වෙබ් ලිපිනය:

Thursday, April 3, 2025

ඇමරිකාවේ අලුත් බදු ප්‍රතිපත්තිය


ඇමරිකාව විසින් ඇමරිකාවට සිදු කෙරෙන ආනයන මත සැලකිය යුතු තරම් ඉහළ බද්දක් අය කිරීමට තීරණය කර තිබෙනවා. මෙසේ අය කෙරෙන බදු අනුපාතය තීරණය වන්නේ ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන රට කුමක්ද යන්න මතයි. රටින් රටට බදු අනුපාතික වෙනස් වෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට සිදු කෙරෙන අපනයන මත අප්‍රේල් 5 දින සිට 44%ක අමතර බද්දක් අය කෙරෙනවා. මෙම 44% බද්ද අය කරන්නේ දැනට විවිධ භාණ්ඩ සඳහා අය කෙරෙන බදු ඇත්නම් එම බදු වලට අමතරවයි. 

මේ අයුරින් අමතර බද්දක් අය කිරීමට හේතුව කුමක්ද?

පසුගිය වසර වල ඇමරිකාවේ භාණ්ඩ අපනයන හා ආනයන දෙස බැලුවොත් වසරකට ඩොලර් ට්‍රිලියනයක් ඉක්මවන හිඟයක් දිගින් දිගටම පැවතී ඇති ආකාරය දැකිය හැකියි. පහත තිබෙන්නේ 2024 තත්ත්වය.

භාණ්ඩ අපනයන - ඩොලර් බිලියන 2083.8

භාණ්ඩ ආනයන - ඩොලර් බිලියන 3295.6

හිඟය (2024) - ඩොලර් බිලියන (-1211.7)

මේ හිඟය ලංකාවේ දදේනිය මෙන් 12 ගුණයකටත් වඩා වැඩි දැවැන්ත හිඟයක්. පෙර වසර වල තත්ත්වය බැලුවත් ලොකු වෙනසක් නැහැ.

වෙළඳ හිඟය (භාණ්ඩ)

2021 - ඩොලර් බිලියන (-1083.2)

2022 - ඩොලර් බිලියන (-1179.4)

2023 - ඩොලර් බිලියන (-1063.3)

අලුත් බදු ප්‍රතිපත්තියේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ඉහත සඳහන් ඇමරිකාවේ වෙළඳ හිඟය අඩු කර ගැනීමයි. 

ඇමරිකාවේ වෙළඳ හිඟයට හේතුව කුමක්ද?

මෙය තනි කරුණකට ඌණනය කළ නොහැකි සංකීර්ණ කරුණු රැසක සංයුක්ත ප්‍රතිඵලයක්. පෙර ලිපි වල මේ පිළිබඳව විස්තරාත්මක ලෙස පැහැදිලි කර තිබෙනවා. කෙසේ වුවද, මෙම අලුත් බදු පනවද්දී සැලකිල්ලට ගෙන තිබෙන ප්‍රධානම කරුණ වන්නේ විදේශ රටවල ආනයන හා අදාළව ඇමරිකාව විසින් අනුගමනය කරන සහනශීලී ප්‍රතිපත්තිය ඇමරිකාව හා අදාළව අනෙකුත් බොහොමයක් රටවල් විසින් එලෙසම අනුගමනය නොකරන්නේය යන්නයි.

ඇමරිකාව විසින් බොහොමයක් ආනයන මත අඩු තීරු බද්දක් අය කළත්, අනෙකුත් රටවල් විසින් ඇමරිකානු අපනයන මත ඉහළ බදු අය කරනවා. කෙසේ වුවත්, ඇමරිකානු අපනයන මත ඉහළ බදු අය කිරීම ජාත්‍යන්තර වෙළඳාමේදී ඇමරිකාවට අවාසිදායක පිටියක් සකස් වීමට හේතු වී තිබෙන එක් කරුණක් පමණයි. බදු ඉහළ නොදමා වෙනත් විවිධ ක්‍රම වලින් ආනයන සීමා කළ හැකියි. විවිධ නියාමන නීති හා විණිමය අනුපාතය පාලනය කිරීම එවැනි ක්‍රම දෙකක්. වෙළඳ හිඟය තුළ මෙවැනි බදු සහ බදු නොවන බාධා කිරීම් වල බලපෑම නිරූපණය වන බැවින් බදු ඇතුළු බාධාවන් එකින් එක වෙන වෙනම සැලකිල්ලට නොගෙන සමස්තයක් ලෙස එක් එක් රටවල් සමඟ පවතින ද්විපාර්ශ්වීය වෙළඳ ශේෂය සැලකිල්ලට ගෙන ඇමරිකානු අපනයන වලට තිබෙන අවාසිදායක තත්ත්වය ගණනය කිරීම ඇමරිකානු ආණ්ඩුව විසින් අනුගමනය කර තිබෙන ක්‍රමයයි.

බදු වැඩි කළ විට වෙළඳ හිඟය අඩු වෙන්නේ කොහොමද?

මෙහිදී ඇමරිකානු ආණ්ඩුව විසින් සිදු කර තිබෙන එක් උපකල්පනයක් වන්නේ ඇමරිකාව විසින් බදු වැඩි කළද, අනෙකුත් රටවල් විසින් ඊට ප්‍රතිචාර දක්වමින් බදු වැඩි කිරීමක් සිදු නොකරනු ඇති බවයි. එය කෙතරම් නිවැරදි උපකල්පනයක්ද යන්න දැන ගැනීමට වැඩි දවසක් යන එකක් නැහැ. කෙසේ වුවත්, එම උපකල්පනය යටතේ, ඇමරිකාවේ අපනයන එලෙසම තිබියදී, බදු වැඩි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ආනයන පහත වැටී වෙළඳ හිඟය අඩු වෙනවා. 

ධවල මන්දිරය විසින් සැලකිල්ලට ගෙන තිබෙන දැනට සිදු කර තිබෙන අධ්‍යයනයන් අනුව, 1%කින් බදු වැඩි කළ විට සාමාන්‍ය වශයෙන් 0.25%කින් ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යනවා. ආනයනික භාණ්ඩ වල මිල 1%කින් ඉහළ යද්දී එම භාණ්ඩ සඳහා ඉල්ලුම සාමාන්‍ය වශයෙන් 4%කින් අඩු වෙනවා. මේ අනුව, 1%කින් බදු වැඩි කළ විට, ආනයන ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් 1%කින් අඩු වී, ආනයන වල ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟයද 1%කින් අඩු වීමට නියමිතයි. එයින් අදහස් වෙන්නේ බදු වැඩි කරන අනුපාතයට අනුරූප ලෙස ආනයන වල ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟයද අඩු වන බවයි. 

සමස්තයක් ලෙස ගත් විට ඇමරිකාවේ 2024 වෙළඳ හිඟය ආනයන ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස 36.8%ක්. ඒ අනුව, ඉහත උපකල්පන යටතේ, ආනයන මත 36.8%ක අමතර බද්දක් පැනවීම මගින් වෙළඳ හිඟය ශුන්‍ය මට්ටමට රැගෙන ආ හැකියි.

දැන් මේ පනවා තිබෙන අලුත් බදු නිසා ඇමරිකාවේ වෙළඳ හිඟය ශුන්‍ය වෙයිද?

අදාළ ගණනය කිරීම් අනුවම එසේ වෙන්නේ නැහැ. බදු පනවා තිබෙන්නේ වෙළඳ හිඟයෙන් 50%ක් අඩු කර ගැනීම ඉලක්ක කරගෙනයි.

බදු වැඩි කර තිබෙන්නේ කෙසේද?

මෙය සිදු කර තිබෙන්නේ එක් එක් රටෙන් ඇමරිකාව විසින් 2024 වර්ෂයේදී සිදු කර තිබෙන ආනයන ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස වෙළඳ හිඟය කොපමණද යන්න මතයි. මෙම අගය 20%කට අඩුනම් හෝ ද්විපාර්ශ්වික වෙළඳ ගිණුමේ අතිරික්තයක් ඇත්නම් 10%ක අවම අමතර බද්දක් අය කෙරෙනවා. ඉහත අගය 20% ඉක්මවන්නේනම්, එම අගයෙන් 50%කට සමාන අමතර බද්දක් අය කෙරෙනවා. මේ අනුව, තනි රටවල් 56කට සහ යුරෝපීය සංගමයේ සියලුම රටවලට 11% සිට 50% දක්වා පරාසය තුළ වෙනස් වන වැඩි බද්දක් ගෙවන්නට සිදු වෙනවා. අනෙකුත් සියලුම රටවලට 10%ක අවම බද්ද ගෙවන්නට සිදු වෙනවා.

