වෙළඳපොළ කාර්යක්ෂමතාවය ගැන මීට පෙර ඕනෑ තරම් පැහැදිලි කර තිබෙන නිසා, නැවතත් ඒ දේවල් මුල සිටම විස්තර කරන්න අවශ්‍ය නැහැ. වෙළඳපොළ කාර්යක්ෂමතාවයට මූලික හේතුව වටිනාකම් පිළිබඳ අප එකිනෙකාගේ තක්සේරු වෙනස් වීම.
සඳුනි ඇයට අයිති ඉඩමක් රුපියල් ලක්ෂ 100කට චරිත්ට විකුණනවා කියා හිතමු. මේ වගේ ගනුදෙනුවක් දෙදෙනාගේම කැමැත්තෙන් සිදු වෙන්නේ කොහොමද?
සඳුනිගේ තක්සේරුව අනුව අදාළ මොහොතෙ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 100ට වඩා කීයක් හෝ අඩුයි. ඒ නිසා, ඉඩම රුපියල් ලක්ෂ 100කට විකිණීමෙන් ඇයට කීයක හෝ වාසියක් ලැබෙනවා. නමුත්, චරිත්ගේ තක්සේරුව අනුව අදාළ මොහොතේ ඉඩමේ වටිනාකම රුපියල් ලක්ෂ 100ට වඩා කීයක් හෝ වැඩියි. ඒ නිසා, ඉඩම රුපියල් ලක්ෂ 100කට මිල දී ගැනීමෙන් ඔහුටත් කීයක හෝ වාසියක් ලැබෙනවා. ඕක තමයි වෙළඳපොළ කාර්යක්ෂමතාවයට හේතු වන මූලධර්මය.
උදාහරණයක් විදිහට සඳුනිගේ තක්සේරුව රුපියල් ලක්ෂ 80ක් සහ චරිත්ගේ තක්සේරුව රුපියල් ලක්ෂ 120ක් වෙන්න පුළුවන්. එය එසේනම්, රුපියල් ලක්ෂ 100කට ගනුදෙනුව අවසන් වෙද්දී දෙදෙනාටම රුපියල් ලක්ෂ 20 බැගින් වාසි වෙලා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙලා. ගනුදෙනුව සිදු නොවුනානම් ඔය අගය එකතු වීම සිදු වෙන්නේ නැහැ.
දැන් බැලූ බැල්මට මෙහිදී ඉඩමේ කිසිදු භෞතික වෙනසක් හෝ "නිෂ්පාදනය වැඩිවීමක්"වෙලා නැහැ. එහි අයිතිය මාරුවීමක් පමණයි සිදු වී තිබෙන්නේ. එහෙමනම්, ගනුදෙනුව නිසා රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වුනේ කොහොමද?
ඉඩම නොවිකුණා සඳුනි සතුවම තියාගත්තානම්, එමගින් ඇයට අනාගතයේදී ඉපැයිය හැකිව තිබුණු සියලු ආදායම් වල අද වටිනාකම රුපියල් ලක්ෂ 80ක් පමණයි. නමුත්, චරිත්ට මේ ඉඩමම යොදාගෙන ඊට වඩා ආදායම් ඉපැයිය හැකියි. එම ආදායම් වල අද වටිනාකම රුපියල් ලක්ෂ 120ක්. ඒ නිසා, අයිතිය මාරු වෙද්දී රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙනවා. මේ මොහොතේ සිදු නොවුනත්, ඊට අනුරූපව නිෂ්පාදනය වැඩිවීමක් අනාගතයේදී සිදු වෙයි.
අනාගතයේදී නිෂ්පාදනය වැඩිවීමක් ඇත්තටම සිදු වුනත් නැතත්, ගනුදෙනුව සිදු වෙද්දී සඳුනිගේ තක්සේරුවට වඩා ඉහළින් චරිත් ඉඩම තක්සේරු කරලා ඉවරයි. ඒ නිසා, ඉඩමේ අයිතිය මාරු වන මොහොතේ රුපියල් ලක්ෂ 40ක අගය එකතු වීමක් සිදු වෙනවා. නමුත්, ඉහත උදාහරණයේදී මෙන් එම මුදල සඳුනි සහ චරිත් අතර සමසමව බෙදී යා යුතු නැහැ. ඕනෑම අනුපාතයකින් ඒ මුදල දෙදෙනා අතර බෙදී යා හැකියි. එය තීරණය වෙන්නේ දෙදෙනාගේ හෙට්ටු කිරීමේ හැකියාව අනුව.
සඳුනිට වඩා චරිත් හෙට්ටු කරන්න දක්ෂනම් ඔය ඉඩම රුපියල් ලක්ෂ 85කට විකිණෙන්න පුළුවන්. එවිට චරිත්ගේ වාසිය රුපියල් ලක්ෂ 35ක්. සඳුනිට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 5ක වාසියක් පමණයි. හෙට්ටු කරන්න වඩා දක්ෂ සඳුනිනම්, ඉඩම රුපියල් ලක්ෂ 110කට විකිනේන්න පුළුවන්. එවිට සඳුනිට රුපියල් ලක්ෂ 30ක වාසියක් ලැබෙනවා. චරිත්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂ 10ක වාසියක් පමණයි.
සඳුනි ඉඩම තක්සේරු කර තිබෙන්නේ රුපියල් ලක්ෂ 80කට බව චරිත් දැන සිටියේනම්, ඔහු උත්සාහ කරනු ඇත්තේ කෙසේ හෝ එම මුදලට ඉඩම මිල දී ගැනීමටයි. ඒ වගේම, චරිත්ට ඉඩම රුපියල් ලක්ෂ 120ක් වටිනා බව සඳුනි දැනගෙන සිටියානම් ඇය උත්සාහ කරනු ඇත්තේ කෙසේ හෝ එම මුදලට ඉඩම විකිණීමටයි. නමුත් ගනුදෙනුවක පාර්ශ්වකරුවන්ට තමන්ගේ සාපේක්ෂ වටිනාකම් පිළිබඳව මිස අනෙකාගේ සාපේක්ෂ වටිනාකම් පිළිබඳව නිවැරදි අදහසක් නැහැ. කළ හැක්කේ කිසියම් අනුමාන කිරීමක් පමණයි. හෙට්ටු කිරීම් සිදු වන්නේ එවැනි අනුමාන මතයි.
ඇතැම් විට ඉඩම පිළිබඳ සඳුනිගේ තක්සේරුව රුපියල් ලක්ෂ 70ක් පමණ විය හැකියැයි චරිත් විසින් අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව, තමන්ගේ වටිනාකම රුපියල් ලක්ෂ 120ක් වුවත් ඒ බව නො අඟවා, තමන්ට ගෙවිය හැකි උපරිම මිල රුපියල් ලක්ෂ 75ක් බව පවසන්න පුළුවන්. සඳුනි විසින්ද මේ අයුරින්ම චරිත්ගේ තක්සේරුව රුපියල් ලක්ෂ 130ක් පමණ විය හැකි සේ අනුමාන කර තමන්ට අවශ්‍ය අවම මුදල ලක්ෂ 125ක් බව පවසා එම මුදලම ඉල්ලුවොත් සිදු වන්නේ කුමක්ද?
ඉහත විස්තර කළ ආකාරයේ තත්ත්වයක් යටතේදී ගනුදෙනුකරුවන්ගේ ආක්‍රමණශීලී ස්වභාවය ඕනෑවට වඩා වැඩි නිසාම, දෙදෙනාටම වාසිදායකව අවසන් විය හැකිව තිබුණු ගනුදෙනුවක් සිදු නොවෙන්න පුළුවන්. එහෙත්, ගනුදෙනුව සිදු නොවීමෙන් දෙදෙනාටම සිදු වන්නේ පාඩුවක් බැවින් දීර්ඝ හෙට්ටු කිරීම් වලින් පසුව ගනුදෙනුව සිදු වීමටයි වැඩි ඉඩක් තිබෙන්නේ.
මෙවැනි ගනුදෙනුවකින් අවසාන වශයෙන් දෙදෙනාටම කිසියම් වාසියක් සිදු වුවත්, වාසි බෙදී යන ආකාරය තීරණය වන්නේ කෙතරම් ආක්‍රමණශීලී ලෙස හෙට්ටු කළ හැකිද යන්න මතයි. එක අයෙකු ආක්‍රමණශීලී ලෙස හෙට්ටු කරද්දී අනෙක් පාර්ශ්වය නිහඬව සිටිහොත් සිදු වන්නේ වඩා ආක්‍රමණශීලී පාර්ශ්වයට වාසිදායක ලෙස ගනුදෙනුව තීන්දු වීමයි. එයින් අනෙක් පාර්ශ්වයට පාඩුවක් සිදු නොවෙතත්, ලැබිය හැකිව තිබුණු වාසිය අඩුවීමක් සිදු වෙනවා.
මේ දවස් වල "තිරගත වන" ඇමරිකා-කැනඩා වෙළඳ යුද්ධය තුළ දැකිය හැක්කේද ඉහත තත්ත්වයට කිට්ටු තත්ත්වයක්. මෙවැනි වෙළඳ යුද්ධ අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම කිසියම් එකඟතාවයකින් අවසන් වෙනවා. එහෙත්, එම අවසන් එකඟතාවය වෙළඳ යුද්ධය ආරම්භයේදී පැවති තත්ත්වයට වඩා වෙනස් එකක් විය හැකියි. අවසන් ප්‍රතිඵලය තීරණය වන්නේ වැඩි හානියක් වැඩි කාලයක් දරාගත හැක්කේ කවර පාර්ශ්වයටද යන්න මතයි. ඒ අතින්, වෙළඳ යුද්ධයක් සාමාන්‍ය යුද්ධයකට සමානයි.
මුල් උදාහරණයට නැවත පැමිණියහොත්, සඳුනිගේ සහ චරිත්ගේ සාපේක්ෂ තක්සේරු වෙනස් වුවත්, ඔවුන් දෙදෙනා විසින්ම තක්සේරු කරන්නේ එකම ඉඩමේ වටිනාකමයි. ඉඩමේ ස්වභාවය පිළිබඳ දෙදෙනාටම පොදු දැනුමක් තිබෙනවා. වෙළඳපොළ කාර්යක්ෂමතාවය සඳහා මෙය අවශ්‍ය කරුණක්.
යම් හෙයකින් ඉඩම පිළිබඳව සඳුනි සහ චරිත් සතුව තිබෙන්නේ අසමාන දැනුමක්නම් තත්ත්වය කුමක්ද? උදාහරණයක් ලෙස ඉඩම නාය යාමේ තර්ජනයකට ලක්ව ඇති බව සඳුනි දන්නේ වුවද, චරිත් එය නොදන්නේනම් තත්ත්වය කුමක්ද?
දැන් සඳුනි මේ ඉඩම ලක්ෂ 80කට තක්සේරු කරන්නේ නාය යාමේ තර්ජනයක් ඇති බව දැනගෙන වුවත්, චරිත් ඒ ඉඩමම ලක්ෂ 120කට තක්සේරු කරන්නේ ඒ බව නොදැනයි. යම් විදිහකින් මේ තත්ත්වය යටතේ රුපියල් ලක්ෂ 100කට ගනුදෙනුව සිදු වුවහොත්, චරිත් විසින් පසුව තේරුම් ගනු ඇත්තේ තමන්ට ඇත්තටම රුපියල් ලක්ෂ 20ක වාසියක් වී නැති බවයි. එය ඇතැම් විට ඊට වඩා අඩු වාසියක් විය හැකි වුවත්, පාඩුවක් වෙන්නත් පුළුවන්. ඔය දෙකෙන් කොයි එක වුවත්, ගනුදෙනුවෙන් පසුව චරිත්ට තමන් රැවටී ඇති බව පැහැදිලි වීම අනිවාර්යයි. නිදහස් ගනුදෙනු වලට බාධාවක් වන තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය මෙයයි.
මේ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය බොහෝ ගනුදෙනු හා අදාළව තිබෙන එකක්. පාර අයිනකින් මිල දී ගන්නා අඹ ගෙඩියක් හෝ රඹුටන් ගෙඩියක් ඇඹුල් නැති බවත්, ප්‍රණීත රසයකින් යුතු බවත් ඔබට දැනගත හැකිද? ඒ බැව් නොදැන සිදු කරන වටිනාකම් තක්සේරුවක් කෙතරම් නිවැරදිද?
මෙවැනි අවස්ථාවක ඔබට පහසුවෙන් කළ හැකි එක් දෙයක් වන්නේ එක් ගෙඩියක් අහඹු ලෙස තෝරාගෙන ඒ සඳහා මුදල් ගෙවා මිල දී ගෙන රස විඳීමෙන් පසුව එම අහඹු නියැදිය ඇසුරෙන් ඉතිරි ගෙඩි පිළිබඳව නිගමනයකට පැමිණීමයි. එවැනි පරීක්ෂාවක් කිරීමට ඔබ සූදානම් නැත්නම්, ඔබට සිදු වන්නේ වෙළෙන්දා පවසන දේ පිළිබඳව විශ්වාසය තැබීමටයි. නමුත් වෙළෙන්දා බොරු කියා පළතුර විකිණීමේ අවදානම ඔබට බැහැර කරන්න බැහැ.
මේ හේතුව නිසාම, මුලින් අඹ කෑල්ලක් හෝ රඹුටන් ගෙඩියක් රස විඳ මිල දී ගැනීමේ තීරණය ගැනීමට බොහෝ වෙළෙන්දන් ඉඩ දෙනවා. එහි අරමුණ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයට විසඳුමක් දීමයි. වෙළෙන්දන් එසේ කරන්නේ තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය ගැන දැනගෙන හෝ ආර්ථික විද්‍යාව ඉගෙන ගෙන නෙමෙයි. ඇතැම් භාණ්ඩ මිල දී ගැනීමේදී වගකීම් සහතිකයක් ලබා දෙන්නේත් මේ හේතුව නිසා.
සමහර ගනුදෙනු වලදී තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වඩා දරුණුවට බලපානවා වගේම එහි අවාසිය එක් පාර්ශ්වයකට විඳින්නට සිදු වෙනවා. බොහෝ විට මෙසේ සිදු වන්නේ කිසියම් සේවා නිෂ්පාදනයක් මුලින් මුදල් ගෙවා මිල දී ගත් විටයි.
ඔබ සංගීත සංදර්ශනයක් සඳහා කලින් මුදල් ගෙවා ප්‍රවේශපත්‍රයක් මිල දී ගත්තේයැයි සිතන්න. ඔබ එසේ කරන්නේ ඔබට ලැබීමට නියමිත සේවා නිෂ්පාදනයේ වටිනාකම ප්‍රවේශපත්‍රයේ මිලට වඩා වැඩි නිසයි. ඔබ එම වටිනාකම තක්සේරු කරන්නේ අදාළ සංවිධායකින් විසින් ඔබට ලබා දී තිබෙන තොරතුරු මත පදනම්වයි. නමුත්, අදාළ දිනයේදී ඔබ බලා සිටි, ඔබ කැමතිම ගායකයෙක් මෙම සංදර්ශනය සඳහා සහභාගී නොවුවහොත් තත්ත්වය කුමක්ද? දැන් ඔබට ලැබී තිබෙන්නේ ඔබ විසින් මුදල් ගෙවා මිල දී ගත් "දෙය" නොව ඊට වඩා අඩු වටිනාමක් ඇති දෙයක්. එම වටිනාකම ඔබ ගෙවූ ප්‍රවේශපත්‍රයේ මිලට වඩා අඩු වෙන්න පුළුවන්.
මේ වගේ තත්ත්වයක් ඇතැම් පාරිභෝගිකයින් විසින් "රැවටුනා නෙමෙයි විශ්වාස කළා" තත්ත්වයක් ලෙස භාර ගෙන නිහඩව පාඩුව විඳ දරා ගන්න පුළුවන්. නමුත් මෙවැනි අවස්ථාවකදී තවත් ඇතැම් පාරිභෝගිකයින් තමන් රැවටී ඇති බව තේරුම් ගැනීමෙන් පසුව එයට විරෝධය පෑම සඳහා පෙළඹෙන්න පුළුවන්.
තවත් උදාහරණයක් ලෙස ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ඇතුළු නිෂ්පාදක කණ්ඩායමක් විසින් ප්‍රධාන චරිතයක් සඳහා නිලිය තෝරාගන්නේ අදාළ ටෙලිනාට්‍යය අවසන් වන තුරු රූගත කිරීම් සඳහා සහභාගී වේයැයි යන විශ්වාසයෙන්. මෙහිදී කෙටි කලකට පසුව අදාළ නිලිය ටෙලිනාට්‍යය අතහැර යාමේ අවදානම ගන්නට සිදු වෙනවා. මෙය තොරතුරු අසමමිතිය පිළිබඳ ප්‍රශ්නයක්.
තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වෙළඳපොළ කාර්යක්ෂමතාවයට බාධාවක් බව පැහැදිලි දෙයක් වන අතරම එය වෙළඳපොළ කාර්යක්ෂමතාවය පිළිබඳව විශ්වාස කරන අය පොදුවේ පිළිගන්නා කරුණක්. එහෙත්, මෙම ප්‍රශ්නයට විසඳුම කුමක්ද යන කරුණේදී එම කණ්ඩායම තුළ විසම්මුතික අදහස් දැකිය හැකියි.
වඩා මධ්‍යස්ථ හා ප්‍රධාන ධාරාවේ අදහස වන්නේ ස්වභාවික ලෙසම වෙළඳපොළ කාර්යක්ෂමතාවට බාධා පවතින තත්ත්වයන් වලදී වෙළඳපොළ කාර්යක්ෂම ලෙස හැසිරවීම සඳහා නියාමනය අවශ්‍ය බවයි. මෙවැනි නියාමනයන් රාජ්‍ය මැදිහත්වීම් ලෙස මෙන්ම වෙනත් ආකාර වලින්ද සිදු විය හැකියි. එහෙත්, මෙවැනි තත්ත්වයන් පවා වෙළඳපොළ විසින්ම "ස්වභාවික ලෙස" විසඳනු ඇතැයි විශ්වාස කරන අයද සිටිනවා. ඇතැම් තත්ත්වයන් හා අදාලව මෙම දෙවන කරුණ නිවැරදි වුවත්, තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය වෙළඳපොළ විසින් හැම විටම "ස්වභාවික ලෙස" විසඳන්නේ නැහැ.
අඹ, රඹුටන් ප්‍රශ්නයට නැවත පිවිසුනහොත්, බොරු කියා පළතුරු විකුණන වෙළෙන්දෙක්ගෙන් පළතුරු මිල දී ගත් අයෙක් නැවතත් ඒ වැරැද්ද කරන්නේ නැහැ. ඒ නිසා, කාලයක් යද්දී එවැනි වෙළෙන්දන් වෙළඳපොළ තරඟය තුළ ස්වභාවයෙන්ම ප්‍රතික්ෂේප වී යා හැකියි. ඒ වගේම, කිහිප වරක් ටෙලි නාට්‍යය අතරමග දමා ගොස් ඇති නිලියක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ්‍යවරුන් විසින් සම්පූරණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඉඩ තිබෙනවා. නමුත් මේ අයුරින් වෙළඳපොළ විසින්ම ප්‍රශ්නය විසඳීමටනම් එකම පරීක්ෂාව වෙළඳපොළ තුළ දිගින් දිගටම සිදු විය යුතුයි.
තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය තිබෙන බොහෝ තැන් වලදී, අදාළ ගනුදෙනුවේ ස්වභාවය අනුවම, එකම ගනුදෙනුව නැවත නැවත සිදු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස බොහෝ දෙනෙකු ජීවිත කාලය තුළ ගෙයක් හදන්නේ එක් වරයි. ඒ කියන්නේ ගෙවල් හදන බොහෝ දෙනෙක් ඒ වැඩේ පටන් ගන්නේ අත්දැකීම් රහිතවයි. එහෙත්, අදාළ භාණ්ඩ හා සේවා සපයන්නන් කාලයක් තිස්සේ මේ කාර්යයෙහි නියැලෙන අයයි. ඔවුන් ආධුනිකයින් නෙමෙයි. ඔවුන්ට තොරතුරු අසමතුලිතතාවයේ උදවුවෙන් පහසුවෙන්ම තමන්ගේ පාරිභෝගිකයින් රැවටිය හැකියි. විවාහ උත්සව තවත් උදාහරණයක්. බොහෝ දෙනෙකු විවාහ උත්සවයක් ගන්නේ එක්වරක් පමණක් බැවින් ඒ අවස්ථාවේදී පළපුරුදු සේවා සපයන්නෙකුට රැවටුනත්, වැරැද්ද නිවැරදි කර ගැනීමට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මෙවැනි ගනුදෙනු පාරෙන් අඹ හෝ රඹුටන් මිල දී ගන්නවාට වඩා වෙනස්.
වෙළඳපොළ විසින්ම තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය විසඳන්නේ රැවටීමට ලක් වන පාරිභෝගිකයින් විසින් පසුව දක්වන ප්‍රතිචාර වල පීඩනය හේතුවෙනුයි. සාමාන්‍යයෙන් මෙම ප්‍රතිචාරය වන්නේ එවැනි රැවටිලිකාර ගනුදෙනුකරුවන්ව ඉන්පසුව ප්‍රතික්ෂේප කිරීමයි. එහෙත්, ඇතැම් ගනුදෙනු හා අදාළව, ඉහත විස්තර කළ පරිදි, පාරිභෝගිකයින්ට මෙවැනි දෙවන අවස්ථා හිමි වන්නේ නැහැ.
මෙහිදී කෙනෙකුට පෙන්වා දිය හැක්කේ මෙවැනි තත්ත්වයන්ට විසඳුම් වන වෙනත් වෙළඳපොළ විසඳුම්ද ඇති බවයි. උදාහරණයක් ලෙස, සේවා සපයන්නන් පිළිබඳව අන්තර්ජාලයේ ඇති පාරිභෝගික ප්‍රතිචාර ආදිය පෙන්විය හැකියි. මේවා ඇසුරින් රැවටිලිකරුවන් හඳුනාගැනීමට යම් උදවුවක් ලැබෙන නමුත් ප්‍රශ්නය මුළුමනින්ම විසඳෙන්නේ නැහැ.
තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයේ වාසිය ලබමින් පාරිභෝගිකයින් රවටන අය පාරිභෝගිකයින්ට ප්‍රශ්නයක් වනවාට අමතරව එසේ පාරිභෝගිකයින් රවටන්නේ නැති අනෙකුත් සැපයුම්කරුවන්ටද ප්‍රශ්නයක් වෙනවා. උදාහරණයක් ලෙස කිසියම් සංගීත සංදර්ශනයකට එක් ප්‍රසිද්ධ ගායකයෙකු සහභාගී නොවීම නිසා ඇති වන තත්ත්වයට මුහුණ දෙන්නට සිදු වන්නේ එසේ කවදාවත් පොලු නොතියන එහි පැමිණ සිටින අයට වෙන්න පුළුවන්.
එක් රඹුටන් වෙළෙන්දෙක් පාරිභෝගිකයින් රැවටීම නිසා අදාළ ස්ථානයේ වෙළඳාම් කරන අනෙකුත් වෙළෙන්දන්ටත් පාරිභෝගිකයින් නැති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් යටතේ අදාල සේවා සපයන්නන් විසින්ම සංවිධානය වී තමන් සපයන සේවාව නියාමනය කිරීමට පෙළඹුමක් ඇති වෙනවා. වෛද්‍ය සංගම්, ඉංජිනේරු සංගම් ආදිය උදාහරණ සේ පෙන්විය හැකියි. මෙවැනි නියාමනයන් සිදු වන්නේ රජයේ සම්බන්ධයකින් තොරවයි. කෙසේ වුවද, එහිදී නියාමනයේ අරමුණ වන්නේ කණ්ඩායමක් ලෙස තමන්ට සිදු වන අවාසිය අවම කර ගැනීම මිස තමන්ගේ පාරිභෝගිකයින්ට සිදු වන අවාසිය අවම කිරීම නෙමෙයි.
තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නයට මුහුණ දෙන පාරිභෝගිකයෙකුට ඉන් පසුව කළ හැකි දෙයක් නැහැ. එවැන්නෙකු දෙවන වරට නොරැවටෙනු ඇතත්, නැවත නැවත රැවටෙන්නට පළමුවැන්නන් ඕනෑ තරම් ඉන්න නිසා වෙළඳපොළ විසින් ප්‍රශ්නය විසඳන්නේ නැහැ. සිදු විය හැකි එකම දෙය මේ අයුරින් රැවටෙන පාරිභෝගිකයින් සංවිධානය වී තමන්ව රවටනු ලැබීමට විරෝධය පෑමයි. සංගීත සංදර්ශනයක් වැනි අවස්ථාවක එවැන්නක් වෙන්න පුළුවන්.
සංගීත සංදර්ශන සංවිධායකයෙකු විසින් ප්‍රවේශපත්‍ර විකුණද්දී පොරොන්දු වූ දෙයට වඩා අඩු දෙයක් ලබා දුන් විට සිදු වන්නේ පාරිභෝගිකයින් විශාල පිරිසකගේ අතිරික්ත වටිනාකම් වලින් කොටස බැගින් රැවටිලිකාර ලෙස ලබා ගැනීමක්. එසේ ලබා ගන්නා කොටස ගනුදෙනුව නිසා දෙපාර්ශ්වයටම සිදු වන වාසියෙන් පරිබාහිර දෙයක්. මෙවැන්නක් දිගින් දිගටම සිදු වෙද්දී සමස්තයක් ලෙස පරිභෝගිකයින්ට සිදු වන අවාසිය සහ සංවිධායකන්ට සිදු වන වාසිය එකතු කළහොත් එය විශාල මුදලක්. එය එතරම් අවධානයට ලක් නොවන්නේ අවාසිය විශාල පිරිසක් අතර බෙදී යන නිසා සහ පාඩු විඳින්නන් සංවිධානය වී නොසිටින නිසා. කිසියම් අවස්ථාවක මෙසේ රැවටිල්ලට ලක් වූවන් සංවිධානය වූ විට, එසේ කාලයක් තිස්සේ ලබාගත් අනිසි වාසිය වෙනුවෙන් විශාල මිලක් ගෙවන්නට සිදු වෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයන් වලක්වා ගැනීම සඳහා කිසියම් ආකාරයක නියාමනයක් මගින් තොරතුරු අසමතුලිතතාවයේ ප්‍රශ්නය විසඳිය යුතු වෙනවා.
වැස්ස වහිනවා කළුතර ගඟ උතුරනවා
ReplyDeleteඉකොනො නංගි නානවා නංගිගෙ බනිස් පේනවා
මොනවද මේ පල්හෑලි ඉකොනෝ.
ReplyDeleteදැන් නං මේ මිනිහට හොඳටම පිස්සු.
ඇමරිකාවේ අංගොඩට යන්ඩ
ඇයි මැදිරිගිරිය
ReplyDelete