Sunday, July 16, 2017

නිර්ධන පංතියේ හාල්මැස්සා සහ ධනපති කුකුළා


කුකුළුමස් යනු අප කුඩා කාලයේ අපට හිතේ හැටියට කන්නට ලැබුණු කෑමක් නොවේ. ලංකාවේ මධ්‍යම පාන්තික පවුලක් වූ අපේ ගෙදරට බොහෝ විට කුකුළුමස් ගෙනාවේ පියාගේ පඩි දවසේ හෝ නිවසට අමුත්තෙකු පැමිණෙන අවස්ථාවක වැනි විශේෂ දවසකය. ඊට වඩා වැඩිපුර කුකුළුමස් කෑම අපේ ආර්ථිකයට ඔරොත්තු නුදුන්නා පමණක් නොව ඒ තරමට කුකුළුමස් කෑම, අඩු වශයෙන් ඒ කාලයේ අපේ ගෙදර පැවති සංස්කෘතිය තුළ, අවශ්‍ය හෝ සාමාන්‍ය දෙයක් ලෙස සැලකුනේද නැත. කුකුළුමස් සැලකුනේ අවුරුද්දට හදන හත්මාළුව හෝ කිරිදානයකට හදන කිරියා මෙන් මඟුල් ගෙදරක් වැනි උත්සව අවස්ථා වලට ගැලපෙන ආහාරයක් මිස දිනපතා ආහාරයට ගත යුතු දෙයක් ලෙස නොවේ.

කුකුළුමස් ආහාරයට ගැනීමෙන් සංකේතවත් වුනේ සතුටයි. ඒ නිසා, සතුට පෙන්වීම නුසුදුසු අවස්ථාවක් ලෙස සැලකෙන අවමංගල අවස්ථාවක ඉදෙන කෑමකට කුකුළුමස් හෝ වෙනත් මස් වර්ගයක් පමණක් නොව අළුත් මාළු හෝ එකතු වුනේ නැත. මුහුදුබඩ පළාත් වල සංස්කෘතිය මීට වඩා වෙනස් වූවා විය හැකිය. මළ ගෙදරක සාමාන්‍යයෙන් පිළියෙල කළ ආහාර වේලක වූ සත්ත්ව ප්‍රෝටීන් සංරචකය වූයේ කරවල හෝ හාල්මැස්සන් හොද්දකි. කුකුළුමස් සතුටේ සංකේතයක් වූවාක් මෙන් හාල්මැස්සා දුකේ සංකේතයක් වූවා විය හැකිය.

රට වටකර රට මෙන් කිහිප ගුණයක් විශාල අනන්‍ය මුහුදු කලාපයක් තිබුණත්, මුහුදට සැතපුම් පණහක පමණ දුරින් රට මැදට වෙන්නට සිටි අපට කුකුළුමස් මෙන්ම අළුත් මාළුද සුඛෝපභෝගී ආහාර විය. අපේ ආහාර වේලට දිනපතා සාමාන්‍යයෙන් එකතු වුනු සත්ත්ව ප්‍රෝටීන් ප්‍රභවය වූයේ එක්කෝ කරවල හෝ වියලි හාල්මැස්සන්ය. එසේ නැත්නම් බිත්තරයි. බිත්තර එතරම් දුලබ ආහාරයක් නොවූයේ සමඟි පෙරමුණු ආණ්ඩු කාලයේ හෝ ඇතැම් විට ඊටත් පෙර අපේ ගෙදර කුකුළු පාලනය ඇරඹී තිබුණු නිසාය. මෙසේ ගෙදර හැදූ කිකිළියන්ගේ බිත්තර සීමිත ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් මා ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නට ඇතැයි දැන් මට හිතේ.

බිත්තරයක් කඩන්නට අයෙක් සොයා ගැනීම ඇතැම් විට ප්‍රශ්නයක් වුවත් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් ඒ පවට කර ගහන්නට කවුරු හෝ වැඩිහිටියෙකු ඉදිරිපත් විය. එහෙත්, ගෙදර කුකුළු පට්ටියේ කුකුළෙකු මස් කරන්නට තරම් ධෛර්යයක් අපේ ගෙදර වැඩිහිටියන් කිසිවකුටත් නොතිබුණේය. වරක් කුකුළු කූඩුවට කලවැද්දන් පැන කුකුළන් විශාල ගණනක් මරා දමනු ලැබ තිබුණු විටකද, ලොකු වලක් කපා ඒ කුකුළන් වල දැම්මා මිස සුද්ද කර ආහාරයට ගැනුණේ නැත. කුකුළුමස් හැමවිටම වාගේ සම්පාදනය කර ගැනුණේ නගරයේ වූ මස් කඩයෙන් මිල දී ගැනීම මඟිනි.

ඉඳහිට අතරින් පතර කාගෙන් හෝ ලැබුණු වල් ඌරු මස් ගාතයක් හැර ගම් ඌරු මස් හෝ හරක් මස් මුල් කාලයේදී අපේ ගෙදර ඉදුනේම නැත. එහෙත්, එයට හේතු වූයේ සංස්කෘතික හේතු මිස ආර්ථික හේතුම නොවේ.

දශක හතර පහකට පෙර අපේ ගෙදර ආහාර රටාවේ තිබුණු ආර්ථික හා සංස්කෘතික සීමාවන් ලංකාවේ ආහාර සංස්කෘතිය තුළ තවමත් විශාල ලෙස වෙනස් නොවී දකින්නට පුළුවන. රටේ සාමාන්‍ය ආදායම් මට්ටම පසුගිය දශක හතර තුළ සැලකිය යුතු ලෙස වැඩි වී ඇතත් කුකුළුමස් වලින් තවමත් සංකේතවත් වන්නේ ධනපතියෙකුගේ පරිභෝජන රටාවයි. කාටුන් චරිත වල දැකිය හැකි බඩ තඩි දේශපාලනඥයාගේ පිඟානේ තවමත් දකින්නට ලැබෙන්නේ රෝස් කළ ලොකු කුකුළෙකි.

කුකුළුමස් පරිභෝජනය හරහා සංකේතවත් කෙරෙන ලංකාවේ ආදායම් විෂමතාවය කාටුන් වලට සීමා වූවක් නොවේ. එය ලංකාවේ සැබෑ ආහාර පරිභෝජන රටා තුළ තවමත් දකින්නට හැකි දෙයකි. ආර්ථික සාධක හේතුවෙන් කුකුළුමස් හා අළුත් මාළු පමණක් නොව බිත්තරද ලංකාවේ අති මහත් බහුතරයකට තවමත් හිතේ හැටියට පරිභෝජනය කරන්නට ලැබෙන්නේ නැත. මෙයින් වෙනස්ව, හරක් මස් පරිභෝජනය සීමා වී ඇත්තේ සංස්කෘතික සාධක හේතුවෙනි.


අදටත් ලංකාවේ දුප්පත්ම නිවාස ඒකක සියයට විස්ස තුළ වියලි හාල්මැස්සන් පරිභෝජනය කුකුළුමස් පරිභෝජනය ඉක්මවයි. දුප්පත්ම නිවාස ඒකක 10% තුළ ජීවත් වන පවුලක් වසරකට වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 3.2ක් ආහාරයට ගන්නා අතර ආදායම අනුව දෙවන හා තෙවන පහළ මට්ටම් වල ඉන්නා අය පිලිවෙලින් වියලි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 5.1ක් හා 5.6ක් ආහාරයට ගනිති. මේ කණ්ඩායම් වලට හාල්මැස්සන් ආහාරයට ගැනීම කෙරෙහිද සිය ආදායම් මට්ටම බාධාවක් වන නමුත්, ආදායම අතින් උඩින් සිටින 70%ට එය එතරම් බාධාවක් නොවේ. ආදායම බාධාවක් නොවූවද ලංකාවේ පවුලක් හාල්මැස්සන් කිලෝග්රෑම් 6-7කට වඩා ආහාරයට ගන්නේ නැත. එය ලංකාවේ සාමාන්‍ය පවුලකට වියලි හාල්මැස්සන් පරිභෝජනය කිරීම සඳහා ඇති රුචිකත්වයේ සීමාවයි.

හරක්මස් ආහාරයට ගැනීම ආදායම අනුව පහළින් සිටින 50%කටම ප්‍රශ්නයක් වුවත්, උඩින් සිටින 50%ට එයද බාධාවක් නොවේ. පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය අඩු වීමයි. මෙයින් පෙනෙන්නේ සංස්කෘතික හා වෙනත් ආර්ථික නොවන සාධක වල බලපෑම ආර්ථික සාධක ඉක්මවා යාමයි. රටේ ආදායම් අනුව පහළින් සිටින 50%ට සංස්කෘතික සාධක ප්‍රශ්නයක් නොවූවත් ඉහළින් සිටින 50%ට එය ප්‍රශ්නයකි. සංස්කෘතික සාධක වලට අමතරව සෞඛ්‍යමය හේතුද මේ නිරීක්ෂණයට සැලකිය යුතු තරමින් දායක වනවා විය යුතුය.

කුකුළුමස් හා බිත්තර පමණක් නොව කෙලවල්ලා මාළු පරිභෝජනය හා අදාළවද පෙනෙන රටාව ඉහත රටාවන්ට වඩා වෙනස්ය. මේ ආහාර වර්ග පරිභෝජනය ආදායම වැඩිවන විට දිගින් දිගටම ඉහළ යයි. එයින් පෙන්නුම් කරන්නේ ආදායම අනුව ඉහළින්ම සිටින නිවාස ඒකක වලට පවා මේ ආහාර වර්ග පරිභෝජනය තවදුරටත් ඉහළ දැමීමට ඇති බාධාව ආදායම් සීමාවන් බවයි. ඒ අනුව පෙනී යන්නේ රටේ ආදායම් මට්ටම් වැඩි වීම හෝ මිල පහළ යාම නිසා කුකුළුමස්, බිත්තර හා අළුත් මාළු මිලදී ගැනීමේ හැකියාව වැඩි වන තරමට එම ආහාර වර්ග පරිභෝජනයද තව දුරටත් දිගින් දිගටම ඉහළ යන්නට ඉඩ ඇති බවයි. කුකුළු මස්, බිත්තර හා කෙලවල්ලන් (අලුත් මාළු) හා අදාළව ලංකාවේ පාරිභෝගිකයින්ගේ සීමාකාරී සාධකය වී තිබෙන්නේ ක්‍රය ශක්ති සීමාවන් මිස හාල් මැස්සන්ට මෙන් රුචිකත්වයේ සීමාවන් හෝ හරක්මස් වලට මෙන් සංස්කෘතික සීමාවන් නොවේ.

රටේ පහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වසරකට ඉදෙන්නේ කුකුළුමස් කිලෝ ග්‍රෑම් 1.37ක් පමණි. බිත්තර 39කි. ඉහළම ආදායම් ලබන 10%ට අයත් පවුලක වාර්ෂික කුකුළුමස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 33.8ක්ද, බිත්තර පරිභෝජනය 210ක්ද වෙයි. දුප්පත් නිවසක එක් කුකුළෙකු ඉදෙන විට ධනවත් නිවසක් කුකුළන් 25ක් පමණ ඉදෙයි. එහෙත්, හාල්මැස්සන් හා අදාළව මේ අනුපාතය දෙගුණයක් පමණි.

මස් පිණිස හෝ බිත්තර පිණිස කුකුළන් හදන කුඩා (කුකුලන් 1000 නොඉක්මවන) ගොවිපොළවල් 39,209ක් ලංකාවේ තිබේ. මේවායේ අයිතිකරුවෝ රටට බරක් නැතිව ජීවත්වන කුඩා පරිමාණ ව්‍යවසායකයෝ වෙති. බිත්තර මිල අඩු වීමට හේතු වන, කර්මාන්තයේ සිදුවන සුළු ආකෘතිමය වෙනසක් නිසා වුවද මේ ව්‍යවසායයන් පවත්වා ගෙන යාම අසීරු වී ඒවායින් කොටසක් බිඳ වැටෙන්නට පුළුවන.

මේ කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියෝ "ධනපතියෝ" නොවෙති. එහෙත්, අඩු මිලට බිත්තරයක් කන්නට ලැබීමෙන් වාසි ලබන අය අතර සිටින අවුරුද්දකට වරකට වඩා කුකුළුමස් කන්නට හැකියාවක් නැති, මාසයකට වරකට වඩා බිත්තරයක් කන්නට හැකියාවක් නැති පුද්ගලයෝ ඔවුන්ටද වඩා අසරණයෝ වෙති. එවැනි පවුල් වල සිටින ප්‍රමාණය අඩු වශයෙන් මිලියන දෙකකි. කුඩා පරිමාණ කුකුළු ගොවිපොළ හිමියන් හතළිස් දහසකට නොවැඩි පිරිසකට සහන සලසන්නට වෙන්නේ රටේ අඩුම ආදායම් ලබන 10%ට අයත් මිලියන දෙක ඉක්මවන පුද්ගලයින් ඇතුළු රටේ මාංශමය ආහාර කන සෑම අයෙකුගේම කෑම වේලෙන් බිත්තර කිහිපයක් හා කුකුළුමස් ග්‍රෑම් කිහිපයක් ඉවත් කර ගැනීම මඟින් පමණි. එය කොතරම් උචිතද යන්න විමසා බැලිය හැක්කේ ඒ නිසා සමාජ අතිරික්තය වෙනස්වන ආකාරය පරීක්ෂා කිරීම මඟිනි.

23 comments:

  1. මෙහි අලුත් මාලු වෙනුවෙන් කෙලවල්ලා යෙදීම එතරම් සුදුසු නැතැයි මට හැඟේ. අප කුඩා කාලේ කෙලවල්ලන් වනාහී රතු මාලුවක් ය ඌශ්නය කියා බොහෝ දෙනෙක් කෙලවල්ලා කෑම නොකල අතර බොහෝ දෙනෙක් ප්‍රිය කල තලපත් මාලු වලට වඩා කෙලවල්ලා බොහෝ ලාබ විය.

    පසුකලෙක වෙලෙඳ පොලේ කෙලවල්ලාට වැඩි ඉල්ලුමක් ඇති වූ නිසා (ජපානයට යවනවා කියා අසා ඇත ) එය තලපත් මිලටම,, සමහර විට තලපත් වලටත් වඩා වැඩි මිලකට වෙලෙඳ පොලේ අලෙවි වෙයි.

    තලපත් මාලු වනාහී බොහෝ දෙනෙකු ආහාරයට ගන්නට කැමති මාලු වර්ගය වන අතර එහි මිල ද බොහෝ විට ස්තාවර අගයක පවතී... මේ දිනවල කිලෝව රුපියල් 900 සිට 1100 දක්වා.

    ReplyDelete
    Replies
    1. ඔබ පෙන්වා දෙන කරුණට පදනමක් තිබෙනවා කියා හිතනවා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් පළ කර ඇති අවසන් සමීක්ෂණ වාර්තාවේ මෙවැනි විස්තරාත්මක තොරතුරු තියෙන්නේ බලයා හා කෙලවල්ලා මාළු ගැන පමණයි.

      Delete
    2. //තලපත් මාලු වනාහී බොහෝ දෙනෙකු ආහාරයට ගන්නට කැමති මාලු වර්ගය වන අතර//
      ඇත්තටම බලයා, කෙලවල්ලා, සාලයා, හුරුල්ලා, තෙප්පිළි (වැව් මාළු) වගේ වෙනත් මාළු වර්ග ගණනක් තලපත් වලට වඩා ඉදිරියෙනුයි ඉන්නේ.

      Delete
  2. අපිත් පොඩි කාලේ නිතරම කෑවේ කරවල තමයි. මාළුකාරයා ගමට ගේන මාළුත් හුරුල්ලෝ වගේ ඒවා පමණයි. ඉතිං, හාල්මැස්සෝ, කීරමින්, කාරල්ලෝ කරවල තමයි හැම වේලකට ම වාගේ.

    තාත්තා ගේ ප්‍රියතම කෑම හාල්මැස්සන් නිසා, ඒවා හෝදලා ම අම්මා ගේ නියපොතු ගෙවී තිබුණා.

    ReplyDelete
    Replies
    1. දැන් නං කරෝල කාපු කාලයක් මතක නෑ.
      ෆ්‍රී රේන්ජ් ගං කුකුල් බිත්තර මිසක්.

      Delete
    2. මම හිතාගෙන හිටියේ කරවල වැඩිපුර ආහාරයට ගත්තේ අලුත් මාළු නොපැමිණෙන මුහුදෙන් ඈත ප්‍රදේශ වල කියලයි. (සමහර විට රසිකගේ අම්මා කලවානෙන් ගෙන ආ රුචිකත්වය වෙන්න පුළුවන්)

      Delete
  3. මට නම් එදත් අදත් හාල්මැස්සන් බැදුම හා සමාන රසක් තිබෙන මසක් හෝ මාළුවක් නැහැ. මිල පැත්තෙන් බැලුවොත් අදනම් කුකුළු මස් ලාබයි මට හිතෙන්නේ. හොඳම තත්වයේ ලංකා හාල්මැස්සෝ කිලෝ එකක් රු.900 පමණ වෙනකොට කුකුළු මස් කිලෝ එකක් රු 500 කට හෝ ඊටත් අඩුවෙන් ගන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් කුකුළු මස් ලාබයි. කුකුළුමස් වල එක් වෙනසක් වන්නේ ප්‍රධාන ආහාරයක් ලෙසත් කන්න හැකි වීමයි. කරවල හාල්මැස්සෝ ආදිය වරකට ගොඩක් කන්න බැහැ.

      Delete
  4. /පහළම 10%ට අයත් පවුලක සිට හයවන 10% දක්වා පැමිණෙද්දී වාර්ෂික හරක්මස් පරිභෝජනය ග්‍රෑම් 744 සිට කිලෝග්‍රෑම් 4.8 දක්වා ක්‍රමයෙන් වැඩි වන නමුත් එතැන් සිට ආදායම වැඩිවන විට සිදුවන්නේ වාර්ෂික හරක්මස් පරිභෝජනය වැඩි වීමයි./එතැන් සිට වැඩි නොවේ අඩු වෙන්ටෝන නේද .

    ReplyDelete
    Replies
    1. පෙන්වා දුන්නට ස්තුතියි! නිවැරදි කළා.

      Delete
  5. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
    Replies
    1. මම නම් කැමති, චීන්නු, තුර්කියෝ, සීක්ල, එහෙම ලංකාව හැම තැනම හෝටල් දාගෙන හිටියනම්, අපට අඩු තරමේ හොඳ සයිවර් කඩයක් වත් නෑ, එ මිනිස්සුවත් එලවල දාලා, ඔහෙලව අල්ලලා කුරක්කන් තලපම ගිල්ලවන්න ඕන.

      Delete
    2. දෙවියන් වහන්සෙට මස් කෑල්ලක් හම්බ වුනා එයා එයින් කොටසක් කාලා ඉතිරිය බිම තැබුවාම කුනු ගෑවෙන නිසා කෝටු හතරක් උඩ රැඳෙව්වා.
      එය කුනුවෙන හින්ද කෝටු හතරත් සමඟ එයට පන දුන්නා.
      එය තමා උරා බවට පත්වුනේ.
      උරාගෙන් කකුල් හතර (කෝටු කෑලි) ඉවත් කලාම තනිකර මස්.

      Delete
    3. අනුන්ගේ කොමෙන්ට් අස්සේ රෙන ජංගි ජගතා මෙතනත් ඇවිත් මලපහ කරන්න. පල පල ජංගියා..

      Delete
    4. චීන්නුනම් ඔය කෝටු කෑලි හතරත් අතාරින්නේ නැහැ. ඌරු කුරත් ඔවුන්ගේ ජනප්‍රිය ආහාරයක්.

      Delete
  6. මෙහි අධ්‍යාපන මට්ටම් වල බලපැමක තිබිය හැකිද?

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. නමුත්, අදාළ දත්ත ප්‍රසිද්ධ කර නැහැ.

      Delete
  7. අපි පිටිකිරි අඩුකරලා හාල්මැස්සෝ වැඩිකරන්න කැමති වුනත්, මිලදී ගැනීම සීමාකරලා තියෙන්නේ ඒ ගඳට මැස්සෝ ගෙට එන නිසා, කුමක් හෝ හේතුවක් නිසා පිසීමට සුදානම් කල හාල්මැස්සෝ පැකට් වෙළඳ පොලේ නෑ.

    ReplyDelete
    Replies
    1. //කුමක් හෝ හේතුවක් නිසා පිසීමට සුදානම් කල හාල්මැස්සෝ පැකට් වෙළඳ පොලේ නෑ.//
      ටිකක් විතර පුදුමයි. මෙහෙනම් ගන්න තියෙනවා. සුපිරි වෙළඳසැල් වල කළමනාකරුවන් මෙය කියවනවනම් සිතා බැලිය යුතු දෙයක්!

      Delete
    2. දැන් ඔය ආදායම් කාණ්ඩ 10 මුලු ජනගහනයත් එක්ක ප්රතිශතයක් විදියට තියන තැනක් පෙන්වනවද?
      (කොච්චරකට ප්රෝටීන් අඩුද කියා බලාගන්න)

      Delete
    3. කාණ්ඩ වෙන් කර තිබෙන්නේ එක් කාණ්ඩයකට මුළු ජනගහණයෙන් 10%ක් පමණ වැටෙන ලෙසයි. රටේ පවුල් ඒකක ගණනින් හරියටම 10%ක්. පවුල් ඒකකයක සිටින පුද්ගලයින් ගණන ඉතා සුළු වශයෙන් වෙනස් වන නිසා ජනගහණයෙන් හරියටම 10%ක් නොවූවත්, ආසන්න ලෙස එසේ සැලකීමේ වරදක් නැහැ. මේ දත්ත 2012/13 නිසා ප්‍රෝටීන් පරිභෝජනය මේ වන විට යම් තරමකින් වැඩි වී ඇති.

      Delete
  8. අපේ ගෙදරත් වැඩිපුර හාල් මැස්සන් හා මාළු වලින් කෑවේ හුරුල්ලන්ය. විච්රකතුමාගේ ප්‍රියතම කෑම බල කරවල , හුරුල්ලෝ මාළු හා , කෙලවල්ලන්ය. එමනිසා අප භුක්තිවින්දේද එම අහාරය. කුකුළු මස් ඔහු එතරම් ප්‍රිය නොකළ අතර විශේෂ අවස්ථාවක පමණක් ආහාරයට ගත්තා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔහුගේ කාලයේ ඔය පැත්තේ සාමාන්‍ය ආහාර රටාව.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.