වෙබ් ලිපිනය:

Monday, March 7, 2022

ඩොලරය 15%කින් ඉහළ යයි!


මහ බැංකුව විසින් ඩොලරයක මිල රුපියල් 200 මට්ටමේ තබා ගැනීමේ උත්සාහය අතහැර තිබෙනවා. අද නිකුත් කර ඇති මහ බැංකු නිවේදනයෙන් අදහස් වෙන්නේ ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ යාමට ඉඩ හැර ඉන්පසුව තවත් කාලයක් රුපියල් 230 මට්ටමෙහි තබා ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

මහ බැංකුවේ මේ නිවේදනයත් සමඟම ඩොලරයක මිල ඉතා ඉක්මණින් රුපියල් 230 මට්ටම දක්වා ඉහළ යාමට නියමිතයි. මෙය අවශ්‍ය අවස්ථාවේදී නොකිරීම නිසා සිදුව ඇති හානිය මේ තීරණය නිසා ආපසු හැරවිය නොහැකි වුවත්, දැන් හෝ මේ අයුරින් යම් තරමකින් ඩොලරයේ මිල ඉහළ යන්නට ඉඩ හැරීම තුළ ඩොලර් අර්බුදයෙන් බැට කන ආර්ථිකයට කිසියම් තාවකාලික සහනයක් ලැබේයයි සිතිය හැකියි. 

මේ අවස්ථාව වන විට ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමට ඉඩ ඇති මිල රුපියල් 230 නොවෙතත්, රුපියල් 200 මට්ටම හා සැලකූ විට මෙය හොඳ මිලක්. මේ තීරණයත් සමඟ යම් ඩොලර් ප්‍රමාණයක් රට තුළට සම්ප්‍රේෂණය වේයැයි සිතිය හැකියි. එසේ වුවද, ඩොලරයක මිල රුපියල් 230 දක්වා ඉහළ දමා අර්බුදය විසඳා ගත හැකිව තිබුණු අදියර මේ වන විට පහු වී හමාරයි.

එක පැත්තකින් රුපියල් 230 නරක මිලක් නොවීමත්, අනෙක් පැත්තෙන් මහ බැංකුව විසින් අවම වශයෙන් තවත් මාස තුනක්වත් ඩොලරයේ මිල 230 මට්ටමේ තබා ගැනීමට උත්සාහ කරනු ඇති නිසාත්, ඉදිරි මාස තුනක පමණ කාලය ඇතුළත ලංකාවට ඩොලර් යවන්නට හෝ අතේ තිබෙන ඩොලර් රුපියල් කරන්නට අවශ්‍ය අයෙකුට එය කිරීමට මෙය හොඳ අවස්ථාවක්. 

ආණ්ඩුව තුළ දේශපාලනික බෙදීමක් ඇති වී තිබෙන මේ අවස්ථාවේදී මහ බැංකුව විසින් ඩොලරය මේ අයුරින් සැලකිය යුතු තරමකින් අවප්‍රමාණය වීමට ඉඩ හැරීම හරහා පිළිබිඹු වන්නේ ආණ්ඩුවේ ලිබරල් බලවේග වලට ක්‍රියාත්මක වීමට තිබුණු බාධා යම් තරමකින් හෝ අඩු වී ඇති බවයි. 

11 comments:

  1. මේක හොඳ දෙයක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. හොඳ දෙයක් තමයි. එහෙත්, කළ යුතු දේවල් කළ යුතු වෙලාවට නොකර පස්සේ කළා කියලා මුල් ප්‍රතිඵලයම ගන්න බැහැ. ඒ වගේම, මෙය විදේශ විණිමය ප්‍රතිපත්තියේ හැරවුමක් නෙමෙයි. ඒ කියන්නේ විණිමය අනුපාතය පාවෙන්න හැරීමක් නෙමෙයි. පරණ ප්‍රතිපත්තිය යටතේම පාලන මිල පමණක් වෙනස් කිරීමක්. ඩොලරය 230ට යාමෙන් පසුව නැවත හිටපු තැනටම වැටෙන්න පුළුවන්.

      Delete
  2. විදේශ ශ්‍රමික ප්‍රේෂණ වලින් අහිමිඋන ඩොලර් ටිකවත් ගන්න මහ බැංකුවට බැරිවෙනවා. උන්ඩියල් ක්‍රමයට පුරුදු උනාම උන්ඩියල්ම තමයි.260ක් ගන්න පුලුවන්නම් 230ට දෙන්නෙ මොකටද? ඩොලර් 100ක් එව්වත් රුපියල් 3000 වැඩිපුර ලැබෙනවා. බඩු මිලත් ඉහලනම් වැඩිපුර රුපියල් ලැබෙන ක්‍රමයට මිනිස්සු කැමති වේවි.

    ReplyDelete
  3. එහෙනම් ඉකොනෝ කියන්නේ ඩොලරයේ මිල කියක් කරන්න කියලද?

    ReplyDelete
  4. මේකත් තව මාස 2-3 ක් ඇදගන්න දාපු පැලැස්තරයක් වගේ නේද පේන්නේ

    ReplyDelete
  5. උන්ඩියල් හරහා මේ වෙනකොටත් 250-260 අතර ගානක් දෙනකොට ඉකොන්ට හිතෙනවද මේ ක්‍රමයෙන් රටට විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් සැලකිවයුතු ප්‍රමාණයක් ගෙන්නගන්න පුළුවන් වෙයි කියලා. 230හේ රදවාගන්න හැදුවොත් (200යේ තියාගත්තා වගේ) ආයිත් කලුකඩේ මිල බලවත් වෙන්න ඉඩක් තියෙනවා නේද ඉකොන්? දැන් මේ කරලා තියෙන්නෙත් කරන්න තියෙන සුදුසුම දේ නෙමෙයි නේද

    ReplyDelete
  6. විදේශගත ශ්‍රමිකයන්ට තවමත් ලැබෙන්නේ ඩොලර් එකකට රු. 242 ක් විතර නේද? මොකද ඩොලර් එක 230 නම් අමතර රු. 2 + 10 එකතු වුණාම, දැනට ආණ්ඩුව ඇතුලේ කට්ටියකගේ යෝජනාවක් යනවාලු විදෙස් ශ්‍රමිකයන්ට සහ විදෙස්ගත ලාංකික පුරවැසියන්ට (ඩුවල් සිටිසන්ලටට්ත් එක්ක) ගෙවන ගාන තවත් වැඩිකර ඩොලර් එකකට 270 - 275 ක් විතර සහ වෙනත් මුදල් ඒකක වලටත් (යූ.ඒ.ඊ. දිරාහ්ම්/ කුවඉත් බහ් රෛන් දිනාර්, කතාර් සෞදි ඕමාන් රියාල්, කොරියන් වොං සහ වෙනත් මුදල් වලටත්) ඊට සමගාමීව වැඩි කරන්න, හැබැයි ශුවර් නෑ තව කතාවක් යනවා අර මෑතදී ගෙවපු බොන්ඩ්ස් වලින් හම්බකරගත් විශාල ලාභයෙන් බැසිල්ලාගේ සල්ලි වලින් කොටසක් ලංකාවට ගෙන්න ගන්න මේ වැඩිකිරීම කරපු බවටත්, මම හිතන්නේ මේ මොනවා කළත් ලංකාවේ ඩොලර් අර්බුදය විසඳෙන එකක් නෑ ඩොලර් එක මේ වසර ඇතුලත් රුපියල් (230 - 260 - 290 -320 - 360) වගේ ඉහළ ගිහින් ගොඩක් වෙලාවට රුපියල් 400 ට ආසන්න වීමට නියමිතයි. ලංකාවේ හැම දෙයක්ම ගිණි ගණන් වේවි, මිනිස්සුන්ට විශේශයෙන්ම රජයේ සේවකයින්ට ගොඩක්ම අමාරු වෙයි, ඒ සමගම ආනයනික ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ඇතුලු බොහෝ දේ අධික ලෙස මිල ඉහළ යාම නිසා ඇඟලුම් කර්මාන්ත, තේ පොල් රබර් වගේ අපනයන ආදායම් බිඳ වැටේවි, ලංකාවේ ගොඩක් කර්මාන්ත ලංකාවෙන් ගලවගෙන ගිහින් බංග්ලාදේශ්/ වියට්නාම්/ කැම්බෝඩියා සහ අප්‍රිකාවේ රටවල් වල සෙට්ල් වෙයි. ලංකාව කෙමෙන් කෙමෙන් ඌණ සංවර්ධිත නැත්නම් සෘණ පැත්තට යයි නේද?

    ලංකාව ආපහු 2016/ 19 කාලේ අයි එම් එෆ් ප්‍රොග්‍රෑම් එක කරපු කාලේ වගේ කර්මාන්ත වැසීයාමේ තත්වය වඩාත් තීව්‍ර විදිහට වැඩි වෙයි, ආණ්ඩුව ආයෙත් පාරක් අයි එම් එෆ් ගිහින් බදු වැඩි කළොත් නම් ඩබල් එකෙන් පත්තු වෙයි, කොහොමත් දැන් කාඩපක්ෂ හොර පවුලට යන එන මන් නැතිනිසා කෙළවිළා යන්නම කියලා අයි එම් එෆ් ගිහින් යන යකා කොරහත් බිඳගෙනම යයි වගේ, ප්‍රශ්නේ තියෙන්නේ මේ හොර හැත්ත එලවලා රට මෙතනින් ගොඩ ගන්න කිසිම විදියකින් කේපබල් නායකයෙක් සහ ටීම එකක් නැති එක, රටේ ඉන්න දක්ෂ බුද්ධිමත් මිනිස්සු සමූහයක් එකතුවෙලා ආණ්ඩුවට සහ ඉදිරි ආණ්ඩුවලට බලපෑම් කරමින් යම් සාධනීය දෙයක් කරන්න උත්සාහ කළොත් ටිකක් හරි ශේප් ඒත් ගිලෙන නැවෙන් පනින එක තමයි ලේසිම සේෆ්ම සහ කරන්න පුළුවන් වඩාත් සාර්ථකම ඔප්ශන් එක ලංකාවේ තාම ඉන්න මිනිස්සුන්ට, වෙස්ට් වලට වීසා ගන්න බැරිම නම් මිඩ්ල් ඊස්ට් ගොහින් එහෙන් ට්‍රයි කළොත් චාන්ස් එකක් තියේවි, මේ දවස් වල තෙල් මිලත් එක්ක මිඩ්ල් ඒස්ටර්න් කන්ට්‍රීස් වල තත්වය ගොඩක් හොඳයි.

    ReplyDelete
  7. නැදුන්ගමුවේ රාජා මියගියේ ඇයි ඉකොනෝ?

    ReplyDelete
  8. 230ක් ඩොලරයෙ මිලද? නැතිනම් ඩොලර් එකේ ගාන 200මයි. බෝනස් රුපියල් 30ක් එක්ක 230ක් ලැබෙනවද?
    පලවෙනි එකෙන් ආර්තිකේ රින යනව. දෙවෙනි එකෙන් ආර්තිකයට බලපෑමක් නෑ.

    ReplyDelete
  9. ඉකොනොමැට්ටාගෙන් ඉතාමත්ම වැදගත් ප්‍රශ්න කීපයක්ම අහන්න තියෙනවා, මේවාට ඔබේ පිළිතුරු අපේක්ෂා කරමි.

    අද උදේ පාන්දර (ලංකාවේ වෙලාවෙන්) වට්ස් ඇප් මැසේජ් එකක් ආවා අද උදේ හදිසි කැබිනට් තීරණ ගැන, ඒකේ කියන විදිහට ලංකාවේ විදේශ ශ්‍රමිකයන්ට ඇතුලු විදෙස් විනිමය එවන අයට ඩොලර් එකකට අමතරව ලබාදීමට රජය තීරණය කරපු රු. 10 වෙනුවට රුපියල් 38 ක විශේෂ දිරි දීමනාවක් දෙන්න තීරණය කරල තියෙන්නේ මේක ඇත්තද?

    මට තියෙන ප්‍රශ්නය දැන් ඊයේ ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කොරපු ඩොලර් එකකට රුපියල් 230 ක් අලුත් රේට් එක අනුව අපට ඩොලර් එකකට රුපියල් 268 ක් ලැබිය යුතුයි නේද? මෙය නිවැරැදිද?

    ඊළඟට ඩොලර් එකකට සාපේක්ෂව අනෙත් කරන්සි වලටත් මේක මේ අනුපාතය අනුව 16% ක් වැඩි වේවිද? උදාහරණයක් විදිහට ඕමාන් රියාල් එකකට නීත්‍යානුකූල බැංකු රේට් එක රු. 525.67 වුණත් හවාලා ක්‍රමයට රු. 690 - 700 ක් ගන්න පුළුවන්, නමුත් දැන් මේ වැඩි කිරීමත් සමග රියාල් එකක අගයත් රු. 683.371 ක් දක්වා ඉහළ යා යුතුයි. ඒ වගේම ඩොලරයට රු. 38 ක් වැඩිවෙනවා නම් ඕමාන් රියාල් එකක් රු. 796.276 ක් දක්වා අධික ලෙස ඉහළ යා යුතුයි. මේක මෙහෙමම වෙයි ද?

    ඒ වගේම මේ ඩොලර් වලට වැඩියෙන් දෙන්න නිකුත් කරන (අච්චු ගහන?) අධික මුදල් කන්දරාව නිසා (මගේ ගණනය කිරීම් අනුව රු. ට්‍රිලියන් 1.4 ක්වත් වෙයි මේ අවුරුද්ද ඉවරවෙද්දී) නැවත වතාවක් රට තුල අධි උද්ධමනයක් ඇතිවෙලා අතිශය භයානක තත්වයක් ඇති වෙන බවත් ඩොලර් එක අසීමිත ලෙස ඉහළ යාහැකි බවත් පේනවා, මේකට දෙන්න පුළුවන් විසඳුමක් ගැන ඔබට අදහසක් තිබේද? තව අපනයනකරුවන්ටත් අපනයන වලින් ලංකාවට ගේන ඩොලර් එකකට රු. 30 ක් දිරි දීමනා කියලා මගුලක් දෙන බව ගොන්දුල බනවර්ධන බුල්ඩෝග් නාකියා මොකද්ද රට බයිලයක් ගැහුවනේ පහුගිය කාලේ, අන්න ඒකටත් අද කැබිනට් අනුමැතිය හිමිවෙලා, ඒකෙන් තවත් ප්‍රශ්නය වැඩිවෙලා ගොඩ ආ නොහැකි මහා අගාධයක ලංකාව හිර වෙලා වැනසිලා යන බව ඉතාමත්ම පැහැදිලියි. (1 US$ = 230 + 30 = Rs. 260 for Exporters) හොඳම දේ හැකි හැමෝම ලංකාවෙන් පිටවෙලා යන එක, පවුල්වල වයසක අය පවා කොහොම හරි පිට රටකට ගෙන යන්න වෙනවා මේ ප්‍රශ්න නිසා කියලයි මට හිතෙන්නේ මේක ගැන යම් පැහැදිලි කිරීමක් කළ හැකිද?

    ReplyDelete
  10. //හොඳම දේ හැකි හැමෝම ලංකාවෙන් පිටවෙලා යන එක, පවුල්වල වයසක අය පවා කොහොම හරි පිට රටකට ගෙන යන්න වෙනවා//
    ඔව් ඉතාම නිවැරදි අදහසක්. අපිත් එක්ක ඉගෙන ගත්ත බහුතරය 2010 වෙනකොට ලංකාවෙන් ගිහින්.එයාල ලංකාවෙන් යද්දි තිබුණ Farewell පාර්ටි වලදි පුළුවන් තරම්, අපි කියෙව්වෙ නිදහස් අධ්‍යාපනයෙන් උසස් අධ්‍යාපනය අපිට දෙන්න දුක් විඳපු මිනිස්සු වෙනුවෙන් අපි මෙහෙ ඉන්න ඕන කියල. ලිය උන් අපට කිව්වෙ උඹල බීල විකාර කියවනව කියල.
    දැන් තමයි තේරෙන්නෙ අපි මෙහෙ නතර වෙලා කරගත්ත ගොන්කමක් කියල. ඒ නිසා ඇනෝ කියන මේ කථාව දැන්නම් ඇත්තම ඇත්ත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: