Thursday, June 9, 2016

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ගේ රස්තියාදුව හා චැනල් සෙන්ටර් වල රස්තියාදුව


පෙර ලිපියෙන් මා පැහැදිලි කළේ නිපදවන 'භාණ්ඩය' ගබඩා කිරීමේ හැකියාවක් නැති වෙළඳපොළවල් වල ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමේදී මිල හා නිෂ්පාදන මට්ටමට අමතරව ගනුදෙනුවක් සිදු වන තුරු බලා සිටිය යුතු කාලයද මේ සමතුලනය තුළ වැදගත් සාධකයක් වන බවයි. මෙහිදී, මෙසේ 'බලා සිටිය යුතු' කාලය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර බෙදී යන්නේ කෙසේද යන්න තීරණය වන්නේ මේ එක් එක් පාර්ශ්වය හා අදාළව කාලයේ සාපේක්ෂ ආවස්ථික පිරිවැය අනුවය.

ආප්ප කඩයකදී, ඉල්ලුම වැඩිම හැන්දෑ වරුවලදී පොරොත්තු කාලයේ පිරිවැය පාරිභෝගිකයා විසින් දරද්දී, ඉල්ලුම අඩු දිවා පැය වලදී නිෂ්පාදකයා විසින් මේ පිරිවැය දරයි. ත්‍රිරෝද රථ සේවා ගනුදෙනුවකදී බොහෝ විට පාරිභෝගිකයාට කාලය නාස්ති කරගෙන බලා සිටින්නට සිදු නොවේ. ඒ, පාරිභෝගිකයාගේ නාස්තිවන කාලයේ බර සේවා සපයන්නා විසින් දරන බැවිනි. සේවා සපයන්නා විසින් අය කරන මිලට පාරිභෝගිකයෙකු පැමිණෙන තුරු මෙසේ නාස්ති කරන්නට සිදුවන කාලයේ පිරිවැයද ඇතුළත්ය.

වෙනත් උදාහරණ අතරින් හොඳම එකක් වන්නේ ගුවන් තොටුපොළ නිල කුලීරථ සේවාවයි. මේ සේවාව ලබාදීම සඳහා ලියාපදිංචි වී සිටින අටසියයකට අධික වෑන් රථහිමියන්ගෙන් අයෙකුට ගනුදෙනුවක් ලැබෙන්නේ දින තුනකට පමණ වරකි. එහෙත්, එසේ දින තුනකට වරක් පමණක් කුලීරථ සේවා සැපයීම වුවද ලාභදායක බව පෙනේ. සේවාව සඳහා ලියාපදිංචි වීම දේශපාලන සම්බන්ධතා මත පමණක් සිදුවන 'වරප්‍රසාදයක්' වී ඇත්තේ එබැවිනි.

ගුවන් තොටුපොළ කුලීරථ සේවා සපයන්නන්ට මෙසේ කාලය නාස්ති කරන්නට සිදුවී ඇත්තේද අදාළ පාරිභෝගිකයන්ගේ කාලයේ වටිනාකම ඉතා වැඩි නිසාය. දිගු හා වෙහෙසකර ගුවන් ගමනක් නිමා කර රටට ගොඩබසින මඟියෙකුට සිය නිවෙස කරා ලඟාවීමට කුලීරථයක් සොයාගන්නා තුරු නාස්ති කරන්නට කාලයක් නැත. ඒ නිසා එවැනි පාරිභෝගිකයෙකුට ක්ෂණිකව සේවාවක් සපයාගත හැකි මට්ටමේ සැපයුමක් බිහිවී ඇති අතර එම මට්ටමට සැපයුම පවත්වාගැනීමට සේවා සපයන්නන්ට සැලකිය යුතු කාල නාස්තියක් කරන්නට සිදුවේ.

හරියටම මෙහි අනිත් පැත්ත සිදුවන තැනකට උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම පෙන්වා දිය හැකිය. රුපියල් 1000-2000 අතර මුදලක් ගෙවීමෙන් පසුව, විනාඩි දෙකතුනක සේවයක් ලබා ගැනීම සඳහා බොහෝ විට පාරිභෝගිකයෙකුට පැය දෙකතුනක් රස්තියාදු වන්නට සිදුවීම මෙය කියවන බොහෝදෙනෙකුට අරුම අත්දැකීමක් නොවේ. මෙහිදී පාරිභෝගිකයින් විසින් කාල නාස්තියේ පිරිවැය මුළුමනින්ම වාගේ දරද්දී නිෂ්පාදකයා කිසිදු වියදමක් නොදරයි. මෙහි විශේෂත්වය වන්නේ බොහෝ පාරිභෝගිකයින් රජයේ රෝහලකින් නොමිලේ ලබා දෙන සේවාවන් වෙනුවට මුදල් ගෙවා වෛද්‍යවරයෙකු  චැනල් කිරීම තෝරාගන්නේ රජයේ රෝහලක රස්තියාදු වන්නට ඇති අකැමැත්තද සලකා බලමින් වීමයි.

මෙය මෙසේ වන්නේ ඇයි කියා පසුව සලකා බලමු.

(100 Mbps පමණ වේගයකට පුරුදුවී සිට 1.3 Mbps පමණ වේගයකින් වැඩ කරන්නට වීම පිස්සු හැදෙන අත්දැකීමකි. ඉදිරි සති කිහිපය තුළ බ්ලොගය පණපිටින් තබාගන්නට අතරින් පතර මොනවා හෝ ලියනවාට වඩා යමක් කළ නොහැකි බව පෙනේ. පසුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර වලට යථා කාලයේදී  පිළිතුරු ලබා දෙන්නට වෙන්නේද ඉඩ ලැබෙන පරිදි බව කණගාටුවෙන් දැනුම් දෙමි.)

(Image: www.kandysupertaxi.com)



30 comments:

  1. /* 100 Mbps පමණ වේගයකට පුරුදුවී සිට 1.3 Mbps පමණ වේගයකින් වැඩ කරන්නට වීම */

    ගිය වසර වෙනතුරු අපේ නිවසේ ඉන්ටර්නෙට් වේගය 1.4 Mbps ඉක්මවා නොගියේය. හේතුව ලෙස කියන්නේ එක්සස්චේන්ජ් එකේ සිට කිලෝමීටර් හතරකට වඩා දුර නිසා කියයි. පැමිණිලි කිරීමට ටෙලිෆෝන් එක අල්ලාගෙන දිගු වේලාවක් සිටීමට සිදුවෙන නිසා කම්මැලි කමේ සිටියෙමි.

    පැමිණිලි කළ පසුව මොකක්දෝ ජල්බරියක් දමා එය දැන් 5 Mbps පමණ වී ඇත. මගේ අලුත් 4G ෆෝන් එකේ වේගය 60 Mbps බව දැක මට කලන්තය සෑදුණි!

    ReplyDelete
    Replies
    1. අන්න නයා, මෙන්න පෙනේ!!!

      Delete
    2. මේ කියන්නෙ සිරිලන්කා ටෙලිකොම් ගැන නෙහ්.. ඔසී ගැන නම් වෙනන්ඩ බෑ

      Delete
    3. ඩයලොග්, මොබිටෙල්, එටිසලාට් හා එයාටෙල් සිම් හතරක්ම තබාගෙනත් අන්තර්ජාලයට පිවිසීම පහසු නැත. ලංකාවේ බොහෝ දෙනා අන්තර්ජාලයට යන්නේ ජංගම දුරකථන හරහා නිසා මේ සම්බන්ධතා ප්‍රශස්ථකරණය කර ඇත්තේ ඒවාටය. මා අන්තර්ජාලගත වන්නේ ජංගම මොඩෙම් එකක් යොදාගෙන ලැප්ටොප් පරිගණකය හරහා නිසා බොහෝ විට සංඥා නොලැබේ.

      Delete
  2. අත්දැකීම් දෙකම විඳින්න වෙලා වගේ.. අපිටනම් දැන් ඉතින් ඕවා 'ගානක් නැති' වෙලා හිටං..

    ReplyDelete
  3. වෛද්‍යවරුන් චැනල් කරන ස්ථානවලදී දකින්නට ලැබෙනවා ලංකාවේ ජනතාවගේ භාවනා කිරීමේ හැකියාව, පොතක් පත්තරයක් නොකියවා , වෙන එකක් තියා දාල තියන ටීවී ස්ක්‍රීන් එකක් දෙසවත් නොබලා ඔහේ සිටීමට ඇති හැකියාව

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Pra Jay ?

      Delete
    2. ඔහේ සිටීමට ඇති හැකියාව අතින් ලංකාව කොහොමටත් ඉදිරියෙන් නේද?

      Delete
  4. ඉස්සරහින් එහෙට මෙහෙට යන ලස්සන නර්ස්ල හිටියොත් ඔය ආවස්තික පිරිවැය කොච්චර උනත් ගානක් නෑ මටනම්.

    ReplyDelete
    Replies
    1. එහෙමනම් එයිනුත් තරමක් දුරට ඉල්ලුම් කළමනාකරණයක් වෙනව ඇති!

      Delete
  5. චැනල් දොස්තර පෝලිමේ ඉන්නකොට ලෙඩ ඉබේම සනීප වෙනව.

    ReplyDelete
    Replies
    1. නැති ලෙඩ හැදෙන්නේ නැද්ද?

      Delete
  6. රස්තියාදුව එකම උවත් කාලය කාදැමීමට ආසන ලැබීම,'මහත්මයා' යනුවෙන් ආමන්ත්‍රණය කිරීම,දොස්තර තරහ පිරිමහ ගැනීමට ලෙඩාව භාවිතා නොකිරීම යන වරප්‍රසාද චැනල් එකේදි ලැබුනා.දැන් නම් ආසනයක් ලබාගන්නත් පොරකන්න ම වෙලා.
    ඔබගේ සංසන්දනයට මනුශ්‍යයා සහ සමාජය කියන කොටස දාපුවාම කොහොමෙයි කියවන්නෙ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මුල කොටස හරි. රෝග නිශ්චය හා ප්‍රතිකාර වල රජයේ සහ චැනල් කියා ලොකු වෙනසක් නැහැ. වැඩිපුර මුදලක් ගෙවන්නේ ඔබ කියන දේ වලටයි.

      //මනුශ්‍යයා සහ සමාජය කියන කොටස දාපුවාම// මෙහි ඔබ අසන දෙය මට හරියටම පැහැදිලි නැහැ.

      Delete
  7. ඒකනේ අපි වෛද්‍යවරුන්ගේ එකාධිකාරය කඩන්න ඔනා....ඉන්දියාවෙන් ගෙනාවම දොස්තරලා ගෙදෙට්ට ගෙන්න ගන්න පුලුවන්.....:)

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් ඉන්දියාවේත් මේ තත්ත්වයේ ලොකු වෙනසක් නැහැ. ඒ නිසා එවැනි එකතු කිරීමකින් මේ කරුණ හා අදාළව ලොකු වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

      Delete
  8. දැන් නම් චැනල් බිස්නස් එක කරන අය වෙලාවක් හරියට දෙනවා.. ඒ වෙලාවටම එනවා... මොකෝ ගොඩක් අය එක තැනක විතරක් ඉන්න නිසා... හැම තැනම යන බිස්නස් කාරයෝ එනකන් ඉවසගෙන ඉන්න ඉවසීම ඉස්පිටිතාලෙත් ඉන්න පුළුවන්නම් නොමිළේ බෙහෙත් ටික ගතෑකී... පිස්සු මිනිස්සු..

    මම නම් ඔය චැනල් බිස්නස් කරන අය ගාවට යන්නේ අපේ ෆැමලි ඩොක්ටර් කිව්වොත් ඉතරයි.. එයා ඕන ලෙඩකට ගන්නේ 500 යි.. බෙහෙත් ටිකත් එකමයි..

    ලෙඩේ අනුව එක බෙහෙතක් ඉතරක් වෙනස් වෙනවා... එයාට මිනිස්සු කියන්නේ වන් ෂොට් කියලා...

    ReplyDelete
    Replies
    1. අනේ අපේ සීදේවි ...දයානි දොස්තර නෝනා වාගේ ...මහත්තයෙක් ....වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕන ඒ උත්තමාවියට .....ඇත්තමයි මාතේ ඒ මනුස්සය ගැන මට මාර ගෞරවයක් තියෙන්නේ...

      Delete
    2. වන්ෂොට් කියල දොස්තර කෙනෙක් මම දැනට (මේ දවස් දෙකේ) ඉන්න පැත්තෙත් ඉන්නවා. මට තේරෙන විදිහට ඔහු කරන්නේ මේ දවස්වල වැඩිපුර හැදෙන ලෙඩ කිහිපයකටම හරියන බෙහෙත් පැකේජ් එකක් එකපාරම දෙන එක.

      Delete
  9. 100 Mbps? අැඬෙනවා. ඇත්තටම අැඬෙනවා. විශාල වශයෙන් පින්තූර සහ වීඩියෝ එකතු කරමින්, පෝස්ට් ලියන මම පාවිච්චි කරන පැකේජය, 512 kbps. කොහොමද වැඩේ? මසකට රු 1600 + බදු

    ReplyDelete
    Replies
    1. You get your money's worth. A domestic package with 100 Mbps speed with 250 GB worth data usually costs $ 50 - 80. Thats is 4 to 6 times you pay.

      Delete
    2. ඇනෝ නිවැරදියි.මගේ තිබුණු කනෙක්ෂන් එක කොන්ත්‍රාත්තුව අනුව 75 Mbps / 250 GB. ඒත් සාමාන්‍ය බාගත කිරීමේ වේගය 90+ Mbps. මම සාමාන්‍යයෙන් මාසෙකට පාවිච්චි කරන්නේ 80-100 GB. ඇනෝ කියල තියෙන පරාසයේ මිලක් මම ගෙවුවේ.

      Delete
    3. අන්ලිමිටඩ් ඩේටා @1GBps (1000Mbps) 25$.

      Delete
  10. දොස්තර චැනල් සෙන්ටර් එක එහෙම නැත්තම් පුද්ගලික රෝහල එම සේවාවට රූ 500 සිට 850 දක්වා මුදලක් අයකරනවා දොස්තරගේ ගාස්තුවට අමතරව. වාහනයක එනවානම් පාර්කිං වලට පළමු පැයට රු 50 වැඩිවන පැය එකකට රු 30 බැගින් වැඩිවෙනවා. දොස්තර පරක්කුවෙන තරමට ඒගොල්න්ට ලාබයි. තව කැන්ටින්, නෙස්කැෆේ මැෂින් වලටත් බිස්නස්. කොහොමද වැඩේ. !

    ReplyDelete
  11. ///විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම//
    මට ඊයේ රැ පුතා අසනීප වු නිසා මේ සිද්ධි මතක් උනා ආපහු... මොන තරමක් අපි රස්තියාදු උනාද.. ඒත් කතා කරන්නවත් හරිහැටි ලැබෙන්නේ නම් නැහැ, සිසේරියන් සැත්කමකින් බිහිවු බැවින් එදින සිට මේකි ස්ථානයටම අපිට යන්නත් සිදු වී තිබුනා එන්නත් ඇතුලු අනෙකුත් සේවා සඳහා...

    ReplyDelete
  12. http://www.lankaenews.com/news/4148/si

    බොහෝ තරුණයන් කල්පනා කරනවා පාසලෙන් එන්නේ නිදහස් දාඩිය මහන්සියක් නැතුව දවසේ වියදම හොයාගන්න, ත්‍රිරෝද රථයක් ගන්න. අද රටේ ත්‍රී වීල් උඩ වාඩි වෙලා බලාගෙන සිටින ජවසම්පන්න තරුණයන් ලක්ෂ 13 සිටිනවා . බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 05 සිටිනවා .
    - කරු ජයසූරිය

    ReplyDelete
  13. ත්‍රීවිල් එකක් බලා සිටීම හෝ දොස්තර චැනල් සේවය ආප්ප තම්බන තුරු බලා සිටීමට සමාන කරනන් බහ. ඉහත දෙකේදී ඔබ කියන අන්දමේ නිෂ්පාදනයක් සිදු වන්නේ නැහැ. එනම් product එකක් නැහැ. කුලී රථ සේවයේ "ලාභය " රඳවා පවතින්නේම "වෙලාවට " දෙන සේවය මතය. මෙහි නිෂ්පාදන සම්බන්ධතාවයක් නැත.
    http://nelumyaya.com/?p=6051

    ReplyDelete
    Replies
    1. මේ තමයි පැරණි සෝවියට් දේශයේ ආර්ථික විද්‍යාව ඉගැන්වූ විදිහ. මේ වර්ෂන් එක අනුව නිෂ්පාදනයක් කියන්නේ ඇහැට පෙනෙන, අතට අහුවන ද්‍රව්‍යමය දෙයක්. 1950-60 පමණ දක්වා පැවති නිෂ්පාදන ආර්ථික මෙවැනි ආකෘතියකින් විස්තර කළ හැකි වුවත් වත්මන් ආර්ථිකයක් විස්තර කිරීමට මේ ආකෘතිය ප්‍රමාණවත් නැහැ. මේ ආකෘතිය හරියන්නේ නුපුහුණු ශ්‍රමයටයි. ඒ අනුව, (මම ඉගෙනගෙන නැතත් හිතන විදිහට) දෙදෙනෙකුගේ පැයක ශ්‍රමයේ වටිනාකම සමානයි. මා දන්නා තරමින් දැන් රුසියාවේවත් මේ විදිහට ආර්ථික විද්‍යාව උගන්වන්නේ නැහැ. ඔබ එංගලන්තයේදී දකින දේවල් මාක්ස්වාදය සමඟ ගලපන්න හදන උත්සාහය තරමක් සාර්ථක වුණත් ඔබ හිරවෙලා ඉන්නේ මෙතැනයි. සේවාවක් කියන්නෙත් භාණ්ඩයක් වගේම නිෂ්පාදනයක් කියන එක තේරුම් ගත් විට ඔබ හිතනා ආකාරය හා ඔබේ අත්දැකීම් අනුව ඔබට තවත් බොහෝ දේවල් තේරුම් ගන්න පහසුවෙයි. මට තේරෙන විදිහට මාක්ස්වාදීන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක ලාභය හා සේවා නිෂ්පාදන කියන සංකල්ප දෙක තේරුම් ගන්න බැරි වීමයි. ඔබ ලාභය සම්බන්ධව සම්ප්‍රදායික මාක්ස්වාදීන් ඉන්න තැනින් ටිකක් මිදිලා හිටියත් සේවා ආර්ථිකය සම්බන්ධව ඉන්නේ එතැනමයි. ඇත්තටම ඒ සංකල්ප පිළිගත් විට පංති විග්‍රහයත් අර්ථදක්වන්න බැරිවෙන නිසා මාක්ස්වාදයේ හරයම බිඳවැටිලා (ඔබ මාක්ස්වාදය ලෙස දකින දේ අනුවනම් එසේ බිඳනොවැටෙන්න පුළුවන්) එයට පැවැත්මක් නැති වන නිසා වත්මන් ආර්ථිකයක් මාක්ස්වාදී ඇසකින් තේරුම් ගැනීම සහ පැහැදිලි කිරීම ඉතාම අසීරු දෙයක්.

      Delete
    2. මේකට මට වෙන පිළිතුරක් තිබෙනවා. මම මාක්ස්වාදියෙකු ද කියා මම දන්නේ නැහැ. නමුත් ඇඩම් ස්මිත් හෙම ගත්තොත් ඔහු සේවා වෙන් කරතත් එය භාණ්ඩ නිෂ්පාදනයට ලඝු කරන්නේ නැහැ. බ්ලොග් ලිපියක් ලියා පැහැදිලි කරන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.