කාලයක් තිස්සේ ආදායම් බදු සහනයකට යටත්ව පැවති සේවා අපනයන ආදායම් මතද ආදායම් බදු අය කිරීමේ තීරණයත් එක්ක පැතිරෙන විවිධ දුර්මත අතරින් එකක් වන්නේ ශ්‍රමික ප්‍රේෂණ මත බද්දක් පනවා ඇති බවයි. නමුත් ඇත්තටම ශ්‍රමික ප්‍රේෂණ මත කිසිදු බද්දක් පනවා නැහැ. සේවා අපනයන ආදායම් කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ නෙමෙයි.
කිසියම් කාලයක් තුළ රටට ලැබෙන, ආපසු නොයන විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ ජංගම ගිණුමේ. මේ අයුරින් ජංගම ගිණුමේ වාර්තා වන ලැබීම් රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය ලෙස හඳුන්වන්න පුළුවන්. ණය, ආයෝජන වැනි ආපසු යන හෝ යා හැකි විදේශ විණිමය ලැබීම් වාර්තා කරන්නේ මූල්‍ය ගිණුමේ. ඒවා රටේ කවුරු හෝ විසින් ඉපැයූ විදේශ විණිමය නෙමෙයි. ලංකාවේ තිබෙන විදේශිකයින්ට අයිති වත්කම්. ලංකාවේ විදේශ බැරකම්.
ජංගම ගිණුමේ උප ගිණුම් හතරක් තිබෙනවා. මේ උප ගිණුම් ගැන පෙර සටහන් ගණනාවක විස්තර කර තිබෙනවා. ඒ එක් එක් ගිණුමේ ලැබීම් පැත්තක් සහ ගෙවීම් පැත්තක් තිබෙනවා. ගෙවීම් පැත්තේ තිබෙන්නේ නැවත ආපසු නොපැමිණෙන ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය. නැවත ආපසු පැමිණෙන ලෙස හෝ පැමිණිය හැකි ලෙස රටෙන් එළියට යන විදේශ විණිමය ඇත්නම් ඒවා මූල්‍ය ගිණුමේ ගෙවීම් පැත්තේ වාර්තා වෙනවා.
මේ සටහනෙහි අවධානය යොමු කරන්නේ ජංගම ගිණුමේ ලැබීම් පැත්තට පමණයි. එම ලැබීම් කොටස ඒවා වාර්තා වන උප ගිණුම් අනුව මෙලෙස වර්ග කළ හැකියි.
1. භාණ්ඩ ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ කිසියම් භාණ්ඩයක් රට තුළ නිපදවා අපනයනය කිරීමෙන් ලැබෙන විදේශ විණිමය ආදායම්.
2. සේවා ගිණුමේ ලැබීම්: මෙහි සටහන් වන්නේ විදේශිකයෙකුට කිසියම් සේවාවක් සැපයීමෙන්, එනම් සේවා අපනයනය මගින් ලැබෙන විදේශ විණිමය ආදායම්. මේ කොටස පසුව තව දුරටත් විස්තර කරන්නම්.
3. ප්‍රාථමික ආදායම් ගිණුමේ ලැබීම්: මෙහි ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ශ්‍රී ලාංකිකයින් සතු වත්කම් විදේශ රටවල ආයෝජනය කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ. උදාහරණයක් ලෙස ලංකාවේ නිල විදේශ සංචිත ආයෝජනය කර ලබා ගන්නා ආදායම්.
4. ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්: "ශ්‍රමික ප්‍රේෂණ" ලෙස ලංකාවේ වැරදියට හඳුන්වන්නේ මෙම ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම්. එම ලැබීම් වලින් වැඩි කොටසක් ඇත්තටම "ශ්‍රමික ප්‍රේෂණ" කියා කියන්න පුළුවන් වුනත් මුළු ප්‍රමාණයම ශ්‍රමික ප්‍රේෂණ කියා කියන්න බැහැ. මේ කොටසේ වාර්තා වෙන්නේ විදේශිකයෙකු හෝ විදේශයක පදිංචි අයෙකු විසින් ආපසු ලබා ගැනීමේ අරමුණක් නොමැතිව ශ්‍රී ලංකාවේ පදිංචි අයෙකුට එවන මුදල්.
පහත තිබෙන්නේ 2024 පළමු මාස නවය ඇතුළත මේ එක් එක් උප ගිණුමට ලැබුණු විදේශ විණිමය ලැබීම් ප්‍රමාණය.
භාණ්ඩ ගිණුම - ඩොලර් මිලියන 9,518
සේවා ගිණුම - ඩොලර් මිලියන 5,115
ප්‍රාථමික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 427
ද්වීතියික ආදායම් ගිණුම - ඩොලර් මිලියන 4,851
එකතුව (ජංගම ගිණුමේ ලැබීම්) - ඩොලර් මිලියන 19,901
මේ අනුව පෙනෙන්නේ ජංගම ගිණුමේ මුළු විදේශ විණිමය ලැබීම් වලින් 26%ක් පමණම සේවා අපනයන ආදායම් බවයි.
සේවා අපනයන ආදායම් ලෙස ලැබී තිබෙන ඩොලර් මිලියන 5,115ක මුදලෙන් ඩොලර් මිලියන 2,348ක්ම ලැබී තිබෙන්නේ සංචාරක සේවා සැපයීම මගින්. නාවුක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 821ක් හා ගුවන් ප්‍රවාහන සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 478ක් ඇතුළුව ප්‍රවාහන සේවා වලින් ඩොලර් මිලියන 1,300ක් ලැබී තිබෙනවා. මෙම ආදායම් මත සෘජුව හා වක්‍රව බදු අය කෙරෙනවා. මීට අමතරව, පරිගණක සේවා සැපයීමෙන් ඩොලර් මිලියන 636ක් ලැබී තිබෙනවා. ඉදිකිරීම්, විදුලි සංදේශ, මූල්‍ය, රක්ෂණ ඇතුළු අනෙකුත් සේවා අපනයන වලින් ඉතිරි කොටස ලැබී තිබෙනවා.
ඇතැම් භාණ්ඩ අපනයන මත සෙස් බද්දක් අය කෙරෙනවා. ඊට අමතරව භාණ්ඩ අපනයනය කරන අයගේ ශුද්ධ ආදායම් මත ආදායම් බදු අය කෙරෙනවා. එහෙත් කලින් කලට විවිධ ක්ෂේත්‍ර වල අපනයනකරුවන්ට ආදායම් බදු සහන ලබා දී තිබෙනවා. මේවා සහන බදු (අඩු බදු අනුපාතික) හෝ බදු විරාම කාල (යම් කාලයක් යන තෙක් බදු නොගෙවීම) යන ආකාර වලින් ලබා දී තිබුණු බව නිරීක්ෂණය කළ හැකියි. මෙම සහන මේ වන විට බොහෝ දුරට ඉවත් කර තිබෙනවා.
ශ්‍රමික ප්‍රේෂණ ඇතුළු ද්වීතියික ආදායම් ගිණුමේ ලැබීම් මත මෙතෙක් බදු අය කර නැති අතර ඉදිරියේදී එවැන්නක් සිදු වීමට නියමිතවද නැහැ.
දැන් වෙනසක් සිදු වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වෙනුවෙන් ගෙවිය යුතු බදු සම්බන්ධවයි. සේවා අපනයන ආදායම් සේ සැලකෙන ඇතැම් ආදායම් සඳහා මෙතෙක් කල් බදු නිදහසක් හිමි වුනා. එම ආදායම් මත මෙතෙක් කල් ආදායම් බදු අය කෙරුනේ නැහැ. අප්‍රේල් 1 දින සිට මෙම බදු සහනය අහෝසි වීමට නියමිතව ඇති අතර, එදින සිට සේවා අපනයන සිදු කරන පුද්ගලයින්ට සහ සමාගම් වලටද ආදායම් බදු ගෙවීමට සිදු වෙනවා.
භාණ්ඩ හෝ සේවා අපනයනය කරන ආයතනයක ලාබය කියන්නේ ලැබෙන ආදායමෙන් වියදම් අඩු කළ පසු ඉතිරි වන කොටසයි. එම කොටස මත ආදායම් බදු අය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. දැනට ලංකාවේ පුද්ගල ආදායම් බදු අය කෙරෙන්නේ මසකට රුපියල් 150,000 සීමාවෙන් ඔබ්බටයි. අය කෙරෙන බදු අනුපාතිකය 36% දක්වා ක්‍රමයෙන් ඉහළ යනවා. සමාගම් ආදායම් බදු අනුපාතිකය 30% වන අතර පළමු සතයේ සිටම එම බද්ද අය කෙරෙනවා.
සේවා අපනයන සඳහා මෙතෙක් ලබා දී තිබුණු බදු නිදහස ඉවත් වීමෙන් පසුව, සේවා අපනයන සිදු කර ආදායම් උපයන පුද්ගලයින්ට සහ සමාගම් වලටද සාමාන්‍ය පරිදි ආදායම් බදු ගෙවන්නට සිදු වෙනවා. කෙසේ වුවත්, මෙම පුද්ගලයින් හෝ සමාගම් විසින් බැංකුවක් හරහා අදාළ ආදායම් ලංකාවට ගෙන්වා ගන්නේනම් තව දුරටත් යම් බදු සහනයක් ලැබෙනවා. ඒ අනුව, ආයතනයකටනම් 30% සමාගම් බද්ද වෙනුවට 15% බද්දක් ගෙවිය හැකි අතර පුද්ගල ආදායම් බදු 36% සීමාවට නොගොස් 15% සීමාවේ නතර වෙනවා. බැංකුවක් හරහා ආදායම රැගෙන නොඑන්නේනම්, 30%ක් වන සාමාන්‍ය සමාගම් බද්ද හෝ 36% දක්වා වන පුද්ගල ආදායම් බද්ද ගෙවන්නට සිදු වෙනවා.
වැඩිපුර කතාබහට ලක් වී තිබෙන්නේ සේවා අපනයන ආදායම් වුවත්, ප්‍රාථමික ආදායම් ගිණුමේ සටහන් වන විදේශ ආයෝජන වලින් ලැබෙන ආදායම් හා අදාළව මෙතෙක් පැවති බදු සහනද අහෝසි වී එම ආදායම් ලබන්නන්ටද ඉහත පරිදිම බදු ගෙවන්නට සිදු වන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. කෙසේ වුවත්, මේ කාණ්ඩ දෙකේම ආදායම් ලබන්නන්ට ඔවුන් විදේශ වලදී එම ආදායම් මත බදු ගෙවා ඇත්නම්, එම බදු මුදල් ලංකාවට ගෙවිය යුතු බදු වලින් අඩු කිරීමට ඉඩ සලසා තිබෙනවා.
පසුගිය කාලයේ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූයේ බදු ගෙවන ටික දෙනෙකු මත පමණක් මුළු බදු බරම පටවා තිබීමේ වැරැද්ද සහ බදු ගෙවිය යුතු සියලු දෙනාගෙන්ම බදු අය කර ගැනීමේ වැදගත්කමයි. දැන් සිදු කෙරෙමින් පවතින්නේ එම වැරැද්ද නිවැරදි කරමින් බදු පදනම පුළුල් කිරීමයි. ඒ අනුව, සෑම ආදායම් උපයන්නෙකුට මෙන්ම ආසන්න වශයෙන් හෝ එකම පදනමකින් බදු ගෙවන්නට සිදු වෙනවා. බදු අය කළ යුතු සාධාරණ ක්‍රමය මෙන්ම බොහෝ රටවල බදු අය කරන සාමාන්‍ය ක්‍රමයද මෙයයි.
මෙම බදු ක්‍රමය සම්බන්ධව අනිසි බියක් ඇති වීමට හේතු වී තිබෙන්නේ බැංකු වලට ලැබෙන ප්‍රේෂණ වලින් මෙම බදු මුදල කපා ගනිතැයි යන බියයි. මගේ අදහස වන්නේ එය එසේ සිදු නොකෙරෙනු ඇති බවයි. බැංකු වලින් කෙළින්ම කපා ගනිද්දී ආදායම් ලැබෙන මූලාශ්‍ර නිවැරදිව සෙවීම හෝ බදු ගෙවිය යුතු සීමාව පරීක්ෂා කිරීම ප්‍රායෝගිකව අපහසු නිසා බදු නොගෙවිය යුතු බොහෝ දෙනෙකුටද බදු ගෙවන්නට වීමේ අවදානමක් තිබෙනවා. එහෙත්, බැංකු වලින් අදාළ තොරතුරු ලබාගැනීම පමණක් සිදු වේනම් මෙවැන්නක් සිදු වන්නේ නැහැ.
දොස්තර ඔටී ගැන ලිපියක් දෙන්නෝ
ReplyDeleteඉකොනෝ
ReplyDeleteලංකාවේ ආණ්ඩුවට IMF එක මේ සේවා අපනයනය කරන අයගේ බදු අනිවාර්යයෙන්ම අය කළ යුතුමයි කියා දැඩි ලෙස බලපෑම් එල්ල කරන හේතුව ලංකාවේ IMF නියෝජිතයන් ලෙස පැමිණ සිටින බලවත් නිලධාරීන් බෝහෝදෙනෙකු භාරතීය ආර්ථිකඥයන් භාරතය නියෝජනය කරමින් IMF එකට ආපු අයගේ භාරතීය උවමනාවන් මත ක්‍රියාත්මක වන එකක් බවට රටපුරා ව්‍යාප්ත මතය, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අය සිතන අදහසේ යම් සත්‍යතාවක් පැවතිය හැකි බව, මොකද ඇත්තෙන්ම පහුගිය දශකය තුල ඉතාමත්ම වේගයෙන් වර්ධනය වූ බංග්ලාදේශ තොරතුරූ තාක්ෂණ ක්ෂේත්‍රයට සිදුකල දේවල් අනුව වඩා කුඩා පරිමාණ තොරතුරු තාක්ෂණ කර්මාන්තයක් පවතින ලංකාවටත් එයම වෙනස් ආකාරයකට සීමාසහිත බලපෑමක් එල්ල කරන බව පමණයි.
මම හිතන්නේ මෙතන නව පණත් සංශෝධනය අනුව Resident සහ non-resident යන දෙවර්ගයේම පුරවැසියන් එකසේ මේ Foreign Sourced Income එක 15% බද්දට යටත් වන නීසා Foreign currency නොවන රුපියල් විදියට පවතින ගිණුමකට මුදල් යවන විදේශ ප්‍රේෂණ වලට වුණත් වසරකට මිලියන 1.8 ඉක්වමන මොහොතක අවශ්‍ය නම් බදු අය කිරීමට නීතිමය බාධාවක් නොවන බවයි මම සොයා බැලූ ආකාරයට අනාවරණය කර ගැනීමට හැකි වුණේ. කවුරු හරි නීති විශාරද කෙනෙකුට පුළුවන්ද මගේ අදහස ගැන නීතිමය තත්ත්වය වඩාත්ම පැහැදිලි කරන්න?
@ Economatta,
ReplyDeleteThere are more than 16,000 seafarers in Sri Lanka. About 3,000 officers earning between 3,000 to 10,000 USD/month and 13,000 ratings earning a minimum of 2,000 USD/month.
All work is on contract basis. Minimum 04 months (120 days) maximum 10 months (300 days). From what you state above, all these seafarers will have to work at least 183 days/ calendar year in order to be a non-resident. Is this correct?
Additionally, seafarers wages are computed as basic wages and other variable allowances. Would the 15% be calculated on the basic wages or the total with allowances?
There is a wording in the actual that states "if the payment is made through a local bank" could you please clarify?
If the payment is collected physically and brought to Sri Lanka, would you still have to pay tax? Pls explain on this.
First, I am not a tax expert and this is a matter for a tax expert. As I think, the 6-month rule will define non-residents. That means, if classified as a non-resident, any remittances are secondary income, i.e., not taxed. If classified as a resident, whether the usual income tax rules are applied (i.e., taxed up to 36%) or capped at 15% is an issue to be clarified. If this category is eligible for the 15% rate, the income has to be remitted in FX to an approved bank to claim the concessionary rate. If not, income is taxed up to 36%. For example, if you collect the payment physically, the rate will be the usual personal income rate.
Deleteලංකාවත් IMF මෙහෙයවීම යටතේ ගිහින් ආර්ථිකය විනාශ වේවිද?
ReplyDeleteAustralia ඔය IMF එකේ advice නිසා බදු වැඩි කළා. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාර කඩා වැටීම. ඒ හේතුවෙන් රැකියා අවස්ථා අඩු වීම නිසා ගොඩක් අමාරුවෙන් තමයි ජිවත් වෙන්න වෙලා තියෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ Citizen අයත් university ලෝං එකකින් ඉගෙනගෙන නැවත පොලියත් එක්ක ගෙවන්න ඕනෙ. මෙහේ free education නැහැ. Free health නැහැ
Mediceare තිබුනට කොටසක් අපි ගෙවන්න ඕනේ.
Morgage ගෙවා ගන්න බැරිව සමහරු ගෙවල් විකුනනවා. කුලී ගෙවාගන්න බැරිව තවත් සමහරු පාරට වැටෙනවා.
ඇගේ හය්ය තියෙන තරුණ පිරිස් රෑ දවල් දෙකේම සල්ලි හොයන්න දුවනවා. එහෙම ඉතින් ටික කාලයක් වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ලෙඩ වුනහම එකතු කරපු සේරම ඉවරයි.
මීට වඩා හොදයි ලංකාවේ රස්සාවක් කර ගන්න පුළුවන් අය එහේ තියෙන විදිහට ජිවත් වෙනවා. ඒත් ඒකටත් දැන් ඔය IMF program නිසා ලංකාවේ ආර්ථිකයත් මේ වගේ විනාශ වුණොත් ඒකත් ඉවරයි නේද?
you tube වගේ ඩිජිටල් සේවා වලින් ලබන අදායම 15% tax , වෙන්නෙ ෆිනල් ටක්ස් එකක් විදිහටද?
ReplyDelete