මේ වන විටද බොහෝ දෙනෙකු දන්නා පරිදි, මහ බැංකුව විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් සිදු කළා. මීට පෙර මහ බැංකුව විසින් සිදු කළ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී මහ බැංකුවේ අදහස වූයේ ඒ වන විට පැවති තත්ත්වයන් අනුව මුදල් ප්රතිපත්තියෙහි වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි. මේ අනුව පෙනී යන පරිදි, පසුගිය සති හය හතක කාලය තුළ මහ බැංකුවෙහි උද්ධමන ඉදිරි දැක්ම වෙනස් වී තිබෙනවා.
මේ විදිහට මහ බැංකුවක උද්ධමන ඉදිරි දැක්ම වෙනස් වීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මහ බැංකුවක් විසින් අවම වශයෙන් දෙමසකට වරක් මුදල් ප්‍රතිපත්ති විවරණයක් සිදු කරන්නේ ඒ නිසා. ඒ හැම අවස්ථාවකදීම මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමක් හෝ ලිහිල් කිරීමක් කරන්නේ නැතත් එවැනි වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව තියුණු ලෙස සලකා බලනවා.
මේ වසරේ මුල් භාගයේදී මැදපෙරදිග යුද තත්ත්වයක් ඇති වී ලෝක ඉන්ධන මිල කෙරෙහි බලපෑමක් සිදු කළා. එමගින් ලංකාවේ උද්ධමනය තාවකාලිකව ඉහළ දමනු ලැබුවා. මෙවැනි සැපයුම් කම්පනයකදී තාවකාලික ඉහළ යාමක් යන්නෙන් අදහස් වන්නේ වසරක පමණ කාලයක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් 2026 දෙවන කාර්තුවේ සිට 2027 දෙවන කාර්තුව දක්වා කාලය. එම කම්පනයෙන් පසුව මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමක් සිදු කළා.
කෙසේ වුවද, පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණ දෙක අතර කාලය තුළ ඉහත කී ආකාරයේ වෙනත් බාහිර කම්පන ඇති වූයේ නැහැ. මේ වන විට මැදපෙරදිග කම්පනයේ බලපෑමද ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබෙනවා. මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කර තිබෙන්නේ එවැනි පසුබිමකයි.
මහ බැංකුවට අනුව, මෙම නොවැම්බර් මාසයේ උද්ධමනය 9% පමණ දක්වා ඉහළ යා හැකියි. කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ නිල උද්ධමනය 8.3%ක් වූ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව එම අගය 8.5%ක්ව පැවතුණා. මහ බැංකුවේ උද්ධමන ඉලක්කය 5%ක්ව තිබියදී එය ඉහත මට්ටම් දක්වා ඉහළ යාමෙන් පසුව, 9% දක්වා තව දුරටත් ඉහළ යාම අනපේක්ෂිත දෙයක් ලෙස මා දකින්නේ නැහැ. ලංකාවේ උද්ධමනය 10% පමණ දක්වා ඉහළ යාමේ නැඹුරුවක් පසුගිය ජූනි මාසය පමණ වන විටද පෙනෙන්නට තිබුණා.
නිල උද්ධමනය ප්‍රකාශයට පත් කෙරෙන්නේ මාසය අවසානයේදී වුවත් මෙම ගණනය සඳහා යොදා ගන්නා මිල ගණන් මාසය පුරාම එකතු කරගන්නා බැවින් මහ බැංකුවට උද්ධමන දිශානතිය පිළිබඳව කලින්ම අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා මහ බැංකුවේ 9% ඇස්තමේන්තුව සත්‍ය අගයට බොහෝ සේ ආසන්න විය යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව දෙසැම්බර් මාසයේදී මෙම අගයෙහි අඩු වීමක් සිදු විය යුතුයි. ඊට හේතුව මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම නෙමෙයි.
දෙසැම්බර් මාසයේ යම් අඩු වීමක් සිදු වීමට ඉඩ ඇතත්, 2027 පළමු මාස හය තුළ උද්ධමනය පවතිනු ඇත්තේ ඉහළ අගයකයි. එමෙන්ම ඇතැම් මාස වලදී උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකියි. එහෙත්, අපගේ අදහස වනුයේ 10% සීමාවට ආසන්න විය හැකි වුවත් උද්ධමනය තනි අංක අගයක් ඉක්මවා ඉහළ නොයනු ඇති බවයි.
වඩා වැදගත් කරුණ වන්නේ පසුගිය මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම හේතුවෙන් ඉහත කී ඉදිරි වසරේ මුල් මාස හයේ උද්ධමනය පාලනය නොවන බවයි. සාමාන්‍යයෙන් මුදල් ප්‍රතිපත්තියේ බලපෑමක් ඇති වීමට ඊට වඩා කාලයක් ගත වෙනවා. එසේනම්, මහ බැංකුව විසින් මේ අයුරින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් සිදු කළේ ඇයි?
මහ බැංකුව විසින් දෙආකාරයකින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කර තිබෙනවා. පළමු ආකාරය මේ සඳහා යොදාගන්නා ප්‍රචලිතම ක්‍රමය වන ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමයි. එහෙත්, මෙම ඉහළ දැමීම 0.25%ක සංකේතාත්මක ඉහළ දැමීමක් පමණයි. මීට සාපේක්ෂව පසුගිය මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික 1%කින් වැඩි කළා. ඒ අනුව පෙනෙන්නේ මේ මගින් මහ බැංකුව විසින් සිදු කර තිබෙන්නේ උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකුවට තිබෙන කැප වීම ප්‍රදර්ශනය කිරීමක් පමණක් බවයි. එසේ කිරීම හරහා උද්ධමන අපේක්ෂා පාලනය කිරීම මගින් මිල ගණන් ඉහළ යාමේ නැඹුරුව පාලනය කිරීමද උද්ධමනය පාලනය කිරීම සඳහා යොදා ගන්නා ප්‍රචලිත ක්‍රමයක්.
රටේ මුදල් සැපයුම කෙරෙහි වඩා විශාල බලපෑමක් කරනුයේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය දැඩි කර ඇති දෙවන ක්‍රමයයි. එනම් වාණිජ බැංකු වල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% සිට 3% දක්වා ඉහළ දැමීමයි. මේ හේතුව නිසා වාණිජ බැංකු වලට තමන් සතු රුපියල් වලින් බිලියන සීය ඉක්මවන ප්‍රමාණයක් මහ බැංකුවේ තැන්පත් කරන්නට සිදු වෙනවා. එමගින් වාණිජ බැංකු විසින් ණය ලබා දීම සහ මුදල් සැපයුම ප්‍රසාරණය වීම සීමා වෙනවා.
වාණිජ බැංකු විසින් ණය ලබා දීම සීමා වෙනවා කියන්නේ පාරිභෝගිකයින් විසින් බැංකු වලින් ණය ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය ඉහළ යනවා කියන එකයි. මෙම ඉහළ යාම ප්‍රතිපත්ති පොලී අනුපාතික සුළු වශයෙන් ඉහළ දැමීම නිසා සිදු වන බලපෑම ඉක්මවා යන්නක්. එමෙන්ම මහ බැංකුව විසින් මේ ආකාරයෙන් ඉල්ලුම පාලනය කිරීම ආර්ථික වර්ධනය කෙරෙහි පැහැදිලි සෘණාත්මක බලපෑමක් සිදු කරනවා.
මහ බැංකුව විසින් මෙවැනි තීරණයක් ගන්නට ඇත්තේ ඇයි?
මහ බැංකුවට තාවකාලික සැපයුම් කම්පන හේතුවෙන් උද්ධමනය ඉහළ යාම වැළැක්විය නොහැකි වුවත් ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය පාලනය කළ හැකියි. මහ බැංකුවක ප්‍රධාන කාර්යය වන්නේද එසේ ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය පාලනය කිරීමයි. මහ බැංකුවේ තීරණය අනුව පෙනී යන්නේ සැපයුම් කම්පනයේ බලපෑම ඉවත් වීමෙන් පසුවද උද්ධමනය 5% මට්ටමට ඉහළින් පැවතීමේ අවදානම පිළිබඳව මහ බැංකුව සැලකිලිමත් වී ඇති බවයි. වෙනත් අයුරකින් සරලව කිවුවොත්, මේ තීරණ නිසා ඉදිරි වසර මැද වන තුරු උද්ධමනය අඩු වෙන්නේ නැහැ. නමුත් මහ බැංකුව විසින් පුරෝකථනය කරන පරිදි ඉන් පසුව උද්ධමනය 5% මට්ටම දක්වා අඩු කර පවත්වා ගැනීම සඳහා මෙවැනි මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් අවශ්‍ය වෙනවා.
මේ තීරණය පසු පස, රටේ විදේශ අංශය මුහුණ දී ඇති දිගුකාලීන තත්ත්වයන් වල බලපෑම දකින්නට පුළුවන්. මැදපෙරදිග තත්ත්වය නිසා ඇති වූ තාවකාලික බලපෑම ඉවත්ව ගියද, රටේ විදේශ අංශය තුළ පවතින ආකෘතිමය ප්‍රශ්න නිසා උද්ධමනය කෙරෙහි ඇති විය හැකි බලපෑම් ඒ අයුරින් ඉවත්ව යන්නේ නැහැ.
මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් වැඩ සටහන නිසා ණය පැහැර හැරි තැනකින් පටන් ගත් රටේ ආර්ථිකය ඉතා ඉක්මණින් ස්ථාවර කර ගැනීමට හැකි වී ඇතත්, එම වැඩ සටහන අවසන් වනුයේ මූල්‍ය අරමුදලේ සහයෝගයක් නොමැතිව රටේ ආර්ථිකය දිගටම පවත්වා ගත හැකි මට්ටමේ ශක්තියක් ගොඩ නගා ගනිමින් නෙමෙයි. ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දේ සිදු වී ඇතත්, රටේ විභව ආර්ථික වර්ධනය වැඩි කරගැනීම සඳහා දායක විය හැකි ප්‍රතිසංස්කරණ පසු ගිය කාලය තුළ සිදු වී නැහැ.
රටක ආර්ථික ස්ථායීතාවය පවත්වා ගැනීම දේශපාලනික තේරීමක් නෙමෙයි. දේශපාලනික තේරීම් මොනවා වුනත්, රටේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ස්ථායීතාවය නොසලකා හරින්නේනම් ඉතා ඉක්මණින්ම වෙළඳපොළ හරහා තත්ත්වය නිවැරදි වෙනවා. එය සිදු වන්නේ උද්ධමනය ඉහළ යාම ලෙස හෝ විණිමය අනුපාතය වෙනස් වීම හරහා විය හැකියි. මහ බැංකුව හා රජය විසින් අවශ්‍ය දේ නොකළහොත් වෙළඳපොළ විසින්ම අවශ්‍ය දේ කරනවා. මෙය සිදු වීමට දශක ගණනක කාලයක් ගත වන්නේ නැහැ.
මේ හා සාපේක්ෂව බලද්දී රටේ විභව ආර්ථික වර්ධනය වැඩි කරගැනීම දේශපාලනික තීරණයක්. ආර්ථිකය යම් නිශ්චිත වර්ධන වේගයකින් ඉහළ යාම තේරීමක් මිසක් අනිවාර්ය අවශ්‍යතාවයක් නෙමෙයි. ආර්ථික වර්ධනය වෙනුවෙන් කළ යුතු දේ දේශපාලනිකයි. එහෙත් මෙම දේශපාලනික තේරීම සිදු කිරීමෙන් පසුව, ඒ මත පාදක වන වර්ධන වේගයක් පවත්වා ගනිමින් ආර්ථිකය ස්ථායී ලෙස පවත්වා ගන්නට සිදු වීම දේශපාලනික තේරීමක් නෙමෙයි. අනිවාර්යයෙන්ම කරන්නට සිදු වන දෙයක්.
මූල්‍ය අරමුදලේ මුල් වැඩ පිළිවෙළ තුළ ඉලක්ක කර තිබුණු ශක්‍ය වර්ධන වේගය 3.1%ක් පමණයි. පසුගිය දෙවසර තුළ රටේ ආර්ථිකය ඊට වඩා වැඩි වේගයකින් වර්ධනය වූයේ ආර්ථිකය තවමත් 2018 පැවති මට්ටම කරා පැමිණෙමින් තිබෙන නිසා මිස සැබෑවටම ප්‍රසාරණය වූ නිසා නෙමෙයි. මේ අනුව, 2018දී පැවති මට්ටම කරා ආර්ථිකය නැවත වර්ධනය වීමෙන් පසුව, රටේ වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් ඉහත මට්ටම දක්වා හෝ තරමක් වැඩි 4% ආසන්න මට්ටමක් දක්වා අඩු වීම, පවතින තත්ත්වයන් තුළ, පැහැදිලි යථාර්ථයක්.
පවතින යථාර්ථයන් තුළ, විදේශ අංශය ස්ථාවරව තබා ගන්නා අතර විදේශ සංචිත වර්ධනය වේගවත් කරගත හැකි එකම ක්‍රමය ඩොලරයක මිල වේගයෙන් ඉහළ යාමට ඉඩ හැරීමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආනයනික උද්ධමනය ඉහළ යනවා. එවැනි තත්ත්වයක් තුළ රටේ සමස්ත උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීම සඳහා දේශීය ඉල්ලුම දැඩි ලෙස පාලනය කිරීමට සිදු වෙනවා. එයින් අදහස් වන්නේ ආර්ථික වර්ධනයද දැඩි ලෙස සීමා වෙන්නට ඉඩ හරින්නට සිදු වෙනවා කියන එකයි.
දැනට මහ බැංකුව විසින් උත්සාහ කරන බව පෙනෙන්නේ උද්ධමනය, ආර්ථික වර්ධනය සහ විදේශ අංශයේ ස්ථාවරත්වය අතර යම් තුලනයක් පවත්වා ගැනීමටයි. එවැනි තුලනයක් පවත්වා ගැනීමටනම් මූල්‍ය අරමුදලේ උදවු දිගටම අවශ්‍ය වෙනවා. එසේ නැත්නම්, විදේශ අංශයේ ස්ථාවරත්වය වෙනුවෙන් උද්ධමනය හෝ ආර්ථික වර්ධනය යන දෙකෙන් එකක් කැප කරන්නට සිදු වෙනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මහ බැංකුවේ අනිවාර්ය තේරීම වනු ඇත්තේ උද්ධමනය පාලනය කිරීමයි.
මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීම රාජ්‍යමූල්‍ය කළමණාකරණය කෙරෙහි සෘජු බලපෑමක් සිදු කරනවා. එක පැත්තකින් කෙටිකාලීන පොලී අනුපාතික ඉහළ දැමීම මගින් රජයේ ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළ යනවා. අනෙක් අතින් මුදල් සැපයුම සීමා වෙද්දී ණය සැපයුම පහළ යාම නිසාද පොලී අනුපාතික ඉහළ යනවා. ඒ අතරම, ණය වර්ධනය පාලනය වී ආර්ථික වර්ධනය සීමා වෙද්දී රාජ්‍ය ආදායම් ඉහළ යන වේගයද අඩු වෙනවා. මේ සියල්ල විසින් රාජ්‍යමූල්‍ය කළමණාකරණය කෙරෙහි සිදු කරන්නේ අහිතකර බලපෑම්.
රාජ්‍යමූල්‍ය ප්‍රසාරණය මේ ප්‍රශ්නයට විසඳුමක්ද?
කිසිසේත්ම එය එසේ වන්නේ නැහැ. රාජ්‍යමූල්‍ය ප්‍රසාරණය හේතුවෙන් අයවැය හිඟය පුළුල් වෙද්දී සිදු වන්නේ පෞද්ගලික අංශයේ ණය සැපයුම තවදුරටත් අඩු වී පොලී අනුපාතික තව දුරටත් ඉහළ යාමයි. මෙමගින් රාජ්‍යමූල්‍ය ප්රසාරණයේ යම් සාධනීය බලපෑමක් තිබුණේ වුවද එය පහසුවෙන්ම නිශේධනය වන වඩා විශාල බලපෑමක් ආර්ථික වර්ධනය කෙරෙහි ඇති වෙනවා.
මේ තත්ත්වය තුළ ඉදිරියට යා හැකි එක් ක්‍රමයක් වන්නේ ක්ෂණිකව මූල්‍ය අරමුදලෙන් සහ ඉන් පසුව ජාත්‍යන්තර ස්වෛරිත්ව වෙළඳපොළෙන් විදේශ ණය යම් ප්‍රමාණයක් ලබා ගැනීම මගින් කෙටිකාලීනව විදේශ අංශය ස්ථාවර කර ගන්නා අතර උද්ධමනය හා ආර්ථික වර්ධන වේගය යම් ප්රශස්ත මට්ටමක පවත්වා ගැනීමයි. දෙවන විකල්පය විදේශ අංශය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා උද්ධමනය හෝ ආර්ථික වර්ධනය යන දෙකෙන් එකක් කැප කිරීමයි. මෙය දේශපාලනික තේරීමක්.

No comments:
Post a Comment
මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.