ක්‍රීඩා න්‍යාය විෂයයේදී (game theory) උගන්වන මූලික ක්‍රීඩා වලින් එකක් වන්නේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවයි. කාසි වලට දැන් එතරම් වටිනාකමක් නොමැති නිසා අපි කාසිය වෙනුවට රුපියල් 1000ක් වැනි මුදලක් යොදා ගනිමු. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දෙදෙනාට ඉහත සඳහන් රුපියල් 1000ක මුදල ලබා ගත හැකි අතර ඒ සඳහා ඔවුන් විසින් කළ යුතු එකම දෙය එම මුදල බෙදා ගන්නා ආකාරය පිළිබඳව එකඟතාවයකට පැමිණීමයි. එවැනි එකඟතාවයකට පැමිණිය නොහැකිනම් ඔවුන්ට මුදල හිමිවන්නේ නැහැ.
ඉතා පැහැදිලිවම කවර හෝ එකඟතාවයකට පැමිණීම එවැනි එකඟතාවයකට නොපැමිණීමට වඩා දෙදෙනාටම වාසිදායකයි. මේ එකඟතාවය කුමක් විය යුතුද?
මුදල දෙදෙනා අතර සමසමව, එනම් රුපියල් 500 බැගින්, බෙදා ගැනීමට දෙදෙනා එකඟ වනු ඇති බව ඇතැමෙකු කියනු ඇති. එය එසේ විය හැකියි. නමුත් අනිවාර්යයෙන්ම එය එසේ විය යුතු නැහැ.
ඔබ මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයෙකුනම්, අවම වශයෙන් තමන්ට රුපියල් 900ක් අවශ්‍ය බව අනෙක් ක්‍රීඩකයා දැඩි ලෙස කියා සිටින්නේනම්, ඔබ කළ යුත්තේ කුමක්ද? ඔබ මෙයට එකඟ වුවහොත් ඔබට රුපියල් 100ක් ලැබෙනු ඇත. එකඟ නොවුවහොත් කිසිවක් නොලැබෙනු ඇත. ඒ නිසා, ආරක්ෂාකාරී හා වාසිදායක තීරණය වනුයේ රුපියල් 100ක් ලබා ගැනීමට කැමති වීමයි.
අනෙකා මෙසේ කිවුවත්, ඔබ මේ යෝජනාවට අකමැති වී අවම වශයෙන් රුපියල් 400ක්වත් ඉල්ලා සිටියහොත්, අනෙක් ක්‍රීඩකයා තමන්ට ලැබෙන රුපියල් 600 අතහැර යෝජනාව ඉවත දමයිද? එසේ වෙන්නට හෝ නොවෙන්නට පුළුවන්. ඒ නිසා, ඔබට ලැබෙන මුදල වැඩි කර ගැනීමට අවශ්‍යනම් ඔබට වැඩි අවදානමක්ද ගන්නට සිදු වෙනවා. අනෙක් ක්‍රීඩකයා රුපියල් 900ක්ම ඉල්ලා සිටින්නේ එවැනි අවදානමක් අරගෙනයි.
කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවෙන් වැඩි වාසියක් ගන්නටනම් වැඩි පංගුවක් ඉල්ලා සිටින අතරම තමන් තමන්ගේ තීරණය වෙනස් නොකරන බව අනෙක් ක්‍රීඩකයාට ඒත්තු ගන්වන්නට සිදු වෙනවා. හෙට්ටු කිරීම් අවසානයේ මුලින් පසුබසින ක්‍රීඩකයාට අඩු පංගුවක් භාර ගන්නට සිදු වෙනවා. දෙදෙනාම දැඩි ස්ථාවර වල සිටින තරමට මුදල සමානව බෙදෙන්න ඉඩකඩ වැඩියි.
වෙළඳ තරඟයකදී සිදු වන ක්‍රියාවලියද මීට සමාන එකක්. රටවල් දෙකක් අතර සිදුවන වෙළඳාම දෙරටටම වාසිදායකයි. ඒ නිසා, වෙළඳාම් කරනවාද නොකරනවාද යන්න රුපියල් දහස ලබා ගන්නවද නැද්ද වැනි පිළිතුර පැහැදිලි කරුණක්. එහෙත්, වෙළඳාමේ වාසි දෙරට අතර බෙදී යන ආකාරය තීරණය වන්නේ හෙට්ටු කිරීම් මතයි. කැනඩාව සහ ඇමරිකාව අතර දැන් සිදුවන දෙයද මෙයට සමාන කළ හැකියි.
මේ වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඇමරිකාවයි. ඊට හේතුව කාසිය බෙදෙන්නේ ඇමරිකාවට අවාසිදායක ලෙස බව ඇමරිකාව සිතීමයි. ඇමරිකාව කියා කිවුවත් අඩු වශයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ ආණ්ඩුව එසේ සිතීමයි. ඇමරිකාව වෙළඳ යුද්ධය අරඹමින් කියා සිටියේ "අපිට රුපියල් 1000 මුදලින් මීට වඩා වැඩි පංගුවක් අවශ්‍යයි. එය අපට නොලැබේනම් අප මෙම මුදල බෙදා ගන්න කැමති වන්නේ නැහැ" යන්නයි. ඇමරිකාවේ ඉහත තීරණයට කැනඩාව එකඟ වුනේ නැහැ.
රුපියල් 1000 නැති කර ගැනීම ඇමරිකාවට වගේම කැනඩාවටත් විශාල පාඩුවක්. ඒ නිසා, කොයි වෙලාවක හෝ දෙපාර්ශ්වය කිසියම් එකඟතාවයකට එන එක විය යුතු දෙයක්. එතෙක්, තමන්ගේ පංගුව වැඩි කර ගැනීමට ඇමරිකාව හෙට්ටු කරයි. තමන්ගේ පංගුව ආරක්ෂා කර ගැනීමට කැනඩාව හෙට්ටු කරයි. මේ වෙළඳ යුද්ධය මොන විදිහට අවසන් වේද යන්න අපි අනාගතයට භාර කරමු. මොන විදිහට අවසන් වුවත් එය දෙපාර්ශ්වය අතර එකඟතාවයක් බව පමණක් දැනට කිව හැකියි.
අවධානය යොමු කළ යුතු වඩා වැදගත් කරුණ ඇමරිකාවේ වෙළඳ හිඟයයි. මේ වෙළඳ හිඟයට හේතුව කුමක්ද?
ධවල මන්දිරයට අනුව, වෙළඳ හිඟයට ප්‍රධාන හේතුවක් වන්නේ ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිදායක ලෙස පැවතීමයි. ඒ අනුව, ට්‍රම්ප් ආණ්ඩුව විසින් උත්සාහ දරන්නේ මේ වැරැද්ද නිවැරදි කිරීමටයි.
ඇත්ත වශයෙන්ම, ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළදාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිසහගත ලෙස පවතිනවාය යන්න බොරුවක් නෙමෙයි. ඇමරිකාව ලෝකයේ අනෙකුත් රටවලට සිය වෙළඳපොළ විවෘතව තබා ඇති තරමට සාපේක්ෂව ඇමරිකාවට අනෙකුත් රටවල් බොහොමයක වෙළඳපොළවල් විවෘත වී නැහැ. ඒ බව ධවල මන්දිරය විසින් උදාහරණ සහිතව පෙන්වා දෙනවා.
- බ්‍රසීලය ඇමරිකාවට එතනෝල් අපනයනය කරද්දී ඇමරිකාව විසින් අය කරන්නේ 2.5%ක බද්දක් පමණක් වුවත්, ඇමරිකාව බ්‍රසීලයට එතනෝල් අපනයනය කරද්දී බ්‍රසීලය විසින් 18%ක බද්දක් අය කරනවා.
- ඉන්දියාවේ කෘෂි අපනයන මත ඇමරිකාව විසින් අය කරන්නේ 5% බද්දක් වුවත්, ඇමරිකානු කෘෂි අපනයන මත ඉන්දියාව විසින් 39%ක බද්දක් අය කරනවා. එමෙන්ම ඉන්දියාව ඇමරිකානු මෝටර් සයිකල් මත 2.4%ක බද්දක් පමණක් අය කළත්, ඉන්දියාව ඇමරිකානු මෝටර් සයිකල් මත 100%ක බද්දක් අය කරනවා.
- ඇමරිකාව යුරෝපීය සංගමයේ මෝටර් රථ මත 2.5%ක බද්දක් අය කරද්දී යුරෝපීය සංගමය ඇමරිකානු මෝටර් රථ මත 10%ක බද්දක් අය කරනවා.
මේ උදාහරණ අනුව, ධවල මන්දිරය කියන්නේ බොරුවක් නොවන බව පේනවා. ඔය වගේ තෝරාගත් උදාහරණ දෙක තුනක් ඇසුරෙන් සමස්ත තත්ත්වය ගැන නිගමනයකට එන්න බැරි වුනත්, සමස්ත තත්ත්වය දිහා බැලුවත් ඇමරිකාව අනෙකුත් රටවල් සමඟ කරන වෙළඳාමේ කොන්දේසි ඇමරිකාවට අවාසිදායක ලෙස පවතිනවා කියන කරුණ පැහැදිලිව පේනවා. අවශ්‍ය කෙනෙකුට ලංකාවේ අපනයන මත ඇමරිකාව අය කරන බදු සහ ඇමරිකාවේ අපනයන මත ලංකාව අය කරන බදු සසඳා බලන්න පුළුවන්.
මේ අසමතුලිතතාවය දෙස බලද්දී ඇමරිකාව පැත්තෙන් වෙළද යුද්ධයක් ආරම්භ වෙන්නේ ඇයි කියන කරුණත් පැහැදිලි වෙනවා.
වෙළඳ යුද්ධ පැත්තකින් තියමු. සාමාන්‍ය යුද්ධ ඇති වෙන්නේ ඇයි? හැම විටම කොහොම වුනත්, ගොඩක් වෙලාවට යුද්ධ ඇති වෙන්නේ භූමියේ අයිතිය සම්බන්ධව. එක් පාර්ශ්වයක් විසින් වෙනත් පාර්ශ්වයකට අයිති භූමිය ආක්‍රමණය කරනවා. යුද්ධයේ පළමු පියවර බොහෝ විට එයයි.
වෙනත් රටක් ලංකාව ආක්‍රමණය කර භූමිය ක්‍රමයෙන් අල්ලාගෙන එනවානම් ලංකාව කුමක් කරයිද? අනිවාර්යයෙන්ම තමන්ට අයිති භූමිය ආරක්ෂා කර ගන්න සටන් කරනවා. මොකද එහෙම නොකර පාඩුවේ හිටියොත් ආක්‍රමණිකයා අවුලක් නැතිව මුළු රටම අල්ල ගන්න පුළුවන්. අමාරු යුද්ධයක් වුනත්, යම් ප්‍රතිරෝධයක් දැක්වුවහොත් පමණයි රටෙන් කොටසක් හෝ ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ.
ගොඩක් යුද්ධ අවසන් වෙන්නේ කිසියම් සම්මුතියකින්. ඒ සම්මුතිය හැදෙන්නේ ජයග්‍රහකයාට වාසිදායක ලෙසයි. යුද්ධයක් ආරම්භ කරන කෙනෙක් එසේ කරන්නේ අන්තිමේදී සිතියම තමන්ට වාසිදායක ලෙස ඇඳගන්න පුළුවන් වෙයි කියන විශ්වාසයෙන්.
මේ වැඩේම තමයි වෙළඳ යුද්ධයකදී වෙන්නෙත්. යුද්ධය අවසානයේදී ජයග්‍රාහකයාට වාසිදායක ලෙස සිතියම නැවත ඇඳෙනවා. ජයග්‍රාහකයා වෙන්නේ වැඩිම හානියක් දරා ගන්න පුළුවන් පාර්ශ්වය.
සමහර වෙලාවට යුද්ධ වලදී කියවෙන කතාවක්නේ "අපිට තවත් නැති වෙන්න දෙයක් නැහැ" කියන එක. ඔය කතාව අතිශයෝක්තියක් වුනත්, කිසියම් පාර්ශ්වයකට නැති වෙන්න දේවල් අඩු වුනාම යුද්ධයකට පෙළඹෙනවා. මොකද අපේක්ෂිත උපරිම හානිය ඔය නැති විය හැකි දේවල් ටික.
ඇමරිකාව ලංකාව එක්ක වෙළඳ යුද්ධයක් පටන් ගත්තොත්, ලංකාවටත් ප්‍රතිරෝධයක් දක්වන්න වෙනවා. ලංකාවට ඇමරිකාවට දැක්විය හැකි උපපරිම ප්‍රතිරෝධය ඇමරිකාවෙන් කිසිම දෙයක් ආනයනය නොකර ඉන්න එක. එහෙම කළොත් ඇමරිකාවට අන්තිමට වෙන්නේ පාඩුවක් තමයි. නමුත් උපරිම පාඩුව ඩොලර් මිලියන 500ක පමණ අපනයන වෙළදපොළක් නැති වෙන එක. නමුත් ලංකාවට ඩොලර් බිලියන 3ක පමණ අපනයන වෙළදපොළක් නැති වෙනවා.
දැන් මේ තත්ත්වය එක්ක ලංකාව සමඟ වෙළඳ යුද්ධයක් ආරම්භ කරන එකෙන් ඇමරිකාවට නැති වෙන්න දෙයක් නැති තරම්. ඒ නිසා, ඇමරිකාව ලංකාව එක්ක වෙළඳ යුද්ධයක් ආරම්භ කළොත්, ලංකාව අතේ තුරුම්පු කිසිවක් නැහැ. එය ඇමරිකාව බලවත් රටක් සහ ලංකාව එතරම් බලවත් නැති පර්යන්ත රටක් වීම නිසාම සිදුව ඇති දෙයක් නෙමෙයි. ලංකාව සහ ඇමරිකාව අතර වෙළදාමේ පවතින ඇමරිකාවට අවාසිදායක තත්ත්වයේ ප්‍රතිඵලයක්.
ඇමරිකාව සහ කැනඩාව අතර ද්විපාර්ශ්වීය වෙළඳාමේ කොන්දේසි ඔය තරමටම ඇමරිකාවට අවාසිදායක නැහැ. නමුත් ඇමරිකාවට අවාසියි. කැනඩාව අතේත් තුරුම්පු තිබෙනවා. නමුත් ඇමරිකාව අතේ තිබෙන තුරුම්පු එක්ක බලද්දී කැනඩාව අතේ තුරුම්පු නැති තරම්.
කැනඩාවේ ලොකුම අපනයන වෙළඳපොළ ඇමරිකාව. ඇමරිකාව විසින් 2024දී මිල දී ගත් කැනඩාවේ අපනයන වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 412.7ක්. එම ප්‍රමාණය කැනඩාවේ දදේනියෙන් 19.5%ක්. අනෙක් අතට ඇමරිකාවේ ලොකුම අපනයන වෙළඳපොළත් කැනඩාව. 2024දී කැනඩාව විසින් මිල දී ගත් ඇමරිකන් අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 349.4ක්. නමුත් එම ප්‍රමාණය ඇමරිකාවේ දදේනියෙන් 1.2%ක් පමණයි.
කැනඩාවට ඇමරිකාව කියන්නේ තමන්ගේ "ලෝක වෙළඳපොළ". නමුත් ඇමරිකාවට කැනඩාව කියන්නේ තවත් එක් අපනයනකරුවෙක් පමණයි. ඒ නිසා, කැනඩාව කොයි තරම් එකට එක කළත්, කැනඩාවට රිදෙන තරමට සාපේක්ෂව බලද්දී ඇමරිකාවට දැනෙන්නේවත් නැති තරම්.
ඔය ඇමරිකාවේ පැත්තෙන් බලද්දී ලොකුම අපනයන වෙළඳපොළේ තත්ත්වය. අනෙක් රටවල් වල වෙළඳපොළවල් ඇමරිකාවට ඔය තරමටවත් වැදගත් නැහැ. මෙයින් කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමෙන් ඇමරිකාවට වැඩක් නැහැ කියන එක නෙමෙයි. ජාත්‍යන්තර වෙළඳාමට බාධා සිදු වෙද්දී අනෙකුත් පාර්ශ්වකාර රටවලට වෙන බලපෑම එක්ක බලද්දී ඇමරිකාවට දැනෙන බලපෑම ඉතාම අඩුයි. ඒ නිසාම, ඇමරිකාවට අනෙකුත් ඕනෑම රටක් එක්ක හෙට්ටු කර වඩා වාසිදායක ගනුදෙනුවකට යාමේ හැකියාවක් තිබෙනවා.
වෙළඳ යුද්ධයකින් එයට සම්බන්ධ වන දෙපාර්ශ්වයටම තුවාල සිදු වෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය යුද්ධය පවත්වාගෙන යාම තවදුරටත් ශක්‍ය නොවන මට්ටමට මේ තුවාල වල වේදනාව දැනෙන මොහොත කුමක්ද කියන එකයි. හෙට්ටු කිරීමේදී කොයි තරම් අවාසිදායක තැනක හිටියත්, කැනඩාවට තිබෙන වාසිය මෙය ඔවුන් විසින් ඉල්ලා සිටි වෙළඳ යුද්ධයක් නොවීම. කැනඩාව විසින් මේ කරුණ දිගින් දිගටම අවධාරණය කළා. සාමාන්‍යයෙන් යුද්ධයකදී ජනමතය තියෙන්නේ ආක්‍රමණිකයාට විරුද්ධව.
වෙළඳ යුද්ධය පටන් ගත්තේ ඇමරිකාව නිසා කැනඩාවේ රජය සමඟ එරට ජනමතය තිබෙනවා. නමුත් ඇමරිකාවේ ජනමතය පක්ෂ පදනම මත බෙදිලයි තියෙන්නේ. මේ වෙළඳ යුද්ධය ඇමරිකාව පැත්තෙන් ආරම්භ කරන්නේ තවත් එවැනිම යුද්ධ ගණනාවක් එක්ක නිසා ඒ සියලු යුද්ධ වලට එරෙහි ඇමරිකානු ජනමතයේ වාසිය කැනඩාවට තිබෙනවා. කැනඩාව පැත්තෙන් ඇමරිකාවේ ජනමතය තමන්ට වාසිදායක ලෙස හසුරවාගන්න දරන උත්සාහයක්ද පේන්න තිබෙනවා.
ඇමරිකානුවන්ට කැනේඩියානුවන් එක්ක සංස්කෘතික ප්‍රශ්නයක් නැහැ. නමුත් චීනය වැනි අනෙකුත් රටවල් එක්ක මේ විදිහේම වෙළඳ යුද්ධ සිදු වෙද්දී එයට තවත් මාන එකතු වෙන නිසා ට්‍රම්ප් ආණ්ඩුවට ජනමතයේ වාසිය වැඩියෙන් ලැබෙනවා. අවසාන වශයෙන් ජනමතය කෙරෙහි බලපාන්නේ වෙළඳ යුද්ධයේ ආර්ථික බලපෑම. ඇමරිකාව ඇතුළෙන් දේශපාලන ප්‍රතිරෝධයක් එන්නනම් වෙළඳ යුද්ධ නිසා මිල ගණන් දැනෙන තරමින් ඉහළ යා යුතුයි. වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලය භාණ්ඩ මිල වැඩිවීමක් වුවත්, ගොඩක් වෙලාවට එය ඇමරිකාව ඇතුළේ දැනෙන බලපෑමක් ඇති නොකරන්න පුළුවන්.
මේ සියලු තත්ත්වයන් එක්ක ට්‍රම්ප් රජයට දැනට ආරම්භ කර තිබෙන වෙළඳ යුද්ධ සහ ඉදිරියේදී ආරම්භ කිරීමට ඉඩ තිබෙන තවත් වෙළඳ යුද්ධ ගණනාවක් ජයග්‍රහණයෙන් කෙළවර කර ගෙන ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු කරගන්න පුළුවන් වෙන්න සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වඩා වැදගත් ප්‍රශ්නය එය ඇමරිකාවට ඔය තරම්ම වාසියක්ද කියන එකයි
රටක දිගින් දිගටම පවතින වෙළඳ ශේෂයක් තිබෙනවා කියන්නේ ඒ රටට භාණ්ඩ අපනයනයෙන් ලැබෙන විදේශ විණිමය ප්‍රමාණයට වඩා වැඩි විදේශ විණිමය ප්‍රමාණයක් භාණ්ඩ ආනයන සඳහා රටෙන් එළියට යනවා කියන එකයි. නමුත් එහෙම වෙන්නනම්, ඒ අමතර විදේශ විණිමය ප්‍රමාණය වෙනත් යම් ක්‍රමයකින් රටට පැමිණිය යුතුයි.
භාණ්ඩ වෙළඳාමෙන් විදේශ විණිමය ප්‍රවාහ වල හිඟයක් වාර්තා කරන ඇමරිකාවේ වගේම ලංකාවෙත් සේවා වෙළඳාමේ විදේශ විණිමය අතිරික්තයක් තිබෙනවා. නමුත් ඒ අතිරික්තයෙන් හිඟය වැහෙන්නේ නැහැ. ලංකාවේනම් මේ හිඟය වැහෙන්නේ ද්වීතියික ආදායම් වලින්. ඒ නිසා, රජය විදේශ ණය නොගෙන ඉන්නවානම්, විණිමය අනුපාතය පාවෙන්න ඉඩ දෙනවානම්, වෙළඳ ශේෂ හිඟයක් දිගටම තිබුණත් ජංගම ගිණුම තුලනය වෙනවා.
හැබැයි ඇමරිකාවේ ද්වීතියික ආදායම් ගිණුමේ තිබෙන්නේත් හිඟයක්. ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ආවත්, ඇමරිකාව වගේ රටවලින් ශ්‍රමික ප්‍රේෂණ පිටතට යන එකයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඒ නිසා, ලංකාවේ වගේ ද්වීතියික ආදායම් වලින් වෙළඳ ශේෂ හිඟය ආවරණය වෙන්නේ නැහැ. ජංගම ගිණුමේ හිඟය පියවෙන්නෙත් නැහැ.
රටක ජංගම ගිණුමේ හිඟයක් තියෙනවානම්, එය තුලනය විය යුත්තේ මූල්‍ය ගිණුම හරහා. දැන් ලංකාවේ ජංගම ගිණුම තුලනය වුනත්, පසුගිය වසර ගණනාවක් එය එසේ නොවුනේ ශ්‍රී ලංකා රජය විසින් දිගින් දිගටම විදේශ ණය ලබාගත් නිසා. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. ඒ නිසා, ශ්‍රී ලංකා රජය විසින් වැඩි වැඩියෙන් විදේශ ණය ගනිද්දී ජංගම ගිණුමේ හිඟයද ඉහළ යනවා. එහි කොටසක් වෙන වෙළඳ ගිණුමේ හිඟයත් ඉහළ යනවා.
ලංකාවේ රජය මෙන් ඇමරිකාවේ රජය විදේශ ණය ගන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ ඇමරිකානු රජය විසින් ලබා ගන්නා (දේශීය) ණය විදේශ රටවල් විසින් මිල දී ගැනීම. අන්තිමට දෙකම එකයිනේ කියලා කාට හරි කියන්න පුළුවන් වුනත් මේ වෙනස වැදගත් වෙනසක්.
කොයි තරම් ප්‍රශ්න තිබුණත්, තවමත් ලෝකයේ ශක්තිමත්ම මුදල් වර්ගය ඇමරිකන් ඩොලරය. ඇමරිකන් ඩොලර් සඳහා ලෝකය පුරාම සැලකිය යුතු ඉල්ලුමක් තිබෙනවා. ඇමරිකන් ඩොලර් ආයෝජන වලටත් ඒ ඉල්ලුමම තිබෙනවා.
ඉහත හේතුව නිසා ඇමරිකාවට ආයෝජන ගලාගෙන එනවා. ඒවා වාර්තා වෙන්නේ මූල්‍ය ගිණුමේ. මූල්‍ය ගිණුම හරහා විදේශ විණිමය රටට එද්දී ජංගම ගිණුමේ ඊට සමාන හිඟයක් ඇති වෙනවා. මේ හේතුව නිසා, සමහර අයගේ මතය ජංගම ගිණුමේ හිඟයක් තියෙන එකේ කිසිම වැරැද්දක් නැහැ කියන එක. මෙය ප්‍රශ්නයක් සේ දකින අය සැලකුවත්, ඔවුන් මේ ප්‍රශ්නයට විසඳුම තීරු බදු වැඩි කිරීම මගින් ජංගම ගිණුම තුලනය කර ගැනීම විදිහට දකින්නේ නැහැ.
මොන ආකාරයෙන් හෝ වෙළඳ යුද්ධ ගණනාවක් ජයගෙන ඇමරිකාව විසින් වෙළඳ ශේෂය වඩා වාසිදායක මට්ටමකට හරවා ගත්තා කියා හිතමු. එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස මූල්‍ය ගිණුම හරහා ඇමරිකාවට එන ප්‍රාග්ධන ආයෝජනද පහළ යා යුතුයි. ඒ කියන්නේ එම අඩුව පුරවන්න වෙන්නේ දේශීය ඉතිරි කිරීම් වලින් කියන එකයි.
ඇමරිකාවේ දේශීය වෙළඳපොළේ ණය ඉල්ලුම සහ සැපයුම සමතුලිත වෙන්නේ විදේශ සැපයුමත් එක්ක. ඒ කොටස ඉවත් වෙනවා කියන්නේ සැපයුම අඩු වෙලා පොලී අනුපාතික ඉහළ යනවා කියන එක. ඒ නිසා, වෙළඳ යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට භාණ්ඩ මිල ඉහළ යාමට අමතරව පොලී අනුපාතික වලද යම් ඉහළ යාමක් සිදු විය යුතුයි. සමහර විට දැනට ක්‍රියාත්මකව පවතින පොලී අනුපාතික අඩු කිරීමේ (චක්‍රීය) ප්‍රතිපත්තිය නිසා මේ බලපෑම සැඟවී යන්න පුළුවන්. එසේ වුවත්, ඉලක්කගත පරිදි තීරු බදු වැඩි කර වෙළඳ හිඟය අඩු කරගන්නවා කියන්නේ පවතින තත්ත්වයට (status quo) සාපේක්ෂව බඩු මිල වගේම පොලී අනුපාතිකත් ඉහළ යනවා කියන එකයි.
හැබැයි මෙහෙම දෙයකුත් තිබෙනවා. තීරු බදු වැඩි වෙද්දී රජයේ ආදායම් ඉහළ ගිහින් අයවැය හිඟය අඩු වෙනවා. ඒ වගේම, මේ දවස් වල රජයේ වියදම් කප්පාදු කරගෙන යන වේගය අනුව, රජයේ ණය ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. එහෙම වුනොත්, පොලී අනුපාතික අඩු වීමේ බලපෑම නිශේෂණය වෙනවා.
බඩු මිල ටිකක් ඉහළ ගියත්, වෙළඳ හිඟය අඩු වෙනවා කියන්නේ දේශීය නිෂ්පාදිතය වැඩි වෙලා රැකියා වැඩි වෙනවා කියන එකනේ. දැන් මේ වෙලාවෙනම් ඇමරිකාවේ විරැකියා ප්‍රශ්නයක් නැහැ. අනෙක් අතින් නීති විරෝධී සංක්‍රමණිකයින් විශාල පිරිසක් රටෙන් පිටුවහල් කෙරෙමින් තිබෙනවා. නීත්‍යානුකූල ලෙස රටේ ඉන්න අයගේ වුනත් වීසා අලුත් නොකිරීමේ ප්‍රවණතාවක් පේන්න තිබෙනවා. මේ දේවල් නිසා වෙන්නේ රැකියා වෙළඳපොළේ ඉල්ලුම අඩු වෙන එක. මේ තත්ත්වයන් එක්ක වැටුප් ඉහළ යාමක් සිදු වෙන්න පුළුවන්. රජයේ රැකියා කප්පාදු කෙරෙමින් තිබෙන නිසා, යම් තරමකින් මේ බලපෑම නිශේධනය වෙන්නත් පුළුවන්. කොහොම වුවත්, සැලසුම් වල විදිහට නීති විරෝධී සංක්‍රමණිකයින් රටෙන් පිටුවහල් කළොත් එහි ප්‍රතිඵලය වන්නේ වැටුප් ඉහළ යාම. විශේෂයෙන්ම පහළ මට්ටමේ රැකියා වල.
යුරෝපය වාගේ නොවුණත්, ඇමරිකාව කියන්නෙත් සුබසාධන රාජ්‍යයක්. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් බදු මුදල් වලින් ලොකු කොටසක් වැය වෙනවා. රැකියා වැඩි වෙලා, රැකියා අයදුම්කරන්නන් අඩු වෙලා, ශ්‍රමයේ මිල ඉහළ යනවා කියන්නේ දැනට රජයෙන් යැපෙන සැලකිය යුතු පිරිසක් දරිද්‍රතා සීමාවෙන් උඩට යනවා කියන එක. ඒ හරහා රජයේ වියදම් තවත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම, වැටුප් වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියොත් වෙළඳ යුද්ධය නිසා බඩු මිල ඉහළ යාමේ අවාසිය කැපී ගිහින් ට්‍රම්ප් රජයට සිදු විය හැකි දේශපාලන අවාසියද නැති වී යන්න පුළුවන්.
වෙළඳ යුද්ධය, සංක්‍රමණික විරෝධය, රාජ්‍ය වියදම් කප්පාදුව ආදී වත්මන් ඇමරිකන් රජයේ ප්‍රතිපත්ති පැකේජය සමස්තයක් ලෙස ගත් විට එහි සියලුම කොටස් හීන් හුයකින් සම්බන්ධ වෙලයි තියෙන්නේ. ඒවා ශීත සෘතුවේ කෙටි දහවලක කවුරු හෝ තනි පුද්ගලයෙකුට පෙනුණු විකාර සිහිනයක කොටස් නෙමෙයි. සංගත ප්‍රතිපත්ති පැකේජ් එකක කොටස්. නමුත් සම්ප්‍රදායික වාමාංශික හෝ දක්ෂිණාංශික කෝණ වලින් බැලුවොත් මේ ප්‍රතිපත්ති එකිනෙකට සම්බන්ධ නැති සේ පෙනෙන්න පුළුවන්.
No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.