකාරීත්වය වෛද්‍යවරුන්ගේ ඒකාධිකාරයද ඉක්මවන්නකි. මෙහි අවසාන ප්‍රතිඵලය ලංකාවේ අති මහත් බහුතරයකට මූල්‍ය ප්‍රවේශයට ඇති ඉඩප්‍රස්ථා අවම වීමයි. මෙහි පැහැදිලි අසාධාරණයක් තිබේ.

අවුල ලිහන්නට පටන්ගත යුත්තේ රජයේ වියදම් කපා හැර අයවැය හිඟය අඩු කරගැනීමෙනි. එහෙත්, එසේ කිරීමේදී මුලින්ම අත තැබිය යුත්තේ සාපේක්ෂව කාර්යක්ෂම අධ්‍යාපන, සෞඛ්‍ය හා ආරක්ෂක සේවා අංශ වලට නොවේ.

42 comments:

  1. මා දන්නා වෛද්‍යවරු බොහෝ දෙනෙකු තමන් ගේ ළමුන් උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යවා ඔවුනට අධ්‍යාපනය ලබා දෙති. මේ සඳහා අති විශාල මුදලක් යන අතර ඒ සඳහා දෙමාපියන් ඉතා වෙහෙසී වැඩ කරති. සමහරු ඉඩකඩම් ගෙවල් පවා උකස් කොට තිබේ.
    මාගේ ගුරුවරයෙකු වූ නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ළමුන් දෙදෙනෙකු ඕහායෝ ස්ටේට් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුවද උදේ සවස ශල්‍යකර්ම වල නියැලෙන්නේ ළමුන් ගේ අධ්‍යාපනයට මුදල් සෙවීමටය​. මේ නිසා ඔහු අකළට මහළු වී තිබේ. අවසන් වර ඔහුව හමු වූ විට ඔහු මහළුවී ගොස් ඇති අයුරු දැක මට දුකක් ඇති විය​.
    මේ අතර මහජන මුදල් හොරකම් කල දේශපාලකයෝ සහ ඇතැම් උසස් රජ්‍ය නිලධාරීන්ද කූල් එකේ සොරකම් කල ධනය මගින් තම ළමුන් උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යවති. ඔවුන්ට ළමුන් ගේ ගේ අධ්‍යාපනය සාක්කුවට බරක් නොවේ. ඔවුන් අකළට මහළු නොවෙති.
    ලංකාවේ වසර 16ක් වෛද්‍යවරයෙකු ලෙස සේවය කලද මගේ වේතනය මගින් පමණක්ම මගේ දරුවා උතුරු ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය සඳහා යැවීමට මට හැකියාවක් නොවීය. සොරකම් කිරීමද මට විකල්පයක් නොවීය​. ඒ නිසා මම විදේශගත වූයෙමි. එමගින් ඔහුගේ අධ්‍යාපනයට වියදම් කිරීමට හැකි මට හැකි විය.
    උතුරු ඇමරිකාවේ , එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වල ආචාර්‍යවරු ලංකාවට ගෙන්වාගෙන ගුණාත්මක බවෙන් ඉහල, උසස් ශ්‍රේනිගත කිරීමක් සහිතව පුද්ගලික විශ්ව විද්‍යාලයක් ලංකාවේ ඇති කරන්නේ නම් උදේ සවස රෝහල් වල වෙහෙස වන මාගේ ගුරුවරයා වැනි වෘත්තිකයන්ට එය සහනයක් වනු ඇත​. එසේම විමල් වීරවංශ , අනුර දිසානායක වැනි දේශපාලකයන්ටද තමන් ගේ දරුවන් එම විශ්ව විද්‍යාලයට යැවීමටද හැකි වනු ඇත​.
    එය කාටත් සහනයක් නොවේද ?

    ReplyDelete
    Replies
    1. අනුර නම් ඔය විදේශීය දේශකයෝ නැතුවත් උපාධි කඩ වලට දැනුත් පුතා යවන්නේ :D ඔවු ඔවු උපාධි කඩ වල කොලිටි චෙක් කරන්න වෙන්න ඇති.

      Delete
    2. ඇයි බටහිර විශ්විද්‍යාල? ඔයගේ විනිට්සාව හොඳ නැත්ද?

      Delete
    3. සෝවියට් කාලෙට වඩා දැන් විනිට්සා වේ ප්‍රමිතිය අඩුයි. :)

      Delete
  2. ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක.

    ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ, අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත. අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීමට අසල්වැසි ඉන්දියාව ගත් අදූරදර්ශී තීරණය හේතුවෙන් එරටට අත්වී ඇති ඉරණම මදක් විමසා බැලීමෙන් එය මනාව වටහාගත හැක.

    ReplyDelete
    Replies
    1. ඔය විදියට ඉතින් ලංකාවේ මුකුත් කරන්න බැහැනේ. ඔන්න ඔය රජයේ ඒවා ටිකත් වහල දාන්න තියෙන්නේ.

      Delete
    2. පෞද්ගලික විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය බාල නම් ඒකේ පාඩුව ඒවාට යන අයටයි.
      ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවලට යන අයට එතකොට වාසියි.
      එහෙනම් කරන්න තියෙන්නේ යම් වෛද්‍ය වරයෙක් ඉගෙන ගත්ත විශ්ව විද්‍යාලය රජයේ එකක්ද, පෞද්ගලික එකක්ද, විදේශ රටක එකක්ද යන කරුණ ප්‍රදර්ශණය අනිවාර්යය කිරීමයි.

      ඕකේ වෙන ප්‍රශ්ණයක්නම් තියෙනවා.
      අධ්‍යාපනය හරහා දියුණු වන්නට බලාපොරොත්තු වන ජනකොටස්වල ජනගහන වර්ධනය අඩුවී.
      අධ්‍යාපනය උනන්දුව අඩු ජනවර්ගවල බෝවීම වැඩිවිය හැකියි.

      Delete
    3. //ශ්‍රී ලංකාවේ පවතින දේශපාලනික සහ පරිපාලනමය පසුබිමේ පවතින දූෂණ, අතපෙවීම්, සහ බලපෑම් කිරීම් හමුවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයක ප්‍රමිතියට සිදුවන බලපෑම කෙසේ වේදැයි ඔබට වැටහෙනු ඇත.//


      සෑමවිටම රාජ්‍ය අංශයේ දේශපාලන අතපෙවීම් සහ දුෂණ පුද්ගලික අංශයට වඩා ඉතා වැඩිය. ලංකාවේ රාජ්‍ය අංශය සැමවිටම පුගලික අංශයට වඩා සෑම අතින්ම දුෂිත මෙන්ම අකාර්යක්ෂම වේ.මනෝරාජික ලෝකයක ජීවත් නොවෙන ඕනෑම කෙනෙකු මේවා දනී. විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය වූ ක්ෂණිකාගේ සැමියා වූ දෙවැනි ක්ෂ්රෙනියේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිරිඹුරේගම කොළඹ විශ්විද්‍යාලයේ උපකුලපති වුනේ එසේය. නාමල් රාජපක්ෂගේ ලියුමට විශ්විද්යාලයට ළමුන් ඇතුලත් කරගත්තේ ඔවුන්ය. අසමතෙකු වූ රෝහිත රාජපක්ෂ කොළඹ විශ්විද්‍යාලයේ ආචාර්ය උපාධිය සඳහා ආචාරය විජේරත්න යටතේ (යටතේ නෙවෙයි ඉහලින් ඇත්තටම) ඇතුල්වන්නේ ඒ දුෂණය නිසයි. මහින්ද සමග ක්ෂණිකා සහ සැමියාට දෙන්නටම ගෙදර යන්නට වීම විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සහ කොළඹ විශ්විද්‍යාලයේ දුෂණයේ තරම දුෂණයේ සහ දේශපාලන බලපෑමේ තරම පෙන්වයි. අනෙක් විශ්වවිද්‍යාල වල දුෂණ සහ දේශපාලන බලපෑම් ගැන කියන්න පුළුවන්. ඒවා ඔක්කොම ලියුවොත් ඉකොනෝ ට වැඩිය දිග ලිපියක් ලියන්න පුළුවන්.

      දේශපාලන බලපෑම සහ දුෂණය විශ්විද්‍යාල වල පැවතීමට නුසුදුසු වන ඒවා වසා දමන්නට හේතුවක් නම් නම් කොළඹ විශ්විද්‍යාලයත්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් වසා දැමීමේ ලයිස්තුවේ තිබෙන්නේ සයිටම් එකට පෙරයි.

      Delete
    4. "...නාමල් රාජපක්ෂගේ ලියුමට විශ්විද්යාලයට ළමුන් ඇතුලත් කරගත්තේ ඔවුන්ය...."

      නාමල් මේ ලිපිය එවන්නේ සුදුසුකම් නැති අයෙක් ඇතුලත් කරන්නේ කියල නෙවිනේ! එය කියන්නේ මොක්කක් කාරී හේතුවක් නිසා අයදුම් කරන්න ප්‍රමාද වෙච්ච ශිෂ්‍යාවකගේ අභියාචනය සලකා බලන්න කියලනේ. ඔයා හරියට කියන්න මේක ඉතිහාසේ පළමු වතාවට දේශපාලකයෙක් එවපු ලියුමක් වගේ.

      කනිෂ්කා හිබුරෙගමගේ හෙළිදරව්ව!

      Delete
    5. AnonymousJuly 9, 2017 at 11:01 AM

      //ඔයා හරියට කියන්න මේක ඉතිහාසේ පළමු වතාවට දේශපාලකයෙක් එවපු ලියුමක් වගේ.
      //

      ක්ෂනිකාට නාමල් ලියපු ලියුම මෙන්ම කැලණිය වී.වී. ට කථිකාචාර්ය වරයෙකු බඳවාගන්න ලෙස එකී අංශ ප්‍රධානියාට කිරිඇල්ල එවූ ලියුමෙන්ද පැහැදිලි වෙන්නෙ දේශපාලන බලපෑම මොන ආණ්ඩුවෙනුත් තියෙන බව. ඔයා මේ පලමුවතාවට එවපු එකක් නෙවෙයි කියනවා වගේම මෙවැනි ලිපි අපි නොදැන ඕනේ තරම් එනවා ඇති. එකෙන් පෙන්නේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, විශ්විද්‍යාල වලටත් තිබෙනේ දේශපාලන බලපෑම සහ එයින් ඇතිව දුෂණය කොයිතරම්ද කියන එක නේද ?

      ඉතින් කලාමැදිරියා කියන විදියට ඇතිවියහැකි දේශපාලන බලපෑම සහ දුෂණය නිසා සයිටම් වහන්න ඕනේ නම් කොළඹ විශ්විද්‍යාලයත්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් වසා දැමීමේ ලයිස්තුවේ තිබෙන්නේ සයිටම් එකට පෙර බව තමයි මම කිවේ.

      Delete
    6. //ඉතින් කලාමැදිරියා කියන විදියට ඇතිවියහැකි දේශපාලන බලපෑම සහ දුෂණය නිසා සයිටම් වහන්න ඕනේ නම් කොළඹ විශ්විද්‍යාලයත්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් වසා දැමීමේ ලයිස්තුවේ තිබෙන්නේ සයිටම් එකට පෙර බව තමයි මම කිවේ.//

      +++++

      Delete
    7. කාලමැදිරියා නං හරියටම පොයින්ට් එකට ඇවිල්ල තියෙනෙව.
      "ලෝකයේ ඉහළ පෙලේ වෛද්‍ය විද්‍යාල වල ශාඛාවන් ශ්‍රී ලංකාවේ විවෘත කල පමණින් පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය දියුණු වේද? ඔවුන්ගේ මව් විශ්ව විද්‍යාලයේ පවතින ප්‍රමිතිය, එයට අනුබද්ධ මෙරට පවතින ශාඛාවේද එලෙසම පවතින බවට කිසිඳු සහතිකයක් කිසිවෙකුට දිය නොහැක."

      එතකොට කාලමැදිරියාට නිච්චියටම කියන්න පුලුවන්ද තමා උප්පැන්න සහතිකේ තාමගේ පියා කියා නම තිබෙන කෙනාගෙම දරුවෙක් කියා?

      Delete
    8. "...ඉතින් කලාමැදිරියා කියන විදියට ඇතිවියහැකි දේශපාලන බලපෑම සහ දුෂණය නිසා සයිටම් වහන්න ඕනේ නම් කොළඹ විශ්විද්‍යාලයත්, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් වසා දැමීමේ ලයිස්තුවේ තිබෙන්නේ සයිටම් එකට පෙර බව තමයි මම කිවේ...."

      දේශපාලන බලපෑමක් තිබ්බට බලපෑම් වලට යටවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ! උඩ ලින්ක් එකේ කනිෂ්කාගේ ප්‍රතිචාරය කියවන්නකෝ. එහෙනම් රටේ ජනාධිපතිම කියන විධිහට පොලිසියත් දේශපාලන බලපෑම් නිසා අහෝසි කරමු!

      Delete
    9. //දේශපාලන බලපෑමක් තිබ්බට බලපෑම් වලට යටවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැනේ!//

      අවදි උනේ දැන්ද ?

      මහින්දගේ දේශපාලනේට කඩේ ගියපු තරම නිසා තමයි ක්ෂනිකටයි එයාගේ මහත්තයටයි මහින්ද පැරදිලා යනකොට ධුර කාලය අවසනොවීම ශාඛා විද්‍යා අධ්‍යනාශයේ තිබුන පරණ තනතුරු දෙකට යන්න වුණේ. අනිත් ලත් ඔක්කොම කඩේ ගියා. හැබැයි හිරිඹුරේගම ජෝඩුව වගේ හිරිකිත නැතුව ගියේ නෑ. ක්ෂණික තමයි විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාපති තනතුර ද විකුණමින්, මහින්දට 3 වෙනිවතාවට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුළුවන් කියන එකට මහින්දට පක්ෂව අධිකරණයේ මතවිමසීමට පක්ෂව කරුණු දැක්වුවේ. මහින්දලා නාමල්ල විතරක් නෙවෙයි කිරිඇල්ල ග්‍රේරුත් බලපෑම් කරනවා. ක්ෂනිකලා මහින්දගේ සපත්තු සුප් බීපු තරම නොදන්නා මේ වගේ මිනිස්සු දේශපාලන බලපෑම් වලට යට නොවී ඉන්න එක ගැන කියන්නේ.

      Delete
    10. //එහෙනම් රටේ ජනාධිපතිම කියන විධිහට පොලිසියත් දේශපාලන බලපෑම් නිසා අහෝසි කරමු!//

      පේලියට ආපු කොමෙන්ට් ටික ආයේ බලන්නකෝ වෙන්න පුළුවන් දේශපාලන බලපෑම් නිසා සයිටම් අහෝසි කරන්න ඕනේ කියල කියන්න කලාමැදිරියනේ. මම නෙවෙයිනේ. මම කලේ වෙන්න පුළුවන් දේශපාලන බලපෑම් නිසා සයිටම් අහෝසි කරන්න ඕනේ නම් ඒ හේතුව නිසා අහෝරි කලයුතු ලැයිස්තුවේ මුල කොටස කලාමැදිරියට මතක් කරලා දීම. ඉතින් ඔය රටේ ජනාධිපතිම කියන විධිහට පොලිසියත් දේශපාලන බලපෑම් නිසා අහෝසි රන්න ඕනේ කියන කතාව ඔයා කලාමැදිරියටම කියන්න.

      එකක් නම් ෂුවර්. බෙල්ල කපල වැටේ ගහල ගිය අයගේ පක්ෂයක් වෙනුවෙන් කොන්දෙසිවිරහිතව පෙනී ඉන්න කලාමැදිරිය නම් එක පයින් නෙවෙයි වම් කකුලේ සුලගිල්ලෙන් හිටන් කැමති වේවි පොලිසිය අහෝසි කරනවා නම්. අහෝසි කරනවා සුලගිල්ලත් නැතුව උඩ පැනලම කැමති වේවි. තව හමුදාත් අහෝසි කරනවා නම් ඔලුව බිම තියල කකුල් උඩ තියල කැමති වේවි කලාමැදිරියලා. ඒක පොලිසි හමුදා අහෝසි කරන්න ඕනේ කියන කතා වලදී හොරාට කලින් කෙහෙල් කන වට පනින එක ත්‍රස්තවාදී කල්ලි වල ලාක්ෂණික ගතියක්.

      Delete
    11. "අවදි උනේ දැන්ද ?"

      ඔයාගේ ජපාලන ආණ්ඩුව මෙච්චර රට පස්සට ගෙනයද්දී බොරුවට නිදගෙන් ඉන්න ඔයාද අනුන්ගෙන් මේක අහන්නේ!

      18 වන සංශෝදනයට දැන් ඉන්න ජනධිපති අනෙක් ශ්‍රීලනිප ඇමතිවරුනුත් අත් දෙකම ඉස්සුවා කියල මතක නැතෙයි! මෛත්‍රිපාල ඒකාලේ කියපු කතා පරණ සිළුමිණ පත්තරයක් හොයලා කියවා පහන්සංවේගය උපදවාගන්න මෙයා.

      Delete
    12. මොකටද කළා මැදිරියට කියන්නේ, ඔයානේ දුෂණය නිසා අහෝසි කරන්න ඕනේ ආයතන පිළිවෙල කියලා තියෙන්න. මම කිව්වේ දැන් ඔයා කියන විදිහට UGC එක අහෝසි කරන්න කලින් ඊටවඩා 1000 ගුණයකින් දුෂිතයි කියලා රටේ ජනාධිපතිම කියන පොලිසිය මුලින් අහෝසි කරන්න කියල. ඔයාට කිසිම තර්ක ඥානයක් නැහෙනේ මෙයා! සමහරවිට ළඟදීම එක වෙයි අර FCID එක අහෝසි කළා වගේ!

      ත්‍රස්තවාදීන් ගැන කියනවනම්, උතුරේ නැගෙනහිරදී පොලිසිය හැසිරෙන්න අහෝසි කරපු ගානට තමයි!

      Delete
    13. මේ ආණ්ඩු එකක්වත් රට ඉස්සරහට ගෙනිච්චද ? 48 ඉදලම පස්සට තමයි ගෙනෙච්චේ. මහින්ද රනිල් වගේම මෛත්රීත් දුෂිතයෙක් තමයි. මයිත්‍රී අත ඉස්සුවේ හඩු දේශපලුවෙක් විදියටනේ. ක්ෂණික දේශපලුවෙක් නෙවෙයි නේ. ස්වාධීනව තියෙන්න ඕනේ කොමිසමක සභාපති එහෙම කඩේ යනකොට කැතයිනේ.

      ඔයාට කොහොමද මන් දන්නේ නෑ. මට නම් මයිත්‍රී රනිල් දෙන්නත් මහින්දගේ ගානටම නරකට තමයි පෙන්නේ.

      Delete
    14. //මොකටද කළා මැදිරියට කියන්නේ, ඔයානේ දුෂණය නිසා අහෝසි කරන්න ඕනේ ආයතන පිළිවෙල කියලා තියෙන්න. //

      ඊට කලින් දුෂණය නිසා ආයතන අහෝසි කරන්නේ ඕනේ කියන්නේ කලාමැදිරිය නේ. මම නෙවෙයි නේ. එහෙම කරන්න ඕනෙද නැතිද කියන කතාවෙන් පස්සේ නේ....... කරනවා නම් කරන පිළිවෙල වැදගත් වෙන්නේ. ඉතින් එහෙම අහෝසි කරන්න ඕනේ කියන එක එයාගේ අදහසක් නිසා ඔය කතා එයාට කියන්න.

      "ඔයාල ගෙනාපු යහපාලනය" කියල කියනකොටම ඔයාගේ තර්ක ඥානය පේන නිසා තව වැඩිය මොකුත් කියන්නේ නෑ ඉතින් :D

      සාටක වන්දනාවේ යහපාලන වන්දනාවේ යන අයට එක කුණු ගොඩක් සුවඳ හැමුවට මට නම් ඉතින් මහින්ද මයිත්‍රී රනිල් 3 දෙනාම ගඳ ගහන කුණු කඳු තමයි :D

      Delete
    15. හොඳ සාකච්ඡාවක් සිදු වී තිබෙනවා. බොහෝ දේ කියැවී ඇති නිසා අමුතුවෙන් යමක් එකතු කරන්නේ නැහැ.

      Delete
  3. බැටරි කේජ් ක්‍රමය පැරණි ක්‍රමයක්. මට මතක හැටියට 1980 ගනන් වල ඔය ක්‍රමය අත්හදා බලමින් තිබුනා. අපේ ගොවියෝ වියදම් අඩුකරගන්න ක්‍රම යොදාගන්ට ඕන. නැතුව මේ වගේ වියදම් අඩු ක්‍රම වලට විරුද්ධවෙලා වැඩක් නෑ. කුකුළු ගොවියොත් පාරිභෝගිකයොනෙ. ඒ අයත් කැමතිනෙ අනිකුත් ආහාර සහ පාරිභෝගික භාණ්ඩ අඩුවෙන් ගන්ට.

    මෙන්න බිත්තරයක මිල ගනන් වල වෙනස: ලංකාවේ රු.18/--20/- එක්සත් රාජධානියේ - පැන්ස 10 (රු.20/-ක්) සිට පැන්ස 20 (රු.40/-) දක්වා

    ReplyDelete
    Replies
    1. "Humane Treatment of Animals" කියල දෙයක් අහල තියෙනවද?
      Animal welfare - European Union

      Delete
    2. බැටරි කේජ් ක්‍රමයේ අතීතය ගැන දැනුමක් නැහැ.

      Delete
  4. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. යපිලට නම් අරක් මාෂ් කාලා කාලා ඇතිවෙලා ෂරි... යපිල හොරෙන් හොරෙන් උරුමාෂ් තමා කනවා, රශායි!!!

      Delete
  5. අවුරුදු විසිපහකට තිහකට වගෙ කලින් සමස්ත ලංකා කුකුළු ගොවිපල හිමියන්ගේ සංගමය කියල සංවිධානයක් තිබ්බා. ඒකෙ සමාරම්භක සභාපතිවරයා වුනේ ආචාර්ය වනසිංහ කියල මහත්මයෙක්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියාම ඉතිහාසයක් තිබෙන වෘත්තියක්.

      Delete
  6. කොටසක් කියෙව්වා. අපහු එන්නම් ඉතිරි කොටස කියවන්න.

    ReplyDelete
  7. //රුපියල් ලක්ෂ 90ක් (හෝ රුපියල් ලක්ෂ 120ක්) යනු විශාල මුදලකි. මෙවැනි විශාල මුදලක් ආයෝජනය කර මුදල් ඉපැයිය හැකි විකල්ප අවස්ථා රැසක්ම තිබේ. එසේ තිබියදී, කිසියම් අයෙකු සයිටම් වෛද්‍ය උපාධියක් සඳහා ලියාපදිංචි වී අවදානමක් ගන්නේ පළමුව තමන්ට වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය සුදුසුකම් සැපිරිය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය සේවා සැපයීමේ වෙළඳපොළ තුළ සාර්ථක විය හැකි බවට ආත්ම විශ්වාසයක් ඇති බැවිනි. තෙවනුව, එසේ ලැබේයයි සිතන අනාගත වාසි මේ ආයෝජනයට වඩා විශාලයැයි සිතන බැවිනි.//

    මේකෙ ඇත්තක් තියෙනවා . ඒත් සමහර විට සමාජ තත්වය ලබාගැනීමටම තම දරුවන් වෛද්‍යවරුන කිරීමට සල්ලි ඇති අයගේ උවමනාවකුත් නැතැයි කියන්න බෑ නේද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ එය වෙන්න ඇති ඉඩකඩ ඉතා අඩු බවයි. මුදල් තිබුණත් වෛද්‍යවරයෙකු වෙන්න විශාල කට්ටක් කන්න වෙනවා.

      Delete
  8. මේ සම්බන්ධයෙන් මා කියැවූ විශිෂ්ටතම ලිපිය...

    ReplyDelete
  9. "බැටරි කේජ් ක්‍රමය" බිත්තර නිෂ්පාදකයින්ට වඩා එලදායි සහා පාරිභෝගිකයින්ටද ඒ තුලින් වාසියක් අත්වෙනවා නම් මේ ක්‍රමය සඳහා අවශ්‍ය කරන ප්‍රග්ධනය සොයා ගත නොහැකි ගොවිපොළ නිෂ්පාදකයින්ට පශු සම්පත් අමාත්‍යංශය හෝ අදාළ වෙනත් ආයතනයක් තුලින් අඩු පොළී ණය නිකුත් කිරීමයි.ඉහත ක්‍රමය තමන්ට වාසිදායක බව වටහා ගන්නා විට සුළු බිත්තර නිෂ්පාදකයින්ද හොඳ තරගයක් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින්ට ලබා දෙනු ඇති.

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන්ද මේ වගේ උසස් අධ්‍යාපන ණය මුදල් නිකුත් කිරීම දැනටමත් කරනවානේ."සයිට්ම්" එකේ වෛද්‍ය උපාධිය වෙනුවෙන් ඉහල මිලක් තීරණය වෙන්න ඒ ආයතනයේ තියෙන ඒකාකධිකාරය හේතු වෙනවා.තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටේ ආරම්භවීම තුලින් ඒ ආයතනයේ මිලත් ස්වයං පාලනයකට යටත් වෙනු ඇති.එතකොට ඒ තුලින් දෙපැත්තටම වාසිදායක වෙළඳ පොලක් සදා ගන්න පුළුවන් නේද ?

    ReplyDelete
    Replies
    1. මිල විශාල ලෙස අඩුවෙන්න ඉඩකඩ අඩුයි.

      Delete
  10. //ස්වභාවික හෝ කෘතීම බාධා නැති නිදහස් වෙළඳපොලක සමාජ අතිරික්තය කිසියම් වෙළඳපොලකින් ලබාගත හැකි උපරිම සමාජ අතිරික්තයයි. වෙළඳපොල වෙත මැදිහත් වන සෑම විටකම මේ සමාජ අතිරික්තය කිසියම් ප්‍රමානයකින් පහළ යයි. බදු, සහනාධාර, මිල පාලන, නිෂ්පාදන සීමා ආදී සියල්ලෙන්ම සිදුවන්නේ සමාජ අතිරික්තය පහළ යාමයි. එසේනම්, රජයයන් එවැනි මැදිහත්වීම් කරා යොමුවන්නේ ඇයි?//ඔබ මෙහි සමාජ අතිරික්තය වශයෙන් නම් කරන්නේ කුමක්ද? සමාජීය නිෂ්පාදනයද?අයින් රෑන්ඩ් අදහසක් වගේ ඉස්මතු වෙන්නේ. මම වැරදි වෙන්න පුළුවන්.
    මම කැමතියි සුළු පරිමාණ නිෂප්දකයන්ට තැන දෙනවා නම්. මොකද මහා පරිමාණ බැටරි ෆාම් බිත්තර unethical කියල අපි ගන්නේ නැහැ. හුඟ දෙනෙක් එහමයි. ටිකක් වැඩි වුනත් ඕගනික් එක ගන්නේ. ලනක්වේ ඒක ඒ විධිහටම අරන් ගිය නම් හරි.

    ReplyDelete
    Replies
    1. //ඔබ මෙහි සමාජ අතිරික්තය වශයෙන් නම් කරන්නේ කුමක්ද? //
      මෙය ආර්ථික විද්‍යාවේ ඉතාම මූලික අදහසක් (social surplus). ගනුදෙනුවකට සම්බන්ධ වන හා නොවන සියළු දෙනාටම ගනුදෙනුව නිසා ලැබෙන වාසි වල එකතුව. සරල ගනුදෙනුවකදී පාරිභෝගික අතිරික්තය (consumer surplus = Willingness-to-pay - Price) + නිෂ්පාදකයාගේ ලාභය (sales price - cost).

      //මොකද මහා පරිමාණ බැටරි ෆාම් බිත්තර unethical කියල අපි ගන්නේ නැහැ. හුඟ දෙනෙක් එහමයි. ටිකක් වැඩි වුනත් ඕගනික් එක ගන්නේ. ලනක්වේ ඒක ඒ විධිහටම අරන් ගිය නම් හරි.//
      එංගලන්තයේ හෝ ඇමරිකාවේ මෙය කරන එක හරි. එහෙත්, අවශ්‍ය අවම සත්ව ප්‍රෝටීන් ප්‍රමාණය නොලැබෙන විශාල පිරිසක් ඉන්න රටක අඩු ආදායම් ලබන අයට අවශ්‍ය මූලික පෝෂණය අඩු මිලකට ලබා ගන්න ඉඩ සලසන එක ගැන මුලින් සිතිය යුතුයි කියා මම හිතනවා.

      Delete
    2. ඔව් ඒක හරි. ඔබ මෙහි social surplus එක ගැනයි කියන්නේ කියන එක තමයි මමත් හිතුවේ. ගුගල් එක දෙන්නෙත්
      Definition: Consumer surplus is defined as the difference between the consumers' willingness to pay for a commodity and the actual price paid by them, or the equilibrium price.
      එතකොට ඔබ උඩ ලිපියේ කියන්නේ මෙහෙම. //සමාජ අතිරික්තය යනු රටක (කිසියම් කර්මාන්තයක් තුළ) සියලුම පාරිභෝගිකයන්ගේ පාරිභෝගික අතිරික්තයන්ගේත්, සියලුම නිෂ්පාදකයින් විසින් ලබන ලාභයන්ගේත් එකතුවයි. // ඔබ මේ කියන්නේ Total social surplus එක ගැන.
      Description: Total social surplus is composed of consumer surplus and producer surplus.
      ඔබ කියනව
      //ඔවුන්ගේ කාර්යක්ෂමතාවය ඉහළ ගොස් වඩා අඩු මිලකට, තත්ත්වයෙන් ඉහළ බිත්තර නිෂ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට ලැබේ// නමුත් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ අත්දැකීම අනුව බැටරි කේජ් ක්‍රමය දවස් 28 කුකුල්ලු හදන බ්‍රොයිලර් කුකුල්ලු හදන ක්‍රමය දැන් අඩුවේ ගැන යනවා. ඒවා ගුණාත්මක භාවයෙන් අඩුයි. එළියේ දුවන් ප්නිනන් කුකුල්ලු කන්න කියලනේ දැන් කියන්නේ. ඒ බිත්තර තමා ගන්න කියන්නේ. මිනිසුන්ගේ බඩගින්න නිවන්න කියල ඒවගේ බිත්තර දෙන එක හරිද?

      Delete
    3. දැන් ඇමෙරික එක්සත් ජනපදය කියන්නේ ඔවුන්ගේ GM නිෂ්පාදන දුන්නොත් අප්‍රිකාවේ බඩගින්න නිවන්න පුළුවන් කියල. නමුත් රුසියාව වගේ රටවල් GM කෑම සම්පුර්නයෙන්ම තහනම් කරලා තිබෙන්නේ. ලාභ වුනත් අපට එපා කියල. මමනම් අර ගන්නවා ඉඳ හිටලා තක්කාලි හෙම.

      Delete
    4. //ඔබ මේ කියන්නේ Total social surplus එක ගැන. //
      ඔබ නිවැරදියි. ආර්ථික විද්‍යාඥයින් ප්‍රතිපත්ති තීරණ ගැනීමදී හෝ යම් වෙනසක් යෝජනා කිරීමේදී බොහෝ විට සලකා බලන්නේ එයින් Total social surplus එක වෙනස් වන්නේ කොහොමද කියන එකයි.

      //නමුත් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ අත්දැකීම අනුව බැටරි කේජ් ක්‍රමය දවස් 28 කුකුල්ලු හදන බ්‍රොයිලර් කුකුල්ලු හදන ක්‍රමය දැන් අඩුවේ ගැන යනවා. ඒවා ගුණාත්මක භාවයෙන් අඩුයි. එළියේ දුවන් ප්නිනන් කුකුල්ලු කන්න කියලනේ දැන් කියන්නේ. ඒ බිත්තර තමා ගන්න කියන්නේ. මිනිසුන්ගේ බඩගින්න නිවන්න කියල ඒවගේ බිත්තර දෙන එක හරිද?//

      ගුණාත්මකභාවය කියන එක සාපේක්ෂ දෙයක්. මෙහිදී ඔබ කියන "ඒවා ගුණාත්මක භාවයෙන් අඩුයි" කියන එකේ පදනම ගැන මම හරියටම දන්නේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ තියෙන අදහසක් තමයි ෆ්‍රී රේන්ජ් බිත්තර පෝෂණ ගුණයෙන් වැඩි හා කොලෙස්ටරෝල් අඩු බව. මේ ගැන විශාල හැදෑරීමක් කර නැතත් අඩු වශයෙන් පහත අධ්‍යයනයෙන් පෙන්වන්නේ එවැනි වෙනසක් නැති බවයි.

      https://www.ncbi.nlm.nih.gov/pubmed/21673178

      අපේ ගෙදරටත් වැඩි මිලක් ගෙවා ඕගනික් හෝ දුඹුරු පැහැති බිත්තර ගේන වෙලාවල් තිබෙනවා. නමුත්, පහත අධ්‍යයනයෙන් පෙනෙන්නේ දුඹුරු හා සුදු බිත්තර අතර වෙනසක් නැති බවයි.

      https://www.ncbi.nlm.nih.gov/pubmed/24235237

      යම් වෙනස්කම් දකින්නට ලැබුණු අධ්‍යයනුත් කලින් කියවා තිබුණු බව මතකයි. ඇතැම් විට, ෆ්‍රී රේන්ජ් කුකුළු නිෂ්පාදන වල සෞඛ්‍යමය වාසි කිසියම් ප්‍රමාණයක් තිබෙන්න පුළුවන්. නමුත්, එහි වාසි හා අවාසි සංසන්දනය කළ යුත්තේ අනෙක් විකල්පයට සාපේක්ෂවයි. අවුරුද්දකට කුකුළුමස් කිලෝ විස්සක් තිහක්, බිත්තර සීයක් දෙසීයක් කන කෙනෙක් එහි පෝෂණ ගුණයේ සුළු වෙනසක් ගැන වුනත් සංවේදී වුනාට කමක් නැහැ. නමුත්, ආදායම් සීමාවන් නිසා අවුරුද්දකට සැරයක් හෝ දෙසැරයක් පමණක් කුකුළුමස් කන, මාසයකට වරක් බිත්තරයක් කන කෙනෙක්ට බිත්තරයේ ඇති කොලෙස්ටරෝල් ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වීම හෝ විටමින් ප්‍රමාණය පොඩ්ඩක් අඩු වීම විශාල ප්‍රශ්නයක් නෙමෙයි. එවැනි අයට දරාගත නොහැකි තරම් මිල වැඩි වූ විට කන බිත්තරයත් කන්න නොලැබෙන එකයි වෙන්නේ. ඒ නිසා, අවශ්‍ය කෙනෙකුට තෝරා ගැනීම සඳහා මිල අඩු කුකුළු නිෂ්පාදන හා මිල වැඩි විකල්ප දෙකම වෙළඳපොළේ තිබීමයි සිදුවිය යුත්තේ.

      මම හිතන විදිහට බටහිර රටවල ෆ්‍රී රේන්ජ් කුකුළු නිෂ්පාදන ජනප්‍රිය වීමට ප්‍රධානම හේතුව ගුණාත්මක භාවයේ වෙනසට වඩා සදාචාරාත්මක (සත්ත්ව හිංසාව හා අදාළ) හේතු බවයි.

      Delete
  11. ලංකාවේ සමහර ශිෂ්‍යන් රුපියල් ලක්ෂ 79 වසරකට ගෙවල එනලන්තයේ ඉගෙන ගන්නවා නම් ලක්ෂ 90 මුළු කෝස් එකටම ගෙවල ඉගෙන ගන්න එක මිල අඩුයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ සයිටම් එකට ඉල්ලුම එන්නේ එවැනි කොටස් වලින්.

      Delete
    2. ඒක තමා මමත හිතන්නේ ඒක සාධාරණයි කියල.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.