මාර්තු මාසය අවසානයේදී නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,517 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය (2024) ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල විදේශ සංචිත ඩොලර් මිලියන 6,472 මට්ටමේ පැවතුණත්, 2025 ජනවාරි මාසය වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 6,086 දක්වා පහත වැටුනා. ඊට හේතුව, ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී ගෙවන්නට සිදු වූ මුදල විය හැකියි. කෙසේ වුවද, දැන් නැවතත් ඩොලර් බිලියන 6.5 සීමාවෙන් ඉහළට විදේශ සංචිත ගොඩ නැගී තිබෙනවා. මූල්‍ය අරමුදලේ සිවුවන වාරිකය ලැබීම ඊට ප්‍රධාන හේතුව විය හැකියි.
මේ අයුරින් රටේ නිල විදේශ සංචිත ක්‍රමයෙන් ගොඩ නැගෙමින් තිබියදී ඇමරිකාව විසින් තීරු බදු ඉහළ දැමීම ලංකාවට විශාල අභියෝගයක්. සම්ප්‍රදායික තීරු බදු යුද්ධයකදීනම් මෙවැනි තත්ත්වයක් හමුවේ තීරු බදු අඩු කිරීම මගින් ප්‍රශ්නය විසඳා ගත හැකිව තිබුණත්, මෙවර ඇමරිකාව විසින් සිදු කර තිබෙන්නේ සම්ප්‍රදායික තීරු බදු යුද්ධයක් ඇරඹීම නෙමෙයි. මෙය ජාත්‍යන්තර වෙළඳ ක්‍රමය සහ ජාත්‍යන්තර ගෙවුම් පියවුම් ක්‍රමය මුළුමනින්ම වෙනස් කරන්නට ඉඩ තිබෙන වෙනස්ම ප්‍රවේශයක්. එය විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන්ට දරුණු බලපෑමක් කරනවා.
ඇමරිකාවේ "ප්‍රහාරය" හමුවේ ලෝකයේ බොහොමයක් රටවල් විසින් "ප්‍රතිප්‍රහාර දීම" වෙනුවට "යටත් වීම" තෝරා ගෙන ඇති බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. බොහොමයක් රටවල් විසින් තමන්ගේ පැත්තෙන් තීරු බදු සහ බදු නොවන බාධක ඉවත් කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. දැඩි ප්‍රති ප්‍රහාරයක් එල්ල කර තිබෙනු දැකිය හැක්කේ චීනයයි. එම තත්ත්වය හමුවේ චීනය මත 50%ක තවත් අමතර තීරු බද්දක් එකතු වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. මෙම තත්ත්වය තුළ ඇමරිකාව හා චීනය අතර වෙළඳාම දැඩි ලෙස සීමා විය හැකියි.
ලංකාව විසින්ද සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටිනවා. මෙම සාකච්ඡා සාර්ථක වීමටනම් ලංකාවට ඇමරිකාවෙන් වැඩිපුර ආනයන කරන්නට සිදු වෙනවා. සාකච්ඡා සාර්ථක නොවුවහොත් අපනයන ආදායම් අඩු වෙනවා. මේ තත්ත්වයන් දෙකෙන් කුමක් යටතේ වුවත් ඇමරිකාව හා ලංකාව අතර තිබෙන වාසිදායක වෙළඳ ශේෂයෙන් කොටසක් අහිමි වන බව පැහැදිලියි. ඒ නිසා, ලංකාවට විදේශ අංශයේ තුලනය පවත්වා ගැනීම සඳහා චීනය හා ඉන්දියාව සමඟ තිබෙන අවාසිදායක වෙළඳ ශේෂය අඩු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන්නම සිදු වෙනවා. මේ ආකාරයේ හෙට්ටු කිරීමකට මෙතෙක් පැවති ලෝක තත්ත්වය තුළ ඉඩක් නොතිබුණත්, අලුත් සුසමාදර්ශීය තත්ත්වය තුළ එවැනි ඉඩක් විවර වී තිබෙනවා.
මහ බැංකු දත්ත අනුව, පසුගිය (2024) වසරේදී ලංකාවේ ප්‍රධාන ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් තිදෙනා සමඟ ලංකාව ගනුදෙනු සිදු කළේ පහත පරිදියි.
1. චීනය
ආනයන = ඩොලර් මිලියන 4,639
අපනයන = ඩොලර් මිලියන 273
හිඟය = ඩොලර් මිලියන 4,093
2. ඉන්දියාව
ආනයන = ඩොලර් මිලියන 3,870
අපනයන = ඩොලර් මිලියන 884
හිඟය = ඩොලර් මිලියන 2,986
3. ඇමරිකාව
ආනයන = ඩොලර් මිලියන 443
අපනයන = ඩොලර් මිලියන 2,911
අතිරික්තය = ඩොලර් මිලියන 2,468
ඉන්දියාව හෝ චීනය එක්ක සාකච්ඡා කළා කියලා අපනයනය කළ හැකි මහ ලොකු දේවල් ලංකාවේ නැහැ. ඔය රටවල් දෙකට ඇඟලුම් අපනයනය කරන්න බැහැ. කරන්න පුළුවන් දේ අපනයනය කළ හැකි දේවල් ලංකාවේ නිෂ්පාදනය කරන්න පොළඹවා ගන්න එක. ඒ මගින් වෙළඳ හිඟය අඩු කර ගන්න එක.
දැන් තමයි කයියනායක අනුර කුමාරගේ මොහොත නේද ඉකොනො
ReplyDelete