වෙබ් ලිපිනය:

Wednesday, July 19, 2023

අද පොලී අනුපාතික තවත් ඉහළට!


අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඵලදා අනුපාතික තව දුරටත් ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වී තිබෙන්නේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 63.7ක ප්‍රමාණයක් පමණයි. දින-91 බිල්පත් වල ඵලදා අනුපාතිකය 19.99%දක්වාත්, දින-182 ඵලදා අනුපාතිකය 17.77 දක්වාත්, දින-364 ඵලදා අනුපාතිකය 14.35% දක්වාත් ඉහළ ගොස් තිබෙනවා. 

රුපියල් බිලියන 220.7ක ලන්සු ඉදිරිපත් වී ඇතත්, අවශ්‍ය බිල්පත් ප්‍රමාණය මිල දී ගෙන නැත්තේ එසේ කළේනම් ඵලදා අනුපාතික තවත් ඉහළ යන නිසායි. එයින් අදහස් වන්නේ මෙම ඵලදා අනුපාතික නියම වෙළඳපොළ ඵලදා අනුපාතික නොවන බව සහ නියම වෙළඳපොළ ඵලදා අනුපාතික මීටත් වඩා වැඩි බවයි. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ නිවේදනය නිකුත් වීමෙන් පසුව පැවති පළමු බිල්පත් වෙන්දේසියේදී, එනම් ජූලි 5 වෙන්දේසියේදී, දින-91 බිල්පත් වල ඵලදා අනුපාතික 23.00% සිට 17.79% දක්වාත්, දින-182 ඵලදා අනුපාතික 19.49% සිට 15.93% දක්වාත්, දින-364 බිල්පත් වල ඵලදා අනුපාතික 16.99% සිට 13.86% දක්වාත් පහත වැටුණා. එමෙන්ම, වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 140ක මුළු බිල්පත් ප්‍රමාණයම එම මිල ගණන් යටතේ අලෙවි කළ අතර වෙන්දේසියෙන් පසුව තවත් අමතර රුපියල් බිලියන 35ක බිල්පත් ප්‍රමාණයක් එම මිල ගණන් වලටම අලෙවි කළ හැකි වුනා. මෙය මේ අයුරින් වෙන්දේසියෙන් පසුව අලෙවි කළ හැකි උපරිම ප්‍රමාණයයි. එනම්, වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයෙන් 25%කට සමාන ප්‍රමාණයක්. 

කෙසේ වුවත්, ජූලි 5 වෙන්දේසියේදී පැවති ඉහත තත්ත්වය සතියකට පසුව ආපසු හැරී තිබුණා. ජූලි 12 වෙන්දේසියේදී පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් පසුවද විකුණා ගත හැකි වූයේ වෙන්දේසියට ඉදිරිපත් කළ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 99.7ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. අද වන විට මෙම තත්ත්වය තවත් නරක අතට හැරී තිබෙනවා. 

පොලී අනුපාතික මෙවැනි ඉහළ මට්ටමක දිගටම පැවතුණහොත්, යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් පසුවද ණය තිරසාරත්වය ඇති කර ගැනීම අපහසු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවයක් මතු විය හැකියි. නැවත වටයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් පෙනෙන්නට ඇති විට පොලී අනුපාතික පහත වැටෙන්නේ නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ඉතා ඉක්මණින්, අපේක්ෂිත අයුරින් පහත නොවැටුනහොත් ඒ හේතුව නිසා විෂම චක්‍රයක් ආරම්භ වෙන්න පුළුවන්. 

මේ අතර, රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මුලින් ඉදිරිපත් කළ කාල රාමුව දෙසතියකින් පමණ කල් දමා තිබෙනවා. ඒ අනුව, මුලින් සැලසුම් කළ පරිදි ජූලි මාසය අවසන් වෙද්දී මේ කටයුත්ත අවසන් වන්නේ නැහැ. 

මහ බැංකුව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා රජයට ලැබෙන සහනය ගණන් හදා තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් වල බැඳුම්කර 100%ක්ම ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ඇතැයි යන උපකල්පනය යටතේ. එහෙත්, පොලී අනුපාතික පිළිබඳ අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතීනම් මෙම අරමුදල් සතු බැඳුම්කර සියල්ල ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කරනු ලැබීම සිදු නොවිය හැකියි. මේ පිළිබඳව හරියටම දැනගන්න වෙන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසුවයි. 

මේ අතර, ඉහළ ගිය ඩොලරයක මිල ස්ථාවර වීමේ ලකුණු පෙන්නුම් කරන අතර එයට හේතුව මහ බැංකුවේ මැදිහත්වීමක් විය හැකියි.

1 comment:

  1. කියෙව්වත් පුරුද්දට වාගේ ඇවිදින්
    හුටපට ආර්ථික සේරම මට මඤ්ඤං
    එන පොට හොඳ නැද්ද ඇත්තට ආයුබොවන්
    ඡන්දයකටද සැරසෙන්නේ මහ හූරන්?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: