වෙබ් ලිපිනය:

Thursday, May 2, 2024

මගේ ලෝකයේ කාලය නැවතීම


"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න"

නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම වෙබ් අඩවියේ පළ වී තිබුණා. එම අවස්ථා වලදී සටහනේ පරිදිම දින කිහිපයකින් පසුව නැවත ලිපි පළ වෙන්න පටන් ගත්තා. එහෙත් මෙවර එය එසේම සිදු වීමේ ඉඩක් නැති බව පැහැදිලියි.

ඉහත සටහන අනුව පෙනෙන්නේ මේ තරම් ඉක්මණින් දිවි සැරිය නිමා කිරීමේ අරමුණක් නලින් ද සිල්වාට නොතිබුණු බවයි. ඔහු අවසන් මොහොත දක්වාම ක්‍රියාශීලීව සිටියා.

මා කිසිදු දිනක සම්මත අර්ථයෙන් නලින් ද සිල්වාගේ ශිෂ්‍යයෙක්ව සිට හෝ පෞද්ගලිකව ඔහුව හමු වී නැහැ. අවස්ථා දෙකකදී පමණක් ඔහු සහභාගී වූ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ වලට සහභාගී වී තිබෙනවා. ඒ 1986දී සහ 1991දී. එහෙත් ඔහුගෙන් මා ඉගෙන ගෙන ඇති බොහෝ දේ තිබෙන බැවින් නොපැකිළ ඔහුව ගුරුවරයෙකු සේ හැඳින්විය හැකියි. අද මා හිතන ආකාරය තීරණය වීමට නලින් ද සිල්වාගේ අදහස් වලින් විශාල බලපෑමක් සිදු වී තිබෙනවා. මගේ ජීවිතයට එවැනි බලපෑම් කර තිබෙන පුද්ගලයින් ගණන ඉතාම සීමිතයි. 

පවුල් පසුබිම අනුව මා සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිමක හැදුණු කෙනෙක්. ඒ නිසාම, කුඩා කාලයේ සිටම මා සිංහල බෞද්ධ දැනුම උකහා ගත්තා වගේම එම දැනුම ප්‍රශ්න කරන්නටද  පෙළඹුණා. මේ ප්‍රශ්න කිරීම කළේ බටහිර දැනුම් ආධිපත්‍යයේ බලපෑම නිසා නෙමෙයි. මගේ දැනුමක් වූ ඇතැම් දේ මගේම බුද්ධියට ගෝචර නොවූ නිසා. 

ඔය විදිහට සම්ප්‍රදායික සිංහල බෞද්ධ දැනුම සම්බන්ධව ඇති වුනු ප්‍රශ්න වලට විසඳුම් ලැබුණේ කොවූර්ගේ පොත් කියවීමෙන්. ඒ වයස අවුරුදු දහයක පමණ කාලයේදී. ඒ අනුව, මගේ ජීවිතයට මුලින්ම ලොකුම බලපෑමක් කළේ කොවූර්. (හේතුවාදය එක්කම මාක්ස්වාදයත් ආකර්ශනීය වුනා.)

හැබැයි ටික කාලයක් යද්දී ඔය අන්තයේත් අඩුවක් තිබෙන බව පෙනෙන්න ගත්තා. ඔය අතර අඥෙයවාදය ගැන දැන ගන්න ලැබුණා. හේතුවාදය වෙනුවට අඥෙයවාදය ආදේශ වුනා. ඒ වයස අවුරුදු දහ අටක පමණ කාලයේදී. "මගේ ලෝකය" කියවන්න ලැබුණේ එයින් වසර දෙක තුනකට පසුවයි. එය මා හිතන විදිහ විශාල පරිවර්තනයකට ලක් කළ පොතක්.

මම හිතන විදිහට නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වුණා. ඒ වගේම, "මගේ ලෝකය" අදහස් කාලයකට පෙර ඇතැම් බටහිර දාර්ශනිකයින් විසින් ඉදිරිපත් කළ අදහස් බව ඇතැම් අය වරින් වර පෙන්වා දෙන්න උත්සාහ කළා. කෙසේ වුවත්, නලින් ද සිල්වාගේ "මගේ ලෝකය" අදහස් පසුව පරිණාමය වීම හෝ එම අදහස් වලට සමාන අදහස් ඊට පෙර වෙනත් අය විසින් ඉදිරිපත් කර තිබීම හෝ නොතිබීම මට අදාළ වුනේ නැහැ. "මගේ ලෝකය" "මගේ ලෝකය" පුළුල් කළා. අනෙක් දේවල් අදාළ නැහැ. 

මම හිතන විදිහට අවම වශයෙන් එක් හේතුවක් නිසා නලින් ද සිල්වා ඔහුගේ අදහස් පිළිගන්නා හා නොගන්නා කණ්ඩායම් දෙකටම පරමාදර්ශී පුද්ගලයෙක්. ඔහු දේශපාලකයෙකු නොවී දශක ගණනාවක් තිස්සේ දේශපාලනය කළා. ලංකාවේ සමාජ-දේශපාලනයට තනි පුද්ගලයෙකු ලෙස මෙවැනි බලපෑමක් කළ තවත් අය ඇත්නම් ඒ ඉතා සීමිත පිරිසක් විය යුතුයි.

නලින් ද සිල්වාගේ පූර්ණ අනුගාමිකයෙකු ලෙස හැඳින්විය හැකි කිසිවෙකු ඉන්නවාද කියා මා දන්නේ නැහැ. ඔහු අනුගාමිකයින් හදාගන්න උනන්දුවක් නොදැක්වූ බව මගේ අදහසයි. එහෙත් ඔහුගෙන් ආභාෂය ලැබූ අය විශාල පිරිසක් ඉන්නවා. 

යම් කාලයක් නලින් ද සිල්වාගේ අනුගාමිකයින්ව සිටි අය වරින් වර ඔහුගෙන් ඉවත් වුනා. මුල් කාලයේදී එසේ ඔහුගෙන් ඉවත් වූ පිරිසකගේ විවේචනය වූයේ ඔහුගේ න්‍යාය කොයි තරම් හොඳ වුවත් ඔහු ප්‍රායෝගිකව වැඩකට ඇති කිසිවක් නොකරන බවයි. මෙවැනි කණ්ඩායමකට මගේ පිළිතුර වූයේ ලෝකය නිර්මාණය කර ගන්නේ මා විසින්නම් මගෙන් බාහිරව පවතින ලෝකය වෙනස් කිරීමට උත්සාහ කිරීම තේරුමක් නැති කාර්යයක් බවයි.  ඒ නිසා, මට අනුව නලින් ද සිල්වාගේ ප්‍රායෝගික භාවිතය ඔහුගේ දාර්ශනික අදහස් හා ගැලපෙන බවයි. මෙය මා ක්‍රියාකාරී දේශපාලනයේ අවදානම මග හැරීම සඳහා දුන් වංක පිළිතුරක් නෙමෙයි. 

නමුත් ඇත්තටම පසුකාලීනව නලින් ද සිල්වා විසින් දිගින් දිගටම බාහිර ලෝකය වෙනස් කිරීමට ක්‍රියාකාරී ලෙස දායක වුනා. එහි සමහර ප්‍රතිඵල නරක අන්ත වලින් කෙළවර වුනා. මම හිතන්නේ නලින් ද සිල්වා දිවිසැරිය නිමා කරන්නේ ඔහුට ප්‍රායෝගිකව ඉදිරියට තල්ලු කළ හැකි වූ දේශපාලන ව්‍යාපෘතිය එයට ලඟා කර ගත හැකි වූ ඉලක්ක සියල්ල ලඟා කර ගෙන තර්කානුකූල අවසානයකට පැමිණීමෙන් පසුවයි. 

නලින් ද සිල්වා ගොඩ නැගෙන්නේ මාක්ස්වාදියෙකුව සිට මාක්ස්වාදයේ විවේචකයෙකු වෙමිනුයි. ඔහු කවදාවත් ධනවාදී ආර්ථික විද්‍යාව ගැන මූලික හැදෑරීමක් හෝ කළා කියා මම හිතන්නේ නැහැ. එවැනි හැදෑරීමක් කළේනම් ඔහුට ධනවාදය සහ මගේ ලෝකය දර්ශනය අතර සම්බන්ධය පෙනෙනවා. මුල් කාලයේදී මෙවැන්නක් වී නම් ඔහු හිතන විදිහ මීට වඩා වෙනස් විය හැකිව තිබුණා. 

"මගේ ලෝකය" අදහස් වලින් පසුව ඉදිරිපත් වූ නලින් ද සිල්වාගේ පසුකාලීන අදහස් මට ඒ තරම් ආකර්ශනීය වුනේ නැහැ. ඒ වගේම, ඔහුගේ ප්‍රායෝගික දේශපාලන ක්‍රියාකාරිත්වය සමඟ මට බොහෝ විට එකඟ විය හැකි වුයේ නැහැ. "බටහිර දැනුම් ආධිපත්‍යය" පිළිබඳ ඔහුගේ අදහස් පිළිබඳව මට එතරම් ප්‍රශ්නයක් නොතිබුණත්, එම ආධිපත්‍යයට එරෙහිව වෙනත් දැනුම් ආධිපත්‍යයක් ආදේශ කිරීමේ ව්‍යාපෘතිය මට කිසි විටෙක ආකර්ශනීය වූයේ නැහැ.

නලින් ද සිල්වාව අගය කරන හා ඔහුට විරුද්ධ වන ගොඩක් අය එසේ කරන්නේ ඔහුගේ ජාතිකවාදී භූමිකාව මත පදනම්වයි. මට අනුවනම් ඔහුගේ හොඳම ඉදිරිපත් කිරීම මගේ ලෝකයයි. පසුකාලීනව නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ ප්‍රවාද අතරින් මට වඩාත්ම ආකර්ශනීය වන්නේ නිවන පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමයි.

නලින් ද සිල්වා පෙනී සිටි දේශපාලන ව්‍යාපෘතිය අසාර්ථක වුනේ එම ව්‍යාපෘතිය තුළ ආර්ථිකය හා අදාළ නිවැරදි දැක්මක් නොවූ නිසයි. ඒ ව්‍යාපෘතියට අනාගතයක් තිබෙන්නේ ධනවාදී හැරවුමක් සමඟ පමණයි. නලින් ද සිල්වා තවත් වසර කිහිපයක් ජීවත්ව සිටියේනම් මේ හැරවුම ඔහු හරහාම සිදු විය හැකිව තිබුණා. දැන් නලින් ද  සිල්වා නික්ම ගොස් ඇතත්, ඔහුගේ වියෝවෙන් පසු ඉතිරි වූ හිස් අවකාශය තුළ ඒ හැරවුම සිදු වීමේ ලකුණු පෙනෙන්න තිබෙනවා.

නලින් ද සිල්වාට ඔහු පැතූ නිවන ලැබේවා!

15 comments:

  1. මේ මොහොත වන තෙක් නලින් ද සිල්වා පිළිබඳ ලාංකීය බුද්ධිමය ස්ථරය දක්වන නිහඬතාව ලංකාවේ බුද්ධිමය ආකල්ප පිළිබඳ බොහෝ දේ හෙලි කරනවා.

    ReplyDelete
  2. ඊනියා පණ්ඩිතයන් මගෙන් හේතු දැක්වීම් ඉල්ලනවා - නලින් ද සිල්වා
    ඔවුන් මගෙන් ගණන් හිලව් ඉල්ලනවා - ධර්මපාලතුමා

    මම හැමවෙලේම ඔය දෙකේ සමානකමක් දකිනවා..
    ඔහුට සුබ ගමන් !

    ReplyDelete
    Replies
    1. මට එක පාරටම මතක් වුනේ නෙලුම්යාය. :)

      Delete
    2. ගණන් හිලවු ඉල්ලීම් මතක නැද්ද?

      Delete
    3. මම හිතන්නේ lankanewsweb එකේ පැත්තට වෙන්න තිබුණ නෙලුම් යාය කියන එකේ ගිය පෝස්ට් එකක් වෙන්න ඕනේ, මම හිතන්නේ අර පෙරල්මාන් ගේ ගණිත විනෝදය ගැන කියන පෝස්ට් එකක් වෙන්න ඇති. ඒකේ ගොඩක් බ්ලොග් කාරයෝ ලියන පෝස්ට් නැවත පල කලා වගේ මතකයි ඒ දවස්වල දැන් නම් කොහොමද දන්නේ නෑ.

      Delete
  3. ඉකොනොමැට්ටා මම හිතන්නේ ආචාර්ය නලින් වගේ කෙනෙක්ගෙ බලපෑම පොදුවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වල දකිනවට වඩා සෑහෙන්න ගොඩක් පුළුල් බලපෑමක් බවයි.
    මොකද නලීන් ද සිල්වා ගැන නොදන්න අය පවා ඔහුගේ දාර්ශනික සංකල්ප මත පදනම්වූ අදහස් දරනවා තවමත් සහ ඉදිරියටත් ඒක පවතීවි, නලීන් ඍජුව කතාකලේ සමාජයේ විවිධ ක්ෂේත්‍ර වල දැන උගත් තරුණ තරුණියන්ට විශේෂයෙන්ම විද්‍යාව හදාරන සිසුන් ඉංජිනේරුවන් වෛද්‍ය සහ විද්‍යා ආදී උගත් සමාජ කණ්‌ඩායමකට වුවත් ඔවුන් අතර ප්‍රචලිත වන සංකල්ප සහ මතවාද වලින් ඊට පහළ ස්තර වල අයගේ අදහස් තීරණය වෙනවා දැකිය හැකියි

    ලංකාවේ පැරණිතම වාමාංශික දේශපාලන ව්‍යාපාර වැඩ කළේත් මේ විදියට වාමාංශික අදහස් සමාජ ගත කරමිනුයි. එවකට (1925-1945 කාලය තුල) සමාජවාදය ධනවත් බ්‍රිතාන්‍ය පවුල් වල උගත් තරුණ පැලැන්තියේ විලාසිතාවක් වීම නිසා යටත් විජිත වලින් පැමිණි ධනවත් තරුණ තරුණියන්ද මේ රැල්ලට අසුවී සමාජවාදීන් වී පසුව තම රටවලට ගිය මේ අයගෙන් සමහර තරුණ තරුණියෝ ඔවුන් දුටු එංගලන්ත සමාජවාදය එම රටවල ස්ථාපිත කරන්න උත්සහ ගත් බැවින් බොහෝ දෙනෙක් ඒ රටවල නායකයන් බවට පත්වී සමාජවාදී අදහස් සංවර්ධන වෙමින් පැවති රටවල ප්‍රචලිත කළ බැවින් පුරෝගාමී සමාජවාදී නායකත්වයෙන් පසු පැමිණි ඊළඟ සාම්ප්‍රදායික වමේ නායකයන්ද මේ පරාසයෙන් එපිට ලෝකයක් නොදුටු බවද මේ වන විට මහළු වියේ පසුවන මේ දෙවන පරපුරේ සමාජවාදී නායකත්වයට අදටත් මාර්ක්ස්, එංගල්ස්ලාගේ පොත් වලින් එහාට ගොස් යථාර්තය වටහා ගැනීමට බැරිව තිබෙනවා

    සමහර විට NPP මාලිමා ජාතික ජන බලවේගයේ මහාචාර්ය නිර්මාල් රංජිත් වගේ කෙනෙක්ගෙන් එබඳු බලපෑමක් දැනටත් වාම කදවුරට වෙනව වෙන්න පුළුවන්.

    නමුත් ආචාර්ය නලින් ද සිල්වා කියන තනි හුදකලා කුඩා පුද්ගලයා ජාතිකවාදී දාර්ශනික බලපෑම කරේ සමාජවාදීන් මෙන් එබඳු විශාල සංවිධාන ශක්තියක් මෙහෙයවන හැකියාවක් හෝ 'සිවිල් බලයක්' නැතිව වීම විශේෂයි.

    විශේෂයෙන්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙ ගෙවූ කාලයෙන් පසු අඩුම තරමින් ස්ථිර රැකියාවක් හෝ නැතිව ඔහුගෙ බලපෑම උනේ ප්‍රධාන වශයෙන්ම පුවත්පත් ලිපි සහ පොත් හරහා. ලිවීම් සහ දේශනා හරහා. එය ඉතා අවම සංවිධාන ශක්තියක් ඇතිව වූ දෙයක්. අසූව අග අනූ ගණන්වල සමාජ ජාල ආදිය නැති කාලෙක හුදෙක් මුද්‍රිත මාධ්‍ය සහ කුඩා පිරිසකට කරන දේශනා හරහා එවැනි බලපෑමක් කිරීම විශේෂ කාරණාවක්.

    ආචාර්ය නලින්ගෙ අදහස්වලින් වඩාත්ම බලපෑමක් කරපු අදහස නූතන විද්‍යාවෙ දැනුම් ඒකාධිකාරය ප්‍රශ්න කරන්න දාර්ශනික පසුබිමක් සැපයීමයි. එහි දැනුම පැත්තෙන් වගේම දේශපාලනික පැත්තෙන්ද වැදගත්කමක් තියෙනවා.

    ඊළඟට දෙවැනි එක එල්ටීටීඊ එකට විරුද්ධ සටනට මෙන්ම පොදුවේ දෙමළ බෙදුම්වාදී මතවාදයට විරුද්ධව මතවාදී නායකත්වයක් සැපයීම. එය අද ලොකු දෙයක් වගේ නොපෙනුනාට ඒ කාලෙ ඉතාම ජනප්‍රිය නොවන මතයක් (අදනම් සමහර අය කියන්නෙ සරත් ෆොන්සේකා ඇවිල්ල යුද්දෙ දින්න කියලනෙ. නමුත් සරත් පොන් සේකා පවා සටන් විරාම කාලෙ විශ්වාස කළේ යුද්ධයෙන් මේක ඉවර කරන්නම බෑ සාකච්ඡා කරල ඉල්ලන දෙයක් දෙන්න ඕනේ කියන මතයෙ). විශේෂයෙන්ම දමිළ බෙදුම්වාදය සාධාරණීකරණය කරන්න හදපු අය බොරු මත වලින් ජනතාව ගොනාට අන්දන එක වලක්වා සැබෑ දමිළ බෙදුම්වාදය පිළිබඳව විචාරාත්මක ලෙස විග්‍රහ කර එහි ඉතිහාසය ආධිපත්‍යය එය පසුපස සිටින වෙනත් කණ්ඩායම්වල අරමුණු ගැන සමාජය දැනුවත් කළා, උදාහරණ ලෙස නූතන ලාබාල තරුණ පරපුර ගිය 2022 අරගලයට අහුවෙලා ඇනොනිමස් හෑෂ් ටැග් ගහන කොට තිස් හතලිස් ගණන්වල තරුණ අය බහුතරයකට ඒක ගොන් පාට් එකක් බව තේරෙන්නත් ඔහුගේ පෙන්වාදීම් වලින් ලද පෝෂණය හේතු වන්නට ඇති. උතුරේ යුද්ධය යුද්ධයෙන්ම ඉවර කළ හැකි බවත් එසේ කළ යුතුම බවත් දැඩිලෙස දකුණේ ජනමතය ස්ථාපනය සිදු කළ දාර්ශනික වීරයා ඔහුයි.

    ඊළඟට තුන්වන කාරණය ථෙරවාද බුදුදහමේ ඇති ආත්මවාදය ප්‍රශ්න කිරීම (මෙය ඇත්තටම කටුකුරුන්දේ ඤාණානන්ද හිමිගෙ ලිවීම් සහ දේශනාවලත් කෙරිලා තියෙනවා. නමුත් එයට යම් දාර්ශනික අර්ථයක් දුන්නෙ ආචාර්ය නලින් කියලයි මං හිතන්නේ). මේ කාරණා තුනම වර්තමානයට මෙන්ම අනාගතටයත් වැදගත් වෙන කාරණා බව කිව යුතුයි.

    ReplyDelete
  4. නලීන්ගෙ මතවාදයන්ට වඩා නලින් ස්ටයිල් එක ආකෘතියක් ලෙසට
    ලංකාව තුල මුල් බැස ගත්තා.
    අද පවතින සංවාද, ලිපි ලේඛන සහ අදහස් දැක්වීම් තුල මෙය දැක ගත හැක.

    ReplyDelete
  5. නලීන් මහතාගේ බලපෑම ඔහුගේ අදහස් පිලිගත්තා හො නොපිලිගත්තා කියා වෙනසක් නෑ...හැමෝටම එය එක්තරා කාලයකදී ඔහුව මග නොහැර යා හැකි දෙයක් උනා.

    මමත් මීට වසර10-12 කට පමන පෙර නම් ඔහුගේ ගොඩක් ලිපි කියවා තිබෙනවා....එකල මම ඔහු ගැන විස්තරාත්මක් ලිපියක් ලිව්වා..

    මං හිතනවා ඉකෝන් ඒ ලිපිය කියවා ඇතැයි කියලා..

    https://maiyyagelokaya.blogspot.com/2011/01/blog-post.html
    ඒ දවස් වල මං බුද්ධාගම ගැනත් අවදියෙන් හිටපු නිසා, නලීන් මහතාගේ ථේරවාද සම්ප්‍රධායේ උත්තරය මම ග්‍රහණය කලා. ඒකත් උඩ ලිපියේ තියෙනවා..

    ගොඩක් අය නලින් මහතාට ගහන්න පුලුවන් උන දේශපාලනය අල්ලා ගත්තා මිසක් ඔහු ගෙනාපු අනෙක් වැදගත් තර්ක මිස් කලා කියන්න පුලුවන්..ඔහුටත් එය එතරම ගනනක් නැති වග තමයි පෙනුනේ..මොකද ඔහුට දැනුමත් දේශපාලනයත් දෙකම එකක් උන නිසා කියල කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ඔව්. මම ඔබේ ඔය ලිපිය කියවා තිබුණා. බොහෝ දුරට එකඟයි.

      Delete
  6. //මට අනුවනම් ඔහුගේ හොඳම ඉදිරිපත් කිරීම මගේ ලෝකයයි. පසුකාලීනව නලින් ද සිල්වා විසින් ඉදිරිපත් කළ ප්‍රවාද අතරින් මට වඩාත්ම ආකර්ශනීය වන්නේ නිවන පිළිබඳ ඔහුගේ අර්ථ දැක්වීමයි.// ditto!

    ReplyDelete
  7. නලින් ද සිල්වා මැතිඳුනි, ඔබට නිවන් සුව!

    එතුමා හා තරමක ඇසුරක් පැවත්වීමට මටත් ඉඩක් ලැබිණි. ඒ, චින්තන පර්ෂදයේ කාලය සඟරාව මුද්‍රණය කළේ අප බැවිනි. ඒ අත්දැකීම් පිළිබඳව මම නිදිගෙ පංච තන්තරේ බ්ලොග් අඩවියට posts හතරක් ලිව්වෙමි.

    https://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_20.html ගණිත ගැටේ - පළමුවෙනි කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/07/blog-post_26.html ගණිත ගැටේ- 2 කොටස

    http://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post.html ගණිත ගැටේ- 3 කොටස

    https://nidigepanchathanthare.blogspot.com/2019/08/blog-post_10.html ගණිත ගැටේ- 4 කොටස

    ReplyDelete
  8. Jagath PathiranaMay 3, 2024 at 9:01 AM

    මට නලීන් දසිල්වාගෙන් ලැබුන හොඳම උපදේශය:
    හැමදේම ආර්ථික සාධකවලට ගැට ගරසීම කෂි කබල් මාක්ස්වාදී ක්‍රියාවක්

    ReplyDelete
    Replies
    1. නලින් ද සිල්වා කේෂේත්‍ර ගණනාවක විහිදුණු පුළුල් දැනුමක් තිබුණු කෙනෙක්. නමුත් නූතන ආර්ථික විද්‍යාව ගැන ඔහුට මූලික මට්ටමේ හෝ දැනුමක් තිබුණේ නැහැ. ඔහු මුල් කාලයේදී දැන සිටියා විය හැකි ආර්ථික විද්‍යාව මාක්ස්වාදී ආර්ථික විද්‍යාවයි. ඔය ප්‍රකාශය කරන්නේ ආර්ථික ක්‍රියාකාරීත්වය ගැන ඔහු දැන සිටි සීමිත දේවල් මත පදනම්ව විය යුතුයි. ඔහු ලංකාවෙන් බිහි වූ ඉතාම ඉහළ ගණයේ චින්තකයෙක්. ඒ වගේම ඔහු "සිතීම" ගැන ඕනෑවට වඩා වැඩි බරක් තබපු කෙනෙක්. ඒ නිසා ඔහුට තමන්ගෙන් බාහිර ලෝකයේ දේ බොහෝ අවස්ථා වලදී මග හැරුණා කියා මම හිතනවා. විශේෂයෙන්ම පසුකාලීනව. නූතන ආර්ථික විද්‍යාව දැන නොසිටි නිසා ඔහුට මග හැරුණු විශාල කලාපයක් තිබෙනවා. ආර්ථික විද්‍යාව ගැන පමණක් නෙමෙයි ජ්‍යෝතිෂ්‍යය ගැන පවා ඔහු හැදෑරීමක් නොකර තමන්ට හිතෙන දේවල් ප්‍රවාද ලෙස ඉදිරිපත් කළා. "සිතීම" අවශ්‍ය වන්නේ සම්මත දැනුමක් නැති පරාසයේදී සහ සම්මත දැනුම ප්‍රශ්න කළ හැකි කලාපයේදී. මුලින් සම්මත දැනුම උකහා නොගත් විට ඔය කලාපයේ සීමා මායිම් ලකුණු කරගන්න බැහැ. මෙය ඔහුගේ විධික්‍රමයේ වූ මූලික අඩුපාඩුවක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: