වෙබ් ලිපිනය:

Sunday, March 16, 2025

වඳුරන් ගණන් කිරීම


මේ ආණ්ඩුව කරන ගොඩක් දේවල් සම්බන්ධව තිබෙන පොදු විවේචනයක් වන්නේ ආණ්ඩුව විසින් කරන්නේ රනිල් කළ දේවල්ම බවයි. එහෙමත් නැත්නම් රනිල් විසින් කරන්න හිටපු දේවල් බවයි. ඒ කතාවේ සැලකිය යුතු ඇත්තක් තිබෙනවා. මීට පෙරද ලියා ඇති පරිදි. රනිල්ගේ ආණ්ඩුව විසින් කළ සහ කරන්න සිටි බොහෝ දේවල් කළ යුතු දේවල්. ඒ නිසා, ආණ්ඩුව වෙනස් වුනත්, අලුත් ආණ්ඩුවටත් ඒ දේවල්ම කරන්න වෙනවා. එය ආණ්ඩුවේ වැරැද්දක් හෝ විවේචනය කළ යුතු දෙයක් නෙමෙයි.

වඳුරන් ගණන් කරන එක රනිල් විසින්ද කරන්න හිටපු දෙයක් කියා කවුරුත් කියා ඇති බවක් මම දැක්කේ නැහැ. මම හිතන්නේ මෙය මේ ආණ්ඩුව විසින් කළ අලුත් දෙයක් ලෙස බොහෝ දෙනෙකු පිළිගන්නවා. මේ වැඩේ සමච්චලයට හා විවේචන වලට පාත්‍ර වුනත්, ආණ්ඩුව වැඩේ කළා. මෙවැනි වැඩක් මුලින්ම කරද්දී හරියටම කරන්න බැහැ. ක්‍රමවේදයේ කොයි තරම් අඩුපාඩු තිබුණත් මෙවැනි ගණනයක් කළ එකේ වටිනාකමක් තිබෙනවා.

ක්‍රමවේදය බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක් වූයේ මිනිත්තු පහක් වැනි කෙටි කාලයක් තුළ ගණනය සිදු කිරීම හේතුවෙනුයි. නමුත් ඇත්තටම නිවැරදිව ගණනයක් කරන්නනම් එය මෙවැනි කෙටි කාලයක් ඇතුළත සිදු කළ යුතුයි. 

මේ කළේ සංගණනයක් නෙමෙයි. සංගණනයකදී රටේ සිටින සියලුම අදාළ සතුන් ගණන් ගැනෙනවා. එවැන්නක් කිරීම ප්‍රායෝගිකව අපහසු කටයුත්තක්. සංගණන වලට තිබෙන හොඳම සහ ප්‍රායෝගික විකල්පය නියැදි සමීක්ෂණයක් කිරීමයි. මෙහිදී සිදු වුනේ නිවැරදි නියැදි සමීක්ෂණයකුත් නෙමෙයි. නමුත් මෙය යම් ආකාරයක නියැදි සමීක්ෂණයක්. 

නියැදි සමීක්ෂණයක් හරියට කර වන සතුන් ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකිව තිබුණේ කෙසේද?

ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65,610ක් පමණ වෙනවා. ඒ කියන්නේ රටේ ඉන්න සියලුම සත්තු ඉන්නේ ඔය වර්ග කිලෝ මීටර 65,610 ඇතුළේ. නමුත් ඔවුන් රට පුරා එකම විදිහට පැතිරිලා නැහැ. ඒ නිසා, රට වර්ග කිලෝ මීටරයේ කොටස් 65,610කට කැඩුවොත් ඔය සමහර කොටස් වල වඳුරෝ සහ රිලවු වැඩිපුර ඉන්නවා. තව සමහර කොටස් වල අඩුවෙන් ඉන්නවා. සමහර කොටස් වල ඇත්තේම නැහැ.

වඳුරෝ, රිලවු, මොනරු ඇතුළු වන සතුන් එක තැනකට වී ඉන්නේ නැහැ. ඒ නිසා, කිසියම් වර්ග කිලෝමීටරයක කොටසක් ඇතුළේ ඉන්න වන සතුන් ප්‍රමාණය ඔවුන්ව ගණන් ගැනෙන මොහොත අනුව වෙනස් විය හැකි දෙයක්. එක් එක් වර්ග කිලෝමීටරය ඇතුළේ ඉන්න සතුන් ප්‍රමාණය හරියටම ගණන් කර, එම ගණන් එකතු කර රටේම ඉන්න සත්තු ප්‍රමාණය ගණන් බලන්න පුළුවන් වෙන්නේ යම් නිශ්චිත වෙලාවක රට පුරාම ඔය ගණනය කළොත් පමණයි. දවසේ විවිධ වෙලාවල් වල මේ ගණන් ගැනීම කළොත් එකම සතා දෙවරක් ගණන් ගැනෙන්න පුළුවන්. සමහර සත්තු ගණන් නොගැනෙන්න පුළුවන්. 

නමුත් මේ විදිහට රට වර්ග කිලෝ මීටරයේ කොටස් 65,610කට කඩලා ඒ හැම කොටසකම ඉන්න සතුන් ප්‍රමාණ ගණන් කළත්, වර්ග කිලෝ මීටරයක සත්තු ප්‍රමාණය පරීක්ෂා කර ගණනය කරන්න යම් අවම කාලයක් යනවා. ඒ නිසා, ඒ ගැනත් සලකලා කාල පරාසයක් තීරණය කරන්න වෙනවා. පොඩි කොටස් වලට කඩන තරමට වඩා කෙටි කාලයකින් ගණනය කිරීම කළ හැකියි. එසේ කරන තරමට ගණනය නිවැරදියි.

ඔය විදිහට මුළු රටේම තිබෙන වර්ග කිලෝ මීටරයේ කොටස් 65,610ම පරීක්ෂා කළ යුත්තේ සංගණනයක් කරද්දීයි. නියැදි පරීක්ෂණයකදී එසේ කළ යුතු නැහැ. උදාහරණයක් විදිහට අපට ඔය වර්ග කිලෝ මීටරයේ කොටස් 65,610 අතරින් 20%ක නියැදියක් ගන්න පුළුවන්. ඒ කියන්නේ කොටස් 13,122ක්. මේ ප්‍රමාණය ආසන්න වශයෙන් ලංකාවේ ග්‍රාම නිලධාරී වසම් ප්‍රමාණයට සමානයි.

දැන් අපි මුළු රටේම ඉන්න සතුන් ප්‍රමාණය ගණනය නොකර ඔය වර්ග මීටරයේ කොටස් 13,122 පමණක් පරීක්ෂා කර ගණනය කළා කියා හිතමු. මේ 20% තෝරා ගත්තේ අහඹු ලෙසනම්, ඔය කොටසක සිටින සත්තු ප්‍රමාණය මුළු රටේම ඉන්න සත්තු ප්‍රමාණයෙන් 20%කට ආසන්න විය යුතුයි. ඒ නිසා, ලබා ගන්නා පිළිතුර පහෙන් වැඩි කිරීමෙන් රටේම ඉන්න සත්තු ප්‍රමාණය පිළිබඳව බොහෝ දුරට නිවැරදි ඇස්තමේන්තුවක් ලබාගන්න පුළුවන්. 

හැබැයි ඔය ක්‍රමය හරියන්නේ 20% නියැදිය අහඹු ක්‍රමයකට තෝරාගත්තේනම් පමණයි. කවුරු හෝ හිතාමතා ප්‍රදේශ තේරුවොත් සත්තු වැඩිපුර ඉන්න ප්‍රදේශ නියැදියට අහුවෙන්න ඉඩ තිබෙනවා. එසේ නැත්නම් සත්තු අඩු ප්‍රදේශ අහු වෙන්න ඉඩ තිබෙනවා. එවැනි අහඹු නොවන 20% නියැදියක ප්‍රතිඵලය පහෙන් වැඩි කරලා මුළු රටේම තත්ත්වය ගැන නිවැරදි තක්සේරුවක් හදාගන්න අමාරුයි.

ඔය අහඹු නියැදි ක්‍රමයේදී රට පුරා වර්ග කිලෝමීටරයේ කොටස් 13,122ක් වැනි විශාල ප්‍රමාණයක් පරීක්ෂා කරන්න අවශ්‍යත් නැහැ. අපට පුළුවන් මේ එක් එක් වර්ග කිලෝමීටරයේ කොටස මීටර සියයක් දිග සහ පළල, ඒ කියන්නේ වර්ග මීටර 100x100, කොටස් සීයකට බැගින් කඩන්න. ඉන් පසුව ඒ එක් කොටසක් අහඹු ලෙස තෝරා ගන්න. දැන් ඔය එක් කොටසක ඉන්න සත්තු ප්‍රමාණය හරියට ගණන් කරලා එම ගණන 100න් වැඩි කළ විට වර්ග කිලෝ මීටරයේ ඉන්න සත්තු ප්‍රමාණය ගැන සැලකිය යුතු තරම් හොඳ තක්සේරුවක් ලබා ගන්න පුළුවන්. එම තක්සේරු ඇසුරෙන් මුළු රටේම ඉන්න සත්තු ප්‍රමාණය තක්සේරු කරන්න පුළුවන්.

වර්ග මීටර 100x100ක් වැනි කුඩා ප්‍රදේශයක් පරීක්ෂා කරද්දී තිබෙන වාසිය කෙටි කාලයක් ඇතුළත සත්තු ප්‍රමාණය හරියට ගණන් කරගන්න පහසු වීම. මිනිත්තු පහක් වැනි කාලයක් ඒ සඳහා ප්‍රමාණවත්.  

ඔය වර්ග කිලෝ මීටරයේ තෝරාගත් කෑලි 13,122 අතරින් සමහර කෑලි වල ඉන්නේ වඳුරන් හතර පස් දෙනෙක් පමණක්නම්, ඒ කිසිවෙක් ඒ කොටසෙන් තෝරා ගත් වර්ග මීටර 100x100ක පොඩි කොටසට ඒ මිනිත්තු පහ ඇතුළත නො එන්න පුළුවන්. එහෙම වුනොත්, වර්ග කිලෝ මීටරයේ කොටසේ ඉන්න වඳුරන් ප්‍රමාණය වරදිනවා.  හැබැයි ඔය වඳුරන් හතර පස් දෙනාම ඔය වෙලාවේ හරියටම ඔය කොටස ඇතුළට ඇවිත් ඉන්නත් පුළුවන්. එහෙම වුනොත් එමෙන් 100 ගුණයක ප්‍රමාණයක් වර්ග කිලෝ මීටරය ඇතුළේ හිටියා කියලා ඇස්තමේන්තු වෙනවා. 

කෙසේ වුවත්, ඔය දෙවැන්න වෙන්න තිබෙන සම්භාවිතාවය පළමුවැන්න වෙන්න තිබෙන සම්භාවිතාවයට වඩා ගොඩක් අඩුයි. ඒ නිසා, වර්ග කිලෝ මීටරයේ කොටස් සියල්ල බලද්දී එක කොටසක් සිය ගුණයක් වැඩියෙන් ඇස්තමේන්තු වෙද්දී තව කොටස් සීයක් අඩුවෙන් ඇස්තමේන්තු වෙලා ඔය වැරදි දෙක කැපිලා යනවා. අන්තිමට නිවැරදි ඇස්තමේන්තුවක් ලැබෙනවා.

ඔය කියපු සියල්ල ඔය විදිහට සිදු වෙන්නේ රට කොටස් වලට බෙදා අහඹු ලෙස කොටස් තෝරා ගෙන ගණනය කළොත් පමණයි. ඊයේ (මාර්තු 15) සිදු වුනේ එවැන්නක් නෙමෙයි. ඊයේ ගණනය සිදු වූ තැන් අහඹු ලෙස තීරණය වුනේ නැහැ.

මම හිතන්නේ අදාළ සංගණන පත්‍රිකා බෙදා දී තිබෙන්නේ ග්‍රාම නිලධාරී මට්ටමෙන් විය යුතුයි. ඇතැම් වසම් වල මේ පත්‍රිකා බෙදා හැර තිබෙන්නේ වෙනත් වැඩක් කරගන්න ග්‍රාම නිලධාරියා හමු වෙන්න ආ අයට පමණයි. එහෙත් තවත් සමහර පැති වල බොහෝ දෙනෙක් උනන්දුවෙන් වැඩේට සහභාගී වී තිබෙනවා. 

ගණනය කළ ප්‍රදේශ අහඹු නොවීමට අමතරව මෙවැනි ගණනයක් වැරදෙන්න තවත් හේතු ගණනාවක් තිබෙනවා. කිසියම් තැනක කොළයක් සහ පෑනක් තියාගෙන පුද්ගලයෙක් බලා ඉන්න කොට වන සතෙක් ඒ කිට්ටුවට නොපැමිණ මග හැර යන්න ඉඩකඩ වැඩියි. ගණනය නිසාම, වන සතුන්ගේ ස්වභාවික හැසිරීම් වෙනස් වෙලා ගණනය වරදිනවා. මිනිසුන්ගෙන් කෑම ලබා ගන්න පුරුදු වී ඉන්න සතුන් හා අදාළව මෙහි අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. 

ඊළඟට මේ ගණනයට උනන්දුවෙන් සහභාගී වන අය අහඹු මිනිස්සු නෙමෙයි. තමන්ට වන සතුන්ගෙන් සිදු වන හානි නිසා හෝ වෙනත් හේතුවක් නිසා සතුන් ප්‍රමාණය වැඩියෙන් පෙන්වන්න කැමැත්තක් තිබෙන අය. බොරුවට පත්‍රිකාව පිරවීමේ ඉඩකඩ පැත්තකින් තිබ්බත්, තමන්ගේ වත්තේ මායිමට පොඩ්ඩක් එහායින් ඉන්න සතෙක්ව ගණන් ගන්න හෝ කෑම වැනි දෙයක් දී ගෙන්වා ගන්න සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. 

ඔය වගේ අඩුපාඩු විශාල ප්‍රමාණයක් තිබුණත්, මේ ආකාරයෙන් අපිළිවෙළට එකතු කරගත් අමු දත්ත වලින් වුවත් හොඳ ඇස්තමේන්තුවක් හදාගන්න එක බැරි වැඩක් නෙමෙයි. ඒ සඳහා යොදාගත හැකි විවිධ සංඛ්‍යානමය ක්‍රමවේද තිබෙනවා. එම ක්‍රම යොදා ගනිමින් නියැදිය අහඹු නොවීම නිසා සිදු වී තිබෙන වැරැද්ද ඉවත් කරන්න පුළුවන්. 

අවම වශයෙන් එකතු කර ගත් සියලුම අමු දත්ත (එනම් රිලවුන්, වඳුරන්, මොණරුන් සහ දඬු ලේන්නු ප්‍රමාණ සමඟ ග්‍රාම සේවා වසම) සහ දත්ත එකතු කරගත් ඉඩමේ හෝ ප්‍රදේශයේ ප්‍රමාණය දළ වශයෙන් අඩංගු දත්ත ගබඩාවක් ඇත්නම් මේ ගණනය ලොකු අපහසුවක් නොමැතිව කළ හැකියි. අවසන් තොරතුර නොමැතිනම්, එක් එක් ග්‍රාම සේවා වසමේ ඉඩම් වල සාමාන්‍ය ප්‍රමාණය යොදා ගෙන දළ ඇස්තමේන්තුවක් සකස් කළ හැකියි. 

නිවැරදි දත්ත අවශ්‍ය වන්නේත්, ප්‍රයෝජනවත් වන්නේත්, මධ්‍යගත සැලසුම් සඳහා පමණක් නෙමෙයි. වෙනත් විවිධ සැලසුම් සඳහා මෙන්ම ඒකීය පුද්ගල තීරණ සඳහාත් දත්ත ප්‍රයෝජනවත්. දත්ත සුලභ වන තරමට සහ වඩා නිවැරදි වන තරමට තොරතුරු අසමමිතිය අඩු වී අවදානම් අඩු වෙනවා. තනි පුද්ගල තීරණ මෙන්ම සාමූහික තීරණද වඩා හොඳින් ගත හැකි වෙනවා. අනාගතය වඩා හොඳින් සැලසුම් කළ හැකි වෙනවා.

පොදුවේ හොඳ දත්ත කාට වුනත් ප්‍රයෝජනවත් වන අතරම මධ්‍යගත සැලසුම් සඳහා නිවැරදි දත්ත අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නිවැරදි දත්ත නොමැතිව මධ්‍යගත සැලසුමක් ක්‍රියාත්මක කළ නොහැකියි. මධ්‍යගත සැලසුම් අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වන්නේද එතරම් නිවැරදි දත්ත එකතු කර ගත නොහැකි වීමයි.

ප්‍රමාණාත්මක නැඹුරුව කොපමණද යන්න විවාදිත කරුණක් වුවත් මේ ආණ්ඩුව මධ්‍යගත සැලසුම් කෙරෙහි බරක් තබන ආණ්ඩුවක්. ඒ නිසා ආණ්ඩුවට නිවැරදි දත්ත අවශ්‍යයි. නිවැරදි දත්ත නොමැතිකම ප්‍රශ්නයක් බව ආණ්ඩුවේ ප්‍රධානීන් කියා තිබෙන දෙයක්.

ලංකාවේ විවිධ රාජ්‍ය ආයතන මගින් විශාල දත්ත ප්‍රමාණයක් එකතු කරනවා. ප්‍රමාණය කුමක් වුවත්, මේ වෙනුවෙන් පොදු අරමුදල් වැය වෙනවා. ඊයේ සිදු කළ ගණනය සඳහා වුවද යම් මුදලක් වැය වී තිබෙනවා. ලංකාවේ රාජ්‍ය අංශයේ මා දකින එක් ප්‍රශ්නයක් වනුයේ මහජන මුදල් වැය කර දත්ත එකතු කරගන්නා තරමට එම දත්ත වලින් ප්‍රයෝජනයක් නොගැනීමයි. 

මුදල් වැය කර එකතු කරගන්නා දත්ත වලින් වැඩිම ප්‍රයෝජනයක් ලබා ගත හැකි පහසුම හා ලාභදායීම ක්‍රමය වන්නේ එම දත්ත හැකි ඉක්මණින් ප්‍රසිද්ධ කිරීමයි. ශ්‍රී ලංකාවේ රජයේ ආයතන විසින් මෙවැන්නක් නොකරන තරම්. ඔවුන් බොහෝ විට කරන්නේ එකතු කරගන්නා දත්ත ඔවුන් විසින්ම විශ්ලේෂණය කර ප්‍රතිඵල සාරාංශ පමණක් ප්‍රසිද්ධ කිරීමයි. මෙසේ කිරීම මගින් දත්ත එකතු කිරීමේ ක්‍රමවේදයේ සිට විශේලේෂණ ක්‍රමවේද දක්වා තිබෙන වැරදි හා අඩුපාඩු හංගා ගන්න පුළුවන්. එය ඇඟ බේරා ගැනීමේ හා රැකියාව බේරා ගැනීමේ ප්‍රවේශයක්.

මහජන මුදල් වැය කර එකතු කර ගන්නා දත්ත ප්‍රසිද්ධ කළ විට විදේශ පර්යේෂකයින් ඇතුළු බාහිර පර්යේෂකයින් විසින් එම දත්ත විශේලේෂණය කිරීමට පෙළඹෙනවා. ඒ හරහා දත්ත එකතු කර ගැනීම සඳහා වැය කළ මහජන මුදල් වලට වඩා වැඩි සාධාරණයක් ඉටු වෙනවා. පසුව හෝ ක්‍රමවේද වල අඩුපාඩු හදා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. මම හිතන්නේ මෙය මේ ආණ්ඩුව විසින් සිතා බැලිය යුතු, ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමඟද ගැලපෙන දෙයක්. පාරදෘශ්‍ය රජයක් විසින් කළ යුතු දෙයක්. දන්නා තරමින් රනිල් කරන්න හිටපු දෙයක් නෙමෙයි!

7 comments:

  1. ඉකොනොමැට්ටා,

    රනිල්ලුත් මේක කරන්න හිටියේ කියලා කියන්නත් පුළුවන්, මොකද මෙච්චරම නැතත් පොරත් කරන තරමක් කළේ මේ තරමට නැතත් මීට යම් තරමකට ආසන්න වන ගොබ්බ තකතීරු වැඩම තමයි බලයේ හිටපු කාලයේ.

    මම හිතන්නේ මේ වගේ මෝඩ වැඩ කරන්න කියලා ආණ්ඩුවට යෝජනා කරන්නේ මෙලෝ ප්‍රායෝගික භාවිතය ගැන දැනුමක් නැති මුග්ධ ලාමක පොතේගුරාලා වෙච්ච පොතේ උගත්කම තියෙන ආණ්ඩුවට උපදේශන දෙන කේවට්ට උපදේශකයො වෙන්න ඕනේ, නැත්නම් රාජපක්ෂ චෞර කල්ලිය දැනට රජයේ ඉහළම තනතුරුවල නිලධාරීන් සහ ජාජබ ආණ්‌ඩුව ඇතුලේ ඉන්න උන්ගේ ගෝලයෝ දාලා ආණ්ඩුව නෝන්ඩි කරන්න අටවපු උගුලක්

    මොකද ජීව විද්‍යාව ගැන කිසිවක් හදාරා නැති උසස්පෙළ විභාගයට ගණිත අංශයෙන් හදාරලා විශ්ව විද්‍යාල වල තාක්ෂණයට සම්බන්ධව උසස් අධ්‍යාපනය ලබපු තාක්ෂණයට සම්බන්ධ වෘත්තිකයන් වෙච්ච අපිට විතරක් නෙවෙයි වැඩි අධ්‍යාපනයක් නැති ඉතාම මූලික සාක්ෂරතාව පමණක්ම තිබෙන සාමාන්‍ය ජනතාවටත් සරලව තේරෙනවා, නිශ්චිත දිනයක විනාඩි පහකින් පමණ වත්තේ සිටින සියලුම වගා හානි කරන සතුන් ගණනය කිරීම මගින් වන සතුන් සංගණනය කිරීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට බොහෝ හේතු තිබෙන බව.

    මට ක්ෂණිකව මතක් වෙන දේවල් පමණක් දැන් මෙතන කෙටියෙන් විස්තර කළොත් එකක් නියැදි (සාම්පල්) ප්‍රමාණයේ ගැටලුව:

    ඒ විනාඩි 5ක නියැදියක් සමස්ත රටේ වගා හානිකරන මිලියන ගණනක වන සත්ව ගහණය නියෝජනය කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවීම.

    මොකද සාමාන්‍ය දැනුම සහ අත්දැකීම් මත අපි දන්නව වන සතුන්ගේ ගහනය විවිධ කාලවලදී සහ විවිධ ස්ථානවලදී වෙනස් වනබව.

    එවැනි කෙටි නියැදියක් මගින් ලැබෙන දත්ත ඉතා සීමිත වන අතර, සමස්ත වගාහානි කරන ගහණය පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීමට කිසිසේත්ම නොහැකි වේ.

    අනෙක වෙනස්වන සත්ව චර්යාව:
    මොකද වන සතුන්ගේ චර්යාව විවිධ කාලවලදී වෙනස් වෙනවා. සමහර සතුන් දිවා කාලයේදී ක්‍රියාකාරී වන අතර, සමහර සතුන් රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වේ. අනෙක විවිධ භෝග වල පැල කාලය, මල් දරන කාලය, ගෙඩි හැදෙන කාලය, අස්වැන්න නෙලන කාලය ආදී විවිධ කාලවල විවිධ සතුන් වගාබිම්වලට එන අතර අනෙක් කාලවල උන් කැලෑවැදී ඝන වනාන්තර රක්ෂිත කැලෑවල ගතකරනවා

    ඒ නිසා විනාඩි 5ක නියැදියක් මගින් මෙම විවිධ චර්යාවන් කිසිසේත්ම සැලකිල්ලට නොගන්නා අතර, එම නිසා ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි විය හැකියි.

    සතුන්ගේ විවිධත්වය සහ ව්‍යාප්තිය:

    ජීව විද්‍යාව අනුව අපට නොතේරෙන ඉතාම සංකීර්ණ කාරණා අනුව වන සතුන් විවිධ විශේෂවලින් සමන්විත වන අතර, ඔවුන් විවිධ පරිසර පද්ධතිවල ව්‍යාප්ත වී ඇත.

    නමුත් විනාඩි 5ක නියැදියක් මගින් මෙම විවිධත්වය සහ ව්‍යාප්තිය සැලකිල්ලට නොගන්නා අතර, එම නිසා ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි විය හැකියි.

    අදාල කාලසීමාව ඇතුළත පවතින
    අනෙක් පරිසර සාධකවල බලපෑම:

    මෙවැනි වන සතුන්ගේ ගහනය අදාළ මොහොතේ පවතින දේශගුණික තත්ත්වයන්, (අව්ව වැස්ස සුළං සහ දේශගුණික විපර්යාස), එම සතුනගේ ආහාර ලබා ගැනීමේ අවශ්‍යතාව ආදිය මත සහ එම මොහොතේ වෙනත් විලෝපිකයන්ගේ පැමිණීම වැනි පරිසර සාධක මගින් බලපායි.

    එනිසා කිසිසේත්ම විනාඩි 5ක නියැදියක් මගින් මෙම පරිසර සාධක සැලකිල්ලට නොගන්නා අතර, එම නිසා ගණනය කිරීම වැරදි විය හැකිය.

    මෙහි ඇති මානව මැදිහත්වීම:

    මේ සතුන්ගේ සංගණනයක් සිදු කරද්දී මිනිසුන් ඔවුන්ව සමීපවී තියුණුලෙස නිරීක්ෂණය කරන විට එය අනතුරුදායක යැයි ඔවුන්ට දැනුනොත් ඔවුන්ගේ හැසිරීම් වෙනස් වී රංචු පිටින් පළායා හැක. එම නිසා නිවැරදි ගණනයක් කිරීමට නොහැකි වේ.

    මේ අනුව, අපට මතක් වූ ඉහත කරුණු කීපය ඇතුලු මෙකී නොකී හේතු ගණනාවක් නිසා නිශ්චිත දිනයක විනාඩි 5ක නියැදියක් මගින් වන සතුන් සංගණනය කිරීම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට බොහෝ හේතු තිබේ. එම නීසා අනිවාර්යයෙන්ම මෙය ප්‍රායෝගික නොවන දුර්වල මෝඩ තකතීරු වැඩක් සහ ජනතාවගේ කාලය මුදල් සහ මහජන ධනය විනාශකල නාස්තිකාර විසුළු විගඩමක් පමණක්ම බව පැහැදිලිවම පෙනෙයි. ඒ ගැන මේ පෝස්ට් එක වගේම මම ලියපු කමෙන්ට් එක පවා වටිනා කාලය නාස්ති කිරීමක් පමණකි.

    ReplyDelete
  2. මේ සමීක්ෂණය හොඳ වැඩක්. අඩුපාඩු තියෙන්නෙ පුළුවන්. හොඳ ආරම්භයක්. විවේචන තියෙන්නෙ මේ වගේ දෙයක් කලින් වෙලා නැති නිසා.

    ReplyDelete
  3. වන සතුන්ගෙන් සිද්ද වෙන හානිය ගැන වැඩි දෙනෙකුට හිතා ගන්නවත් බෑ. එයාලට ඒ කරදරය විඳින්න සිදු වෙලා නැත්තං.
    අපි ඉන්න පමුණුව පැත්තට හිටි ගමන් රිලවු/ වඳුරු හමුදාවල් කඩා පාත් වෙනවා. විදුලි රැහැන් දිගේ, ටෙලිෆෝන් වයර් දිගේ යමින් ගහෙන් ගහට මාරු වෙමින් කොස්, කාමරංගා ගැටයක්වත් ඉතිරි නොකර කාලා දානවා. වහලෙන් වහලට පනින නිසා සමහර තැන් හානි වෙලත් එක්ක.

    අපේ පුංචි ගෙවත්තේ අවුරුදු ගණනාවකින් එකම ගස්ලබු පැලයක්වත් වවාගන්න බැරුව අත්හැර දාලායි ඉන්නේ. වඳුරෝ ඒ පැලවල කරටියම කඩා ගන්නවා. තිත්ත අඟුණ වැලේත් දළු එන්න දෙන්නේ නෑ.

    අනෙක් වසංගතේ අහිංසක පාට ලේන්නු. ජනෙල් රෙදි කන්න රුසියෝ. ඒ මදිවට ගෙදරට විදුලිය සපයන ත්‍රී ෆේස් වයරුත් ලෑටි ගාලා ලොකු කරදරයකුත් වෙන්න ගියා.
    ලේන්නුයි ගිරවුයි එකතු වෙලා කෑවට පස්සේ ඉතිරි වෙන කාමරංගා ගෙඩි කිහිපයක් විතරයි අපිට ලැබෙන්නේ.

    ප්‍රශ්නය තියෙන්නෙ මේ ඕනෑම සත්ව වර්ගයක් පමණට වඩා බෝවුණාමයි . උන්ගේ විලෝපිකයන් අඩුවීම නිසා නේද මෙහෙම වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. විලෝපිකයන් අඩුවීම තමයි ප්‍රශ්නය. ඒ වගේම කැලෑ වලට වඩා නාගරික ප්‍රදේශ වල ආහාර සුලභ වීම.

      Delete
    2. ලපයගේ අම්මට වදුරු හුකයි
      පොන්න නිමලයා එය ලෙවකයි

      Delete
  4. ඇමරිකාවේ කෘෂිකර්ම ඇමති කවුද ඉකොනො

    ReplyDelete
  5. අපගේ නැන්දා ඉකොනෝ නැන්දා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: