Saturday, September 24, 2016

බවලත්තු හොයන බලවත්තු

දේශපාලන, ව්‍යාපාරික, වෘත්තීය, මිලිටරි හා කලා ක්ෂේත්‍ර ඇතුළු බොහෝ ක්ෂේත්‍ර වල සිවිල් බලයක් ගොඩ නඟාගෙන සිටින පුද්ගලයින්ගේ විවාහ සංස්ථාවෙන් පිට අනිසි සබඳතා ගැන තොරතුරු වරින් වර කරලියට පැමිණේ. එසේ නොපැමිණියද, මෙවැනි 'ලොක්කන්' බොහෝ දෙනෙකු මලින් මලට පියඹා තුඩින් තුඩග රොන් ගැනීම සිය ජීවිතයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් කරගෙන සිටින බව බොහෝ දෙනෙකුට රහසක් නොවේ.

ලංකාවේදීනම් මෙවැනි හැසිරීම් සාමාන්‍යයෙන් මෙවැනි සිවිල් බලයක් ඇති ලොක්කන්ගේ වෘත්තීය ජීවිතය අවදානමට ලක් නොකරයි. ඒ නිසා, එවැනි චර්යාවන් පාලනය කිරීමට විශාල පෙළඹුමක් ඇති නොවීම පුදුම සහගත දෙයක් නොවේ.

ඇමරිකාවේදී මෙවැනි සිදුවීම් මෙවැනි 'ලොක්කෙකුගේ' වෘත්තීය ජීවිතය අවදානමෙහි හෙලීමේ වැඩි සාපේක්ෂ ඉඩකඩක් තිබේ. එහෙත්, එවැනි තත්ත්වයක් යටතේ වුවද තහනම් රස සොයමින් අන් මල් වල රොන් ගන්නට පෙළඹෙන්නෝ නොඅඩුය.

බිල් ක්ලින්ටන් හා මොනිකා ලෙවින්ස්කි ගැන නොදන්නා අය ඇත්නම් ඒ ඉතා අඩුවෙනි. ලෝක බැංකු සභාපතිව සිටි පෝල් වුල්ෆොවිට්ස්ට සිය තනතුරෙන් ඉල්ලා අස් වීමට බල කෙරුණු ශාහා රිසා සමඟ වූ සම්බන්ධතාවයද බොහෝ දෙනාට අමතකව තිබිය නොහැකිය. ව්‍යාපාරික ලෝකයෙහි, හැව්ලට්-පැකාර්ඩ්හි හිටපු ප්‍රධාන විධායක නිලධාරී මාක් හර්ඩ් මෙන්ම, බෝයිංහි ප්‍රධාන විධායක නිලධාරී වූ හැරී ස්ටෝන්සයිපර්ටද රස්සා නැති කරගන්නට වුනේ මෙවැනිම අනියම් සම්බන්ධතා නිසාය. මේ කිසිවකු මේ අවදානම් නොදත්තෝ නොවූහ. එසේනම්, ඔවුන් අනියම් සබඳතාවක් වෙනුවෙන් මෙසේ සිය වෘත්තීය  අනාගතයම පරදුවට තබන්නට තරම් 'මෝඩ වෙන්නේ' ඇයි?

පළමුව, අප විමසා බැලිය යුත්තේ මෙය ඇත්තටම සිවිල් බලවතුන්ගේ සුවිශේෂී චර්යාවක්ද යන්නයි. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ මෙවැනි චර්යාවක් ගැන සමාජ ජාල වල පුවතක් සංසරණය වන බොහෝ විට දක්නට ලැබෙන සුලභ ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි.

"දැන් ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ xxx කරපු නිසා. ඕක සාමාන්‍ය කෙනෙක් කළානම් කවුරුවත් කතා කරන්නෙවත් නැහැ."

ඇත්තටම මෙතැන තියෙන්නේ සිවිල් බලවතුන්ගේ පෞද්ගලික ජීවිත හාරා ඇවිස්සීමට සාමාන්‍ය පුද්ගලයින්ට ඇති කුතුහලය නිසා ජනමාධ්‍ය මඟින් එවැනි සිද්ධීන්ට වැඩි ප්‍රචාරයක් දීම නිසා ඇති වන තත්ත්වයක්ද?

නෙදර්ලන්තයේ ටිල්බර්ග් හා ග්‍රොනින්ගන් සරසවි වල ජොහිස් ලැමර්ස් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් 2010දී පලකළ පර්යේෂණ පත්‍රිකාවකට අනුව මෙය එවැනි තත්ත්වයක් නොවේ. වෘත්තිකයින් 1,561 දෙනෙකු යොදාගෙන සිදු කළ මේ පර්යේෂණයෙන් පෙනී යන්නේ සිවිල් බලය වැඩිවන තරමට අනියම් සම්බන්ධතා සඳහා වන පෙළඹුම වැඩි වන බවයි. එහෙම වෙන්නෙ ඇයි?

මේ සඳහා පරිනාමීය මනෝවිද්‍යාවෙහි පැහැදිලි කිරීමක් තිබේ. පරිනාමීය මනෝවිද්‍යා විශ්ලේෂනයක් බොහෝ විට පදනම් වන මූලික ගොඩනැඟුම් වලින් එකක් වන්නේ වර්ගයා බෝ කිරීමේ කාර්යයහිදී ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ඇති ජීවවිද්‍යාත්මක හැකියාවන්ගේ අසමමිතියයි.

නිවුන් දරු උපත් සිදු නොවුවහොත්, ගැහැණියකට සාමාන්‍යයෙන් දස මසක් තුළ එක් දරුවෙකුට වඩා බිහිකළ නොහැක. දරුවෙකු පිළිසිඳගත් තැන් සිට එම දරුවා බිහිවන තුරුත්, තවත් කෙටි කාලයක් යන තුරුත් නැවත දරුවෙකු බිහි කිරීමට දායක වීමට ඇයට ජීව විද්‍යාත්මක බාධාවක් තිබේ. ඒ නිසා, ප්‍රශස්ත තත්ත්වයන් යටතේ වුවත් ගැහැණියකට සිය ජීවිත කාලය තුළ දරුවන් සියයකට වඩා බිහි කිරීමේ ජීව විද්‍යාත්මක හැකියාව නොගිණිය හැකි තරම් කුඩාය. දැනට පවතින වාර්තා අනුව මෙතෙක් වැඩිම දරුවන් ගණනක් බිහි කර ඇති ෆියදෝර් වසිලියෙව්ගේ පළමු බිරිඳ විසින් බිහිකර ඇති දරුවන් ගණන 69කි. ගැහැණියක ලිංගික සබඳතා පවත්වන සහකරුවන් ගණන කොපමණ වැඩි වුවද මේ සීමාව ඉහළ නොයයි.

පිරිමින් හා අදාළව ඇත්තේ මෙයට වඩා බොහෝ වෙනස් තත්ත්වයකි. පිරිමියෙකුට අවශ්‍ය පමණ ලිංගික සහකාරියන් සිටීනම් දිනකට දරුවන් ගණනාවක් වුවද බිහි කිරීමේ හැකියාව තිබේ. දරුවන් සියය ඉක්මවා බිහිකළ පිරිමින් ගැන වාර්තා සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. මොරොක්කෝවේ ඉස්මයිල් ඉබන් ශරීෆ් විසින් අඩු වශයෙන් දරුවන් 867 දෙනෙකුද, ජෙන්ගීස් ඛාන් විසින් දරුවන් 1000-2000 අතර ප්‍රමාණයක්ද බිහි කිරීමට දායක වී ඇත. මේ ජීව විද්‍යාත්මක වෙනස ගැහැණුන් හා පිරිමින්ගේ ඇතැම් චර්යාත්මක වෙනස්කම් පැහැදිලි කරයි.

වෙනත් ඕනෑම සතෙකුට මෙන්ම මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහා ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුමක් තිබේ. එය ජාන වලින්ම එන්නකි. පිරිමියෙකුට මෙය වඩාත්ම සාර්ථක ලෙස කළ හැක්කේ හැකි පමණ කාන්තාවන් සමඟ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් ලිංගිකව එක් වීමෙනි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය පමණ සහකාරියන් නොමැති නිසා පිරිමින්ට අනෙක් පිරිමින් සමඟ තරඟ කිරීමට සිදුවේ.

ඉතිහාසයේ වැඩි කාලයක් සහකාරියන් ලබා ගැනීමේ තරඟයෙන් ජයගත්තේ ශරීර ශක්තියෙන් වැඩි අයයි. මේ නිසා ශරීර ශක්තිය වැඩි, උස මහත පිරිමින්ට දරුවන් හදන්නට එතරම් ශරීර ශක්තියක් නැති පිරිමින්ට වඩා වැඩි අවස්ථාවන් ලැබුණේය. ඒ නිසා කාලයත් සමඟ උස මහත පිරිමින්ගෙන් පැවතෙන්නෝ වැඩි වූහ. සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා ගැහැණුන් උසින් අඩු මේ නිසාය.

යම් ගහණයක සිටි ශක්තිමත් පිරිමි ගැහැණුන් හා එක්වූයේ හැමවිටම ඔවුන්ගේ කැමැත්තෙන්ම නොවේ. මෙය බොහෝ විට බලහත්කාරයෙන්ද සිදු විය. පිළිසිඳ ගැනීම සිදු වූයේ කැමැත්තෙන් එක්වීමෙන් වුවද, නොවුවද ගැබ්බර වන කාන්තාවකට දරුවා බිහි කර ලොකු මහත් කරන්නට සිදු වූ නිසා ස්ත්‍රී දූෂකයින්ගේ ජාන ගහණයෙන් ඉවත් නොවීය. ඒ නිසා, අඩු වැඩි වශයෙන් අප සියල්ලෝම ස්ත්‍රී දූෂකයන්ගෙන් පැවතෙන්නෝය.

ඉහත ප්‍රවාදය අනුව, මිනිස් ගහණයක තිබිය යුත්තේ කුකුළු කොටුවක වැනි තත්ත්වයකි. එය එසේ නොවී එක් සහකරුවෙකු සමඟ කුටුම්භයක් හදන තැනකට මිනිසුන් යොමු වුණේ ඇයි?

පිරිමින් හා අදාළ තත්ත්වය ඉහත පරිදි වුවත් ගැහැණුන් සම්බන්ධව එය එසේම නොවීය. සහකරුවන් වැඩි වූ පමණින් ගැහැණුන්ට ඉහත ආකාරයේ වාසියක් නොලැබේ.

පිරිමියෙකු විසින් ගැහැණියක ගැබ්බර කිරීමෙන් පසු ඔහුගේ කාර්යය අවසන් වුවද ඇයගේ කාර්යය එතැනින් අවසන් නොවේ. ඇගේ ජාන ඉදිරියට ගෙන යා හැක්කේ මේ කළලය ප්‍රවේශම් කරගෙන, නිරෝගී දරුවෙකු බිහි කර එම දරුවා දරුවන් බිහි කරන තෙක් රැක ගත හැකි වුවහොත් පමණි.

මේ තත්ත්වය පිරිමින්ටද අදාළ වුවත් එය බලපාන්නේ එකම අයුරින් නොවේ. ගැබ්බර කළ කාන්තාව නිරෝගී දරුවෙකු බිහි නොකළහොත් ඔහුගේ ආන්තික පිරිවැය විනාඩි පහක දහයක කාලයයි. එහෙත්, ගැහැණියට එය වසරක පමණවත් කාලයකි. ඒ නිසා, ගැබ්බර වූ පසු ගැබ රැක ගැනීමට ගැහැණියකට ඇති උවමනාව පිරිමියෙකුට නැත.

දරුවෙකු සැදීමේ ජීව විද්‍යාත්මක කාර්යයේදී ගැහැණියක ගෙවන මිල පිරිමියෙකු ගෙවන මිලට වඩා ඉතාම විශාලය. ඒ අතරම, සහකරුවන් තෝරා ගැනීමේ තරඟයෙන් ජය ගන්නා පිරිමින්ට සිය ජාන ඉදිරියට ගෙන යන්නට විශාල ඉඩකඩක් ඇතත් මේ තරඟයෙන් පැරදෙන බොහෝ පිරිමින්ට සිදු වන්නේ සහකාරියන් නොමැතිව වේලෙන්නටය. මෙවැනි තත්ත්වයක් දෙපාර්ශ්වයකටම වාසි සලසන ගණුදෙනුව
ට ඉඩකඩ සලසයි.

සහකාරියන් සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුමක් නැති නිසා ගැහැණුන්ට මිල ඉහළ දැමීමේ හෙවත් ගණන් ඉස්සීමේ හැකියාවක් තිබේ. මේ අනුව, ගැහැණිය පිරිමියාට මිලක් නියම කරයි. ඒ සිය දරුවා ලොකු මහත් කර ගැනීමට උදවුවකි. එසේ වැඩිපුර උදවු කරන, ගැහැණියට වැඩි සම්පත් සැපයීමේ හැකියාවක් ඇති පිරිමින්ට දැන් සහකාරියන් සොයා ගැනීමේ වැඩි අවස්ථා හිමි වේ.

කෙසේ වුවද, මෙතැනදීත් වැඩි අවස්ථා ඇත්තේ වඩා ශක්තිමත් පිරිමින්ටය. ඔවුන්ට දඩයම් කිරීමේ හෝ වෙනත් අයුරකින් සම්පත් ජනනය කිරීමේ හැකියාව වැඩිය. ඒ නිසා, ඔවුන්ට සහකාරියන් වැඩි ගණනක් හිමි වේ. නමුත්, සහකාරියන් ගණන වැඩි වෙද්දී සීමිත සම්පත් ප්‍රමාණය වැඩි දෙනෙකු අතර බෙදන්නට සිදුවන නිසා සහකාරියන් අසීමිත ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැත. මේ හේතුවෙන්, වැඩි උසමහත නැති පිරිමින්ටත් සහකාරියක් සොයා ගැනීමට යම් ඉඩකඩක් සැලසේ.

කෙසේ වුවද, අවසාන වශයෙන්ද තමන් සතු සහකාරියන් ගණනින් පිරිමියා තෘප්තිමත් වීමක් සිදු නොවේ. සම්පත් හිඟය ඔහුව එතැනට තල්ලු කරයි. බොහෝ පිරිමින්ට වෙන්නේ තමන්ගේ සහකාරිය රැක ගැනීම සඳහා ඇයට විශ්වාසවන්තව සිටීමටය. වැඩිපුර හොයන්නට ගියොත් තියෙන එකත් නැති කර ගන්නට සිදු වේ.

ක්‍රීඩා, කලා, ව්‍යාපාරික හෝ දේශපාලන ක්ෂේත්‍රයකින් ඉදිරියට ගොස්  'පොරක්' වූ විට මේ අවදානම අඩුය. සම්පත් හිඟයක් නැති නිසා සහකාරියන් සොයා ගැනීම අපහසු නැත. ඒ නිසා තියෙන එක නැති වීමේ අවදානමක්ද නැත. ජෝහිස් ලැමර්ස් ඇතුළු පිරිස පෙන්වා දෙන පරිදි, සිවිල් බලවතුන් අනියම් සබඳතා වලට පෙළඹෙන්නේ මේ අවදානම ඉතා අඩු බවට ඔවුන් තුළ ආත්ම විශ්වාසය තහවුරු වී ඇති බැවිනි.

එසේනම්, ඉහත ආත්ම විශ්වාසයේ හා එයට පාදක වන සිය සිවිල් බලයේත් පදනම වන සිය වෘත්තීය ජීවිතයේ අනාගතය පවා කැප කර මෙවැනි සබඳතා සඳහා යොමු වන්නේ ඇයි?

මේ සඳහාද සරල පිළිතුරක් තිබේ. මිනිස්සු සිවිල් බලය ගොනු කර ගැනීමට උත්සාහ කරන්නේම සම්පත් සීමාවන් ඉක්මවා වැඩි සහකාරියන් පිරිසක් ඇසුරු කිරීමට ඇති ජීව විද්‍යාත්මක පෙළඹුම නිසාය. එසේනම්, ඉතා මහන්සියෙන් ගොඩ නඟා ගත් මේ  සිවිල් බලය යොදා ගත යුත්තේ වෙන මොන කෙහෙම්මලකටද?


(Image: www.youtube.com)

25 comments:

  1. කට්ටිය පොරවල් වෙන්න දගලන්නේ ඒකයි එහෙනම් මේ. ඕකෙ ජීව විද්‍යාත්මක පසුබිම ස්වකීය වර්ගයා වැඩිකර ගැනීම වුනත්, දැන් සිවිල් බලය තියන උන් අනියම් සබඳතා වලින් ළමයි හදන්න පෙළබෙනවා අඩුයි නේද ? ඒ කියන්නේ දැන් ඒක හුදු ලිංගික ආශ්වාදය විතරක් කියන තැනට තල්ලු වෙලාද ?

    ReplyDelete
    Replies
    1. පරිණාමය ඉතා සෙමින් සිදුවන දෙයක්. පසුගිය සියවස් කිහිපය තුල සමාජයේ සිදුවූ විශාල වෙනස්කම් වලට අපේ සිරුරු අනුවර්තනය වී නැහැ. අපේ සිරුර 'හිතන්නේ' අප තවමත් දඩයම්කරුවන් ලෙස ජීවත් වන බවයි. ඒ නිසා බොහෝ ස්වභාවික පෙළඹීම් එන්නේ එවැනි සමාජයකට ගැලපෙන ලෙසයි. සීනි වලට ඇති විශේෂ කැමැත්ත අවුරුදු දහස් ගණනක් මිනිස්සුන්ට පරිණාමීය වාසියක් ගෙන දුන්නත් දැන් එයින් වෙන්නේ අවැඩක්. ඒත්, අපේ ස්වභාවික කැමැත්ත තියෙන්නේ මේ 'නරක' දෙයටයි. ඒ එය අප පරිණාමය වූ දිගු කාලයෙන් වැඩි කාලයක්ම 'හොඳ' පුරුද්දක් වූ නිසයි. මෙයත් එවැනි දෙයක්.

      Delete
  2. මිනිසුන් මොනොගමිවලට සීමා වුනේ දඩයම් කිරීම අතහැර කෘෂිකාර්මික ජීවිත ඇරඹීම නිසා නොවේ ද?

    ReplyDelete
    Replies
    1. මේ දෙකම ආසන්නව එකම කාලයේ සිදු වුනු බව බොහෝ දෙනෙක් හිතනවා.

      Delete
  3. මාර ලිපියක්.. වටිනා පැහැදිලි කිරීමක්

    ReplyDelete
  4. Okay. What about those who get to such strong positions but do not go after any females other than own wife? What is the explanation for them?

    ReplyDelete
    Replies
    1. 1. අනගාරික
      2. නෂ්ටකාම
      3. සමරිසි

      Delete
    2. ඇනෝ, මෙය පෙනෙන්න තියෙන සංසිද්ධියක් පැහැදිලි කරන ආකෘතියක්. ආකෘතියක් මඟින්, පෙනෙන්න තියෙන දෙයක් එසේ සිදුවන්නේ ඇයි කියන එක පැහැදිලි කරනවා මිස හැම විටම එය එසේම වන බව අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ සඳහා වෙනත් හේතු බල නොපාන බව කියවෙන්නෙත් නැහැ. සත්තුන්ට වගේම මිනිස්සුන්ටත් ඇතැම් චර්යාත්මක හැසිරීම් සඳහා ජාන වලින්ම එන ස්වභාවික තෙරපුමක් තියෙනවා. එහෙත්, ඒ හේතුව නිසා මිනිසුන් හැම විටම එසේම හැසිරෙන්නේ හෝ හැසිරිය යුතු නැහැ. සරල උදාහරණයක් වන්නේ පැණිරස කන්න තියෙන ස්වභාවික කැමැත්ත. මිනිස්සු හැසිරෙන ආකාරයට ඔවුන් උපන්දා සිට මුහුණ දෙන (අධ්‍යාපනය, ජීවත් වන පරිසරය ඇතුළු) අත්දැකීම් වල විශාල බලපෑමක් තියෙනවා. ප්‍රධාන ධාරාවේ මනෝවිද්‍යාවෙන් මේ හැසිරීම් සෑහෙන දුරකට විස්තර කරනවා. පරිණාමික මනෝ විද්‍යාවේ (evolutionary psychology) මූලික අදහස වන්නේ මිනිස්සු උපදින්නේ 'ඔපරේටින් සිස්ටම්' එකක් නැති 'ෆෝර්මැට් කරපු හාඩ් ඩිස්ක්' එකක් ලෙස නොව මූලික 'ඔපරේටින් සිස්ටම්' එකක් සමඟ බවයි. "Nature vs nurture debate" කියන්නේ මෙයයි. නමුත්, උපතින් පසුව "ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර් වල" බලපෑම ඉතාම විශාලයි. ඒ නිසා උපතින්ම 'ගෝත්‍රික' සමාජයකට ගැලපෙන සිරුරක් සමඟ ඉපදුනත් අප එතැන සිටිය යුතු නැහැ. එකම සහකරුවෙකු සමඟ සිටීම වඩා හොඳ තීරණයක් වීමට බලපාන ලිපියේ කෙටියෙන් විස්තර කර ඇති 'ආර්ථික' කරුණු වගේම (එයටම සම්බන්ධ) සමාජ තෙරපුම බොහෝ විට මේ ස්වභාවික ජීව විද්‍යාත්මක තෙරපුම අභිබවා යනවා. එහෙත්, සමහර වෙලාවට දෙවැන්න උඩට එනවා.

      Delete
    3. Those are satellite males.They don't take risk in mating.

      Delete
    4. ඇනෝ, "සැටලයිට් මේල්ලා" අන්තිමට කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා නේද? සමහර විට අවදානම අතහැරියට පසුව ශුද්ධ ප්‍රතිලාභය වැඩි වෙන්නත් පුළුවන්.

      Delete
  5. සිවිල් බලය වැඩි පුද්ගලයන් වෙතින් අසීමිත උපකාර බලාපොරොත්තුවෙන් යන ගමන් වල කෙලවර වෙන්නටටහ් පුලුවන්

    ReplyDelete
  6. Menna doctorsla pasugiya kala wala strike kala wadagah hethu- econoge pera lipi ha sambandayi-
    අපරාදෙ කියන්න බෑ. ඒ වගේම ඇස් වහක් කටවහක් එහෙම නෑ. අපේ කුශාග්‍ර බුද්දිමත් අති උතුම් ජොස්තර ගොල්ලො ස්ට්‍රයික් කරන්නෙ ඔය වගෙ ඉතාම සංවේදී ඒ වගේම වෘත්තීය වැදගත් කමකින් යුත් කාරණා වලට තමයි. මේ ඒ වගෙ ජොස්තරල ස්ට්‍රයික් කරපු කාරණා කිහිපයක්.

    1. එක පාරක් ලැබ් ටෙක්නීෂියන්ලට දෙන්න ගිය සුදු කබාය ජොස්තර කබායට සමානයි කියල ඒක ගලවනකල් අපි වැඩට එන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    2. හෙදි පාලිකාවන්ගෙ වැටුප එක මට්ටමකදි ජොස්තර වැටුපට වඩා වැඩිවෙනවයි කියල ඒක අඩුකරනකල් අපි වැඩ කරන්නෙ නෑ කියල ස්ට්‍රයික් කලා.

    3. ඊගාවට ලෙඩෙකුට කැතීටරයක් දාන්න ඕන ජොස්තරද නර්ස්ද කියල විසඳගන්න බැරුව ස්ට්‍රයික් කොලා.

    4. ඊගාවට ජොස්තරලට පැමිණීම / පිටවීම අස්සං කරන්ට පොතක් දාන්ට හදනවයි කියන ආරංචියට එක්කො ස්ට්‍රයික් කලා නැත්තං ස්ට්‍රයික් කරනවයි කියල තර්ජනය කරල ඒ වැඩේ නවත්ත ගත්ත.

    මේ කාරණා මට මතක තියන විදිහට ලිව්වෙ. තව කාරණා බොහොමයක් තියනව. මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ.

    ඔය ජොස්තරලගෙ මහන්තත්තෙ හින්ද රටේ පොදු මහ ජනයා අසීරුවට අපහසුතාවයට පත්වෙන වෙලාවක් එවුංගෙ මේ ඉවක් බවක් නැතුව ස්ට්‍රයික් කිරිල්ල. මේ ඊයෙ පෙරේද ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍ර ක්‍රමය නවත්වන්ට හැදුවම ඒක ඕනය කියල දවස් ගානක් ස්ට්‍රයික් කරල කොහොම හරි ඒක ආපහු ගත්ත.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය සේවා වෙළඳපොළ මම වැඩිපුර හදාරා ඇති අනු ක්ෂේත්‍රයක් නිසා කතා කරන්න ඕනෑ තරම් දේවල් තිබුණත් එකම දේ කියවන විට ඒකාකාරී වන නිසා එය ටිකක් සීමා කළා. ඉතාම සරලව දොස්තරලා තමන්ගේ වාසිය වෙනුවෙන් කටයුතු කරනවා. මෙය හැමෝම වගේ කරන දෙයක්. කවුරු හෝ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එසේ නොකරනු ඇතැයි යමෙක් සිතනවානම් එය මෝඩකමක්.

      Delete
  7. This is from Ravi's blog- also something to note is in the catheter case- doctor's reserved the right to put catheters to only unmarried girls- all the other catheters have to be put by nurses. How smart docs are! Catheters are tubes put into a vagina. May be there is a connection in this to econ's current post on people with influence trying to handle more girl's vaginas

    ReplyDelete
    Replies
    1. ඔබ අදහස් කරන්නේ මුත්‍රා ඉවත් කිරීමට හෝ වෙනත් පරීක්ෂාවක් සඳහා (reflux වැනි) කැතීටරයක් දමන එක ගැන කියා සිතනවා. බොහෝ විට දාන්න වෙන්නේ IV කැතීටර්නේ. රවීගේ බ්ලොග් එකේ මෙය තියෙන තැන හොයාගන්න බැරිවුණා. මේ හා අදාළ පසුබිම් තොරතුර ගැනත් මම දන්නේ නැහැ.

      Delete
  8. //මිනිසෙකුටද සිය වර්ගයා වැඩි වැඩියෙන් බෝ කිරීම සඳහා ස්වභාවික ජීව විද්යාත්මක තෙරපුමක් තිබේ.//

    බලවතුන්ගේ මේ තෙරපුම වැඩිද? කාන්තාවන්ට ඔවුන් හා යෑමට ඇති අවශ්යතාවය කුමක්ද? දේශපාලකයන් එක්ක යන අය දිහා බැලුවාම ඇත්තටම කණගාටු හිතෙනවා.

    //සහකාරියන් සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුමක් නැති නිසා ගැහැණුන්ට මිල ඉහළ දැමීමේ හෙවත් ගණන් ඉස්සීමේ හැකියාවක් තිබේ.//

    ඇත්තටම දැන් කාන්තාවන් ගණන් ගිහින්ද? :D

    අර උඩ පින්තූරේ තියෙන ෆිල්ම් එක බැලුවා. ඒ බලවතා දැක්කාම නම් පුදුම අප්පිරියාවක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. //බලවතුන්ගේ මේ තෙරපුම වැඩිද? කාන්තාවන්ට ඔවුන් හා යෑමට ඇති අවශ්යතාවය කුමක්ද?//
      තෙරපුම වැඩි අය බලවතුන් වෙන්න වැඩි ඉඩක් තියෙන බවට ප්‍රවාදයක් තියෙනවා. කෙසේ වුවත්, තවමත් මේ ප්‍රවාද නිකම්ම කතන්දර මට්ටමෙන් ඉදිරියට ගිහින් නැහැ. ඒ නිසා වැඩි බරක් තැබිය යුතු නැහැ. කාන්තාවන් එසේ කරන්නේ ඔවුන්ට කවර හෝ වාසියක් ඇති නිසා.

      //ඇත්තටම දැන් කාන්තාවන් ගණන් ගිහින්ද? :D//
      කාන්තාවන්ට තමන්ගේ "මිල" අය කර ගැනීමට දැන් වැඩි ඉඩක් තියෙනවා. දියුණු රටවල මේ ඉඩකඩ වැඩියි.

      Delete
  9. බලවත්තු සොයන බලවත්තු කියන පැත්තත් සලකා බැලිය යුතු වෙනවා. ස්ත්‍රීයක් විවාහයට හෝ සම්බන්ධවීමකට පිරිමියෙක් සොයද්දී ආදී කාලයේ සෙවූ ශරීර ශක්තිය මෙන් නූතන කාලයේ බලය සහ ධනය කියන දේවලට ආකර්ශණය වෙනවා. එම නිසා තමයි මිනිසුන් එම සැපයීම ලබාගන්න බලය සහ ධනය සොයාගන්න සහ ඒහරහා කලින් තමනට ලබා ගත නොහැකිවූ දේවල් ලබා ගැනීමට යුහුසුළුවන්නේ.

    මංගල යෝජනා තීර පර්යේශණයකට යොමුකලොත් වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී ආදීන්ට ආමන්ත්‍රණය කරන දැන්වීම් ව්ලඉන් ඒ බව තේරේවි.

    ReplyDelete
    Replies
    1. ඔව්. මංගල යෝජනා අධ්‍යයනය කළොත් බොහෝ දේවල් තේරුම් ගත හැකියි. වෙන එකක් තියා ජනප්‍රිය පාසැල් වලට ඇති ඉල්ලුම පවා.

      Delete
  10. බොරු කතාවක් නේ . // වැඩි උසමහත නැති පිරිමින්ටත් සහකාරියක් සොයා ගැනීමට යම් ඉඩකඩක් සැලසේ.// ඔය කියන විධිහට වෙනවා නම් අපිට වේලෙන්න නේ වෙන්නේ. අපේ හොස්ටල් එකේ උස මහත කොල්ලෝ තමා වැඩිපුරම වේලුනේ. :)

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ලෝහ භාවිතය අරඹලා (බාල්දි වගේ උපකරණ හදන්න පටන් අරන්) ලොකු කාලයක් නෑනේ. :)

      උස මහත වටිනා දෙයක්ද කියන එක තීරණය වෙන්නේ ජීවත්වන පරිසරය අනුවයි. ඉන්දුනීසියාවේ ෆ්ලොර්ස් දූපතේ ජීවත් වුණු ආදි මානවයින්ට විශාල සම්පත් හිඟයක් තිබුණු නිසා සර්වයිව් වෙන්න පුළුවන් වුණේ අඩු ආහාර ප්‍රමාණයකින් ජීවත් විය හැකි 'කොට කෙට්ටු' මිනිස්සුන්ටයි. ඒ නිසා හෝමෝ ෆ්ලොරසියෙන්සිස්ලා පරිණාමය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට එන්න එන්නම කොට වෙමිනුයි. උස කියන එක දැන් එතරම් වැදගත් සාධකයක් නෙමෙයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.