ලෙසොතෝ - 50%

කාම්බෝජය - 49%

ලාඕස් - 48%

මැඩගස්කර් - 47%

වියට්නාමය - 46%

මියන්මාරය - 45%

ශ්‍රී ලංකාව - 44%

ෆෝක්ලන්ඩ් දූපත් - 42%

සිරියාව - 41%

මුරුසිය - 40%

ඉරාකය - 39%

ගයනාව, සර්බියාව, බොට්ස්වානා  - 38%

තායිලන්තය, බංග්ලා දේශය, ලීච්ටන්ස්ටේන් - 37%

බොස්නියාව සහ හර්සෙගොවිනාව - 36%

චීනය, හොංකොං හා මැකාවු - 34%

උතුරු මැසිඩෝනියාව - 33%

ඇන්ගෝලාව, ෆිජි, ඉන්දුනීසියාව, තායිවානය, ස්වට්සර්ලන්තය  - 32%

මොල්දෝවා, දකුණු අප්‍රිකාව, ලිබියාව  - 31%

ඇල්ජීරියාව, නාවුරු, පකිස්ථානය - 30%

ටියුනීසියාව - 28%

ඉන්දියාව, කසාක්ස්ථානය - 27%

දකුණු කොරියාව - 28%

බෘනායි, ජපානය, මැලේසියාව - 24%

වනාතු - 23%

අයිවරි කෝස්ට්, නැම්බියාව - 21%

යුරෝපීය සංගමයේ රටවල්, ජෝර්දානය - 20%

නිකරගුවා - 19%

පිලිපීනය, සිම්බාබ්වේ, මලාවි - 18%

සැම්බියාව, ඊශ්‍රායලය - 17%

නෝර්වේ, මොසැම්බික් - 16%

වෙනිසියුලාව - 15%

නයිජීරියාව, මලාවි - 14%

චාඩ්, ඉක්වටෝරල් ගිනීයා - 13%

කැමරුන් - 12%

කොංගෝ - 11%

අනෙකුත් සියලුම රටවල් - 10%

මෙහිදී පැහැදිලිව පෙනෙන කරුණක් වන්නේ මිතුරු හා සතුරු රටවල්, දුප්පත් රටවල් වැනි දේශපාලනික කරුණු කිසිවක් මෙම බදු පැනවීමේදී සැලකිල්ලට ගෙන නොමැති බවයි. ඒ නිසා, රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශ මගින් "කතාබහ කර මොකක් හරි කර ගැනීමේ" ඉඩක් ඉතිරි වී නැහැ. බදු අඩු කරගන්නට අවශ්‍යනම් වෙළඳ ශේෂය අඩු විය යුතුයි. 

ලංකාවට 44%ක ඉහළ බදු අනුපාතිකයක් පැනවුනේ ඇයි?

ශ්‍රී ලංකාව විසින් 2024දී ඇමරිකාවට සිදු කර තිබෙන අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 3.0ක් පමණ වුවත්, ඇමරිකාවෙන් ලංකාවට සිදු කර ඇති ආනයන ප්‍රමාණය ඩොලර් මිලියන 368ක් පමණයි. එම ප්‍රමාණය ඇමරිකාව ශ්‍රී ලංකාවෙන් සිදු කළ ආනයන ප්‍රමාණයෙන් 12%ක් පමණයි. ඒ අනුව, ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාවේ ද්වීපාර්ශ්වීය වෙළඳ හිඟය ලංකාවෙන් සිදු කළ ආනයන වලින් 88%ක්. ඉහත විස්තර කළ ගණන් හැදීම් අනුව, මෙම හිඟය නැති කර ගැනීමටනම් 88%ක අමතර බද්දක් පැනවිය යුතුයි. 44%ක බද්දක් පැනවීම මගින් හිඟයෙන් බාගයක් අඩු කර ගත හැකියි. ඇමරිකාව විසින් 44%ක අමතර බද්දක් පනවා තිබෙන්නේ එම පදනම මතයි. අනෙකුත් බොහොමයක් රටවලට ඒ තරම්ම ඉහළ බදු පනවා නැත්තේ එම රටවල් සමඟ ඇමරිකාවේ වෙළඳ අසමතුලිතතාවය එතරම්ම විශාල නොමැති නිසා.

මෙම බදු වැඩි කිරීම් ඇමරිකාවට බලපාන්නේ කෙසේද?

ධවල මන්දිරයේ ගණන් හැදීම් අනුවම, බදු අනුපාතික 20%කින් ඉහළ යද්දී ආනයනික භාණ්ඩ වල මිල 5%කින් ඉහළ යනවා. එහෙත්, දේශීය ආදේශක තිබෙන නිසා සමස්තයක් ලෙස ඇමරිකාවේ බඩු මිල එපමණකින් ඉහළ යන්නේ නැහැ. කෙසේ වුවත්, ඇමරිකාවේ බඩු මිලෙහි යම් වැඩි වීමක් සිදු වීමට නියමිතයි. මේ අයුරින් බඩු මිල තරමක් ඉහළ ගියද, ඇමරිකන් ෆෙඩරල් රජයේ ආදායම් සැලකිය යුතු ලෙස ඉහළ යන බැවින් ඇමරිකන් ජනතාවට යම් බදු සහනයක් ලැබෙන්න ඉඩ තිබෙනවා. දැනට ක්ෂණිකව සිදු වන්නේ ආනයනික භාණ්ඩ වල මිල ඉහළ යාමයි. 

මෙම බදු වැඩි කිරීම් ලංකාවට බලපාන්නේ කෙසේද?

ඉතා පැහැදිලි ලෙසම ලංකාවට මෙහි විශාල හා දරුණු බලපෑමක් තිබෙනවා. ඊට හේතුව, අනෙකුත් තරඟකාරී රටවල් වලට වඩා වැඩි බද්දක් ලංකාවට ගෙවන්නට සිදු වීමයි. මෙය ඉන්දියාවට වඩා ප්‍රතිශතාංක 17%ක්, පකිස්ථානයට වඩා 14%ක්, බංග්ලා දේශයට වඩා 7%ක්, චීනයට වඩා 10%ක්, පිලිපීනයට වඩා 26%ක්, ඉන්දුනීසියාවට වඩා 12%ක් වන අතර 10% බද්ද ගෙවන රටවල් විශාල ගණනකට වඩා 34%ක් වැඩියි. මෙවැනි තත්ත්වයක් තුළ ලංකාවේ නිෂ්පාදන වලට ඇමරිකන් වෙළඳපොළ පහසුවෙන්ම අහිමි වී යා හැකියි. ඇමරිකාවේ ප්‍රකාශිත ඉලක්කය වන්නේ ලංකාවෙන් ඇමරිකාවට යැවෙන අපනයන වලින් 44%ක් අඩු කිරීමයි. එවැනි තත්ත්වයක් විශාල විදේශ විණිමය අර්බුදයකට, විරැකියා ප්‍රශ්නයකට සහ ආර්ථිකයේ කඩා වැටීමකට හේතු විය හැකියි.

මේ තත්ත්වය හමුවේ ලංකාවට කළ හැක්කේ කුමක්ද?

චීනය හෝ කැනඩාව වැනි රටකට ඇමරිකාවට එරෙහිව දිගින් දිගටම එකට එක කිරීම් කළ හැකි වුවත්, ලංකාවට එසේ කිරීමේ හැකියාවක් නැහැ. ලංකාව ඇමරිකාවේ අපනයන මත ඉහළ බද්දක් පැනවුවද එයින් ඇමරිකාවට බලපෑමක් සිදු වන තරමේ ආනයන ලංකාව විසින් කරන්නේ නැහැ. එවැනි තත්ත්වයක් හමුවේ ඇමරිකාව විසින් මේ බද්ද තවත් ඉහළ දමන්නට ඉඩ තිබෙනවා. අනෙක් විකල්පය බදු අඩු කිරීමයි. උදාහරණයක් ලෙස ලංකාව විසින් ඇමරිකානු මෝටර් රථ සඳහා අය කරන බදු ප්‍රමාණය විශාල ලෙස අඩු කළහොත් සහ ඉන්දියානු මෝටර් රථ මත තවදුරටත් ඉහළ බද්දක් අය කළහොත් ලංකාවට වඩා වැඩියෙන් ඇමරිකන් වාහන පැමිණ ඇමරිකාව සමඟ පවතින ගෙවුම් ශේෂ හිඟය අඩු වෙන්න පුළුවන්. නමුත් එලෙස අනෙක් රටවල් වලින් සිදු කරන ආනයන මත වැඩි බදු අය කරන අතර ඇමරිකන් භාණ්ඩ මත අඩු බද්දක් අය කිරීම මෙතෙක් පැවති වෙළඳ ප්‍රතිපත්තිය සහමුලින්ම වෙනස් කිරීමක් වෙනවා වගේම රාජ්‍ය ආදායම් කෙරෙහිද විශාල බලපෑමක් සිදු කරනවා. ඒ නිසා, එවැන්නක් සිදු වීමේ ඉඩකඩ ඉතා අඩුයි. සාමාන්‍යයෙන් ලංකාව වැනි රටවල් විසින් කරන පරිදි ඇමරිකානු බලධාරීන් හමු වී "දුක කියා" සහනයක් ඉල්ලීමේ දේශපාලනික ප්‍රවේශයද මෙවර හරියන ක්‍රමයක් නෙමෙයි. 

ලංකාවේ මෙන්ම අනෙක් රටවලද ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් පැහැදිලිව තේරුම් ගත යුත්තේ දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර වෙළඳාම සිදු වූ සන්දර්භයේ සුසමාදර්ශීය වෙනසක් සිදු වෙමින් ඇති බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු මේ දක්වාම පැවති ක්‍රමය ඇමරිකාවේ මේ අලුත් බදු වලින් පටන්ගෙන ක්‍රමයෙන් කඩා වැටෙන්නට නියමිතයි. මෙය එක්තරා ආකාරයකින් බ්‍රෙටන් වුඩ් සම්මුතිය බිඳ වැටීමට සමාන තත්ත්වයක්. ඉදිරියේදී අනෙකුත් රටවල්ද එකින් එක ද්විපාර්ශ්වීය තුලනය ගැන අවධානය යොමු කිරීම සිදු වන්නට ඉඩ තිබෙන දෙයයි. ඒ අනුව, ලංකාව විසින් කළ යුත්තේ ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ තිබෙන දැවැන්ත ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගැනීම් සඳහා ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග ගැනීමයි. ට්‍රම්ප් ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පූර්වාදර්ශය සපයා තිබෙනවා. 

14 comments:

  1. ජනරජවාදියාApril 3, 2025 at 6:39 PM

    "ඒ අනුව, ලංකාව විසින් කළ යුත්තේ ඉන්දියාව සහ චීනය වැනි රටවල් සමඟ තිබෙන දැවැන්ත ද්විපාර්ශ්වීය වෙළඳ හිඟය අඩු කර ගැනීම් සඳහා ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග ගැනීමයි."

    එහෙම කලොත් නන්දසේන ගිය පාරෙම ඊට කලින් අනුර කුමාරට යන්න වෙයි. මොකද ඕක කරපු ගමන් බඩු මිල ඉහල ගිහින් භාණ්ඩ හිඟයක් එන්න පුළුවන්. අනුර කුමාරට සුබ නැකතක් බලලා බලලා තියාගන්න වෙයි වගේ පැනලා යන්න.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ වෙළඳපොළ නැති වීම නිසා විදේශ විණිමය ප්‍රශ්නයක් ආවොත් වෙන්නෙත් ඒකමයි.

      Delete
    2. @ ජනරජවාදියා

      ගියපාර නන්දසේන මෝලා එලවලා දැම්මේ ඇමරිකන් එක්සත් ජනපදය සමග එංගලන්තය සහ යුරෝපීය සංගමය එකතු වෙලා ලංකාවේ මෝඩ තරුණ පිරිස් බිලී බෝයිස්ලා කරගෙන Project GGH 2022 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා. ඒකට හේතුව මෝඩ නන්දසේන චීනය සමග පෝට් සිටි ව්‍යාපෘතිය, හම්බන්තොට චීන භාණ්ඩ එකලස්කර එක්සත් ජනපදයට අපනයන කරන කර්මාන්ත පුර යෝජනාව ඇතුලු එක්සත් ජනපදයට දිගුකාලීනව අහිතකර දේවල් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු නිසා. ඒ කාලේ තිබ්බ ඩිමොක්රටික පක්ෂ නායකයෝ උන්ව එලවලා රනිල්ට ටෙම්පරියක් සෙට් කරලා ඊළඟට මාලිමාණ්ඩුව කියලා අටමගලයක් ලංකාවේ අටවලා හෑවා. මේ ආණ්ඩුවට දැන් තියෙන රිපබ්ලීකන් ආණ්ඩුවෙන් කිසිම ආකාරයක සහයෝගයක් නෑ. අනෙක ජූලි චං තව ටික දවසකින් ලංකාවෙන් මාරු කිරීමට නියමිතයි

      දැන් මුන් ඉන්දියාවෙන් සහ චීනයෙන් ගේම ඉල්ලන්න යන්නේ නෑ කවදාවත්ම. එහෙම කළොත් උන් දෙගොල්ලොම එකතු වෙලා එක්සත් ජනපදය ලංකාවේ කරපු ආකාරයේ අරගලයක් කරවලා මුන්ව එලවලා නාමොල් මෝලා හරි රොටි delete හරි නැත්නම් බූරු පුතාණෝ හරි ඒ වගේ ගෝතයෙක් පත් කරාවි අනිවාර්යයෙන්ම, ඒ කරලා බදු වෙනස් කරාවි. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ. ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.

      Delete
    3. Project GGH 2022 ව්‍යාපෘතිය ගැන මීට වඩා පැහැදිලි කරන්න.

      Delete
    4. ජනරජවාදියාApril 5, 2025 at 4:58 AM

      ඒ කියන්නේ කෑවද නසී, නොකෑවද නසී.

      අළුත් අවුරුද්දේ සුබ නැකතට ඊළඟට තව කෑවුරුහරි ගේන්න වෙයිද?

      Delete
  2. නොහිතුව බාධකය එක එක මතු වෙන්නේ
    ජය ගනු පිණිස නුවණය ඕනෑ වන්නේ
    එකතුව සැවොම කැපවී වැඩ කළොතින්නේ
    රටත් අපිත් ගොඩ යයි; නැත වරදින්නේ

    ReplyDelete
  3. ඔය වෙලඳ ශේශය ගනන් හදල තියෙන්නෙ සේවා වලින් එන ආදායම් ඇතුලත්වද? (ගූග්ල ෆේස්බුක් වගෙ)

    ReplyDelete
    Replies
    1. ඒවට අනිත් රටවලින් බදු ගහන්න තියෙන්නෙ

      Delete
    2. සමහර විට එවැන්නක් වෙයි.

      Delete
  4. ඇමෙරිකාවට අපනයනය කරන ප්‍රදාන බාන්ඩ මොනවාද? ඒවට යෙදවුම් විදියට කරන ආනයන කොපමණද? දෙක අතර වෙනස කීයද? 10% බදු ගහන රටක් හරහා ප්‍රති අපනයනය කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. ඊටත් වඩා හොඳ වැඩක් තියෙනවා. අපි ඇමරිකාවෙ ප්‍රාන්තයක් වුනා නම් නියමයි. 😜😂😂😂

      Delete
  5. ලංකාවට බදු ගහල ඇමරිකන් කාරයට යට ඇදුම් නැතුව තමයි ඉන්න වෙන්නේ කියලා මලිමවේ ඇමති කෙනෙක් කිව්වා

    ReplyDelete
  6. එහෙම රටකින් රටකට වෙන වෙනම තුලනය කරන එක මෝඩ වැඩක් නෙවෙයිද මහත්තයෝ. මොකද ඇමරිකන් කොලිටියට ලාබෙට ජංගි මහන්න ලංකාවෙ පුලුවන් උනාට ඒක ඔසී වලින් ගෙන්නන්න බෑනෙ බදු අඩුයි කියල

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: