වෙබ් ලිපිනය:

Sunday, March 9, 2025

රිළවුන් වැඩි වුනත් එකයි...


එක කතාවක වඳුරෙක් ගමනක් යනවා. ඔහොම යද්දී ගඟක් හමු වෙනවා. දැන් ප්‍රශ්නය ගඟෙන් එහාට යන්නේ කොහොමද කියන එක. 

වඳුරා ගඟෙන් එගොඩ විය හැකි ක්‍රමයක් ගැන කල්පනා කරද්දී ගඟේ කිඹුලන් සිටින බවත් පේනවා. දැන් වැඩේ තවත් සංකීර්ණයි!

වඳුරාට පීනන්න බැහැ. ගඟෙන් එහාට පනින්නත් බැහැ. ලොකු ගඟක්. හැබැයි වඳුරා වැඩේ අතාරින්නේ නැහැ. වඳුරා කරන්නේ ගඟ අයිනේ ඉන්න කිඹුලෙක්ව කතාවට අල්ල ගන්න එක.

"කිඹුල් හාමි, මේ ගඟේ කිඹුල් හාමි තනියමද ඉන්නේ?"

"මොන පිස්සුද? මේ ගඟේ කිඹුල්ලු සිය ගාණක් ඉන්නවා!"

"ඒකනම් කීයටවත් වෙන්න බැහැ. කැලේ ඉන්න වඳුරෝ තරමට ගඟේ කිඹුල්ලු ඉන්න විදිහක් නැහැ."

"මොකද බැරි? කැලේ වඳුරන්ට වඩා ගඟේ කිඹුල්ලු වැඩියි!"

"මමනම් කීයටවත් පිළිගන්නේ නැහැ!"

වඳුරා කිඹුලත් එක්ක වාදයක පැටලෙනවා.

"හරි කැලේ වඳුරෝ කීයක් ඉන්නවද?"

කාලෙකට හරියකට සංගණනයක් කරලා නැති නිසා වඳුරා ඔය ගණන දන්නේ නැහැ. හැබැයි මේ වඳුරාට නොදන්නා දේවල් වුනත් දන්නවා වගේ පෙන්නලා වෙනත් අයව රවට්ටන එක ගැන හොඳ පළපුරුද්දක් තියෙනවා. 

"හරියටම එකසිය හැටක්. මේ මාත් එක්ක!"

වඳුරා ඔය වගේ කටට ආපු ගණනක් කියලා දමනවා. 

"අයියෝ එකසිය හැටද? ගඟේ කිඹුල්ලු ඊට වඩා ගොඩක් වැඩියි!"

"ඔය කිවුවට පේන්න නැහැනේ. කොහොමද ඔප්පු කරන්නේ?"

ඔන්න දැන් වඳුරා සහ කිඹුලා එකඟතාවයකට එනවා. කිඹුලාට තියෙන්නේ ගඟේ ඉන්න සියලුම කිඹුල්ලුන්ට කතා කරලා උන්ව ගඟ හරහට පෝලිම් ගස්සන එක. කොහෙවත් ඉන්න වඳුරෙකුට සෙකන්ඩ් වෙන්න කැමති නැති නිසා කිඹුල්ලු ටික ගඟ හරහට පෝලිමට එකතු වෙනවා. ගඟේ කිඹුල්ලු ගණන ඇත්තටම එකසිය හැටට වඩා වැඩියි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් මැච් එකක්. කොහොම හරි දැන් ගඟ හරහට කිඹුල් පාලමක්!

වඳුරාට තියෙන්නේ කිඹුල්ලු ටික ගණන් කරන එක. වඳුරා කිඹුල්ලුන්ගේ පිටවල් උඩින් අඩිය තියමින් කිඹුල්ලු ගණන් කරනවා. අන්තිම කිඹුලාව ගණන් කරලා ඉවර වෙද්දී වඳුරා එහා පැත්තේ!

"දැක්කා නේද? වඳුරන්ට වඩා කිඹුලෝ වැඩියි!"

කිඹුලා කින්ඩි හිනාවක් දාලා වඳුරාගෙන් අහනවා. කිඹුලන්ට කිට්ටු වෙන්න බැරි දුරකට ගියාට පස්සේ වඳුරාත් කින්ඩි හිනාවක් දමනවා.

"වඳුරන් වැඩි වුනත් එකයි 

කිඹුලන් වැඩි වුනත් එකයි 

මට ඕනෑ කළේ එකයි

එගොඩට පැන ගන්න එකයි"

ඔය පරණ කතාව මතක් වුනේ ලංකාවේ රිලා සමීක්ෂණයත් එක්ක. සමීක්ෂණ ප්‍රතිඵල ආවාට පස්සේ වැඩිපුර ඉන්නේ රිලවුද නැත්නම් මිනිස්සුද කියලා හරියටම දැනගන්න පුළුවන් වෙයි. කොහොම වුනත් වඩා වැදගත් ගඟෙන් එගොඩට පැන ගන්න එක මිසක් රටේ රිලවු කීයක් ඉන්නවද කියන එක නෙමෙයි.

රටේ රිලා ප්‍රශ්නයක් තිබෙන බව බොහෝ දුරට ප්‍රචලිත පොදු අදහසක්. රට පුරා විදුලිය බිඳ වැටීම පැත්තකින් තිබ්බත්, පොල් ගණන් යාම පිළිබඳව චෝදනා එල්ල වුනේ රිලවුන්ට. ඒ කතාව ඇත්තක් නොවුනත්, රිලවුන් ඇතුළු වන සතුන් අස්වනු පාලු කිරීමේ ප්‍රශ්නයක් ලංකාවේ තියෙනවා. 

හාල්, පොල් ප්‍රශ්න ගැන දැන් ඒ තරම්ම කතා කෙරෙන්නේ නැහැ. මිල ගණන් වල ලොකු වෙනසක් වී නැතත් මිනිස්සු පවතින තත්ත්වයට පුරුදු වෙලා. ආණ්ඩුවත් ප්‍රශ්නය වෙළඳපොළට බාර දීලා හිමිහිට පැත්තකට වෙලා ඉන්නවා. ඇත්තටම වෙන කරන්න දෙයකුත් නැහැ. 

හාල් ප්‍රශ්නය සැපයුම විචලනය වීමේ ප්‍රශ්නයක් මිසක් අතරමැදියන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසාම, අස්වනු එක්රැස් වෙද්දී මිල ස්ථාවර වන බව පැහැදිලි කරුණක්. ආණ්ඩුව ප්‍රශ්නය විසඳීම සඳහා මැදිහත්වීම් කරන බවක් පෙන්නුවත්, ප්‍රදර්ශනාත්මක ලෙස කරපු දේවල් මිසක් වෙළඳපොළ බරපතල ලෙස විකෘති වන දේවල් කරන්න ගියේ නැහැ. මිල පාලනය තිබුණේ බොහෝ දුරට නමට පමණයි. ඒ නිසාම, ප්‍රශ්නය ඒ තරම්ම අවුල් වුනේ නැහැ.

පොල් ප්‍රශ්නයත් ඇත්තටම රිලා ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම, සැපයුම බරපතල ලෙස අඩු වීම නිසා ඇති වූ ප්‍රශ්නයකුත් නෙමෙයි. පසුගිය දෙවසර පොල් සැපයුම විශාල ලෙස ඉහළ ගිය දෙවසරක්. පොල් සැපයුම වැඩිවීම සහ රටේ විණිමය අර්බුදයත් එක්ක පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පසුගිය දෙවසර තුළ විශාල ලෙස ඉහළ ගියා. ඒ වගේම එම නිෂ්පාදන අපනයනද ඉහළ ගියා. නමුත් පොල් සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් වැඩියෙන් තිබුණු නිසා දේශීය පොල් මිල දිගටම අඩු මට්ටමක තිබුණා.

දැන් සැපයුමේ යම් අඩුවීමක් සිදු වී තිබෙනවා. නමුත් එය පෙර දෙවසරට සාපේක්ෂව සිදු වූ අඩුවීමක් මිසක් දිගුකාලීනව පැවති තත්ත්වයට සාපේක්ෂව සැපයුම අඩුවීමක් නෙමෙයි. දේශීය මිල ගණන් ඉහළ ගොස් තියෙන්නේ ඒ සැපයුම අගය එකතු කළ නිෂ්පාදන සඳහා අවශ්‍ය වන නිසා. මේ තත්ත්වය තුළ ආණ්ඩුව විසින් පොල් නිෂ්පාදන ආනයනය කරන්න ගත් තීරණය කරුණු කීපයක් නිසාම හොඳ තීරණයක්. 

පොල් සම්බෝල සහ කිරි හොදි හා අදාළව බොහෝ දෙනෙකුගේ සමච්චලයට ලක් වූ ප්‍රකාශය සිදු කළ විදිහේ අවුලක් තිබුණත් එය මෝඩ කතාවක්ම නෙමෙයි. දිගුකාලීනව ආහාර පිසීමේදී අමු පොල් වෙනුවට පොල් කිරි ටින් සහ ශීත කළ පොල් ආදේශ වීම සිදු විය යුතු දෙයක් වගේම සිදු වීම නොවැලැක්විය හැකි දෙයක්. ඒ නිසා, අනාගතය ගැන සැලසුම් කරද්දී පොල් සම්බෝල කිරි හොදි මානසිකත්වයේ ඉඳලා සැලසුම් හැදිය යුතු නැහැ. ඒ වගේම, පොල් සම්බෝල සහ කිරි හොදි වල සංස්කෘතික මානය බැහැර කර කටයුතු කරන්නත් බැහැ. 

ආහාර පිසීමේදී පොල් බිඳ පොල් ගෑම විශාල ශ්‍රම නාස්තියක්. නමුත් මෙය වැඩිපුරම බලපාන්නේ රැකියා කරන කාන්තාවන්ට. කාලය තිබෙන අයට පොල් ගෑම සංස්කෘතික කටයුත්තක් සහ විනෝදාංශයක්. වයස්ගත ජෝඩු තනිව ඉන්න ගොඩක් ගෙවල් වල ගැහැණිය විසින් තනිව ඉවුම් පිහුම් කටයුතු කරද්දී පිරිමියා එයට යම් දායකත්වයක් ලබා දෙන එක් ක්‍රමයක් වන්නේ පොල් ටික ගාලා දෙන එකයි. ලංකාවේ මේ වගේ පවුල් දැන් ගොඩක් තිබෙනවා වගේම, එවැනි පවුල් වැඩි වෙමින් තිබෙනවා. ඔය වගේ විශ්‍රාමිකයින්ට කාලය ගත කළ හැකි දේ සොයා ගැනීමේ ප්‍රශ්නයක් මිසක් කාලය සොයා ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. නමුත් උදෙන්ම අවදි වී වැඩට ගොස් රෑ බෝ වී ආපසු එන යුවලක් හා අදාළව තත්ත්වය වෙනස්.

ඊළඟ ප්‍රශ්නය පොල් සම්බෝලයක හෝ කිරි හොද්දක ගුණාත්මක භාවය. හරියකට පොල් සම්බෝලයක් කිරි හොද්දක් හදන කෙනෙක් ඒ සඳහා ඕනෑම අහමු පොල් ගෙඩියක් තෝරා ගන්නේ නැහැ. කිරි හොද්දකට හෝ සම්බෝලයකට පොල් ගෙඩියක් තෝරා ගැනීමේ කලාවක් තිබෙනවා. හැබැයි කාර්ය බහුලත්වය එක්ක මේ දේවල් ක්‍රමයෙන් වෙනස් වීමත් නොවැලැක්විය හැකියි.

ලංකාවේ මිනිස්සු ගෙවල් වල පොල් පරිභෝජනය කරන එක, විශේෂයෙන්ම පොල් පොල් ලෙසම මිල දී ගැනීම, බලහත්කාරයෙන් නවත්වන්න බැහැ. ඔවුන් ආදේශක වලට ක්‍රමයෙන් පුරුදු වෙයි. නමුත් එය ඔවුන්ගේ තේරීම් පිළිබඳ ප්‍රශ්නයක්. මෙවැන්නක් දිරිමත් කළ යුතු නිවැරදි ක්‍රමය වන්නේ තේරීම් වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීමයි.

ලංකාවේ භාවිතා වන පිටි කළ පොල් කිරි වලින් හදන කෑම වලින් සාමාන්‍ය පොල් කිරි වල රසය ගන්න අමාරුයි. ආදේශක ප්‍රචලිත වෙන්නනම්, ඒවා හොඳ ආදේශක විය යුතුයි. පිටි කළ පොල් කිරි වලට සාපේක්ෂව බලද්දී පොල් කිරි ටින් වල ගුණාත්මක භාවය ගොඩක් ඉහළයි. පොල් කිරි ආශ්‍රිත නිෂ්පාදන හා අදාළව තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. 

ලංකාවේ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා කළ යුත්තේ හොඳ ආනයන ආදේශක රටට එන්න ඉඩ හැර ඒවා සමඟ තරඟයක් පවත්වා ගැනීමයි. මෙම කර්මාන්තය ලංකාවට ස්වභාවික වාසියක් තිබෙන කර්මාන්තයක් නිසා ලංකාවට මෙවැනි තරඟයකින් හානියක් සිදු වෙන්නේ නැහැ. අපනයන වෙළඳපොළ ගැන හිතනවානම් කොහොමටත් මේ තරඟයට මුහුණ දෙන්න වෙනවා. 

අඩු මිලට හොඳ ආනයන ආදේශක රටට එන තරමට, ඒ හා තරඟ කළ හැකි දේශීය නිෂ්පාදන රට ඇතුළේ හැදෙයි. ඒ වගේම, දේශීය පාරිභෝගිකයා වැඩි වැඩියෙන් මේ ආදේශක වලට පුරුදු වෙයි. වරින් වර සිදු වන සැපයුම් විචලන නිසා මිල විශාල ලෙස උච්ඡාවචනය වීමේ ප්‍රශ්නයට දිගුකාලීන විසඳුම වන්නේද පොල් සඳහා තිබෙන අගය එකතු කළ ආදේශක වලට වැඩි වැඩියෙන් පුරුදු වීමයි. 

පොල් මිල වැඩි වීමට හේතුව රිලා ප්‍රශ්නය නොවුනත් රිලා ප්‍රශ්නයක් රටේ තිබෙනවා. ඒ ගැන කිසියම් තක්සේරුවක් කිරීම සඳහා රිලා ගණනයක් කිරීම නරක දෙයක් නෙමෙයි. මේ කරන්න යන්නේ රිලා සංගණනයක් නෙමෙයි. ඒ වගේම, විද්‍යාත්මක නියැදි සමීක්ෂණයක් බවක් පෙනෙන්නෙත් නැහැ. නමුත් මේ ක්‍රමය දළ ඇස්තමේන්තුවක් සකස් කර ගැනීම සඳහා යොදා ගැනෙන ප්‍රචලිත ක්‍රමයක්. 

එකතු කරගන්නා දත්ත සහ එම දත්ත එකතු කරගන්නා ප්‍රදේශ පිළිබඳ නිශ්චිත තොරතුරු තිබේනම් මෙවැනි අහඹු නොවන දත්ත අනුසාරයෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කර ගත හැකියි. මැතිවරණ වලට පෙර සුදත්ත වැනි අය මත විමසුම් සමීක්ෂණ කළේ මීටත් වඩා අවිධිමත් ලෙසයි. නමුත් එම දත්ත ඇසුරෙන් වුවද හොඳ ඇස්තමේන්තුවක් සකස් කිරීමේ හැකියාවක් තිබුණා. දැන් සිදු කරන්නට යන ආකාරයේ ගණනයක් කිසියම් කාලයකට පසුව එම ස්ථාන වලදීම නැවත සිදු කිරීම මගින් ඇස්තමේන්තුවේ නිරවද්‍යතාවය විශාල ලෙස වැඩි කර ගත හැකියි. ඒ සඳහා යොදා ගන්නා සංඛ්‍යානමය ක්‍රමවේද තිබෙනවා. 

8 comments:

  1. ඉකොනොමැට්ටාත් ලංකාවේ ආණ්ඩුවෙන් ආතල් ගන්න පටන් අරගෙන, එහෙම කරන්න එපා ඉතින් සහෝදරවරු පවු නේ, මේ එයාලගේ පළවෙනි සහ අන්තිම අවස්ථාව, ඊළඟට එයාලගේ පක්ෂෙත් එක්ක සම්පුර්ණයෙන්ම විනාශ වෙලා යාමට නියමිතයිනේ.

    ඇත්තටම රනිල් වික්‍රමසිංහ දෙවන ටර්ම් එකට අනුර දිසානායක සහෝදරයාව එලවලා බලයට පත්වන දවස කවදා විතර වේවිද? මම හිතනව 2025 මැද භාගය හෝ මේ අවුරුද්ද අන්තිමට විය යුතුයි කියලා. හැබැයි ගියපාර වගේ අරගල මගුල් කරලා රට විනාශ නොකර කරන දෙයක් කතා බහ කරලා ස්මූත් විදියට බලය හුවමාරුවක් කරගන්න රට විනාශ නොකර මොකද අන්තිමට අහක ඉන්න අපි වගේ අහිංසක මිනිස්සුන්ට තමයි ඕකෙන් විශාලතම හානිය වෙන්‍නේ ලොක්කෝ ඇමතිලාගේ ගෙවල් ගිනි තිබ්බත් ඒවටත් උන් ඊට වඩා වන්දි අයකරගෙන ගොඩ යනවානේ, අපටනේ ඒකෙනුත් කෙළවෙන්නේ, මුදලේ වටිනාකම නැතිවීම අධි උද්ධමනය බදු බර පෝලිම් උද්ඝෝෂණ නිසා කටු කෑම වගේ මේ සේරම අසරණ පුරවැසියන්ට තමයි ඉතින්

    ඇත්තටම මම ගිය වසරේ සැප්තැම්බර් වල විතර අර ලංකාවේ ඡන්දයට පෙර මේ බ්ලෝගයේ කමෙන්ටුවක් දාලා කිව්ව විදිහටම ලංකාවේ ජනාධිපතිවරයා පත්කරන එක වෙනුවෙන් මේ කෙහෙල් මල් මැතිවරණ වීගඩම් නොතියා ඇමරිකා එක්සත් ජනපදයේ ජනපතිවරණයට පසුව පත්වන ජනාධිපතිවරයාට ලංකාවේ ජනාධිපතිවරයා පත්කිරීමට බලය නිල බලයක් ලෙස ලැබෙන පරිදි (ගවනර් කෙනෙක් විදියට) ලංකාවේ (සහ එක්සත් ජනපදයේත් if required) මැතිවරණ ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනයක් කරන එක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්ද කියල හොයල බලන්න පුළුවන්ද? ලංකාවේ ආණ්ඩුව කැබීනට් මණ්ඩලය සහ මහබැංකුව අධිපති ඇතුලුව වැදගත් තනතුරු සියල්ල එක්සත් ජනපදය භාරතයෙන් ද විමසා බලා ඔවුන්ට අවශ්‍ය අයව පත්කරන වීදියට නිල වශයෙන්ම කරන්න පුළුවන් නේද? විපක්ෂය පත්කිරීමට ඕන නම් චීනය රුසියාව වගේ රටවලට ඉඩ දෙන්න පුළුවන්. එහෙම කරානම් ලංකාවේ බහුතර අනවශ්‍ය ප්‍රශ්න ගොඩක්ම අඩුකර ගැනීමට හැකිවේවි. එහෙම නේද?

    ReplyDelete
  2. ඉකොනො මහත්තයා රිලවෙක්ද පොල් ගහක ලැගන් ඉන්න

    ReplyDelete
  3. රිලවුන් අලියන් හා එකතුව පොල්
    හදාපු තරමක් අවුල් හා කචල්
    නිවිලද නිවලද වෙලාද නෝමල්
    අපි නං ඉන්නේ වැඩ පෙන්වනකල්

    ReplyDelete
  4. I also agree that this counting needs to start at some point, even though most of the public sees it as a joke. however, a point that many concerned people are making is, what if these animals do not show up at the given time? they might come in the eve or might not show up at all on that day. rather than spending just 5 minutes on a particular day, don’t you think it’s more practical to allocate a quantitative & flexible time each day, for about a week or so, and then get the average of the counts?

    one thing I like about this blog is that most of the posts are driven by facts and methodology, rather than the author’s own political views or agenda. so, thank you for your efforts and the time spent on these writeups. much appreciated, pls keep on writing!

    ReplyDelete
    Replies
    1. This is the correct method. Technically, you should count them at a specific point in time like 9am. A 5-minute interval is sufficiently short to avoid double counts, I think, but it still can cause some over estimations. Considering that counting 20-30 animals in 1-minute is harder (though that will be rare), 5-minutes is fine but it shouldn't be a longer interval. This is a survey, not a census. You do not need to count all the animals. If you cover a 65 sqkm area covering small blocks all over the county, and the count is x, 1000x is an approximate count of animals within the entire 65,000 sqkm. But we have the random area assumption here and the selected blocks my not be random. The error due to that can be corrected though a second count at a different day. However, the same blocks and the same time slot should be used. If you want to find the count at a different time, additional measurements are needed.

      Delete
    2. thanks for clarifying! I understood the rationale behind it...

      Delete
  5. 'ලංකාවේ පොල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන දිරිමත් කිරීම සඳහා කළ යුත්තේ හොඳ ආනයන ආදේශක රටට එන්න ඉඩ හැර ඒවා සමඟ තරඟයක් පවත්වා ගැනීමයි.'

    ආනයන කරන්නේ ඉකොනෝ ඇමරිකාවේ ලැට් හෝදලා හම්බෙන සල්ලි වලින්ද? නිකන් ගොන් කතා කියන්න එපා මරි මෝඩ ප්‍රයෝගික නැති පොතේ ගුරු ඉකොනෝ.

    ReplyDelete
  6. කරුණු පැහැදිලි කිරීමේදී ඔබගේ මද්‍යයස්තභාවය අගය කරමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: