වෙබ් ලිපිනය:

Tuesday, September 17, 2024

දෙවෙනි මනාපේ...


වසර ගණනාවකට පසුව මෙවර ජනාධිපතිවරණයේදී දෙවන මනාප පිළිබඳව නැවත අවධානය යොමු වී තිබෙනවා. දෙවන මනාප කියා කියන්නේ පසුගිය දශක තුනකට වැඩි කාලය තුළ ශ්‍රී ලංකාවේ ඡන්දදායකයින් විසින් නොසලකා හැර තිබුණු දෙයක් කියා කියන්න පුළුවන්. ඒ නිසාම ගොඩක් අයට ජනාධිපතිවරණය කටටම ඇවිත් තිබෙන මේ මොහොතේ වුනත් දෙවන මනාප වැඩ කරන විදිහ ගැන පැහැදිලි අවබෝධයක් නැති බවයි පෙනෙන්නේ. 

සාමාන්‍ය කාරණයක් විදිහට පුද්ගලයෙක්ට වැඩි තේරීම් ප්‍රමාණයක් ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම හොඳ දෙයක්. එයින් හැම විටම අනිවාර්යයෙන්ම වාසියක් නොවුනත්, කිසිම විටක අවාසියක් වෙන්නේනම් නැහැ. 

ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබිලා දැන් අවුරුදු 93ක් වෙනවා. මේ අවුරුදු 93න් අවුරුදු 50ක්ම ලංකාවේ ඡන්දදායකයා දැනගෙන හිටියේ තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයාට ඡන්දය දෙන ක්‍රමය ගැන පමණයි. එයින් එහාට තේරීමක් ඔවුන්ට තිබුණේ නැහැ. 

කාර්යාල වල වැඩ කරන අය සමහර වෙලාවට වෙනත් අයෙකුට කියලා එළියෙන් බත් පාර්සලයක් ගෙන්වා ගන්නවා. එහෙම ගේන්න සල්ලි එකතු කර ගනිද්දී අවශ්‍ය වන්නේ චිකන් කෑම එකක්ද, මාළු කෑම එකක්ද, බිත්තර කෑම එකක්ද එහෙම නැත්නම් එළවලු කෑම එකක්ද කියලා කියන්න වෙනවා.

"මට ගේන්න මාළු කෑම එකක්!"

කවුරු වුනත් කියන්නේ තමන් වැඩියෙන්ම කැමති තේරීම අරගෙන එන්න කියලයි. ඒ තේරීම ඒ විදිහටම ලැබුනොත් අවුලක් නැහැ. අවුලක් වෙන්නේ ඒ තේරීම නොලැබුනොත්.

"මොකද මේ බිත්තර කෑම? මම ගේන්න කිවුවේ මාළු කෑම එකක්නේ..."

"මාළු කෑම ඉවර වෙලා! ඒ නිසා මම බිත්තර කෑම එකක් ගෙනාවා."

"අයියෝ! මම බිත්තර කන්නේ නැහැනේ. චිකන් කෑම තිබුනේ නැද්ද?"

"තිබුණා! චිකන් කයිද කියලා දන්නේ නැති නිසා මම බිත්තර කෑම ගෙනාවා."

ඔන්න ඔය ක්‍රමය තමයි 1977 වන තුරු ලංකාවේ තිබුණු එකම මැතිවරණ ක්‍රමය. තමන් කැමතිම කෑම වර්ගය ඕඩර් කරන්න පුළුවන්. ඒක ලැබුනොත් හරි. හැබැයි නොලැබුනොත් ලැබෙන ඕනෑම දෙයක් භාර ගන්න වෙනවා.

ජනාධිපතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙද්දී ඔය වඩාත්ම කැමති පුද්ගලයා තෝරන ක්‍රමයෙන් එහාට ගිය තේරීමක් ලංකාවේ ඡන්දදායකයාට ලැබුණා.

"මට ගේන්න මාළු කෑම එකක්! මාළු කෑම නැත්නම් චිකන් කෑම එකක් ගේන්න. ඒත් නැත්නම් එළවලු."

දැන් තිබෙන ක්‍රමය ඔය වගේ. කලින් වගේම මාළු කෑම ඕඩර් කරන්න පුළුවන්. හැබැයි හදිසියේ හරි මාළු කෑම ඉවර වෙලානම් ලැබෙන දෙයක් කන්න අවශ්‍ය නැහැ. දෙවන තේරීමට යන්න පුළුවන්. ඒකත් නැත්නම් තුන්වන තේරීමකුත් තිබෙනවා. මේක කලින් ක්‍රමයට වඩා ගොඩක් දියුණු ක්‍රමයක්. 

මේ වගේ තේරීමක් තියෙද්දී තමන්ගේ දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ නොකර ඉන්නවා කියන්නේ අන්තිම මෝඩ වැඩක්. මොකද මාළු කෑම තිබෙනවානම් කොහොමටත් මාළු කෑම ලැබෙනවා. දෙවන තුන්වන කැමැත්ත මොකක් වුනත් මාළු කෑම තිබෙනවානම් ඒක නැති වෙන්නේ නැහැ. 

පළමු කැමැත්ත ලබා ගැනීමේ හැකියාවක් තිබේනම් ඒක කොහොමටත් ලැබෙනවා. අවුලක් වෙන්නේ මොන හේතුවකින් හරි පළමු කැමැත්ත ඉටු වුනේ නැත්නම්. හදිසියේවත් මාළු කෑම ඉවර වෙලානම්, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරලා නැති කෙනෙකුට ලැබෙන කෑමක් භාර ගන්න වෙනවා. ඒ නිසා, දෙවන තුන්වන කැමැත්ත ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන්නේ කිසිදු මුදලක් නොගෙවා රක්ෂණයක් ගන්නවා වගේ දෙයක්. 

හිටපු මැතිවරණ කොමසාරිස්වරයෙක් විසින් දෙවන තුන්වන මනාප ගණන් කරන විදිහ හරියටම පැහැදිලි කරනවා. ඒ විස්තර කරන්නේ පණතේ තිබෙන ක්‍රමය. මේ විස්තර කරන ක්‍රමය හරියටම හරි වුනත් විස්තරේ ගොඩක් අයට හරියට තේරිලා නැති බව පේනවා. ඊට හේතුව ඒ ක්‍රමය ඕනෑවට වඩා සංකීර්ණ ලෙස විස්තර කර තිබීම. ඒක විස්තර කිරීමේ වැරැද්දක් නෙමෙයි. පණතේම තියෙන විදිහ.

හැබැයි පණතේ මේ විස්තරය ඔය තරම් සංකීර්ණ වුනේ පසුව කරපු සංශෝධනයකදී. මුලින් පණතේ තිබුණු ක්‍රමය කාට වුනත් තේරුම් ගන්න ලේසියි.

දැන් ක්‍රමයට වඩා තාක්ෂණිකව වෙනස් වුනත් මුලින්ම පණතේ විස්තර කර තිබුණු ක්‍රමයෙන් වෙන්නෙත් දැන් වෙන දෙයම තමයි. ඒ නිසා, මම ඒ ක්‍රමය ගැන මුලින්ම කියන්නම්. ඒ ක්‍රමය තේරුම් ගන්න පහසුයි.

මේ ක්‍රමය හඳුන්වා දුන්නේ රටේ ඡන්දදායකයින් සියලු දෙනාගේම ඡන්දයෙන් රටේ නායකයා තෝරාගන්නා ක්‍රමයකුත් එක්කයි. ඊට කලින් ඒ වගේ දෙයක් සිදු වුනේ නැහැ. රටේ නායකයාව තෝරා ගත්තේ මහජන නියෝජිතයින්ගේ ඡන්දයෙන්. ඡන්දදායකයින්ට කළ හැකි වූයේ තමන්ගේ නියෝජිතයාව තෝරාගන්නා එක පමණයි.

ඔය අලුත් ක්‍රමය හඳුන්වා දෙද්දී මනාප තුනක් ලකුණු කිරීමේ අවස්ථාවද ඡන්දදායකයින්ට ලැබුණා. ඒ අනුව, තමන් වැඩියෙන්ම කැමති පුද්ගලයා වගේම දෙවෙනියට හා තුන්වෙනියට කැමති කවුද කියලත් සඳහන් කරන්න පුළුවන්. ලකුණු කළ යුතුව තිබුණේ 1, 2, 3 ලෙසයි. අවශ්‍යනම් 1 පමණක් හෝ 1 හා 2 පමණක් ලකුණු කරන්නත් පුළුවන්. 

අපි හිතමු ඡන්ද දායකයින් ගණන 100ක් සහ අපේක්ෂයින් ගණන 5ක් කියලා. ඔවුන්ව අපි A, B, C, D හා E ලෙස හඳුන්වමු. ඒ අයට පළමු මනාප ලැබුනේ මේ විදිහට කියලා හිතමු.

A = 52

B = 40

C = 5

D = 2

E = 1

ප්‍රතිඵලය ඔය වගේනම් දෙවන තුන් වන මනාප ගණන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. මොකද ඉදිරියෙන්ම ඉන්න අපේක්ෂකයාට කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා අනිවාර්යයෙන්ම වැඩියි. රටේ නායකයා වෙන්නේ රටේ වැඩි දෙනෙක් කැමති පුද්ගලයෙක්. 

නමුත් වැඩිම පළමු මනාප ගත් පුද්ගලයාට මුළු වලංගු ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩක් සහ තවත් එකක් නැත්නම්, එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයාට කැමති ප්‍රමාණයට වඩා අකැමැති ගොඩ වැඩියි කියන එකයි. උදාහරණයක් විදිහට මේ වගේ.

A = 42

B = 40

C = 15

D = 2

E = 1

පරණ ක්‍රමය අනුව, ඔය වගේ වේලාවකදී කරන්නේ දෙවන මනාප ගණන් කරන එක. දෙවන මනාප ගණන් කරන්නේ C, D හා E යන තුන් දෙනාට පළමු මනාප දී තිබෙන අයගේ. මේකේ අරමුණ වෙන්නේ ඒ අය අඩු වශයෙන් Aට හෝ Bට දෙවෙනියට හෝ කැමතිද කියා පරීක්ෂා කර බලන එක. ඒ කියන්නේ ඒ අයට මාලු කෑම දෙන්න බැරි වුනත් අඩු වශයෙන් චිකන් කෑම හරි දෙන්න පුලුවන්ද කියා බලන එක.

අපි හිතමු D හා E දෙන්නාට පළමු මනාප දුන් අය කාටවත්ම දෙවෙනි මනාප දීලා නැහැ කියලා. Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා කියලා හිතමු.

A = 9

B = 2

D = 1

E = 1

දැන් කරන්නේ ඔය දෙවන මනාප A හා B දෙන්නාගේ පළමු මනාප වලට එකතු කරන එක.

A = 42 + 9 = 51

B = 40 + 3 = 43

දැන් තත්ත්වය අනුව පේන්නේ Aට අඩු වශයෙන් දෙවෙනියට හෝ කැමති ඡන්දදායකයින් ගණන අකැමැති ඡන්දදායකයින් ගණනට වඩා වැඩි බවයි. ඒ නිසා, තුන් වන මනාප ගණන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දෙවන මනාප එකතු කළාට පස්සේ පළමු වටයේ දෙවන තැන හිටපු අපේක්ෂයා ඉස්සරහට එන්නත් පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 11

D = 1

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 11 = 51

ඒ කියන්නේ පළමු වටයෙන් දෙවෙනි තැන හිටියත් දෙවෙනි මනාප එකතු කළාට පස්සේ B ජයග්‍රාහකයා වෙලා.

ඔය විදිහට දෙවෙනි මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැති වෙන්න පුළුවන්. අපි හිතමු Cට පළමු මනාප දුන් අයගෙන් 13 දෙනෙක් දෙවන මනාප දීලා තියෙන්නේ මේ විදිහට කියලා.

A = 1

B = 1

D = 6

E = 5

දැන් ප්‍රතිඵලය මේ වගේනේ. 

A = 42 + 1 = 43

B = 40 + 1 = 41

ඔය වගේ අවස්ථාවක Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාපත් ගණන් කරනවා. ඒ කියන්නේ මේ උදාහරණයේදී Cට පළමු මනාපය දී Dට හෝ Eට දෙවෙනි මනාප දුන්න 11 දෙනාගේ. අපි හිතමු ඒ තුන්වන මනාප බෙදී ගොස් තිබුනේ මේ විදිහට කියලා. 

A = 2

B = 2

D = 1

E = 1

දැන් තුන් වන මනාපත් එකතු කළාට පස්සේ ප්‍රතිඵලය මේ වගේ. 

A = 42 + 1 + 2 = 45

B = 40 + 1 + 2 = 43

තුන් වන මනාප එකතු කළාට පස්සේත් කාටවත් 50% සහ එක නැහැ. ඒ නිසා රටේ ඡන්දදායකයින් වැඩි දෙනෙක් අකැමති කෙනෙක්ව රටේ නායකයා විදිහට තෝරා ගන්න එක හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ නිසා, පළමු දෙවන හා තුන් වන මනාප සියල්ලම එකතු කළාට පස්සේ ඉදිරියෙන්ම ඉන්න පුද්ගලයාව රටේ නායකයා විදිහට තෝරා ගන්නවා. 

ඕක තමයි මූලධර්මය. නමුත් 1988 සංශෝධනයෙන් පස්සේ ඔය වැඩේ කරන විදිහ තරමක් වෙනස් වී තිබෙනවා. දැන් ක්‍රමයේදී දෙවන හා තුන්වන මනාප දෙපාරකට ගණන් කරන්නේ නැහැ. ඒ පියවර දෙකම එකවර කරලා පළමු මනාප වලට එකතු කරනවා. හැබැයි වෙන්නේ ඔය විස්තර කරපු දෙයම තමයි. 

කලින් උදාහරණයක්ම නැවත ගන්නම්.

පළමු මනාප:

A = 42

B = 40

C = 15

D = 2

E = 1

Aට හෝ Bට පළමු මනාප නොදුන් අයගේ දෙවන මනාප:

A = 1

B = 1

D = 6

E = 5

Aට හෝ Bට පළමු හෝ දෙවන මනාප නොදුන් අයගේ තුන්වන මනාප:

A = 2

B = 2

D = 1

E = 1

Aගේ සහ Bගේ දෙවන හා තුන්වන මනාප:

A =  1 + 2 = 3

B = 1 + 2 = 3

Aගේ සහ Bගේ පළමු, දෙවන හා තුන්වන මනාප:

A = 42 + 3 = 45

B = 40 + 3 = 43

පේනවනේ. දැන් ක්‍රමයේ සහ මුල් ක්‍රමයේ අවසන් ප්‍රතිඵල සමානයි. ප්‍රධානම වෙනස දෙවන හා තුන් වන මනාප එකවරම ගණන් කරලා එකතු කරන එක. එහෙම කළා කියලා ජයග්‍රාහකයා වෙනස් වෙන්නේ නැහැ.

මේ ක්‍රමයේ තිබෙන වැදගත්කම කිසිසේත්ම දිනන්නේ නැති අපේක්ෂකයෙක්ට වුනත් තමන්ගේ පළමු මනාපය දීමෙන් අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවීම. අපි හිතමු මම කැමතිම අපේක්ෂකයා D කියලා. නමුත් දිනන්න ඉඩ තියෙන්නේ A හෝ B. මම වැඩියෙන්ම කැමති Dට වුනත් Aටත් යම් තරමක් කැමතියි. නමුත් Bට කොහොමටවත්ම කැමති නැහැ. ඔය වගේ වෙලාවක ගොඩක් අයට තිබෙන බය තමන් වඩා කැමති Dට පළමු මනාපය දීම නිසා A පැරදිලා B දිනයිද කියන එක. 

හැබැයි ඔය වැඩේ කීයටවත් වෙන්නේ නැහැ. මොකද එක්කෝ මගේ පළමු මනාපය නැතත් A විසින් පළමු වටයේදීම 50% සහ එක අරගෙන දිනනවා. යම් විදිහකින් මම මගේ පළමු මනාපය Dට දුන් නිසා (සහ මා වැනි තවත් අය නිසා) පළමු මනාප වලින් පසුව Aගේ 50% සහ එක නැති වෙලානම්, මගේ දෙවන (සහ මා වැනි අනෙක් අයගේ) දෙවන මනාප එකතු වූ ගමන්ම 50% සහ එක හැදෙනවා. එහෙම වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම පළමු මනාපය Aට දුන්නත් Aට 50% සහ එක හැදෙන්නේ නැහැ කියන එකයි. 

දෙවන හා තුන්වන මනාප ගණන් කරන තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ ඒ දෙවන හා තුන්වන මනාප වලටත් පළමු මනාපයක වටිනාකමම ලැබෙනවා කියන එක. වෙනත් විදිහකින් කිවුවොත් තමන්ගේ තේරීමට අවස්ථා දෙකකදීම වටිනාකම් ලැබිලා කියන එක.

සාමාන්‍ය කරුණක් ලෙස ඡන්දය නොදා සිටීමත් පුද්ගලයෙකුගේ අයිතියක්. නමුත් එයින් වෙන්නේ අනෙක් අයගේ කැමැත්ත කුමක් වුවත් එය භාර ගැනීමක්. දෙවන හා තුන්වන මනාප ප්‍රයෝජනයට නොගැනීමෙන් වෙන්නෙත් ඊට කිට්ටු දෙයක්. 

ඡන්දය නොදා සිටීම තමන්ට අවශ්‍ය චිකන් කෑමද, බිත්තර කෑමද කියා හරියට නොකියා "තියෙන ඕනෑ එකක්" කියනවා වගේ වැඩක්. පළමු මනාපය පමණක් දැමීම "චිකන් තියෙනවනම් ගේන්න. නැත්නම් තියෙන ඕනෑ එකක් කියනවා වගේ වැඩක්." තමන්ට "තියෙන ඕනෑ එකක්" ප්‍රශ්නයක් නැති කෙනෙක් ඔය තේරීම කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. නමුත් තමන්ට ප්‍රමුඛතා අනුපිළිවෙලක් තියනවානම් හොදම වැඩේ එය ප්‍රකාශ කිරීම සඳහා ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එකයි. ඒකෙන් වාසියක් මිසක් කිසිදු අවාසියක් වෙන්නේ නැහැ. 

19 comments:

  1. මේ ඉකොන්මැට්ටා පවු, ඇමරිකාවෙ ඉඳන් නිදිමරාගෙන දෙවෙනි මනාප ගැන හෙන මාගලක් වගේ එකක් ලියලා තියෙනවා. හැබැයි සමහර ඒවා වැරදියි, දෙවෙනි මනාප තුන්වෙනි මනාප ගනින්නෙ එක අපේක්ෂකයෙක්ටවත් 50% පන්නන්න බැරි වුණාම, ඒක හරියට ලියලා. හැබැයි දෙවෙනි මනාප සහ තුන්වෙනි මනාප ගනින්න ඉස්සෙල්ලා, වැඩිම ඡන්ද ගත්ත දෙන්නව ඉතුරු කරලා, ඉතුරු අයව තරඟයෙන් අයින් කරනවා. දෙවෙනි මනාප සහ තුන්වෙනි මනාප ගනින්නෙ, තරඟයෙන් ඉවත් කරපු අපේක්ෂකයන්ට එක ලකුණු කරලා, දෙවෙනි හෝ තුන්වෙනි මනාපයක් ප්‍රධාන අපේකෂකයන් දෙන්නගෙන් එක්කෙනෙකුට දීලා තියෙනවද කියලා බලන එක. එහෙම නැතුව ඉස්සෙල්ලම දෙවෙනි මනාප ගනින්නෙ නෑ.මම මේක ගැන ඉයන්ගෙ බ්ලොග් එකේ පැහැදිලි කරලා තියෙනවා. පහත තියෙන්නෙ ලින්ක් එක. අපේ කමෙන්ටු අයින් කරන නිසා, මේක තියෙන්නෙ පැය කීපයක් වෙන්න පුළුවන්, ඉකොන් තාම නිදි ඇති, ඇහැරුනාම සමහරවිට මේක අයින් කරයි.
    https://lankanian.blogspot.com/2024/07/blog-post.html?showComment=1721797866132#c4535921657355437202

    ReplyDelete
    Replies
    1. කොහෙද කියල තියෙන්නේ ඉස්සෙල්ලම දෙවෙනි මනාප ගනිනවා කියලා?

      Delete
    2. මේ සේරම මේ වල පයයි ගොඩ පයයි හෙට අනිද්දා වලකජ්ජ ගහන්න ඉන්න මුත්තෙක් වෙනුවෙන් ගහන වැල් බයිලා නේ, තේරුමක් නෑ මුත්තා අනිවාර්යයෙන්ම අපි එලවලා දානවා ඒක තමයි අපේ එකම පැතුම මුලු රටේම ජනතාවගේ ලොකුම සහ එකම පැතුම ඔය රට බංකොලොත්බාවයට පත් කරන්න අධික ලෙස නය ගත්‍ත බටලන්ද මීනිමරුවා ගෙදර යැවීම ඒක අපි අනිවාර්යෙන්ම කරනවා ඒක අංක එක

      අංක දෙක උගේ දේශපාලන ආර්ථික මතවාදය සම්පූර්ණයෙන්ම පරාජය කරලා සමාජවාදී ජනතාවාදී ශක්තිමත් රජයක් එක්ක අලුත්ම ආර්ථික වැඩපිළිවෙලක් ඇතිකරන එක

      ඊළඟට අවුරුදු පණහකට කිට්ටු කාලයක් පාර්ලිමේන්තුවේ ඉඳලා අසූ ගණන්වල දහස් ගණනක තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කරලා පස්සේ යහපාලන නමකින් ජනතාව රවටලා අටවාගෙන හිටපු ආණ්ඩුව යටතේ මහබැංකුව හොරාකාලා අධික පොලියට ඩොලර් බිලියන ගණනක ණය අරගෙන රට විනාශ මුඛයට ඇද දැමීමට මූලිකම දේවල් සියල්ල කරපු එකාව කොහොම හරි ජීවිතාන්තය දක්වාම සිරගත කිරීමයි. ඊළඟට ඌ අටවපු උගුලේ අහුවුණත් ඒකෙන් ගැලවෙනවා වෙනුවට තවත් ඒ උගුලේම හිර කරපු රාජපක්ෂ හොරරැල සහ නන්දසේනයාගේ කල්ලියට සම්බන්ධ සියලු දෙනාටමත් දඬුවම් දීමයි. මේ සේරම එකමිටට මාලිමාවට ඡන්දය දෙන බහුතරය බලාපොරොත්තු වෙන දේවල්.

      Delete
  2. සිටිසන්September 17, 2024 at 8:29 PM

    උදාහරණෙ තනිකරම වැරදිනෙ බං. ඕකෙදි චිකන් නැතිනං මාළු කෑම බිත්තර කෑම එක එක්කෙනාට එක එක විදිහට ගේන්න පුලුවන්නෙ.

    ඒත් චන්දෙදි එක එක්කෙනාට එක එක අපේක්ෂකයා ජනාධිපති විදිහට තෝරගෙන ගේන්න බැහැනෙ. සමස්ථයේ මනාපනෙ බලන්න. එතකොට චිකන් තිබිලත් චිකන් කන්න චාන්ස් නැතිව යනවා උදාහරණෙට අනුව බැලුවම.

    අනික ඔය මනාප කතාව හැම චන්දෙකදිම ආවා. මතක අය දන්නව. චන්ද දෙකක් තුනක් ඇරෙන්න බොහොම සාමාන්‍ය ගානකිං තමා දිනන අපේක්ෂකයා දිනුවෙ. ඒ නිසා මේ ලිපිය බයිලාවක් කියල තමා හැඟෙන්නෙ.

    ReplyDelete
  3. ආ, තව පොඩි දෙයක් අමතක වුණා, දෙවෙනි වටයට ගිහින් දෙවෙනි මනාප සහ තුන්වෙනි මනාප ගණන් කරලා අවසන් වුණාම, ආපහු 50% කතාවක් එන්නෙ නෑ, මොකද දැන් තරඟෙ තියෙන්නෙ ප්‍රධාන අපෙක්ෂකයො දෙන්න අතර විතරයි. උදාහරනයක් විධියට මේ ඉකොන්ගෙම උදාහරණෙ, A=42, B=40. දෙවෙනි මනාප සහ තුන්වෙනි මනාප කවුරුත්ම දීල නැත්නම්, දැන් බලන්නෙ 42+40=80, එහෙනම් මුලු ඡන්ද 80න් 42ක් ගත්ත A, ඒ කියන්නෙ 42/80= 52.5%යි. එතකොට A දිනුම්. මේක හිටපු මැකෝ යුට්යුබ් එකේම පැහැදිලි කරනවා. මේ තියෙන්නෙ ඒ ලින්ක් එක
    https://www.youtube.com/watch?v=Mrz6RpzDaa4

    ReplyDelete
    Replies
    1. ඉකොනො කියන්නෙත් ඒක නේද?

      Delete
    2. ඉකොනො කියන එක රොබර්ට් කියන එකට වඩා පොඩ්ඩක් වෙනස් වගෙ.
      රොබර්ට් කියන එක වඩාත් සරලයි. දෙකම නිවැරදී.
      අවසාන වශයෙන් තෝරන්නෙ a සහ b අතරින් වැඩිපුර මනාප ගත්තු පුද්ගලය. 50% අදාල නෑ

      Delete
  4. මහත්තයා හෝටලයක වේටර් කෙනෙක්ද

    ReplyDelete
  5. තේරීමක් කරන්නට ඉඩ තියෙන එක
    හොඳයි, මෙවර මුල් වටයෙම ජය නිසැක
    අනුර ඉන්න හින්දා ලොකු පහසුවක
    හිඳියි රටම - එකෙන්ම ගොඩ යන තැනක!

    ReplyDelete
  6. දැනටමත් වැට් අදාල නැති ආහාර, අධ්‍යාපන ද්‍රව්‍ය වගේ ඒවයෙ වැට් අයින් කරලා ජනතාවට සහන දෙනවා කියලා අනුර කියනවා. ඉතිං අපි අනුරට ඡන්දය නොදිය යුත්තේ ඇයි?

    ReplyDelete
  7. Boru liyannepa econo. dannethnam wedak balan innawa

    ReplyDelete
  8. ඔය මොනවා කිව්වත් මහ බැංකුවට කෙලපු සහ ලංකාව බංකොලොත්බාවයට පත් කරපු ප්‍රධාන චූදිතයා වන පාදඩ පිනා 22 න් පස්සෙ කුනු කූඩෙට. ඊට පස්සෙ හිරේ. මාලිමාවට ජය වේවා !

    ReplyDelete
  9. නාකි සොම්බියා කුල්ල කුජීත වෙලා හොම්බෙන් යන දවස අත ලඟ කියල දැනෙනෙකොට බඩ බුරුලෙන් යනවා නේද ඉකොනොමැට්ටා? නාකි සොම්බිය තරං හත් අවලං ජඩයෙක් මේ දේශපාලන ලෝකෙ නෑ. ඕක හැඳිගෑවිලාම යන්න ඕනැ.

    ReplyDelete
  10. අධික බදු බරෙන් මිරිකී
    නෝමැරී මැරෙන
    අසරණ මිනිසුන්
    ජීවිතය ඉල්ලා
    හඬන දිළිඳුන්ට
    පිහිටක් නැති
    76 වසක් තිස්සේ
    දුකම පමණක්
    උරුම කරගත්
    ඩොලර් බිලියන
    12.5ක
    අධික පොලී
    අයිඑස්බී ණය බරෙන්
    මිරිකෙන රටක
    වයස 75 පැනපු
    හිටපු වධකාගාර පාලක
    මිනිමරු
    මහා බැංකු හොරෙකු
    අධික ලෙස බලයට කෑදර
    වියරු ඒකාධිපතියකු
    දිළින්දන්ගේ ලේ උරුබොන
    ලේ පිපාසිත රාක්ෂයෙකු
    මනසේ සෙන්සර් නැති
    හැඟීම් විරහිත
    මිනීමරු
    වධක සොම්බියකු
    ඉර හඳ දිනන්නට මෙන්
    බලය වෙනුවෙන්
    වලිකන මොහොතක
    එවන් පාහරයන්ට
    එරෙහිව නැගී සිටින
    ජනතාවාදීන්ට
    එරෙහිව පෑන හසුරුවන
    මහලු සොම්බි ලේ මාපිලාට
    රෙදි නැතුව
    සුපර් මාකට් යන
    අපත හාල්පාරුවන්ට
    කුමට පායයිද
    ඉරක් හෝ හඳක්!

    - ලංකාවේ බහුතර ජනතා හදගැස්ම

    ReplyDelete
  11. ඉකොනෝමැටි මහත්තයා මැතිවරණ කොමිසම මගින් මෙහෙයවන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක පිරිසිදු කිරීමේ සේවය සපයන තාවකාලිකව දවස් කුලියට වැඩ කරන සුළු සේවකයෙක් ද?

    ReplyDelete
  12. දෙවෙනි මනාප කියන එක අදාල නෑනේ, මොකටද දෙවෙනි මනාප ගණන් කරන්නේ ඔල්මාද බඩුවක්නේ

    මේ සැරේ අනිවාර්යයෙන්ම චන්ද්‍රිකා ගේ 62% පනීවි කියලා බ්‍රො!

    මාලිමාව යටතේ නන්දසේන ගිය වතාවේ දිනපූ සියලූ ආසන අනුර දිනනවා..ගෝටා ගම්පහ පැරදුනු වත්තල සහ මීගමුව ආසන දෙකත් ලේසියෙන්ම අනුර දිනනවා.. මුස්ලිම් චන්ද වලිනුත් අඩුම 25%ක් වත් අනුර ගලවනවා.. ඒ නිසා 50% නම් ඉතිං ගේමක්ම නෑ.. කලින් චන්ද වල චන්ද්දායකයෝ හැසිරිච්ච කිසිම විදිහක් මේකේදි අදාල නොවන නිසා හරියටම කියන්න බැරි උනත් අනුර 65%ක් විතර ගන්න හොදටම ඉඩ තියෙනවා, ගෝටාට චන්දේ දීපු මිනිස්සුන්ගෙන් බහුතරක් පාවෙන චන්ද.. ඒ මිනිස්සුන්ට රාජපක්ශලා already එපා වෙලා තිබ්බේ.. ඒකනේ වියත්මග කියලා එකක් ගෙනල්ලා මිනිස්සුන්ව රැවැට්ටුවේ.. ඒ මිනිස්සුන්ගෙන් ලොකු පංගුවක් අනුරට දෙනවා.. ඩයි හාර්ඩ් බයියෝ ටික නාමල්ට දෙයි.. ගිය පාර සජිත්ට චන්දේ දුන්නා සමහර පිරිසක් අනුර දිනන්නේ නැති නිසා.. ඒ මිනිස්සු මේ පාර අනුරට දෙනවා.. අනික ඉතිං සජිත්ගෙ චන්ද වලින් කොටසක් රනිල්ටත් දෙනවා.. අනුරට බහුතරේ හැදෙන්නෙ එහෙම.. අනික ගෝටා ගත්තට වඩා දෙමල මුස්ලිම් චන්ද ප්‍රමානයක් අනුර ගන්නවා.. මේ චන්දෙන් පස්සෙ ලංකාවෙ මැතිවරන දිස්තික්ක කලින් හැසිරිච්ච විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි... නැගෙනහිර පලාතේ ගිය සැරේ ගෝඨාභයට වැටුණු චන්ද ප්‍රමාණයට වඩා දෙතුන් ගුණයක් අනුරට වැටෙනවා.

    නුවරඑළිය වතු ද්‍රවිඩ චන්ද පවා සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනවා. ගෝඨාභයට නොලැබුණු බේරුවල වගේ මුස්ලිම් චන්ද කොළඹ අවට දෙමළ මුස්ලිම් චන්ද සැලකිය යුතු ප්‍රමාණයක් අනුරට වැටෙනවා . අලුත් චන්ද බහුතරය එක්ක පොහොට්ටුවේ බහුතරය සහ යූ.එ.න්.පි දෙකඩ වීම නිසා ඒ දෙකම එපාවීමෙන් මාලිමාවට එකතු උන චන්ද අතිවිශාල ප්‍රමාණයක් අනුරට වැටෙනවා . පාවෙන චන්ද , ගිය සැරේ ප්‍රතික්ෂේප චන්ද බහුතරය සහ රාජ්‍ය සේවකයන් 80%+ චන්ද ටික එක්ක අනුර අවම 60+ හෝ 63% 65% කට යනවා.

    ReplyDelete
  13. පලමු වටයෙන් කාටවත් 50% නැත්නම් වැඩිම චන්ද ගත්තු අපේක්ශකයො දෙන්න ඉතුරු කරල අනික් අය ඔක්කොම තරඟයෙන් අයින් කරනවා.
    ඒ අයින් කරපු අයගේ චන්ද වල කාගෙ හරි දෙවන මනාපය වැඩිම චන්ද ගත්තු අපේක්ශකයො දෙන්නගෙන් කාට හරි දීල තියනම් ඒක ඒ අපේක්ශකයගෙ චන්දයක් ලෙස සලකා එකතු කරනවා.

    එහෙම දෙවන මනාපෙ අයින් කලාට පස්සෙ, ඉවත් කරපු අපේක්ශකයන්ගෙ ඉතුරු චන්ද වලිං කාගෙ හරි තුන්වන මනාපය වැඩිම චන්ද ගත්තු අපේක්ශකයො දෙන්නගෙන් කාට හරි දීල තියනම් ඒක ඒ අපේක්ශකයගෙ චන්දයක් ලෙස සලකා එකතු කරනවා.
    එහෙම නැතුව දෙවන වටයක් කියල එකක් නෑ.
    ඒ චන්ද වල එකතුවෙන් වැඩිම කෙනා තමයි දිනන්නෙ.
    ඉන්නෙ දෙන්න නිසා එක්කෙනෙක් ට කෝමත් 50% ට වැඩි වෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: