සමස්තයක් ලෙස ගත් විට, අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ වැඩපිළිවෙළ පිළිබඳව IMF එක අසතුටක් පෙන්වා නැහැ. මැතිවරණ වලට පෙර කියූ පරිදිම, මේ ආණ්ඩුව IMF වැඩපිළිවෙල සමඟ ඉදිරියට යමින් සිටිනවා. ඒ අතර, එම වැඩපිළිවෙල තුළ රැඳෙමින්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ඇතැම් වෙනස්කම් සිදු කරගෙන තිබෙනවා. එසේ වෙනස්කම් කරගෙන තිබෙන්නේ IMF එක සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමෙන් පසුවයි.
සමස්ත තත්ත්වය මෙසේ වුවත්, ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සිදු කර තිබෙන්නේ IMF වැඩපිළිවෙලෙහි එකඟතා නොසලකා හරිමිනුයි. මෙසේ එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වනවා මෙන්ම IMF එක විසින්ද එය එලෙසම දැක තිබෙනවා.
ඊට අමතරව, දැනට පවතින අවධමන තත්ත්වයද IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු (structural benchmarks) වලින් පිට පැනීමක්. ඒ නිසා, මේ ගැන IMF අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමට ගොස් සාකච්ඡා කරන්න සිදු වී තිබෙනවා.
මේ දෙක බැලූ බැල්මටම කරුණු දෙකක් සේ පෙනුණත්, ඇත්තටම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්.
අලුත් මහ බැංකු පණත මගින්, මුදල් ප්‍රතිපත්ති හා අදාළව, මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී තිබෙනවා. එම ස්වාධීනත්වය එලෙස දිගටම පවත්වා ගැනීමේ වැදගත්කම පිලිබඳව මෙවර IMF වාර්තාවෙහිද අවධාරණය කර තිබෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ, උද්ධමනය එකඟ වූ මට්ටමේ පවත්වා ගැනීම මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, උද්ධමනය අවශ්‍ය මට්ටමේ නැත්නම් එහි වගකීම මහ බැංකුව සතුයි.
මහ බැංකුව එකඟ වී තිබෙන්නේ උද්ධමනය 5% මට්ටමේ තියාගන්න. මෙහිදී උද්ධමනය සේ අර්ථ දක්වා තිබෙන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ කාර්තුවක හෙවත් මාස තුනක කාලයක සාමාන්‍ය අගය. එක දිගට කාර්තු දෙකක්ම එම අගය 3% මට්ටමෙන් පහළට වැටී ඇත්නම් හෝ 7% මට්ටමෙන් ඉහළට ගොස් ඇත්නම් මහ බැංකුව විසින් තමන්ගේ වගකීම ඉටු කර නැහැ.
මෙම එකඟතාවය තුළ මහ බැංකුවට සැලකිය යුතු "වාසිදායක ඉඩකඩක්" තිබෙනවා. කිසියම් මාසයක උද්ධමනය ටිකක් එහා මෙහා වුනත්, මාස තුනක සාමාන්‍ය අගය සලකද්දී බොහෝ විට මැද තැනකට එනවා. ඒ වගේම, එම අගය 5% මට්ටමේ සිට 2%ක් දක්වා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. එය එසේ නොවීනම්, ඊළඟ මාස තුනක කාලය තුළ තත්ත්වය නිවැරදි වෙන්න පුළුවන්. එහෙමත් සිදු නොවී, මාස තුනේ කාල දෙකකදීම එක දිගටම උද්ධමනයේ සාමාන්‍ය අගය 5% ඉලක්කයේ සිට 2% ඉක්මවා අඩු හෝ වැඩි වුනොත් තමයි මහ බැංකුව උද්ධමන ඉලක්කය පවත්වා ගන්න අසමත් වී ඇති සේ සැලකෙන්නේ.
පුදපු ගමන් කාපි යකා කිවුවා වගේ මහ බැංකුවට ස්වාධීනත්වය ලබා දී කාර්තු දෙකක් යන්නත් කලින්ම මහ බැංකුව විසින් උද්ධමන ඉලක්කය හා අදාළ පොරොන්දු වූ එකඟතාවය පවත්වා ගන්න අසමත් වෙලා තිබෙනවා.
මහ බැංකුව ඉහත කී උද්ධමන ඉලක්කය පවත්වා ගන්න එකඟ වී එම එකඟතාවය ගැසට් කළේ 2023 ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා. ඉන්පසු එළැඹුණු පළමු සම්පූර්ණ කාර්තුව 2024 පළමු කාර්තුව. ඒ කියන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස තුන. 2024 මාර්තු මාසයේදී උද්ධමනය 3% සීමාවෙන් පහළට ආවත්, මාස තුනේ සාමාන්‍ය අගය 4.4% මට්ටමේ තිබුණා. ඒ කියන්නේ මහ බැංකුව එම කාර්තුවේදී ඉලක්කය ලඟා කරගත්තා.
හැබැයි ඉහත තත්ත්වය දැකිය හැකි වුනේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සාමාන්‍ය උද්ධමනය 1.4% දක්වා පහත වැටිලා 2024 තුන්වන කාර්තුවේදී 0.8% දක්වා තවත් පහත වැටුණා. ඒ කියන්නේ එක දිගටම කාර්තු දෙකක්. ඒ අනුව, නිල වශයෙන් මහ බැංකුව උද්ධමන ඉලක්කය මග හැර ගත්තා.
මහ බැංකුවට මේ උද්ධමන ඉලක්කය පවත්වා ගැනීමේ වගකීම ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තුව විසින්. ඒ කියන්නේ වක්‍ර ලෙස ජනතාව විසින්. ජනතාවට වූ පොරොන්දුව ඉටු කිරීමේ වගකීමක් මහ බැංකුවට තිබෙනවා. නමුත් මහ බැංකුව විසින් ඉලක්කය මග හැර ගැනීම ජනතාව විසින් ප්‍රශ්නයක් කර ගෙන නැහැ. ඊට හේතුව, මහ බැංකුව ඉලක්කය මග හැර ගත්තේ පහළ පැත්තට වීම නිසයි. මෙයම අනෙක් අතට වුනානම්, ඒ කියන්නේ උද්ධමනය කාර්තු දෙකක් තිස්සේ එක දිගටම 7% සීමාවෙන් ඉහළ තිබුණානම්, ඒ ගැන සමාජයේ මීට වඩා ලොකු කතාබහක් ඇති වෙනවා. දිගට හරහට විවේචන එනවා.
ඔය ව්දිහට කාර්තු දෙකක්ම ඉලක්කයේ පහළ සීමාවෙන් පහළ තිබුණු උද්ධමනය 2024 හතරවන කාර්තුව වෙද්දී තවත් පහළට වැටිලා අවධමන තත්වයක් ඇති වුනා. හතරවන කාර්තුවේ සාමාන්‍ය අගය -1.5%ක්. ඒ විතරක් නෙමෙයි. 2025 ජනවාරි හා පෙබරවාරි තත්ත්වය අනුව, 2025 පළමු කාර්තුවේදී මෙය තවත් පහතට වැටෙන බව පැහැදිලියි. ඒ වගේම, 2025 දෙවන කාර්තුව තුළදී වුවද 3% -7% සීමාව තුළට නැවත පැමිණීමක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ කියන්නේ එක දිගටම කාර්තු හතරක් හෝ පහක් මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහෙනවා.
මේ විදිහේ "බරපතල" අවධමන තත්ත්වයක් ඇති වී මහ බැංකුවේ උද්ධමන ඉලක්කය ගිලිහුනේ කොහොමද?
පෙබරවාරි උද්ධමනය -4.22% දක්වා පහත වැටුණේ (4.22%ක අවධමනයක් වුනේ) කොහොමද කියන එක විමසා බැලුවොත් ගැටලුව හඳුනා ගන්න පුළුවන්. මෙම අගය හැදෙන්නේ පහත ආකාරයටයි.
විදුලි ගාස්තු අඩුවීම = (-3.87%)
පැට්‍රෝල්, ඩීසල්, භූමිතෙල් සහ ගෑස් මිල අඩුවීම = (-1.20%)
අනෙකුත් සියලුම දේවල් වල මිල වැඩිවීම = (+0.85%)
මේ මට්ටමේ අවධමනයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ විදුලි ගාස්තු විශාල ලෙස පහත වැටීම. මේ හේතුව නිසා මහ බැංකුව වගකීමෙන් නිදහස් වන්නේ නැතත්, මේ කරුණ අමතක කර අපට උද්ධමන ඉලක්කය ගිලිහීම ගැන කතා කරන්න බැහැ.
උද්ධමනය හා අදාළ IMF වැඩ පිළිවෙලේ ව්‍යුහමය මිනුම් ලකුණු මොනවාද?
ඉහත ව්‍යුහමය මිනුම් ලකුණු අනුවද, මහ බැංකුව විසින් කාර්තුවක් තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනයේ සාමාන්‍ය අගය 5% මට්ටමේ පවත්වා ගැනීම ඉලක්ක කළ යුතුයි. එහිදී IMF එක විසින් උපරිම වශයෙන් 3%ක විචලනයන් පිළිගන්නවා. ඒ කියන්නේ 2%-8% සීමාව. මෙය මහ බැංකුව විසින් "ජනතාවට" පොරොන්දු වී ඇති සීමාවට වඩා ලිහිල් සීමාවක් බැවින් මහ බැංකුව විසින් ජනතාවට වග කියන්නේනම්, එහි ප්‍රතිඵලයක් ලෙස අනිවාර්යයෙන්ම IMF කොන්දේසි ඉටුවීමක්ද සිදු වෙනවා.
කෙසේ වුවත්, මේ වන විට එක දිගට කාර්තු තුනක්ම උද්ධමනය ඉහත IMF ව්‍යුහමය මිනුම් ලකුණු වල පහළ සීමාව වන 2% මට්ටමෙන්ද පහතට වැටී අවසන්ව ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් කාර්තු දෙක තුළද එලෙසම පැවතිය හැකියි. විදුලි ගාස්තු සංශෝධන මෙම තත්ත්වයට විශාල ලෙස දායක වී තිබෙනවා.
පසුගිය වසරේ මාර්තු හා ජූලි මාස වලදී සිදු කළ විදුලි ගාස්තු සංශෝධන හේතුවෙන් විදුලි ගාස්තු වල 39%ක පමණ විශාල අඩුවීමක් සිදු වී තිබෙනවා. මෙවැනි සංශෝධනයක් නිසා උද්ධමනය මත සිදු වන බලපෑම සාමාන්‍යයෙන් වසරක කාලයක් තිබී ඉවත්ව යනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුව විසින් ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?
ඇත්ත වශයෙන්ම මෙවැනි තත්ත්වයක් හමුවේ මහ බැංකුවකට කළ හැකි හොඳම දෙය කිසිවක් නොකර සිටීමයි. එයින් උද්ධමන ඉලක්කය ගිලිහෙන නමුත් එය වැළැක්වීම සඳහා මහ බැංකුවට කිසිවක් කළ නොහැකිවාක් මෙන්ම එසේ කරන්නට යාමෙන් වඩා නරක අතුරු ප්‍රතිඵල අත් විඳින්නට සිදු වෙනවා. ඊට හේතුව විදුලි ගාස්තු ඉහළ ගොස් තිබෙන්නේ වෙළඳපොළ සාධක අනුව ඉල්ලුම ඉහළ යාම නිසා හෝ සැපයුම අඩුවීම නිසා නොව රාජ්‍ය මැදිහත්වීමක් හේතුවෙන් වීමයි.
විකල්ප ප්‍රතිචාරයක් ලෙස මහ බැංකුවට කළ හැක්කේ මුදල් සැපයුම වැඩි කිරීමයි. එහෙත් එයින් උද්ධමනය ඇති වීමට වසරකට වඩා කාලයක් ගත වන බැවින් අවධමන තත්ත්වයෙහි වෙනසක් සිදු වන්නේ නැහැ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ගයක අවසන් ප්‍රතිඵලය වන්නේ වසරකට පසු විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ස්වභාවික ලෙසම ඉවත්ව යද්දී, මුදල් සැපයුම වැඩි කිරීමේ ප්‍රතිඵලද ලැබෙන්නට පටන්ගෙන උද්ධමනය අවශ්‍ය මට්ටම ඉක්මවා ඉහළ යාමයි. මෙම තත්ත්වය තුළ, මහ බැංකුව විසින් අවධමනය හමුවේ "කිසිවක් නොකර සිටීම" නිවැරදි ක්‍රියාමාර්ගයක්.
ඇත්ත වශයෙන්ම, මගේ පෞද්ගලික අදහස වන්නේ පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු සංශෝධන වුවද සිදු නොකර සිටියානම් වඩා හොඳ බවයි. එමගින් පාරිභෝගිකයින්ට සහනයක් ලැබුණු බව ඇත්තක් වුවත්, සාමාන්‍යයෙන් මෙවැනි මිල අඩුවීමකින් ලැබෙන සැනසීමට වඩා මිල වැඩිවීමකදී දැනෙන වේදනාව වැඩියි. ඒ නිසාම, මිල අඩුවීමක දේශපාලන වාසියට වඩා මිල වැඩි කිරීමක දේශපාලන හානියද වැඩියි. මිල මෙපමණ අඩු නොකළේනම් කාලයක් මිල වැඩි නොකර සිටීමට අවකාශයක් හැදෙනවා.
ලංවිම ලාබ "ඕනෑවට වඩා" තිබුණේනම් එම අමතර අරමුදල් ආපතික අරමුදල් සංචිතයක් (contingency fund) ලෙස පවත්වා ගැනීම මගින් පසුකාලීනව විදුලි ගාස්තු වැඩි කරන්නට සිදු වීමේ අවදානම අඩු කර ගත හැකිව තිබුණා. එය පාරිභෝගිකයින්ගේ පැත්තෙන් මෙන්ම දේශපාලනිකවද වාසිදායක ප්‍රවේශයක්. කෙසේ වුවද, මැතිවරණ වසරක් තුළ පැවති ආණ්ඩුවේ දේශපාලන අභිලාශ අනුව විදුලි ගාස්තු අඩු කිරීමට එම ආණ්ඩුව පෙළඹීම තේරුම් ගන්න අසීරු නැහැ.
එහෙත්, ඉහත කරුණ හා අදාළව පසුගිය ආණ්ඩුව විවේචනය කිරීමට ඉඩක් නැත්තේ එහිදී එම ආණ්ඩුව විසින් විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ IMF වැඩ සටහනෙහි එකඟතා අනුව විදුලි ගාස්තුව පිරිවැය හා ගලපමින් බැවිනුයි. අදාළ කාලයේදී ලංවිම ලාබ උපයා ණයද ආපසු ගෙවා තිබෙනවා. ඒ නිසා, එමගින් මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මත සිදු වූ බලපෑම අපට නොසලකා හරින්නට සිදු වෙනවා.
අලුත් ආණ්ඩුව විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ නිර්දේශ පරිදි ජනවාරි මාසයේදී 20%කින් පමණ විශාල ලෙස විදුලි ගාස්තු අඩු කර තිබෙන්නේ පෙර වසරේදී මෙන් පිරිවැය හා ගලපමින් නෙමෙයි. මෙය මහ බැංකුවේ පැත්තෙන් බැලුවොත් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි දෙයක්. පසුගිය වසරේ සිදු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ බලපෑම ඉවත්ව යාමට නියමිතව තිබුණු කාලයේදී නැවත වරක් විදුලි ගාස්තු අඩු කිරීම "අවධමනය අලුත් කිරීමක්".
කෙසේ වුවද, අලුත් ආණ්ඩුවේ මේ තීරණය සැලකිය හැක්කේ අත්දැකීම් අඩුකම නිසා ගත් අදූරදර්ශී තීරණයක් ලෙසයි. මෙම තීරණය අනාගතයේදී දේශපාලනිකව ආණ්ඩුවට පාරා වලල්ලක් වීමට නියමිතයි.
දැනටමත් IMF එක සමඟ එකඟ වී ඇති පරිදි, ඉතා ඉක්මණින් විදුලි ගාස්තු නැවතත් පිරිවැය හා ගලපන්නට සිදු වනු ඇති අතර බොහෝ විට එළඹෙන අප්‍රේල් මාසයේදී විදුලි ගාස්තු ඉහළ යාමක් සිදු විය හැකියි. විදුලි ගාස්තු අඩුවීමකදී ආණ්ඩුව අගය කිරීමක් ලොකුවට සිදු නොවීම හා විදුලි ගාස්තු සුළුවෙන් හෝ ඉහළ යද්දී ආණ්ඩුව අප්‍රසාදයට පත් වීම සාමාන්‍ය මිනිස් ස්වභාවය අනුව අපේක්ෂා කළ හැකි දෙයයි. ඇතැම් විට ඉදිරි කාලයේදී නැවත නැවතත් විදුලි ගාස්තු ඉහළ දමන්නට වුවද සිදු විය හැකියි.
විදුලි ගාස්තු අඩුවීම නිසා ඇති වූ අවධමනයේ රඟ හරියටම දැකගන්නට ලැබෙනු ඇත්තේද යම් කාල පමාවක් සහිතවයි. බොහෝ විට සිදු වීමට ඉඩ තිබෙන දෙයක් වන්නේ 2026 පළමු මාස හය තුළ උද්ධමනය 7% සීමාව ඉක්මවා යාමයි. දැන් අවධමනය හමුවේ මහ බැංකුවට කිසිවක් නොකර ඉන්නට සිදු වී ඇති අයුරින්ම තවත් වසරකට පසු උද්ධමනය තාවකලිකව ඉහළ ගොස් මහ බැංකුවට සහ ආණ්ඩුවට විවේචන එල්ල වන විටද මහ බැංකුවට කරන්නට සිදු වන්නේ කිසිවක්ම නොකර සිටීම පමණයි.
පිරිවැය නොසලකා හරිමින් ජනවාරි මාසයේදී විදුලි ගාස්තු අඩු කිරීම සහ එමගින් IMF වැඩපිළිවෙලෙහි එකඟතා වලින් පිට පැනීම වඩා විශාල හා දිගුකාලීන ප්‍රශ්නයකට හේතු විය හැකි කරුණක් වන්නේ කෙසේද?
ලංවිම ඇතුළු රාජ්‍ය සංස්ථා යම් කාලයක් එක දිගට මේ අයුරින් පාඩු පිට පවත්වාගෙන යා හැකියි. ගිණුම්කරණ ලාබ වාර්තා කළද, ආර්ථික ලාබ නැත්නම් සිදු වන්නේ පාඩුවක්. ආර්ථික ලාබ ඇති සේ සැලකිය හැක්කේ යොදවා ඇති ප්‍රාග්ධනය වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභ ලැබෙන්නේනම් පමණයි. ආර්ථික ලාබ නොමැතිව පවත්වා ගෙන යන ආයතනයක් යම් අවස්ථාවක මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යා නොහැකි තරමට හිර වෙනවා. එවිට එවැනි ආයතන "බේරා ගන්නට" සිදු වන්නේ බදු මුදල් පොම්ප කිරීම මගින් පමණයි. IMF එක දැන් සිටම හඳුනා ගෙන තිබෙන්නේ එම අවදානමයි.
ලිපිය ආරම්භයේදී සඳහන් කළ පරිදි සහ ලිපියේ විස්තර කළ පරිදි වත්මන් අවධමන තත්ත්වය සහ විදුලි ගාස්තු සංශෝධන අතර සෘජු සම්බන්ධයක් තිබෙනවා. අවධමනය බොහෝ දෙනෙකු බරපතල සේ නොදැක්කත් මෙහිදී සිදු වන්නේ සුනාමියට පෙර වතුර මට්ටම පහත වැටීම වැනි දෙයක්. වත්මන් අවධමනයේ ප්‍රතිඵලයක් ලෙස 2026 මුලදී උද්ධමන සුනාමියක් නොපැමිණෙනු ඇති නමුත් අඩු වශයෙන් ලොකු රැල්ලක් පැමිණීම දැන් සිටම දැකිය හැකි දෙයක්. අපේක්ෂිත පිරිවැය හා ගලපමින් විදුලි ගාස්තු සංශෝධනය ඉක්මණින් ආපසු හරවන තරමට එම රැල්ලේ වේගය අඩු කර ගැනීමට හෝ රැල්ල පැමිණීම වලක්වා ගැනීමට වැඩි ඉඩකඩක් තවමත් තිබෙනවා. මෙම සටහන ලියා පළ කරන්නේ ඒ සඳහා වසරක පමණ කාලයක් තිබියදී.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.