වෙබ් ලිපිනය:

Sunday, September 8, 2024

ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?


පසුගිය සති කිහිපය තුළ බොහෝ දෙනෙකු විසින් DSA යන යෙදුම භාවිතා කරනු දැකිය හැකි වුනා. මෙම අකුරු තුනෙන් කෙටි කර තිබෙන්නේ Debt Sustainability Analysis එනම් ණය තිරසාරත්ව විශ්ලේෂණය යන්නයි. ණය තිරසාරත්ව විශ්ලේෂණයක් යනු කුමක්ද?

ඉතා කෙටියෙන් කිවුවොත් මෙයින් අදහස් වන්නේ ඉදිරි කාලයේදී කිසියම් රටක රජයකට සිය රාජ්‍ය ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලී සහ ණය වාරික පැහැර නොහැර නිසි කලට ගෙවීමේ හැකියාව පිළිබඳ විශ්ලේෂණයක්. 

ඇත්තටම මෙවැනි ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ රාජ්‍ය ණය හා අදාළව පමණක් නෙමෙයි. පුද්ගලයින් හා ආයතන සම්බන්ධවත් මෙවැනි විශ්ලේෂණ සිදු කෙරෙනවා. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් විසින් බැංකුවකින් ණයක් ලබා ගැනීම සඳහා අයදුම් කිරීමෙන් අනතුරුව අදාළ බැංකුව විසින් ණය අනුමත කරන්නේ ණය තිරසාරත්ව විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුවයි. පුද්ගලයෙක්ගේනම් වැටුප් වාර්තා, වෙනත් වත්කම් ආදිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටින්නේ මේ නිසා. සමාගමක් හා අදාළව වුවද පසුගිය ගිණුම් වාර්තා ආදිය බැංකුවට ලබා දෙන්නට සිදු වෙනවා. 

ස්ථාපිත ආයතන හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේ ඔවුන්ට ණය දෙන ආයතන විසින් පමණක් නෙමෙයි. තමන්ගේ ආයතනයේ ඉදිරි අවදානම් හඳුනා ගැනීම පිණිස එවැනි ආයතන විසින්ද මෙවැනි විශ්ලේෂණ සිදු කරනවා. රජයයන් විසින්ද රාජ්‍ය ණය හා අදාළව මෙවැනි විශ්ලේෂණ නිරන්තරයෙන් සිදු කරනවා. එසේ කරන්නේ අර්බුදකාරී අවස්ථා වලදී පමණක් නෙමෙයි. මෙය නිරන්තරව හා අඛන්ඩව සිදු වන දෙයක්. 

සිය සාමාජික රටවල රජයයන්ගේ ණය තිරසාරත්වය හා අදාළ විශ්ලේෂණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ද වරින් වර සිදු කරනවා. එම අරමුදල විසින් රටකට ණය දීමට පෙර හා ඉන් පසුව මෙවැනි විශ්ලේෂණ අනිවාර්යයෙන්ම සිදු වන අතර එසේ ණය ගැනීමක් සිදු නොවන අවස්ථා වලදීද අරමුදල විසින් උපදේශනාත්මක කාර්යයක් ලෙස ස්වාධීන ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එම විශ්ලේෂණ අදාළ රජයයන්ගේ ණය තිරසාරත්ව විශ්ලේෂණ වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්වය අර්ථ දක්වන්නේ පහත ආකාරයෙනුයි.

“In general terms, public debt can be regarded as sustainable when the primary balance needed to at least stabilize debt under both the baseline and realistic shock scenarios is economically and politically feasible, such that the level of debt is consistent with an acceptably low rollover risk and with preserving potential growth at a satisfactory level."

මෙම අර්ථදැක්වීම අනුව, සාමාන්‍යයෙන් අපේක්ෂා කළ හැකි මට්ටමේ ආර්ථික කම්පනයකට ඔරොත්තු දී ස්ථාවරව සිටීමට (එනම් ණය පැහැර හරින තත්ත්වයකට ඇද නොවැටීමට) ප්‍රමාණවත් තරමේ ප්‍රාථමික අයවැය ශේෂයක් පවත්වා ගැනීමට ආර්ථික වශයෙන් හා දේශපාලනික වශයෙන් හැකියාවක් ඇත්නම් ණය තිරසාරත්වය ඇති සේ සැලකෙනවා. එම තත්ත්වය යටතේ ආර්ථික වර්ධනය තිරසාර ලෙස සතුටුදායක මට්ටමක පවත්වා ගැනීමට හැකි විය යුතු අතර නිසි කලට ණය ආපසු ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් සපයා ගැනීමට අලුත් ණය ගැනීමේ හැකියාව හොඳ මට්ටමක පැවතිය යුතුයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණයක් සිදු කර කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කරන්නේ කෙසේද?

මේ සඳහා ආකෘතියක් අවශ්‍ය වෙනවා. අරමුදල විසින් කරන්නේ මෙම ආකෘතියට තොරතුරු ඇතුළත් කර ලැබෙන ප්‍රතිඵල අනුව කිසියම් රටක ණය තිරසාරත්වය පරීක්ෂාවට ලක් කිරීමයි. ඉතාම සරල ලෙස මෙවැනි හැඳින්වීමක් කළත් මෙය විශාල වෙහෙසක් දරා කළ යුතු හා විශේෂඥ දැනුමක් අවශ්‍ය සංකීර්ණ කාර්යයයක්. 

ශ්‍රී ලංකා රජය ඇතුළු රජයයන් විසින් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරන්නේද මේ ක්‍රමයටයි. එහෙත්, එහිදී යොදා ගන්නා ආකෘතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආකෘතියම නොවෙන්න පුළුවන්. යම් හෙයකින් එම ආකෘතියම යොදා ගත්තද, ආකෘතිය යටතේ ඇතුළු කරන පරාමිතීන් වෙනස් වීම හේතුවෙන් වෙනත් ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්.

මෙය කිසියම් පුද්ගලයෙක් බැංකුවකින් ණයක් ගැනීමේදී සිදු වන ක්‍රියාවලියට සමාන කළ හැකියි. පොලු තියන්න බලාගෙනම ණය ගන්න හදන අයත් සිටිය හැකි වුවත්, සාමාන්‍යයෙන් කිසියම් පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් ණයක් සඳහා අයදුම් කරන්නේ තමන්ගේ විශ්ලේෂණය අනුව එම ණය පැහැර නොහැර ගෙවිය හැකි බව පෙනෙන නිසයි. නමුත් බැංකුවේ විශ්ලේෂණය අනුව ඒ බව නොපෙනේනම් ඔවුන් ණය අනුමත කරන්නේ නැහැ.

කෙසේ වුවත්, එක් බැංකුවකින් ණයක් ලබා ගත නොහැකි පුද්ගලයෙකුට ඇතැම් විට වෙනත් බැංකුවකින් ණයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඊට හේතුව, ණය තිරසාරත්ව විශ්ලේෂණ සඳහා එක් එක් බැංකු විසින් යොදා ගන්නා ආකෘති සමාන නොවීමයි. 

විවිධ පුද්ගලයින් හා ආයතන විසින් එකම තොරතුරු මත පදනම්ව වෙනස් ආකාරයෙන් ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කිරීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් ණයක් ගැනීම වැනි අවස්ථාවක වඩා වැදගත් වන්නේ ණය දෙන්නාගේ විශ්ලේෂණයයි. මෙය තේරුම් ගැනීම සඳහා විශේෂඥ ඥානයක් අවශ්‍ය වන්නේ නැහැ. බැංකු ණයක් අනුමත කරද්දී වැදගත් වන්නේ ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳව බැංකුවේ විශ්ලේෂණය මිසක් අයදුම්කරුගේ විශ්ලේෂණය නෙමෙයි.

කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ගැනීමේදී බලපාන්නේද මේ රීතියයි. ශ්‍රී ලංකාව විසින් කවර ස්වාධීන විශ්ලේෂණ කළත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් තීරණ ගන්නේ ඔවුන්ගේ ආකෘතිය අනුව ඔවුන් එළැඹෙන නිගමනය අනුවයි. ණය ඉල්ලන රටකට එම ආකෘතිය වෙනුවට වෙනත් ආකෘතියක් යෝජනා කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යොදා ගන්නේ පොදු ආකෘතියක් මිසක් ලංකාව වෙනුවෙන්ම හැදූ විශේෂ ආකෘතියක් නෙමෙයි. 

මේ අනුව, ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමේදී ඔවුන්ගේ ආකෘතිය සම්බන්ධව හෙට්ටු කිරීම් කිරීමට කිසිදු හැකියාවක් නැහැ. 

මෙවර ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ ණය පැහැර හැරි රටක් ලෙසයි. පසුගිය 16 වාරයේදීම එවැනි තත්ත්වයක් පැවතුනේ නැහැ. ඒ නිසා, අරමුදලේ ණය ලැබුණේ වුවද එහි උදවුවෙන් පමණක් රටට ණය තිරසාරත්වය ඇති කරගැනීමේ හැකියාවක් නැහැ. ඒ සඳහා දැනට ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නට සිදු වෙනවා. එය කළ හැක්කේ ණයහිමියන්ගේ එකඟතාවයෙන්.

මේ කාර්යයේදී ණයහිමියන් විසින්ද ස්වාධීනව ලංකාව හා අදාළ ණය තිරසාරත්ව විශ්ලේෂණ සිදු කරනවා. එසේ කරන්නේ ඔවුන්ගේ අවදානම් අඩු වන පරිදි, ඔවුන්ට වාසිදායක ලෙසයි. ශ්‍රී ලංකා රජයේ ණය තිරසාරත්ව විශ්ලේෂණ පිළිගන්නට ඔවුන් එකඟ වන්නේ නැහැ. ණය පැහැර හැරීම මගින්, එම විශ්ලේෂණ වැරදි බව ශ්‍රී ලංකා රජය විසින් දැනටමත් ඔප්පු කර හමාරයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට තමන්ගේම ණය තිරසාරත්ව විශ්ලේෂණයක් මත පදනම්ව ණයහිමියන් සමඟ හෙට්ටු කර එකඟත්වයකට පැමිණීම අසීරු කාර්යයක්. 

මේ තත්ත්වය තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමක් නැත්නම්, එක්කෝ ශ්‍රී ලංකා රජයට ණයහිමියන්ගේ කොන්දේසි වලට එකඟ වෙන්නට සිදු වෙනවා. එසේ නැත්නම් එකඟතාවයක් ඇති නොවීමේ අවදානම ගන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, ස්වාධීන තෙවන පාර්ශ්වයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් වීම තුළින් දෙපාර්ශ්වයට යම් එකඟතාවයකට පැමිණීම සඳහා පාලමක් හැදෙනවා. ඒ නිසා, මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සාමාන්‍ය අවස්ථාවකදී එම විශ්ලේෂණයට වඩා බොහෝ වැදගත්.

සාමාන්‍ය අවස්ථාවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය හෝ වෙනත් කොන්දේසි සමඟ ශ්‍රී ලංකා රජයට එකඟ විය නොහැකිනම් අරමුදලෙන් ණය නොගෙන සිටීමේ විකල්පය ගැන සිතිය හැකියි. (එයින්ද අවාසි සිදුවීම හා අවදානම් ඉහළ යාම පැත්තක තියමු.) නමුත් මේ අවස්ථාවේදී එසේ කිරීමෙන් ඊට වඩා වැඩි විශාල අවදානමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ, ණයහිමියන් සමඟ එකඟතාවකයට පැමිණීමේ හැකියාවද ගිලිහී යාමයි. එසේ නැත්නම් වඩා අවාසිදායක කොන්දේසි යටතේ එවැනි එකඟතාවයකට පැමිණීමට සිදු වීමයි. අරමුදලේ මැදිහත්වීම හා සහයෝහය තිබියදී වුවද ණය ප්‍රතිව්‍යුහත කිරීමේ එකඟතාවයක් ඇති කර ගැනීම පහසු කටයුත්තක් නෙමෙයි. 

ඉහත පැහැදිලි කළ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය අපට "දෙන ලද තත්ත්වයක්" සේ සලකන්නට සිදු වෙනවා. ඒ සම්බන්ධව හෙට්ටු කිරීම් කළ නොහැකියි. එය බැංකුවකින් ණයක් ඉල්ලන කෙනෙක් ඒ බැංකුවේ අවදානම් කළමනාකරණ ආකෘතිය වෙනස් කරන මෙන් ඉල්ලනවා වගේ වැඩක්. 

කෙසේ වුවත්, එයින් අදහස් වන්නේ කතා කරන්නට හා හෙට්ටු කරන්නට කිසිම දෙයක් නැති බව නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මත පදනම්ව නිගමන වලට එළඹීමේදී යොදා ගන්නා පරාමිතීන් හා සම්බන්ධව ශ්‍රී ලංකාවට යම් හෙට්ටු කිරීමක් කළ හැකියි.

මෙය උදාහරණයක් ඇසුරෙන් පැහැදිලි කරන්නේනම්, ආදායම ප්‍රමාණවත් නොවීමේ පදනම මත බැංකු ණයක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව, ණය අයදුම්කරුවෙකුට පෙර බැංකුවට ලබා දී නොමැති වෙනත් ආදායම් ප්‍රභව පිළිබඳ තොරතුරු බැංකුවට ලබා දෙන්න පුළුවන්. එවිට බැංකුව විසින් නැවත සලකා බලා ණය අනුමත කිරීමට යම් ඉඩක් තිබෙනවා. නමුත් මෙහිදී බැංකුව විසින් යොදාගන්නේ කලින් යොදාගත් ආකෘතියමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය හා අදාළව මෙවැනි පරාමිතීන් හා අදාළව වුවද තිබෙන්නේ ඉහත උදාහරණයේ මෙන් සරල තත්ත්වයක් නෙමෙයි. එම පරාමිතීන් බොහොමයක් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථනයි. මෙම පුරෝකථන සිදු කිරීම සඳහාද අරමුදල විසින් නිශ්චිත ආකෘති යොදා ගන්නවා. එම ආකෘති ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හෝ මුදල් අමාත්‍යංශය විසින් යොදා ගන්නා ආකෘති වලට හරියටම සමාන නැහැ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය සාමාන්‍යයෙන් ලංකාව වැනි රටක රජයට ස්වාධීනව හදාගත හැකි එවැනි ආකෘතියකට වඩා නිවැරදියි. ඒ නිසා බොහෝ රටවල් අරමුදලේ ආකෘතිය එලෙසම හෝ මාර්ගෝපදේශන ආකෘතියක් ලෙස යොදා ගන්නවා. නමුත් සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම පිළිබඳ පුරෝකථන කිරීම සඳහා ලංකාව වැනි රටකට වඩා නිවැරදි ආකෘති යොදා ගන්න බැරිකමක් නැහැ. 

ඊට පළමු හේතුව අරමුදල මේ ආකෘති හදන්නේ ලෝකයේ හැම රටකටම එක සේ ගැලපෙන පරිදි වීමයි. ලංකාව වෙනුවෙන් පමණක් හදන ආකෘතියක ලංකාවට අනන්‍ය ලෙස බලපාන කරුණු ඇත්නම් ඒවාද සලකා බැලිය හැකියි. දෙවන හේතුව, ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍යයන් කෙරෙහි බලපාන සාධක වල වෙනස් වීම් පිළිබඳව ශ්‍රී ලංකා රජයට හා මහ බැංකුවට අරමුදලට වඩා කලින්ම දැන ගන්නට හැකි වීමයි. 

මේ හේතු නිසා, දිගුකාලීනව බොහෝ විට අරමුදලේ පුරෝකථන වඩා නිවැරදි වුවත්, කෙටිකාලීනව ශ්‍රී ලංකා පාර්ශ්වයට වඩා නිවැරදි ලෙස සාර්ව ආර්ථික විචල්‍යයන් පුරෝකථනය කළ හැකියි. 

කෙටිකාලීන අවදානම් විශ්ලේෂණය සඳහා අරමුදල විසින් බහුවිචල්‍ය විශ්ලේෂණ ආකෘතියක් (Multivariate model) යොදා ගන්නවා. මෙහිදී සිදු වන්නේ මෑතකාලීන අතීත දත්ත මත පදනම්ව හා එම විචල්‍යයයන් මෑතකාලීනව වෙනස් වෙමින් පවතින ප්‍රවණතා අනුව ඉදිරි කාලය තුළද වෙනස් වනු ඇතැයි යන උපකල්පනය යටතේ අනාගත වෙනස්වීම් පුරෝකථනය කිරීමයි.

මෙය මෙවැනි පුරෝකථන සිදු කරන සම්මත ක්‍රමයක්. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනාධිපතිවරණ ඡන්ද අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු සකස් කර තිබෙන්නේද මෙම ක්‍රමයටයි. කෙසේ වුවත්, අලුත් දත්ත ලැබෙන විට මෙම පුරෝකථන වෙනස් වෙනවා. ඒ දත්ත අලුත් වෙද්දී විචල්‍යයන්ගේ මෑතකාලීන හැසිරීම් ප්‍රවණතා පිළිබඳ ඇස්තමේන්තුද වෙනස් වන නිසා. එහෙත්, එවැනි වෙනස්කම් සිදු වන්නේ මූලික ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය මෙන්ම පුරෝකථන ආකෘතියද නොවෙනස්ව තිබියදීයි.

මෙවැනි පුරෝකථන ආකෘතියක් අනුව, පුරෝකථන සිදු කරන්නේ කොතරම් දුරස්ථ අනාගතයක් සඳහාද යන්න අනුව, පුරෝකථන වල නිරවද්‍යතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා, මැදිකාලීනව පුරෝකථනය කළ හැක්කේ සාර්ව ආර්ථික විචල්‍යයන් විචලනය වීමට ඉඩ තිබෙන පරාසය පමණයි. කාලය වඩා ඉදිරියට යද්දී මෙම පරාසය ක්‍රමක්‍රමයෙන් පුළුල් වෙනවා. එහෙත්, අලුත් දත්ත ලැබෙන විට මෙම අවිනිශ්චිතතාවය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා.

මෙවැනි ආකෘතියක් තුළ සාමාන්‍යයෙන් සලකා නොබලන කරුණු (උදාහරණයක් ලෙස මැතිවරණය නිසා කොටස් වෙළඳපොළට සිදුව තිබෙන බලපෑම වැනි දේ) නිසාද කෙටිකාලීනව සාර්ව ආර්ථික විචල්‍යයන් වෙනස් වෙනවා. මෙවැනි වෙනස්කම් ගැන සලකා බලමින් පුරෝකතන "අතින් වෙනස් කිරීම" අරමුදල විසින් කරන්නේ ඉතා සුළු වශයෙන් පමණයි. ඒ නිසා, ශ්‍රී ලංකා පාර්ශ්වයට අමතර කරුණු ඉදිරිපත් කර හෝ හෙට්ටු කර අරමුදලේ නිගමන වෙනස් කර ගැනීම සඳහා තිබෙන්නේ ඉතාම සුළු අවකාශයක් පමණයි.

කෙසේ වුවත්, හැම මොහොතකම මෙන් අලුතෙන් දත්ත එකතු වන බැවින් එම දත්ත පවතින ආකෘතියට ඇතුළු කරද්දී පළමුව සාර්ව ආර්ථික විචල්‍යයන් පිළිබඳ පුරෝකථනත්, දෙවනුව ණය තිරසාරත්ව විශ්ලේෂණ ප්‍රතිඵලත් වෙනස් වෙනවා. මෙය ස්වයංක්‍රීය ලෙසම සිදු වන දෙයක්. මස හයකට වරක් අරමුදල විසින් සිදු කරන විමර්ශන වලදී මේ අයුරින් අලුත් දත්ත ඇතුළු කරමින් ණය තිරසාරත්වය පිළිබඳ තත්ත්වය නැවත සලකා බලනවා. එසේ සලකා බැලීමෙන් පසුව නිර්දේශ ඉදිරිපත් කරනවා. කෙසේ වුවත්, ණය තිරසාරත්වය පිළිබඳ නිගමන වෙනස් වන්නේ බොහෝ දුරට යාන්ත්‍රික ලෙසයි.

මාස හයකට වරක් සිදුවන මෙම විමර්ශන වලදී ශ්‍රී ලංකා පාර්ශ්වය විසින් අමතර තොරතුරු ඉදිරිපත් කරමින් හා තමන්ගේ ආකෘති මත ලැබෙන පුරෝකථන ඉදිරිපත් කරමින් අරමුදල සමඟ හෙට්ටු කිරීමක් කරනවා. හෙට්ටු කිරීමක් යන වචනය යොදාගත්තත් ඇත්තටම මේවා තාක්ෂණික කරුණු මත සිදුවන විද්වත් සාකච්ඡා මිසක් පොලෙන් දෙල් ගනිද්දී සිදුවන ආකාරයේ හෝ ඉඩමක් වාහනයක් ගනිද්දී සිදු වන ආකාරයේ හෙට්ටු කිරීම් නෙමෙයි. හෙට්ටු කිරීමක් කළ හැක්කේ තාක්ෂණික පදනමකින් පමණයි. එසේ කළද, අරමුදල විසින් ඔවුන්ගේ පුරෝකථන වෙනස් කරන්නේ කෙටිකාලීන පුරෝකථන සිය පුරෝකථන ආකෘතියෙන් බැහැරව වෙනස් කිරීම සඳහා ඔවුන්ට තිබෙන සීමිත අවකාශය තුළ පමණයි.

මේ තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීමටනම් ඔවුන්ගේ අදාළ ආකෘතියට ඇතුළු කෙරෙන පරාමිතීන් වෙනස් කරන්නට සිදු වෙනවා. ඒ සඳහා ඔවුන්ගේ පුරෝකථන ආකෘති අනුව පෙනෙන සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම වෙනස් විය යුතුයි. එය සිදුවන යාන්ත්‍රනය වන්නේ වත්මන් දත්ත වල හැසිරීම වෙනස් වීමයි. 

ඒ නිසා, ණය තිරසාරත්ව විශ්ලේෂණය වෙනස් කර ගැනීම සඳහා වත්මන් සාර්ව ආර්ථික විචල්‍යයන් අරමුදලේ ඉලක්ක වලටත් වඩා හොඳ මට්ටමක පවත්වා ගන්න සිදු වෙනවා. ඒ හැර වෙන ක්‍රමයක් නැහැ. පසුගිය කාලය තුළ ශ්‍රී ලංකා රජය හා මහ බැංකුව විසින් කර තිබෙන්නේත්, දැනට කරමින් සිටින්නේත් එයයි. ආකෘති වලින් බොහෝ දුරට යාන්ත්‍රිකව ලැබෙන දෙයක් වන රටේ ණය තිරසාරත්වය පිළිබඳ අවසන් නිගමන වෙනස් කරගත හැකි සාර්ථක හා ප්‍රායෝගික එකම ක්‍රමය එයයි. 

7 comments:

  1. ජාතික ජන බලවේග කඳවුරට අනුව ඔවුන්ගේ ඉලක්කය 2030 වන විට usd 120 billion real gdp එකකට යාම. මෙය කල හැක්කක්‌ද? එවිට nominal gdp එක කොපමණ පමණ වේද?

    ReplyDelete
    Replies
    1. කළ හැක්කක්ද කියා මම දන්නේ නැහැ. නමුත් විය හැක්කක්. මේ අවුරුද්දේ nominal GDP එක ඩොලර් බිලියන 88කට පමණ යනවා. ඉදිරි අවුරුදු පහේ 8.5% බැගින් වැඩි වුනොත් ඩොලර් බිලියන 142ක් පමණ වෙනවා. 2030 වන විට ඩොලරය රුපියල් 356ක පමණ මට්ටමක තිබුනොත් GDP එක ඩොලර් බිලියන 120ට යනවා. ප්‍රශ්නය ඩොලර් එක ඒ මට්ටමේ තියා ගන්න පුළුවන්ද කියන එක. ඩොලර් විශාල වශයෙන් ලංකාවට ආවොත් සහ ඒවා ආපසු නොගියොත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ඩොලර් එක පාලනය කරලා ඔය වගේ ගණනක් පෙන්වන්න පුළුවන්. කලින් පාරකුත් ඔය ක්‍රමයට ඩොලර් වලින් GDP එක වැඩි කළා.

      Delete
    2. ඉකොනොමැට්ටාගේ ගණන් වැරදියි නේද? මේ වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 85 සහ ඩොලරය මේ අගයේම තියාගෙන ඉන්නව නම් වසර පහක් තිස්සේ 8.5% ක වර්ධනයක් කියන්නේ ඩොලර් බිලියන 132 ක්, ඔය කියන විදිහට 142 වෙන්න නම් රුපියල අධිප්‍රමාණය වෙන්න ඕන. බොහෝ වෙලාවට 2030 දිත් ඩොලර් එකක් රුපියල් 300 සීමාවේ ස්ථාවර කර ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ඉදිරි ජාතික ජන බලවේගයේ රජයක් මගින් රටේ නිෂ්පාදන ආර්ථිකය විශාල ලෙස වර්ධනය කිරීම සහ ලංකාව BRICS රටවල් වල සංවිධානය සමග එක්වීම සමග ලංකාවට විශාල ඉදිරි පිම්මක් පනින්න පුළුවන් වේවි.

      Delete
    3. ඩොලර් එකක් රුපියල් 10යි කියල නීතියක් ගෙනාවනම් හරි.

      Delete
  2. ලංකාවේ පහුගිය 2022 ආර්ථික අර්බුදය ඇතිවුණේ 2019 පාස්කු ප්‍රහාරය සමග සංචාරක කර්මාන්තය ඇතුලු ආර්ථිකය බිඳවැටීම සහ 2020, 2021, 2022 යන වසර කීපයේම එකදිගට කොවිඩ් නිසා වසරකට ඩොලර් බිලියන පහක පමණ මුදලක් සංචාරක ව්‍යාපාරය කඩාවැටීම නිසා නොලැබීම, එවකට පැවති නන්දසේන රජය විසින් කර්මාන්ත පුර පිටින් වසමින් කොවිඩ් මර්දනයට කියමින් අනවශ්‍ය ලෙස රට වසා දැමීම මත ආර්ථිකය දැඩි ලෙස හැකිලීම, විශාල ලෙස කොවිඩ් සහනාධාර ලෙස ආධාර මුදල් ජනතාවට බෙදීම, යුක්රේන යුද්ධය සමග ඉන්ධන මිල අධික ලෙස ඉහල යාමත් ලෝකයේම කොවිඩ් සමග ඇතිවු උද්ධමනය මත ආනයන වියදම ඉහල යාම, එමෙන්ම 2015-19 රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුව අධික පොලියට ගත්ත sovereign bonds development bonds, currency swap වගේ ගොඩක් ණය මහා විශාල ලෙස අරගෙන තිබුණ නිසා වසරකට ඩොලර් බිලියන හයක් හතක් විදේශ ණය වාරික පමණක්ම ගෙවන්න සිදු වුණ නිසා තවත් විදේශ සංචිත හිස්වුණා. ඊට පෙර 2015 පමණ වනවිට ලංකාවට වසරකට විදේශ ණය ගෙවීමට තිබුණේ වසරකට ඩොලර් බිලියන දෙකකට අඩු ගණනක්. නමුත් විවිධ ඉදිකීරීම් ව්‍යාපෘති සඳහා ගත් ණය නම් ගෙවන්න වුණේ ඉතාම කුඩා වාරික වලින් දිගුකාලීනව. අනික ඒ ව්‍යාපෘති ණය සේරමත් ඩොලර් බිලියන පහකට අඩුයිනේ.

    නමුත් කෙටිකාලීන අධික පොළී 7-8% වගේ ගණනක ඩොලර් බිලියන 12.5 අධික ISB ණය මේ සමතුලිතතාවය බරපතල ලෙස බිඳ දැමුවා.

    කොවිඩ් අවසන් වීමත් 2022 අරගලය නිමවීමත් එක්ක සංචාරකයන් නැවත පැමිණීම සහ විදේශගත ශ්‍රමිකයන් එම ආණ්ඩුව පෙරළීමෙන් පසුව සල්ලි එවන්නෙ නැතිව හිටපු එක නතර කරපු එක සහ එම කාලයේ භාරතීය මැදිහත්වීම මත උණ්ඩියල් හරහා රුපියල කෘතිමව අවප්‍රමාණ කිරීම නැවැත්වීම (මේකට නන්දලාල්ගේ මහ බැංකුවත් මැදිහත් උනා. එය නවලිබරල් නිදහස් වෙළදපොලට මධ්‍යගත මැදිහත්වීමක්) වගේ දේවල් නිසාත් ආර්ථිකය ස්ථාවර වෙන්න හේතු උනා. ඒ වගේම රනිල් හමුදාව යොදවා ජනාධිපති මන්දිර අල්ලගෙන හිටපු අරගලකාරයො පන්නලා රටේ නීතිය සහ සාමය ස්ථාපිත කළ එකෙන් ආර්ථික ස්ථාරවත්වය ඇතිවී ආරජිකත්වය නැති උනා.

    රනිල් ජනපති වූ පසු ආණ්ඩුව සහ මහ බැංකුව යම් තීන්දු ගෝඨාභයට වඩා සෘජුව ගත්ත නිසා දේශපාලනිකව සහ ආර්ථිකව ස්ථාවරත්වයක් ඇති වූ නමුත් ආර්ථික පැත්තෙ සම්ප්‍රයුක්ත බලපෑම කියන්න තව කල් වැඩියි. උදා විදියට 2015-19 යහපාලනයෙන් කරපු අධික පොලියට ගත්ත කෙටිකාලීන ඩොලර් බිලියන 12.5ක පමණ අතිවිශාල අධික පොළී ISB ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර නාටකයේ ප්‍රතිඵල එන්න අවුරුදු දෙකක් විතර ගියා වගේ රනිල් යටතෙ මේ 2022-2024 වසර දෙක තුල සිදු වෙච්ච දේවල සමස්ත ප්‍රතිඵලය එන්නත් තව අවම අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් විතර යයි. එය බොහෝ විට ඉදිරි අවුරුදු කීපයකින් අයිඑම්එෆ් ණයත් ගෙවාගන්න බැරිව නැවත ඊටත් වඩා බරපතල දැවැන්ත විදෙස් ණය අර්බුදයක් ඒම විය හැකියි. මොකද ඒක තමයි ග්‍රීසියෙ සහ ආජන්ටිනාවෙ උනේ. ලංකාවත් දැනට යන්නෙ ඒ පාරේ. ඒ වගේම ජාතික ජන බලවේගයේ හදුන් සහෝදරයා ඉතාම නිවැරදිව පැහැදිලිව කිව්ව වගේ බැංකු ගිණුම් අත්හිටුවීම වගේ දේවල්ද වෙන්න පුළුවන් (ඒවත් ඒ රටවල උනා. උදා විදියට අයි එම් එෆ් ගියපු ලෙබනනය සියලුම බැංකු තැන්පතු රාජසන්තක කරා, ඒ වගේම ග්‍රීසියෙ මහජන තැන්පතු 30%ක් අහිමි වූ බවත් වාර්තා උනා). මේ හැම රටක්ම ගියේ අයිඑම්එෆ් පාරේ තමයි.

    ReplyDelete
    Replies
    1. වර්තමාන වික්‍රමසිංහ රජය ප්‍රාග්ධන ආයෝජන වගේ වැඩක් තියෙන වියදම් සම්පුර්ණයෙන්ම පාහේ කපා දමා තිබුණත් වෙනත් නාස්තිකාර සහ හොඳ රිටර්න් එකක් නොලැබෙන අනවශ්‍ය
      රාජ්‍ය වියදම් නම් පොඩ්ඩක්වත් අඩු කරන්න වත්මන් රජය කිසිම දෙයක් කරල නැහැ. ඇත්තටම අනවශ්‍ය රාජ්‍ය වියදම් නම් තවත් වැඩිවෙලා තියෙනවා රනිල්ගේ 25% වැටුප් වැඩිකිරීම, රු. 15,000 අස්වැසුම දීමනා වගේ මෝඩ තකතීරු වැඩ එක්ක (මේවත් අයිඑම්එෆ් කොන්දේසි හැබැයි). ඒ වෙනුවට රජයේ ප්‍රාග්ධන ආයෝජන කපා හැරීමෙන් වියදම අඩු කරා කියලා පෙන්වනවා පමණයි.

      රනිල්ට සහ අයිඑම්එෆ් එකට අනුව රාජ්‍ය ආදායම් වැඩි කරගන්න තියෙන එකම දේ ලාභ ලබන ආයතන විකිණිමයි. මේකෙන් ඇත්තටම ඒ වෙලාවට තාවකාලිකව කීයක් හරි රජයට ලැබුනාට දීර්ඝ කාලීනව රාජ්‍ය ආදායම වගේම රජයේ ආර්ථිකය මත ඇති කර හැකි බලපෑම පවා අඩුවෙනවා. ඒ වගේම තව තවත් විදේශ විනිමය පිටට ගලා යන නිසා (උදා: විදියට දැනට රනිල් කරනවා වගේ ඉන්ධන සහ විදුලිය විදෙස් සමාගම් යටතට පැවරීම) ගෙවුම් ශේෂ අර්බුදය (වෙළද හිගය) තවත් උග්‍ර වෙනවා සහ ඩොලර් හිගය තවත් උග්‍ර වෙනවා. ඒ වගේම ඒකෙ දේශපාලනික පැත්තක්ද තියෙනවා.

      රටක ආර්ථික අර්බුද සහ ණය අර්බුද එක දවසින් එන්නෙ නැහැ. බොහෝ විට ඒව එන්නෙ වෙනත් ආණ්ඩුවක් යටතෙ වෙන්න පුළුවන්. හැබැයි ඒකට පදනම් වෙන හේතු හැදෙන්නෙ අවුරුදු ගණනාවකට පෙර.

      රටක ආර්ථිකයට දිගුකාලීනව අහිතකර අයිඑම්එෆ් කොන්දේසි ටික ක්‍රියාත්මක කිරීම රනිල් කරා. ඒ යටතේ අධික ලෙස බදු වැඩිවුණා සහ බලශක්ති මිල වැඩි වුණා. මෙයින් ඇත්තටම ආර්ථිකය රිකවරි වීම ප්‍රමාද උනා රටේ ධනය අරගෙන මධ්‍යම පාන්තික පවුල්වල උගත් කුසලතා පිරිපුන් තරුණ තරුණියන් ව්‍යවසායකයන් වෘත්තිකයන් වගේ විශාල පිරිසක් සහ බොහෝ විදේශීය සහ ඇතැම් දේශීය ආයෝජකයන් පවා රට හැර ගියා. නමුත් තවමත් මේකෙ ඇත්ත බලපෑම රටට හරියටම දැනුනේ නෑ අනෙක ඒ හැරයාමත් තාම ඉවරත් නැහැ. තවත් කොන්දේසි ගොඩක් තියෙනව ඉටු කරන්නට. ඒ වගේම පහුගිය කාලෙත් දේශියව විශාල ලෙස ණය අරන් තියෙනවා. මේවා වෙනස් කරන්න බැරි වෙන්න රනිල්ලා පණත් කීපයක්ම සම්මත කරලා නීතියක් කරලාත් තියෙනවා. නීති ඉක්මනින්ම අවලංගු කී යුතු බව ජාතික ජන බලවේගය මනාව අවබෝධ කරගෙන තිබීම පැසසිය යුතුයි

      අවුරුදු ගණනාවකට පෙර රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ සුවච කීකරු ගෝලයෝ වුණ හර්ෂ රවී එරාන් වගේ අය කෙළපු පිස්සු වල චාටර් කන්න වෙන්නේ ඊළඟට පත්වන්නට නියමිත ආණ්ඩුව.

      මේ නිසාම ජාතික ජන බලවේගය ඉතාම සුපරික්ෂාකාරී ලෙස මෙය කළමණාකරනය කර IMF වැඩසටහනෙන් සූක්ෂම ලෙස ඉවත් වීමට ඉක්මණින්ම කටයුතු කළ යුතුව ඇත. ජාජබ රජය IMF එකෙන් පිට වෙනත් වඩා හොඳ විසදූමක් සොයාගත යුතුයි. මම හිතන්නේ ජාජබ රජය මේ ක්‍රමය වෙනස් කිරීම සාර්ථකව ක්‍රියාත්මක කරයි කියල. ලංකාව ඉන්දියාව චීනය රුසියාව බ්‍රසීලය දකුණු අප්‍රිකාව ඇතුලු රටවල් සංධානය සමග අත්වැල් බැඳගෙන නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුව ඇත. එය බොහෝවිට ජාජබ රජය බලයට පත්වීමෙන් පසුව ඉතාම ඉක්මනින්ම සිදුකරන්නට පුළුවන් බවයි පේන්නේ එහෙම නේද?

      Delete
  3. සේවා ආනයන වියදම් කියන එකට ඇතුලත් වෙන්නෙ මොන වියදම්ද? කෝවිඩ් කාලෙ ඒ වියදම් බින්දුවට වගෙ ගිහින් තියෙන්නෙ ඇයි?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: