වෙබ් ලිපිනය:

Friday, April 25, 2025

ජාත්‍යන්තර වෙළඳාමේ අලුත් යුගය (තෙවන කොටස)


මේ දින වල ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය හා අදාළව ඓතිහාසික කාල පරිච්ඡේද තුනක් හඳුනා ගන්න පුළුවන්. ඒ 1870-1970 අතර කාලය, ඊට පෙර කාලය සහ ඊට පසු කාලය ලෙසයි. ඔය අතරමැදි කාලය එක දිගටම මෙන් වෙළඳ අතිරික්තයක් වාර්තා වූ කාලයක්. ඊට පෙර හා පසු කාල පරිච්ඡේද වලදී එක දිගටම මෙන් වෙළඳ හිඟයක් වාර්තා වුනා (Source: https://www.stlouisfed.org/on-the-economy/2019/may/historical-u-s-trade-deficits).

ඇමරිකාවේ වෙළඳ ගිණුමේ එක දිගටම හිඟයක් තිබීම ප්‍රශ්නයක් නැහැ කියා තර්ක කරන අය ඒ බැව් තහවුරු කිරීම සඳහා 1870ට පෙර කාලය වෙත අවධානය යොමු කරනවා. නමුත් එහිදී එසේ එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු කිරීමට හැකි වුනේ කොහොමද කියන එක ගැන එතරම් කතා කෙරෙන්නේ නැහැ. 

රටක එක දිගට වෙළඳ හිඟයක් නඩත්තු වෙනවා කියන්නේ ඒ රටෙන් එක දිගටම විදේශ විණිමය එළියට යනවා කියන එක. එවැනි දෙයක් වෙන්නනම්, එක්කෝ ඒ රට දිගින් දිගටම ණය විය යුතුයි. එහෙම නැත්නම් රටට විදේශ විණිමය ලැබෙන වෙනත් කවර හෝ ක්‍රමයක් හෝ ක්‍රම තිබිය යුතුයි.

දහනවවන සියවසේ පළමු අර්ධය කියන්නේ අද තිබෙන ඇමරිකාව ගොඩ නැගෙන කාලය. සියවස ආරම්භ වෙද්දී ඇමරිකාව කියන්නේ පළමු කොලනි දහතුන. අවුරුදු පණහක් යද්දී අද තිබෙන මහද්වීපික ඇමරිකාව බොහෝ දුරට හැදිලා. ඔය අතර කාලයේ සංඛ්‍යාලේඛණ ඒ තරම්ම නිවැරදි හෝ සම්පූර්ණ නැහැ. ඒ කාලය තුළ ඇමරිකාවට අයත් හා අයත් නැති භූමි ප්‍රදේශ අතර සීමා ඉර තරමක් බොඳ වූ එකක්. ඇමරිකානුවන් සහ විදේශිකයින් අතර සීමා ඉරත් ඒ වගේම බොඳ වූ එකක්. කෙසේ වුවත්, 1848දී මෙක්සිකෝ යුද්ධය ජයගෙන මෙක්සිකෝවෙන් බාගයක් ඇමරිකාවට එකතු කර ගැනීමෙන් පසුවනම් වෙළඳ හිඟයක් නඩත්තු වුනේ කොහොමද කියන එක ඉතාම පැහැදිලියි.

කැලිෆෝනියාවෙන් රත්තරන් හමු වෙන්නේ ඔය මෙක්සිකෝ යුද්ධය සිදු වෙන අතරවාරයේ. ඒ වන විටත් කැලිෆෝනියාව නිල වශයෙන් මෙක්සිකෝවේ කොටසක්. මෙහිදී කැලිෆෝනියාව යන්නෙන් අදහස් වන්නේ වර්තමාන කැලිෆෝනියා, නෙවාඩා, යූටා, ඇරිසෝනා, නිවු මෙක්සිකෝ, කොලරාඩෝ ආදී ප්‍රාන්ත හෝ ප්‍රාන්ත වල කොටස් ඇතුළත් විශාල ප්‍රදේශයක්. මෙක්සිකෝවේ කොටසක් වුනත්, මේ වෙද්දී ඇමරිකන් හමුදා විසින් මේ ප්‍රදේශ වල බලය අල්ලා ගෙනයි තිබුණේ. පසුව මෙක්සිකෝව විසින් මේ ප්‍රදේශ ඇමරිකාවට භාර දෙනවා.

කැලිෆෝනියාවෙන් මේ විදිහට මුලින්ම හමු වෙන්නේ පොළොව යට තිබෙන රත්තරන් නිධි නෙමෙයි. වල් ළූණු හාරද්දී හමු වෙන්න තරම් පොළොව මතුපිටට ආසන්නව තිබුණු රත්තරන්. 

ඔය කාලය වෙද්දී රත්තරන් වලට ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස පිළිගැනීමක් ලැබිලා. සහශ්‍ර ගණනාවක් පුරාම ලෝකයේ බොහෝ සංස්කෘතීන් තුළ රත්තරන් වටිනා ලෝහයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. නමුත් බොහෝ සංස්කෘතීන් කියන්නේ හැම සංස්කෘතියම නෙමෙයි. 

රත්තරන් දුලබයි. ලස්සනයි. ඒ වගේම රත්තරන් වලින් පහසුවෙන් සියුම් ආභරණ ආදිය හදන්න පුළුවන්. චීනය, ඉන්දියාව, ඊජිප්තුව, මෙසපොතේමියාව වගේම දකුණු ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ ප්‍රදේශ වල රත්තරන් වලට සියවස් ගණනාවක් පුරා ලොකු වටිනාකමක් තිබුණා. නමුත් අනෙක් අතට රත්තරන් කියන්නේ ජීවත් වෙන්න අවශ්‍යම දෙයක් නෙමෙයි. අඩු වශයෙන් රත්තරන් වලින් ආයුධයක්වත් හදා ගන්න බැහැ. ඒ නිසා, ඔය කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අයට රත්තරන් වල වටිනාකමක් තිබුණේ නැහැ. ඔවුන් මුදල් සේ භාවිතා කළේ සිප්පි කටු, වර්ණවත් ගල්, වඩා ප්‍රයෝජනවත් ලෝහයක් වන තඹ ආදියයි. ඔවුන්ගේ සංස්කෘතීන් වල රත්තරන් වලට තිබුණේ අඩු වටිනාකමක්. පසුව යුරෝපීයයන් පිස්සුවෙන් වගේ රත්තරන් හොයද්දී ඔවුන් තමන් දැන සිටි රත්තරන් තිබෙන තැන් යුරෝපීයයන්ට නොපැකිල පෙන්වා දී තිබෙනවා.

ඔය වෙද්දී අයිසෙක් නිවුටන් විසින් සිදු කළ වැරදි ගණනයක් නිසා එංගලන්තයේ රන් සම්මතයක් හැදිලා අවුරුදු සීයකටත් වැඩියි. බොහෝ රටවල මුදල් ඒකක රන් වටිනාකමට සම්බන්ධ කරලා තිබුණා. වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යාය බිහි වුනෙත්, ඔය නිරීක්ෂණ මත පදනම්වයි. 

රන් කියන්නෙත් තවත් එක් හුවමාරු භාණ්ඩයක් පමණයි. ඒ නිසා, එක් හුවමාරු භාණ්ඩයකින් අනෙක් හැම භාණ්ඩයකම වටිනාකම් තීරණය වෙනවා කියන්නේ පිළිගන්න අමාරු දෙයක්. එහෙමනම්, වටිනාකම් වල මූලය රන් වෙන්න බැහැ. එය වෙනත් දෙයක් විය යුතුයි. රන් වෙනුවට ශ්‍රම කාලය ආදේශ වුනේ ඔන්න ඔය පදනමින්. ඒ අනුව, රන් වල වටිනාකමට හේතුව රන් ගොඩ ගැනීම සඳහා ශ්‍රමය යෙදවිය යුතු වීම. නූතන ආර්ථික විද්‍යාව ඔය ශ්‍රම න්‍යායේ සිට බොහෝ දුර පැමිණ තිබෙනවා. 

අප හැම දෙනෙකුටම රත්තරන් වලින් පෞද්ගලිකව ප්‍රයෝජනයක් නැහැ. එහෙම කිවුවත් රත්තරන් පොරෝගෙන ඉන්න කැමති බොහෝ අය ඉන්නවා. අර එක සැරයක් බ්‍රේස්ලට් කතාවකුත් ජනප්‍රිය වුනේ. රන් ආභරණ වලට දකුණු ආසියාවේ කාන්තා පක්ෂය ගොඩක් කැමතියි. ලොකු රන් දම්වැල්, මුදු ආදියට කැමති පිරිමි පාර්ශ්වයේ අයත් ඒ තරම්ම අඩු නැහැ. ඔය අතර එවැනි කැමැත්තක් නැති මම වගේ අයත් ඉන්නවා.

හැබැයි මගේ වත්තේ වල් ළූණු හාරද්දී ලොකු රත්තරන් කෑල්ලක් දැක්කොත් මම ඒක නැවත පස් දමා වසන්නේ නැහැ. එය විකුණා මම වඩා කැමති, මට අවශ්‍ය, දේවල් මිල දී ගන්න පුළුවන් බව මම දන්නවා.

නමුත් කැලිෆෝනියා ප්‍රදේශයේ හිටපු දේශීය ඇමරිකානු ගෝත්‍ර වල අය බාහිර කණ්ඩායම් එක්ක ගනුදෙනු කළ අය නෙමෙයි. ඔවුන් එසේ කළානම්, ඔවුන්ට රන් විකුණා තමන්ට අවශ්‍ය වෙනත් දේවල් ලබා ගන්න තිබුණා. (එහෙම කරන්න ගියානම් ඒ ගෝත්‍ර වලට පසුව සිදු වූ විනාශය ඊට කලින්ම වෙන්නත් තිබුණා). එහෙත් ඔවුන් එසේ නොකර රත්තරන් විසිරුණු පොළොවක සියවස් ගණනක් ජීවත් වුනා. 

කොහොම හරි කැලිෆෝනියා රත්තරන් ගැන ආරංචිය ප්‍රචාරය වෙද්දී ඇමරිකාවේ අනෙක් ප්‍රදේශ වලින් වගේම ලෝකයේ විවිධ රටවලින් මිනිස්සු විශාල වශයෙන් කැලිෆෝනියාවට එන්න පටන් ගත්තා. ඉක්මණින් පෝසත් වෙන්න කෙටි මාර්ගයක් එහි තිබුණා. ඔය කාලය වෙද්දී කැලිෆෝනියා ඉඩම් වලට හරියකට දේපොළ අයිතියක් නැහැ. ඒ වගේම ඔය ප්‍රදේශයේ නීතියේ පාලනයක් කියලා එකකුත් නැහැ. ඇමරිකාව මෙක්සිකෝවෙන් මේ කොටස ලබා ගත්තත් නීතියේ පාලනය පිහිටුවන්න කාලයක් ගියා.

ඉඩම් වල මුල් පදිංචි කරුවන් වූ ස්වදේශිකයින්ව මේ විදිහට පැමිණි අය විසින් එළවා දමනු ලැබුවා. ඔවුන් බොහෝ දෙනෙකු ආහාර හිඟයෙන් මිය ගියා. ඔය දවස් වල ශ්‍රමිකයෙකුගේ සාමාන්‍ය දිනක වැටුප ඩොලරයක් වගේ. මාසයකටනම් ඩොලර් 20-30 පමණ. නමුත් රත්තරන් එකතු කිරීමෙන් එක දවසකට ඩොලර් 100ක පමණ දක්වා මුදලක් හොයාගන්න පුළුවන්කම තිබුණා. ශ්‍රම න්‍යාය අනුවනම්, රත්තරන් මිල අඩු විය යුතුයි. නූතන ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව වුනත් රන් මිල අඩු විය යුතුයි.

කැලිෆෝනියාවේ රත්තරන් මිල ඇත්තටම අඩු වුනා. නමුත් ඩොලර් වලට සාපේක්ෂව නෙමෙයි. අනෙකුත් භාණ්ඩ වලට සාපේක්ෂව. ලෝකයේ හා ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වලින් ඉතා කෙටි කාලයක් තුළ විශාල පිරිසක් රන් සොයා කැලිෆෝනියාවට එනවා කියන්නේ ඔවුන්ට ආහාර පාන ඇතුළු අනෙකුත් දේවල්ද විශාල වශයෙන් අවශ්‍ය වෙනවා කියන එක. නමුත් එවැනි ප්‍රමාණවත් සැපයුමක් කැලිෆෝනියාවේ තිබුණේ නැහැ. මෙහි ප්‍රතිඵලය වූයේ මෙම ප්‍රදේශයේ භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමයි. උදාහරණයක් ලෙස බිත්තරයක මිල ඩොලරයක සිට ඩොලර් තුනක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ මට්ටමට ඉහළ යන්නේ ඩොලර් ශත තුනක හෝ ශත පහක මිලකට අලෙවි වෙමින් තිබුණු බිත්තර. ඉල්ලුම ඉහළ යද්දී, සැපයුම සීමිත නිසා, අනෙක් හැම දෙයක් වගේමත් ඔය විදිහට මිල වැඩි වී වෙනවා. 

අද අර්ථයෙන් කියනවනම් මෙය ඉතාම ඉහළ මට්ටමක අධි උද්ධමනයක්. බිත්තර වලින් බැලුවොත් උද්ධමනය 2000%-10000% පමණ. ඒ කියන්නේ සල්ලි ඉතාම විශාල ලෙස බාල්දු වීමක්. මීට හේතුව රන් මිල අවුන්සයක් ඩොලර් 20.67 ලෙස නියම කර තිබීම. ඒ නිසා, කොයි තරම් රත්තරන් ලැබුණත් රන් මිල අඩු වෙන්න විදිහක් තිබුනේ නැහැ. රන් සහ ඩොලර් අතර වටිනාකම් අනුපාතය නියතයක්. 

රන් මිල වෙනස් වෙන්නේ නැති නිසා සිදු වුනේ රන් වලට සාපේක්ෂව අනෙක් භාණ්ඩ හා සේවා හැම එකකම හුවමාරු වටිනාකම වැඩි වෙන එක. එහිදී එම භාණ්ඩ හා සේවා වල මිලට සාපේක්ෂව රත්තරන් බාල්දු වෙනවා. රත්තරන් වලට පෙග් කර තිබෙන නිසා ඩොලරයත් විශාල ලෙස බාල්දු වෙනවා. එහෙමත් නැත්නම් ඩොලරයක මිල දී ගැනීමේ හැකියාව විශාල ලෙස අඩු වෙනවා.

රන් සොයන්න ආ අයට සාමාන්‍ය ශ්‍රමිකයෙක් මාස හයකදී ලබන වැටුප පහසුවෙන්ම සතියෙන් හොයා ගන්න හැකි වී තිබෙනවා. නමුත්, එයින් අදහස් වන්නේ ඒ අනුපාතයෙන්ම ඔවුන් ධනවත් වූ බව නෙමෙයි. රන් හොයන අතර ආහාර පාන ඇතුළු වියදම් වෙනුවෙන් ලැබෙන ආදායමෙන් විශාල කොටසක් වැය කරන්න සිදු වී තිබෙනවා. 

පහසුවෙන්ම රන් එකතු කරගත හැකිව තියෙද්දී සහ එම රන් අලෙවි කර ඩොලර් එකතු කර ගත හැකිව තියෙද්දී රන් හා ඩොලර් වල වටිනාකම දැනෙන්නේ අඩුවෙන්. සල්ලි අත දිග හැර වියදම් කරන්න හිතෙනවා. නමුත් අතේ කොයි තරම් රන් හා ඩොලර් තිබුනත්, රාත්‍රී ආහාරය ගන්න තැනක් ළඟ පාතක නැත්නම් ඒ රන් වලින් හෝ ඩොලර් වලින් ඇති වැඩක් නැහැ. ස්වදේශිකයෝ රන් එකතු නොකළේ ඔය හේතුව නිසා. නවාතැන පිරෙන්න රන් එකතු කර ගොඩ ගසා ගත්තත්, දඩයමක් කර ගත්තේ නැත්නම් බඩගින්නේ මැරෙන්න වෙනවා. රන් වලින් කළ හැකි දෙයක් නැහැ.

නමුත් ස්වදේශිකයින් හා සංක්‍රමණිකයින් අතර එක් ලොකු වෙනසක් තිබුණා. සංක්‍රමණිකයින්ගේ සංස්කෘතිය හුවමාරු සංස්කෘතියක්. හුවමාරුව මගින් තමන්ට අවශ්‍ය දේ ලබා ගත හැකි බව ඔවුන් දැන සිටියා. රන් එකතු කරන ප්‍රදේශ වල ජනගහණය ඉහළ ගොස්, භාණ්ඩ හා සේවා ඉල්ලුම ඉහළ යද්දී ඒවා සපයන සැපයුම්කරුවන්ගේ ජාලද බිහි වෙන්න පටන් ගත්තා. මේ මගින් සෘජුව රන් එකතු නොකර, වක්‍රව රන් එකතු කර ධනවත් වීමටද මාර්ග පෑදුනා.

ඔය වගේ කාලයක හදිසියෙන් රන් සොයා එද්දී දරු මල්ලන් අරගෙන එන්නේ නැහැ. ගොඩක් වෙලාවට එන්නේ පිරිමි පමණයි. ඒ නිසාම, කාන්තාවන්ගේ වටිනාකම සහ කාන්තාවන් සඳහා වන ඉල්ලුම ඉහළ යනවා. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගෙන රන් එකතු කරන පිරිමින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා පැමිණි කාන්තාවන් විසින් රන් එකතු නොකරම විශාල ලෙස රන් එකතු කරගෙන තිබෙනවා. රන් එකතු කළ ගොඩක් අය තමන්ට දවස අවසානයේ ලැබුණු මුදල් වලින් සැලකිය යුතු කොටසක් කාන්තා ඇසුර, මත්පැන්, සූදු ක්‍රීඩා ආදිය වෙනුවෙන් වැය කර තිබෙනවා. මේ ආදී හේතු නිසා අවසාන වශයෙන් වැඩිපුරම පෝසත් වී තිබෙන්නේ රන් මිල දී ගත් අතරමැදියෝ සහ වෙනත් සේවාවන් සපයපු අය. කොහොම වුනත්, මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගත් නිසා විවිධ භාණ්ඩ හා සේවා සැපයුම් ව්‍යාපාර ගණනාවක්ම අලුතෙන් බිහි වී තිබෙනවා. ඒ සමහර ව්‍යාපාර මේ වෙද්දී දැවැන්ත ව්‍යාපාර.

රන් සුලභ කැලිෆෝනියා ප්‍රදේශයේ ආර්ථිකය සංවෘත එකක් වීනම් අවසාන වශයෙන් වෙන්නේ රත්තරන් ඉතා ලාභදායී ලෝහයක් වීම පමණයි. නමුත් කැලිෆෝනියා ආර්ථිකය ඇමරිකාවට වගේම ලෝකයටම විවෘතවයි තිබුණේ. කැලිෆෝනියාවෙන් පිටත ලෝකයේ රත්තරන් තව දුරටත් දුලබ ලෝහයක් වුනා වගේම සැලකිය යුතු ඉල්ලුමක් තිබුණු දෙයක්. ලෝකයේ රටවල් ගණනාවක්ම ඒ වෙද්දී තමන්ගේ මුදල් එක්ක රත්තරන් වලට පෙග් කර තිබුණු නිසා, ආභරණ සෑදීම ආදී "ඇත්ත හේතු" වලට අමතරව මිනිසුන්ට රන් එකතු කරන්න තවත් හේතුවක් තිබුණා. රත්තරන් තමන්ගේ වත්කම් ගබඩා කර ගත හැකි ක්‍රමයක්ව පැවතුණා. ඒ නිසා, රත්තරන් වලට කෘතීම ඉල්ලුමක් ඇති වී තිබුණා. එහි ප්‍රතිඵලය රන් මිල සාමාන්‍ය මිලට වඩා ඉහළින් නිර්ණය වීමයි. අද දක්වාම මේ තත්ත්වය දැකිය හැකියි.

භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව රන් හා ඩොලර් විශාල ලෙස බාල්දු වුනේ කැලිෆෝනියා ප්‍රදේශයේ පමණයි. අඩු වශයෙන් ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශ වල හෝ එවැන්නක් සිදු වී තිබුණේ නැහැ. මේ වගේ අවස්ථාවක ගනුදෙනු සංස්කෘතියක ඉන්න මිනිස්සු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අදාළ ප්‍රදේශයට භාණ්ඩ හා සේවා සැපයුම් වැඩි කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස කැලිෆෝනියා ප්‍රදේශයේ භාණ්ඩ හා සේවා සැපයුම් ඉහළ ගොස් මිල ගණන් ක්‍රමයෙන් අඩු වුනා. ඒ කියන්නේ රන් සහ ඩොලර් වල වටිනාකම නැවත ක්‍රමයෙන් ඉහළ ගියා කියන එක. 

මෙය සිදු වීමට සමාන්තරව කැලිෆෝනියා රත්තරන් ඇමරිකාව පුරා පැතිරී යාමද සිදු වෙනවා. ඒ කියන්නේ සමස්තයක් ලෙස ඇමරිකාවේ රන් සැපයුම ඉහළ ගොස් රන් බාල්දු වීමක් සිදු වෙනවා කියන එක. රන් බාල්දු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවා වලට සාපේක්ෂව ඩොලරයද බාල්දු වෙනවා කියන එක. මොකද ඩොලරයක් කියන්නේ රන් අවුන්සයකින් 20.67කින් කොටසක වටිනාකම. වෙනත් විදිහකින් කිවුවොත්, කැලිෆෝනියා ප්‍රදේශයේ මෙන් අධි උද්ධමනයක් නොවුනත්, සමස්තයක් ලෙස ඇමරිකාවේම උද්ධමනයක් ඇති වෙනවා කියන එක. මොකද රන් සැපයුම, ඒ කියන්නේ මුදල් සැපයුම, වැඩි වූ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැඩි වෙලා නැහැ. මෙවැන්නක් සිදු වීම වැළකුණේ කොහොමද?

මේ දවස් වල ඇමරිකාව කාර්මීකරණය වී නැහැ. නමුත් යුරෝපය කාර්මීකරණය වෙලා. ඇමරිකාවට යුරෝපයෙන් කාර්මික භාණ්ඩ ආනයනය කළ හැකිව තිබුණේ මූලික කෘෂිකාර්මික නිෂ්පාදන, බොරතෙල් වැනි ස්වභාවික සම්පත් ආදිය අපනයනය කිරීම මගිනුයි. ඒ දේවල් නිපදවීම සඳහා සැලකිය යුතු මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වුනා. කාර්මීකරණය වී සිටි යුරෝපය වඩා කාර්යක්ෂම ලෙස නිෂ්පාදන කටයුතු සිදු කළා. ඒ නිසා, ඇමරිකාවට අසීරුවෙන් වෙළඳ හිඟය පියවා ගැනීමට සිදු වී තිබුණා.

රත්තරන් හමු වීමත් එක්ක මේ සියල්ල වෙනස් වුනා. රත්තරන් අපනයනය කිරීම මගින් ඇමරිකාවට අවශ්‍ය බොහොමයක් දේවල් යුරෝපයෙන් ගෙන්වා ගත හැකි වුනා. රත්තරන් කියන්නෙත් තවත් භාණ්ඩයක් සේ සැලකුවහොත් ඇත්තටම ඔය කාලයේ ඇමරිකාවේ වෙළඳ ශේෂය අතිරික්තයක්. නමුත් රත්තරන් තවත් භාණ්ඩයක් සේ නොසැලකෙන නිසා, රත්තරන් අපනයන වෙළඳ ගිණුමේ සටහන් වන්නේ නැහැ. එය සැලකෙන්නේ මුදල් පියවීමක් ලෙසයි. ඉතින් ඔය කාලයේ ඇත්තටම සිදු වුනේ ඇමරිකාව විසින් "මහ පොළොවෙන් එකතු කරගත්" ඩොලර් ගෙවා ආනයන සිදු කිරීමයි. 

මේ අර්ථකතනය නිවැරදි වන්නේ, පළමුව, කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම සඳහා යෙදවිය යුතු වූ ශ්‍රමය වෙනත් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. විශේෂයෙන්ම අදාළ කාලයේදී ලෝකයේ වෙනත් ප්‍රදේශයකින් රන් ගොඩ ගැනීම සඳහා යෙදවිය යුතු ශ්‍රමයට (පිරිවැයට) වඩා බෙහෙවින්ම අඩු වූ නිසා. දෙවනුව, රන් හා ඩොලර් (සහ ලෝකයේ අනෙකුත් බොහෝ මුදල් වර්ග) අතර වූ නිශ්චිත සම්බන්ධය නිසා රන් හා මුදල් යනු දෙකක් නොව එකක් වූ නිසා. ඉතිං මෙය කතාවට කියන සල්ලි ගස් වලින් කැඩීම වැනි දෙයක්!

පොළොවෙන් "නිකම්ම" ලැබෙන රත්තරන් පිටරට පැටවීම මගින් ඇමරිකාවට ඔය කාලයේදී තමන්ගේ අනෙකුත් භාණ්ඩ හා සේවා අපනයන වලට වඩා බෙහෙවින්ම වැඩි ආනයන ප්‍රමාණයක් සිදු කළ හැකි වුණා. ඒ මගින් පරිභෝජනය ඉහළ මට්ටමකට තබා ගත හැකි වුනා. ඒ වගේම ඉක්මණින් කාර්මීකරණය වීම සඳහා උදවු වෙමින් ප්‍රාග්ධන භාණ්ඩ විශාල ලෙස යුරෝපයෙන් ආනයනය කිරීමටද මෙය උදවුවක් වුනා.

වෙළඳ හිඟයක් තිබෙනවා කියන්නේ රට තුළ හුවමාරු වන භාණ්ඩ ප්‍රමාණය රට තුළ නිපදවන භාණ්ඩ ප්‍රමාණයට වඩා වැඩියි කියන එකයි. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වයට (වෙළඳ ගිණුම සමතුලිත තත්ත්වයට) සාපේක්ෂව රට තුල භාණ්ඩ සැපයුම වැඩි බවයි. මෙහි ප්‍රතිඵලය භාණ්ඩ මිල අඩු වී ඩොලරය ශක්තිමත් වීමයි. රන් සැපයුම වැඩි වීම වක්‍ර ලෙස ඩොලර් සැපයුමද වැඩි වීමක් වුවත්, වෙළඳ හිඟය පියවීම සඳහා ඩොලර් රටින් පිටතට යැවෙන බැවින් එය පාලනය වෙනවා. මේ කාලයේදී ඇමරිකාවෙන් හමු වූ රත්තරන් විශාල ලෙස යුරෝපයට (හා අනෙකුත් රටවලට) ගියා. ඇමරිකාවට විශාල ලෙස ආනයන භාණ්ඩ පැමිණුනා. ඒ සියල්ලේ මුල කැලිෆෝනියා රත්තරන් නිසා හිමි වූ ස්වභාවික වාසිය තිබුණා.

මේ කරුණ මා මේ තරම් විස්තර කරන්නේ ෆියට් මුදල් යුගයේදී සිදු වූ දෙයද මේ හා සංසන්දනය කළ හැකි නිසයි. පළමු යුගයේදී ඇමරිකාවට මුදල් ලැබුනේ ස්වභාවික වාසියක් නිසා. රත්තරන් වලට ලෝකයේ තිබුණු ඉල්ලුම මත පදනම් වූ වෙළඳපොළ වටිනාකමට සාපේක්ෂව එම රත්තරන් නිපදවීම සඳහා ඇමරිකාව විසින් පිරිවැයක් දැරිය යුතු වූයේ නැහැ. තුන් වන යුගයේදීද ඇමරිකන් ඩොලරයට ලෝකය පුරා විශාල ඉල්ලුමක් තිබුණා. ඒ ඉල්ලුම මත වෙළඳපොළ වටිනාකමක් හැදී තිබුණා. නමුත් ඇමරිකාවට ඩොලර් "නිපදවීම' සඳහා පිරිවැයක් දරන්නට අවශ්‍ය නොවූ තරම්. එහි ප්‍රතිඵලයක් ලෙස වෙළඳ හිඟයක් නඩත්තු වුනා.

මෙයින් මා කිසිසේත්ම ඇමරිකානු ව්‍යවසායකත්වය වැනි දේ අවතක්සේරු කරන්නේ නැහැ. නමුත්, ලෝකය පුරා රන් වලට විශාල ඉල්ලුමක් ඇති විට, කිසියම් රටක විශාල රන් නිධියක් හමු වී වෙළඳපොළ මිලට වඩා බෙහෙවින්ම අඩු පිරිවැයකින් රන් නිපදවිය හැකි වූ විට, ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය තුළ එවැනි රටකට විශාල වාසියක් අත් වීම පැහැදිලි කරුණක්. මැද පෙරදිග රටවල් අද ඔවුන් සිටින තැන සිටින්නේ තනිකරම මෙන් තෙල් නිසා ලැබී තිබෙන ස්වභාවික වාසියේ උදවුවෙන්. තෙල් නොවන්නට මේ රටවල් අදටත් ඉතා දුප්පත් රටවල්.

මහ පොළොවේ රත්තරන් නැති, පොළොව යට තෙල් නැති, ලෝකයේ උතුම් රටකට පෝසත් වීම ඔය තරමටම  ලේසි නැහැ. රන් සම්මත ක්‍රමය තුළ, රන් නොමැති රටකට වුවද වෙළඳ අතිරික්තයක් පවත්වා ගැනීම මගින් රන් එකතු කර ගත හැකිව තිබුණා. නමුත් එය ප්‍රායෝගිකව ලේසි වැඩක් වුනේ නැහැ. කාර්මීකරණය වී නොමැති රටකට තේ, රබර්, පොල් නිපදවීම සඳහා මිනිස් ශ්‍රමය අවශ්‍යයි. එම මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා ආහාර පාන ඇතුළු තවත් බොහෝ දේ අවශ්‍යයි. ඒ සියල්ල නිපදවන අතරම අපනයනය සඳහා තේ, රබර්, පොල් නිපදවීම සඳහාද මිනිස් ශ්‍රමය යෙදවීමේ හැකියාවක් නැහැ. ඒ නිසා, මිනිස් ශ්‍රමය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය දේවල් ආනයනය කරන්නට සිදු වෙනවා. මෙම හුවමාරුව මගින් විශාල අතිරික්තයක් එකතු වන්නේ නැහැ. ඊට සාපේක්ෂව රන්, ඉන්ධන වැනි දෙයක් අපනයනය කරන රටක විශාල අතිරික්ත ප්‍රාග්ධනයක් එකතු වෙනවා. එම අතිරික්ත ප්‍රාග්ධනයේ උදවුවෙන් රටකට ඉක්මණින් කාර්මීකරණ කඩ ඉම පැනගන්න පුළුවන්. 

කැලිෆෝනියා රත්තරන් එකතු කර ගැනීම ඔය තරම්ම පහසුවෙන්ම කළ හැකි වූයේ වසර කිහිපයක් පමණක් බව මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැකියි. එය ඇත්ත. කාලයත් සමඟ මේ කටයුත්ත වඩා අපහසු හා පිරිවැය වැඩි කටයුත්තක් බවට පත් වුනා. එහෙත් අඩු වශයෙන් වසර විසිපහක් පමණ කාලයක් ඇමරිකාවට මේ වාසිය තිබුණා. 1870 පමණ වන තුරු ඇමරිකාව වෙළඳ හිඟයක් නඩත්තු කළේ කැලිෆෝනියා රත්තරන් වල උදවුවෙන්.

ඉන් පසු එළඹුණු දෙවන යුගයේදී කැලිෆෝනියා රත්තරන් ඉවර වුනා. මෙහිදී ඉවර වුනා කියන එකෙන් අදහස් වෙන්නේ දේශීය ඉල්ලුම සැපිරීමෙන් පසුව අපනයනය කළ හැකි ශුද්ධ රත්තරන් අතිරික්තයක් තව දුරටත් ඇමරිකාවේ නිෂ්පාදනය වුනේ නැහැ කියන එක. රත්තරන් ඉවර වුනත්, ඉන්ධන වැනි අනෙකුත් ස්වභාවික සම්පත් ඉවර වුනේ නැහැ. ඉන්ධන අතිරික්තය තවත් අවුරුදු සීයක් යන තුරුම ඇමරිකාවට ධනවත් වීමට උදවු කළා. රත්තරන් අවසන් වෙද්දී පළමු යුගය අවසන් වුනා වගේම දෙවන යුගය අවසන් වුනේ ඉන්ධන ඉවර වෙද්දී. දැන් නැවතත් ඇමරිකාවේ ඉන්ධන අතිරික්තයක් ඇති වීමෙන් පසුව, තුන්වන යුගයද අවසන් වෙමින් තිබෙනවා. ඇමරිකාවට ෆියට් මුදල් ක්‍රමය අවශ්‍ය වුනේ ඔය අතරමැදි කාලයේදීයි. පැවති ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය අවශ්‍ය වූයේත් ඔය අතරමැදි කාලයේදීයි. 

මතු සම්බන්ධයි. 

10 comments:

  1. The Mexican War ended in 1848, not 1948.

    ReplyDelete
  2. 'රත්තරං' වගෙම 'කළු රත්තරං' දෙක
    ලැබුණු නිසා ධනවත්වී 'ලොවේ එක'
    වෙච්ච හැටි- ලෙසින් රසවත් කතාවක
    ලිව්වට තුති ඉකොනො, කවදද දෙන්නෙ දෙක?

    ReplyDelete
  3. රුසියාවේ සහ චීනයේ රත්රන් රිසර්ව් සෑහෙන්න වැඩි කරගෙන මේ දවස් වල . ඇමෙරිකාවද තවමත් අංක එකට ඉන්නේ. එකොන් හරි කවුරුහරි මිට කලින් ලියල තිබෙනවා දැක්ක මුලදී රත්රන් සමග මුදලේ අගය ගැට ගහල තිබුනත් පස්සේ මහා බැංකු වලින් මුදල් සහ බොන්ඩ් නිකුත් කළා කියල ඒ හා සමාන රත්රන් තොගයක් නැති අවස්ථවක වුනත් . (එහෙම නැත්නම් ඩිපොසිට් එකක් නැතිව වුනත් )

    ReplyDelete
    Replies
    1. රුසියාවේ සහ චීනයේ එකතුව ගත්තත් එමෙන් දෙගුණයක් පමණ රන් සංචිත තවමත් ඇමරිකාවේ තිබෙනවා. එම රටවල් දෙක ඉන්නේ ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශයට පස්සේ.

      Delete
  4. ඉකොනොමැට්ටා නං මළගෙදරක නයිටක් ගහන්න මරු ඩයල් එක

    ReplyDelete
  5. සමාජවාදී රටවල් දියුණුව කරා පියමං කලේ තමන් සතු සම්පත් හැකි පමණින් උපයෝගී කරගනිමිනි.
    එසේම ඔවුන් ඒ ආකාරයෙන් දියුණු වූවාට පසු ලෝකයේ අප වැනි පසුගාමී රටවල් වලට පවා බෙහෙවින් උදව් කර ඇත.
    ධනවාදීන් දියුණු වන්නේ අනෙකාගේ දේ හැකි පමණ තමන් සතු කර ගනිමින්.......
    ඔවුන් යම් ආධාරයක් ලබා දෙන්නේ එය මෙන් කිහිප ගුණයක් පසු කලකදී ලබාගැනීම සඳහා පමණි.

    ReplyDelete
  6. අඩෝ තට්ට ඉකොනො දාපිය අලුත් පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. ඉකොනොමැට්ටා අතුරුදහන් වී ඇත...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: