වෙබ් ලිපිනය:

Sunday, March 20, 2022

තාමත් සල්ලි අච්චු ගහනවද?

 


දෙරණට අනුව පසුගිය අඟහරුවාදා (මාර්තු 15) මහ බැංකුව විසින් අලුතෙන් රුපියල් කෝටි 8,300ක් සල්ලි අච්චු ගහලා තිබෙනවා. මගෙන් එක් හිතවතෙක් මේ ගැන විමසීමක් කරමින් මේ විදිහට සල්ලි අච්චු ගහද්දී රුපියල පාවෙන්න ඇරපු එකේ තේරුමක් තියෙනවද කියලා අහනවා.

මේ වන විට ශ්‍රමික ප්‍රේෂණ සඳහා වැඩි මුදලක් ගෙවන එක නවත්වා තියෙනවා. එය හොඳ තීරණයක්. එකම ඩොලරය සඳහා තෝරාගත් පිරිසකට පමණක් වැඩි මිලක් ගෙවීමෙන් වෙන්නේ ඩොලරය පිළිබඳ මිල අපේක්ෂාවන් සීමා කර ගැනීම වඩා අපහසු වීමයි. මේ වෙද්දී ඩොලරය එහි නියම අගය දක්වා අවප්‍රමාණය වී අවසන් නිසා අපේක්ෂාවන් ඉහළ නොයන්නේනම් ඩොලරයේ මිල මේ සතිය තුළ ස්ථායී විය යුතුයි. ඒ සමඟම, තාවකාලිකව වුවත්, ප්‍රශ්නයෙන් සැලකිය යුතු කොටසක් විසඳෙනවා.

කෙසේ වුවත්, වැඩි වැඩියෙන් සල්ලි අච්චු ගහනවා කියා කියන්නේ ඩොලරයේ නියම අගය තව තවත් ඉහළ යනවා කියන එකයි. එවිට ඩොලරයේ මිලෙන් එම අගය පිළිබිඹු වීමට ඉඩ හරින්න වෙනවා. මෙය වලක්වා ගත හැක්කේ සල්ලි අච්චු ගහන එක පාලනය කිරීමෙන් පමණයි.

දැන් අපි දෙරණ පුවත වෙත යමු. 

"ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,627.00 ක් බව ඊයේ අඟහරුවාදා (15) දින නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ඊට පෙර දින එනම් සඳුදා (14) දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 1,543.97 ක් බව මීට පෙර සටහන්ව තිබීමයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඊයේ දිනය තුළ දී රු. බිලියන 83.03 කින් වැඩි වී ඇත.

එනම් රු. බිලියන 83.03 ක හෙවත් රු. කෝටි 8,303 ක නව මුදල් ප්‍රමාණයක් ඊයේ දින රටට මුදා හැරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇති බවයි.

මෙලෙස නව මුදල් නිකුත් කිරීම සඳහා මුදල් අච්චු ගැසීම යන සාමාන්‍ය ව්‍යවහාරය ද භාවිත වේ."

මෙහි මුල් කොටසේ සඳහන් සංඛ්‍යාලේඛණ සියල්ල නිවැරදි වුවත් අවසන් වාක්‍ය දෙකෙහි සඳහන් කරුණු නිවැරදි නැහැ. මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක්. පෙර දින එම අගය රුපියල් බිලියන 1,543.97ක්. ඒ අනුව, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 83.03කින් හෙවත් රුපියල් කෝටි 8,303කින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා මුදල් ගෙවද්දී අලුත් මුදල් සංසරණයට එකතු වී සංචිත මුදල් සැපයුම ඉහළ යනවා. සංචිත මුදල් සැපයුම ඉහළ යාම සාමාන්‍ය ව්‍යවහාරයේදී සල්ලි අච්චු ගැසීම ලෙස හැඳින්වෙනවා.

කෙසේ වුවත්, මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් එහි මුහුණත වටිනාකම ගෙවන්නේ නැහැ. මුහුණත වටිනාකම කියන්නේ බිල්පත්/ බැඳුම්කර කල් පිරීමේදී ගෙවන මුදලයි. මහ බැංකුව විසින් හෝ වෙනත් අයෙකු විසින් භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීමේදී ඒ වෙනුවෙන් ගෙවන්නේ එහි වෙළඳපොළ වටිනාකමයි.

වැඩිපුර තොරතුරු අවශ්‍යනම් පහත ලිපි කියවන්න.

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (තෙවන කොටස)

භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (සිවුවන කොටස)

මාර්තු 15 අඟහරුවාදා මහ බැංකුව සතුව තිබී ඇති භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 1,627.01ක් වුවත් එම බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 1,567,26ක් පමණයි. පෙර දින එම අගය රුපියල් බිලියන 1,492,42ක්. මේ අනුව, මහ බැංකුව සතු වූ බිල්පත්/ බැඳුම්කර වල වෙළඳපොළ වටිනාකම දිනක් තුළ රුපියල් බිලියන 74.85කින් හෙවත් රුපියල් කෝටි 7,485කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ කියන්නේ, දවසක් ඇතුළත එපමණ මුදලක් සල්ලි අච්චු ගහලද?

මහ බැංකුව විසින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර මිල දී ගත් පමණින්ම සංචිත මුදල් සැපයුම ඉහළ යාමක්, එනම් සල්ලි අච්චු ගැසීමක්, සිදු වන්නේ නැහැ. මහ බැංකුවෙන් එළියට යන සල්ලි නැවත මහ බැංකුව වෙතම එන ක්‍රම ගණනාවක් තිබෙනවා. වත්මන් සන්දර්භය තුළ මේ සඳහා හොඳම උදාහරණය සංචිත විකිණීමයි. 

මහ බැංකුව විසින් ඩොලරයක් විකුණන හැම විටෙකම එහි රුපියල් වටිනාකම මහ බැංකුවට ලැබෙන නිසා යම් මුදල් ප්‍රමාණයක් සංසරණයෙන් ඉවත් වී නැවත මහ බැංකුව වෙත එනවා. එහිදී සංචිත මුදල් සැපයුම පහළ යනවා. සංචිත මුදල් විකුණා උපයන රුපියල් බිල්පත්/ බැඳුම්කර මිල දී ගැනීම සඳහා යෙදෙවුවොත්, මහ බැංකුව සතු බිල්පත්/ බැඳුම්කර ප්‍රමාණය ඉහළ යන නමුත් සංචිත මුදල් වැඩි වෙන්නේ නැහැ. මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්/ බැඳුම්කර කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය තීරණය කෙරෙන නිර්ණායක ගණනාවක් අතරින් එකක් පමණයි.

මාර්තු 9 දින සිට මාර්තු 16 දක්වා සතියක කාලය තුළ මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය රුපියල් බිලියන 1,357.10 සිට රුපියල් බිලියන 1,370.50 දක්වා රුපියල් බිලියන 13.40 කින් හෙවත් රුපියල් කෝටි 1,340කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව අදාළ සතියේ එක් දිනක් තුළ රුපියල් කෝටි 8,303ක් සල්ලි අච්චු ගසා තිබීම විය නොහැක්කක්. එහෙත්, සල්ලි අච්චු ගැසීමේ ප්‍රශ්නයක් තිබෙනවා. 

7 comments:

  1. ප්‍රශ්නේ කොනකින් අල්ලාගෙන බොරුවට දගලනවා. බොරු මාද්‍ය සංදර්ශනයක් මවනවා. අන්තිමට කබ්රාල් ඇවිත් මේ වගේ පහදලා දුන්නම අනිත් කට්ටියගේ රෙදි ගැලවෙනවා. කබ්රාල් ඔහුගේ ගැලවිලා තියෙන රෙදි ආයිත් ඇදගන්නවා. ඊට පස්සේ අපි තමයි හොදටම කලේ කියලා කියනවා. අන්තිමට අතිවිශාල වශයෙන් මුදල් අච්චු ගහන ලෙස මේ ආණ්ඩුවට ඇති මහජන අප්‍රසාදය මේක හරහා දිය කරලා දානවා.

    ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගැසීමේ ඇත්තම ප්‍රශ්නය එහෙමම තියෙනවා. කොහොමද ටිකිරි මොලේ.

    ReplyDelete
  2. සල්ල අච්චු ගැසුමට ඇත කඩදාසී
    බෙහෙත් තුණ්ඩු ගැසුමට නැත කඩදාසී
    ප්‍රශ්න පත්රෙටත් ප්‍රශ්නය කඩදාසී
    මොකක් වුණත් මෙහෙල වෙන්නෙ නැත වීසී

    ReplyDelete
  3. ඉකොනොමෑට්ටා ඔබ දකින විදිහට ලංකාවේ ජනාධිපති නන්දසේන රාජපක්ෂ එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සලකා බලමින් සිටින්නේ යයි පලවන සමාජ මාධ්‍ය වාර්තා ඇත්තද?

    ලංකාවේ කට කතාවල හැටියට අපේ ගෙදර අයට ආරංචි වෙලා තියෙනනේ ඩොලරය අධික ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් විදිහට ජීවන වියදම සමඟ උද්ධමනය ඉහළ යාමත් ජනතාවට මිලදී හැඟීම් ගැනීමේ හැකියාව පහළ වැටීම නිසා අපේක්ෂා භංගත්වයට පත්වන තත්ත්වයක් ආර්ථික අර්බුදය උග්‍ර වීම මත අසංවිධානාත්මක බහුජන විරෝධතාවක් රට පුරා වර්ධනය වෙමින් ඇති බව ඇති බව රාජ්‍ය බුද්ධි අංශය විසින් වාර්තා කර ඇති බවත් ඇතිවෙමින් තිබෙන ජන විරෝධතාවය දේශපාලන පක්ෂ අභිබවා යන බහුජන විරෝධතාවක් බැවින් රාජ පක්ෂ යුගයේ අවසානය මෙසේ සනිටුහන් කරන වගත් පෙනෙන එක විශාල සතුටටට කරුණක්.

    නමුත් මේ දවස් වල තියෙන සෝ කෝල්ඩ් ආර්ථික අර්බුදය ඇත්ත එකක් වුණත් එය උවමනාවට වඩා ගොඩාක් භයානක විදියට මවල පෙන්වල තියෙන්නෙ රාජපක්ෂ කල්ලියේ කට්ටිය තමයි. ඕක යට තියෙන ගේම් එක තව ටික දවසකින් බලන්න ඕන තවම හරියටම තේරුම් ගන්න අමාරුයි. අර ගෙවපු අයි එස් බී හරහා ඩොලර් සෑහෙන ගානක් ගල් කර ගත්තා, දැනට පවතින සෝ කෝල්ඩ් ආර්ථික අර්බුදය දඩමීමා කරගේන රුපියල ෆ්ලෝට් කිරීම කිරීම හා ඉන්ධන ආනයන මිලට විකිණීම, ශ්‍රීලන්කන්, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජල සම්පාදනය, ලංගම, දුම්රිය වැනි ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම නමින් එම ගණුදෙණු හරහා විශාල ලෙස මුදල් සොයා ගැනීම, පොහොර සහනාධාරය අහෝසි කිරීමෙන් රජයේ පාලනය අත්හැර දමමින් කෘෂිකර්මාන්තය වෙළඳපොළකරණය (සෝ කෝල්ඩ් බොරු ආහාර අර්බුදය තවම ඇති වූයේ නැහෑ), මේ හරහා ජන මනස හැඩහස්වන කපටි ආණ්ඩුව ණය "ප්‍රතිව්‍යූහගත කරගැනීම" නමින් බොරු බයිලාවක් ගසමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම ඒ හරහා එක පැත්තකින් ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ ධම්මිකලා, නන්දනලා, දිලිත්ලා රේනෝලා ශේප් එකේ තියාගෙන උන් කරන බිස්නස් වලට රජයේ සහය නොදීමට එය හේතුවක් කරගැනීම (දැනුත් දෙරන හිරු ආදීන්ට මේක තේරිලා තමයි ආණ්ඩුවට පලු යන්න බනිමින් සජිත්ගේ පැත්තට හේත්තු වෙලා තියෙන්නේ), ආර්ථිකයේ රාජ්‍ය මැදිහත්වීම හැකිතරම් දුරට නියාමනයට සීමා කරමින් ව්‍යවසායකත්වය හා නිදහස් වෙළඳපොළ බලවත් කිරීම, රාජ්‍ය හෙවත් මහජන දේපල පෞද්ගලික කට්ටියට විකුණා (රටේ ඉඩම්වලින් 80%කට වඩා තවමත් අයිති රජයට) පෞද්ගලික හවුල්කාරීත්වයන් හා ඍජු විදේශ ආයෝජන වෙනුවෙන් උපරිම ආරක්ෂාව හා විශ්වාසය තහවුරු කිරීම, රාජ්‍ය සේවා වැටුප් පූර්ණ සංශෝධනයකට ලක්කිරීම, රාජ්‍ය සේවයේ සියලු අලුත් පත්කිරීම්, උසස්වීම්, වැටුප් වැඩි කිරීම් හා වර්ජන අයිතිය අත්හිටුවා සියලු රාජ්‍ය සේවකයන්ගේ අනියම් නිවාඩු 50%කින් අඩු කර වෛද්‍ය නිවාඩු සඳහා රජයේ රෝහලක වෛද්‍ය නිර්දේශයක් අනිවාර්ය කරමින්, තීරුබදු රහිත වාහන බලපත්‍ර අහෝසිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නමින් සහනාධාර කප්පාදුව වගේ දේවල් ගොඩක් කරාවි.

    විදේශ රටවලට හා සමාගම්වලට විකුණා තිබෙන දේපළ යළි පවරාගැනීමක් කිසිසේත්ම සිදුනොකරන බවට පූර්ණ සහතිකයක් ලබාදිමින්, කලාපීය බල තුලනය තුළ විශේෂයෙන් ඉන්දියාව සමග සබඳතා දැඩිව ශක්තිමත් කරන්නට වේවි. කොළඹ වරායේ බටහිර පර්යන්ත කන්ට්‍රැක්ට් එක ඉන්දියාවේ අදානි සමාගමට ලබා දීමෙන් රුපියල් මිලියන 15,000 ක කොමිස් මුදලක් ගත් බවටත් කතාවක් යනවා මේක ඇත්තද?

    අනෙක් පැත්තෙන් මේ දවස්වල හම්බන්තොට නගරය තුළ ඩොලර් බිලියනයක ආයෝජනයක් සිදුකිරීමට පැමිණෙන චීනයේ බාඕවූ ස්ටීල් සමාගම හරහා ලොක්කන්ට ලැබෙන්නට යන කොමිස් මුදල කීයක් විතර විය හැකිද?

    මහ බැංකු නවතම නිල දත්ත අනුව, 2022 මාර්තු මාසයේදී විනිමය අනුපාතිකයේ කැපී පෙනෙන ඉහළයෑම හේතුවෙන්, විදේශගත ශ්‍රමිකයන් සහ අපනයනකරුවන් විසින් විධිමත් මාර්ග හරහා විදේශ විනිමය ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමෙහි සැලකිය යුතු වර්ධනයක් දැනටමත් පෙන්නුම් කර ඇතත්, මහ බැංකු දත්තවලට අනුව 2022 මුල් මාස දෙක තුළ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති මුළු ආදායම 3,442.7% කින් ඉහළ ගොස් ඩොලර් මිලියන් 582.7ක් වුණත් සමස්තයක් විදිහට ලංකාවේ ආර්ථිකයට ආනයන කිරීමට තරම් විදේශ විනිමය ආදායමක් අපනයන, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ හා සංචාරක ව්‍යාපාරය ආදිය මගින් නොලැබීමත් රාජ්‍ය ආදායම් හා වියදම් අතර මූල්‍ය පරතරය පියවාගැනීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ ලබාගත් ණය ගෙවාගැනීමට නොහැකි වීමත් නිසා කවුරු හෝ විශ්වකර්මයකු විසින් මේ අර්බුදයෙන් රට ගොඩදමා දෙන බවට ලංකාවේ මිනිස්සු දශක ගනනක් බලා සිටින නමුත් එම විශ්වකර්මයා යනු එම එක එක පුද්ගලයා කැමති දේශපාලකයකු වෙනවා නම් ඊටත් වඩා කැමතියි. (රාජපක්ෂලා/ සජිත්/ අනුර/ පාඨලී/ නාගාන්ද/ පල්ලෙවත්ත/ වෙනත් මොකෙක් හරි ඒ වගේම ගොනෙක් ආදී වශයෙන්)...

    ReplyDelete
    Replies
    1. තව දෙයක් රාජ පක්ෂ පවුල හා එහි ගජමිතුරු කම්බා හොරුන් පසුගිය කාලයේ ලංකාවෙන් පිටතට ගෙනගොස් සැඟවූ මුදලක් තිබේ නම්, එය ආපසු ගෙනැවිත්, ඊටත් වඩා ලාභදායී ආයෝජනවල යොදවා හෝ මේ ආර්ථික අර්බුදය පියමං කරගැනීමට ලැබේ නම් මම නම් ආත්මාර්ථකාමී ලෙස කැමතියි, නමුත් මේ බයිලාව ගහන ජවිපෙ උත්සාහ කරන්නේ සිය ආසන සංඛ්‍යාව වැඩිකරගෙන ශක්තිමත් විපක්ෂයක් හදාගේන පක්ෂයේ ආදායම් වැඩිකරගෙන නායකයන්ගේ සුඛ විහරණය නාමල් යෝශිත ගෝඨා බැසිල් මරා මට්ටමට ඉහල නැංවීම මිස ආණ්ඩු බලය ගන්නට නොවේ, අනිත් එක අද වෙන කොට රටේ අර්බුදය නිර්මාණය කිරීමට පුරෝගාමි වු හා ඊට අත්උදව් දිපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සෙට් එකම තමයි විසඳුම සඳහාත් වාඩි වෙන්නේ. එතකොට ගන්න තීන්දු තිරණ සියල්ලම යලිත් අල්ලස හා දුෂණය සඳහා සිදුරු තියලා තමයි සම්මත කරන්නේ. පසුගිය කාලයේ සම්මත කළ අණපණත් දෙස බැලුවාම මේක පැහැදිලියි. මේකට ඔබේ විසඳුමක් ලෙස පෙනෙන යෝජනාව මොකක්ද?

      තව වැදගත් දෙයක් ලංකා-චීන නිදහස් වෙළඳ ගිවිසුම (සී එස් එල් - එෆ්ටී ඒ ) සම්බන්ධයෙන් මේ වන විට පවත්වන සාකච්ඡා පිළිබඳව ඔබේ අදහස් ලියන්න, විශේෂයෙන් මේ චීන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම හරහා ලංකාවේ දේශීය වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා කුමන බලපෑමක් එල්ල වේවිද?

      https://economynext.com/china-resumes-sri-lanka-fta-push-amid-indian-tactics-over-loans-energy-deals-91873/

      Delete
  4. අපි හම්බ කරොත් අපි කනවා. ඒ ඇරෙන්න මේ ආණ්ඩුව පෙරලුනා කියලා වෙන ආණ්ඩුවක් ආවා කියලා අපිට කවුරුත් කන්න දෙන්නේ නැහැ. කොහොම උනත් මේ ආණ්ඩුව නං රුපියල් 5,000 දීමනා පවා දුන්නා මිනිසුන්ට කීප සැරයක්.

    ReplyDelete
  5. මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර උපකාර මත සමගි ජන තරුණ බලවේගයේ අධීක්ෂණය යටතේ තිස්සමහාරාම ප්‍රදේශයේ ඉදිකර ඇති පොදු ක්‍රීඩා පිටියක් විවෘත කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ වර්තමාන ආණ්ඩුවේ වියරුව සහ කෲරත්වය විසින් රටක් තිබෙන තැනින් අඟලක් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි බවත් ඒ වෙනුවට තම වැඩපිලිවෙල වන්නේ සොඳුරු රටක් සෞභාග්‍යවත් දේශයක් බවත් එය රටේ කොටසට පමණක් සීමාවූවක් නොව සෑම පුරවැසියකුට හිමිවන ප‍්‍රතිලාභයක් බවත් රට ගොඩනැගිය හැක්කේ සංවේදී ලෙස රට ගැන හිතන වැඩපිළිවෙළක් ඇති ජනතා අපේක්ෂාවන්ට ඇහුම්කන් දෙන හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් වන බවත් අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බවද සඳහන් කළා.

    ඒ වගේම වියරුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දිය නොහැකි බවත් එය කල හැක්කේ සාකච්ඡාව සම්මුතිය ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහ ගුණ ධර්මවලින් බවත් පැවසූ ඒ මහතා ඊට ආසන්නම උදාහරණය දසරාජ ධර්මය බවද පෙන්වා දෙමින් අවධාරණය කළේ තමා රට පාලනය කරන්නේ දශ රාජ ධර්මයෙන් පමණක් බවයි. ඇත්තටම ඔහු යෝජනා කරන ආකාරයට බෞද්ධ ආර්ථික දේශපාලනික සංකල්ප (දශ රාජ ධර්මය???) සමග නවීන ආර්ථික විද්‍යා දැනුම එක් කර රටේ ආර්ථිකය මේ අර්බුදයෙන් ගොඩ ගැනීමට පුළුවන් ක්‍රමයක් හදුන්වා දෙන්න පුළුවන් වෙයිද? මේ ගැන ඔබේ අදහස් මොනවාද?

    ReplyDelete
  6. ඉකොනො,

    මේ දවස්වල ලංකාවේ ආර්ථිකය ඉතා අර්බුදකාරී තත්ත්වයක් යටතේ පවතින බැවින් එම තත්ත්වයෙන් බේරා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රමවේදයක් නිර්මාණය කිරීම සඳහා බව පවසමින් ලංකාවේ ජනාධිපතිවරයා පත්කළ උපදේශක කමිටුව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා යෝජනා පහක් ඉදිරිපත් කරල තියෙනවා කියලා අද ලංකාවේ මාධ්‍ය වාර්තා වල මම දැක්කා. ඒ අනුව ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුතු මෙම උපදේශන කමිටුව ආර්ථිකය ස්ථාවර කරමින් නිවැරදි දිශාවට හැරවීම සඳහා ප්‍රතිමූල්‍යකරණය ශක්තිමත් කිරීමට අවශ්‍ය කෙටි සහ දීර්ඝකාලීන පියවර ගත යුතු බවත් ලොව බොහෝ රටවල ආර්ථිකවලට එල්ල වී ඇති බලපෑමේ ප්‍රතිකම්පනය ලංකාවටත් දැඩිව මුහුණ දීමට සිදුව තිබෙන අතර විනිමය අර්බුදය මේ අතර ප්‍රමුඛ බවත් මුහුණදී ඇති අභියෝග නිසි ලෙස කළමනාකරණය කරමින් උද්ගතව ඇති ආර්ථික පසුබෑම කෙටි කාලයකදී මගහරවා ගතහැකි බවත් කියනවා. මේක ඇත්ත ද? ඔබ මේ පවසන දේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා ද? මට නම් ෂුවර් නෑ.

    තව දුරටත් මේ යෝජනා ගැන විස්තර සහිතව පැහැදිලි කරනු වස් එම යෝජනා මාලාව මෙහෙමය.

    1. ලංකාවේ ගෙවුම් ශේෂ හිඟය මගහරවා ගැනීමට අවශ්‍ය වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා, මහා බැංකුව සහ භාණ්ඩාගාරයත් නියෝජනය වන පරිදී කෘතහස්ත පළපුරුද්දක් ඇති නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වහාම පත්කිරීම.

    2. රජයට අවශ්‍ය උපදෙස් ලබා දීමට ස්වාධීන සහ නිසි සුදුසුකම් සපුරා ඇති ප්‍රවීණ මූල්‍ය උපදේශකයෙකු වහාම පත්කිරීම සහ නීති උපදේශකයෙකු පත්කිරීමට පියවර ගැනීම.

    3. මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය පහසුකම් යෝජනා කිරීම සඳහා රටට හැකි උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට පුළුවන් වන පරිදි ණය ප්‍රතිව්‍යුහගත වැඩසටහනක් තාක්ෂණික කමිටුව විසින් කඩිනමින් ඉදිරිපත් කළ යුතුය.

    4. එමෙන්ම මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් ආර්ථික සංවර්ධන සැලැස්මක් සාදා ඔහුගේ කාර්යභාරය සහාය සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වන විශේෂඥ කණ්ඩායමක් හඳුනාගැනීම.

    5. මේ වන විට ලංකාවෙ ඇතිවී තිබෙන සැපයුම් අවහිරතා මඟහරවා ගනිමින් විශ්වාසය ඉහළ නැංවීමට අවධානය යොමු කිරීම.

    මේ මූලික අවශ්‍යතා ලෙස ඔවුන් යෝජනා කර තියනවා.

    For further information, you could refer below;

    http://www.adaderana.lk/news/81340/advisory-committee-submits-5-proposals-to-national-economic-council

    මේ ගැන වැඩි විස්තර පැහැදිලි කළ හැකි ද? මේ යෝජනා සහ මගින් ලංකාවේ ආර්ථිකයට කෙසේ බලපෑම් එල්ල වේවිද කියලත් දන්නේ නෑ. හපොයි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: