Friday, June 17, 2016

සේවා ආර්ථිකය ගැන තවදුරටත්...


පසුගිය ලිපි වලට කමෙන්ටුවක් ලෙස රසික විසින් ලංකාඊනිවුස් වලින් උපුටා දක්වා ඇති  කරු ජයසූරියගේ ප්‍රකාශයක් පහත දැක්වේ.

"බොහෝ තරුණයන් කල්පනා කරනවා පාසලෙන් එන්නේ නිදහස් දාඩිය මහන්සියක් නැතුව දවසේ වියදම හොයාගන්න, ත්‍රිරෝද රථයක් ගන්න. අද රටේ ත්‍රී වීල් උඩ වාඩි වෙලා බලාගෙන සිටින ජවසම්පන්න තරුණයන් ලක්ෂ 13 සිටිනවා . බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 05 සිටිනවා. ඔවුන්ගේ  ශ්‍රමය රටට පමණක්  නොවේ  ඔවුන්ටත්  අහිමි වෙලා  තිබෙන්නේ."

ඉහත ප්‍රකාශයෙන් පෙනෙන්නේ නූතන සේවා ආර්ථිකයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඇතැම් විට ඔහුට අවබෝධයක් නැති විය හැකි බවයි. එම ප්‍රකාශය වඩා හොඳින් ගැලපෙන්නේ ප්‍රාග්ධනයේ හිමිකරුවන් වූ ඉඩම් හිමියන් සහ නුපුහුණු, භෞතික ශ්‍රමය පමණක් හිමි කම්කරුවන්ගෙන් සමන්විත සමාජයකටය. සියවසකට පමණ පෙර පැවති ඒ ආකාරයේ නිෂ්පාදන ආර්ථිකයන් ක්‍රමයෙන් වෙනස් වී, පුහුණු ශ්‍රමය වඩා වැදගත් වන සහ භාණ්ඩ නිෂ්පාදනය අභිබවා සේවා නිෂ්පාදනය ඉදිරියට පැමිණ ඇති නවීන ආර්ථිකයකට මේ ප්‍රකාශය එතරම් නොගැලපේ.

ඉහත කී ආකාරයේ ප්‍රාග්ධන හිමියන්ගෙන් සහ නුපුහුණු ශ්‍රමිකයන්ගෙන් සමන්විත, ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදනය සිදුවූ සහ සේවා ආර්ථිකයන් දියුණුව නොපැවති සමාජයක නිෂ්පාදන සාධකයක් ලෙස ශ්‍රමයට ලැබෙන ප්‍රතිලාභය දවසේ වැඩ කරන පැය ගණනට සමානුපාතික විය. ඒ නිසා, 'ජවසම්පන්න තරුණයින්' වැඩි පැය ගණනක් වැඩ කළ විට ඔවුන්ට තරමක් වැඩි වැටුපක් උපයාගැනීමටද, ප්‍රාග්ධන සම්පත් (යන්ත්‍රෝපකරණ), ස්වභාවික සම්පත් (ඉඩම්) හා තාක්ෂණ ඥානය හිමිව පැවති සුළු පිරිසකට එම සාධක වෙනුවෙන් වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීමටද හැකි විය. ඒ නිසා, මෙවැනි නුපුහුණු ශ්‍රමිකයින් විසින් වැඩි පැය ගණනක් වැඩකිරීම එසේ නොකිරීමට වඩා රටේ ආර්ථිකයට හොඳ වූ බව පැහැදිලිය.

පෙර කී යුගයේදී, කොටස් හා ණයකර වෙළඳපොළවල් තබා 'ප්‍රාග්ධනය කුලියට ගත හැකි' බැංකු පහසුකම් වුවද දියුණුව නොපැවති බැවින් උපතින් ප්‍රාග්ධනය හිමි නොවූ සමාජයේ අති මහත් බහුතරයකට ප්‍රාග්ධනය හිමිකර ගැනීමට තිබුණු එකම මාර්ගය සිය නුපුහුණු ශ්‍රමය වෙනුවෙන් ලැබුණු වැටුපයි. මෙසේ ලැබුණු සුළු වැටුප් බොහෝ විට මූලික අවශ්‍යතා සපුරාගැනීමටවත් ප්‍රමාණවත් නොවූ බැවින් කිසියම් ඉතිරි කිරීමක් කිරීම ප්‍රායෝගිකව කළ නොහැක්කක් විය. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි අයෙකුගේ දරුවෙකුට ඒ තත්ත්වයෙන් මිදීමට හැකියාවක් තිබුණේ නැත. ඒ නිසාම, ප්‍රාග්ධනය හිමි අයෙකුගේ දරුවෙකුට ඒ තත්ත්වය පවත්වා ගැනීමද පහසු විය. 


අද වන විට ලංකාවේ මූල්‍ය වෙළඳපොළ බටහිර රටවල මට්ටමටම දියුණු වී නැතත්, සැලකිය යුතු තරමකට දියුණු වී තිබේ. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි අයෙකුට කල්බදු පහසුකමක් වැනි ක්‍රමයකින් ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමේ හැකියාව තිබේ. එසේ ත්‍රිරෝද රථයක් මිලදී ගැනීම සාපේක්ෂව අඩු ආදායම් ලබන ස්ථර අතර ජනප්‍රිය වී ඇති අතර එසේ මිලදී ගන්නා ත්‍රිරෝද රථයක් යොදාගෙන සේවා සැපයීම ජනප්‍රිය ආදායම් මාර්ගයක් වී තිබේ.

ත්‍රිරෝද රථ එළවන ජවසම්පන්න තරුණයින් දහඩිය හෙලන්නේ නැතිවා විය හැකිය. මේ වන විට ලංකාවේ වචනාර්ථයෙන් දහඩිය හෙළන රැකියා කරන්නන් සිටින්නේ ඉතාම සුළු පිරිසකි. ඒ නිසා ත්‍රිරෝද රථ සේවා සපයන්නන් දහඩිය නොහෙලීමේ කිසිදු විශේෂත්වයක් නැත. වචනාර්ථයෙන් නොගත්තත් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයකදී වැදගත් වන්නේ ඒ සඳහා කොපමණ නිෂ්පාදන සාධක (inputs) වැය කරනවාද යන කරුණ නොවේ. කොපමණ වටිනාකමක් එකතු කෙරෙනවාද (value addition) යන්නයි. මේ වටිනාකම් එකතු වීම බොහෝ දුරට තීරණය වන්නේ පාරිභෝගික ඉල්ලුම් සැපිරෙන ආකාරය මතය.


ත්‍රිරෝද රථ රියදුරෙකු රථගාලක නිකරුණේ සිටින විට කිසිදු වටිනාකම් එකතු වීමක් සිදු නොවේ. එහෙත්, ඔවුන් සක්‍රිය ලෙස සේවා සපයන සීමිත කාලය තුළ ප්‍රමාණවත් ආදායමක් ලබන බව ඉතා පැහැදිලිය. මේ ආදායම නිෂ්පාදන පිරිවැය, ශ්‍රමයේ වටිනාකම හා කුලියට ගත් ප්‍රාග්ධනයේ වටිනාකම (කල්බදු පොලී) ගෙවීමට හා බොහෝවිට අමතර ලාභයක්ද ලබාගැනීමට  ප්‍රමාණවත්ය. කල්බදු සමාගම් විසින් ත්‍රිරෝද රථ මිලදී ගැනීම සඳහා  'බය නැතුව' මූල්‍ය පහසුකම් ලබාදෙන්නේ මේ කර්මාන්තය ලාභදායක බවත්, තමන් විසින් ලබා දෙන මුදල් ආපසු නොලැබීමේ අවදානම එතරම් වැඩි නැති බවත් දන්නා බැවිනි. වෙනත් බොහෝ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම එතරම් පහසු නැත.

පසුගිය සතියේ මම ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළෙන් එම රටට පිවිසුනෙමි. මගේ මිතුරෙකු පැමිණෙන තුරු පැය එකහමාරක පමණ කාලයක් කොහොමටත් බලා සිටින්නට වන නිසාත්, පැය විසිහතරකට වැඩි ගුවන් ගමන් දෙකකින් පසු 'රිෆ්‍රෙශ්' වීමට අවශ්‍ය වූ නිසාත් අප ආගමන-විගමන හා රේගු පරීක්ෂන කුටි වෙත ගියේ ගුවන් යානයේ පැමිණි අනෙකුත් මඟීන් පිටත්වී සැලකිය යුතු වෙලාවකට පසුවය. ඒ වන විට එම කුටි අසල මඟින් කිසිවෙකු නොසිටියහ. ජවසම්පන්න, තරුණ ආගමන-විගමන නිලධාරීන් සහ රේගු පරීක්ෂණ නිලධාරීහු එක් කුටියක් අසල රැස්වී 'චැට් එකක් දමාගෙන නිකරුණේ කාලය නාස්ති කරති'. ගුවන් යානයක් පැමිණෙන අවස්ථා වල හැර කටුනායක තත්ත්වයද මෙසේ විය යුතුය. හම්බන්තොට ජාත්‍යන්තර ගුවන් තොටුපළේනම් දවස පුරාම තත්ත්වය මෙසේ විය යුතුය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ මම කොළඹ කෞතුකාගාරය සහ දිවයිනේ වෙනත් ප්‍රධාන නගරයක පිහිටි කෞතුකාගාරයක් නැරඹුවෙමි. මගේ පවුලේ පිරිස හැරුණු විට මා කොළඹ කෞතුකාගාරයේ ගතකළ කාලය තුළ එය නරඹන්නට පැමිණියේ නෙදර්ලන්ත ජාතික යුවලක් පමණි. බොහෝ ප්‍රදර්ශන භාණ්ඩ සමඟ සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් විස්තරාත්මක සටහන් තිබුණු බැවින් අපට වෙනත් උපකාර අවශ්‍ය නොවූවත් සෑම කුටියකම අඩු වශයෙන් එක් නිලධාරියෙකු හෝ නිලධාරිනියක සේවයේ යොදවා තිබෙනු පෙනුණේය. ඇතැම් අය සේවයේ යෙදී සිටින බව කුටියට ඇතුළු වන්නට පෙරම දැනගන්නට ලැබුණේ ඔවුන්ගේ ගෙරවීම් හඬිනි. මේ අයගෙන් කිහිප දෙනෙකු අපේ සද්ද-බද්ද නිසාවත් නින්දෙන් ඇහැරුණේ නැත.

මා නැරඹු අනෙක් කෞතුකාගාරයටනම් නරඹන්නෙකු ඇතැම්විට සති ගණනකින් නොපැමිණියා විය හැකිය. මා වැනි නරඹන්නෙකු පැමිණීමේ විශේෂ අවස්ථාවක් බලාපොරොත්තුවෙන් එහිද සේවකයෝ කිහිපදෙනෙකුම සේවයේ නිරතව සිටියහ. ඇතැම් විට, කාර්යාල සගයෙකුට පැමිණීමේ ලේඛණය අත්සන් කරන මෙන් ඉල්ලීමක් කර ගෙදරටම වී සේවය කරන නිලධාරීන් වුවද මෙවැනි තැනක සිටින්නට බැරිකමක් නැත.

රජයේ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන මගේ ඥාතියෙකු පැවසූ පරිදි ඔහුගේ සේවා ස්ථානයේ සේවකයෝ තිදෙනෙකු සේවා මුර ක්‍රමයට සේවය කරති. ඔවුන් සාමාන්‍යයෙන් කරන්නේ එකදිගට දින දෙකක් සේවය කර (පැය 48ක්) දින හතරක් නිවාඩු ගැනීමයි. මෙසේ පැය 48ක් එක දිගට සේවය කිරීමේදී ඔවුන් එක දිගටම කිසියම් නිශ්චිත කාර්යයක නියුතුව නොසිටින අතර (රෙගුලාසි අනුව නොවුවත්, ප්‍රායෝගිකව) නිදා ගන්නා කාලයද මේ සේවා කාලයට ඇතුළත්ය.


ගුවන් තොටුපළේ හෝ කෞතුකාගාරයේ සේවය කරන රජයේ නිලධාරියෙකුට කිසියම් 'වටිනාකම් එකතු කිරීමක්' කළ හැක්කේ පාරිභෝගිකයෙකු පැමිණි විටෙක පමණි. ඒ නිසා, පාරිභෝගිකයෙකු නොමැති විට ඔවුන් 'දාඩිය මහන්සියක් නැතුව උඩ බලාගෙන' සිටින්නේයැයි මම චෝදනා නොකරමි. පාරිභෝගිකයෙකු පැමිණි විට ඔවුන් කිසියම් වටිනාකම් එකතු කිරීමක් කරනු ඇත. කෙසේවුවද, පැමිණෙන පාරිභෝගිකයින් සුළු පිරිස හා සැලකිය යුතු සේවක පිරිස අනුව මෙවැනි ඇතැම් තැනක එසේ එකතු  කෙරෙන වටිනාකම වැයකෙරෙන මහජන මුදලට ප්‍රමාණවත්ද යන්න මම නොදනිමි. රජයක් කටයුතු කරන්නේ ලාභය අරමුණු කරගෙන නොවන බැවින් එය එසේ නොවිය හැකිය. කෙසේවුවද, ත්‍රිරෝද රථ සේවා සැපයීම සම්බන්ධවනම් මෙවැනි ගැටළුවක් පැන නොනඟින්නේ ලාභයක් නැත්නම් මේ කර්මාන්තයෙහි නිරතවීම මෙතරම් ආකර්ශනීය වීමට හේතුවක් නොමැති බැවිනි.

මා පෙර ලිපියෙහි සටහන් කළ පරිදි, ත්‍රිරෝද රථ සේවාවේදී නිෂ්පාදකයා (සේවා සපයන්නා) රස්තියාදු වෙද්දී චැනල් සේවාවේදී සිදුවන්නේ පාරිභෝගිකයාට රස්තියාදු වීමට සිදු වීමයි. මේ රස්තියාදුව ගැන කලකට පෙර, ප්‍රසිද්ධ මූල්‍ය සමාගමක ප්‍රධාන විධායක නිලධාරියා වන මගේ මිතුරෙකු වත්පොත හරහා මැසිවිලි නඟා තිබුණේය. ඔහු සටහන් කර තිබුණු පරිදි "මේ දොස්තරලා හිතන්නේ ඔවුන්ගේ කාලයේ වටිනාකම ගැන විතරයි. ඒත් අපේ කාලය ඊට වඩා ගොඩක් වටිනවා."

චැනල් ගාස්තුව රුපියල් 1,500 ලෙසත් පැයක් තුළ බලන රෝගීන් ගණන 20 ලෙසත් සැලකුවහොත් විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පැයක වටිනාකම රුපියල් 30,000කි. ඉහත කී මගේ මිතුරාගේ පැයක වටිනාකම මේ මුදල ඉක්මවනවා විය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු චැනල් කරන අතිමහත් බහුතරයකගේ කාලය එම මුදල නොඉක්මවයි. ඒ නිසා, මෙතැනදී රස්තියාදු වන්නට සිදුවන්නේ පාරිභෝගිකයාටය.


මේ රස්තියාදුව අඩුකර ගැනීමටනම් චැනල් ගාස්තුව කිහිප ගුණයකින් වැඩි කළ යුතුය. එවිටද මගේ ඉහත මිතුරා තවදුරටත් චැනල් සේවා ලබාගනු ඇතැයි මා සිතමි. එහෙත්, වෙනත් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් චැනල් නොකර රජයේ රෝහල් වලින් සේවා ලබාගනු ඇත. ඒ, රජයේ රෝහල්වලින් නොමිලේ ලබාදෙන සේවාවන් චැනල් සේවාවන්ට සාපේක්ෂව විශාල ලෙස නරක නැති බැවිනි. චැනල් සේවා වල මිල යනු මේ සේවා තත්ත්වයන්ගේ වෙනසේ මුදල් වටිනාකමයි. අනෙක් අතට, බොහෝ දෙනෙකුට චැනල් සේවා වල රස්තියාදුව ප්‍රශ්නයක් නොවන්නේ එසේ රස්තියාදු නොවන විකල්පයක් ඔවුන් සතු නොමැති බැවිනි. රජයේ රෝහලක වරුවක් රස්තියාදු වීමට සාපේක්ෂව චැනල් සේවා ලබා ගැනීමට පැය දෙක තුනක් රස්තියාදු වීම කාල ඉතිරියකි.

ත්‍රිරෝද රථ සේවාවට නැවත පැමිණියහොත්, මේ සේවා සපයන්නන් කරන්නේ පාරිභෝගික ඉල්ලීම සැපිරීමකි. ඒ නිසා, මෙහි සේවා සපයන්නන් දහඩිය නොහැලීමේ ප්‍රශ්නයක් ලොකුවට නැත. එහෙත්, දහඩිය නොහැලීමේ ප්‍රශ්නයක්ද මෙහි තිබේ. එය ඇත්තේ ත්‍රිරෝද රථ සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයන්ගේ පැත්තේය.

දැන් ලංකාවේ බොහෝ දෙනෙක්ට ඉස්සර මෙන් මීටර් දෙතුන් සීයක් පයින් යන්නට බැරිකමක් ඇති වී තිබේ. ජවසම්පන්න තරුණයෝ දාඩිය දමාගෙන හන්දියට පයින් යන්නට ඇති කම්මැලිකමට ත්‍රිරෝද රථ සේවා සපයන්නෙකුට රුපියල් පණහක් ගෙවති. කාලයේ වැඩි වී ඇති වටිනාකමද මෙයට එක් ප්‍රධාන හේතුවක් වුවත්, ලංකාවේ ජහමනයින්ගේ ඇඟ හොල්ලන්නට ඇති කම්මැලිකමද ත්‍රිරෝද රථ සේවාවන්ට ඇති ඉල්ලුමට තවත් ප්‍රධාන හේතුවකි.


(අන්තර්ජාල සම්බන්ධතා සම්බන්ධ සීමාවන් නිසා ප්‍රතිචාර සැපයීමේ ප්‍රමාද ගැන කණගාටුව පළ කරමි.)
(Image: www.srilankatravel-guide.com)

24 comments:

  1. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ඕපීඩී එකට දවල් එක හමාර - දෙකෙන් පස්සේ ගියාමත් සේවා ලාභියකු එනතුරු චැටක් දාගෙන කාලය නාස්තිකරන දොස්තර මහත්තුරු දුලබ නෑ, චැට ඉවරවෙන තුරු සේවා ලාභියාට රස්තියාදු වෙන්න වුනත් සේවා දායකයින් සතුටින් නිසා සතුටුදායක සේවයක් ලැබෙනවා.

    ටීචින් හොස්පිටල් වලට ශීක්ෂණ රෝහල් කියන්නේ ඇයිද මන්දා, පේරාදෙණියෙ නම් රෝගීන්ටත් අනෙත් රෝහල් වල රෝගීන්ට සාපේක්ෂව හොඳ ශික්ෂණයක් තියනවා වගේ.

    ලංකාවේ නම් බොහෝ විට බ්ලොග් ලියවෙන්නේත්, කියවෙන්නේත් ඔයි කියපු සේවා දායකයා එන තුරු අපතේ යන කාලය තුල (නේ)ද?

    සේවා ලාභියෝ එනතුරාවට කල්මරන ත්‍රීවීල් මල්ලිලා / අය්යලා අඩු වුනොත් ජාතිය සුරැකීමේ ව්‍යාපාර නම් අඩපන වෙන්න පුළුවනි, ඒ වගේම වයින් ස්ටෝර්ස් වලට සති මැද වෙළදාම අඩුවෙලා ඒවායේ සේවකයන්ගේ ශ්‍රමය නිකරුනේ අපතේ යන්නත් පුළුවනි.

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන්ම ශික්ෂණ රෝහලක් වන පේරාදෙණිය රෝහලේ සේවා සපයන්නන් සහ සේවා ලබන්නන් කටයුතු කරන ආකාරයේ තරමක වෙනසක් තියෙනවා (මට එක් වරම මතක් වුනේ සීමාවාසික කාලයේදී වයසක රෝගියෙකුගේ ගුද මාර්ගයේ පැවති සුළු රෝගී තත්ත්වයක් පරීක්ෂා කර වාර්තාවක් ලිවීමට, එසේ යන තෙවන සිසුවා ලෙස ගිය මගේ මිතුරෙක් මුහුණ දුන් අපහසුතාවය.).

      ඇතැම් අය බ්ලොග් සඳහා යොදවන්නේ අපතේ යන කාලය විය හැකියි. එහෙත්, වැඩිදෙනෙකු කරන රැකියා මේ ආකාරයේ 'පාරිභෝගිකයෙකු පැමිණි විට ක්ෂණික නිෂ්පාදනයක් පමණක් කළ යුතු' රැකියා කියා මා හිතන්නේ නැහැ.

      ත්‍රිරෝද රථ සේවා සපයන්නන් මේ වන විට දේශපාලනිකව වැදගත්කමක් ඇති කණ්ඩායමක් කියන එක ඇත්ත. ඔවුන් දිවා කාලයේ මත්පැන් පානය කිරීම සාමාන්‍ය දෙයක් බව මගේ නිරීක්ෂනයටනම් මෙතෙක් අසුවී නැහැ.

      Delete
  2. ඉකොන් කරු ජයසූරියගේ කථාව අරගෙන තියෙන්නේ සේවා ආර්ථිකයේ සිටින අනික් අය ත්‍රිරෝද රථ රියැදුරන් සමඟ සංසන්ධනය කිරීමට පමණයි. ඔහුගේ කථාවේ ඊට වඩා යමක් තිබෙනවා. ඔහු සංසන්ධනය කරන්නේ සේවා ආර්ථිකය සහ නිශ්පාදන ආර්ථික දෙක කියන එකයි මගේ විශ්වාසය. එමෙන්ම පාරොභෝගික මට්ටමේ සේවා සැපයීම සහ නිශ්පාදන මට්ටමේදී සේවා සැපයීම කියන වෙනසත් තියෙනවා.

    1977 පසු සිදුවුණ ආර්ථික වෙනසේ ප්‍රතිලාභ අඩුවෙන් ලැබුණේ බොහෝ දෙනෙක් සේවා ආර්ථිකය පැත්තට යාම නිසා. යමක් නිශ්පාදනය කිරීමෙන් රටේ ආර්ථිකයට සහ තමාගේ ආර්ථිකයට යහපතක් කරගන්නවා වෙනුවට බොහෝ දෙනෙක් පෙලඹුනේ පහසුවෙන් කල හැකි යමක් ආනයනය කර විකිණීම වැනි ක්‍රම වලට.

    එමෙන්ම සේවා සැපයීම සිදුවුණේ පාරිභෝගික මට්ටමේදී. එසේ නැතිව නිශ්පාදන මට්ටමේදී අවශ්‍යවන සේවා එනම් ගබඩා, භාණ්ඩ ප්‍රවාහනය වගේ දේවල් වලින් ඊට වඩා රටට යමක් වෙනවා වගේම ධෛර්‍යවර්න්ත එමෙන්ම ආර්ථික මට්ටමෙන් ඉහලට යාහැකි සේවා වලට පුද්ගලයන් යොමුවීමට ඒඅංශ පිලිබඳ අධ්‍යාපනය වැදගත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ජනතාවට බ්ලේම් එක දාලා වැඩක් නෑ ඉයන්... ආදර්ශය එන්න ඕන ඉහලින් නේද... ප්‍රේමදාස මහත්තයා අඩු ගානේ ගාමන්ට් ෆැක්ටරි හරි දැම්මා... කෝ ඊට පස්සේ නිශ්පාදන ආර්ථිකයක්. කෘෂිකර්මයේ කෝ අළුත් දෙයක්. කුරුඳු මිටි ගහලා යවනවා මිසක්. කෝ කුරුඳු ටැබ්ලට් එකක්. කුරුඳු තේ එකක්. ලස්සන කුරුඳු තෙල් බෝතලයක්. තේ වල තත්වෙත් එහෙමයි. ම්ලෙස්නා වගේ කීප දෙනෙක් පොඩි දෙයක් කරනවා එච්චරයි. වී වගාව.. ආරම්බයේ සිටම අවසානය තෙක් ආන්ඩුවෙන් දෙන සහනාධාරයක්.. මම නම් කියන්නේ පාරිභෝකියයටත් හාල් ගන්න සල්ලි දුන්නා නම් වැඩේ කම්ප්ලීට්. අපිට කෘෂී ආර්ථිකයකුත් නෑ.. සේවා ආර්ථිකයකුත් නෑ.. තියෙන්නේ වහල් මානසිකත්වයක් හා වහල් ආර්ථිකයක් පමණයි.

      Delete
    2. මාතෙ, මම ජනතාවට වැරැද්දක් කිව්වේ නැහැ. මම දකින්නේ අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද. තාක්ෂණික දැනීම ගැනීමට ඇති අවස්ථා අඩු ප්‍රමාණයකුත් කලා වගේ අංශ වලට වැඩි ප්‍රමාණයකුත් යොමුවෙන ක්‍රමයක එලියට එන අයට තිබෙන්නේ ඉතා අඩු තාක්ෂණික දැනුමක්. ඔවුන් ව්‍යවසායකයින් වන විට ඔවුන් යොමුවන්නේ සේවා ක්ශෙත්‍රයේ අයෝජන සඳහා. උදාහරණයකට ත්‍රිරෝද රථයකට ආයෝජනය කිරීම වැනි ඉහල මට්ටමේ කම්ප්‍රිහෙන්ශන් අවශ්‍ය නොවන අංශ.

      අනික රජයේ සේවකයින්ට මහජනයාගේ මුදලින් ලැබෙන වරප්‍රසාද සහ හොරකම් කිරීමේ අවස්ථා. එමනිසා රජයේ සේවයට යොමුවනවා වැඩියි. අවශ්‍ය ප්‍රමාණයට වඩා දේශපාලනික වුවමනාවන් සඳහා රජයේ සේවය පිරවීමත් ඒකට බලපානවා. උදාහරණයකට 2005 දී 700,000 ක් වූ රාජ්‍ය සේවකයින් ප්‍රමාණය තාක්ෂණය විශාල වශයෙන් දියුණු වුණ දශකයක 2014 වනවිට දෙගුණයක් කිරීම.

      Delete
    3. නිර්මාණශීලිත්වයට වැඩි අවස්ථාවක් ලැබෙන කට පාඩම් කිරීමෙන් පමණක් ඉදිරියට යා හැකි අධ්‍යාපන ක්‍රමයක් තමයි වෙන රටවල් මේ ප්‍රශ්ණයට පිළිතුරක් ලෙස යොදාගෙන තිබෙන්නේ.

      Delete
    4. ඔබ හරි... මහින්ද කරපු ගොන් වැඩක් තමයි 100% කින් රාජ්‍ය සෙවය වැඩි කිරීම. දැන් ඔය අමුණුගම කියන්නේ ළෝකයේ වැඩිම රාජ්‍ය සෙවකයින් ප්‍රමාණයක් මෙන්ම පැන්සොන් කාරයන් ප්‍රමාණයක් ඉන්න රට අම්මට සිරි ලංකාවය කියලා.. හරි ඒ මරි මෝඩ කම එහෙමම තියමුකෝ...

      රනිල් මක්කැයි කොලේ...

      එයා කරේ එළොවටත් නැති මෙළොවටත් නැති ඒ කාලකන්නින්ට රුපියල් 10,000 ඉන්ක්‍රිමන්ට් එකකුත් දෙන එක.. හරි නම් කරන්න ඕන ගානක් දීලා ගෙදර යවන එක... අවුලක් නෑ 10,000 බැරි නම් 20,000 ක් උනත් සිරිකොතෙන් දෙනවා නම්... ඒක දෙන්න ඕනේත් බෙල්ල පූජා කරන රිසානලා...

      Delete
    5. මිනිස්සු හැමදාම ත්‍රිරෝද රථ එළවමින් සිටිය යුතුයැයි මම හිතන්නේ නැහැ. මම මෙය දකින්නේ (යම් තරමකට) 1977න් පසු ඇඟළුම් කර්මාන්තය හරහා එතෙක් 'නිකම් සිටි' කාන්තාවන් විශාල පිරිසක් ආර්ථිකයේ කොටස්කරුවන් වීම වැනි දෙයක් ලෙසයි. තමන් සතු විකල්ප අතරින් හොඳම විකල්පය ඔවුන් තෝරාගෙන තියෙනවා. සිදුවිය යුත්තේ ඔවුන්ට නිදහසේ තෝරාගැනීමට ඇති විකල්ප වැඩිවන වටපිටාවක් ඇතිවීමයි.

      Delete
    6. ඇයි මාතේ, ඒ විතරක්යැ ප්‍රේමදාස උන්නැහේ රැකියා වියුක්තියත් 70000 න් විතරම අඩු කලා නොවැ පාරවල් දිගේ බටලන්දේ හෙම. ඒ ශ්‍රීමතා කියපු විදිහට ගාර්මන්ට් ෆැක්ටරි වලින් ජොබ් හැදුනෙ 25000. ගෙවල් දස ලක්ශෙ ( පවුලක 4ක් ඉන්නව කියල හිතුවත් අපි දන්න පවුල් 4 කින් 1 කට එයාගේ ගෙයක් ලැබෙන්ට එපැයි ) වගේ ඇත්ත ගනන 5000 ක් විතර වෙන්නත් බැරි නැහැ.

      අපේ පාලකයො හැමදාම කලේ චන්ද ගන්ඩ පුළුවන් ව්‍යාපෘති: මහජනයගේ මුදලින් මාළුවා අල්ලලා උයලම දෙනව මිසක් මාළු අල්ලන හැටි කියල දීලා බිලී පිත්තක් දුන්නෙ නැහැ. මොකද එහෙම කලොත් ඊලඟ චන්දෙදි මාළුවෙක් පෙන්නපුවම දුවන් එන්ඩ බඩගිනි හමුදාවක් නැති වෙනවනේ.

      ඒකට සේවා නිශ්පාදන හෝ නිශ්පාදන ආර්තික වගේ බරපතල තියරි ඕනේ නැහැ. මාලු ඉල්ලන උන්ට මාළු දෙනවා බිලීපිති ඉල්ලන උන්ට ..... ටයර්,සුදු වෑන් කළු ඩිෆෙන්ඩර් එවනව

      Delete
  3. කාලය සහ ශ්‍රමය අපතේ හැරීම, දකුණු ආසියාතික සහ මධ්‍යම අප්‍රිකානු රටවල තිබෙන, පොදු ලක්ෂණයක්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න බෑ විචා... දියුණු රටවල සේවා කාලය එන්න එන්න අඩු කරන්නේ කොහොමද එහෙනම්.. උඹ පාර්ලිමේන්තුව ලයිව් බලනවා ඇති නේ... කී දෙනෙක්ද බං වැදගත් දෙයක් කතා කරන්නේ... ඔක්කෝම කරන්නේ මඩ ගහ ගන්න එක විතරයි. එයාලා අනුන්ට බණ කිය කිය.. එතන කට ඇරගෙන නිදි... ඔක්කෝටම කලින් එතන තියෙන සැප පුටු අයින් කරන්න ඕන... චීනේ හරි උතුරු කොරියාවේ හරි නිදාගත්තා නම් වෙන දේ දැකලා තියෙනවනේ...

      Delete
    2. දියුණු වන රටවල වැඩි කාල නාස්තියෙන් පෙනෙන්නේ තාක්ෂණයේ/ කාර්යක්ෂමතාවයේ/ ව්‍යවසායකත්වයේ අඩුපාඩු.

      Delete
  4. ඉකොන්,
    මට නම් ඔය ත්‍රී වීල් කථාව දැනෙනෙනේ, රටේ වුර්තිකයන් බිහිවිම අඩපන කරන බවයි. උදාහරණයක් විදිහට පෙදරේරුවන්, වඩු කාර්මිකයන් වැනි රැකියා කරන පිරිස ක්‍රමයෙන් අඩුවන බව පෙනෙනවා. මේ සදහා නොයෙකුත් හේතු තිබිය හැකිය නමුත් ත්‍රී වීල් රියදුරන් වීමට තරුණ පරම්පරාව ඊට වඩා කැමති බවත් පෙන්න තියෙන දෙයක්.
    මේ හා සමානවම ගොවිතැන් හා කාර්මික නිෂ්පාදන කටයුතුත් ක්‍රමයෙන් අඩපන වන බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන පසුව ලිපියක් දමන්නම්.

      Delete
  5. "ලංකාවේ ජහමනයින්ගේ ඇඟ හොල්ලන්නට ඇති කම්මැලිකමද ත්‍රිරෝද රථ සේවාවන්ට ඇති ඉල්ලුමට තවත් ප්‍රධාන හේතුවකි."
    අපේ මහ ගෙදර හා අයියලාගෙ ගෙදර අතර දුර මීටර් 500ක් විතර.
    ගෙවල් දෙකේ හැමෝම වාගේ ඉස්සරත් අදත් ගෙවල් දෙක අතරෙ එහා මෙහා යනවා දවසට 4,5ස් වරක්.
    පොඩි උන් දහ දොලොස් වරක්.
    හැබැයි වෙනස ඉස්සර පයින් දැන් බයික් එකේ හෝ තෙසක් රියේ.
    මම කාලෙකින් ගෙදර ගියාම සේරම් උන් මගෙන් බැනුම් අහනවා තොපි ඉක්මනට මැරෙන්නෙ නැතුව ටිකක් ඇඟ හොල්ලපියව් කියල.

    ReplyDelete
    Replies
    1. බනින්න එපා, ඔවුන් ස්වාභාවිකවරණය ඉක්මන්වෙන්න උදවුකරන අය.

      Delete
    2. ගොඩක් තැන්වල දැන් තත්ත්වය ඔය වගේ තමයි.

      Delete
  6. ජයසූරිය ගේ කතාවේ ඇත්තේ නීරීක්‍ෂණයක් පමණි. ඔහු ප්‍රතිපත්ති සම්පාදකයෙකු නිසා, මේ පිළිබඳ විද්වතුන් ගේ උපදෙස් සහිතව, අය කියන තරුණ ශ්‍රමයෙන් වඩාත් වැලිව් ඇඩ් කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ද, ඒය ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රමවේදයක් ද, ඒ සඳහා ප්‍රතිපාදන ද සකසා වැඩ කරනු ඇතැයි යාන්තමින් හෝ බලාපොරොත්තු විය හැක.

    එසේ කියන්නේ එවැනි නිරීක්‍ෂණයක් ගැන හෝ අහන්නට නොලැබෙන වාතාවරණයක් තිබුණු නිසාය. තරුණ ශ්‍රමයෙන් වැඩිපුරම වැඩ ගත්තේ යුද්ධය සඳහා ය. එය මරණ සහතිකය අත්සන් කළ වැඩෙහි යෙදෙන ක්‍රමවේදයකි.

    කරු, මා ඔහුට දුන් කාඩ් එකේ ඇති ලිපිනය හරහා පැමිණ මේ ඉකොනොමැට්ටා ගේ ලිපිය කියවනවා නම් අගේ ය.

    ReplyDelete
    Replies
    1. මේකි බලහන්කො!

      බලාගෙනම හිටපන් කරු හරි රනිල් හරි තමුසෙගෙ බ්ලොග් කබලට ඇවිත් ජනතාවාදී ප්‍රතිපත්ති හදනක්න්!

      කොහොමත් ඒ මලඉල්ලව්වේ වැදගත් දෙයක් නැහැනේ, තියෙන්නේ තම්මැට්ටම් පම්පොරිනේ!

      Delete
    2. ඉහත කොමෙන්ටුව චු කක්කා පඩ කතා වලින් මුළු බ්ලොග් අවකාශයම ගඳ ගැස්සවූ ගොබ්බයාට පමණයි

      Delete
    3. @ Anonymous June 18, 2016 at 10:21 PM

      /* කරු, මා ඔහුට දුන් කාඩ් එකේ ඇති ලිපිනය හරහා පැමිණ මේ ඉකොනොමැට්ටා ගේ ලිපිය කියවනවා නම් අගේ ය. */

      Delete
    4. නිරීක්ෂණයක් ලෙස කතාවේ වැරැද්දක් නැහැ.

      Delete
  7. නිදහස් වෙළඳ කලාපවල රැකියා අතිරිත්තයක් තියනවා. අවශ්‍යපමණට ලංකාවෙන් බඳවා ගන්න කට්ටිය නෑ!

    ReplyDelete
    Replies
    1. ඔව්. දශක දෙකක පමණ සිටම නිදහස් වෙළඳ කලාප වල සේවක ඉල්ලුම සැපිරෙන්නේ නැහැ. එන්න එන්නම ප්‍රශ්නය උග්‍ර වෙනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.