Tuesday, September 20, 2016

දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද?



උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු ලබා, ලංකාවේ වෛද්‍ය පීඨ වලට ඇතුළත්ව වෛද්‍ය වෘත්තිකයින් බවට පත්වන්නේ කවර සමාජ ආර්ථික පසුබිමකින් එන්නන්ද?

සරසවි සිසුන් ගැන සමීප අත්දැකීම් ඇති බොහෝ දෙනෙකු දන්නා කරුණක් වන්නේ ගුරුවරුන් වැනි පහළ මධ්‍යම පාන්තික රැකියා කරන්නන්ගේ දරුවන් වැඩි වශයෙන් සරසවි වලට පැමිණෙන බවයි. වෛද්‍ය හා ඉංජිනේරු වැනි පීඨ ඉහළ මධ්‍යම පාන්තික පවුල් වල දරුවන්ටද ආකර්ෂණීය විකල්පයකි. කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසු නියැදියක් විසින් 2013 සැප්තැම්බර්හිදී වාර්තා කළ ඔවුන්ගේ පවුල්වල ආදායම් ව්‍යාප්තිය මඟින් පෙන්වන්නේ බැලූ බැල්මටම පෙනෙන ඉහත නිරීක්ෂණය වැරදි නොවන බවයි.


මේ 374ක නියැදියෙන් 42%කගේ පවුලේ ආදායම රුපියල් 40,001-100,000 අතර වේ. මේ අයගෙන් වැඩි දෙනෙකු මවුපිය දෙපළම ගුරු, ලිපිකරු වැනි රජයේ රැකියා කරන පහළ මධ්‍යම පාන්තිකයින් ලෙස සැලකිය හැකිය. එසේ නැත්නම් පෞද්ගලික අංශයේ එවැනි රැකියා කරන්නන් විය හැකිය. තවත් 24%කගේ පවුලේ ආදායම රුපියල් 20,001-40,000 අතර වේ. බොහෝ දුරට මේ කාණ්ඩයට අයත් වන්නේ පවුලේ එක් වැඩිහිටියෙකු පමණක් රැකියාව කරන අය විය හැකිය. දෙදෙනාම රැකියා කරන අයද මේ ආදායම් සීමාවේ සිටින්නට පුළුවන. මේ අයද පහළ මධ්‍යම පාන්තිකයෝය. මේ අනුව, ර‍ජයේ වෛද්‍ය පීඨ වල රුපියල් 20,001-100,000 අතර ආදායම් ලබන පවුල් වල නියෝජනය 66%ක් පමණ වේ.

වෛද්‍ය පීඨවල රුපියල් 100,000 ඉක්මවූ ඉහළ ආදායම් ලබන පවුල් වල දරුවන්ගේ නියෝජනය 15%කි. මේ අය බොහෝ විට දොස්තරලා, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන්, කළමනාකරුවන් වැනි වෘත්තිකයන්ගේ දරුවන් විය හැකිය. ඔවුන් සැලකිය හැක්කේ ඉහළ මධ්‍යම පාන්තිකයින් ලෙසය. ඉතා පහළ මට්ටමේ රුපියල් 20,000ට නොවැඩි ආදායම් ලබන පවුල් වල දරුවෝද කොළඹ වෛද්‍ය පීඨයේ උගනිති. ඔවුන්ගේ නියෝජනය 13%කි. 


මේ කාලයේම වාගේ සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කළ ලංකාවේ ගෘහස්ත ආදායම් හා වියදම් පිලිබඳ සමීක්ෂණය අනුව ලංකාවේ ගෘහස්ථ ඒකකයක සාමාන්‍ය මාසික ආදායම රුපියල් 45,878කි. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ සාමාන්‍ය අගය රුපියල් 77,723ක් වන අතර බස්නාහිර පළාතේ සාමාන්‍ය අගය රුපියල් 64,152කි. (බස්නාහිර පළාත හැරුණු විට ලංකාවේ පෝසත්ම දිස්ත්‍රික්කය සිතාගත හැකිද?)

කොළඹ වෛද්‍ය පීඨයට පැමිණෙන සිසුන් අතර බස්නාහිර පළාතේ නියෝජනය වැඩි බව උපකල්පනය කළ හැකිය. වෛද්‍යපීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තිය දෙස බැලූ විට පෙනෙන්නේ එය රටේ සාමාන්‍ය ආදායම් ව්‍යාප්තියට වඩා තරමක් වැඩි වුවත් එම තත්ත්වයෙන් සංඛ්‍යානමය ලෙස වෙනස් නැති බවයි. රටේ වෙනත් වෛද්‍ය පීඨ වල ආදායම් ව්‍යාප්තිය මීට වඩා තරමක් හෝ අඩු මට්ටමක පැතිරී තිබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

ඉහත දත්ත අනුව, වෛද්‍යවරුන් ලෙස සේවය අරඹන බහුතරයකට මෝටර් රථයක් මිලදී ගැනීම වැනි සිය වෘත්තිය සඳහා 'නැතුවම බැරි අවශ්‍යතා' වෙනුවෙන් වන මූලික පිරිවැය පියවා ගැනීම මෙන්ම රටින් පිටතට සංක්‍රමණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමද විශාල අභියෝගයකි. එහෙත්, දිගුකාලීනව ඔවුහු සිය ඉලක්ක සපුරා ගනිති.

රජයේ වෛද්‍ය පීඨයකින් ඉගෙනුම ලබන සිසුවෙකුට වඩා අවාසිදායක තත්ත්වයකට මුහුණ දෙමින්, සැලකිය යුතු මුදලක් වැය කර පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් උපාධියක් ගැනීමට පෝලිමක් ඇති වී තිබෙන්නේ එවැනි වියදමක් දැරීමෙන් පසුවද
දිගුකාලීනව මේ වෘත්තියෙහි ලාභ ඇති බැවිනි.

(Image: www.mommd.com)

25 comments:

  1. මගේ දුවත් බෑණාත් පසුගිය වසරේ සිට දොස්තර තත්වයට පත්වුණා. ඒ දෙන්නම, අනුන්ට ණය නොවී, යන්තම් වියදම් ආවරණය කරගන්න පුළුවන් පවුල්වල අය. නමුත්, ඔවුන් දෙදෙනාම තවමත් ජීවිතය ස්ථාවර කරගැනීමේ අරගලයක යෙදෙමින් ඉන්නේ. කුලී නිවසක, අවම ගෘහභාණ්ඩ සහිතව, ඉතා සරල ජීවිතයක් ගතකරණවා.

    ReplyDelete
    Replies
    1. Trans SylvaniaSeptember 20, 2016 at 3:45 PM
      // මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන් පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය​. //

      Delete
    2. අධ්‍යාපනය සඳහා යොදවන මූල්‍යමය හා නොවන (කාලය වැනි) සම්පත් දිගුකාලීන ආයෝජනයක්. සුදුසුකම් සපුරා රැකියාවක් අරඹන වෛද්‍ය වෘත්තිකයෙකු (හෝ වෙනත් වෘත්තිකයෙකු) මෙවැනි තත්ත්වයක සිටීම ලංකාවේ මෙන්ම වෙනත් රටවලත් සාමාන්‍ය තත්ත්වයක්. ඇමරිකාවේදී වෛද්‍ය විද්‍යාලයකින් පිටවන අයෙකුගේ සාමාන්‍ය ණය බර ඩොලර් 167,000ක්. මේ වසර කිහිපයකට පෙර. දැන් තවත් වැඩි ඇති. එහෙත්, දිගුකාලීනව මේ ආයෝජන පිරිවැය ආවරණය වෙනවා. ඇමරිකාවේ වැඩිම ආදායම් ඉපැයිය හැකි වෘත්තිය ලෙස සැලකිය හැකි වෛද්‍ය වෘත්තියේ නිරත වන්නෙකුට සිය විශේෂත්වය ඇති අංශය අනුව ඩොලර් 200,000-400,000 අතර වාර්ෂික ආදායමක් ලැබිය හැකියි. එහෙත් ඒ මට්ටමට යන්න වසර කිහිපයක් යනවා. ණය පියවා අවසන් වන තුරු ඔවුන් ගෙවන ජීවිතයත් (ඇමරිකාවට සාපේක්ෂව) මෙවැනි ජීවිතයක්.

      Delete
  2. නව පත්වීම් ගෙන ග්‍රාමීය ප්‍රදේශ වලට එන වෛද්‍යවරු ඉවක් බවක් නොමැතිව පීපී කරන්නේ වාහනයක් ගැනීමට බව මම අත්දැකීමෙන් දුටුවෙමි. බොහෝ වෛද්‍යවරු සීමාවසික පුහුණුවට එන්නේ බස් එකේය​. ඉන් පසු පළමු පත්වීම ගන්නට යන්නේත් බස් එකේය​. පළමු පත්වීම ගැනීමෙන් පසු දිවා රෑ නොබලා පීපී කරති. රෝහලේ සේවය කරන වේලාවෙත් හොරෙන් පීපී කරති. සමහරු රෝහලේ බෙහෙත් ද සොරකම් කොට පීපී කරන අයුරු මට නිරීක්‍ෂණය වී තිබේ. එසේම සිරප් වලට වතුර හාමු කොට විකුණති.ලාබෙට ගන්නා බෙහෙත් කරල් වලට අධික මුදලක් ගනිති. කිසිම තෙතමනයක් නොමැතිව දුප්පත් රෝගීන් හූරාගෙන කති. මුදල් සොයා ගැනීමට රෝහලේ කෑම කොන්ත්‍රාත්තුවද අතට ගනිති. නැතහොත් කෑම කොන්ත්‍රාත්කරු ගෙන් අත යට ගානක් මාසිකව ලබා ගෙන රෝගීන්ට කුණු කවති. (වරක් මට මහනුවර සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂක කාර්‍යාලයේ තෙන්නකෝන් නම් නිලධාරියෙක් කොලොන්ගොඩ රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමට උපකාර කල හැකි බව කීවේය​. නමුත් මම එය එක හෙලා ප්‍රතික්ශේප කලෙමි).

    එසේම පීපී වෙනුවෙන් තම සහෝදර වෛද්‍යවරු සමග ගහ මරා ගනිති. වෛද්‍ය චර්‍යා ධර්මයන් කඩ කරමින් අනෙකුත් වෛද්‍යවරු රෝගීන් ඉදිරියේ හෙලා දකිති. තම රෝහලේ කාර්‍ය මණ්ඩලයේ සේවකයන් යොදවා අනෙක් වෛද්‍යවරු ගැන අගුණ ප්‍රචාරය කරවති. රෝහල් කාර්‍ය මණ්ඩල භේද කරවති. තම පීපී එකට නොඑන රෝගීන් හරි හැටි නොබලති. ඔවුනට ඇඳන් පවා නොදෙති. මේවා සත්‍ය සහ මම දෑසින් දුටු දේවල් ය​.

    මේ සියල්ල කරන්නේ තමන්ට වාහනයක් සහ ගෙයක් දොරක් තනා ගැනීමටයි. දොස්තර කෙනෙකු වීමෙන් පසු පන්තිය මාරු කිරීම සඳහා වාහනයක් සහ තමන්ගේ ම නිවසක් අවශ්‍ය කෙරේ විශ්ව විද්‍යාලයේදී නිදහස් සෞඛ්‍යය සේවය වෙනුවෙන් මිනී පෙට්ටි කර තබාගෙන යමින් උද්ඝෝෂණය කලවුන් පත්වීම් ලැබීමෙන් පසු ශයිලොක්ලා වන අයුරු මම දුටුවෙමි. මිනිසුන්ට මුදල් අවශ්‍ය කෙරේ. එහෙත් මුදල් වෙනුවෙන් සදාචාරාත්මක වටිනාකම් වූවද ඉවතලිය හැකි වෛද්‍යවරු මේ කාලයේදී මට හමු විය​.

    ReplyDelete
    Replies
    1. ඔබේ එකතු කිරීමට ස්තුතියි. එය තනි පුද්ගලයෙකුගේ නිරීක්ෂණයක් පමණක් වුවත් ලංකාවේ ප්‍රදේශ කිහිපයකම වසර ගණනක් වෛද්‍ය වෘත්තිකයෙකු ලෙස සේවය කරමින් හා වෙනත් රටවල් වල භාවිතාවන් ගැන සංසන්දනාත්මක දැනුමක්ද සහිතව ඔබේම පෞද්ගලික අත්දැකීම් මත ලියා ඇති, ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකි එකක් නිසා වටිනා එකතු කිරීමක්. මෙහි අවධානයට ලක්විය යුතු කරුණු රැසක් තියෙනවා.

      Delete
  3. /'නැතුවම බැරි අවශ්‍යතා' වෙනුවෙන් වන මූලික පිරිවැය පියවා ගැනීම ..... සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය සොයා ගැනීමද විශාල අභියෝගයකි. /
    එක් මාහාචාර්ය වෛද්‍යවරයෙක් වෘත්තිය ආරම්බයේදී මූලික ප්‍රාග්ධනය සපයා ගැනීමට පීපී නොකළ නමුත් මනමාලියෝ 55ක් බලන්න ගියාළු, 55 වෙනියා ඔහු සිතනා සියළු දේ මිළදී ගැනීමට තරම් ධනයකට හිමිකම් කීවත් ඔහු ඇය සමඟ නිවසින් පිටතටවත් යන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මහාචාර්ය වරයාගේ ආවස්ථික පිරිවැය!

      Delete
  4. To secure a place in Medical or Engineering faculties A/L students have to go for private tuition. no matter which district you are in .
    Tuition fees for one subject (mass class where 300 to 500 students are there) Rs 1500 to 2000. Cost of tuition fees alone for 3 subjects + paper classes would be 10,000 to 12,000 minimum . this is without cost of transport , food and stationary . so a parent should set a at least side Rs 20,000/= per child per month.
    Some parents give their children individual tuition as well. cost per our ragning from Rs2000 to 5000 per two or three our session .
    Some parents from out stations rent houses in places like Nugegoda to accommodate their children who are doing A/L for the 2nd / 3rd time .
    That is why only "rich people" can become doctors !
    දොස්තරලා වෙන්නේ "සල්ලි කාරයොන්ගේ" ළමයි තමයි.

    ReplyDelete
    Replies
    1. I agree, but not completely. The chance that someone from the highest income quintile will become a doctor is four times bigger than the same chance compared to someone from the lowest income quintile. The tuition culture may contribute to that difference partially but I don't think that it is the major reason. It is a broader issue and the tuition cost is only one of the faces of it.

      Delete
  5. දොස්තරලා වෙන්නේ සල්ලිකාරයෝද......

    අපෝ නැහැ.....සල්ලිකාරයෝ වෙන්නේ දොස්තරලා...

    ReplyDelete
    Replies
    1. මා හිතන්නේ සල්ලි කාරයන් වීමට නියමිතව සිටින අයගෙන් කොටසක් දොස්තරවරුන් වීම හරහා ඒ තැනට පැමිණෙන බවයි. මෙය සල්ලි කාරයෙකු වීමට උපයෝගී කරගන්නා වෙනත් ඇතැම් මාර්ග වලට සාපේක්ෂව හොඳ මාර්ගයකි.

      Delete
  6. මේ ගොල්ලෝ පෝසත් ගෑනු ලමයි හොයන්නේ මේ හන්දා වෙන්න ඇති.:P

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය එහෙම හොයාගෙන එනවද? ඕකේ අනිත් පැත්ත කොහොමද- සල්ලිකාරයන් තමන්ගේ දූවරුන්ට දොස්තරලා සෙවීම? වැඩේ කෙරෙනවනම් ඉල්ලුම වගේම සැපයුමකුත් තියෙන්න ඕනෑ. :)

      Delete
  7. බොහෝම හොඳ දොස්තරලාත් සෑහෙන්න ප්‍රමානයක් මට නම් හමුවී තිබෙනවා.

    ඒක නිසා මේ එක මකුනෙක් කෑවාහම මකුනෝ ඔක්කොම මරන වැඩේ කරන්න තාම අමාරුයි මට නම්

    ReplyDelete
    Replies
    1. දොස්තරලා කියන්නේ සමජාතීය කණ්ඩායමක් නෙමෙයි. ඒ අය අතරෙත් වෙන කණ්ඩායම් වල වගේම විවිධ වෙනස්කම් තියෙන අය ඉන්නවා.

      Delete
  8. මටනම් ඔය දොස්තර කෙනෙක්වීමේ උණ කවදත් තිබුණෙ නෑ. නමුත් මමත් එක්ක සා. පෙ කරපු ගොඩක් දෙනෙක්ට ඔය උණ තිබුණා. අන්තිමට උ.පෙ වලදි කීප දෙනෙක් තමයි මෙඩිකල් ගියෙ. අනිත් අය ඔක්කොම වගේ පිටරට ගියා. රුසියාව, ඉන්දියාව, බංග්ලාදේශයට තමයි ගොඩක් දෙනෙක් ගියෙ. සල්ලි යහමින් තිබුණු කීප දෙනෙක් බටහිර රටවලටත් ගියා. හැබැයි ඔවුන්ගෙ සිහිනය දොස්තරවීම මිසක් සල්ලි හෙවීම නොවන බවයි මට පෙණුනෙ. දැන් ඒ ගිය ඔක්කොමලා දොස්තරලා වෙලා. බටහිර රටවලට ගිය අයනම් එක්කෙනෙක්වත් ලංකාවට ඇවිල්ලා නෑ. අනිත් ඔක්කොම ලංකාවට ඇවිල්ලා ලංකාවෙ ඇක්ට් 16 කරලා. ගොඩක් අය ඉන්නෙ ඈත දුෂ්කර පළාත්වල, ට්‍රින්කො, වවුනියා, මඩකලපුව, බදුල්ල වගේ. ගොඩක් දෙනෙක් බැඳල ඉන්නෙත් දොස්තරලවම තමයි. හැබැයි ඒ අය කවුරුත් පීපී කරන්නෙත් නෑ, හේතුව ඒ පැති දුප්පත් බවයි කිව්වෙ. සමහරු ඒ රෝහල්වල එකම වෛද්‍යවරයා. සමහරුන්ගෙ බිරිඳ කි. මී සිය ගානක් ඈත රෝහල්වල, හමුවෙන්නෙ සති අන්තයෙ විතරයි. මම මේ කියන වයස් කාණ්ඩය අවුරුදු තිස් ගණනවල අය. ගොඩක් දෙනෙක් බැඳපු අලුතහරි කුඩා ළමයෙක් දෙන්නෙක් ඉන්න අය. මටනම් පේන්නෙ ඔවුන් දුක් විඳිනවා කියලයි. දෙමව්පියන්ගෙ සල්ලිවලින් වාහන ගත්තත්, ලොකුවට හම්බ කරපු දෙයක් නෑ වගෙයි පෙණුනෙ. මම දන්නෙ නෑ පඩිය කීයක් ලැබෙනවද කියලානම්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සල්ලිවියදම් කරල පිටරට ගිහින් දොස්තර කෙනෙක් වෙන්නේ ඒ රස්සාවට ආස අය වියයුතුයි . මොකද ලංකාවේ දී කවදාවත් එම වියදම් කල මුදලට සරිලන වැටුපක් නොලැබෙන නිසා. ඒ වගේම තමයි ලංකාවේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය විද්‍යාව හදාරණ අයත් දොස්තර කෙනෙක්වීම තම ආසාව අනුව කරණ දෙයක් විය හැකියි. නමුත් වැඩි ලකුණු ගත් පලියට වෛද්‍ය හෝ ඉංජිනේරුපීඨම තෝරාගතයුතුයි කියල නිකං මතයක් ලංකාවේ තියෙන නිසා ඒවාට ඇතුල්වෙන කට්ටියකුත් ඉන්නවා.

      Delete
    2. ස්තුතියි, සෙරන්ඩිපිටි. මා මෙතැන ලියන්නට සිටි කරුණු දෙකක්ම ඊට බොහෝ ආසන්නව ඔබ ලියා තියෙනවා.

      Delete
  9. එක අතකින් බලපුවාම දොස්තර කෙනෙක් වෙන එක මහ කට්ටක් නේ...තරුණ වයසෙන් සෑහෙන කාලයක් නිසි ආදායමක් නැතිව අධ්‍යාපනයට වැය කරණ නිසා, ආදයම් ලැබෙන්න ගත්තු ගමන් ඉතින් ඉක්මන් කරන්න වෙනවා තමා..(පරම්පරා ගත සල්ලිකාරයෙක් නෙමේ නම්) නැත්නම් ඉතින් තම්න්ගෙම කියලා ගෙයක් දොරක් හදාගෙන, වාහනයක් අරගෙන කසාදයක් බැඳගෙන පවුලක් පන්සලක් වෙන්නේ කවදාද !?

    මොකක්ද අර දිස්ත්‍රික්කේ ? නුවරද ?

    ReplyDelete
    Replies
    1. දත්ත අනුව කොළඹ, ගම්පහ සහ කළුතරින් පසුව හතරවෙනි තැන තියෙන්නේ හම්බන්තොට.

      Delete
    2. මාළු මාළු..!!
      ත්‍රීවීල් ගානට මොන්ටෙරෝ ස්පෝට් පාරට බහිනවා වෙලාවකට.පෙරහැරක් වෙලාවට බලන්න ඕනෙ මුදලාලිලාගෙ බෙල්ලෙ තියන රත්තරන් චේන්..

      Delete
  10. "ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා" ලිපියට මම දාපු කමෙන්ටුවටත් අදාලව මේක දාන්න ඇත්තෙ. ස්තුතියි. ඉංජිනේරුවො ගැන මොකුත් ලියන්නෙ නැද්ද :)

    ReplyDelete
  11. Nice article. I have been reading ur articles for last 3 months and really amazing ur analytical skills. Keep it up the good work sir.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.