Tuesday, September 27, 2016

එක පියෙකුගෙ දරු කැල ලෙසිනා...

මහා පරාක්‍රමබාහු රජු ලංකාවේ රාජ්‍ය කරන කාලයේදී මොන්ගෝලියාවේ ගෝත්‍රයක ප්‍රධානියෙකුගේ දරුවෙකු ලෙස උපන් ජෙන්ඝීස් ඛාන්ට සිය මැදි වයස වන විට මොන්ගෝලියාවේ සියළු ගෝත්‍ර එක්සේසත් කිරීමටත්, වයස අවුරුදු 65ක්ව මියයන විට වත්මන් ආසියාවේ හා යුරෝපයේ විශාල භූමි ප්‍රදේශයක පැතිරුණු ලෝක ඉතිහාසයේ ලොකුම අධිරාජ්‍යයක් ගොඩ නැඟීමටත් හැකි විය. ජෙන්ඝීස් ඛාන්ගේ අනුප්‍රාප්තිකයින් විසින් තවදුරටත් පුළුල් කෙරුණු මේ අධිරාජ්‍යය තුදුස්වන සියවසේ මුල තෙක්ම මෙසේ තනි අධිරාජ්‍යයක් ලෙස පැවති අතර ඉතිහාසයේ විවිධ පාලකයින් විසින් ගොඩනඟා ඇති අධිරාජ්‍යයන් අතරින් එය ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අප වඩා හොඳින් දන්නා ඉංග්‍රීසි අධිරාජ්‍යයට පමණි.

යුද්ධ හෝ අධිරාජ්‍ය ගොඩනැඟීම් කවර කලෙකවත් මනුෂ්‍ය සංහතියේ යහපත පිණිස හේතු නොවීය. ඒ අතරින්ද, රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම හරහා ගොඩනඟාගන්නා අධිරාජ්‍යයන්ට සාපේක්ෂව තනිකරම බලය යොදා යටත් කරගැනීම මඟින් අධිරාජ්‍යයන් ගොඩනැඟීම වඩා විනාශකාරීය. ජෙන්ඝීස් ඛාන් සිය අධිරාජ්‍යය ගොඩනැඟීම පිණිස හැමවිටම වාගේ යොදාගත්තේ දෙවන ක්‍රමයයි. තමන්ට ප්‍රතිරෝධයක් දක්වන ජන කණ්ඩායම් මුළුමනින්ම සමූලඝාතනය කර දැමීම හා කාන්තාවන් දූෂණය කිරීම ජෙන්ඝීස් ඛාන්ගේ යුධ ක්‍රමෝපායයේ අවියෝජනීය කොටසක්ව පැවතී ඇති බව පෙනේ.

අළුතින් යටත් කරගන්නා ප්‍රදේශවල කාන්තාවන්ගෙන් "හොඳම කොටස" මුලින්ම වෙන් කර ගෙන ඇත්තේ ජෙන්ඝීස් ඛාන් විසිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෙන්ඝීස් ඛාන්ට දාව ඉපදී ඇති දරුවන් ගණන 1000-2000 අතර ප්‍රමාණයක් ලෙස සැලකේ. ජෙන්ඝීස් ඛාන්ගේ දරුවෝද, කුබ්ලායි ඛාන් වැනි මුණුපුරෝද මේ පිළිවෙත ඉදිරියට ගෙන ගියහ. මෙහි අවසාන ඵලය ලෙස, අද වන විට ලෙස ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෝ විශාල ගණනකි.

පිරිමි දරුවෙකු පිළිසිඳ ගැනීමේදී වයි-ක්‍රොමසෝමය උරුම විය හැක්කේ පියාගෙන් පමණි. මේ නිසා යම් පුද්ගලයකුගේ වයි-ක්‍රොමසෝමය අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ පීතෘ පාර්ශ්වයීය සම්භවය ගැන දැනගත හැකිය. ටික කලකට පෙර සිදු කෙරුණු මෙවැනි අධ්‍යයනයකදී හෙළිවූ කරුණක් වූයේ, සාමාන්‍යයෙන් ජනගහණයක එක සමාන වයි-ක්‍රොමසෝම දෙකක් හමුවීම සුලභ සිදුවීමක් නොවුණත් තෝරාගත් නියැදියේ විශාල පිරිසක් සතුව එක්තරා සුවිශේෂී වයි-ක්‍රොමසෝමයක් ඇති බවයි. 2003 වසරේදී පළ කෙරුණු මේ පර්යේෂණ පත්‍රිකාවට අනුව  පැරණි මොන්ගෝලියානු අධිරාජ්‍යයට අයත් ප්‍රදේශ වල ජනගහණයෙන් 8%කටම ඇත්තේ මේ එකසමාන වයි-ක්‍රොමසෝමයයි. මෙය ලෝක ජනගහණයෙන් 0.5%කට ආසන්න ප්‍රමාණයකි. ආකෘති මඟින් පෙනෙන පරිදි මේ වයි-ක්‍රොමසෝමය මෙසේ ව්‍යාප්ත වීමේ මූලාරම්භය ජෙන්ඝීස් ඛාන් ජීවත් වූ කාලයට ආසන්නය.

ඉහත අධ්‍යයන ප්‍රතිපලය අනුව ඔවුන්ගේ නියැදිය අහඹු නියැදියක්ය යන උපකල්පනය මත ලෝකයේ සෑම 200කින් එක් අයෙකුම ජෙන්ඝීස් ඛාන්ගෙන් පැවතෙන්නෙකි. පසුව සිදු කෙරුණු වෙනත් අධ්‍යයන අනුව, මෙසේ වත්මන් ලෝක ජනගහණය තුළ තමන්ගේ ජාන විශාල ලෙස නියෝජනය කරන එකම ඓතිහාසික චරිතය ජෙන්ඝීස් ඛාන් පමණක් නොවේ. 2005දී පළවූ අධ්‍යයනයක් මඟින් චින් රජපෙළපතේ (Qing Dynasty) සාමාජිකයෙක්ද, තවත් අධ්‍යයනයකින්  අයර්ලන්තයේ Uí Néill/ O'Neill වාසගම් දරන අයගේ ආදිතමයෙක්ද මේ අයුරින් හඳුනාගෙන තිබේ.

ලෝකය ඉදිරියට යද්දී මෙසේ වැඩි වශයෙන් ශේෂ වන්නේ යහපත් මිනිසුන්ගේ ජාන නොවේ. හොඳින් හෝ නරකින් අනෙක් මිනිසුන් සමඟ තරඟකර ජය ගන්නා අයගේ ජානයි.






(උඩම ඡායාරූපය ලබාගත්තේ අන්තර්ජාලයෙනි. මෙය උලන් බතාර්හි ඇති ජෙන්ඝීස් ඛාන් ස්මාරකයකි. එම ස්ථානයේම සාදා ඇති පහළ ඡායාරූප වල ඇති ඉතිරි ස්මාරක ඉකොනොමැට්ටා විසින් වසර කිහිපයකට පෙර ගත් ඒවාය. සමාජවාදය බිඳ වැටීමෙන් පසු නැවතත් ජෙන්ඝීස් ඛාන් මොන්ගෝලියානු ජාතික වීරයෙකු ලෙස සැලකුම් ලබයි.)

21 comments:

  1. පකිස්ථානයේ සහ ඇෆ්ගනිස්ථානයේ පීඩිත ජන කොටසක් වන හසාරා ජනතාව ඔය ජෙන්ගිස් ඛාන්ලාගෙන් ඵැවතෙන අය නේද?

    ජෙන්ගිස් ඛාන්ලාගේ වැඩ කිඩ කෙසේ වෙතත්, මොංගෝලියානු ආභාෂය ලැබූ චීන කෑමක්වන මොන්ගෝලියන් බාබකියු නම් මා ඉතා ප්‍ර්‍රිය කරන කෑමක්.

    ReplyDelete
    Replies
    1. කලිඩ් හොසෙයිනිගේ ද කයිට් රනර් සහ අනෙකුත් පොත්වලත් මේ හසාරා ජන කොටස් ගැන ලියවෙනවා. මේ පොතේ හසන්ගේ චරිතය මතක්වුනා.

      Delete
    2. ඔව්. ඔවුන් මොන්ගෝලියානු සම්භවයක් ඇති අය ලෙස තමයි සැලකෙන්නේ.

      Delete
  2. ලෝකය ඉදිරියට යද්දී මෙසේ වැඩි වශයෙන් ශේෂ වන්නේ යහපත් මිනිසුන්ගේ ජාන නොවේ. හොඳින් හෝ නරකින් අනෙක් මිනිසුන් සමඟ තරඟකර ජය ගන්නා අයගේ ජානයි./////// this is bad

    ReplyDelete
    Replies
    1. එතකොට එවැනි ලෝකයක පෙරට වඩා මානව හිමිකම්,අයිතිවාසිකම් ගැන හිතන්නේ සංවේදී වෙන්නේ කොහොමද?
      හොඳින් හෝ නරකින් අනෙක් මිනිසුන් සමඟ තරඟකර ජය ගන්නා අයගේ ජාන සමගින් නම් ලෝකය ඉදිරියට ගමන් කරන්නේ එහි ප්‍රතිපල බිහිසුණු වෙන්නේ නැතිද ?නැතිනම් මිනිස්සුගේ ජානත් ඒ බිහිසුණු බවට හැඩගැසිලාද ?

      Delete
    2. මනෝජ්, මෙය හොඳ ප්‍රශ්නයක්! ප්‍රධානම හේතුව වන්නේ මිනිස්සුන්ට සංස්කෘතිය කියා වෙනත් සතුන්ට නැති (හෝ යාන්තමට වගේ පමණක් ඇති) දෙයක් තිබීම. ඒ නිසා, හෝමෝ සේපියන්ස්ලා තමන්ගේ ජාන වලට අමතරව තව ගොඩක් දේවල් පරම්පරාවෙන් පරම්පරාවට උරුම කර දෙනවා. එය කරන්නේ (විධිමත් හෝ අවිධිමත්) අධ්‍යාපනය හරහා. ඒ නිසා, මිනිස්සුන්ට තමන්ගේ ජාන වලින් කරන පෙළඹවීම් වලින් වෙනස්ව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ජීව විද්‍යාත්මක පරිණාමය ඉතා හෙමින් වන දෙයක් නිසා හදිසියේ බාහිර පරිසරයේ සිදුවන වෙනසකට ප්‍රතිචාර දක්වමින් වෙනස් වීමට පරම්පරා ගණනක්, අවුරුදු දහස් ගණනක් යනවා. ඒත්, සංස්කෘතික පරිණාමය ඉතා වේගයෙන් සිදු විය හැකියි. ඒ නිසා, හෝමෝ සේපියන් කෙනෙකුගේ ජීවිත කාලය තුළ වුනත් ඔවුන් හැසිරෙන, ක්‍රියා කරන විදිහ විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්.

      දෙවනුව, ඇතැම් තත්ත්ව යටතේ පරිණාමීය තරඟය ජය ගන්නේ ගැටුම් වලට නොයන අය වෙන්නත් පුළුවන්. එය මේ විදිහට විස්තර කරන්න පුළුවන්. ජෙන්ඝීස් ඛාන් භීෂණය වපුරවමින් දරුවන් 2000ක් හදන විට ඔහු සමඟ ගැටෙන තව විශාල ගණනක් මැරෙනවා. ඔහුගේ ක්‍රමෝපායය වුණේ පළමුව යටත් වීමට ඉඩ හැරීම හා යටත් නොවන ප්‍රදේශ වල පිරිස් මුළුමනින්ම ඝාතනය කිරීම. මේ නිසා ජෙන්ඝීස් ඛාන්ගේ දරුවන් 2000ක් බිහිවන විට, ගැටුම් වලට ප්‍රිය කරන තවත් විශාල පිරිසකගේ ජාන ඊළඟ පරම්පරාවට යන එක නවතිනවා. නමුත්, යටත් වන "බියගුළු" සේ පෙනෙන අයගේ ජාන එසේ ගහණයෙන් ඉවත් වන්නේ නැහැ. ඒ නිසා අවසාන වශයෙන් ගැටුම් වලට කැමති අයගේ ප්‍රතිශතය අඩුවෙන්නත් පුළුවන්.

      Delete
  3. මොන්ගෝලියාවට ඔහොම වෙලා තියෙන්නේ ඔය කියන ඛාන්ගේ ජානවලින් හැදුනු අය හින්දා වෙන්න ඇති.:P

    ReplyDelete
    Replies
    1. ඇයි, මොන්ගෝලියාවට මොකද වෙලා තියෙන්නේ? :)

      Delete
  4. //තමන්ට ප්‍රතිරෝධයක් දක්වන ජන කණ්ඩායම් මුළුමනින්ම සමූලඝාතනය කර දැමීම හා කාන්තාවන් දූෂණය කිරීම ජෙන්ඝීස් ඛාන්ගේ යුධ ක්‍රමෝපායයේ අවියෝජනීය කොටසක්ව පැවතී ඇති බව පෙනේ. //

    එහෙත් ඔහු religious tolerance අතින් ඒකාලයේ අනිත් පාලකයින්ට ඉතා ඉහල තැනක සිටියා.
    ඇත්තෙන්ම බැලුවාම බලය සඳහා කෲර, කපටි, අන්එතිකල් දේ කිරීම ideological හෝ ආගම් පිස්සුවෙන් කරන වැඩවලට වඩා සංසන්දනාත්මකව හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක ඇත්ත. religious tolerance අතින් ඔහු සිටියේ ඉතාම ඉදිරියෙන්. එක අතකින් මෙය ඔහුගේ යුද උපක්‍රමයක්. සමූලඝාතන කළ ප්‍රදේශ වල පමණක් සියළුම ආගමික ස්ථාන විනාශ කර තිබෙනවා. බලය සඳහා ජනඝාතන, ස්ත්‍රී දූෂණ ආදිය කිරීමනම් ආගමික හේතු මත කළත්, වෙන හේතු මත කළත් සාපේක්ෂව හෝ හොඳයි කියන වචනය කියන්න අමාරුයි.

      Delete
  5. තවත් වටින ලිපියක්
    ස්තූතියි

    ReplyDelete
  6. හැක්, පහුගිය දවස්වල රජ කූමාරයාගේ මූන දැක්ක මුල් දවස්වල සමහරු කීවේ මොංගොලියාවේ ජාන තියනවා වගෙ පෙනුමයි කියලා, අපේ මිනිස්සු බටහිර විද්‍යාව නැතත් යමක් තේරුම් ගන්න දස්සයෝ.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට (මෙනවියට?) දරුවෙකු ලැබුනොත් ඔහු කවුරු මෙන් විය හැකිද?

      Delete
  7. මෙයා ශාරුක්, අමීර්, සල්මාන් ලගේ මී මුත්තෙක් වෙන්න පුළුවන් එහෙනම්...

    ජෙන්ඝීස් ඛාන් මුස්ලිම් කෙනෙක් ද ?

    ReplyDelete
    Replies
    1. නෑ මීගමුව පැත්තේ පල්ලියක අන්නවීරාල කෙනෙක්

      Delete
    2. ජෙන්ඝීස් ඛාන් මුස්ලිම් කෙනෙක් නෙමෙයි. ඒත් පසුව, උතුරු ඉන්දියාව හා පකිස්ථානය ඇතුළත් ප්‍රදේශ වල මූඝල් (මොංගල් යන තේරුමම තමයි) අධිරාජ්‍යය ගොඩනඟන ජෙන්ඝිස් ඛාන්ගේ මී මුණුපුරන් ඉස්ලාම් භක්තිකයින්.

      Delete
  8. මොන්ගොලියාව තවමත් නවීන ලෝකයෙන් ඈත්වූ රටක් විදිහටයි මටනම් පෙනෙන්නේ. අශ්ව රේස්, මල්ලවපොර, හැර, ක්‍රීඩා අංශයෙනුත් දියුණුවක් නැහැ. විශේෂයෙන් සංවර්ධනය රට තුලට ගලායන්නේ බොහොම හෙමින්.

    ReplyDelete
    Replies
    1. විචාරක කියන එක ඇත්ත. මොංගෝලියාව මම ගිහින් තියෙන රටවලින් වෙනස්ම රටක්. එහි නිල සංඛ්‍යාලේඛණ සියල්ල පදනම් වෙන්නේ ප්‍රධාන වශයෙන්ම උලාන් බතාර් අගනුවර ආශ්‍රීතව ජීවත් වන "ශිෂ්ට" ජනගහණය මත පමණයි. සංඛ්‍යාලේඛණ වලට ගණන් නොගැනෙන තවමත් එඬේර දිවියක් ගෙවන විශාල ජනගහණයක් තවමත් රටේ ඉන්නවා.

      Delete
  9. එක පියෙකුගේ දරුවෝ වෙන්නම ඕනේ නැහැනේ ඉකොනෝ අය්යන්ඩි, බෑන වුනත් ඇතිනේ! බලන්නකෝ අපේ අර්ජුන් ඇලෝසියස් අය්ය, අවුරුදු එකහමාරකින් බිලියන පහක් ලබා හොයල පෙන්නුවේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.