වෙබ් ලිපිනය:

Monday, February 5, 2024

ඇමරිකාවේ තෙල් මිල හැදෙන හැටි

 

වෙනත් ඕනෑම භාණ්ඩයක මිල වගේම ඉන්ධන වෙනුවෙන් පාරිභෝගිකයාට ගෙවන්න සිදු වන මිලද තීරණය වෙන්නේ අදියර කිහිපයකින් අගය එකතු වෙලා. එම අගය එකතු වීම පහත ආකාරයෙන් විස්තර කළ හැකියි.

බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය -> පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය -> බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය -> රජයට ගෙවිය යුතු බදු

ලංකාවේ "මිල සූත්‍රය" පිළියෙල කර තිබෙන්නේද අදියරෙන් අදියර සිදු වන මෙම අගය එකතු කිරීම මත පදනම්වයි. ඒ හැර, එම මිල සූත්‍රය පිළිබඳ වැඩි විස්තර මා දන්නේ නැහැ.

ඇමරිකාවේ ලංකාවේ මෙන් මිල සූත්‍ර ක්‍රමයක් නැතත්, අදියරෙන් අදියර සිදු වන අගය එකතු වීම පිළිබඳ දත්ත මත පදනම්ව ඇමරිකාවේ බලශක්ති තොරතුරු පාලනාධිකාරිය විසින් ඉහත සටහන් පිළියෙල කර තිබෙනවා. පළමු සටහන 2013-2022 කාලයේ සාමාන්‍ය අගයයන් මත පදනම්ව. දෙවැන්න 2022 දත්ත මත පදනම්ව. 

ඉහත ගණන් තිබෙන්නේ ඉන්ධන ගැලුමක ඇමරිකන් ඩොලර් මිල මත පදනම්වයි. මෙය කියවන පාඨකයින් ගැලුම් වලට හා ඇමරිකන් ඩොලර් වලට එතරම් සංවේදී නැති නිසා, ඇමරිකාවේ මිල ගණන් රුපියල් වලට හා ලීටර වලට හැරවූ පසු ඇමරිකාවේ ඉන්ධන ලීටරයක මිල සකස් වෙන්නේ පහත ආකාරයටයි. 

මෙම ගණනයේදී මා විසින් අද විණිමය අනුපාතය මත පදනම්ව ඩොලරයක මිල රුපියල් 312.24 ලෙස සලකනවා. එමෙන්ම, ඉන්ධන ගැලුමක මිල පසුගිය සතියේ ඇමරිකාවේ සාමාන්‍ය මිල වූ ඩොලර් 3.062 ලෙස සලකනවා. එම මිල 2022 මිලට වඩා අඩු, එහෙත් 2013-2022 සාමාන්‍ය මිලට වඩා වැඩි අගයක්. අගය එකතු වීම ගණනය කිරීම සඳහා 2022 ප්‍රතිශත යොදා ගන්නවා.

බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින්ගේ ලාබය = රුපියල් 144.22 (57.1%)

පිරිපහදු කරන්නන්ගේ පිරිවැය සහ ලාබය = රුපියල් 44.70 (17.7%)

බෙදා හැරීම හා සිල්ලර වෙළඳාම කරන්නන්ගේ පිරිවැය හා ලාබය = රුපියල් 31.32 (12.4%)

රජයට ගෙවිය යුතු බදු = රුපියල් 32.33 (12.8%)

පාරිභෝගිකයා ගෙවන මිල = රුපියල් 252.57 

ඇමරිකාවේ වෙළඳපොළ තරඟය නිසා ඉහත දෙවන හා තෙවන කොටස් සෑහෙන තරම් අඩු මට්ටමකයි තියෙන්නේ. එහෙත්, පළමු කොටස තීරණය වන්නේ ලෝක මට්ටමේදී. එහිදී ඔපෙක් වැනි ඒකාධිකාර විසින් මිල කෙරෙහි විශාල බලපෑමක් කරනවා. 

6 comments:

  1. හොඳ පැහැදිලි කිරීමක් ඉකොනො නමුත් ඉස්සර ලංකාවේ හිටපු මුදල් ඇමති මංගල සමරවීර මේක මිල සූත්‍රය කියලා V1+V2+V3+V4 කියලා එකක් සිපෙට්කෝ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් හදාගෙන ඇවිත් මාධ්‍ය වලට ඉදිරිපත් කළා, නමුත් අවාසනාවකට වගේ ඔහුගේ ඉතාම දුර්වල ගණිත දැනුම, මෙම මිල සමීකරණය ගැන නිසි ලෙස ඔහුට අවබෝධයක් නොමැතිවීම සහ ඔහුගේ සන්නිවේදන දුබලතා නිසාම ඒක මාධ්‍ය හමුවේ මෙන්ම මුළු රට පුරාම විහිළුවට ලක් වී එවකට පැවති යහපාලන රජයද සම්පූර්ණයෙන්ම අප්‍රසාදයට පත් වුණා, මේක නිසාම විපක්ෂ බලවේග වන ජවිපෙ ජාතික ජන බලවේගය සහ පොහොට්ටු වගේ පක්‍ෂ වල හිටපු සමාජවාදීන් මේ මිල සූත්‍ර ක්‍රමය ජනතාවට එපා කෙරෙව්වා

    දැනටමත් ලංකාවේ මාලිමාව සහ වෙනත් විපක්ෂ කණ්ඩායම් අයි එම් එෆ් සහ නිදහස් වෙළදපොල ක්‍රමයේ ඇති සංකල්ප දැඩිව විවේචනය කරන නිසාම මම හිතන්නේ ලංකාව නැවතත් සමාජවාදී සංකල්ප වලට නැවත නැවතත් හැරෙමින් පවතින බවයි.

    ඒ වගේම ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් තැනකට පැමිණ ඇතැයි රජය සහ එජාප හිතවාදීන් මාධ්‍ය හරහා පළකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ගවනර් කබ්රාල් මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බව ඔබ දන්නවාද?

    ඊට අනුව ලංකාව නොගෙවා ඇති ණය ගෙවා දැමුවහොත් විදේශ සංචිතය ඩොලර් මිලියන 3500ක ඍණ අගයක් ගන්නා බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පෙන්වා දෙනවා

    දැනට විදේශ සංචිතය ඩොලර් මිලියන 4500ක් ඇතැයි රජය උදම් අනනූ දකින්නට ඇතත් ණය නෝගෙවූ පසුගිය වසර එකහමාරක පමණ කෙටි කාලසීමාව තුලදී ගෙවිය යුතුව තිබූ කෙටිකාලීන ණය මුදල (බොහෝ දුරට යහපාලන රජයේ ISB ඇතුලු කෙටිකාලීන අධික පොළියට ගෙන තිබුණු ණය මුදල්) පමණක් ඩොලර් මිලියන 8000ක් බවද ඔහු පෙන්වා දෙයි.

    මෙවන් සංචිතයකින් ඇති ප්‍රයෝජනයක් නැති බවත් ඇස් බැන්දුමක් ලෙස ඇතැම් කරුණු පෙන්නුම් කලද ඇත්ත තත්ත්වය මෙසේ බවත් ඔහු කියා සිටී.

    අද රුපියල ශක්තිමත් වුනා සේ පෙනෙන එකම හේතුව ණය නොගෙවා සිටීම බවත් ගෙවන්නට ඇති ණය වාරික ගෙවා දැමුවහොත් තත්ත්වය සහමුලින්ම වෙනස් වන බවත් ඔහු පැවසූ අතර මේ පිළිබඳව රජය හෝ එජාප හිතවාදීන් හෝ අයි එම් එෆ් හිතවාදීන් කිසිවකුට පැහැදිලිව උත්තරයක් දීමට අපොහොසත්වීම නිසා බොහෝ දෙනකු මෙය සත්‍ය බව පිළිගෙන තිබෙනවා. එමෙන්ම ජවිපෙ ජාතික ජන බලවේගය ද මේ කබ්රාල්ගේ මතය දැක දැන් එයම නැවතත් වේගයෙන් සමාජගත කරමින් සිටිනවා, මේ ගැන ඔබට පැහැදිලි කිරීමක් කළ හැකි නම් එය ඉතාම වැදගත් වෙයි සත්‍ය තත්ත්වය ගැන අපට තේරුම් ගන්න.

    ReplyDelete
  2. How come retail price od 252 qhen a gallon is $3.95 ?

    ReplyDelete
    Replies
    1. //ඉන්ධන ගැලුමක මිල පසුගිය සතියේ ඇමරිකාවේ සාමාන්‍ය මිල වූ ඩොලර් 3.062 ලෙස සලකනවා. එම මිල 2022 මිලට වඩා අඩු, එහෙත් 2013-2022 සාමාන්‍ය මිලට වඩා වැඩි අගයක්. //

      Delete
  3. ඉතා වටිනා ලිපියක්. ඉතාමත් ස්තූතියි. මම පෞද්ගලිකව මේ ආකාරයේ විස්තරයක් වාචීකව මගේ ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ හිතවතුන්ට කරනවා. මම තව පොඩි කාරණා කිහිපයක් එකතු කරනවා.
    1. බොරතෙල් නිපදවීමේ පිරිවැය හා නිෂ්පාදකයින් දස දහස් ගණනක්
    2. පිරිපහදු කරන්නන් සිය ගණනක්
    3. බෙදා හරින කොම්පැන් දහස් ගණනක් හා සිල්ලර වෙළඳාම කරන්නන් එක් ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ
    4. රජයට ගෙවිය යුතු බදු ප්‍රාන්ත පණහකට වෙනස් වන ආකාරය

    මේ සියල්ලම ඇමෙරිකාවේ ඉන්ධන මිළට බලපානවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔය සමහර දේවල් ගැන පෙර ලිපි වල විස්තරාත්මකව ලියා තිබෙනවා.

      Delete
    2. ඇමරිකාවේ සිල්ලර ඉන්ධන වෙළඳපොළ
      https://economatta.blogspot.com/2023/10/blog-post.html

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: