වෙබ් ලිපිනය:

Wednesday, March 12, 2025

ග්‍රීන්ලන්ත මැතිවරණය


ඊයේ (මාර්තු 11) පැවති ග්‍රීන්ලන්ත මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මුල් තැනට පැමිණ සිටිනවා. ග්‍රීන්ලන්තයේ ප්‍රධාන පක්ෂ දෙක වූ ජන ප්‍රජා පක්ෂය (IA) තෙවන තැනටත්, සියුමුට් පක්ෂය හතරවන තැනටත් වැටී තිබෙනවා. බලයේ සිටි සන්ධානය සමන්විත වූයේද එම පක්ෂ දෙකෙන්. ජන ප්‍රජා පක්ෂය වාමාංශික පක්ෂයක් වන අතර සියුමුට් පක්ෂය මධ්‍ය වාමාංශික පක්ෂයක්. 

ග්‍රීන්ලන්තය තවමත් ස්වාධීන රටක් නොවන අතර ඩෙන්මාර්කයේ ස්වාධීන පාලන ප්‍රදේශයක්. සමකයට ඈතින් පිහිටා ඇති බැවින් ලෝක සිතියමෙහි වඩා විශාල ලෙස පෙනෙන ග්‍රීන්ලන්තය පෙනෙන තරම්ම ලොකු නොවුනත් වර්ග කිලෝමීටර මිලියන දෙකකටත් වඩා විශාලයි. ඒ කියන්නේ ලංකාව මෙන් 33 ගුණයක් විශාල භූමි ප්‍රදේශයක්. එහෙත් ග්‍රීන්ලන්තයේ ජනගහණය 57,000කටත් වඩා අඩුයි. 

මෑතකදී ග්‍රීන්ලන්තය විශේෂ අවධානයට ලක් වුයේ ජනාධිපති ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය ඇමරිකාවට එකතු කර ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමඟයි. ඩෙන්මාර්කයේ විශේෂ පාලන ඒකකයක් වන ග්‍රීන්ලන්තයට අවශ්‍ය විටෙක ඩෙන්මාර්කයෙන් වෙන්වීමේ නිදහස තිබෙනවා. එහෙත්, කුඩා ජනගහණයක් සිටින ග්‍රීන්ලන්තයට ස්වාධීන රටක් ලෙස පැවතීම අසීරු කරුණක්. ජනාධිපති ට්‍රම්ප් විසින් ප්‍රකාශ කළේ ඩෙන්මාර්කය විසින් සුබසාධනය කරනවාට වඩා හොඳින් ඇමරිකාවට ග්‍රීන්ලන්තය සුබසාධනය කළ හැකි බවයි. 

ග්‍රීන්ලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර ප්‍රමාණය 31ක් වන අතර මුළු රටම එක් ඡන්ද කොට්ඨාශයක් සේ සලකමින් සමානුපාතික ක්‍රමයට එම ආසන බෙදා හරිනු ලබනවා. සාමාන්‍යයෙන් සිදු වන පරිදි මෙවරද කිසිදු තනි පක්ෂයකට බහුතර ආසන ප්‍රමාණයක් ලැබී නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ආසන 10ක් ලබාගෙන ඇති අතර නැලරැක් පක්ෂය ආසන 8ක් දිනා ගනිමින් දෙවන තැනට පැමිණ තිබෙනවා. 

මෙවර මැතිවරණයට පෙනී සිටි ප්‍රධාන පක්ෂ පහෙන් හතරක්ම ග්‍රීන්ලන්ත ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටියා. ඩෙන්මාර්කය සමඟ දිගටම සිටීම වෙනුවෙන් පෙනී සිටි අතාසුට් පක්ෂයට ලැබී තිබෙන්නේ ආසන දෙකක් පමණයි. කෙසේ වුවත්, මෙම ප්‍රධාන පක්ෂ පහෙන් එකක්වත් ජනාධිපති ට්‍රම්ප්ගේ යෝජනාව වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. 

2 comments:

  1. මේ ආණ්ඩුව මාරු කරන එකටත් එක්සත් ජනපදය සම්බන්ධ වෙලා ඇති ෂුවර් එකටම තවත් රෙජීම් චේන්ජ් එකක්

    තව ටික දවසකින් ජනමත විමසුමක් තියලා ඩෙන්මාර්කයෙන් අයින් වෙලා එක්සත් ජනපදයට සෙට් වෙයි, ඒ මැතිවරණයත් කැම්පේන්වලට අනුව ජල්තර දාලා ජනමතය විකෘති කරලා අවශ්‍ය විදියට වැඩේ ගොඩ දාගනීවි එක්සත් ජනපදය.

    හැබැයි ටික කලකට පස්සේ තමයි කරපු මෝඩකම ගැන ග්‍රීන්ලන්ත ජනතාවට තේරෙන්නේ එතකොට ප්‍රමාද වැඩි වෙයි. කොළවන් බිම ඉතාම ඉක්මනින්ම බරපතල ලෙස සූරාකෑමට ලක්වන බව නිසැකයි.

    ඔහොම තමයි ඉතින් ලෝකය විනාශ වෙනවා ටික දෙනෙකුගේ තෘෂ්ණාව Greed එක නිසා, මොනවා කරන්නද හැම රටකම අන්ත අසරණ අහිංසක ජනතාව පවු නේද?

    ReplyDelete
  2. ඉකෝන්

    ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය සමග ඈඳාගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරන්නේ ඇයි සහ එය ඩෙන්මාර්කයෙන් වෙන්ව එක්සත් ජනපදයට එකතු විය හැකිද යන්න සහ ග්‍රීන්ලන්තයේ ස්වභාවික සම්පත් පිළිබඳ තොරතුරු කෙටියෙන් විස්තර කරන්නම්:

    ග්‍රීන්ලන්තය එක්සත් ජනපදය සමඟ එකතු වීමට උත්සාහ කරන්නේ ඇයි?

    එක්සත් ජනපදයේ භූ-දේශපාලන අරමුණු වලට වැදගත් වන උපාය මාර්ගික (strategic)පිහිටීම: ග්‍රීන්ලන්තය ආක්ටික් ප්‍රදේශයේ පිහිටා ඇති නිසා එය එක්සත් ජනපදයට ඉතා වැදගත් භූ-දේශපාලන ස්ථානයකි. රුසියාව සහ චීනය වැනි රටවල් ආක්ටික් ප්‍රදේශයේ තම බලපෑම ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන නිසා, ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයට ආරක්ෂකමය වශයෙන් වැදගත් වේ. Ground of strategic importance

    එහි ඇති ඉතා වටිනා ස්වභාවික සම්පත්: ග්‍රීන්ලන්තයේ විවිධ ස්වභාවික සම්පත් රාශියක් ඇත. ඒවා අතර බොර තෙල්, ගෑස්, ඛනිජ ලවණ සහ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය Rare earth elements ඇතුළත් වේ. මෙම සම්පත් එක්සත් ජනපදයට ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් වේ.

    ග්‍රීන්ලන්තයට ඩෙන්මාර්කයෙන් වෙන් වී එක්සත් ජනපදයට එකතු විය හැකිද?

    ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක රාජධානිය තුළ ස්වයං පාලනයක් සහිත ප්‍රදේශයකි. එනිසා ඩෙන්මාර්කයෙන් වෙන්වීමට නම් ග්‍රීන්ලන්තය තුළ ජනමත විචාරණයක් පවත්වා බහුතර කැමැත්තක් ලබා ගත යුතුයි.

    ඒවගේම ග්‍රීන්ලන්තය ඩෙන්මාර්කයෙන් වෙන් වූවද, එක්සත් ජනපදයට එකතු වීමට නම් දෙරට අතර ගිවිසුමක් ඇති කර ගත යුතුයි.
    ග්‍රීන්ලන්තයේ ස්වභාවික සම්පත්:

    එහි ඇති මිල අධික ඛනිජ ද්‍රව්‍ය සහ වෙනත් සම්පත්: ග්‍රීන්ලන්තයේ යකඩ, ඇලුමිනියම්, තඹ, රන්, යුරේනියම් සහ දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය වැනි විවිධ ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් ඇත.

    තෙල් සහ ගෑස්: ග්‍රීන්ලන්තයේ වෙරළට ඔබ්බෙන් තෙල් සහ ගෑස් නිධි ඇති බවට විශ්වාස කෙරේ. නමුත්, මෙම නිධි තවමත් සම්පූර්ණයෙන් ගවේෂණය කර නොමැත.

    ජල විදුලිය: ග්‍රීන්ලන්තයේ ග්ලැසියර දියවීම නිසා ජල විදුලි නිෂ්පාදනය සඳහා විශාල විභවයක් ඇත.

    වටිනා මත්ස්‍ය සම්පත්: ග්‍රීන්ලන්තය අවට මුහුදේ මත්ස්‍ය සම්පත් බහුලව ඇත.

    මෙම ස්වභාවික සම්පත් මේවන විට බොබෝ දැඩි ලෙස බිඳවැටී තිබෙන එක්සත් ජනපදයේ නොන්ඩි ගහන ආර්ථිකයට ඉතාමත්ම වැදගත් වේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: