Monday, July 24, 2017

අධ්‍යාපනය අයිතියක් වන්නේ කෙසේද?


පසුගිය ලිපියෙන් මා ඉදිරිපත් කළේ රජය විසින් ලබා දෙන මූලික අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට දරන්නට සිදුවන පිරිවැය පිළිබඳව තේරුම් ගැනීම පහසු කරන ආකෘතියක් හා අදාළ ආකෘතිය අනුසාරයෙන් සකස් කළ දළ ඇස්තමේන්තුවකි. එම ඇස්තමේන්තුව අනුව, රජයේ පාසැල් හරහා ලබාදෙන වසරක අධ්‍යාපනය වෙනුවෙන් එක් පුද්ගලයෙකුට දරන්නට සිදුවන වියදම රුපියල් 24,550ක් පමණ වේ.

ආකෘති උපයෝගී කර ගන්නේ සංකීර්ණ සිදුවීමක් සරලව තේරුම් ගැනීම සඳහාය. ඉහත ඇස්තමේන්තුව පිළියෙළ කිරීමේදීද සරල උපකල්පන ගණනාවක් සිදු කර ඇති නිසා මගේ ඇස්තමේන්තුව පරිපූර්ණ එකක් නොවේ. එහෙත්, එය එසේ නොවීම ලිපියෙන් පෙන්වා දුන් මූලික කරුණ පැහැදිලි කිරීමට බාධාවක් නොවේ.

ඇතැම් අය සිතා සිටිනවාක් මෙන් කිසිවෙකුටත් රජයෙන් "පිනට" අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. අධ්‍යාපනය වෙනුවෙන් රජය විසින් වැය කරන හැම සතයක්ම රජය විසින් රටේ පවුල් ඒකක වලින් අය කර ගෙන තිබේ. ඇත්තටම සිදුවන්නේ නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය වැනි "නොමිලේ" දෙන බව ඇතැම් අය විශ්වාස කරන කැරට් අල පෙන්වමින් රජය විසින් ඒ දේවල් වෙනුවෙන් වැය කරන මුදලටත් වඩා මුදලක් ආපසු ලබා ගැනීමයි. අධ්‍යාපනය විකිණීම රජයට විශාල ලාභයක් ලබා දෙන ව්‍යාපාරයකි. මේ ගැන පැහැදිලි කිරීම ඉදිරියට තබා අපි පෙර ලිපියෙන් මතු කළ මූලික කරුණටම නැවත ආපසු එමු.

-රජය කිසියම් වසරක් තුළ පාසැල් වයසේ දරුවන්ට අධ්‍යාපන සේවා සැපයීම වෙනුවෙන් කිසියම් නිශ්චිත මුදලක් වැය කරයි.
-මේ මුදල අදාළ වසර තුළ මේ දරුවන් විසින් රජයට ගෙවන්නේ නැත. එහෙත්, රජය විසින් මේ මුදල එම දරුවන්ගේ දෙමවුපියන්ගෙන් හා ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් අදාළ වසර තුළදීම බදු ලෙස අය කර ගනී. ඒ නිසා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන ආයෝජනයේ බරපැන දරන්නේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරා වල පුද්ගලයින් විසින් මිස "රජය" හෝ "පොදු සමාජය" නම් වූ අතාත්වික පුද්ගලයෙකු විසින් නොවේ.
-දෙවන අදියරේදී, මේ දරුවන් වැඩිහිටියන් වී ආදායම් උපදවන විට රජය විසින් ඔවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ මුදල ඉක්මවන මුදලක් නැවත වටයකින් බදු ලෙස අය කර ගනී. ඊළඟ පරම්පරාවේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන්නේ මේ මුදල්ය.

මේ අනුව, ඔබේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ දෙමවුපියන් විසින් වියදම් කරන්නට ඉඩ තිබුණු මුදල් රජය විසින් බලහත්කාරයෙන් පැහැරගෙන රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දී තිබේ. දෙමවුපියන්ගේ මුදල් රජය විසින් පැහැර ගැනීම මඟින් ඔවුන්ට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබට ලබා දීමට තිබුණු අවස්ථාව රජය විසින් නැති කර තිබේ.

පසුව ඔබ විසින් ආදායම් උපයන විට එයින් කොටසක් ඔබෙන් පැහැර ගන්නා රජය විසින් ඒ මුදල් වැය කර රජයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ඔබේ දරුවන්ට ලබා දෙයි. ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ඔබට අවශ්‍යනම් ඔබට ඒ සඳහා තවත් අමතර මුදල් වැය කරන්නට සිදු වේ. 

ඔබ හෝ ඔබේ දරුවා "පිනට" ඉගෙනගෙන නැත. ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඕනෑවටත් වඩා මුදලක් ඔබ විසින් දැනටමත් රජයට ගෙවා තිබේ. එසේ නැත්නම්, ඔබගේ දෙමවුපියන් විසින් ගෙවා තිබේ. 

මිනිස් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී සෑම විටම සිදුවන්නේ පැරණි පරම්පරාව විසින් අලුත් පරම්පරාවේ වියදම් දැරීමයි. අධ්‍යාපන සේවා වෙළඳපොළට රජය මැදිහත් වූවද නොවූවද මෙය සිදුවන්නේ එකම ආකාරයෙනි. රජය මැදිහත් වූ විට සිදුවන්නේ අලුත් පරම්පරාවේ වියදම පැරණි පරම්පරාවේ පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් දරනු වෙනුවට ඔවුන්ගෙන් බලහත්කාරයෙන් උදුරාගනු ලැබීමයි.

ඇතැම් අයට මේ ආකෘතියේ ප්‍රශ්නයක් තිබෙන බව පෙනේ. මෙය හැමවිටම සිදුවන්නේ මේ ආකාරයෙන්නම් පළමු පරම්පරාවේ වියදම් දැරුවේ කවුද?

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඇරඹෙන විට පැවති තත්ත්වය බොහෝ දෙනෙකු නොදන්නා දෙයක් විය නොහැකිය. ලංකාවේ දරුවන්ට විධිමත් අධ්‍යාපනයක් ලබාදීම වසර දහස් ගණනක් තිස්සේ (පන්සල් මූලිකව) සිදුවුවත්, වත්මන් පාසැල් අධ්‍යාපන ආකෘතිය ආරම්භ කළේ ක්‍රිස්තියානි මිෂනාරීන් විසිනි. රාජ්‍යමූලික නිදහස් අධ්‍යාපන ආකෘතිය යෝජනා වන විට ලංකාව පුරා විසිරුණු මිෂනාරි පාසැල් පද්ධතියක් තිබුණේය. මේ පාසැල් සතුව සැලකිය යුතු තරමක භෞතික සම්පත් ප්‍රමාණයක්ද තිබුණේය.

මා විසින් වැඩි හැදෑරීමක් කර නැති නිසා නිවැරදි නොවිය හැකි වුවත්, මා දන්නා තරමින් මේ පාසැල් පද්ධතිය වැඩි දියුණු වූයේ ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එකතු කරගත් බදු මුදල් යොදවමින් නොව අදාළ එක් එක් ක්‍රිස්තියානි ආගමික නිකාය සතු අරමුදල් යොදවමිනි. ගාල්ලේ රිච්මන්ඩ් විදුහල වැනි ඇතැම් මිෂනාරි පාසැල් ආරම්භ කෙරුණේ උඩරට ගිවිසුම අත්සන් කරන්නටත් පෙරය. 

මේ පාසැල් වෙනුවෙන් අරමුදල් වැඩි ප්‍රමාණයක් යෙදවූයේ බටහිර රටවල ජීවත් වූ අදාළ පල්ලි වල දායකයින් විසිනි. ඒ නිසා, මේ ආයෝජන වෙනත් ලාභ අපේක්ෂා නොකර ස්වර්ග සම්පත් පතා කළ ආයෝජන ලෙස සැලකිය හැකිය. ඒ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපනය ලැබීම හා අදාළවනම් "පිනට ඉගෙන ගැනීම" කියා කීමේ එතරම් වරදක් නැත. පසුකාලීනව පරමවිඥාර්ථ සමාගම වැනි ආයතන මේ ආකෘතියේම අධ්‍යාපනයක් ලබා දුන්, එහෙත් මතුපිටින් බෞද්ධ වූ, පාසැල් ගණනාවක්ද ආරම්භ කළේය. මේ පාසැල් වෙනුවෙන් සිදු කළ ආයෝජනද "පිං පිණිස" කළ ඒවාය.

ලංකාවේ නිදහස් අධ්‍යාපනය ආරම්භ වන විට සැලකිය යුතු තරම් භෞතික සම්පත් ප්‍රමාණයක් හා උපයාගත් කීර්තිනාම තිබුණු ක්‍රිස්තියානි හා බෞද්ධ පෞද්ගලික පාසැල් විශාල ගණනක් රටේ තිබුණේය. මේ පාසැල් වලින් සීමිත ගණනක් හැර ඉතිරි ඒවා රජයට පවරා ගැනුණේය. එයින් අනතුරුව රජය විසින් රට පුරා පැතිරුණු මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් ඇතුළු තවත් පාසැල් ගණනාවක් අලුතින් හැදුවේය. මේ අලුත් පාසැල් වෙනුවෙන් මෙන්ම රජයට පවරාගත් පැරණි පාසැල් නඩත්තුව වෙනුවෙන්ද බදු මුදල් වැය කෙරුණේය.

නිදහස් අධ්‍යාපන සංකල්පය ආරම්භ වූ අලුත රජය මඟින් මුදල් අය නොකර ලබාදුන් අධ්‍යාපනයේ බර දැරුවේ එවකට වැඩිහිටියන් වූ පරම්පරාවයි. එහෙත්, ඔවුහු රජය මඟින් නොමිලේ ලබාදුන් අධ්‍යාපනයක් ලබා නොසිටියහ. ඒ නිසා, ඉතා පැහැදිලිවම, ඒ පරම්පරාවට වෙනත් අයෙකුට ගෙවිය යුතු සදාචාරාත්මක ණයක් නොතිබුණේය. 

රජය මඟින් නොමිලේ අධ්‍යාපනය ලබා නුදුන්නේනම්, මේ පළමු පරම්පරාවේ සෑහෙන පිරිසක් තමන්ගේ මුදල් වැය කර තමන්ගේ දරුවන්ට තමන් හොඳයැයි සිතන ආකාරයේ අධ්‍යාපනයක් ලබා දිය හැකිව තිබුණේය. එහෙත්, රජය විසින් ඒ කාර්යය භාර ගැනුණු අතර, ඒ වෙනුවෙන් වැය වන මුදල් බදු වශයෙන් ඒ පරම්පරාවේ අයගෙන් එකතු කරගනු ලැබුවේය. 

මේ අනුව, රජය මඟින් මුදල් අය නොකර ලබා දුන් අධ්‍යාපනය ලබාගත් පළමු පරම්පරාවේ අය ඒ සඳහා ණයගැති විය යුත්තේ ඔවුන්ගේ වැඩිහිටි පරම්පරාවට හා ලංකාවේ පාසැල් වෙනුවෙන් පිං පිණිස මුදල් යෙදවූ අයටය. රජය මැදිහත් නොවී, පාසැල් ආගමික සංවිධාන යටතේම පැවතියද මේ තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැත.

මෙසේ රජය විසින් මුදල් අය නොකර ලබාදුන් පාසැල් අධ්‍යාපනය ලැබූ පළමු පරම්පරාවේ අය වැඩිහිටියන් වී මුදල් උපයන්නට පටන් ගත් විට, ඔවුන්ගේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබා දීම හේතුවක් ලෙස පෙන්වමින් රජය ඔවුන්ගෙන් බදු මුදල් අය කරගත්තේය. පරම්පරා කිහිපයක් තිස්සේ මෙය මේ අයුරින්ම සිදු වී තිබේ.

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් රජය හරහා සිදුවන්නේ දෙමවුපියන් විසින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කොහොමටත් සිදු කරන ආයෝජනය රජයේ ඒකාධිකාරයට යටත් කර තිබීම පමණි. මේ ක්‍රමය අද වන විට විකාශනය වී ඇති ආකාරය අනුව, රජය විසින් ඔබේ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයට වඩා හොඳයැයි ඔබ සිතන විකල්ප අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දීමේ අවස්ථාව දැන් ඔබට තිබේ. එහි මිල ඔබ ගෙවිය යුතුය. එයට අමතරව, රජය හරහා ඔබේ දරුවා වෙනුවෙන් ඔබට ලබාගත හැකිව තිබුණු අධ්‍යාපනයේ මිලද, එය ඔබ විසින් ලබා නොගත්තත්, ඔබට ගෙවන්නට සිදු වේ. ඔබ ආදායම් උපයන තරමට හා වියදම් කරන තරමට වැඩි වැඩියෙන් රජයට බදු ගෙවන්නට ඔබට සිදුවේ. එයින් ඔබට කිසිදු ගැලවීමක් නැත.

පෙර ලිපියේ මා ඉදිරිපත් කළ එක් සිසුවෙකු වෙනුවෙන් එක් වසරකට රජය විසින් වැය කරන (එම සිසුන්ගේ දෙමවුපියන්ගෙන්  අය කෙරෙන) මුදල දළ ඇස්තමේන්තුවක් පමණි. පෙර ලිපියේ විස්තර කළ සම්පූර්ණ ආකෘතියම තේරුම් ගැනීමට උදවු නොකරන නමුත්, ඉහත මුදල ඇස්තමේන්තු කළ හැකි වඩා සරල ක්‍රමයක් වන්නේ රජයේ අධ්‍යාපන සේවා පිරිවැය ඇස්තමේන්තු මුදල රජයේ පාසැල් වල ඉගෙන ගන්නා සිසුන් ගණනින් බෙදීමයි. 2016 සිසුන් ගණනින් බෙදූ විට, 2017 වසර සඳහා එක් සිසුවෙකුගේ බරපැන රුපියල් 18,570කි. 2016 වසර සඳහා එම මුදල රුපියල් 60,939කි.

මේ වසරේ අධ්‍යාපනය වෙනුවෙන් රජය වැය කරන මුදල් ප්‍රමාණය සැලකිය යුතු තරමින් අඩු කර ඇතත්, ඉහත සංඛ්‍යා දෙක මෙතරම්ම විශාල ලෙස වෙනස් වෙන්නේ 2016 වසරේ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර තිබූ ආකාරයේ වෙනසක් නිසාය. කෙසේවුවද, ඒ වෙනස මේ ලිපියේ පෙන්වාදෙන කරුණට අදාළ වෙනසකි.

පළමු සංඛ්‍යාව, පදනම් වන්නේ පාසල් නඩත්තුව වෙනුවෙන් රජය වසර තුළ වැය කරන මුදල මතය. දෙවන සංඛ්‍යාවට, ඊට අමතරව, ලංකාවේ පාසැල් සතුව දැනට ඇති භෞතික ප්‍රාග්ධනයේ වාර්ෂික ප්‍රයෝජ්‍ය වටිනාකමද එකතු කර තිබේ. මේ සංඛ්‍යා පහත විස්තර කර ඇති අයුරින් පැහැදිලි කළ හැකිය.

අනෙක් සියලු තත්ත්වයන් නොවෙනස්ව තිබියදී, රජය විසින් ලංකාවේ සිසුන්ට පාසැල් අධ්‍යාපනය ලබා නොදෙන්නේනම් පාසැල් නඩත්තුව වෙනුවෙන් වැය කරන මුදල පමණක් යොදාගෙන එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 18,570ක මුදලක් ගෙවිය හැකිය. ඒ, 2017 ඇස්තමේන්තුව හා 2016 සිසුන් ගණන සැලකූ විටය. 2016 ඇස්තමේන්තුව හා සිසුන් ගණන සැලකූ විට මේ මුදල රුපියල් 30,876කි.  ඊට අමතරව, රාජ්‍ය පාසැල් පද්ධතිය සතුව ඇති ගොඩනැඟිලි, ක්‍රීඩාංගන ආදිය වසරක කාලයක් සඳහා බදු දීම මඟින් උපයාගත හැකි ආදායමද මෙසේ බෙදාදෙන්නේනම් රජයට එක් සිසුවෙකු වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට රුපියල් 60,939ක මුදලක් ගෙවිය හැකිය.

ලංකාවේ පාසැල් පද්ධතිය වහාම පෞද්ගලීකරණය කළ යුතුයැයි මා කිසිසේත්ම යෝජනා කරන්නේ නැත. එහෙත්, රජය විසින් එසේ කළේයැයි අපි මොහොතකට හිතමු. දැන් රජයට රජය සතු භෞතික සම්පත් අධ්‍යාපන සේවා සපයන පෞද්ගලික ව්‍යවසායකයන්ට බදු දෙන්නට පුළුවන. එසේ කර උපයන මුදල් හා දැනට අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන (බදු හරහා උපයා ගන්නා) මුදල් සිසුන් වෙනුවෙන් ඔවුන්ගේ දෙමවුපියන්ට ලබා දුන්නොත් එක් සිසුවෙකු වෙනුවෙන් රුපියල් 60,939ක මුදලක් ඔවුන්ට ලැබේ.

ඉහත උපකල්පිත තත්ත්වය යටතේ ලාභ පිණිස හෝ ලාභ අරමුණු කර නොගෙන පාසැල් අධ්‍යාපන සේවා ලබා දෙන ව්‍යවසායකයින් ඕනෑ තරම් බිහිවනු ඇතැයි සිතිය හැකිය. රජයට අවශ්‍යනම් මේ අධ්‍යාපන සේවා සපයන්නන්ට නියාමන රාමුවක් හඳුන්වා දී, දැන් රජයේ පාසැල් වල නැති පානීය ජලය හා සනීපාරක්ෂක පහසුකම් ආදිය තිබිය යුතු බව අනිවාර්ය කරන්නට වුවද පුළුවන. ගුරුවරුන්ගේ අවම සුදුසුකම් ආදියද ඒ අයුරින්ම නියම කරන්නට පුළුවන. එසේ කළහොත් කුමක් සිදුවනු ඇත්ද?

රජයේ පාසැල් දැනට පවත්වාගෙන යන භෞතික පහසුකම් කුලියට ගෙන ඒ සඳහා රජයට මුදල් ගෙවා, ගුරුවරුන්ට දැනට වඩා වැඩි වැටුප් හා සිසුවන්ට වැඩි පහසුකම්ද සපයා, සිසුවකු වෙනුවෙන් දෙමවුපියන්ගෙන් 60,939ක මුදලකට වඩා අඩු මුදලක් අය කිරීමෙන් පසුවද තමන්ට සැලකිය යුතු ලාබයක් ලබන්නට සමත්වන ව්‍යවසායකයින් සිටිනු ඇති බව ඉඳුරාම කිව හැකිය.

මෙහිදී අධ්‍යාපනය ව්‍යවසායකයින්ගේ අතට යන අතර ඔවුන් ලාබ ලබනු ඇත. එහි කතා දෙකක් නැත. එහෙත්, ඒ අතරම සිසුන්ට දැනට වඩා වැඩි පහසුකම් හා අධ්‍යාපනයක්ද, ගුරුවරුන්ට වැඩි වැටුප්ද හිමි වෙද්දී දෙමවුපියන්ගේ අතේ කිසියම් අමතර මුදලක්ද ඉතිරි වනු ඇත. 

තත්ත්වය මෙසේ තිබියදීත් රජය විසින් අධ්‍යාපන සේවා සැපයීම මා විසින් අධෛර්යමත් නොකරන්නේ, මෙපමණ අකාර්යක්ෂම වූවත්, රජය විසින් කරන වෙනත් බොහෝ කටයුතු වලට වඩා අධ්‍යාපන සේවා සැපයීම කාර්යක්ෂමයැයි මා සිතන බැවිනි.

අධ්‍යාපනය අයිතියකි. එහෙත්, එය එසේ වන්නේ කාගේ හෝ ආගමික නායකයෙක් එසේ කියා ඇති නිසා හෝ වසර දෙතුන් සියයකට පෙර ලියැවී ඇති කිසියම් ආගමික ලියවිල්ලක එසේ ලියැවී ඇති නිසා නොවේ. ඔබ කැමති වුවත්, අකැමැති වුවත්, ඔබේ දරු මුණුපුරන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා රජය විසින් ඔබෙන් මුදල් අය කරගන්නා බැවිනි. එමෙන්ම, ඔබ මිය යන තුරුද එසේ අය කර ගැනීමට නියමිත බැවිනි.

ඔබ පාන් ගෙඩියක් සඳහා මුදල් ගෙවූ විට කල් ඉකුත් නොවූ පාන් ගෙඩියක් ලබා ගැනීමේ අයිතිය ඔබට තිබේ. ඔබ දුම්රිය ප්‍රවේශපත්‍රයක් මිලදී ගත් විට ගමනාන්තය දක්වා යාමේ අයිතිය ඔබට තිබේ. ඒ අයුරින්ම, ඔබ විසින් රජයට ගෙවා ඇති මුදලට සරිලන අධ්‍යපනයක් ඔබේ දරුමුණුපුරන් වෙනුවෙන් ලබා ගැනීම ඔබේ අයිතියකි. කණගාටුවට කරුණ වන්නේ වෙළෙන්දා රජය වූ විට, බඩුව මුදලට නොවටින්නේ වුවත්, වෙන කඩයකට යාමේ නිදහස ඔබට නැති වීමයි.
 
(Image: http://www.globaljustice.org.uk/news/2015/oct/15/british-aid-private-schools-could-violate-human-rights-says-international-coalition)

12 comments:

  1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  2. සුපිරි විග්‍රහයක් ඉකොනො.
    මම හැමදාම කියන දෙයක්, මගේ දරුවන්ව රාජ්‍ය පාසැල පද්ධතියට යොමු නොකිරීම මා ගත් හිතුවක්කාරී තීරණයක්.
    ඒ නිසා මා විසින් රජයට අධ්‍යාපනය උදෙසා වූ බදු මුදලද, මගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වු බර පැනද, චන්ද්‍රිකා රජය අවදියේ පාසැල් ගාස්තු මත වැට් බදුද වශයෙන් ලමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කිහිප විටක් ම වියදම් දරා ඇත.

    මා කල ඒ ගොන්කමම අදත් කරමින් සිටින දෙමාපියන් අසීමිත ගනනක් ලංකාවේ ඇත.

    මොකද කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මගේ පළමු දරුවා රජයේ ජනප්‍රිය පාසලකට ඇතුලත්වීමට සුදුසුකම් ලැබුවා . එහෙත් විරෝධතාවක් තිබෙනවා කියා පසුව නම කපාදැම්මා. ඇතිවු කම්පනය සහ විශ්වාසය කඩවීම නිසා මගේ දරුවා ජාත්‍යන්තර පාසලකට දැම්මා. ඒ වෙලාවේ මට කරන්න වෙන දෙයක් හිතුනේ නෑ. දෙවෙනි ද කෙලින්ම එම පාසලටම දැම්මා. පසුව රජයේ පාසලක් ලබා ගැනීමට හැකිවේ යැයි සිතා එසේකලත් පසුව මට හැඟීගියේ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ගෙවන මුදලට වටින බවයි. එසේම ගුරුවරුන් ගේ අමතර පංති නොතිබීම , හොඳ ඉංගී්‍රසි අධ්‍යාපනය නිසා වෙනම ඉංග්‍රීසි ටියුශන් යැවීමට අවශ්‍ය නොවීම., ගුරුවරුන්ට තෑගිබෝග දීමට සිදුනොවීම වගේම දරුවාට වෙනස්කමක් නොවීම වගේ වාසි ජත්‍යන්තර පාසල්වල තියෙන නිසා.

      Delete
    2. contd .. ඔබ කියන ආකාරයට වැටිබද්ද ගෙවීමට සිදුවුවා තමයි . පසුව මහින්ද රාජපක්‍ෂ රජය එය අහෝසිකලා . ඉන්පස්සේ ගෙවන්න වුනේ 2% NBT එක විතරයි

      Delete
    3. contd..මම කළ දේ ගැන අද මා සතුටුවෙමි ! මගේ දරුවන්ට හොඳ ක්‍රීඩාකුසලතාවයක් සහ සමාජ අත්දැකීම් ලැබී ඇත. ඔව්න්ට වේදිකාවකට නැග ඉංග්‍රීසි භාෂාවෙන් කතාකීරීමට හැති ලෙස හොඳ අධ්‍යාපනයක් ලැබී ඇත.

      Delete
    4. මේ කරුණු ගැන තවත් ටිකක් ඊළඟ ලිපියේ කතා කෙරෙනවා.

      Delete
  3. මේ සඳහා හොඳම උදාහරණය 1970 දසකයේ සමුපකාර.

    ReplyDelete
  4. අධ්යාපනය වෙලඳ භාණ්ඩයක් නොවී අයිතියක් වන තක්කල් රටට වටිනා , දක්ෂ මිනිස්සු බිහිවෙවි. එතනින් එහාට යම් දවසක, උගතුන් බුද්ධිමතුන් හිග කාලයක රට ඔහේ ගමන් කරාවි.

    ReplyDelete
    Replies
    1. චඃ චඃ මෙච්චර කල් මන් හිතන් හිටියේ ලංකාව ඔහේ ගමන් කරන්නේ නැතුව ලෝකේ උතුම්ම රට වෙලා තිබුනේ රාවණා තාක්ෂණය නිසා කියලනේ.

      හැබෑවට දැන් ලංකාව ලෝකෙටම ණය ලෝකේ උතුම්ම රට උනේ අධ්‍යාපනේ වෙළඳ භාණ්ඩයක් නොවී නිකම් දීල උගතුන් බුද්ධිමතුන් හිඟ නැතුව ඔහේ ගමන් නොකරපු නිසා බව අද දැන ගත්තේ ඔබ තුමාගෙන්. LOL :D.....

      පොඩ්ඩක් දිලිසෙනවා නේ ?

      Delete
  5. කණගාටුවට කරුණ වන්නේ වෙළෙන්දා රජය වූ විට, බඩුව මුදලට නොවටින්නේ වුවත්, වෙන කඩයකට යාමේ නිදහස ඔබට නැති වීමයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.