වෙබ් ලිපිනය:

Saturday, September 28, 2024

අලුත් ආණ්ඩුව තවත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනවාද?

දැන් තවත් අලුත් බැච් එකක් (දැන් භාෂාවෙන්නම් බැජ් එකක්) ආර්ථිකය ගැන ඉගෙන ගනිමින් ඉන්නවා. මෙය ඔවුන් වෙනුවෙන් ලියන, මූලික සංකල්ප පැහැදිලි කෙරෙන ලිපියක්. කාලයක් මෙහි පළ කෙරෙන දේවල් කියවන අයට මෙහි අලුත් දෙයක් නැතිව ඇති. මේ දේවල්ම මීට පෙර වරින් වර පැහැදිලි කර තිබෙනවා.

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවාද?

භාණ්ඩාගාර බිල්පත් කියා කියන්නේ ශ්‍රී ලංකා රජයේ (සහ වෙනත් රටවල රජයන්හි) කෙටිකාලීන ණය උපකරණයක්. ඒ කියන්නේ රජය කෙටිකාලීන ණය ලබා ගන්නා ක්‍රමය. හරියටම කිවුවොත් ප්‍රධානම ක්‍රමය. මේ ක්‍රමයට රජය විසින් උපරිම වශයෙන් වසරක් දක්වා කාලයක් සඳහා ණය ලබා ගන්නවා. වසරකට වඩා වැඩි කාලයකට ණය ලබා ගන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින්. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ශ්‍රී ලංකා රජය විසින් කොපමණ ණය ලබාගෙන තිබෙනවාද?

මෙම වසරේ මැද (ජූනි 30) වන විට ශ්‍රී ලංකා රජය විසින් ලබා ගෙන තිබුණු මුළු ණය ප්‍රමාණයේත්, ශ්‍රී ලංකා රජය ඇප වී ලබා ගෙන තිබුණු ණය ප්‍රමාණයේත් මුළු එකතුවේ ඩොලර් අගය මිලියන 100,646ක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 100කට වඩා වැඩියි. නමුත් එයින් අදහස් වන්නේ මේ සියළුම ණය විදේශ ණය බව හෝ ඩොලර් වලින් ලබාගෙන තිබෙන ණය බව නෙමෙයි.

ඉහත ණය ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 5,618ක් ශ්‍රී ලංකා රජයේ ඇප වීම මත වෙනත් ආයතන (උදාහරණයක් ලෙස තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, ශ්‍රීලංකන් ගුවන් සේවය, සතොස, ධීවර සංස්ථාව වැනි රාජ්‍ය සංස්ථා) විසින් ලබා ගෙන ඇති ණයයි. ඒ අනුව, මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 95,028ක්. එයින් 60%කට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් ඩොලර් මිලියන 57,246කට සමාන ණය ප්‍රමාණයක්, මධ්‍යම රජය විසින් ලබාගෙන තිබුණු රුපියල් ණයයි. 

ඉහත සඳහන් මධ්‍යම රජයේ රුපියල් ණය වලින් වැඩි ප්‍රමාණය ලබා ගෙන තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගිනුයි. එම ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 41,920ක්. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම මගින් ලබාගෙන තිබුණු රුපියල් ණය ප්‍රමාණයේ ඩොලර් අගය මිලියන 12,739ක්. රුපියල් වලින් බිලියන 3,894.5ක්. පසුගිය (2024 අගෝස්තු) මාසය අවසන් වන විට මෙම ප්‍රමාණය රුපියල් බිලියන 3,921.5 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙම ණය උපරිම වශයෙන් වසරක කාලයක් ඇතුළත ආපසු ගෙවිය යුතුයි.

ආපසු ගෙවිය යුත්තේ ණය පමණද? පොලිය ගෙවිය යුතු නැද්ද?

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීමේදී සිදුවන ක්‍රියාවලිය සරල ණයක් ලබා ගැනීමේදී සිදුවන ක්‍රියාවලියට වඩා වෙනස්. මෙහිදී ණය ප්‍රමාණය යන්නෙන් අදහස් වන්නේ පොලියද ඇතුළත්ව ආපසු ගෙවිය යුතු මුළු මුදලයි. තේරුම් ගැනීමේ පහසුව පිණිස ඕනෑවට වඩා සරල කළහොත්, භාණ්ඩාගාර බිල්පත් මිල දී ගන්නා අයෙකු රජයට ණය දෙන්නේ ගෙවිය යුතු පොලිය කලින්ම අඩු කර ගෙනයි. 

රජය විසින් රුපියල් බිලියන 3,921.5ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇතත්, එයින් අදහස් වන්නේ ඊට සමාන මුදලක් රජයට ලැබී ඇති බව නෙමෙයි. රජයට ඇත්තටම ලැබී තිබෙන්නේ මීට වඩා අඩු මුදලක්. මෙම මුදල පොලියද ඇතුළත්ව රජය විසින් ආපසු ගෙවිය යුතු මුදලයි. එම මුදල භාණ්ඩාගාර බිල්පතක "මුහුණත අගය" ලෙස හැඳින්වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ කොහොමද?

භාණ්ඩාගාර බිල්පත් පොලිය තීරණය වෙන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී. සාමාන්‍යයෙන් සතියකට වරක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කෙරෙනවා. එහිදී ගැනුම්කරුවන්ට වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ලන්සු ඉදිරිපත් කළ හැකියි. 

උදාහරණයක් ලෙස රුපියල් බිලියන 100ක මුහුණත අගයක් ඇති භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසියට ඉදිරිපත් කළා කියා අපි හිතමු. මෙයින් අදහස් වන්නේ බිල්පතක් "කල් පිරීමේදී" ආපසු ලැබෙන මුදලයි. "කල් පිරීම" යන්නෙන් අදහස් වන්නේ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබා ගන්නා ණය හා පොලිය එක වර ආපසු ගෙවන දිනය ලඟා වීමයි. 

කල් පිරෙන විට රුපියල් 100ක් ලබා ගැනීම සඳහා ගැනුම්කරුවෙකු විසින් ගෙවන්නට කැමති වන්නේ රුපියල් 100කට වඩා අඩු මුදලක්. එම මුදල රුපියල් 80ක්, 90ක් හෝ 95ක් වැනි රුපියල් 100ට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන ගැනුම්කරුවෙකුට ලැබෙන පොලී අනුපාතය තීරණය වන්නේ වක්‍ර ලෙසයි. උදාහරණයක් ලෙස වසරකින් කල් පිරෙන රුපියල් 100ක බිල්පතක් රුපියල් 80කට වෙන්දේසියෙන් මිල දී ගන්නා අයෙකුට වසර අවසානයේදී තමන්ගේ ආයෝජනය වෙනුවෙන් රුපියල් 20ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එය 25%ක (=20/80*100%) වාර්ෂික පොලියක් ලැබීමට සමානයි. නමුත් එම බිල්පතම රුපියල් 95ක් ගෙවා වෙන්දේසියෙන් මිල දී ගත්තේනම් ලැබෙන වාර්ෂික පොලිය 5.26%කට (=5/95*100%) සීමා වෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් පොලී ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් භාවිතා කෙරෙන වචනය "ඵලදා අනුපාතය" යන්නයි. ඊට හේතුව, ලැබෙන ප්‍රතිලාභය එක් එක් පුද්ගලයා විසින් බිල්පත මිල දී ගැනීමේදී ගෙවූ මුදල මත තීරණය වන්නක් වීමයි. වෙනත් අයුරකින් කිවුවොත් තමන්ගේ අරමුදල් කොයි තරම් ඵලදායී ලෙස ආයෝජනය කර ඇත්ද යන්න මෙයින් නිර්ණය වන නිසා. 

වෙන්දේසියේදී සිදුවන්නේ රුපියල් 100ක මුහුණත අගයක් සඳහා වැඩිම මුදලක ලංසු ඉදිරිපත් කරන ගැනුම්කරුවන්ට බිල්පත් නිකුත් කිරීමයි. එනම්, අඩුම ඵලදා අනුපාතයක් භාර ගන්නා ගැනුම්කරුවන්ට බිල්පත් විකිණීමයි.

ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, තවමත් රජය වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පවත්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. ඇතැම් අවස්ථා වලදී වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන ලංසු වල මිල බොහෝ අඩුනම් (එනම් අපේක්ෂා කරන ඵලදා අනුපාතිකය බොහෝ වැඩිනම්) සහ රජයට තාවකාලිකව රෝලක් ගසා ගැනීමේ හැකියාවක් ඇත්නම්, වෙන්දේසියට ඉදිරිපත් කරන බිල්පත් වලින් කොටසක් හෝ මුළු ප්‍රමාණයම නොවිකුණා සිටින අවස්ථාද දැකිය හැකියි.

භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැක්කේ කාටද?

මුලින්ම භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරද්දී ඒවා සෘජුව මිල දී ගත හැක්කේ වාණිජ බැංකු, ප්‍රාථමික ගැනුම්කරුවන්, සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන කිහිපයකට පමණයි. එහෙත්, වාණිජ බැංකු හා ප්‍රාථමික ගැනුම්කරුවන් හරහා වෙනත් ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැකියි. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් කරන්නේ කුමක්ද?

මෙම අරමුදල් පරණ ණය හා පොලී ගෙවීම, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා රජයට යොදාගත හැකියි. මෑතකාලීන ප්‍රවණතා දෙස බැලුවහොත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම්  වැනි දේ සඳහා බදු ආදායම් වෙන් කර ඇති බැවින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ලබා ගන්නා අරමුදල් වලින් තනිකරම වාගේ සිදු කර ඇත්තේ පරණ ණය හා පොලී ගෙවීමයි.

සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමක් සිදු වන බැවින්, සෑම සතියකම මෙන් භාණ්ඩාගාර බිල්පත් කල් පිරීමක්ද සිදු වෙනවා. උදාහරණයක් ලෙස ඊයේ (සැප්තැම්බර් 27) දින රුපියල් බිලියන 114.6ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරීමට නියමිතව තිබුණා. ඒ කියන්නේ රජය විසින් ඊට සමාන මුදලක් ආයෝජකයින්ට ගෙවිය යුතුයි.

මෙසේ රුපියල් බිලියන 114.6ක මුදලක් භාණ්ඩාගාර බිල්පත් ආයෝජකයින්ට ආපසු ගෙවීමටනම්, එම මුදල රජයට ලැබෙන ක්‍රමයක්ද තිබිය යුතුයි. බදු හරහා රජයට ආදායමක් ලැබෙන නමුත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, රාජ්‍ය සංස්ථා වල පාඩු පියවීම, යටිතල පහසුකම් දියුණු කිරීම, සුබසාධන වියදම් වැනි විවිධ කාර්යයන් සඳහා එම මුදල් වැය කිරීමෙන් පසුව ණය හා පොලී ගෙවීම සඳහා වැය කළ හැකි තරමේ ඉතිරියක් වෙන්නේ නැහැ. ඒ නිසා, රජයේ එදිනෙදා වියදම් බදු වලින් පියවා ගත්තේ වුවද, පරණ ණය හා පොලී ගෙවීම සඳහා අලුතෙන් ණය ගන්නට සිදු වෙනවා. ඒ සඳහා භාණ්ඩාගාර බිල්පත් අලුතෙන් නිකුත් කරන්නට සිදු වෙනවා. මේ ණය චක්‍රයෙක් පහසුවෙන් ගැලවෙන්න බැහැ.

කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සඳහා ගෙවිය යුත්තේ රුපියල් බිලියන 114.6ක මුදලක් පමණක් වුවත්, එපමණ මුදලක බිල්පත් අලුතෙන් නිකුත් කිරීමෙන් පමණක් මෙම අරමුදල් ප්‍රමාණය එකතු කර ගැනීමේ හැකියාවක් නැහැ. ඊට හේතුව, රුපියල් බිලියන 114.6ක මුහුණත අගය ඇති බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර රජයට ලබා ගත හැකි මුදල ඊට වඩා අඩු මුදලක් වීමයි. කලින් විස්තර කළ පරිදි, මෙම ක්‍රමයේදී ආයෝජකයින් විසින් රජයට මුදල් ලබා දෙන්නේ අනාගතයේදී ලැබිය යුතු පොලිය කලින්ම අඩු කරගෙනයි. ඒ නිසා, රුපියල් රුපියල් බිලියන 114.6ක මුදලක් එකතු කර ගැනීම සඳහා ඊට වඩා වැඩි බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කරන්නට සිදු වෙනවා. ඒ අනුව, පසුගිය සැප්තැම්බර් 25 දින රජය විසින් රුපියල් බිලියන 120ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. 

මේ අයුරින් සැප්තැම්බර් 25 දින වෙන්දේසි කළ බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 70ක් දින 91කිනුත්, රුපියල් බිලියන 40ක් දින 182කිනුත්, ඉතිරි රුපියල් බිලියන 10 දින 364කිනුත් කල් පිරෙනවා. එසේ කල් පිරෙද්දී අදාළ මුදල් ආපසු ගෙවීම සඳහා අරමුදල් සොයා ගන්නට සිදු වන්නේ මෙම ප්‍රමාණ වලටත් වඩා වැඩියෙන් ණය ගැනීම මගිනුයි. වෙන ක්‍රමයක් නැහැ. මේක ණය චක්‍රයක්!

මේ ණය චක්‍රයෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයක් නැද්ද?

එය කළ හැකි ක්‍රමය හැකි තරමින් රජයේ ආදායම් වැඩි කරගෙන හා රජයේ වියදම් සීමා කරගෙන ටිකෙන් ටික හෝ ණය ගෙවීමයි. දිගටම අඛණ්ඩව එසේ කරන්නේනම් ණය ප්‍රමාණය ටිකෙන් ටික අඩු වී යනවා. එහෙම කළත්, ණය ගෙවා ඉවර කරන්නනම් අවම වශයෙන් අවුරුදු විසිපහක්වත් යයි. තව අවුරුදු දහයක්වත් යන තුරු අනිවාර්යයෙන්ම සිදු වන්නේ තිබෙන ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යාමයි. 

ණය තිරසාරත්වය ඇති කර ගැනීම යන්නෙන් අදහස් කරන්නේ රජයේ ආදායමෙන් යම් කොටසක් ඉතිරි කරගෙන ණය ගෙවීම සඳහා යෙදවීම මගින් හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උදවුවෙන් වාර්ෂිකව රජය විසින් ගෙවිය යුතු ණය ප්‍රමාණය සහ පොලිය දරාගත හැකි මට්ටමක් දක්වා අඩු කර ගැනීමයි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: