Sunday, November 15, 2015

ඔබ දකින්නේ මා දකින ලෝකයමද? (දෙවන කොටස)


(පළමු කොටස)

අපේ දෙනෙතින් අප දකින ලෝකය අපේ මසැස් වල ඇති යාන්ත්‍රික උපාංග වල නිර්මාණයක්ද? එසේ නැතහොත් අපේ මනසේ (මොළයේ) ඇති මෘදුකාංග මඟින් සිදුකරන දත්ත සැකසුම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්ද?

මනෝවිද්‍යා පර්යේෂකයෙකු වූ ජෝජ් මැල්කම් ස්ට්‍රැටන් මේ කරුණ මුල්වරට පරීක්ෂා කරන්නේ විසිවන සියවස එළඹීමටත් පෙරය. ඔහු මෙසේ සිදුකළ එක් පරීක්ෂණයක් වූයේ ඇසට පෙනෙන රූප උඩුයටිකුරු කර පෙන්වන කණ්නාඩියක් එකදිගට දින අටක් පැළඳ සිටීමයි. සිවුවන දින දක්වා ඔහුට ලෝකය උඩුයටිකුරු ලෙස පෙනුනත් පස්වන දිනයේදී පෙර පරිදිම සාමාන්‍ය පරිදි රූප පෙනෙන්නට විය. කෙසේ වුවද, තමන් රූප උඩුයටිකුරු කරන කණ්ණාඩියක් පැළඳ සිටින බව සිහිකළ වහාම නැවතත් ඔහු දකින දසුන් උඩුයටිකුරු ලෙස පෙනිණි. දින අටකට පසු මේ කණ්ණාඩි ඉවත් කිරීමෙන් පසුවද පැය ගණනක් යනතුරු ඔහුගේ ඇස් වලට  ලෝකය සාමාන්‍ය පරිදි 'පෙනුණත්' ඔහුගේ මොළය දුටුවේ උඩුයටිකුරු වූ ලෝකයකි.

ස්ට්‍රැටන්ගේ නිරීක්ෂණ මඟින් පෙන්වා දුන්නේ ඇස පිටුපසට ප්‍රක්ෂේපණය වන රූප වෙනත් අයුරකින් ප්‍රක්ෂේපණය වුවද ඒ රූප 'නිවැරදි' ලෙස සංජානනය කිරීමට කෙටිකලකින් පුරුදු වීමේ හැකියාව මොළයට ඇති බවයි. ඇසට ලබා දෙන රූප විවිධ අයුරින් 'වෙනස්' කරමින් මෙසේ කෙටිකලකින් අළුත් තත්ත්වයට පුරුදු වීමට මොළයට ඇති හැකියාව ස්ට්‍රැටන් විසින් පෙන්වා දෙනු ලැබීය.

ස්ට්‍රැටන්ගේ පරීක්ෂණ සිදුකර ගත වුනු පසුගිය වසර එකසිය විසිපහ තුල මේ පර්යේෂණය විවිධ වෙනස්කම් සහිතව නැවත නැවතත් සිදුකර තිබේ. පසුගිය සියවසේ මැද භාගයේදී තියඩෝර් එරිස්මාන් ඔහුගේ සහායක කෝලර් යොදාගෙන වම-දකුණ මාරු කරමින්ද, උඩ-යට මාරු කරමින්ද ස්ට්‍රැටන්ගේ නිරීක්ෂණ තහවුරු කළේය.

මේ පිළිබඳව තරමක් මෑතකදී සිදුකළ පරීක්ෂණයකින් සොයා ගැනුනේ මෙසේ වෙනස් තත්ත්වයකට හැඩගැසීමේදී ඇසට ලැබෙන රූප විද්‍යුත් චුම්භක තරංග බවට පරිවර්තනය කරන ආකාරය ඇත්තටම වෙනස් නොවන බවයි. උඩුයටිකුරු කණ්නාඩි පැළඳ දින ගණනකට පසුවද මොළයට ලැබෙන්නේ වෙනස් සංඥාවන් නොවේ. එහෙත්, ලෝකය ඇත්තටම පවතින්නේ 'නියම අතට' බව නිරීක්ෂකයා තේරුම් ගන්නා නිසා ඔහුට එය එසේ 'දැකිය' හැකිය. මෙහිදී තමන් පමණක් 'ඔලුවෙන් හිටගෙන' සිටින බව නිරීක්ෂකයාට දැනේ.



ස්ට්‍රැටන්ගේ එක් පරීක්ෂනයකදී ඔහුගේ ඇස් වලට ලැබෙන රූප විකිපිඩියාවෙන් ලබාගත් පහත රූප සටහනේ පරිදි අංශක අනූවකින් හරවනු ලැබීය. දැන් ඔහුට 'පෙනෙන' ලෝකයට සහ ඔහුගේම සිරුරට සාපේක්ෂව ඔහුට 'දැනෙන' ඔහුගේ සිරුර ඇත්තේ අහසේ පාවෙමිනි. මේ තත්ත්වයට පුරුදු වූ විට ඔහුට දැනුනේ තමන්ගේ සිරුරෙන් බැහැරව සිටින්නාක් මෙනි. බොහෝ තැන් වල වාර්තා වී ඇති ඇතැම් මරණාසන්න අත්දැකීම් වලට හේතුව මෙවැන්නක් විය හැකිය.


ඇස් වල විශේෂ තත්ත්වයක් නැති අප කාගේත් මොළයට ඇස් වලින් සම්ප්‍රේෂණය කරන්නේ උඩුයටිකුරු වූ ද්විමාන රූපයි. මේ රූප වල විවිධ වස්තූන්ගේ සාපේක්ෂ පිහිටීම හැර ඒවාට ඇති නිශ්චිත දුර හෝ දිශාව පිලිබඳ තොරතුරු සටහන්ව නොමැත. දිශාව සහ දුර පිළිබඳව අපට දැනෙන්නේ ඇස් වලින් නොවේ. මෙය චලනය හා අදාල අපේ ස්පර්ශ ඉන්ද්‍රියන්ට සම්බන්ධ දෙයකි. උදාහරණයක් ලෙස ඇස් පියාගෙන සිටියත් අපට ගුරුත්වය දැනේ. එමෙන්ම ඇස් වල ක්‍රියාකාරීත්වය බොහෝ දෙනෙකුට සාපේක්ෂව නිසි පරිදි සිදු නොවන (පූර්ණ දෘශ්‍යාබාධිත ලෙස සාමාන්‍ය වහරේදී හඳුන්වන) පුද්ගලයෙකුටද ලෝකයේ දිග පළල සහ දිශාවන් තේරුම් ගත හැකිය.

අපේ මොළය මඟින් මේ සංවේදන දෙවර්ගය යම් කිසි ආකාරයකට සම්බන්ධ කරයි. තවමත් ලොකුවට පර්යේෂණ සිදුකෙරී නැතත් අළුතින් මෙලොවට බිහිවන ළදරුවෙකු දකින්නේ උඩුයටිකුරු වූ ලෝකයක් බව සැලකේ. මේ ළදරුවා තමන්ගේ ඇස් වලින් ලබාදෙන රූප සිය ස්පර්ශ ඉන්ද්‍රිය මඟින් ලැබෙන සංවේදන සමඟ සසඳමින් ටික කලක් යද්දී ලෝකය කෙලින් අතට දැකීමට පුරුදු වේ. මොළයට මේ 'දත්ත සැකසුම' කිරීමට සුළු වුවත් යම් කාලයක් ගතවේ.

කෙසේ වුවද, කෙනෙකු දිගටම ලෝකය දකින්නේ උඩුයටිකුරු ලෙස වුවද මෙහි අවුලක් නැත. මේ ලෝකය ඔහුට හෝ ඇයට පෙනෙන පරිදි සාමාන්‍ය ලෝකයයි. එහි කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. එහෙත්, වරෙක ලෝකය උඩුයටිකුරු ලෙසත්, වරෙක කෙලින් අතටත් පෙනේනම් වැඩේ අවුල්ය. ඇසට ලැබෙන රූප මොළය මඟින් තේරුම් ගැනීමේදී මෙසේ වරින්වර 'උඩ-යට මාරුවීම' සහ 'උතුර-දකුණ මාරුවීම' දුර්අක්ෂරතාව (Dyslexia) හා සම්බන්ධය.

ලෝකයම උඩුයටිකුරු වී පෙනෙන අයෙකුට අකුරු පෙනෙන්නේත් උඩුයටිකුරු ලෙසිනි. යමෙකු සාමාන්‍යයෙන් අකුරු ලියන්නේ තමන්ට ඒ අකුරු පෙනෙන ආකාරයටය. එසේනම් එවැන්නෙකු අකුරු ලියන්නේත් උඩුයටිකුරු ලෙසද?

මෙවැනි පුද්ගලයෙකු (අපට පෙනෙන පරිදි) උඩුයටිකුරු කර අකුරු ලිවුවොත් ඒ අකුරු ඒ පුද්ගලයාට පෙනෙන්නේ කෙළින් අතටය. මෙය ඔහුට හෝ ඇයට අනුව අසාමාන්‍ය දෙයකි. එවැන්නෙකු තමන් දකින අයුරින්ම අකුරු ලිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ දෘෂ්ඨිය උඩු-යටිකුරු වුවත්, වම-දකුණ මාරු වූ එකක් වුවත් අපට පෙනෙන පරිදි මේ ලිවීම සාමාන්‍ය ක්‍රමයමය. මේ නිසා යමෙකුට උඩ-යට මාරුවී පෙනුණත්, වම-දකුණ මාරු වී පෙනුණත් උපන්දා සිටම තත්ත්වය එවැන්නක්නම් ඒ පුද්ගලයාට හෝ බාහිර සමාජයට වෙනසක් නොපෙනේ.

කෙසේ වුවද, උඩින් ඇති වීඩියෝවේ පෙනෙන පරිදි උඩු-යටිකුරු කළ කණ්ණාඩියකින් ලෝකය දැකීමට අළුතින් පුරුදු වෙන අයෙකු අකුරු ලියන්නේ උඩුයටිකුරුවය. බෝජනා අකුරු ලියන්නේද ඒ අයුරිනි. ඒ ඇයි?

මෙය පසුව කතාකරමු.

25 comments:

  1. කොටස් දෙකම කියවීමට ඉස්පාසුවක් ලැබුනේ අදයි.

    අරාබි ජාතිකයින්ලිවීම සහ කියවීම දකුණේ සිට වමට කිරීමත් මේ ආකාරයේ හුරුවක්ද?

    කීවෙතත් යම් යම් දේවල් සම්මත තත්වයෙන් යම් අපගමනයක් සහිතව හුරුවූ විට නැවත සාමාන්‍ය තත්වයට හුරුවීමට යම් කාලයක් ගතවන බව නම් පැහැදිලියි. බෝජනා අනෙක් අය මෙන් ටික දිනක් හුරුවුවොත් ඇයටත් කලක් ගත වීමේදී සාමාන්‍ය විය නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ඔවු, ඉවාන්. ටික දවසක් පුහුණු වුනොත් ඇයට සාමාන්‍ය පරිදි ලියන්න හැකි වෙයි. අරාබි, හීබෘ වැනි භාෂා දකුණේ සිට වමට ලියුවත් එය මේ කරුණට කෙලින්ම අදාල දෙයක් නෙමෙයි. ඒ කුමන හේතුවක් නිසා හෝ සම්මතය හැදී ඇති හැටි. බෝජනා අරාබි හෝ ජපන් ඉගෙන ගත්තොත් එය ලියනු ඇත්තේත් උඩු-යටිකුරු කර.

      Delete
  2. එල ද බ්‍රා
    මේ ලිපි පෙල අන්තිමට උඩු යටිකුරැ කරපු පොඩි කොටසක් දාන්න..අපි කියවන්න ට්‍රයි එකක් දෙන්නම්..
    බ්ලොග් ලෝකය අනිත් පැත්ත හරවපු දෙතුන් දෙනෙක් මම දන්නවා..

    ReplyDelete
    Replies
    1. ¡ıɯɐʎıʞou ɐbɐʍ ɐʇɐןɐʍ ɐɹɐpɐɹɐʞ ɐuɐʍnpıs ɐןןıɥıb ɐuuɐɥɐb ɐɥʇɥʇǝd ɥʇıuɐ ɐʞǝ ɹoʇıuoɯ ıʎǝqǝɥ ˙uɐdɐןɐq ɐןɐʍɐʎıʞ ɯɐu uɐʍnןnd ˙ʞɐʍnɹnʞıʇɐʎ npn ǝuɐɐb ǝbɐɯ ɐuuǝɯ

      Delete
    2. මෙන්න මේක ..උඩු යටිකුරැව, පුලුවන්නම් කියවන්න බලන්න.
      රාඡ් මේක උඩුයටිකුරැ තමයි ඒ වුනාට දකුනේ ඉදලා වමට කියවන්න වෙනවනේ..

      Delete
    3. අනිත් පැත්ත හැරිලා තියෙන්නේ බ්ලොග් ලෝකෙද නැත්නම් උන් දෙන්නද?

      Delete
  3. ඉකොනොගෙ සමහර ලිපිත් නිකං ඔලුවෙන් හිටගත්තුව වගේ නෙව..
    කියවපුහම දෙපාරක් විතර උස්සල පොලේ ගහනව වගේ.. ඒත් අර ආර්ථික විද්‍යා තොරතුරු ඉදිරිපත් කරනව තරං රහට නෑ
    ඒකත් කියන්නම ඕන...
    ඒ කීවෙ ලිපිය නීරසයි කියල නෙවී... පොඩි ගතියක් ගැන

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි, මහේෂ්. ආර්ථික විද්‍යාව ගැන ටිකක් අත දිග ඇරලා ලියන එක පහසුයි. ඒත්, සංඛ්‍යාලේඛණ අනුව වැඩිපුර කියවන්නේ වෙනත් ඒවා නිසා ටිකක් බැලන්ස් කරනවා.

      Delete
    2. මොන පිස්සුද මටනම් මේක ආසම ලිපියක්. ඔන්න අපේ රුචිකත්වය අතර වෙනස.

      Delete
  4. ˙ɐʍɐuɐʎ ןnʍɐ ɐʞǝ ɯɐʇsıs uɐɯɐb ɐןɐʞ sɐuǝʍ ʞɐʎɐʞɐɥɔɐɹuɐs ɐʞǝ ɐʎo uıɥʇı ˙ɐʇɐʎıpıʍ ʞɐʎɐןɐdıɥʇɐɹd ɐʞɐʎıןɐʍɐɐʎıɹʞ uɐʍnpıs ǝsɐuɐɯ/ǝʎɐɹǝǝɹɐɥs ǝuuǝʍnpıs ɐɯǝǝʍ nɹnʞıʇɐʎ npn

    ReplyDelete
    Replies
    1. ¿දිනවවුප න්නගවයික

      Delete
    2. මේ සොෆ්ට්වෙයාර් එක සිංහල ෆොන්ට් වලට හරියට වැඩකරන්නේ නැහැ. (ඒත් ලියල තියෙන එකනම් කියවන්න පුළුවන්)

      Delete
  5. මට අර අංශක අනූවට ඇල කරපූ කතාව දිගේ හිතන්න ගත්තම හිතුනේ
    ගුරැත්වාකර්ෂණය. උඩ යට සීතල උනුසුම වගේ මේවා ඔක්කොම පුරුදු.(Habits) විතරක් නේද කියලා

    ReplyDelete
    Replies
    1. ඔබ සිතන ආකාරය මට තේරුම් ගත හැකියි. දැනට මා එතෙක් දුර යන්නේ නැහැ.

      Delete
  6. ප්‍රහාරක ගුවන්යානා නියමුවන් සඳහා පවත්වන ගුරූත්වාකර්ශන පරීක්ෂණය මතක්වුණා.

    https://www.youtube.com/watch?v=Q1nrHR70Bec

    ReplyDelete
    Replies
    1. ඔව්, විචාරක. ප්‍රහාරක ගුවන් නියමුවන් අත්දැක ඇති බවට වාර්තා වී ඇති ඇතැම් අත්දැකීම් මරණාසන්න අත්දැකීම් වලට ගොඩක් සමානයි. මෙහිදී වෙන්නේ චලනය හා සම්බන්ධ සංවේදන සහ ඇස් වලින් දකින රූප අතර සම්බන්ධතාවය එක ලෙස පවත්වාගැනීම අසීරු වීම.

      Delete
  7. මම නම් කැමති අනිත් උන් නොදකින විදියට ළෝකය දකිනා උන්ට..

    යාළුවෙක්ගේ පොඩි එකෙක් ඉන්නවා.. ඌ දවසක රේසින් කාර ඩ්‍රයිවර් කෙනෙක් වෙනවලු.. ඉතින් ඌට ලයිසන් අරගෙන දෙන්නලු.. ඌ රේසින් කාර් ඩ්‍රයිවර් කෙනෙක් වෙන නිසා ඉගෙන ගන්න ඕන නෑලූ.. කොහොම හරි ඌ දැන් අර පොඩි ට්‍රේලර් බයික් රේස් පදිනවා...

    මම හිතන්නේ උන් ළෝකය දකින්නේ වෙනස් විදියකට.. එහෙම උන්ට මම පට්ට ලයික්..

    ReplyDelete
    Replies
    1. මාතා, දැන් ඔය පොඩි එකා ලොකුවෙලා රේස් පදින්න පාරවල් වහලා දෙන්න කියලා තාත්තට කිවුවහම ඒක කරන විදිහකුත් යාළුවට දැන්මම හිතන්න වෙයි.

      Delete
    2. මම දන්න ලමයෙකුත් හිටියා ඌත් රේස් පදින්න බෝල ගහන්නමයි හිත තිබ්බේ ඉස්කෝලේ යන කොට හරියට ඉගෙනගත්තෙත් නෑ
      පස්සේ එකපාරටම ඌ රොකට් සයනටිස්ට් කෙනෙක් උනා
      ලෝකේ ප්‍රතම හරහට යන රොකට් එක ඇරියෙත් ඌ

      Delete
  8. ඔක නෙවේ මචං සිිරාම සීන් එක
    අලුත් තියරියක් තියනව Holographic uiverse කියල මේකේන් කියන්නේ අපි අත්දකින ලෝකය අපේ මොලයහා පංචෙන්ද්‍රියන් දමිබන්ධවෙලා කරන Projection එකක් කියල
    මම ලගදි බැලුව ග්‍රහලෝක ගැන Documentරහ එකක් එක බලපුවම හිතෙනව අනිත් ග්‍රහලෝක වල ස්වභාවය එක සමාන වෙද්දි පෘතුවිය විතරක් ඒවට වඩා 100% වෙනස් උනේ කොහොමද කියල ඇත්තම කිවුවොත් මටනමි ඔය විද්‍යඥයෝ කියන ඒවත් දැන් ශුවර් නැ

    ReplyDelete
    Replies
    1. http://www.higherperspectives.com/nasa-scientist-says-we-are-living-in-a-hologram-designed-by-aliens-1429975824.html

      Delete
    2. මේට්‍රික්ස් චිත්‍රපට ත්‍රිත්වයේ තේමාව ඔවැනි දෙයක්නේ, විරාජ්. මම හිතන්නේ අපට ලෝකය අවබෝධ කරගත හැකි සීමාවක් තිබෙනවා. එතනින් එහාට තියෙන්නේ අපට කිසිසේත් අවබෝධ කරගත නොහැකි දේවල් බව තේරුම් ගැනීම පමණයි අපට කළ හැක්කේ. මේ සීමා පනින්නනම් අපි අපේ 'හාඩ්වෙයාර්' අප්ග්‍රේඩ් කරගන්න ඕනෑ. මෙවැනි දේවල් ගැන වැඩිපුර නොහිතා මේට්‍රික්ස් චිත්‍රපටයේ සයිපර් වගේ 'මගෙ සිහිනය මට දකින්න ඉඩ අරින්න- මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න' කියලා පාඩුවේ ඉන්න එක තමයි ලේසිම වැඩේ.

      Cypher: You know, I know this steak doesn't exist. I know that when I put it in my mouth, the Matrix is telling my brain that it is juicy and delicious. After nine years, you know what I realize?

      [Takes a bite of steak]

      Cypher: Ignorance is bliss.

      Delete
    3. I have heard this in real life too

      Delete
  9. මගේ දියණියට මේ හැකියාව ටිකක් දුරට තියෙනවා. Angelo Mathews ගේ Mathews කියන නම දැක්කම එයා කියනවා M අකුර නැතිනම් මේක මගේ නම අනිත් පැත්තට ලියලා වගේ කියලා. හැබැයි මෙතැන th කියන එක එයා එක අකුරක් හැටියට ගන්නේ. මට තියෙනවා ඒ සම්බන්ධ දියුණු කල හැකියාවක්. මේවා කියන්න ගියොත් කට්ටිය නයා දානවා කියයි. මට ඉස්සර පාරේ එල්ලලා තියෙන බැනර් පිටිපස්සේ ඉඳගෙන කියවන්න පුළුවන්. දියුණු කරන්න හේතු වුණේ මම වචන අනික් පැත්තට ලියලා පුරුදු වෙලා. ඉන් පස්සේ කියවීම පහසු වුණා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.